Friday, September 18, 2020

මගේ ප්‍රථම ඇමරිකානු සංචාරය - 07 Road Trip – Day 04

 



Marby Mill

පසුදින උදෑසන අපි Blue Ridge Parkway   ඔස්සේ ගමන් කරමින් සිටියා. මෙය එක්සත් ජනපද ආරක්‍ෂිත ජාතික උද්‍යාන මාවතක්. එමෙන්ම මෙය All American-Road  ගණයට වැටෙන මාවතක්. ජාතික දර්ශනීය අතුරු මාවතක් මෙසේ සැලකෙන්නේ පහතින් දැක්වෙන අපුර්ව ගුණාංග එකක් හෝ කිහිපයක් එහි අන්තර්ගත වීම නිසයි.ඒවා නම්; පුරාවිද්‍යාත්මක, ඓතිහාසික, සංස්කෘතික,ස්වභාවික,අලංකාරය ගෙන දෙන හා විනෝදාස්වාදය ගෙනදෙන යන ඒවායි.    ඇමරිකාවේ ඇති දිගම පටු (Linear Park)උද්‍යානය වන අතර වර්ජිනියා හා උතුරු කැරොලයිනා කවුන්ටි අතර සැතපුම් 469ක් දුවමින්  Shenandoah ජාතික උද්‍යානය හා Great Smoky Mountain  ජාතික උද්‍යානය යා කරනවා.











ඇපලන්චියන් කඳු වල කොටසක්  වන ප්‍රධාන කඳු දාමයක් වූ  Blue ridge හි කොඳු නාරටිය දිගේයි බොහෝ දුරක්ම  මෙය දිවෙන්නේ. මල් පිපෙන පඳුරු හා පැළෑටිවල වනමල් වලින් වසන්තයේදී මග දෙපස අලංකාරවත් වෙන බව කියවෙනවා. අපි ගියේ ශරත් ඍතුව ආරම්භයේ. ඒ නිසා අලංකාර නේක ශරත් වර්ණයන්ගෙන් ගහකොළ සැරසී සිටියා. පහළ බෑවුම්වල ඕක්, හිකරි,ටියුලිප් වගේ ගස් තමයි බහුල.මැද හරියේ Aescules ගනයේ Horse Chestnut ගස් හා Fraxinus (Common name; Ash ) ගස් තිබෙනවා. උස් කඳු බෑවුම් වලට යනවිට ෆර් ,ස්ප්රුස් වගේ කේතුධර ශාක වලට මාරු වෙනවා.     Blue Ridge Parkway  උමං උමං මාර්ග ගණනාවක් තනා ඇති අතර එකක් වර්ජිනියා වලත් 25ක් උතුරු කැරොලයිනා වලත් තිබෙනවා.

මේ ගමනේදී අපි ටික වෙලාවක් ගත කළ සුන්දරතම ස්ථානයක් නම්  Marby Mill. මෙය Blue Ridge Parkway  දිගේ වර්ජිනියා වල ෆ්ලොයිඩ් කවුන්ටි එකේ 176.2 සැතපුම් කණුවේ පිහිටා තිබෙනවා. මේ කම්හලම විතරක් ගත්තත් මෙතැන විශාල වශයෙන් සංචාරක ආකර්ෂණය දිනා ගත් තැනක්. වටපිටාවත් හරිම සුන්දරයි. කම්හල හරහා දිවෙන පටු මාවත එහි ප්‍රදර්ශනය කර තිබෙන වර්ජිනියා වල අතීත ග්‍රාමීය ජීවිතය විදහා දැක්වෙන ස්ථාන හා යා කෙරෙනවා. ධාන්‍ය ඇඹරුම් හළ, ලී පට්ටලය හා යකඩ කම්මල එයින් කිහිපයක්. Marby Mill පැරණි ජල යන්ත්‍රාගාරයක්. මෙය Edwin Boston Mabry විසින් ඉඳි කරන ලද්දක්. මුලින් එය යකඩ කම්මලක් ලෙස තිබී පසුව ලී ඉරුම් පට්ටලයක් වී තිබෙනවා. 1905 වන විට මෙය ධාන්‍ය ඇඹරුම් හළක් බවට පත්වී තිබෙනවා. 1910 දී වඩාත් නවීකරණය වී ජල බලයෙන් ක්‍රියා කරන යන්ත්‍ර සුත්‍ර මෙහි අන්තර්ගත කර තිබෙනවා. මෙහි ස්වේච්ඡාවෙන් පැමිණ පැරණි විවිධ කර්මාන්ත සංචාරකයන්ට ප්‍රදර්ශනය කරන පිරිස් අපට හමුවුණා. ඒවා නැරඹීමෙන් හා ඔවුන් හා කතාබස් කිරීමෙන් අපි ලැබුවේ ලොකු සතුටක්. එහි ඇති ජල මෝල, පැරණි කර්මාන්ත, හා ඒවා සංචාරකයන්ට පෙන්වා දෙන ස්වේච්ඡා ඇමෙරිකානු වැසියන් පහත රූප වල දැක්වෙනවා. 




























සවස් වනවිට අපි Washington D.C.   වෙත ලඟා වුණා.  එහි Comfort Suit  හි රාත්‍රිය විවේකයෙන් ගත කළා.

No comments:

Post a Comment