Saturday, November 28, 2020

ඒ හාදුව











සිඳී බිඳී නැගී විසිරෙන 

සුදු මුදු පෙන කැටි බිඳ ගෙන 

නැගී එන දබ්බර රැල්ල 

ඒ හාදුව දුන්නේ රන්වන් වැල්ලට 

වැල්ල කිති කැවී විලිබරව 

ඇඹරි ඇඹරී ගියා ආපස්සට 


රන් තැටියක් වගේ බැස යන හිරු 

ඉස්සි ඉස්සී වතුරෙන් උඩට 

ඒ හාදුව දුන්නේ ඈත සිතිජ රේඛාවට 

එක වරක් නොව දෙවරක්ම , ඉන්පසු 

පෙනී නොපෙනී ගියා නෙතු මානයට. 


ඈත වෙරළ වැලි තලාවෙන් ඔබ 

කොට්ටන් ගහේ ගී ගයා ඇතිවුණු

කුරුල්ලා පියාඹා උඩ අත්තට 

ඒ හාදුව දුන්නේ කිරිලිය තුඩට 

ඈ සතුටෙන් තවත්  ලංවුණා 

තම පෙම්වතාගේ තටු අතරට. 


ගත හිරිගඩු නංවා විසිර යන 

ඒ සීතලම සීතල සුළං රැළි අතර 

ඒ හාදුව මට නම් ලැබුණේ 

මෙන්න මෙතන නළල මැද්දට. 


බලා හතර මායිම් වටපිට 

මං මූණ බර කරගත්තා පොළොවට 

ජම්බු ගෙඩියක් වගේ  මූණ රතුවී 

තිබුනැයි කිව්වා එයා පස්සේ දවසක.

 

Thanks to mari lezhava for this lovely photo on Unsplash

No comments:

Post a Comment