Sunday, June 13, 2021

මගේ කතාව












මගේ කතාව

 

මම කැස්බෑ රාල කෙනෙක්. මං උරග වර්ගයට අයිති කෙනෙක්. මගේ ආරම්භය මීට අවුරුදු මිලියන 150 කට ඉස්සර ජුරාසික යුගය තරම් ඈතට දිව යනවා. මට ගොඩබිම ජීවත් වෙන්න ඕන ලක්ෂණ පරිණාමයෙන්  ලැබුණත් මා අතීතේදී කල්පනා කළා මට සාගරයම තමයි සුරක්ෂිත තැන කියල. ඉතින් මං ඕගොල්ලන්ට කරදරයක් නොවෙන්න සගරයටම වෙලා මගේ පාඩුවේ ඉන්නවා. මගේ ආහාර , වාසස්ථාන හා සහකරුවන් සමග එක්වීම මේ හැම දේම වෙන්නේ මේ සාගර යහනේ.  හැබැයි මට එක දෙයක් වෙනස් කර ගන්න බැරි වෙනවා. තමයි මගේ පරම්පරාව බෝ කරන්න බිත්තර ටික දාල යන්න මට කලින් ආව වෙරලටම එන්න වෙනවා. මම දාන්නේ අනික් උරගයන් වගේ කටු සහිත බිත්තර. ඒවා සාගරයේ දැම්මොත් විනාශ වෙනවා. මොකද මං උරගයෙක්. මට තියෙන්නේ ගොඩ බිමට අනුවර්තිත බිත්තර. ඒවා දාන්න මං ගොඩ බිමට එන්නෙත් ඔයාලට කරදරයක් නොවෙන්න, රෑ කාලයේ. ඒත් මං දන්නවා ඔයාල මං බිත්තර ටික වැලි වලින් වහල ගියාට පස්සේ ඒවා අරගෙන කන බව.  ඒක ඔයාලම නීති දාල තහනම් කළා.  සමහරු මගේ දරු පැටව් ආරක්ෂා කරලා ආයේ සාගර යහනට එවනවා කියලත් මං දන්නවා. අපේ එක්කෙනක් වුණු ලෙලි කැස්බෑව එයාගේ කටුව ගන්නත් මැරුව. කැස්බෑ ලෙළි වලින් විසිතුරු බඩු හැදුවලු. එහෙම දේවල් වලින් ඔයාලට ඇති වැඩේ මොකක් කියල මට නම් තේරෙන්නේ. නැහැ. දැන් වැඩ තහනම්. 

අපි විශේෂ 8ක් මේ ලෝකේ ඉන්නවා, බලන්න එයින් පහක්ම මේ ඔයාලගේ මුහුදේ ඉන්නවා.  දැන් ඉතින් මං හුස්ම ගන්නේ නැහැ. මං තවත් මේ ලෝකේ නැහැ. මගේ අම්මල, තාත්තල, අක්කල අය්යල , දුවල, පුතාල කී දෙනෙකුට මේ වින්නැහිය වෙලාද දන්නේ නැහැ. මේ අර ගිනි ගත්ත නැවක් නිසා වෙච්ච දෙයක්.  මේ සාගර යහනේ ජීවත් වුනු තව කොච්චර ජීවිත මේ විදියට ඉවර වෙලා දන්නේ නැහැ දැනටමත්.  කොහොමත් අපට හුඟක් තර්ජන තිබුණ. අපි සමහර වෙලාවට ජෙලි මාළු කියල රැවටිලා ඔයාල මුහුදට දාපු පොලිතින් බෑග් කෑව. කොච්චර තහනම් වුණත් ඔයාල අපි මැරුවා, මස් කෑවා, බිත්තර කෑවා.  දැන් ඉතින් අපි නැත්තටම නැති වෙන්න යන්නේ. මැමත්, ඩෝඩෝ වගේ අයට නැති වෙන්න වුණේ ඔයාල නිසා. දැන් ඔයාලගේ කැලෑ වල ඉන්න අලින්ට වෙන්නෙත් ඒකම තමයි. ඉතින් ආයුබෝවන් ! මම යනවා.


1 comment: