කුසගිනි නිවීම
අපි අඞන විට
අල්ලපු වත්තේ කොස් ගහට නැග
ළපටි කොස් ගෙඩියක් කඩාගෙන
පොල් දමා මලවා කන්නට දී
අපේ කුසගිනි නිවූ අම්මා නුඹය.
දානෙ ගෙදර ඉතුරු බත් එකතු කර
ගෙනත් කුල්ලේ දමා
අව්වේ හොඳට වියලා
මුට්ටියක දමා අටුවේ තබා
ටික ටික ගෙන නැවත උයා
පොල් සම්බෝල සමග
කන්නට දී අපේ කුසගිනි නිවූ
අම්මා නුඔය.
අපේ හිස් බඩවල් දැක දැක
අපට නොපෙනෙන්න රහසේ ඇඞූ
යනෙන මග දෙපස ගස්වල
කනේරු ඇට ඇති තරම් දුටුවත්
නුදුටුවාසේ ඉඳ ඒ දුක් ඉහිලූ
අම්මා නුඔය.
නුඹ කියාදුන් මග ගියෙන් මම
මට දැන් තිබේ බත්
බඩ පුරා කන්නට
ඒත් බැරිය නුඹට දෙන්නට.
නුඹ නිදන පස යහන උඩින් ඇති
නිල් තණකොළ පලස මත
සුදු සමන් මල් පොකුරක් තබා
නෙත නැගුණු කඳුල අතගා පිසදා
හාමතින් සිටි දරු පැටවු එකතු කර
බත් ටිකක් උයා දුනිමි මම
එවිට උන්ගේ නෙතේ ඇඳී ගිය
කාන්තිය අයිති මට නෙමේ නුඹට
එවමි එය පාකර මද පවනක
නුඹ සිටින යහනට
අම්මේ එය අයිති මට නෙවේ නුඹට!!!
Photo from Unsplash
කඳුළු එන සටහනක්!
ReplyDeleteස්තුතියි මලී ....පසුගියදා සිදුවූ සිදුවීමක් පාදක කරගෙන ලිව්වේ.
Delete