සුදු රෝස
දෙවැනි කොටස
පණිවිඩ කීපයක් එහා මෙහා හුවමාරු විය. ඒ සැම අකුරකින්ම හදවතේ
එක් විවර නොවූ තැනක් සිය දොරගුලු හැරගෙන යම් හැඟුම් සමුදායක් සමග රැළි නගමින් එන
සාගර රැළි සමූහයක් මෙන් එකක් පරයා එකක් නැග එන්නට වූ අතර ඒ හඬ දුරකථනය ඔස්සේ ඇසීම
සිත තව තවත් ඒ සැබවින් නොදුටු රුව කෙරේ ආසක්ත වීම වැඩි කළේය. ඉන් අනතුරුව වීඩියෝ
ඇමතුම් හරහා ඒ සොඳුරු රුව රාත්‍රී කීපයක්
වාගේ මා ඉදිරියට ආවේ අලුත් ලොවකට මට ඇරයුම් කරමිනි. ඒ සෑම ඇමතුමක්ම,
සටහන්වන හැම අකුරක්ම,
හුවමාරු වන හැම රූපයක්ම මටත් නොදැනීම
වෙනදා නොවූ සියුම් සංවර ස්වරුපයක් ගත්තේ කුමන බලපෑම කින්ද යන්න මට අදටත් ගැටලුවකි.
මගේ සෑම හැසිරීමක්ම මට නොදැනුවත්වම වෙනස් වෙමින් පැවතියේය. කතා කරන හැම වචනයක්ම ප්‍රේමනීය
විය. හැම දිනයක්ම එළඹියේ නව බලාපොරොත්තු සමුදායක් සමගිනි. ප්‍රේමය නම් මේ යයි
කියන්නට ලියන්නට මම වචන සොයමින් සිටියෙමි. චාරුකා මටත් කලින්ම මට ප්‍රේම කළා වන්නට
ඇත. ඇත්තටම ජීවිතය මල් යායක් විය. මෙසේ කාලයේ විහඟුන් පියාසර කරන වකවානුවේ එක දිනයක
අපගේ ප්‍රථම භෞතික හමුවීමට මග පාදා ගතිමි. අවසානයේ ඒ සොඳුරු හමුව සිදු
වූයේ එළඹෙමින් තිබූ වසන්ත සමයේ එක් ආනන්දනීය සවස් යාමයක දී ලොස් ඇන්ජලිස් හි ගෙටි
සෙන්ටර් නම් අපූරු ස්ථානයේ දී ය.
මා එහි ළඟාවන විට ඈ ස්ථානයට ඇතුළුවන ගේට්ටුව අසල සිටියාය.
තද නිල් පැහැයෙන් යුත් ඩෙනිමකින් හා මැරුන්
පැහැති උණුසුම් ජැකට් එකකින් සැරසී සිටි ඈ දුර තියාම සිය දිගු ලොකු ඇස් වලින් බලමින්
මට අත වැනුවාය.
"චාරු ඔයා. මේක ඇත්තක් ද? මට පුදුමයි චාරු." කී මම ඈ
වැළඳ බදා ගතිමි. ඇයද මොහොතකට මගේ උණුසුමට තුරුළු වූවාය.
"ඉතින් සුජාන්?" ඇගේ පිළිතුරත් සමග ඈ මගේ දෙනෙත් තුළට කිඳා බැස්සාය.
"කියන්න තරම් ලස්සනක් මේකිගෙ නෑ” මගේ
සිත කීවේය.
ඒත් ඒ දෙනෙත් මා වසඟ කළේ මටත් හොරෙනි. ඇයත් සිතුවම් වලට
ආශා කළ බව දැනගෙන තිබූයෙන් ගෙටි සෙන්ටර්හි සිතුවම් ඇති කොටසේ අත්වැල් පටලාගෙන ඒවා
නරඹමින්ද,
උද්‍යානයේ වසන්තයට එබිකම් පානා
තුරුලතා අතරද අප දෙදෙනා හෝරාවක් දෙකක් දොඩමළුව ගෙවූ ඒ අතිශය උන්මාදනීය කාලය නිමා වූයේ
නිමේෂයක් පරිද්දෙනි. සුන්දර සිහින මැද තවත් හමුවීම් දෙකක් තුනක් වූ අතර අපි අපේ
ආදරය ප්‍රකාශ කර ගතිමු. එහි කිසිඳු පැත්තකින් සැකයක් හෝ රැවටිල්ලක් නොවීය. “අයි ලව් යූ”
කියා සිය දහස් වරක් කියන්නට ඇත. කෙමෙන් කෙමෙන් අප දෙදෙනාට දෙදෙනා නොදැක සිටීම
අසීරු වන තත්ත්වයක් දක්වා ඒ ප්‍රේම පුරාණය ඇදී ගියේය. ඇගේ අධ්‍යාපන කටයුතු
හේතුවෙන් ඈ සිටියේ ඉතාමත් අවිවේකී කාලයක් ගත කරමින් බැවින් අපට හමු වීමට ලැබුණු
කාලය ඇත්තෙන්ම සීමිත විය. එසේ වුවත් ඇයටත් මටත් විවේක ලැබෙන කිසිඳු අවස්ථාවක් මග
නොහැර, සුන්දර උයන් වතු,
කෞතුකාගාර හා අවන්හල් වලදී අපි
වරින් වර හමු වීමු. එළිමහන්
හමුවීම් වලට පසුව අපි ප්‍රථම වරට දිවාකාලය
ගත කිරීමට ලොස් ඇන්ජලිස් හි රිට්ස්
කාල්ටන් තරු පහේ හෝටලය තෝරා ගත්තෙමු. එහෙත් කිසිඳු එකඟ තාවයක් ගැන කලින් කතා
නොවූවත් එහිදී සාමන්‍ය සිප වැළඳ ගැනීමකින් ඔබ්බට නොගියෙමු. මගේ ඉඳුරන් ඒ දේ ඉල්ලීම
සාමාන්‍ය වුවත් චාරුකා හමුවේ ඉබේම මට ඇතිවූ සංවරය ඒ මොහොතේ එසේ කිරීමට ඇගෙන්
ඉල්ලීමෙන් මා වළක්වා ලූයේය.
අපි දෙන්නා අපේ තොරතුරු කතා කර ගත්තෙමු. මගේ පෙර
සම්බන්ධතා ගැන මම ඇයට කෙටියෙන් නමුත් සත්‍ය වසන් නොකර පවසා සිටියෙමි. ඈ ඉවසූ කන්
ඇතිව සාවධානව ඒ සියල්ල අසා සිටියාය.
“මට අතීතයෙන් කමක් නැහැ සුජාන්. මම මේ
මොහොත හා ඉස්සරහ ගැන හිතන කෙනෙක්” ඇගේ වචන මා ඇයට තව
දුරටත් සමීප කිරීමට හේතු විය.
දිවා ආහාරයෙන් පසු සැහැල්ලුවෙන් හා සුරතලයෙන් මගේ පපුවේ රෝම අතර අතැඟිලි
යවමින් මගේ තුරුලේ සිටි චාරුකාට වැඩිදුර නොසිතා “අපට එකට
ජීවත්වෙන්න පුළුවන් නේද චාරු?” යයි මම මගේ සිත තුළ වාන්
දමමින් නැග එන අදහස පැනයක් ලෙසින් ඉදිරිපත් කළෙමි. ඒ යෝජනාව ගෙන ඒමට ඉක්මන් වීම ගැන එක්වරම සිතට ඇති වූයේ චකිතයකි. පළමු හමුවීමෙන්ම
තීරණයන්ට එළඹීම මෙවැනි රටවලට නම් අමුත්තක් නොවුණි. ඒත් ඈ මේ රටට පැමිණ වැඩි කලක්
ගතවී නැත. මේ රටේ සාමාන්‍ය ජීවිතය ගැන ඇගේ අවබෝධය එතරම් ලොකු පරාසයක විහිදී
තිබෙන්නට ඉඩකඩක් නැතිවාට සැක නැත. මෙහි තරුණ ජීවිත ගතවන ආකාරය ගැන මට හොඳින්ම
අත්දැකීම් ඇත. පුදුමය නම් මගේ පැනය හමුවේ අමුත්තක් නොදැක්වූ ඈ එවැනි ජීවිතයකට අකමැත්තක්
ඉදිරිපත් නොකළාය. ඒ වෙනුවට ඇගේ දෙනෙත් තුළ වූයේ අනුරාගය මුසු ආදරණීය බැල්මකි.
“Why not Sujan? හැබැයි සුජාන් ඔයාට
මගේ එපාර්ට්මන්ට් එකට එන්න කියලා කියන්න බෑ. මොකද අපි තුන්දෙනෙක් එකට ඉන්නවනේ”. චාරුකා කීවාය.
“මං දැනට ඉන්න තැනත් හරි මදි කෙල්ලේ.
මං තැනක් බලනවා මේ දවස් වල. ඒක ඉක්මනින් ලැබෙයි.”
“හොරා මටත් නොකියම එපාර්ට්මන්ට් ගන්න
ප්ලෑන් කළා නේද?” ඈ මා චුදිතයෙකු වශයෙන් සළකා කීවත් ඇගේ ස්වරයේ වූයේ
මා එසේ කිරීම ගැන සතුටක ඡායාවකි.
“නෑ චාරු ...එහෙම හිතලා නෙවේ. මට කොහොමත් තැන වෙනස් කරන්න
හිතිලා ගොඩක් කල්” මම ඇත්තම කතාව ඈ හමුවේ තැබුවෙමි.
“අපි දෙන්නම එකතුවෙලා ඒක ගනිමු. කොහොමත්
හැමදාම එහෙම ඉන්න නෙවේනේ නේද සුජාන්?” ඈ තුළ සිටි සාමන්‍ය ලාංකික ගැහැනු ළමයා අවදි
විය.
“නෑ නෑ අපි මැරී කළහම ගෙයක් අරගමු.
එපාට්මන්ට් එකට ගෙවන එක මම
කරන්නම්. ඔයා තාම ඉගෙන ගන්න ළමයෙක් නේ. අපේ සම්බන්දෙ ඔයාගේ පේරන්ට්ස්ලා දන්නවද?”
“මං ඔයා ගැන කිව්වා. ලංකාවේ කෙනෙක් හමු
වුණාම කොහොමත් කියනවනේ. ඒත් මේ සම්බන්දෙ ගැන කිව්වේ නැහැ. ඒකට තව කල් ඕන සුජාන්. ඔයත් තාම අම්මලා තාත්තලට කිව්වේ නැහැනේ?”
“මට ඕනම මොහොතක කියන්න පුළුවන්. නොකියම
තීරණ ගන්නත් පුළුවන්. ඒ ගොල්ලෝ මගේ පුද්ගලික දේ ගැන අහන්නේ නැති තරම් චාරු.”
“ඒ වුණත් අපි මේ වගේ දේවල් දෙමව්පියන්ට
කියන එක අපේ යුතුකම තමයි සුජාන්. මටත් ලොකුවට නීති දාලා නැහැ. එකනේ තනියම මම මෙහෙ
එව්වේ.”
“හොඳයි එහෙම කිව්වා කියමු. ඔයාගෙ ගෙදර
අය ලිවින්ග් ටුගෙදර් වලට කැමති වේවිද?”
“අපෝ එයාල නම් බඳින්න කලින් එහෙම දේකට
කැමති වෙන එකක් නෑ. මං ඒ ගැන නම් තාත්තට කියන්න යන්නේ නෑ. එයාල මාව බන්දලා එවනවා
කෙනෙක් හිටියා නම්. මට එහෙම කවුරුවත් හිටියේ නෑ සුජාන්”
ඇගේ ස්වාධීන තීරණය ගැන මට ඇතිවූයේ සතුටකි. ඈ පවුලේ එකම ගැහැනු දරුවා බවත් ඇයට
වැඩිමල් එකම සහෝදරයා දැනට එංගලන්තයේ රෝහලක වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන බවත් පවුලේ
තොරතුරු වශයෙන් දැන ගතිමි. ඇගේ පියා කලක් විදුහල් පතිවරයෙකු ලෙස සේවය කර දැනට විශ්‍රාම
සුවයෙන් පසුවන බවත් මව ගුරුවරියක වශයෙන්
තවමත් සේවය කරන බවත් තව දුරටත් ඈ මට පැවසුවාය. ලංකාවේ ඇගේ දෙමාපියන්ගේ
නිවස පිහිටා තිබුණේ මහරගම ආසන්න ගමක බවත් ඇගෙන් දැන ගතිමි. මගේ පවුලේ තොරතුරු ද මම
නොවලහා ඇයට කීවෙමි. ලිවින්ග් ටුගෙදර් සම්බන්ධව අප තීරණයකට ඉක්මනින් පැමිණි නමුත් එය
ක්‍රියාත්මක කිරීමට කල්යල් බලන්නට සිදු විය. එහෙත් සුදුසු එපාර්ට්මන්ට් එකක් ලැබෙන
තුරු වෙන්ව සිටීම අප දෙදෙනාට තව
දුරටත් ඉවසුම් නොදෙන්නක් බවට පත්වීය.
©malinieganewatta2024
Photo from Pexel
කියෙව්වා. තුන්වැන්න එනතුරු බලා සිටිමි.
ReplyDeleteThank you
Delete