Friday, March 15, 2024

සුදු රෝස White Roses - 4

                                                        සුදු රෝස White Roses

   සිවුවැනි  කොටස                                                                                                                                       ම සාමන්‍යයෙන් වසරකට එකක් හෝ දෙකක් පමණ මගේ වෘත්තීයට අදාළ සංචාරවල යෙදීම සාමාන්‍ය දෙයකි. චාරුකා හා මා එක වහලක් යට වාසයට පැමිණි පසුත් දෙවරක් එසේ යාමට සිදුවීම නිසා චාරුකාට එය සාමාන්‍යකරණය වී තිබුණේය. ඒ අවස්ථාවල මා ගුවන්තොට කරා ප්‍රවාහනය කළේද ඇය විසිනි. දුකකින් නමුත් මට සමුදෙන ඈ ඒ දින දෙක තුන  සුපුරුදු පරිදි තනියම කාලය ගත කළාය. මේ සියලු දේ මැද අපේ සබඳතාව ලෝකයේ ඇති අනිකුත් දහසකුත් සබඳතා අතර ඇති තවත් ක්ෂුද්‍ර අංශුවක් ලෙස ඉදිරියට ඇදී ගියේ අපටත් හොරෙනි.

 සියුම් අංශුවේ සිට මේ ලෝකයේ සියලු දේ ක්ෂණයක් පාසා වෙනස් වෙමින් පවතින බව  අපට අමතකව ගොස් තිබුණේය. කොයි කවුරු අමතක කළත්  ලෝකය  තම ගමන නවත්වන්නේ නැත. එය සිය වේගය පවත්වා ගනිමින් ගමන් කරමින් තිබුණේය. අපට විද්‍යමාන වන්නේ ඉතාමත් සෙමින් නමුදු එහි සිදුවිය හැකි සියලු වෙනස්කම් සිදුවෙමින් පැවතුණේය. ඒ වෙනස් වෙන දේවල් අතර ජීවී අජීවී සියලු දේ  පමණක් නොව  පුද්ගලන් අතර සබඳතාවයන් ද වන්නේය. බැඳුම් සදාකල් පවතින්නේ නොවේ. වෙනස්කම් එකිනෙකා කරා ළඟා වන්නේ එක එක තරමිනි.

අපගේ සබඳතාවේ දී ඒ වෙනස මුලින්ම දැනෙන්නට වූයේ මටයි.  සියුම්ව නමුත් දැනෙන තරමක වේගයෙන් මට යමක් අහිමි වේගෙන යන බවක් වැටහෙමින් තිබුණේය. එය මට මේ වනවිටත් පැහැදිලි කරගැනීමට වචන නැති දෙයකි. සැබවින්ම මට කුමක් වේගෙන එන්නේදැයි පැහැදිලි බවක් නොවීය. සෙමෙන් පටන් ගත් නමුත් ඊ ළඟ සති කිහිපයේදී චාරුකා ඇතුළු මා වටා එතෙක් තිබු සියලු චමත්කාරජනක දේ හා හැඟීම් මා කෙරෙන් ඉවත් වේගෙන යන්නට වූයේ තුරඟ වේගයෙනි. මට එසේ දැනෙන්නට වූයේ ඇයිද යන්න අදටත් නොවිසඳුණු ගැටලුවකි. මා ප්‍රතිකාර ගතයුතු මානසික තත්වයක වූවාද යන්න මට තේරුම් ගියේ නැත. මා තුළ පැන නැග ක්‍රමිකව වර්ධනය වී යන හැඟුම් තනිව දරා ගැනීමට අපහසු වූයෙන් මට වඩාත් සමීප මිතුරා හමුවී ඒ ගැන කතා කිරීමට ඉටා ගතිමි.

" මගේ හිතට හරිම කරදරයි බ්‍රයන්. මට කිසිම නිදහසක් නෑ වගේ දැනෙනවානේ."

දිනක් අවන්හලකදී ඒ මගේ අතිජාත මිතුරා වන ජර්මන් ජාතික බ්‍රයන්ට මම මගේ සිතේ ඇතිවෙමින් තිබෙන අතෘප්තියක් වැනි අසහනකාරී හැඟීම ගැන අදහස් දැක්වීමි. ඔහු චාරුකා හා මගේ ලිවින්ග් ටුගෙදර් සම්බන්ධය හොඳින්ම දන්නා මිතුරෙකි.

"මොකක්ද ඔයා ඒකෙන් අදහස් කරන්නේ?"

"මං ඉස්සෙල්ලා හිතුවේ මට කවුරුවත් කෙනෙක් ආදරේ කරන්නේ නැහැ කියලා. දැන් චාරු මට ඕනෑවටත් වඩා ආදරය කරනවා. ඒ වුණාට මට ඕලා එක්ක හිල්ඩා එක්ක තිබ්බ සම්බන්ධකම් වගේ නෙවේ කියලා හිතෙනවා. ඒවායින් මම මිට වඩා සැහැල්ලුවක් වින්දා කියලා හිතෙනවා.”

ඕලා, හිල්ඩා තාවකාලික සම්බන්ධකම් නේ සුජාන්. උන්ට දැන් වෙන කවුරු කවුරුහරි ඇති. චාරු උඹට ආදරේ එක කොච්චර දෙයක් ද? කවදාහරි ෆැමිලි එකක් වෙන්න ඉන්නවා නම් මාත් එහෙම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් තමයි තෝරා ගන්නේ   බ්‍රයන් කීවේය.

ඒත් බ්‍රෝ මේක මට බරක් වගේ දැනෙනවා නේ?”

ඔයා අදහස් කරන දේ මට පැහැදිලි මදි. නිදහස නැහැ කියන්නේ ඇයි?”

මටත් තේරෙන්නේ නෑ බ්‍රයන්. මට මොකක් හෝ හිතෙනවා. ඒකයි. වෙලාවට ගෙදර යන්න ඕන. නැත්නම් එයා තනියම”.  

උඹට එයා එහෙම නීති දානවද?”

අනේ නැහැ. එයා එහෙම නැහැ. ඒත් මට එයා ඉන්දෙද්දී වෙන කෙනෙක් හම්බ වෙන්නවත් පාර්ටි යන්නවත් හිතෙන්නේ නැහැ.

ඒ ගැන තව හිතන්න. එහෙම නම් ඒක චාරුට පැහැදිලි කරලා අයින් වෙන්න.

ඇත්තෙන්ම බ්‍රයන් වැනි බටහිර ජාතිකයන් ඒ අතින් අවංකය. ඔවුහූ අදහස් සඟවාගෙන නොසිටිති. සබඳතා ඇරඹීමට මෙන්ම ඒවාට නැවතීමේ තිත තැබීමට ද බිය නොවෙති. මේ රටේ මට හමුවූ වෙනත් යුවතියන් හමුවේ දී මට තිබූ විවෘත බව චාරුකා හමුවේ මගෙන් පලාගොස් ඇති සෙයකි. මගේ සිතේ ඇති වෙමින් වර්ධනය වෙමින් යන මේ තත්ත්වය හමුවේ තවත් සති දෙක තුනක් ගතවී ගියේය. චරුකාට මගේ වෙනසක් නොදැන්නේ ඇයිදැයි මට වරෙක විමතියක් ද ඇති නොවූයේ නොවේ. අහම්බයන් සිදුවන්නේ සැලසුම් කොට නොවේ. ඒවා අපේ ජීවිතයට කොහේ හෝ සිට ඇතුළු වෙයි. ඒවායින් විටෙක යහපතක් ද විටෙක අයහපතක් ද සිදු වෙයි. එහෙත් අහම්බ අපට වළක්වා ලන්නට නොහැකිය. ඊළඟ සතියේ සේවා ස්ථානයට අලුතෙන් පැමිණි ඩේසි මගේ සිත වෙනස් කළාය.  නැතිනම්  මට වෙනස් වීමේ වුවමනාව තදින්ම දැනෙමින් සිටි මොහොතක ඈ ආවාය කියන එක වඩා නිවැරදිය.  රූපය අතින් ඩේසි හා චාරුකා අතර තිබුණේ අහසට පොළොව තරම් පරතරයකි. ඩේසි ඇත්තෙන්ම සුරඟනක් වූවාය. රන්වන් පැහැති සමත් බ්ලොන්ඩ් වර්ණ කේශ කලාපයත් ඇගේ සුරඟන රුව ඔපවත් කළේය. ඩේසිගේ දෙනෙතේ වූයේ උතුරා ගලා යන අනුරාගී බැල්මකි. රතු තොල් ආලේපනයෙන් නිතරම සැරසෙන ඇගේ මහත් වූ දෙතොල් මගේ සිත තුළ ඇති කළේ එක්තරා විදියක නොසන්සුන් බවකි. ඇයට නියමිත් රාජකාරි කාර්යන් ගැන පැහැදිලි කිරීම් පැවරී තිබුණේ මට බැවින් මම ඉතා කැමත්තෙන් එය ඉටුකරන්නට ඉදිරිපත් වුනෙමි.

එදා නිවසට ගිය මගේ වෙනස චාරු දැනගනු ඇති දැයි කිසියම් චකිතයක් වැඩිපුර මගේ සිතේ හොල්මන් කළේය.

"සුජාන් අද වැඩිපුර වැඩ තිබුණද?" චාරු මා වැළඳ ගනිමින් ඇසුවාය.

ඔව්, අලුත් බැච් එකක් ආවනේ. එයාලට ඔරියෙන්ටේෂන් කරන්න තිබුණා. හුඟක් ඒවා ඔන්ලයින්. ටිකයි පැහැදිලි කරන්න තිබුණේ”.”

ඈ ඉන් එහාට කිසිවක් ඇසුවේ නැත. කොහොමටත් කාර්යාලයේ කටයුතු ගැන ඈ හාරා අවුස්සා අසන්නේ නැත. රාත්‍රී ආහාරය සුපුරුදු පරිදි ගන්නා අතර චාරු වෙනදා  මෙන්ම සුරතල් බස් තෙපලුවය.  සැමදා සිදුවන අප දෙදෙනාගේ කායික සම්බන්ධය ද බාධාවකින් තොරව සිදු වුවත් මට එයින් එතරම් තෘප්තියක් නැති බවක් දැනෙමින් තිබුණේ මාසයකට පමණ පෙර සිටය. චාරුට ඒ බවක් ඇඟවුණේ නැත්තේ ඇයිද යන්න මට ගැටලුවකි. යම් ආකාරයකින් එසේ දැනෙමින් තිබුණත් ඈ මට ඒ බව නොපෙන්වමින් සිටියා වන්නටද බැරි නැතැයි මට දැන් සිතෙයි. එකල තේරුම් නොගත් ඇගේ දේහ බසේ සමහර සියුම් තැන් මට දැන් දැන් වැටහෙමින් තිබේ. එසේ වී නම් ඇයටත් මා ගැන යම් කලකිරීමක් වීද? අතීතයේ  මිස ඒ වනවිට මට වෙනත් සම්බන්ධතා නොතිබුණු බව ඈ දැනගෙන සිටියාය. මගේ දුරකථනය ඇගෙන් සැඟවී මක් නොවූ අතර එවැන්නක අවශ්‍යතාවක් එතෙක් ඇතිවී තිබුණේත් නැත. එසේත් නැතිනම් ආදරය යනු අයිතිකර ගැනීමම නොවේ යයි පුළුල් චින්තනයක් ඇය තුළ වීමද? ඇගේ එදිනෙදා මතුපිට හැසිරීමේ කිසිඳු අසතුටක් පෙනෙන්නට ද  නොවිය.

©malinieganewatta

4 comments:

  1. කියෙව්වා. ඊලඟ කොටසත් කියවන්න එන්නම්. අදහස් දක්වන්න ඉවර වෙනකල් ඉමු නේද?

    ReplyDelete
    Replies
    1. ඔබට ගොඩක් ස්තුතියි.

      Delete
  2. Replies
    1. ඔබට ගොඩක් ස්තුතියි.

      Delete