Friday, March 22, 2024

සුදු රෝස White Roses - 5

සුදු රෝස White Roses

පස්වන කොටස 



ළඟ දින දෙක තුන තීරණාත්මක විය. ඩේසි හා මා අතර අනුරාගී බැලුම් සියයකට වඩා හුවමාරු වීමෙන් පසු එක දිනක අපි  අවන්හලකදී හමු වීමු. ඇගේ උණුසුම් දෙතොලේ රස පහස එදා ඈ මට නොඅඩුවම ලබා දුන්නාය.  ඊ ළඟ   දින දෙක තුන ඇතුළත මගේ ඉල්ලීම ඩේසි එකවරම බාර ගත්තේ ඈ නිදහස් ඇමරිකානු යුවතියක වු බැවිනි. ඩේසි කිසිම අඩු පාඩුවක් නැතිවම මගේ අවශ්‍යතා සපුරා දුන්නාය. ඈ පැවසූ පරිදි ඉදිරියේදී ඈ වෙනත් රැකියාවකට මාරු වීමට නියමිත විය. මා සමග ගැඹුරු සම්බන්ධයක් ගැන ඈ සිතා නැතිබව පැහැදිලි විය. ඒ නිසා ඩේසි හා මගේ මේ සම්බන්ධයට එතරම් දිග ආයුෂක් තිබෙන්නට බැරි බව මට වැඩි කලක් නොගොස්ම පසක් විය. ඒ ගැන මට පසු තැවෙන්නට වුවමනාවක් ද නොවීය. මා පෙර ගත කළ දිවියේදී එවන් සම්බන්ධතා රාශියක් ඇතිව නැතිවී ගොස් තිබුණු බැවිනි.

ඇත්තෙන්ම දීර්ඝකාලීන සම්බන්ධතා බරක් ලෙස මට දැනෙමින් තිබුණේ චාරුකා හා මා අතර සම්බන්ධතාව පටන්ගෙන මාස කීපයක් ගත වෙද්දීම වූවත් ඇගෙන් ලැබෙන ආදරය හමුවේ ලොල්වූ මගේ යටි සිත   ආත්මාර්ථකාමී ලෙස එයින් මිදීම ප්‍රතික්ෂේප කළා නොවේදැයි දැන් මට සිතෙයි. මද සුළං මැද පාවෙමින් තිබූ ඒ පිහාටුවක් බඳු ජීවිතයට මා  නැවත යා යුතු බව මගේ යටි සිත මට බලපෑම් කරමින් සිටියේය. ඒ නිදහස් දිවි පැවැත්මට නැවත යාමට මට තිබුණු එකම ගැටලුව චාරුගෙන් මිදීම විය. මම එයට සම්‍යක් ප්‍රයෝගයක් කල්පනා කරමින් සිටියෙමි. එය සිතට ආ පසු මා කළේ නිර්දය ලෙස එය ක්‍රියාවට නැංවීමයි.

"චාරු මට සති දෙකකට බිස්නස් ට්‍රැවල් යන්න තියෙනවා කොලරාඩෝ වලට. ඔයාට මැනේජ් කරගන්න පුළුවන් නේ?". මම චාරුට අදහස ඉදිරිපත් කළෙමි.

මේ සැරේ සති දෙකක් ද?” ඈ විමතිය පළ කළාය.

ඔව්, මේක වර්ක් ෂොප් එකක් මා ඇයට කීවේ මුසාවක් නොව මට කාර්ය භාරයක් නැතත් ඇත්තෙන්ම එවැන්නක් පැවත්වෙන බැවිනි. 

"සති දෙකනේ සුජාන් මට පුළුවන්."  ඈ අහිංසකව පැවසුවාය. සම්පුර්ණ ප්ලෑන් එක තිබුණේ මගේ හිත ඇතුළේය.

මම මගේ ගමන් බෑගය තුළට අවශ්‍ය සියලුම ලියකියවිලි ඇතුළු කළේ ඇයට සැකයක් ඇති නොවන විදියට රහසිගතවය. ඈ කිසිසේත් මෙතෙක් මා සැක නොකළාය. සැකයක් සිතීමට ඉඩක් තිබුණේ නම් එක් දෙයක් නිසා පමණි. ඒ ඉදිරි ක්‍රියාමාර්ග පසුව ගැනීමට සිතා මෝටර් රථය බ්‍රයන්ට ගෙන යාමට කීමයි. මෝටර් රථයේ අලුත් වැඩියා කිරීමක් ඇති නිසා එසේ දුන් බව මම චාරුකාට කීවෙමි. ඒ ගැන ඈ වැඩිදුර ප්‍රශ්න නොකළාය.   නියමිත දිනයේ ඈ ලවාම මා ලොස් ඇන්ජලිස් හි ගුවන් තොටුපොළට ආවෙමි. ඇගෙන් සමුගත් මොහොතේ ඈ මා උණුසුම් ලෙස වැළඳ ගත්තාය.

"බුදු සරණයි   පරිස්සමින් ගිහින් එන්න. ඔක්කොම හරිනේ " ඈ මදක් බිඳුණු හඬින් සුබ පතද්දී මා ඇගේ නෙත් කෙවෙණි තුළ කඳුලක් දුටුවෙමි. මම හැඟීම් නැත්තෙකු පරිදි ඇගේ නෙත් බැල්මෙන් මිදී වෙනතක නෙත් රැඳෙව්වෙමි. මට දුක හිතී  එසේ කරන්නට ඇතැයි ඈ සිතන්නට ඇත. ඒ මා ඇගෙන් ලද අවසන් උණුසුම් හාදුවයි. ඒ අපේ අවසන් හමුවීම බව ඇයටත් කුමන ආකරයකින් හෝ වැටහී තිබුණේ ද? එවැනි සංවේදන අප සතුද? ඈ එවැන්නක් කිසිම විටක මුවින් පවසා සිටියේ නැත. මා ඈ තේරුම් ගත්තෙම් ද? ඈ මා තේරුම් ගත්තේ ද?  ‘Two hearts that beet as one, our lives have just begun’යනුවෙන් වූ මම ආසා කරන චාරුකා ද නිතර ගයමින් සිටි ලයනල් රිචී හා ඩයනා රොස් ගයනා කරන ‘Endless love’  ගීතයේ කොටසක් කොහේදෝ පසුබිමකින් ඇසෙමින් තිබුණේය. ඇත්තෙන්ම ඒවා අරුතක් නැති වදන් සමූහයක්  පමණක් ද? දෙදනෙකු අතර වන  සම්බන්ධතා තේරුම් ගන්නේ කෙසේ ද? මගේ උඩු සිත අවුල්වූ නූල් පන්දුවක් විය. එයම මගේ යටි සිත පෙළමින් සිටියේය. මගේ ප්‍රයෝගය ක්‍රියාත්මක කිරීමේ වුවමනාව තදින්ම තිබුණු නමුත් ඒ මොහොතේ මගේ සිත මදකට සසලවී මම ඇතුළතින් දැවී ගියෙමි. පියවි ලොවට පැමිණි මම චාරුකාට අතවනා සමුදී ගුවන් තොටුපොළේ ආරක්ෂක පෝලිමට එකතු විමි. නැවත හැරී ඈ දෙස බලන විට මට පිටුපා ඈ ඉවතට යමින් සිටියාය.

 මා මේ ගමන පිටත් වූයේ රැකියාවට සමු දීමෙන් අනතුරුවය. මේ වනවිට මගේ අතේ වසරක් පමණ ජීවත් වීමට සෑහෙන තරම් මුදලක් විය. කොලරාඩෝ ගුවන් තොටුපළෙන් හෝටලයට ගිය මම ඉදිරි වැඩපිළිවෙල කල්පනා කරන්නට පටන් ගත්තෙමි. අප අතර ඇති සියලුම සම්බන්ධතා වලින් ඈත් විය යුතු බව මට කල්පනා විය. චාරුට මා පැමිණි බව පැවසීමෙන් පසු දුර කථනය විසන්ධි කර තැබුවෙමි. බ්‍රයන් පැවසූ පරිදි චාරුට මගේ අදහස පැහැදිලි කරදී ඇගෙන් වෙන් වීමට මට ධෛර්යයක් නැත්තේ ඇයිද යන්න මටවත් තේරුම් ගැනීමට නොහැකි විය. සමාජ මාධ්‍යවල කොහොමටත් අප දෙදෙනා ම බොහෝ දුරට අක්‍රිය නිසා ඒවා තිබුණත් නැතත් ගැටලුවක් නොවන බව පැහැදිලි හෙයින් මම ඒවායින් ඉවත් වන්නට නොසිතුවෙමි. ප්‍රශ්නය දුරකතනයයි. අංකය මාරු කළ හොත් ගැටළු ගොඩකි. ඒ නිසා චාරුකාගෙන් එන ඇමතුම් මග හැරීමට සිතුවෙමි. ඇමතුම් කීපයකට කෙටි පිළිතුරු දී ඉන්පසු ක්‍රමයෙන් ඒවා මග හැරියෙමි.  අනතුරුව ඈ මට පණිවිඩ එව්වාය. මුලදී කෙටි පිළිතුරු යැවූ නමුත් පසුව මම ඒවා මග හැරියෙමි. මම ඒවා නොකියවීමි. ඊ මේල් වලටද පිළිතුරු නොයැවීමි. ඉන්පසු ඈ නිහඬ වූයේ මා නොසිතු පරිදිය. මේ වනවිට අප දුරස් වී මාස දෙකක් ගෙවී ගොස් තිබුණේ නොදැනීමය. කෙසේ වුවත් එපාර්ට්මන්ට් එකේ කුලිය ගෙවීම සඳහා සෑහෙන මුදලක් මම කලින්ම චාරුකාගේ බැංකු ගිණුමට බැර කළෙමි. ඒ එසේ කියා නොව ඇගේ අවශ්‍යතා සඳහා කියාය. අඩුම වශයෙන් චාරුකාට කුමක් සිදුවී දැයි සොයා බැලුවේ වත් නැත්තේ මන්දැයි මගේ යටි සිත මට වදදෙමින් තිබුණේය. එහෙත් නැවත සම්බන්ධතාව අලුත් කරගන්නට ද මට අවශ්‍යතාවක් නොවිය. මම අවසානයේ ඈ ගැන සොයා බලන මෙන් බ්‍රයන්ගෙන් ඉල්ලීමක් කළෙමි. මා පුදුමයට පත් කරමින් ඔහු පවසුවේ ඈ එපාර්ට්මන්ට් එක හැර ගොස් ඇති බවයි. එමෙන්ම විශ්ව විද්‍යාලයේද ඈ නොමැති බවයි. කීප වරක් ඇගේ දුරකථන අංකයට අත ගියත් මම වෑයමින් එය ක්‍රියාත්මක කිරීම වළක්වා ගත්තෙමි. දණ්ඩ චුම්බක දෙකක සමාන ධ්‍රැව මෙන් ඈත් මාත් ඈත්වී ගිය බවත් නැවත ළඟා වීමක් නොවන බවත් මගේ සිත මට කිවේය. කාන්තාවන් කෙරේ මගේ ඇල්ම පවා මේ ටික දිනට මගෙන්  දුරුවී යන බවක් ඒ සමගම මට  තේරුම් යමින් තිබුණි.

රැකියාවක් සොයා ගැනීම හා ජීවත් වීමට තැනක් ලබා ගැනීම ප්‍රමුඛත්වයේ ලා සැළකිය යුතු විය. මා කැලිෆෝනියාවේ රැකියාවෙන් ඉවත් වීම ගැන පසුතැවීමක් ද සිත කොනක වූ අතර කුමන ප්‍රාන්තයක අලුතෙන් ජීවිතය පටන් ගන්නේ දැයි ස්ථිර තීරණයක් ද නොවිය. එසේ වුවත් මම රැකියා කීපයකට අයදුම් පත් යොමු කළෙමි. හිස ද නිදහස් නොවූයෙන් සම්මුඛ පරීක්ෂණ  ද නිසි පරිදි කෙරුණේ නැති බවක් මට හැඟී ගියේය. මාස තුනක කාලයක් ගෙවී ගියේ නොදැනීමය. ඒ සමගම මට ලංකාවට ගොස් දෙමව්පියන් දැක බලාගැනීමට සිත අභ්‍යන්තරය විසින් ක්ෂණික පෙළඹවීමක් ඇතිකරන ලද්දේ දෛවෝපගතව ද යන්න මම අදටත් සිතමි. නැවත රැකියාවක් ආරම්භ කළ පසු එය අසීරු විය හැකිය. ඒ නිසා මම වහාම ගුවන් ටිකට් පත් වෙන්කර ගතිමි.

ඊළඟ සති අන්තයේ මම කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මව්බිමට පා තබනවාත් සමගම හිතේ තිබුණු කුමක්දෝ බරක් අපේ දුක් උසුලන ඒ සුපුරුදු බිම විසින් බාරගෙන මගේ සිත සැහැල්ලු කළා වැනි අපුර්ව හැඟීමක් මට ඇති විය.

අම්මාත් තාත්තාත් පුදුමයට පත්කරමින් මම ගෙදර දොරකඩ පෙනී සිටියෙමි

හිච්චි පුතා මේ හදිසියේ .... කියන්නෙත් නැතුව අම්මා විශ්මය පිරි දෙනෙතින් නමුත් කවදත් ඇගේ සුපුරුදු ආදරණීය සිනාව මුවට නංවා ගනිමින්  මා පිළිගත්තාය.

තාත්තාද මගේ ආගමනය නිසා මහත් සතුටට පත්ව සිටියේය. වෙනදා මෙන්ම ආ ගිය තොරතුරු කෙටියෙන් අප අතර හුවමාරු විය. මගේ පුද්ගලික තොරතුරු කවදත් ඔවුන් ඉදිරියේ තැබුවේ නැති අතර මගේ ස්ත්‍රී සම්බන්දතා ඔවුන් දැනගත්තේ නැත.

©malinieganewatta2024

Image from pexel






No comments:

Post a Comment