චාරිකා සටහන් - Shimla- Manali 08
දැන් ඉතින් අපි කෝච්චියේ....විශාල පෙට්ටියක් මේක. සෙනග100ක් විතර හොඳ පහසුකම් සහිතව ඉඳගෙන ඉන්නවා. මේ දුම්රිය Chandigarh වලින් පටන්ගත්තාම නැවතුම් දෙකක් අතරමග තියෙනවා. අවසන් නැවතුම දිල්ලිය. දුම්රිය 266km දුරක් පැය 31/2 කින් යනවා. ඒ කියන්නේ එහි සාමාන්‍ය වේගය 55km /hr විතර. දුම්රියේ වැඩි හරියක් හිටියේ ඉන්දීය ජාතිකයන්. ඔවුන් නිහඬව පොතක් කියෙව්වා, laptop එකේ හරි phone එකේ හරි යමක් කළා. කෑ ගැහැව්වේ අපි විතරයි. පස්සේ අපිත් පරිසරයට අනුවර්තනය වෙලා බොහෝ දුරට නිහඬ වුණා. අපිට රාත්‍රී ආහාරය දුම්රියේ ලැබෙන බවයි කිව්වේ. ඔන්න දැන් තමයි හොඳම හරිය. ටික වෙලාවකින් වේටර් ළමයා කඩියා වගේ දුවමින් අපිට සැන්ඩ්විච්, curd, තවත් දේවල් දෙකක් විතර එක්ක බඳුනක් පිලිගැන්වුවා. අපි හිතුවේ මේ තමයි රාත්‍රී ආහාරය කියලා. කන්න ටිකක් අමාරු වුනත් කාල අපේ බෙහෙත් එහෙමත් බිව්වා. මෙන්න ටික වෙලාවකින් අර වේටර් දරුවා ආයෙත් බඳුනක් ගෙනාපි, සුප් එකක්,ඉඟුරු විස්කෝතු වගේ දෙකක්, බටර් කුඩා බඳුනක්, සෝස් එකක් එහෙම එක්ක. අර බටර් හා සෝස් සුප් එකට දාල ඉඟුරු නැති විස්කෝතු ඒකෙ පොගවන් කන්න කියල අන්දමන්ද වෙලා හිටි අපිට කියා දුන්නේ ප්‍රභාශිගේ එහා පැත්තේ හිටපු ඉන්දීය ජාතිකයා.
ඉතින් ඔන්න ඒකත් කෑව. තව ටිකකින් ගේනවා main dish එක. ඒකෙ බත්,ව්‍යංජන ඇතුළු හැම දෙයක්ම තිබුණා. අපරාදේ සැන්ඩ්විච් කාල බඩ පුරවා ගත්තේ කියල හිතුණා. පොඩ්ඩක් කෑව හැම දෙයින්ම. අපේ කට්ටිය වේටර් කොලුවා ඉන්න පැත්තට එබිලා කිව්වා තව මොනවාද ලෑස්ති කරනවා කියලා. මෙන්න ලොකු අයිස්ක්‍රීම් එකක් ඊ ලඟට. ඒක නම් හරිම රසයි. මේ එක ළමයෙක් කිසි කතාවක් නැතුව සේරටම සංග්‍රහ කළ හැටි අපුරුයි. අපේ රටේ නම් දහයක් වත් ඉන්න වෙයි.
දුම්රියේ වේගයත් අපි පහු කරන්නේ කුමන ස්ථානයක් ද යන්නත්, තව කොතරම් වෙලා යනවා ද යන්නත් තිරයක සටහන් වෙනවා. ඉතින් ඒ අපූරු කෑම වේලෙන් පස්සේ ටිකක් අපි නිදා වැටී වැටී ගිහින් අන්තිමේ ගමනාන්තයටත් ආවා . අපි දිල්ලියේ කලින් හිටපු හෝටලයටම එන විට රෑ 10.00 පහු වුණා. දිය නෑමෙන්
පස්සේ ඉක්මණින්ම නින්දට වැටුණා.
අවදි වුණේ 23.01.2019 උදේට. උදේ ආහාරයෙන් පස්සේ සාප්පු සවරියයි යෙදී තිබුනේ. මට කියලා ගන්න එතරම් දෙයක් හෝ වුවමනාවක් නොවුණත් සුමනා, ජයරත්න, බැංකු මහත්තයා ඇතුළු කිහිප දෙනෙක් එක්ක කඩ වීදිවල ඇවිද්දා. කොහොමටත් මේ පිරිමි පරාණ දෙකට නෝනා මහත්වරුන් ට ,දුලා ,ලේලිලා ,මිනිපිරීලා ට ඕන කරන ඇඳුම් ගන්න අපි හැම විටම උදව් වුණා. ඒ ගොල්ලොත් අපේ ආරක්ෂක නිලධාරීන් වුණානෙ. ඒ තමයි මනුස්ස බැඳීම, සාමකාමී සහජීවනය.
සුමනාට සාරිත්, මගේ පොඩිත්තන්ට ඇඳුම් කීපයකුත් ගත්තා. යාචක දරුවෝ, වැඩිහිටියෝ ඇගේම හැපෙනවා. විවිධ බඩු විකුන්නන්ගෙන්,තැරැව් කරුවන්ගෙන් බේරුමක් නැහැ. සපත්තු මදින්න ඉදිරිපත් වන දරුවන්ගෙන් අපේ කට්ටිය අනුකම්පාවටම සපත්තු මද්දවා ගත්තා. කඩවීදියේ හෝටලයකින් දිවා ආහාරයත් ගත්තා. ඊට පස්සේ නැවත හෝටලයට ඇවිත් ගමන් මළු ලෑස්ති කරගෙන සවස තුනට විතර පිටත් වුණා, දිල්ලි ගුවන් තොටුපලට යන්න. වාහන තදබදයත් තිබුණා. කොහොම හරි වෙලාවට ගුවන් තොටුපලට ආවා. එය ඉතා විශාල ලස්සනට භුමි දර්ශන සකස් කළ මනරම් භුමි භාගයක්. හුගාක් ගහ කොළ ,මල් වවා තිබෙනවා. සවස 6.00ට පමණ ශ්‍රි ලංකන් ගුවන් යානයෙන් ගුවන්ගත වූ අපි රාත්‍රී භෝජන සංග්‍රහයත් භුක්ති විඳලා මව්බිමට ගොඩබහින විට රෑ 10.00 විතර වුණා. ගමන් සගයන්ට සමු දෙමින් තවත් එක් සුන්දර චාරිකාවක නිමාව සනිටුහන් කළා.
(ඡායා රූප අන්තර් ජාලයෙන් )
No comments:
Post a Comment