Sunday, February 10, 2019

චාරිකා සටහන් - Shimla- Manali 05

චාරිකා සටහන් - Shimla- Manali 05


                                                     Hanogi Matha Temple 

අද අපේ චාරිකාවේ පස්වෙනි දවස. 19.01.2019. උදේ අවදිවෙලා, සප්පායම් වෙලා මනාලි දක්වා යන ගමන ආරම්භ කලා. ශිම්ලා හෝටලයේ ආගන්තුක සත්කාර වලට ස්තුති කරලා සමුඅරන් යන්න පිටත් වුණා. මේ ගමන බොහොම දුෂ්කර කඳු පාරවල් දිගේ තමයි ඇදෙන්නේ. ශිම්ලා සිට 49km ක් ගියහම Daldamode හමුවෙනවා. මෙහි තියෙනවා ලෝකප්‍රසිද්ධ අම්බුජා සිමෙන්ති කම්හල. එහි සිට තව දුරක් ගියහම Bage හිදී Jaypee සිමෙන්ති කම්හල තියෙනවා. 78km ගියාට පස්සේ Beri හන්දිය හමුවෙනවා. මෙහිදී දිල්ලි, Chandigar, kalka  පාරවල් සම්බන්ධ වෙනවා.   

තවත් 6km ගියහම Barmana වලදී ACC සිමෙන්ති කම්හල හමුවෙනවා. ශිම්ලා සිට 105km ගියහම Bilaspur ද ඉන්පසු Haribag ද හමුවෙනවා. මෙහි දිවා ආහාරය සඳහා අවන්හල් / Dabas හමුවෙනවා. දකුණු පසින් සුන්දර් නගර් විල තියෙනවා. සුන්දර් නගර් කියන එකේ තේරුම beautiful place කියලයි කුමාර් කිව්වේ. මෙහි සිට 25km යනවිට මැන්දි හමුවෙනවා. මෙහිදී අපට Beas ගඟ දැක ගන්න ලැබෙනවා. මැන්දි සිට 12km යනවිට අපට දකුණු පැත්තේ Pandoh Dam දකින්න ලැබෙනවා. දැන් අපි කඳු නැග ගෙනයි යන්නේ. තවත් 12km යනවිට ඈතින් Anokhi  Matha Temple දකින්න පුළුවන්. දකුණෙන් Beas ගලා බසිනවා. සුන්දර දසුනක්. තවත් 20km වලින් පස්සේ Aut ලගාවන අතර මෙයට පෙර 2.8km දිග උමගක් පහුකරනවා. මීළඟට අපි ලඟා වන්නේ කුල්ලු දිස්ත්‍රික්කයට.  මේ අතරමගදී පාර්වතී ගඟ Beas ගඟට එකතු වෙනවා. මේ ගඟවල් Indus ගඟේ අතු ගංගා.



                      මග දිගට ඉඳිකිරීම්

මීළඟට අපි කුල්ලු වලට ලඟා වෙනවා. ඒ වනවිට අඳුර දසතින් ගලා ඇවිත්. කුල්ලු කියන්නේ වෙනම සංස්කෘතියක්. එයට අදාළ සම්ප්‍රදායන් තියෙනවා. එහි උපන් වැසියන්ගේ එයට  අදාළ හැසිරීම්, වෙළඳ පොළ, ආහාර, විශ්වාස, හා ඇඳුම් ඒ අතරින් විශේෂ වන අතර කුල්ලු ජීවන රටාව පරිසරය හා බද්ධ සරල එකක්. සම්ප්‍රදායික කුල්ලු ඇඳුම් තියෙනවා. කුල්ලු shawl හරිම ජනප්‍රියයි. අපි ඒ factory outlet එකකට ගියා. අපේ කට්ටිය shawl ,සාරි, woolen jackets , ඇඳ ඇතිරිලි මිලදී ගත්ත. සාප්පුවෙන් තේ පැන් සංග්‍රහයකුත් ලැබුණා. අපේ කට්ටියේ හිටිය තව තුන්දෙනෙක් ගැන නොකියම බැහැ. ඒ කොළඹින් ආපු තාත්තයි දු පැන්චියෝ දෙන්නයි. තාත්තා ප්‍රභාත් මහත්තමය. මේ දුලා දෙන්නා ඇඳුම් වලට වඩා පැණිරස කෑමට තමයි ආසාව. ඉතින් මේ දෙන්නා තාත්තත් එක්ක කුල්ලු ඇඳුම් පැත්තක දාල චොකලට් කඩ වැඳලා, ඇතිවෙන්න චොකලට් මිලදී අරන්. මටත් මිනිපිරියන්ට ටොෆි, චොකලට් ටිකක් ගන්න ඕන කම තිබුනත් රෙදි කඩයට වෙලා හිටි හින්ද ඒ අවස්ථාව මග ඇරුණා. කුල්ලු වලට ආවේනික ඇඳුම් සම්ප්‍රදාය අතර පිරිමින්ගේ  කුල්ලු තොප්පිය විශේෂයි. 

අපේ කණ්ඩායමේ හිටිය ශ්‍රී ලංකා සංචාරක සේවයේ යෙදෙන සිරිසෝම මහත්තයා එයින් තොප්පියක් අරන් හිස පැළඳගෙන "  Now I'm a Kullu man. I'm searching for a Kullu girl"   කියමින් හිටියා shawl සාප්පුවේ ගැණු ළමයින් අතරේ. මන් හිතන්නේ සිරිසෝම නෝනට ඒක ඇහුනෙ නෑ වෙන්නැති. ඇහුණත් ඒ නෝන ගණන් ගන්න එකක් නෑ. හොඳ සංචාරක යුවලක් ඒ දෙන්නා. 

දැන් ඉතින් රෑ වෙලා. අපි තව 40km දුර ගෙවාගෙන මනාලි වලට ඇවිත් Hotel Royal Regency වෙත ආවා.කුමාර් කිව්වේ නම් අපි මනාලි වලට ආවේ bypass පාරක කියලයි. හැබැයි පාර දිගටම Hydro-power Project එකක  වැඩ කෙරෙමින් තිබුණ නිසා පාරේ හරිම අපහසුතා ඇතිවයි එන්න වුනේ. හැමතැනම යන්ත්‍රෝපකරණ,ගල් හා පස් ගොඩවල් දක්නට ලැබුණා. හෝටලය එතරම් ලොකු භුමි භාගයක පිහිටා තිබුණේ නැතත් ආගන්තුක සත්කාරය නම් ඉහළ මට්ටමක තිබුණා. හරිම ශීතලක්....කාමර වලට heaters ලැබුණා. මනාලි හෝටල් වල lift නෑලු. අපිට පළමු මාලයම ලැබුණු නිසා ලේසි වුණා.  තවත් දවසක් ඉවර වුණා.

   
මගදී දැක්ක Bryophyta ශාකයක් 

(Hanogi Matha Temple , සිතියම,කුල්ලු තොප්පිය,කුල්ලු shawl ඡායා රූප අන්තර්ජාලයෙන්. )

No comments:

Post a Comment