Wednesday, February 13, 2019

චාරිකා සටහන් - Shimla- Manali 06



චාරිකා සටහන් - Shimla- Manali 06

අද උදාවුනේ ජනවාරි 20වෙනිදට. උදෑසන ආහාරයෙන් පස්සේ විශේෂයෙන් සීතලට ඔරොත්තු දෙන විදියට ඇඳුම් වලින් සැරසුණා. මේ වනවිටත් මගේ නම් නාසය වටා හම ගිහින් අපහසුතාවයෙන් හිටියේ. හැබැයි ගෙදරින් එද්දී තිබුණ නාසයේ අවහිර ගතිය, පීනස් ගතිය ඉබේම හොඳ වෙලා. අරන්ගිය බෙහෙත් තොගය ඕන වුණේ නම් නැහැ. අද අපේ චාරිකා විස්තරය අනුව Rohtang Pass හෝ Solang Valley තමයි උදේ වරුව. 

Rohtang Pass තියෙන්නේ මනාලි වල ඉඳලා 51km දුරින් 3980m ඉහලින්, Manali Keylong highway එකේ. මෙතැන රටේ හා ලෝකයේ නන් දෙසින් හිම ක්‍රීඩා හා විනෝදය පිණිස සංචාරකයන් ඇදී එන ඉතා සුන්දර ස්ථානයක්.  මෙතැන සමාන්‍යයෙන් සංචාරකයන්ට විවෘත වෙන්නේ අවුරුද්දේ අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා බවයි සඳහන් වෙන්නේ.
මේ මාර්ගයම ජම්මු කාශ්මීර් දක්වා ඇදී යනවා. පාරවල් මුළුමනින්ම හිමෙන් වැසෙන නිසා හිම පතනය වෙන කාලෙට මෙහි යන්න බැහැ. මෙයට නුදුරෙන් Sonapani ග්ලැසියරය හා Gaypan ද්විත්ව කඳු ශිඛර  පිහිටා තිබෙනවා. සොබාදම් මෑණියගේ තුරුළේ නැළවෙන්න සංචාරකයින් මෙහි පැමිණෙනවා. සංචාරකයින් තවත් යන තැනක් තමයි හින්දුන්ගේ ශුද්ධ වූ ස්ථානයක් වන Beas ගඟ ඇරැඹෙන  Beas Kund. Rohtang Pass කියන එකේ තේරුම 'මළවුන්ගේ බිම' යන්නයි.මේ  දුෂ්කර ගිරි දුර්ග තරණයේ  දී අතීතයේ හුගාක් මිනිස්සු මැරිලා තියෙනවා. මෙය තියෙන්නේ හිමාලයේ Pir Panjal කඳු වැටියේ. Rohtang Pass ප්‍රමුඛව හින්දු සංස්කෘතිය ඇති  කුල්ලු නිම්නයටත් ප්‍රමුඛව බෞද්ධයින් ඉන්න ඉහළ උන්නතාංශයේ ඇති Lahaul and Spiti Calleys වලටත් ප්‍රදේශය ස්වාභාවිකව  බෙදනවා. ඉතින් අපි ගිය කාලය අනුව මෙහි එන්න වරම් නැහැ. මෙය ශිශිර ඍතුවේදී වහලයි තියෙන්නේ. මෝටර් වාහන ඇතුල් කිරීමට විවෘතව පවතින්නේ ජූනි සිට ඔක්තෝබර් අග දක්වා පමණක් වීම එයට හේතුවයි. මිහිපිට දෙව්ලොවක් වන් ඒ බිමට ඇතුල් වෙන්න නම් ඔබ ඒ කාලය ඇතුළත යන්න ඕන. 

ඉතින් අපි යන්නේ Solang Valley වලට. මනාලි ඉඳලා 13km ක් ඈතින් තියෙන්නේ. මෙය කුල්ලු නිම්නයේ ඉහළින් ඇති එක පැත්තක්. Solang ගම හා Beas Kund අතර පිහිටලා තියෙනවා. Rohtang Pass යන පාරෙමයි යන්න තියෙන්නේ. පාරවල් නම් හිම දියවෙමින් ගලා යන වතුර නිසා එකම මඩ ගොහොරුවක් වගේ තමයි. 

බස් රථයෙන් මේ ගමන  යන්න බැහැ, අපිව වෙනත් four wheel drive වාහන දෙකකට නග්ගනවා. එක්තරා ස්ථානයකට ගිහින් එතැනින් මුදල් ගෙවා විශේෂ ඇඳුම් කට්ටලයක්, බූට් සපත්තුද සහිතව ගන්න ඕන. සාමාන්‍ය සපත්තු වලින් හිම මත ඇවිදින්න අමාරු වගේම අපේ ඇඳුම් තෙමීම වළක්වන්න මෙහෙම කරන බවයි කුමාර් කිව්වේ. එතැනදී හිම සඳහා වෙනම අව් කණ්නාඩි ජාතියක් විකුණා ගන්න වෙළෙන්දෝ නොදැම්ම උප්පරවැට්ටියක් නැහැ. මං කුමාර්ගෙන් ඇහුවම එයා කිව්වා ඒවා ඕන නැහැ කියලා. කොහොමත් අපි ගාව අව් කණ්නාඩි තිබුණ නේ .. 
දැන් අපි ඔක්කොම හරියට ගගන ගාමීන් වගේ. ලොකු ලොරි පාරේ යනවා දැක්ක. පළමු වතාවට තමයි දැක්කේ රෝද වලට දම්වැල් ඔතලා හිම මත යන වාහන. 
වාහන තදබදය තදින්ම තිබුණා. අපේ කට්ටියගේ ඉවසීම රතු කට්ට පනිමින් තිබුණා, හරියට ලංකාවේ traffic ඉඳලා ම නෑ වගේ. හැබැයි සිංහලෙන් බැන්න ඒවා රියදුරාටවත්, කුමාර්ටවත් තේරෙන්නේ නෑ. 


පාරේ තත්වය අනුව වාහන ඉස්සරහට යවන බව පසුව දැනගන්න ලැබුණා. පාර දෙපැත්තේ ඇපල් වතුවල ගස්වල ඉපල් විතරයි දකින්න ලැබෙන්නේ. ශීත කාලයට පෙර සේරම කොළ හලාගෙන, දුකසේ බලා ඉන්නවා වගේ පේනවා. අන්තිමේ Solang Valley කරා ආවා. පරිස්සමින් අඩිය තියමින් යන්න ඕන. හිම ලිස්සනවා. අලුත් හිම වලට වඩා තැලී ගිය හිම භයානකයි. සමහර තැනක කකුල එරී යනවා යටටම. 
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙතැන නම් හරිම ලස්සනයි. බැලු බැලු අත හිම කඳු. දේවදාර ගස් පේළි ඒ අතර. මෙතන ක්‍රීඩා කීපයක් ම තියෙනවා. ඒවා තමයි Skiing, Quad biking, Zorbing ( විශාල විනිවිද පේන ගෝලයක්  ඇතුලට ගිහින් පෙරළි පෙරළී යාම ) , Paragliding, Horse riding, Yak bull riding, Cable car riding වගේ ඒවා. තව ටයර් එකක ඉඳගෙන පහළට රූට ගෙන එන එකකුත් තිබුණා. 
පාරම්පරික කුල්ලු ඇඳුම් ඇඳන් පින්තූර ගන්න කියලා කාන්තාවන් ඇවිල්ලා වද කරනවා. මේ සීතලේ ඔවුන් ජීවිකාව ගෙන යන්න කීයක් හරි සොයාගන්න වෙහෙස වෙනවා. මේ ප්‍රදේශ වල හිඟාකන මිනිස්සු දැක්කේ නැහැ. මොකක් හරි වෙළදාමක් කරන්න තමයි බැලුවේ. 
මමයි  සුමනයි කෙටි bike ride එකක් ගියා. ski කරණ විලාසයෙන් පින්තුර ගත්ත. අපි හිම බෝල අරන් ගහ ගත්තා. හිම මත වැතිරිලා හිටියා. හැමෝම වගේ වැටුණා. අපි දෙන්නා නොවැටී බේරුණා. අපේ කට්ටියේ හිටිය සුනා හුගාක් ක්‍රීඩාවල යෙදුණා. සුනා අපේ ගමන් සගයින් අතර හිටිය චාරිකාවම ජීවිතය කරගත් විනෝදකාමී, හිතහොඳ තනිකඩ කොල්ලෙක්. මිනිහා ස්විස් වල අවුරුදු ගණනක් හිටිය කෙනෙක් නිසා හිම ක්‍රීඩා දන්නවා. ගමන් සගයින් අතර තව හිටියා කවිඳු කියන පොඩි එකාත්. පොඩි කිව්වට පොඩිම නැහැ. මිනිහ ව්‍යාපාර වගයක් කරන කෙනෙක්. තව හිටියා තැඹිලි වතුර බෝතල් කරලා ඇමරිකාවටත් යවනවා කිව්ව ව්‍යාපාරික යුවලක්. මට නම පොඩ්ඩක් මතක නැහැ. බැලුවහම පොඩි මිනිහෙක් වුණාට වැඩ ලොකුයි. 

අපි දවාලට කෙටි කෑම වලින් පිරිමහ ගත්තා. එතැන නූඩල්ස්, පැස්ටා එහෙම තියෙනවා. අනික් ශරීර අවශ්‍යතා ඉටු කර ගැනීම යුද්ධයක් වුණා. ඇයි ඇඳුම් කීයක් ඇදලද හිටියේ. අනික ඒ ස්ථාන හරිම අපිරිසිදුයි. මං ඒ අවශ්‍යතා ඉවසගෙන හිටියා. සුමනාට එහෙම බැහැ. කෙසේ හෝ ඇය අපහසුතා මැද ඒ වා ඉටුකර ගත්තා. 

දැන් ඉතින් ඇති කියලා වාහන වලට ගොඩවෙනවත් එක්ක හිම පතනය ආරම්භ වුණා. ජීවිතයේ පළමු හිම අත්දැකීම. ඒක හීනයක් වගේ තාම මතකයට එනවා. අනික් අය ක්‍රීඩා ඉවර වෙලා එනකොට තව වෙලා යන නිසා අපේ වාහනය එන්න පිටත් වුණා. මොන ඒමක්ද ? එහෙම traffic එකක් ජීවිතේට දැකල නැහැ. හිටිය හිටියා ....පැයකටත් වැඩිය හිටියා. අනිත් අයත් ඒ අතරේ ඉවර වෙලා. අන්තිමේ දී ඇඳුම් මාරු කළ තැනට ඇවිත් ඒවා බාර දුන්නා. එතනදී අමතක නොවන සිදුවීම් වුණා. ඒවා ඉන්දියාවේදී සාමාන්‍ය දේවල් ....හිනා වෙලා පණ ගියා. ඈන් තමයි ප්‍රධාන නිළිය. ඒ කතාවත් කියලම ඉන්නම්, ආයේ හංගන්න දෙයක් නැහැනේ. ඔන්න අර ඇඳුම් බාරදෙන තැනට එනකොට ඈන්ට එක වුවමනාවක් හරිම තදට දැනිල. එයා ඒ අසල තැනකට ගිහින් ඒ අවශ්‍යතාව ඉටුකරගන්න තැනක් අහල. කතාවෙන් තේරිලා තියෙන්නේ ඒ තැන තියෙනවා ඒ ලඟම කියලයි. හැබැයි පොඩි පැල්පත් වගේ නිසා මිදුලක් වගේ තැනක් ලු තිබිල තියෙන්නේ. ඈන් ඉක්මණින්ම අවශ්‍යතාවය ඉටුකරගෙන තියෙනවා. කොටින්ම කිව්වොත් ඉබේම අවශ්‍යතාවය ඉටුවෙලා. තව මොහොතක්වත් ඉන්න බැරුව. කළ ගෙඩියක පරිමාවටත් වඩා වැඩියිලු. පස්සේ අර අයිති මනුස්සය විලාප දීල. " My god! It's my room....it's my room "කියල. ඒ විතරක් ද වතුර බාල්දි ගෙනත් ගෙනත් එතන හෝදන්නත්  පටන් ගත්තලු. සුමනට නම් හරි තැනක් හම්බ වෙලා. සුනා නම් උඩින් තිබ්බ තාප්පයක් හොයා ගත්තලු. ඒ හීතලත් එක්ක මේ අවශ්‍යතාවය හරිම වැඩියි.ඉන් පස්සේ අපි නැවත මනාලි හෝටලයට ආවා. ඒ සැන්දෑව සුන්දරයි හොදටම . රාත්‍රී ආහාරයට පෙර දවසේ සිද්දි මතක් කරමින් හිනා වුණා...ඊළඟ දවසෙත් අපි මනාලි වලයි.      

No comments:

Post a Comment