Wednesday, February 6, 2019

චාරිකා සටහන් - Shimla- Manali 04



චාරිකා සටහන් - Shimla- Manali 04

                                                Kufri සිට හිමාලය කඳු පෙනෙන හැටි

18.01.2019 දිනට උදා වුණා. අපි ඇහැරිලා සුදානම් වුණේ ශිම්ලා අවට ප්‍රදේශය නරඹන්න යන්න. උදේට සප්පායම් වෙන්න හොඳ ආහාර වේලක් හෝටලයෙන් ලැබුණා. අපි පිටත් වුනේ උදේ 9.30ට පමණ. බස් රථයෙන් අපි ගියේ Kufri කියන ප්‍රදේශයට. එහි සිට බලන විට හිමාලය කඳුවැටියේ කොටසක් අත ළඟ වගේ දර්ශනය වුණා. නමුත් මේ අපි බස් රථයෙන් බැස්ස ස්ථානය අශ්ව ගාලක්. සංචාරකයන් පිනවීමේ අරුතට වඩා මුදල් ඉපයීමේ මාර්ගයක් කරගත් ඒ නිසාම සුන්දරත්වය වැනසී ගිය තැනක් හැටියටයි මං මෙතන දැක්කේ. අශ්ව වසුරු, මඩ ගොඩවල් එහි පිරිලා. අශ්වයන් මුදල් උපයන යන්ත්‍ර වගේ. අශ්වයකු /පෝනියෙකු පිටේ යන්න විශාල මුදලක් අය කරනවා. ඒවායේ තැරැව් කරුවන් හැම තැනම. අශ්වයෙකුගේ පිටේ ගියොත් විතරයි නිම්නයට ලඟා වෙන්න පුළුවන්. ඔවුන් එහෙම මාර්ගය හදාගෙන. පයින් යන්න බැහැ.


ආයෙත් මං මේ කියන්න යන්නේ අපේ කණ්ඩායම ගැන. එක්කෙනෙක් තමයි බැංකු මහත්තයා. බැංකුවේ රැකියාවෙන් විශ්‍රාම ලබල දැන් කාලයක ඉඳන් සංචාරය කරනවා. ගමන් බලපත්‍රයත් කිහිප වතාවක් අලුත් කරන්න වුනාලු ඇවිදපු තරමට. බොහොම නිහඬ චරිතයක්. සැර ජාති බොන්නෙත් නැහැ. හැබැයි අපේ ආරක්ෂාව ගැන නිතර බැලූ හොඳ මහත්මයෙක්. ජයරත්න  රජයේ සේවයෙන්  විශ්‍රාම අරන් ඉන්න, නමුත් තව දුරටත් පුණ්‍යායතනයක සේවයේ යෙදෙන මහත්මයෙක්. හොඳ ගායකයෙක් වගේම ටිකක් ඇඟ රත් කරගන්නත් ඕන කෙනෙක්. තමා හා තම බිරිඳ උගත් පරපුර නියෝජනය කරනවා වගේම තමාගේ දු දරුවන්ට හොඳින්  උගන්වලා, ඔවුන් සැලකිය යුතු තැන්වල දෙස් විදෙස්වල ඉන්න බව ඉතා සතුටෙන් කිව්වා.හැබැයි මේ ගමන නෝනව එක්ක ආවේ නෑ, ඇයට අධික ශීතල ඔරොත්තු දෙන්නේ නෑ කියලා. නිතරම අපිට ආරක්ෂාව සපයන්න ඉදිරිපත් වුණ හොඳ යාළුවෙක්.

ඉතින් ආයෙත් ගමන ගැන. මම කොහොමත් සතුන් පිට යන්නේ නැති නිසා අශ්වයින් පිට යාම කෙරුනේ නැහැ. ජයරත්නයි මායි ඇර හැමෝම ගියා. ජයරත්න නොගියේ වයසට ඔරොත්තු දෙන්නේ නැති වැඩ කරන්න බැහැ කියලයි. අපි දෙන්නා අශ්ව ගාල පැත්තෙන් උඩට පයින් ගිහින් කුඩා සත්තු වත්තකට ගියා. මුදල් ගෙවල ඇතුල් වුනේ. ජයරත්නගේ කරේ කැමරාව තිබුණ නිසා වැඩිපුර ඉන්දියානු රුපියල් පනහක් ගෙවන්න වුණා. එත් ඒකෙ ඇහැට දැක්කේ නම් එකම ගෝනෙක් විතරයි. තව මැරුණු සත්ව දේහ සංරක්ෂණය කර ප්‍රදර්ශනයට තබා තිබුණු කටුගෙයක් බැලුවා. එතනින් එළියට ඇවිත් පාරවල් දිගේ ඇවිදලා ආයෙත්  අශ්ව ගාලට එනවිට අශ්ව පිටේ ගියපු අය ආවා. මෙතැනදී දුක හිතුණ දෙයක් වුණා. අර මං ගොතා ගෙන අරන් ගිය මෆ්ලර් එක මගේ කරෙන් බිම වැටිලා. ආපහු ගිය මග ගිහින් බැලුවත් හමු වුණේ නැහැ. ඒක දැන් තියෙන්නේ මගේ ඡායාරූප ගොඩේ විතරයි. ඒ ඡායා රූපය දාන්නම්කෝ .

"බුදු අම්මෝ ඔයා නොගිය එකමයි හොඳ ...අපි විලාප තියමින් ගියේ...පුදුම බයක් දැනුණේ " කියලා අන්තිම මොහොතේ අශ්වයකු පිටේ නැගගත් සුමනා ආපහු ඇවිත් කිව්වා. අශ්වයින් පිටේ යන අයට ත්‍රිල් එකක් දෙන්න මේ විදියට මාර්ගය වල ගොඩැලි සහිතව සකස් කර ඇති බවයි වැටහුණේ. ඇතැම් සංචාරකයෝ අසු පිටින් වැටිලා කොඳු කඩාගෙනත් තියෙනවලු. 


  Mall Road හා The Ridge හි දර්ශන






අපි ඉන් පස්සේ ගියා දිවා ආහාරය ගන්න. ආහාර අරන් මද විවේකයකින් පස්සේ නැවත ශිම්ලා වලට ඇවිත් එහි Mall Road , ඒ කියන්නේ ප්‍රධාන කඩ වීදියේ ඇවිදින්න ගියා. අපේ කට්ටිය අවශ්‍ය දේවල් මිලදී ගත්තා. අවසානයේ අපි ආවා The Ridge කියන ස්ථානයට, මෙය  පිහිටා තියෙන්නේ Mall Road වලට ඉහලින්. මෙය විවෘත ප්‍රදේශයක්. බ්‍රිතාන්‍ය යුගයේ තැනුණු ගොඩනැගිලි මෙහි තිබෙනවා. ඉන්දිරා ගාන්ධි ප්‍රතිමාවක් තිබෙනවා. මේ ස්ථානයේ රැස්වීම් ආදිය පවත්වන බව කුමාර් පැහැදිලි කලා. දේශීය හා විදේශීය සංචාරකයන් මෙහි විනෝදයෙන් කාලය ගෙවනවා පෙනුනා. මෙහි කාන්තාවන් ඉතා ලස්සනයි. සුන්දර විදියට ඇඳුම් පැළදුම් අඳිනවා.  අපි කට්ටිය මෙතැනට එකතු වුණා. අපේ කට්ටියේ හිටි කැමරා ශිල්පී පුතා චරිත් එයාගේ කැමරා උපකරණ උස්සන් එහේ මෙහේ දුවමින් හැන්දෑවේ කැමරාශිල්පීන්ගේ රන් පැයේ ප්‍රයෝජනය ගනිමින් ඡායාරුපකරණයේ  යෙදුණා. කෝපි එකක් එහෙම බීලා ආපසු හෝටලයට යන්න තමයි සුදානම් වුනේ. කෑමට මිදී,දොඩම්,ඇපල් ටිකක් ලාබෙට මිළට ගත්තා. චාරිකාවේ තවත් එක දවසක් මෙහෙම ගෙවිලා ගියා.



No comments:

Post a Comment