Saturday, February 2, 2019

චාරිකා සටහන් - Shimla- Manali 03


චාරිකා සටහන් - Shimla- Manali 03

අද එදා නැවතුන තැන ඉඳලා ...තාම ජනවාරි 17 වෙනිදා දිල්ලි ඉඳන් ශිම්ලා යන ගමන අතරමැද අපි ඉන්නේ. එක දිගට ගමන් විස්තරය කියවල ඔබට එපා වෙනවට දැන් මං අපේ ගමන් සගයන් කීප දෙනෙක් ගැන කියන්නම්. ධනංජය සමාගම වෙනුවෙන් අපි සමග ගියේ මනෝජ්. අපි ගැන හොඳින් සොයා බැලූ හොඳ දරුවෙක්. මගේ මිතුරිය සුමනා මිස්. කියන්න වැඩක් නැහැ නෙවෙයි කියන්න වචන නැහැ, ඈ ගැන. මුළු කණ්ඩායමම එක මිටට ග්‍රහණය කරගෙන, සින්දු කියමින්,නටමින් විනෝද සාගරයක ගිල්වන්න ඇයට තියෙන්නේ පුදුම හැකියාවක්. ඒ විතරක් නෙවෙයි ඉන්දීය ඉතිහාය, භූගෝලය ඇතුළු කරුණු අතැඹුලක් සේ ඈ දන්නවා. තව රාගමින් ආපු ඈන් හා ඇගේ පුරුෂ රත්නය නෝමන් හරිම විනෝදකාමී සංචාරයට ලැදි යුවලක්.


Ambala ඉඳලා Chandigarh පැත්තට 45 km විතර ගියහම Panchkula දිස්ත්‍රික්කයට ලඟා වෙනවා. Punchkula වල ඒ නමින්ම සැලසුම් කල නගරයක් ද තිබෙනවා.    Kalka කියන්නේ Panchkula   වල තිබෙන නගරයක්. Panchkular වලින් 15 km ඉදිරියට ගියහම වම් පැත්තේ Pinjore උද්‍යානය හමුවෙනවා. අපි එහි ටික වෙලාවක් නතර වුණා.

මේ උද්‍යානය දැන් හඳුන්වන්නේ Yadavindra  උද්‍යානය කියලයි.  17 වන සියවසේ ඉඳි කරපු එකක්. මෙය පිහිටා තියෙන්නේ හරියානා ප්‍රාන්තයේ,Panchikula දිස්ත්‍රික්කයේ Pinjore නගරයේ. මෝගල් ගෘහ නිර්මාණ ශිල්පය අනුව තමයි ඉඳි කරලා තියෙන්නේ. පසුව නවීකරණය වී තිබෙනවා. මේ උද්‍යානය මහල් 7කටයි නිමවා තිබෙන්නේ. ජල පොකුණු ,ජල උල්පත්ශා හා ශාක වර්ග රාශියක් මෙහි තිබෙනවා. ඒ වගේම මෙහි කුඩා සත්ව උද්‍යානයක්,ජපන් උද්‍යානයක් ,ඓතිහාසික ස්ථාන, පැල තවානක් හා දවස  විනෝදයෙන් ගත කල හැකි තැන් රාශියක් තිබෙනවා.පිටුවහල් කළ පාණ්ඩව සොහොයුරන් මෙහි නවාතැන් ගත් බව හින්දු ජන  කතා වල කියවෙනවා.

මෙහි අවුරුද්දේ ජුලි මාසයේ සිදුකරන Pinjore Mango Festival ඇතුළු උත්සව කිහිපයක් වසර පුරා විවිධ කාලවල සිදුකෙරෙනවා. රාත්‍රී කාලයට අලංකාර ලෙස පහන් දැල්වීම කරන බව අපේ මග පෙන්වන්නා කුමාර් පැහැදිලි කලා. අපි මෙහි ටික වෙලාවක් ගත කරලා ඡායා රූප කිහිපයක් ද ගත්තා.

ඉන්පස්සේ Pinjore සිට නැවත ගමන් ආරම්භ කළා. ධාවන දුර 90km විතර. නමුත් කඳුකර අධික වංගු සහිත මාර්ග නිසා බස් රථය යන්නේ සීමිත වේගයකින්. ගියා ,ගියා ,ගියා ...රැ අට විතර වෙද්දී අපි හෝටලය වෙත ලඟා වුණා. හෝටලයේ නම Royal Regency. හෝටලය තියෙන්නේ ශිම්ලා නගරයෙන් ටිකක් ඈත . Dhalli Bypass, Sanjauli, Shimla  ප්‍රදේශයේ කන්දක් උඩ තියෙන්නේ. කන්ද නැගලා යන්න වුණේ පයින්. හරිම හති මහන්සි දැනුණා, බය හිතෙන තරමට. අනික මුහුදු මට්ටමෙන් හුගක් උඩ නිසාත් හුස්ම ගැනීමේ බර ගතියක් දැනුණා. අපේ ගමන් මලු නම් shuttle service එකකින් උඩට ගෙනාවා. ඔක්කොටෝම වැඩිය අපේ සිත් වසඟ කළ දෙය නම් හෝටලයට යන පාර දෙපස ගොඩ ගසා තිබුණු හිම ගොඩවල්. හිම බලන්නමනේ මේ ගමන ආවේ. Hethro ගුවන් තොටු පලට ගොඩබාන වෙලාවෙදිත්  එක්සත්  ජනපදයේදීත් හිම දැක්කේ  ඇතින් විතරයි. ඉතින් මේ හිම අපි සතුටට පත් කළා. නමුත් ශීතල හම, මස් ඇට තුළින් ඇට මිදුළු වලටම කා වදින තරම් තිබුණා. රාත්‍රී ආහාරයෙන් පසු සතුටු සාමීචියේ යෙදිලා අපි නින්දට වැටුනා. පසුදා කළ ශිම්ලා චාරිකාව ඊ ළග පියවරෙන් .......


(Photo of Hotel from internet)


No comments:

Post a Comment