චාරිකා සටහන් - Shimla- Manali 07
Hadimba Devi Temple
අපේ චාරිකාවේ හය වෙනි දවසටත් උදා වුණා. සුපුරුදු විදියට උදේ ආහාරයෙන් පස්සේ අපි යනවා හින්දු පන්සල් දෙකකට. එකක් Vashist Temple. අපිට ලැබුණු පොඩි වෙලාවේ පන්සලට ගිහින් ඊ ලඟට ඒ හරියේ තියෙන කඩ සාප්පු වලත් ඇවිද්දා. කජු ටිකක් මිලට ගත්තා, ලාබ නිසා. එත් ලංකාවේ කජු වගේ රස නැහැ. ඉන් පස්සේ අපි ගියා Dhoongri නැත්නම් Hadimba Devi පන්සලට. මෙය හිමාලය කඳු පාමුල කඳුකර ප්රදේශයක, කිහිරි (Cedar ) වනාන්තරයක පිහිටලා තිබෙනවා. මෙය මහා භාරතයේ එන භීම ගේ බිරිඳගේ නමින් තමයි හැඳින්වෙන්නේ. මෙය 1553 දී මහරාජා බහදුර් සිංග් විසින් නිර්මාණය කරන ලද එකක්. මෙහි අලංකාර ලී කැටයම් මට සිහිපත් කලේ ඇම්බැක්කේ දේවාලය. රූස්ස ගස් සහිත භුමිය අලංකාර දසුනක්.
හවස් වරුව අපිට තිබුණේ නිදහසේ සැරිසරන්න. මනාලි කඩවීදියේ (Mall Road) ඇවිද්දා. මෙහේ බව්වෝ හරිම සුරතල් පෙනුමක් දරනවා.බූල් පිරිලා , හරි මහතයි. හරිම මිත්රශීලී , photogenic. අපේ කට්ටියේ ප්රභාශි කෙල්ල බව්වන්ට පණ ඇරලා. බිස්කට් කවනවා, අත ගානවා. මාත් ටිකක් ඒ ජාතියෙනේ ...Mall Road එකේ බව්වෝ ගොඩක් හිටිය.
ටික වෙලාවකින් කෙල්ලෝ දෙන්නා මහා විසාල කේක් කැල්ලක් ගෙනත් අපිටත් කැව්වා. පැණිරස පෙරේතයෝ දෙන්නනේ. බිත්තර නොදාපු කේක් ලු! අපි සුමනාට සාරි ගන්න ඇවිද්ද. Kullu shawl ලාබෙට තියෙනවා. මෙන්න ටිකකින් කෙල්ලෝ දෙන්න අතුරුදහන් වෙලා. අපි දෙන්න එක්ක ඉන්න කියලයි තාත්ත උපදෙස් දීල තිබුණේ. දැන් තාත්තත් කලබල වෙලා. ඔක්කොම පැත්තක තියල අපි දෙන්නත් කෙල්ලෝ හොයන්න පටන් ගත්තා. මෙන්න ඉන්නවා ලී පතුරු වල මතක සටහන් එවෙලේම ඇඳලා දෙන තැනක. අනේ මෙහෙම කෙල්ලෝ දෙන්නෙක්.
අපි කෝපි බිව්වා කට්ටියක්ම එකතු වෙලා. ඒ හවස් වරුව ගෙවිලා ගිහින් අපි ආයෙත් හෝටලයට ආවා. එදා හරියට නින්ද ගියේ නැහැ. සැරින් සැරේ ඇහැරුණා. එක සැරයක් රතිඥ්ඥා පුපුරවනවා වගෙත් ඇහුණා. මන් සුමනගෙනුත් ඇහුව ඒ ගැන. එයාටත් ඒ ගැන අදහසක් තිබුණෙ නැහැ. පස්සේ නොදැනීම වෙහෙසට අපිට නින්ද ගියා.
මේ අපේ චාරිකාවේ හත්වෙනි දවස. කොහොම හරි උදේ අවදි වෙලා එළියට බැස්සහම තමයි දැක්කේ මිදුල පුරා පිරිලා තිබුණු හිම ගොඩ. හිම වහලට වැටෙන සද්දේ තමයි රෑ ඇහිලා තියෙන්නේ. අද හුඟක් උදෙන්පිටත් වෙන්න තිබුණා. අපි යන්නේ Chandigarh වලට. Chandigarh දුම්රිය නැවතුම් පළෙන් Shatabdi Express Train එක ගන්න නියමිතව තිබුණා. උදේ පිටත් වුනේ අලුත් හිම උඩ මිසක් තැලුණු හිම උඩ අපේ බස් එකට යන්න බැරි නිසා කියල කුමාර් කිව්වා . 294km දුරක් තියෙනවා, මනාලි සිට Chandigarh දක්වා.
අන්තිමට හෝටලයෙන් එළියට බැස්සේ හිම උඩට. හිමින් අඩි තියමින් බස් එක ලඟට එන කොට තිබුණු වාහන හැම එකක් උඩම හිම තට්ටු පිටින්. එතැනදිත් අපේ ප්රභාශි කෙල්ල හීතලේ ගැහි ගැහී හිටිය බව්වෙකුට බිස්කට් කවනවා. අපි කවුරුත් මනාලි වලට සමු දෙමින් එන්න පිටත් වුණා. අඳුරේම හිම කපා ගෙන බස් එක ඉස්සරහට ඇදුනා. මේ වර පාරවල් හොඳ බව තේරුණා. උදේ ආහාරය ගත්තේ බස් රථයේම ඉඳගෙන. තේ බොන්න නතර කළා. දිගින් දිගටම ගිහින් කුඹුරු යායවල් වැඩි සශ්රීක ප්රදේශයකට ඇතුල් වුණා. ඒ පන්ජාබ් ප්රාන්තය බව කුමාර් කිව්වා. ඒ ප්රාන්තය පොහොසත් බවත් කිව්වා. පන්ජාබ් යන්නේ තේරුම 'ගංගා පහ' යන්නනයි. මේ ගංගා පහ තමයි Jelum, Chenab, Ravi, Bias, and Sutlej. මේවා එකතුවී Indus ගඟ හැදෙනවා. මේ කීපයක් හරහා යන පාලම් අපි පහු කරා .
පන්ජාබ් අවන්හලක (Alpine Dhaba)දිවා ආහාරය ගත්තා. ගත්තා කීවත් අපේ කවිදු පුතාතමන්ගේ වියදමින් අපිට ඒ සංග්රහය දුන්නා. මේ වනවිට වැස්ස වැටෙමින් තිබුණා. මේ අවන් හලේ පන්ජාබ් ප්රාන්තයේ ඉතිහාසයත් ජන ජීවිතයත් පෙන්වන මුර්ති සකස් කර තිබුණා.
දිවා ආහාරයෙන් පස්සේ තවත් පැය කිහිපයකින් අපි Chandigarh දුම්රිය ස්ථානයට ආවා. එය මනරම් තැනක්. ඒ තරම් ලොකු නැහැ. Station එක ගාවදී අපිට බස් එකේ රියදුරුට සහ සහායකට සමුදෙන්න තිබුණා. ඇත්තටම ඔවුන්ගේ සේවය විශිෂ්ටයි. අර තරම් දුෂ්කර මාර්ගවල අපි පරිස්සමින් අරන් ආව එක ලොකු දෙයක්. සහායක තරුණ ළමයත් බසයෙන් නගිද්දී බහිද්දී වයසක අපට හුගාක් උදව් වුණා. අපි ඔවුන්ට ස්තුතිය පළ කර, ඔවුන්ගේ ඉල්ලීමට ඡායා රූපයකට ද පෙනී සිට සමු දුන්නා. දුම්රියෙන් බැස්ස තැන සිට අපට වෙන බස් එකක් ලැබීමට නියමිතව තිබුණා.
ටික වෙලාවකින් අපි දුම්රියට නැග්ගා. දුම්රියේ සුන්දර ගමනත් අපේ චාරිකාවේ අවසානයත් ඊළඟ කොටසින්....
රසවත් චාරිකා සටහන්. මුල ඒවා කියවන්නට බැරි උනා. හෙමිහිට කියවනවා. මා ලංකාවට ගිය වේලේ ඔබ මුණ ගැසීමට නොලැබීම ගැන කණගාටුයි. Mr.D.A.Perera පැරණි SLASME සාමාජිකයින් කිහිප දෙනෙකුට දිවා භෝජනයට ආරාධනා කළා. ඉන්ද්රානිත් contact කර ගන්නට බැරි උනා. කාලෙකට පස්සේ පාලිකා මුණ ගැසුනා. එදා ගත් photogrph එකක් ඊමේල් කරන්නම්. SLASME නැවත ආරම්භ කළ හැකිද යන ප්රශ්නයත් එදා මතු උනා. තීරණයක් ගත්තේ නැහැ.
ReplyDeleteලංකාවේ සිට ආවාට පස්සේ සති දෙකක් පමණ හරිම උදාසීන ගතියක් තිබුණා. ටික දිනක් අසනිපෙනුත් සිටියා. මේ නිසා ලියකියවිලි අතපසු උනා.
චාරිකා සටහන් සියල්ලම කියවලා අදහස් දක්වන්නම්.
ස්තුතියි සර්, මටත් ඔබ හමුවන්න බැරි වීම ගැන කණගාටුයි. නිදුක් නිරෝගී සුව පතමි.
Delete