නව කොරෝනා කියන්න කවුද නුඹ ?
ජීවීත් නොවන අජීවීත් නොවන
ගන්ධබ්බ ස්වරූපයකි නුඹ
විටකදී නිදියගෙන විටෙකදී අවදිවන
නුඹ ඇතුළු පරපුරම මහා වදයකි අපට
නුඹ ඇතුළු හැමදෙනම ඔව් නුඹේ පරපුරම
මේ මිහි මත වසන්නට ආවෙ නම්
පසු කලෙක බව හොඳට තහවුරුය.
ඒ මන්ද නුඹට තනිව අපි නැතුව
කිසිවක් කරනු නොහැකිය.
කන්නට නොහැකිය
බොන්නට නොහැකිය
පරපුර හදන්නට නොහැකිය
හැබැයි වෙනස් වෙන්නට හැකිය
පරපෝෂිත වෛරසය
අප තුළ චන්ඩියෙක් වේය නුඹ
අපේ පිහිටෙන් සිය දහසක්
පැටව් බිහිකර අන්තිමේ
අප විනාශ කර පැන යන්නෙහිය.
පැටව් තව දහසක් දෙන ලෙඩකර
නුඹේ සංසාර චක්‍රය ඉවරයක් නැතුව
නොනැවතී ගෙන යන මහිමය
ඒත් නුඹේ සමහර ස්වරූප
මිනිසාට පැරදුනු බව අමතක ද ?
ඒ නිසා දුන්නු දුක සෑහේය මේ ටිකට
බිලි ගත්ත ජීවිත ද දැන් ඉතින් ඔය ඇතිය
මේ ලොවින් ඈත්වී යන්ට දැන් කල් ඇතිය
ගිහින් කොතැනකට හෝ නිදාගන්නට හැකිය.