බෝනිකි පිරිත් පිංකම
බෝනිකි ගෙවල් - 2 කේ කියල තියෙන පවුල්වල සාමාජික සාමාජිකාවන් ගේ වයස නම් කාලයත් එක්ක වැඩි වුණේ නැහැ. ඒ පවුල්වල දරුවෝ හැමදාම එකම විදියට පොඩියට හිටිය. මේ අයට වෙනත් නෑදෑ ,හිත මිතුරන්ගේ පවුල් වලින් විවිධ උත්සව වලට වලට නිතර ආරාධනා ලැබුණා. ඉතින් මේ පවුල්වල හැමෝම නොවරදවා ම ඒ උත්සව වලට සහභාගී වෙනවා.
මං මේ බෝනිකි උත්සව හා චාරිකා ගැන කතා පෙළ බෝනිකි පිරිත් ගෙදරින්ම පටන් ගන්න තීරණය කළා. පිරිත තිබුණේ විජයවර්ධන පවුලේ ගෙදර. පිරිතට පන්සලට ගිහින් හාමුදුරුවරුන්ට ආරාධනා කළේ ගෙදර ගෘහ මුලිකයා වන චන්දන විජයවර්ධන. එදා ඉඳන් සුජාතට හරියට වැඩ. ගෙවල් අස්පස් කරන්න. අඩු පාඩු දේවල් ගෙන්න.
මෙන්න මෙහම දෙබසක් ඒ දෙන්න අතරේ ඇතිවුණා
චන්දන - සුජා අපි කාටද දැන් ආරාධනා කරන්නේ ?
සුජාතා - නදුන්, සුගත්, නීල් පවුල් තුනට අනිවාර්යයෙන්ම කියන්න ඕන. විශාකා දැනටමත් දන්නවා.
චන්දන - ඒ කොහොමද ?
සුජාතා - මට පාරේදී හම්බවුණා. ඉතින් මං කිව්වා මෙහෙම අදහසක් තියෙනවා කියල
චන්දන - අනේ! අනේ! ඔයාලත් එක්කද රහසේ වැඩ කරන්නේ?
සුජාතා - ඉතින් චන්දන ඒ ගොල්ලනේ අපේ හැම දේටම ඉන්නේ ?
චන්දන - මං නිකන් විහිළුවක් කළේ සුජා . ඒගොල්ලෝ තමයි අපේ ලඟම නෑයෝ. ඒක ඇත්ත.තව කාටද කියන්නේ? නුවර නැන්දට, එතකොට පොල්පිතිගම නැන්දට නොකිය බැහැනේ?
සුජාතා - ඉන්න මං list එකක් හදන්නම්. ඊට පස්සේ ආරාධනා ලියුම් යවමු. කෝකටත් ඔයා ගිහින් ලියුම් කවර ටිකකුයි මුද්දරයි ගේන්න.
(මේ දෙබස සිදුවන කාලයේ සෙල් ෆෝන් තබා ස්ථාවර දුරකථන වත් තිබුනේ නැහැ. තැපැල් කන්තෝරුවෙන් හෝ පොලිස් පණිවිඩයක් විදියට තමයි හදිසිම පණිවිඩයක් පවා යැව්වේ.)
ඊට පස්සේ අවශය යයි හිතෙන හැමෝටම ආරාධනා ලිපි තැපැල් කළා. පිරිත් දවස ලං වෙද්දී විශාකා, රෝස් නිතරම ඇවිත් උදවු කළා. චම්පිකා වෛද්‍ය වරියක් නිසා එයාට එන්න ලැබුණේ නිවාඩු වෙලාවට විතරයි. ගෙදර අස් කරලා අළුතෙන් සුදෝ සුදු දොර ජනෙල් දාල ලස්සන කළා. මේ වැඩ වලට අවට අනිත් පවුල්වල අය උදවු කළා. හුඟක් වෙලාවට මේ අමතර අය මනඃකල්පිතයි. ඇත්තටම ඒ අයගෙන් කිහිප දෙනෙක් නියෝජනයට විතරයි ඇත්ත රෙදි බෝනික්කෝ හිටියේ. එයින් එක්කෙනෙක් තමයි ජේන්. ජේන් දුප්පත් පවුලක කාන්තාවක් . මේ ගෙදරට උදව් කරන්න එනවා. වැඩිහිටි අයගේ දඩි බිඩි වැඩ අස්සේ මේ ගෙවල්වල පුංචි දරුපටවූ ටිකට හරිම සතුටුයි. කට්ටිය එකතුවෙලා සෙල්ලම් කළා . චක්ගුඩු පැන්නා. ටින් කැඩුවා. හැංගි මුත්තම් කළා. කොලපත් ඇද්දා . ඕවා තමයි සෙල්ලං . මොකෝ කාටුන් බලන්නය ? ගේම් ගහන්නය ?
චන්දන සුජාතා දෙපළ තමන්ගේ මෝටර් රථයෙන් වෙළඳ පළට ගිහින් ඕන කරන එළවලු, පළතුරු, මාළු ,පහේ ජාති ඔක්කොම ගෙනාවා . දැන් වගේ එක වහලක් යටින් දේවල් ගන්න සුපිරි වෙළඳ සල් තිබුණේ නැති නිසා ටිකක් ඒ වැඩේට වෙලා ගිය. ජේන් ඇවිත් ඒවා අස් කරලා ,තුනපහ ආදිය වේලල තිබ්බ. ඒවා මිරිස් ගලේ අඹරල ගුලි හැදුවේ පිරිතට කලින් දවසේ.
ඔන්න ඉතින් පිරිතට දවසක් තියල, සාලයේ කොණක පිරිත් මණ්ඩපය කාඩ්බෝඩ් වලින් හැදුවා. කැටයම් කපපු සව් කොළ වලින් සැරසුවා. නා කොල, කොහොඹ කොළ වලින් සැරසුවා . පිරිත් නූල් ලෑස්ති කළා . පිරිත් පැන් වලට වතුර ලෑස්ති කරා . මේ වැඩට දස්සයා තමයි නීල්. එයත් පොලිසියේ ලොක්කෙක් නිසා වැඩ රාජකාරි බහුලයි. ඒත් ඕන වෙලාවට උදව් කරන්නේ නැතුව නම් ඉන්නේ නෑ. සුජාතා හා විශාකා ජේන් එක්ක එකතුවෙලා කැවුම්,කොකිස්, මුං අතිරහ එහෙම හැදුව. දැන් වගේ පිරිත් ගෙවල්වල බුෆේ දාල කන්න දීමක් නෑ. කේටරින් නෑ. පිරිත් අහන්න එන අය ගෙදරින් රෑට කාල එනවා. එහෙම නැති කෙනෙක්ට මේ ගෙවල්වල කුස්සිවල ඕන වෙලාවක බත් වේලක් නම් හිඟ වෙන්නේ නැහැ, දානයක් පිරිතක් තියෙන කොට විතරක් නෙමේ නිකන් දවසටත්.
සුජාතා, වේලාසන පිරිත් පටන් ගන්න කලින් එන අයට තේ මේසයක් දාල ලෑස්ති කරා. ඒ තේ මේසෙ බිබික්කන්(දැන් අපි පොල් කේක් කියන ඒවා ), කැවුම්,කොකිස් මුං අතිරහ, දොදොල්, කෙසෙල් විතරක් නෙවෙයි කඩල ලස්සනට පෙනෙන විවිධ වර්ගවල බිස්කට් තියෙන මැලිබන් බිස්කට් ටින් එහෙමත් තිබුණා. මහ පිරිත ඉවර වෙන කොට හැමෝටම සංග්‍රහ කරන්න ඕන. කෑම බීම ට්‍රේ වල තියල අල්ලන්න ඕන, පිරිත් අහන අයට. කෝපි තමයි බීමට දෙන්නේ. රෑ පැට්‍රොමැක්ස් ලාම්පුව මුළු පළාතටම එළිය දුන්නා.
වත්තේම තියෙන කෝපි ගස් වලින් ඉදුණු රතු පාට ගෙඩි නෙළල, වේලලා ,බැදලා වං ගෙඩියේ දාල කොටල පෙනේරෙන් හලල සුජාතා කෝපි කුඩු ලෑස්ති කරේ සතියකට කලින්. දැන් වගේ නෙස්කැෆේ මැෂින් නැහැනේ. හැබැයි නෙස්ප්‍රේ නම් ඒ කාලෙ ඉඳන්ම තිබුණා. රෑ එළී වෙනකම් සැරින් සැරේ මේ කෝපි සංග්‍රහය කරන්න ඕන. සුජාතා කෝපි හැදිල්ල ජේන්ට බාර දුන්න. කෝපි සංග්‍රහය ගැන බලන්න ගෝරිංට කිව්වා. කොල්ල ගණන් කාරය වුණාට වගකීමක් බාර දුන්නහම ටිප් ටොප් එකට කරනවා.
හාමුදුරුවරුන්ටත් සැරින් සැරේ ගිලන්පස, චතු මධුර එහෙම පිළිගන්වන්න ඕන. වැඩිහිටි මාම කෙනෙක් හාමුදුරුවෝ කියපු උපදෙස් අනුව ඒ ඒ ද්‍රව්‍ය එකතු කරලා කලින්ම චතුමධුර පිළියෙළ කළා. මේව වැළඳුවහම පිරිත් කියන්න කටහඬ මෘදු වෙනවලු.
සුජාතා - දැන් ඔක්කොම හරි නේද විශාකා ...මගේ හිතේ හැටියට හැම දේම හොඳට කෙරෙන්න ඕන.
විශාකා - සේරම හරි සුජා. අපේ ගෙදර ලොකු කාමරේ ඔක්කොම ඇඳවල් ලෑස්ති කරා ලැගුම් ගෙට. එළියේ bathroom හැදුවා හාමුදුරුවරුන්ට.
සුජාතා - අනේ ලොකු දෙයක් විශාකා ඔයා කළේ. මගේ ඔළුව පිස්සු වගේ.
විශාකා - ඕක මොකක්ද ? පින් සිද්ධ වෙන වැඩ ඒවා. අනික යාළුවො ඉන්නේ ඒකටනේ, උදව් ඕන වෙලාවට උදව් කරන්න.
(ඒ කාලෙ පන්සල පිරිත් ගෙදරට ටිකක් දුරින් නම් තියෙන්නේ හාමුදුරුවරුන්ට රෑ විවේක ගන්න ළඟ තව ගෙදරක් ලෑස්ති කරනවා. මොකද සර්ව රාත්‍රික පිරිත් දේශනයකදී හාමුදුරුවරු මාරු වෙමින් තමයි පිරිත් දේශනා කරන්නේ. මේ විවේක ගන්න ලෑස්ති කරන ගෙදරට කියන්නේ 'ලැගුම් ගේ' කියල. ඒ ගෙදර හාමුදුරුවරුන්ට එළිපහළියට යන්න වෙනම තාවකාලික කැසිකිලි හදන්න ඕන. මේවා පොල් අතු වලින් ආවරණය කරලා හදනවා. උදේට හාමුදුරුවරුන්ට දත් මදින්න දැහැටි කූරු ලෑස්ති කරන්න ඕන. ඒවාට ගන්නේ බෝඹු කියන ගහේ කොටු. වැඩිහිටි පිරිමි ඒවා ලෑස්ති කරලා තිබුණ .)
දැන් ඉතින් ඔන්න පිරිත් දවසේ සැන්දෑ යාමය උදා වුණා. විජයවර්ධන ගෙදර එකම කලබලයක්. නෑදෑ හිතවතුන් ටිකෙන් ටික එහි ලඟා වුණා. හැමෝත් එක්කම කතා කරන්නත් ඕන. ආව එකට ස්තුති කරන්නත් ඕන.
සුජාතා - අනේ පොල්පිතිගම නැන්දම්මා, කොච්චර දෙයක් ද ආව එක. පුතා එක්ක ද ආවේ ?
පොල්පිතිගම නැන්දා - ඔව් ,දුවේ නැත්නම් මට බස් වල එන එක කරදරයි නේ?
සුජාතා - එන්න නැන්දම්මා , මල්ලිටත් කියන්න තේ බොන්න කියල. නැත්නම් බත් කන්නත් පුළුවන්. කොච්චර දුර ඉඳන්ද ආවේ ?
පොල්පිතිගම නැන්දා - දැනට තේ ටිකක් බොන්නම් දුවේ.
ඔන්න ඔය විදියට සතුටු සාමීචි කතා අතරේ පිරිත් පටන් ගන්න වෙලාවත් ආවා. හේවිසි ,සේසත් සහිත පෙරහරෙන් හාමුදුරුවරු වැඩම්මෙව්වා. පහන් පත්තු කළා. පොඩි පොඩි පහන් පොල් තෙල් දාල, තිර දාල ලෑස්ති කරේ Event Planners ල. අර තිරය පිටුපස බෝනිකි ගෙවල් මෙහෙයවන කට්ටිය. පිරිත් පොත එහෙම ලඟට ගත්තා ඒ ගොල්ලෝ. මේ ළමයින්ගේ ඇත්ත අම්මත් ආවා පිරිත් අහන්න. එදා අම්ම හරි හොඳයි. සමහර දාට නම් අම්මට තරහ යනවා මේ බෝනිකි 'මගුල් 'වලට. බෝනිකි ගෙවල් කඩල විසිකරලා, පස්සට දෙකක් තුනක් ගහන වෙලාවලුත් තිබුණ.
චන්දන ගෘහ ප්‍රධානියා හැටියට දැහැත් වට්ටිය පිළිගන්වල ලොකු හාමුදුරුවන්ට පිරිතට ආරාධනය කළා. හාමුදුරුවෝ රැස්ව සිටි පිරිස පන්සිල් හි පිහිටුවල, අනුශාසනාවක් කළා , මේ සත් ගුණවත් දායක පවුලේ අගය වර්ණනා කළා. පිරිතේ අරමුණ පැහැදිළි කළා. ඉන් පස්සේ දේවතා ආරාධනය කරලා පිරීත් සජ්ජායනය ආරම්භ කළා. ' නමෝ තස්ස භගවතෝ අරහතෝ .......ඒවං මේසුතං ඒකං සමයං ......'
ඉතින් මේ ළමයි ටික පිරිත් කියල කියල උදේ උනාට පස්සේ චන්දන ඇතුළු පිරිස, හීල් දානය හාමුදුරුවන්ට පිලිගැන්නුව. ඉන්පස්සේ හාමුදුරුවෝ පන්සලට වැඩමවා ගෙන ගියා. නෑදෑයෝ නැවතිලා හිටිය අයත් උදේ කිස සප්පායම් වෙලා ගෙවල් බලා ආපහු ගියා. සුජාතා, විශාකා ,රෝස් , චන්දන ,නීල් , ආදී කට්ටිය අස් පරස් කරන වැඩ කළා. ඔයින් මෙයින් බෝනිකි ගෙදර පිරිත් පින්කමත් නිමාවට පත් වුණා. ඊළඟට බෝනිකිගෙදර උත්සවය මොකක් වෙන්න පුළුවන් ද ?
මේ අත්දැකීම් කියවන්නෙ හරිම කැමැත්තෙන්...
ReplyDeleteගොඩක් ස්තුතියි මිථිල, ඒ වගේම හරිම සතුටුයි මේ කතන්දර වලට තරුණ රසිකයෙක් ඉන්න එක ගැන. ඒක තව ලියන්න මා උනන්දු කරවනවා.
Deleteඅපේ ගම්වල ඒ කාලයේ පවත්වනලද චාම් උත්සව මේ අමුතුම ශෛලියෙන් ඉදිරිපත් කිරීම හරි අගෙයි වැඩිහිටියන් වගේම දරුවොත් මේවා කියවනවානම් හොඳයි.
ReplyDeleteකොමෙන්ටුව සඳහා ස්තුතියි ඔබට. මේ කතා පෙලේ බොහෝ දේ අප අත්දැකීම් වේ.
Delete