Monday, May 18, 2020

බෝනිකි ගෙවල් 4 - බෝනිකි පවුල්වල වටපිටාව



                                                
මං ඊළඟට කියන්න හිටියේ බෝනිකි නුවර පෙරහැර බලන්න යාම උනත් හදිසියේ අදහස වෙනස් වුණා . මොකද දන්නවද ? අපේ බෝනිකි ගෙවල් කතා පෙළ ඉස්සරහට යන්න කලින් කතා නායකයෝ ,ඒ කියන්නේ අර ළමයි හතර දෙනා 👩‍🦰👩👩‍🦱🧑 ජීවත්වුණු වටපිටාව ගැන කරුණු ටිකක් කියන්න තියෙනවා. මොකද බෝනික්කන්ගේ සියළු ගමන්, බිමන් ,උත්සව කෙරුණෙ ඒ සීමාව ඇතුළෙ විතරයි. නුවර,කොළඹ,පොල්පිතිගම ආදී හැම තැනක්ම තිබුණෙ මේ සීමාවේ. ඔක්කොම මනඃ කල්පිත නිර්මාණය වුණේ මේ සීමාව ඇතුළෙ. ඒ නිසා අද මං ඒ විස්තරය අද ඉදිරිපත් කරනවා. 

ඇත්තම කියනවා නම් මේ ළමයි හතර දෙනාගෙන් කවුරුවත් නුවර පස් පාගල වත් තිබුණෙ නෑ . හැබැයි මේ බෝනිකි ගොල්ලෝ නුවර එළියේ යනවා කියල නම් යන්නේ අර උන්නක්කගේ   ගමේ. ඒ කියන්නේ මේ ළමයින්ගෙ ඇත්ත තාත්තගෙ ගමේ. සුදු නෝනා විතරක් කොළඹ ගිහිල්ල තිබුණ. එයාට අනුරාධපුරෙත් යන්න අවස්ථාව ලැබිල තිබුණ. එයින් එක අවස්ථාවක මහා භයානක අත්දැකීමකටත් මුහුණ දෙන්න වෙලා තිබුණ. 

ඒ තමයි අනුරාධපුරේ මාමණ්ඩි හා පවුලේ අය එක්ක අනුරාධපුරේ යද්දී කාරෙක ,බලපිටියේදී කම්බි පොටවල් හයකටත් උඩින් ගිහින් පොල් වත්තකට පැනල රෝද හතර උඩ පැත්තට හිටින්න පෙරළුණ. රියදුරුට නින්ද ගිහින්ලු. ඒ වෙලාවේ වන්දනාවේ  යන බස් එකක්  නතර කරල ඒකෙ හිටිය මිනිස්සු  එකතු වෙලා ඇතුළෙ හිටපු ප්‍රාණීන් ඇදල අරන්. මුලින්ම මේ සුදු නෝනයි මාමගේ පොඩි දුවයි අරන් තියෙන්නේ. වීදුරු කටු වලට පොඩි හීරීමක් මිසක් කිසිම තුවාලයක් නෑ ඒ දෙන්නට. තව ඇතුළෙ හිටිය නැන්දෙක් ගේ බෙල්ල කැපිල ලොකු තුවාලයක්. මාම බැඳපු නැන්දා අට මස් ගැබිනියක්. මාමටත් තුවාල. ඒ අතරේ මාමගේ මුදල් එක්ක බෑග් එක නැතිලු. මාම කියල බස් එකේ හැමෝම පරීක්ෂා කරන්න ඕන කියල. එතකොටම බස් එකෙන් බිමට බෑග් එක විසිකරලා ඇතුලේ හිටපු කෙනෙක්. ඒ කාලෙත් අපේ රටේ හැටි එහෙම තමයි. වන්දනාවේ ගියත් හොර හිත අඩුවක් නැහැ. ගොඩක් පහු වෙලා තමයි දැනගෙන තියෙන්නේ සුදු නෝනගේ කරේ තිබුණු පවුමේ රත්රන් දම්වැල් පොට හා පෙන්ඩනයත් නැති බව. අන්න එහෙමයි ඒ කාලෙත් අනුකම්පාව ඇතුළෙ භුමිකම්පාවත් තිබිල තියෙන්නේ. 

ඉතින් ඊට පස්සේ තුවාල කාරයෝ කට්ටිය වෙන කාර් එකකින් බලපිටිය රෝහලට අරන් ගිහිල්ල තියෙනවා. එතැනදී ප්‍රතිකාර කරගෙන කොහොම හරි ගමනාන්තයට ගිහින්. කාටවත් ලොකු කරදරයක් නම් වෙලා නැහැ. නැන්දට ඉක්මණින් දරුවා ලැබුනලු. ඊට පස්සේ මේ සුදු නෝන ළමය වාහනයක යන්න බය වෙලා කාලයක් යනකම්. වාහනයක නැග්ගොත් කෑ ගහනවලු. දවසක් පාසල් යනකොට කෑගහල 'බස් එක පෙරලෙයි කියල. ඉතින් රියදුරු බස් එක නවත්තල පොඩි ළමයෙක් කියන දේ ඇත්තක් තියෙන්න පුළුවන් කියල බස් එකත් පරික්ෂා කරාලු. 

මේ ළමයි හිටපු ගෙදර ගැන නේ මං කියනවා කිව්වේ. මේ ගේ පිහිටලා තිබුණේ ගාලු නගරයේ ඉඳල සැතපුම් තුනක් ගිය තැන වම් පැත්තෙන් මැටි පාරක් දිගේ ඇතුළට ගියහම තිබුණ අක්කරයක පමණ වත්තක් මැද. පාර කෙළවර වෙන්නේ ගෙදර ඉස්සරහ තිබුණු වැලි මිදුලෙන්. හැම උදේම මේ වැලි මිදුල රටා තියල අතුගාන්න මුත්තන්ඩි අමතක කළේ නැහැ. ඊට කලින් පාරට දකුණු පැත්තෙන් පොඩ්ඩක් පහළින්  කප්පියෙන් වතුර අදින වතුර බොන ලිඳ තිබුණා. ලිඳ ලස්සනට බැඳලා ළිං මිදුලක් එහෙම හදල තිබුණේ . ලොකු වැහි වහින කාලෙට අතින් ගන්න පුළුවන් තරමට වතුර පිරෙනවා. 

ගෙදර මිදුළේ වම් පැත්තේ ලොකු වයස් ගත කොස් ගහක්. වරක ගහක් උනාට වරක රස නැහැ. 
අර ඉස්සෙල්ලම හමුවෙන ළිඳේ ඉඳල දකුණු පැත්තෙන් අඩි තුනක අඩි පාරක් තිබුණා. ඒ විදියට මොන හේතුවකට වත්ත අයිනේ පාරක් තිබුනද කියල හැඟීමක් නැහැ. මේ පාරේ මුල් හරියේ දකුණු පැත්තෙනුත් තේ වත්තක් තිබුණා. ඒක අවසන් වෙන්නේ ප්‍රධාන මාර්ගයෙන්. මේ තේ වත්තේ එක තීරුවක කප්පාදු නොකර පවත්වාගන්න උස තේ ගස් තිබුණා. මේවායේ සුදු පාට මල් හා තේ ගෙඩි පිරිලා තිබුණා. මේ තේ ගෙඩි ඇතුලේ ඇට තියෙනවා. ඒ ඇට පැල කරලා තමයි අලුත් තේ පැල හදා ගන්නේ. දැන් වගේ ක්ලෝන හෝ තේ අතු පැල කරන ක්‍රමය තිබුණේ නැහැ. මේ තේ ගෙඩි වල ඇට තමයි බෝනිකි ගෙවල් වල පොල් විදියට ගත්තේ. ඒවා පොල් වගේ ගාන්න පුළුවන්. තෙල් අධිකයි. 

අඩි පාරේ  දිගටම යන කොට දකුණු පසින් පුවක්,ඩොන්ග වගේ ගස් එක්ක බඩවැටියෙන් වත්ත මායිම් වුණා. රවුම් කොස් ගෙඩි හැදෙන කොස් ගහකුත් තිබුණා ඩොන්ග ගස් හුඟක් තිබුණා. ඉදුණු ඩොන්ග මදුළු ඇට පිටින්ම ගිල දානවා.  පසු දාට කක්ක හිරවෙලා යවා ගන්නත් අමාරු වෙනවා. බඩ වැටියෙන්  පහළ හැමදාමත් වතුර ගලා යන දිය අගල. අඩි පාර අවසන් වෙන්න ලං වෙනකොට එගොඩ වැවේ වත්තට යන්න ඒ දණ්ඩක් තිබුණ. ඒකෙන් ගොඩවෙලා පොඩ්ඩක් ඉස්සරහට යනකොට නාන පොකුණු දෙකක් තිබුණ. මේවායේ වතුර මොන තරම් පෑව්වත් හිඳෙන්නේ නැහැ. අර අඩි පාරෙ වැඩියෙන් ගියේ මේ නාන පොකුණු වලින් නාන අය . ඒ දණ්ඩ තියෙන තැනින් වම් පැත්තේ කොහිල ගාලක් තිබුණ. ඒ හරියේ පුවක් ගස් අතරේ තිබුණු හල් ගහ සුවිශේෂී වෙනවා. පොල්, කිතුල් මදින අය ඒවා රා වෙන එක නවත්තන්න මුට්ටියට දාන්න හල් පොතු අරන් යනවා. කොහිල ගාලට ඔබ්බේ මේ ළමයින්ට අයිති නාන පොකුණ තිබුණ . එහි තුන් පැත්තක් කන්ද කැපූ බිත්තියෙන් වටවී තිබුණ . ළිං මිදුල සිමෙන්තියෙන් බැඳලා තාප්පයකින් වට කරලා තිබුණේ. මේ ළමයින්ගේ මුත්තන්ඩි මෙහෙම හදල තිබුණේ ගැහැණු ළමයි නාද්දී කාටවත් නොපෙනේන්නලු. එකල  ගෙදර හිටි එකම ගැහැණු ළමය ඇත්ත අම්ම විතරයි.  මේ ළමයි ඉපදුණේ පස්සෙනෙ ? නාන පොකුණට ගෙදර ඉඳල යන පාරේ වැල ගස් කිහිපයක්ම තිබුණා. වැල ඉදුනහම කෙක්කෙන් කඩල බිමට අරන් ගෙඩිය හිල් කරලා අත දාගෙන ඇද ,ඇද කනවා. සමහර වෙලාවට මේ වැල මදුළු වල ඒ පාටටම පණුවෝ ඉන්නවා. පණුවෝ සිරි සිරි ගාල ඉන්නවා දකින්නේ ටිකක් කෑවටත් පස්සේ. දකුණු පැත්තේ බිලිං ගහයි ,මැන්ගුස් ගහයි තිබුණා . අත්තම්ම ඉඳ හිට බිලිං අච්චාරු හැදුව. මිදුල වටේ ගානට කප්පාදු කරපු වදමල් වැටක් තිබුණා . තව පේර , නාරං වගේ ගස් ගේ වටේට තිබුණා . 
බොහෝ කාලවලට ලිඳ වටේටත් ලිඳ අවටත්  දියබල්ලන් මළ පහ කරලා ලිඳ ඉහින්න වෙනවා. එහෙම පිරිසිදු කරන කම් ලිඳේ නාන්න වෙන්නේ නැහැ. අනික් වතුවල ළිං වලට ගිහින් නෑම මුල් කාල වල මදිකමක් ලෙස සැලකුව. වැවේ වත්තේ ළිං වලටත් මේ වත්තේ නාන පොකුණටත් ඉහළින් කඳු ගැටයේ රබර් වතු යායක් තිබුණා . එහි අයිතිකරු ආරිය සිංහල ඇඳුම අඳින හීන්දෑරි උස ව්‍යාපාරික මහත්මයෙක්. ඔහුගේ බාල දුව පසු කලෙක හිච්චි නෝනගේ පන්තියේ ඉඳල තියෙනවා. ඒ ළමයි ඉංග්‍රීසි පමණක් කතා කරන බවත් ගෙදරදී ගුවන් විදුලියේ ඉංග්‍රීසි සේවය පමණක් අහන බවත් ඈ කිව්වා . රබර් වත්ත බලා කියා ගන්නා අයගේ නිවාසය නාන පොකුණු වලින් මදක් ඉහළට නැග්ගහම තිබුණා. කඳු ගැටය වම් පසටද විහිද ගොස් තිබුණේ තේ වතු යාය ආරම්භ කරමින්. එය ගමේම සිටි ව්‍යාපාරික මහතෙකුට අයිති වෙලා තිබුණා. වත්ත බලාකියා ගත් දරු පවුල ජීවත් වුණු  නිවස හරියටම පිහිටලා තිබුණේ මේ ළමයින්ගේ වත්තේ ඉහළ සීමාව ළඟ. වත්ත අවසන් වුණේ ප්‍රධාන පාරෙන්. මේ විදියට මේ ළමයි ජීවත් වුණු ගෙදර වතු වලින් වටවෙලා තිබුණා. තේ වත්තේ කම්බිපොට පොඩ්ඩක් උස්සල ඒකට ඇතුල් වුණහම වත්ත පුරා කරක් ගහලා කන්ද මුදුනටම නගිනවා. එතැන ලොකු කළුගල් දෙකක් තිබුණා. ඒවාට නැගල ඉදිරිය  බැලුවම තමයි ගාලු කොටුව හා මුහුද පෙන්නේ. 

තේවතු යායට මායිම්වූ වත්තේ අයිනේ තිබුණු ගොරක ගස් දෙක හරි විශාල ඒවා. පහත අතුවල හැදෙන ඒවා ඉදුනහම නම් මේ ළමයි කෙක්කෙන් කඩල මද ගලවන් කනවා. වත්ත පිරිසිදු කරන්න එහෙම එන හැන්ඩි මාමට කියල අත්තම්ම උඩ අතුවල ගෙඩි කඩව ගන්නවා. මද ඉවත් කර දුම් මැසි බැඳලා ඒවායේ දාල ගොරක වේලනවා. වැඩිපුර ඒවා වරින් වර විකුනනවා. ගොරකා මද අත්තම්මා කුල්ලේ පිටුපස ගාල වේලෙන්න තියනවා. 

 ගොරක ගස් දෙකත් එක්ක උඩින් තේ වගාවක් මේ ළමයින්ගේ වත්තෙත් තිබුණා. නමුත් තේ දළු කැඩීමක් නම් කළ බවක් මතක නැහැ. මේ වත්තේ ප්‍රධාන බෝගය වුණේ පොල්.
. පොල් කඩන දාට ඒ කඩන තැනැත්තා එක එක ගහට නැගල පොල් බිම දාල 'දහයයි,දොළහයි ' වගේ ගණන් කියන කොට ටිකක් ලොකු ළමයෙක් පොතක ඒ ගණන් ලියනවා. ඊට පස්සේ පොල් ගෙඩි එකතු කරලා ගණන් කරලා පොතේ ගණන එක්ක සසඳලා බලනවා. ඒකත් විනෝද වැඩක්. සමහර දාට පොතේ ගණනට වඩා එකතුව අඩු වෙනවා. පොල් එහෙ මෙහෙ හැංගිලා තිබිල පස්සේ හම්බ වෙනවා. 

හොඳට වේලිච්ච පොල් තෝරලා වරින් වර ගෙදරම පොල් තෙල් හිඳිනවා. අහළ පහළ ගෙවල්වල හිතවත් කාන්තාවන් ඇවිත් අත්තම්මට පොල් ගාල දෙනවාසුදු නෝනා  යන්තම් ඇටෙන් පොත්තෙන් තේරෙන වයසේදී, පොල් ගාන්නයි, පොල් අතු වියන්නයි පුරුදු වුණා. දවසක් පොල් ගෙඩි අටක් ගෑවලු අර ගැහැණුත් එක්ක හරි හරියට. ඊට පස්සේ ගොඩක් කල් පොල් ගෑම එපා වෙලා හිටියලු. ආත්තම්මා නම් කිව්වේ ඇස් වහ වැදිලා කියලයි.

ඊළඟට ලොකු ලිප් බැඳලා මේ ගාපු පොල් වතුර දාල තම්බනවා. නිවුනහම මිරිකල කිරිජ්ජ ගන්නවා. කිරිජ්ජ ආපහු ලිපේ තියල හින්දවනවා. එතකොට තෙල් මතුවෙන්න පටන් ගන්නවා. ටිකක් හින්දවල නිවනවා. හිල් පොල් කට්ටක් දාල ඒකෙ තෙල්වලට යටින් තියෙන කිරිජ්ජ පොල්කටු හැන්දෙන් භාජනයකට අයින් කරනවා . මේවට හුනුසහල් දාල කැඳ හදල බොනවා. වැඩිපුර ඒවා අහක දානවා.  හැකි තරම් අයින් කරලා ආයෙත් ළිපේ තියල හින්දවනවා . දැන් ළිපේ තියෙන හට්ටියේ සුවඳ හමමින් රන්වන් පාට පොල්තෙල් හැදෙනවා. නිවුනහම බේරලා බෝතල්වල අහුරනවා. හට්ටි පතුලේ තෙල්ක ඉතුරු වෙනවා. ඒවත් කන්න පුළුවන්. පැණි රසයි. 


                                              
පොල් විකිණීමෙන් ආත්තම්මා සල්ලි හම්බ කළා. ඔන්න පොල් හිඟ කාලයක් ආවලු. ගෙදර කෑමට පොල් ගෙඩි දෙක තුනක් ගෙයි මුල්ලක තිබුනලු. 
'හාමිනේ හාමිනේ පොල් තියේද ' කියල කාන්තාවක් ඇවිත් ඇහුවලු. ' අනේ නෑ මැගියෝ ...මේ දවස්වල පොල් නෑ . තියෙන එකක් කඩව ගන්න කෙනෙකුත් නෑ ' කියල ආත්තම්මා කිව්වලු. ඔන්න මොකද්ද වුණේ කියල දන්නවද ? මේ පොඩි සුදුනෝන කෙල්ල අර ගෙයි මුල්ලේ තිබුණු පොල් ගෙඩියක් උස්සගෙන ඇවිත් 'මේ තියෙන්නේ කිව්වලු.' ආත්තම්මට පොළව පලන් යන්න හිතිලා. මොකද බොරු කියන පුරුද්දකුත් නැහැනේ. පොඩි දරුවෝ අවංකයි. එයාලා ජීවත් වෙන්නේ සැබෑ ලෝකේ. 

පොල් අතුත් ආත්තම්මගේ සහ ඊට පස්සේ ඇත්ත අම්මගේ ආදායම් මාර්ගයක්. අර කොහිල ගාලේ පොල් අතු පෙගෙන්න දාන්න ඕන. ඒක කරන්නේ මුත්තන්ඩි. පෙඟුනට පස්සේ මැද නාරටිය දිගේ මන්නයෙන් දෙකට පලනවා. ඊට පස්සේ බිම ඇණ තියන් හරි බංකු පොඩ්ඩේ ඉඳන් හරි පොල් අතු භාගයේ මුල දකුණු කකුලේ මහපටැන්ගිල්ලට තද කරන් පොල් අත්ත වියනවා. වියලා ඉවරවෙලා දෙපැත්ත ගැලවෙනවට වියමනක් දානවා . ඒකට කියන්නේ පලේ දානවා කියල. ඊළඟට මේ වියපු පොල් අතු වේලෙන්න දානවා. වේලුනට පස්සේ මඩුවේ ගොඩ ගහනවා. පොල් අතු මිලදී ගන්න වෙළෙන්දොත් ගමේ ඒවා ඕන කරන අයත් එනවා. සමහර ගෙවල්, කුස්සි, මඩු එහෙම පොල් අතු වලින් තමයි හෙවිල්ලා තිබුණේ. අර වෙළෙන්දෝ එකතු කරන පොල් අතු කරත්තවල පටවල උඩරට පැත්තේ ගෙනියනවා වෙලදාම් කරන්න. උදේ පාන්දර සීතල සුළං පාර කපාගෙන තවලම යන හඬ දැන් අහන්න වත් නෑ නේද? එකල එය කණට හොඳට පුරුදුයි.  

අර රබර් වත්තට මායිම් වූ සීමාවේ නාන පොකුණට උඩින් පොලවේ මොන තැනක් හෑරුවත් වතුර උණනව. ඉතින් පොඩි වලවල් හාරල ඒවා බෝනිකි ලිඳ වල් විදියට ගන්නවා. 

මේ බෝනිකි ගෙවල් තිබුණ ගෙදර සැලසුම මෙහෙමයි. මුලින්ම හුඩ් එකෙන් ඇතුල් වුණහම මිටි තාප්ප දෙකක් දෙපැත්තේ තියෙන ඉස්තොපුව. ඉස්තොපුවේ වම් පසින් ඇතුල් වුණහම දිග කාමරය. මේ කාමරයේ විතරයි වීදුරු දොර ජනෙල් තිබුණේ . මොකද මේක ගෙට පස්සේ එකතු කරපු කොටසක්. මේ කාමරයෙන් කෙලින්ම ඇතුළු වෙන්න තිබුණෙ පිටුපස කොරිඩෝවට එතැනින් අලුත් කුස්සියට. ඒකෙ ඉවුම් පිහුම් කෙරුණෙ නෑ. ඒ නිසා ඒකත් බෝනිකි ගෙවල් හදන්න යොදා ගත්ත.  දිග කාමරයෙ  තමයි ගොඩක් වෙලාවට බෝනිකි ගෙවල් හැදුවේ. ඉස්තොපුවේ මැද ඇතුල් දොරෙන් ගියහම මැද සාලය. එයින් දකුණු පැත්තේ කාමරයක්. සාලයේ බෝක්කුවක් තියෙනවා. එහි උඩ ලස්සනට මිදී පොකුරු කැටයම් කරලා තිබුණා. එතනින් ඇතුල් වුණහම බරාඳය. බරාඳය දකුණෙන් කාමරයක්. ඒක ආත්තම්මාගේ කාමරය.  කාමරය ඇතුළේ කෙළවරෙන් සොල්දරයට නගින ලී පඩිපෙළ. ඒකෙන් නැග්ගහම ලී සොල්දරය. බරාඳය වමෙනුත් අර දිග කාමරයට යන්න පුළුවන්. ලොකු ගේ බිම ඒකාලේ තිබුණු ටෙරා කොට්ට ජාතියක් අල්ලලා තිබුනේ. ඒවා අතරේ සිමෙන්ති කුස්තුරයක් තිබුණා. පොළව හේදුවට පස්සේ වේලෙන්න ඇරලා අර කුස්තුර හුණු වලින් පාට කිරීම විනෝද වැඩක්. ඉස්තෝපුවේ ඇඳි පුටු කිහිපයක් හා ටීපෝ එකක් තිබුණා. සාලයේ පුටු සෙටියක් තිබුණා. තව ඇඳි පුටුත්, බෝක්කුව යට සයිබෝට් කියන මිටි කබඩ් එකකුත් තිබුණා. ඒක තිබුණේ මැද සාලයයි බරාඳයයි අතරේ බෝක්කුව යට. ඒක උඩ රේඩියෝ එකයි ඒකෙ බැටරි එකයි තියල තිබුණා .සොල්දරයට නගින පඩිපෙළ ඉස්සරහ ලොකු ලී පෙට්ටගම. පඩිපෙළ පිටුපස අත්තම්මගේ වටිනා කියන බඩු තියෙන ගබෙත්තුව කියන පෙට්ටිය තිබුණා. ඉඳ හිට අත්තම්මට හොරෙන් මේ ගබෙත්තුව ඇරලා බලන එකත් ලොකු විනෝදයක් වුණා. තව මෙතන තිබුණා බිත්තියට සවි කළ බෙහෙත් බෝතල් තියෙන රාක්කයක්. මේකේ දේවල් අල්ලන්න, බෝතල් අරින්න තහනම් කරලයි තිබුණෙ. ඒත් ඒ එපා කියන දේවල් නොකරම ඉන්න මේ ළමයි කැමති වුණේ නම් නැහැ. 

බරාඳය ඉදිරියෙන් තියෙන දොරෙන් ඇතුල් වෙන්නේ දකුණු පැත්තෙන් එළියට  ලී ගේට්ටුවක් තියෙන කොරිඩෝවකට. එයින් ඉදිරියේ කෑම සාලය .කෑම සාලයෙන් දකුණු පැත්තේ ගබඩා කාමරය. වම් පැත්තේ කුස්සිය. කුස්සියේ උළුවස්සට පේන්නම ඉදිරියේ බිම ලිප්ගල් තබා හදපු ලිප් දෙක. ලිප් දෙකට උඩින් දුම් මැස්ස. දුම් මැස්සට උඩින් තට්ටු දෙකකට දුම බැඳලා තිබුණා. දුම් බැඳිලා බිත්ති හා දුම කළුම කලුයි. අර ගමය ඇවිත් 'යකෙක් කන්න බඩගිනියි' කියන කොට යකා හැංගිලා හිටිය දුම්මැස්ස මතක් වෙනවා මේක දැක්කම. ගොරක,ගම්මිරිස්, කෝපි, කරවල,උම්බලකඩ,අටු කොස්, අටු දෙල්  විතරක් නෙවෙයි කැවුම් කොකිස් හදන කාලෙට ඒවත් මුට්ටිවල දාල කට කඩදාසියකින් බැඳලා තැන්පත් කරලා තියන්නේ මේ දුමේ. පැණි මුල් ඒ කියන්නේ කොළපතක් නවල ඒකෙ පැණි දාල තියෙන මුල් එල්ලන්නේ දුමට යටින්. කාලයක් තිබුනහම මේවායේ වැලි හකුරු මිදෙනවා. හරිම රසයි ඒවා.  තව නිතරම ඕන වෙන්නේ නැති වළන් නවල තිබුණෙත් දුමේ. සමහර කාල වලට දුමේ දැලියෝ කියල පොඩි කැරපොතු වර්ගයක් හැදෙනවා. උන් පළවා හරින්න ග්ලිරිසීඩියා ගහේ මල් කිනිති දුමට දානවා. තේ වත්තේ ඕන තරම් ග්ලිරිසීඩියා ගස් තියෙනවා. කාලෙකට ඒවායේ රෝස පාට මල් කිනිති පිපෙනවා. 

අර ලී ගේට්ටුවෙන් එළියට බැස්සහම කක්කුස්සියට  යන පඩිපෙළ තිබුණා. කක්කුස්සියට යන්න කලින් වම් පැත්තේ ලොකු පැණි වරක ගහ. මේකේ වරක රසම රසයි. සමහර දාට මේකේ කොස් කෝච්චියෙන් අනුරාධපුරේටත් යවනවා. එහෙට යනකොට වරක වෙලා.  අද වගේ ගෙවල් ඇතුළේ වැසිකිළි තිබුණේ නැහැ. වතුර බාල්දියකුත් අරන් පඩි පෙළ නැගල එතෙන්ට යන්න ඕන. ලෙඩ උන කෙනෙකුට පිස් පෝච්චිය දෙනවා. ඒකෙ එකතුවෙන ඒවා වැසිකිළි වළට දානවා. පොඩි එවුන් නම් හෙළුවෙන්ම දුවගෙන ගිහින් වැඩේ කරලා ගේ ලඟට ඇවිත් බිම වාඩි වෙලා පස්සට වතුර දම්මවා ගන්නවා ලොකු කෙනෙකුට කියල. සමහර වෙලාවට බිම කඩදාසියක් දාල ඒකට වැඩේ කරහම ඒක කහළ ගොඩට දාල පස් ටිකක් දාන වෙලාවලුත් තිබුණ. පස්සේ කාලෙක පොඩි ජල මුද්‍රිත වැසිකිළි ලැල්ලක් බෙදා දීල ඒකෙන් ගේ අසල පොඩි වැසිකිළියක් හැදුව. ලී ගේට්ටුවෙන් එළියට ඇවිත් දකුණට හැරුනහම ඒ එක්කම ලොකු පොල් අතු මඩුවක් තිබුණ. ඒකෙ තමයි , බෙහෙත් වංගෙඩි, බෙහෙත් ගල්, අබලි දේවල් එහෙම තියල තිබුණෙ. 

මේ වත්තේ කොස් ගස්ම  පහළොවක් විතර තිබුණානේ. ඉතින් කොස් කාලයට අටු කොස් දමන එක නම් වරදින්නේ නැහැ. ආත්තම්මා හොඳට පැහුණු කොස් කඩවනවා . තැලෙන්නේ නැති වෙන්න කඹයක් දාල ගහෙන් බාන එක තමයි කරන්නේ. කොස් කටු ගහල, මදුළු ගලවල ,ගලවල ඇට අයින් කරලා ඒවා වෙනම එකතු කරනවා. කොස් මදුළු දික් අතට ඉරනවා. වතුර මුට්ටියක් ලිපේ තියල ඒක රත් වෙනකොට කොස් මදුළු ඒකට දාල මිනිත්තු කීපයක් තියල ගොඩ අරන් වතුර බේරෙන්න කිරිගොටු වලට දානවා. ඊට පස්සේ තද අව්ව තියන මිදුලේ පැදුරු එළලා කොස් මදුළු ඒවා උඩ අතුරලා වේලනවා. හැන්දෑවට අකුළල ගෙට ගන්නවා. මේ විදියට හොඳට වේලල මුට්ටිවල අහුරලා කටට කඩදාසියක් ගැට ගහල දුමේ තියනවා. කොස් ඇට වරකා, වැල  කැවහම එකතුවෙන ඒවායි, කන්න බැරි තරම් වෙනකොට නිකම්ම ඇට පන්නල ගන්න ඒවායි ඔක්කොම හෝදලා හොඳට වේලනවා. ඊට පස්සේ මඩුවේ ලොකු වැලි ගොඩවල් වල යට කරලා වැලි කොස් ඇට දානවා. කොස් හිඟ වාරෙදි මිනිස්සු ඇවිත් මේවා සල්ලිවලට ගන්නවා. ආත්තම්මාගේ ගබෙත්තුවට සල්ලි යන එක ක්‍රමයක් තමයි ඒක. බැංකු කියන එක අහල වත් නෑ.  
තව චීන පේර , රතු ජම්බු, පිනි ජම්බු ගස්  මේ වත්තේ තිබුණ. ඉහළ මායිමේ ලොකු වෙරළු ගහක් තිබුණ. ගේ පිටිපස්සේ තිබුණු කණ්ඩියේ බිම් ගෙයක නටබුන් තිබුණ. ඒ දෙවන ලෝක යුද්දේ කාලේ හැංගෙන්න හදපු බිම් ගෙයක්ලු. 

මෙන්න මේ වගේ වටපිටාවක තමයි මේ ළමයින්ගේ👩‍🦰👩👩‍🦱🧑අපූරු බෝනිකි ගෙවල් සෙල්ලම නිර්මාණය වුණේ. 


4 comments:

  1. මිනිස්සුන්ගෙ අර හොර හිතනන් වෙනස් කරන එක ලේසි පහසු දෙයක් නෙමේ... බෝනිකි ගෙවල්වල කතා එන්න එන්නම රසවත් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිථිල, ඊ ලඟට එන්නේ බෝනිකි කතා පෙළ තමයි. ඒ ගොල්ලන්ගේ චාරිකා, උත්සව, දුක සැප මේ දේවල්...

      Delete
  2. මාලිනීගේ මේ බෝනිකි කතා වලට මුල්වී ඇති පැරණි ගෙදර ගැන කියවන විට අපේ මහ ගෙදර මැවිලා පෙනෙනවා. දැන් ඒ ගෙදර නැහැ. එතන නව පන්නයේ ගෙයක් හැදිලා. ගෙදර කාමර කුස්සිය මැද්දේ බෝක්කුව වත්තේ ගහකොළ කම්බි වැට, නාන ලිඳ ආදී සියල්ලම මෙහි විස්තර කර තිබෙන දේවල් වලට බොහෝ සමානයි. තව ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ කොමෙන්ටුවට. එකල තිබු ගෙවල් සැලසුම් මේ වගේ නේ. අපේ තාත්තගේ පැරණි මහ ගෙදර මට සිහි කරන්නේ කයිසාරුවත්තේ මුහම්දිරම්ගේ ගෙදර. දැන් ඒ ගෙදරත් නැහැ. මල්ලි එතැන නවීන පන්නයේ ගෙයක් හැදුව. මේ කතාවේ එන ගෙය නම් ඒ විදියටම තාම තියෙනවා.

      Delete