Sunday, December 25, 2022

ළපටි

 








ළපටි

කිංකිණි සිනා නද
කෙළිදෙලෙන් නගන
කෝමල කතා බහ මැද
සෙල්ලම් පිටියකි එදා
තිබුණෙම මුළු ගෙදර
නැත උච්චාසන මහාසයන
ලී පුටු හතරකි තිබුණ
වරින් වර පිරියම් කරන
හරවා අනෙක් පස
වසා සරසා සාරි වලින්
සැදුනේය සොඳුරු මන්දිර
කුමර කුමරියන් මන්දිර තුළ
මීවන හාල් මැස්සන්
සුනු සහල් බතට කදිමට
වදමල් සිසිල් පැන්
පුරවා බෝතල් වලට
වෙන කුමට රස බොජුන්
නිදා ගත්තේ තනා සිරි යහන්
කොට්ට මත ඇඳ රෙදි එළාගෙන
මන්දිර තුළ අතොරක් නැතුව නිතර
තිබුණත් මිහිරි තුටු පහටු අන්දර
අයිතිය ගැන දේවල්වලට අතරින් පතර
නොතිබුණෙත් නෑ ගුටිබැට අඬ දබර
කාලයේ විහඟ පෙළ ගොස් පියා සල සල
කුමර කුමරියන් ද වැඩී උස් මහත්වූ කළ
නිවසේ පිටුපස අයිනකට වී කඳුලු සල සල
තිබුණා නටබුන් කැබලි එකින් එක මන්දිර වල
හිනැහී සෝෆා සැටි ඇවිත් එබුණා දොරකඩින්
තව තව විසිතුරුත් විත් අරක් ගත්තා මැදින්
තිර වලින් වැසුනා ඇතුළ නොපෙනෙන ලෙසින්
ඒ සොඳුරු සිනා කැන් කෝ අනන්තෙට පාවී ගිහින්
Thanks to Polesie Toys for the image on Pexel

No comments:

Post a Comment