Monday, July 1, 2024

විසල් අහසක් යට 2

 විසල් අහසක් යට 2

( ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර සිට බටහිරට රට හරහා සංචාරය)




පේ ගමන ආරම්භ වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා ප්රාන්තයේ චාල්ස්ටන් වරාය නගරයේ සිට. මේ දකුණු කැරොලිනා ප්රාන්තය අත්ලාන්තික් සාගර මායිමේ පිහිටි එෛතිහාසික කොළනි 13ට අයත් ප්රදේශයක්. මුලින් ඇමරිකාවේ තිබුණේ කොළනි 13ක්. ඇමරිකානු විප්ලවයෙන් අනතුරුව තමයි ප්රාන්ත 50කින් සමන්විත ඇමරිකා එක්සත් ජනපදය ආරම්භ වන්නේ. අප්රිකානු ජනතාව වහලුන් ලෙස ගොඩබට චාල්ස්ටන් වරාය ආසන්නයේ ඒ පිළිබඳ සැමරුම සඳහා ස්මාරක දකින්න තියෙනවා.
ඇත්තටම චාල්ස්ටන් නගරය ඇතුළුව දකුණු කැරොලිනා ප්රාන්තය කලබල ගතියෙන් අඩු ජීවත්වීමට ආසා හිතෙන සොබා සොඳුරු බවෙන් අනූන ප්රදේශයක්. වසන්තයෙන් ආරම්භ වුණහම ශරත් සමය ඇරඹෙන තුරු මුවෝ, හාවෝ, ලේන්නු එහේ මෙහේ දුවන නිල්ල නිලන වනාන්තර, නිල් දිය පිරි ජලාශ්රිත ප්රදේශ විතරක් නෙවේ එහේ තියෙන්නේ. විනාඩි 45කින් විතර අත්ලාන්තික් සාගරයේ මුහුදු සුළඟ විඳින්න වගේම සුදු පෙණ කැටි ආභරණ දරණ මුහුදු රැල්ල ස්පර්ශ කරන්න, මිනිත්තුවෙන් මිනිත්තුව උස් පහත් වෙමින් නැග එන ඒ රැළිවල ගිලී නාන්න, සරුංගල් යවන්න, හැන්දෑවට අහසේ සැරිසරණ මුහුදු ළිහිණින් දකින්න වගේ මෙකී නොකී සතුට එහිදී විඳින්න පුළුවන් කම තිබෙනවා. ශරත් සමය එළඹෙනවා කියන්නේ මේ මුළු නැගෙනහිර පැත්තේම ශාක කහ, රතු, තැඹිලි වර්ණ සළු පොරවා ගෙන ඊළඟ ශීත සෘතුව සඳහා ඒ සළු පිළි මුදවා ගෙන නිරුවත් වෙන්න සූදානම් වීම. ඒක ඇස් දෙකෙන්ම බලන්න ඕන කරන අපූරුම දසුනක්.
එතකොට අපේ ගමන මේ කියන ඇමරිකා එක්සත් ජනපදයේ අත්ලාන්තික් සාගර මායිමේ ඉඳන් එහි අනික් පැත්තේ පැසිෆික් සාගර මායිම දක්වා තමයි යෙදී තිබුණේ.
මේ විශාල රටේ මහා මාර්ග පද්ධතිය අද වෙද්දී හිතාගන්න බැරි තරම් සංකීර්ණ දෙයක් වුණත් ගූගල් වලට අනුව පාරවල් සොයාගෙන යන එක ලේසි වෙලා තියෙනවා කියලා ඔබ දන්නවා.
අපේ රට හරහා ගමන යෙදී තිබුණේ Interstate 40 /I 40 අධිවේගී මාර්ගය ඔස්සේ. I 40 ආරම්භ වෙන්නේ උතුරු කැරොලිනා ප්රාන්තයේ Wilmington නගරයේ සිටයි. එය අවසාන වන්නේ කැලිෆෝනියාහී Barstow නගරයෙන්. මේ Interstate 40, ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන අන්තර් ප්රාන්ත අධිවේගී මාර්ග වලින් තුන්වැනියට දිගම එක. දිග සැතපුම් 2,556.61ක්. (කිලෝමීටර් 4, 114.6) ක්. මෙහේ සාමාන්ය ව්යවහාරයේ අඩි අඟල් සැතපුම් රාත්තල් තමයි තාම පාවිච්චි වෙන්නේ. මීට වඩා දිග අන්තර් ප්රාන්ත අධිවේගී මාර්ග 2ක් තියෙනවා. ඒ I90 හා I 80. ඉතින් I 40 මාර්ගයට පිවිසෙන්න අපට මුලින්ම උතුරු කැරොලිනා ප්රාන්තයට යන්න වෙනවා.
ඔන්න අපි චාල්ස්ටන් වල ඉඳලා ජුනි 9දා උදේ 9.00 ට විතර ගෙදරින් පිටත් වෙනවා. උදේ ආහාරය ගෙදරින් ගන්නවා. පිළියෙල කළ කෑම නම් හදාගත්තේ නෑ. ඒකට හේතුව ගෙදර දෙවල් හුඟක් අස්කරලා අපි කවුරුත් මහන්සියෙන් හිටපු එක. අපේ මූලික පවුලේ සැම අවුරුදු 12කට පස්සේ එකට හමුවුණ අවස්ථාව ජුනි 8දා උදාවුණෙ. ඉතින් කතාබහත් උතුරන්න තිබුණා නෙ. පොඩි දරුවන් ඒ කියන්නේ අපේ මුනුපුරු මිනිපිරියත් පුදුම විදියට සතුටු වුණා.
මගට කන්න පලතුරු, කජු හා තවත් පැකට් කළ කෙටි කෑම මල්ලක් නම් පිහියක් ද සමග හදා ගත්තා. වතුර බෝතලුත් ගත්තා. නගර පහු වෙද්දී පාර දෙපැත්තේම මහා ඝන වනාන්තර තමයි මේ පැත්තේ දකින්න පුළුවන්. වනාන්තර එළි කරලා තමයි නගර හදන්නේ. නගරයක කඩ සාප්පු, රෝහල්, පාසල් අතුළු සාමාන්ය ජන ජීවිතය පහසු කරන දේම සැළසුම් සහගතව සකස් කර තිබෙනවා. වෙනමම නිවාස තනි වශයෙන්, නගර නිවාස වශයෙන් (town homes) හා තට්ටු නිවාස වශයෙන් තියෙනවා. අවශ්යතා මිළදී ගන්න නගරයට යන්න ඕන. ඒ සඳහා හැමෝටම මෝටර් රථ තියෙනවා. සමහරවිට පයින් යන දුර තමයි කඩවල් තියෙන්නේ. ඒත් යන්නේ මෝටර් රථයෙන්. බඩු අරන් පයින් උස්සන් එන්නත් බෑ නේ.
ගමනේ මහන්සිය නිවා ගන්න ශරීර අවශ්යතා ඉටු කරගන්න අතර මග exit එකකින් අධිවේගයෙන් පිට වුණහම rest area තියෙනවා. ඒවායේ සියළු පහසුකම් පිරිසිදුව තියෙනවා. අපි වාහනයෙන් බැහැලා පොඩ්ඩක් ඇවිදලා අත පයේ හිරි ඇර ගන්නවා.
ඒ වගේම අවශ්ය කරන පානයක් drive through එකක් හරහා ගිහින් ගන්නවා. උදේ සමුදී දෙමගක ගිය අපේ පවුලේ කොටසක් පැය 4ක පමණ ගමනකින් පස්සේ දකුණු කැරොලිනා ප්රාන්තයේ Greenville ville ප්රදේශයේ දී දවල් කෑම වෙලාවේ දී නැවත වතාවක් හමු වෙනවා. හමු වෙලා ජපන් රෙස්ටුරන්ට් එකකදී අපි සේරම දවල් කෑම ගන්නවා. ඉන් පසු නැවතත් සමු දී අපි අපේ ගමන පිටත් වෙනවා.
Image from the Internet

No comments:

Post a Comment