Sunday, July 7, 2024

විසල් අහසක් යට 4

 විසල් අහසක් යට 4




(ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර සිට බටහිරට රට හරහා සංචාරය)





දෙ
වන දිනයේ රැයේ අපි Oklahoma City හි නතර වුණ බව කිව්වා මතක ඇති. පසුදින උදෑසන හෝටලයෙන් පාතරාසය ලබාගෙන නැවත ගමන ආරම්භ කරනවා. I 40 අධිවේගය මේ කොටස Oklahoma වලටම තමයි අයිති. ඇත්තටම Oklahoma හරහා සැතපුම් 331 ක් දිවෙනවා. ප්රෙයරීස් තෘණ බිම් හරහා විහිදෙන මේ කොටස පහුවුණාම අපට ඇතුළු වන්නට තියෙන ප්රාන්තය Texas.
Texas ගැන ලියන්න කලින් Oklahoma ගැන කියන්න තියෙන දේ ඉවර කරන්නම්. අපි මේ ප්රදේශය පහු කරනකොට ඇසට පෙනෙන මායිම දක්වා විහිදෙන ප්රෙයරීස් තෘණ බිම් ඔස්සේ සැතපුමෙන් සැතපුමට විශාල සුළං මෝල් දකින්න ලැබෙනවා. මේ සුළං මෝල් වලින් පුනර්ජනනීය විදුලිය නිපදවනවා. සුළං බලය මගින් බල ශක්තිය නිපදවීම අතින් Oklahoma ඇමරිකාවේ දෙවෙනි තැන ගන්නා ප්රාන්තය වෙනවා.
දැන් මම මේ සුළං බලය ගැන කරුණු ටිකක් ඔබට මතක් කරන්න යන්නේ. සුළං බලය පිළිබඳ ඉතිහාසය ඈතට ඈතට දිව යන එකක්. ක්රි. පූ. 5000ටත් ඈත අතීතයේ සිට මානවයා සුළං බලය තම කාර්යන් පහසු කර ගැනීමට යොදා ගත්තා. මිනිසුන් සුළං බලය යොදාගත් මුල්ම වැදගත් අවස්ථාවක් වන්නේ නැවියන් රෙදි රුවල් ආධාරයෙන් නැව් යාත්රා කිරීම බව ඔබ දන්නවා ඇති. ක්රි. පූ. 200දී චීනයේ සුළං ජල පොම්ප භාවිත කළා. ඕලන්දයේ සම්ප්රදායික සුළං මෝල් අදත් දැකගන්න පුලුවන්.
ක්රි. ව. 1වැනි සියවසේදී ග්රීක ඉංජිනේරුවෙකු හා ගණිතඥයෙකු වන Heron of Alexandria සුළං බලය මගින් යන්ත්රයක් ක්රියාත්මක කළ පළමු තැනැත්තා ලෙස වාර්තා වෙනවා. ක්රි. ව. 7වන සිය වසේ දී මධ්යම ආසියාවේ ඉරිඟු ඇඹරීමටත් ජලය පොම්ප කිරීමටත් සුළං බලය යොදා ගන්නවා. සුළං මෝල් ප්රචලිත වුණත් එම ශක්තිය ගබඩා කර ගැනීමට හැකියාවක් පැරණි අය දැන සිටියේ නෑ.
1867 දී ස්කොට්ලන්තයේ මහාචාර්ය James Blyth අඩි 33ක් උස රෙදි රුවල් සහිත සුළං ටර්බයින් එකක් සාදා තම නිවසට විදුලිය ලබා ගන්නවා. එයින් වසරකට පසුව ඇමරිකාවේ Charles Brugs මුල්ම ස්වයංක්රීය සුළං බල ටර්බයින් එක හදනවා. එය අඩි 60ක් උස කුළුණකින් හා තල 144 කින් යුක්තයි. එහි විශ්කම්භය අඩි 56ක්. එයින් නිපදවූ විදුලිය කිලෝ වොට් 12ක් පමණයි.
ඉහත විදියට දියුණු වෙමින් ආ සුළං බලශක්ති නිපදවීමේ යාන්ත්රණය උපරිමයකට ඇවිත් Oklahoma සුළං බල විදුලි ව්යාපෘතිය 2003දී ආරම්භ වෙලා තියෙනවා. අද එය සුළං බලයෙන් බලශක්තිය නිපදවන දෙවන විශාලතම ප්රාන්තය බවට පත් වී තිබෙනවා. අද Oklahoma වලට අවශ්ය විදුලියෙන් 40%ක් නිපදවීමට එය සමත් වී තිබෙනවා. ඒ සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 20ක්.
මෙහි ඇති අහිතකර පැති ගැනද අද කතා බහ වෙනවා. ඒවා අතර අධික වියදම ඇරුණම ශබ්ද හා දෘශ්ය දූෂණය, පක්ෂීන් විශාල වශයෙන් තලවල ගැටී මරණයට පත්වීම ප්රමුඛ වෙනවා. ඇතැම් Oklahama වැසියන් තම නිවසට ආසන්නයේ සුළං මෝල් සවි කිරීමට විරෝධය පාලා තියෙනවා.
ඔන්න සුළං මෝල් හා වගාබිම් පසුකරගෙන අපි ගමන් කරනවා. දවල් වෙද්දී අපි Texas ප්රාන්තයට ඇතුළු වෙනවා.
Texas ඇමරිකා එක්සත් ජනපදයේ දෙවන විශාලතම ප්රාන්තය. විශාලත්වය වර්ග සැතපුම් 268,596ක්. මිලියන 30ක් ජනගහනය ඉන්නවා. එමෙන්ම එය දකුණු මධ්යම ප්රදේශයේ ජනප්රියතම ප්රාන්තය. එය නැගෙනහිරින් Louisiana, ඊසානදිගින් Arkansas, උතුරින් Oklahoma බටහිරින් New Mexico ආදී ප්රාන්ත වලින් වට වෙනවා. ඒ වගේම ගිණිකොන දෙසින් Gulf of Mexico වලින් වෙරළ තීරයකින්ද වට වෙනවා. පශු නිෂ්පාදනය අතින් ප්රමුඛ තැන ගන්නා අතර වැඩිම බිම් ප්රමාණයක් කෘෂිකර්මය සඳහා යටවූ ප්රාන්තය. කෘෂිකර්මය අතින් දෙවැනි වන්නේ කැලිෆෝනියා ප්රාන්තයට පමණයි..
ඇමරිකා එක්සත් ජනපදයේ කුඩා පරිපාලන ඒකක හඳුන්වන්නේ කවුන්ටි කියලා. හරියට අපේ නගර සභා වගේ. මේ වගේ Texas වල බටහිර සිට නැගෙනහිරට චතුරශ්රය හැඩයට පිහිටි කවුන්ටි එකතුවක් Texas Panhandle කියලා හඳුන්වනවා. මේ ප්රදේශය හරහා සැතපුම් 177. 139 ක දුරක් විතරයි I 40 අධිවේගය වැටී තියෙන්නේ. ඒ කොටස Heart Trail Route නමින් හැඳින්වෙනවා. පහුකරන එකම විශාල නගරය Amarillo. මාර්ගයේ මේ ප්රදේශයේ දෙපසද දිගටම සිය ගණන් සුළං මෝල් තියෙනවා. එහි නිවාස මිලියන ක9කට විදුලිය සපයන්නේ සුළං බලයෙන් එක්රැස් කරගන්නා බලශක්තියෙන්. ඒ අනුව සුළං බලශක්තිය නිපදවීමේ පළමු තැන Texas වලට හිමි වෙනවා. මූලික වියදම් අධික වුවත් මේ විදියට පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමේ අරමුණ ඛනිජ තෙල් සංචිත ආරක්ෂා කර ගැනීම වෙන්න ඕන.
Texas හීදී දිවා ආහාරය සඳහා තැනක් සොයද්දී අපට ප්රථම වතාවට ඉන්දියානු රෙස්ටුරන්ට් එකක් හමු වෙනවා. එය තරුණ ඉන්දියානු ව්යාපාරිකයන් කීප දෙනෙකු විසින් අධිවේගී මාර්ගය ඉලක්ක කර කරනු ලබන ව්යාපාරයක්. ඔවුන් දුටුවිට අපටත් අප හමුවූ විට ඔවුන්ටත් සතුටක් ඇති වෙනවා. රටවල් වශයෙන් අසල්වැසි බවේ හැඟීම ඒ සතුට ඇතුළේ තියෙනවා. අපට හින්දි කතා කරන්න පුළුවන් වුණා නම් වඩා හොඳින් අදහස් හුවමාරු කරගන්න තිබුණා. ගූගල් පරිවර්තන පහසුව සමහර විට යොදා ගත්තේ ඔවුන්ගේ ඉංග්රීසි දැනුමද මද බැවින්.
අපි දිවා ආහාරය වශයෙන් චිකන් බිරියානි, මටන් සූප් එකක්, හා යෝගට් ලබා ගන්නවා. රොටී කන්නේ නැතිදැයි ඔවුන් පුන පුනා අහනවා. ඒ රොටී ඔවුන්ගේ ප්රියතම දෙයක් නිසා වෙන්න ඕන. ඔවුන්ගේ සුපුරුදු අමුවෙන් කැපූ ලූනු හා මිරිස් පිඟානත් වැරදුනේ නෑ. අපි ඒ වෙළෙඳසැලෙන් රසවත් කජු ඇට පැකට් එකකුත් අපි මිළදී ගන්නවා. ඒවා ලංකාවේ කජු වගේ රසයි.
නැවතත් අපි බටහිර දෙසට ධාවනය කරනවා. මෙහෙම එක දිගට රථයක් ධාවනය කරද්දී නිදි මත එනවා නේ. එවිට අතරමග rest area එකක හරි ගෑස් station එකක හරි නතර වෙලා ටිකක් විවේක ගන්නවා. ඇමරිකාවේ කියන්නේ තෙල් ගහනවා නෙවේ, ගෑස් ගහනවා කියලා. ඒ කියන්නේ ගැසොලින් කියන අර්ථයෙන්.
තව ඉදිරියට යද්දී ශාකවල උස අඩු වෙමින් යන බවක් පෙනී යනවා. වගා බිම්ද අඩුවී යනවා.

2 comments: