Sunday, July 28, 2024

විසල් අහසක් යට 8

 

විසල් අහසක් යට 8

 (ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර සිට බටහිරට රට හරහා සංචාරය)



පි Nevada ප්‍රාන්තයේ Las Vegas නගරයට ළඟා වූ බව කිව්වා ඔබට මතක ඇති. Nevada කියන්නෙත් සම්පුර්ණයෙන්ම ගොඩබිමින් වටවූ ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර දෙසට ඇති තවත් එක ප්‍රාන්තයක්. වයඹ දෙසින් Oregon, ඊසනදෙසින් Idaho, නැගෙනහිරින් Utah සහ බටහිරින් California යන ප්‍රන්තවලින් එය වටවී තියෙනවා. විශාලත්වය අතින් හත්වැනි තැන ගන්නා එහි විශාලත්වය වර්ග සැතපුම් 110,577ක් වෙනවා. ජනගහනය නම් අඩුයි. මිලියන 3ක පමණ ජනගහනයක් තමයි ඉන්නේ.ප්‍රාන්තයේ වැඩි ඉඩ ප්‍රමාණයක් කාන්තාර හා අර්ධ ශුෂ්ක ප්‍රදේශ. ඇත්තෙන්ම මුළු ඇමරිකාවේම වියළීම ප්‍රාන්තය මේකයි. එකතුවන වතුර කොහෙවත් ගලා නොගිහින් එක්රැස් වන  Great Basin නම් උතුරු ඇමරිකානු ප්‍රදේශයේ Nevada වලට අසුවන කොටස Mojave කාන්තරය. Lake Tahoe හා Sierra Nevada කඳු බටහිර දාරයේ පවතිනවා.

Paiute, Shoshone හා Washoe යන ඇමෙරිකානු ඉන්දියානු ආදී ජනයා මෙහි ආදී කාලයේ ජීවත්ව ඉඳ තියෙනවා. මුලින්ම මෙහි පැමිණි යුරෝපියන් වන Spanish ජනතාව එම භාෂාවෙන් හිම සහිත බව කියන තේරුම සහිත Nevada යන නම දී තිබෙනවා. ඒ ඔවුන් දැක තිබෙන්නේ Sierra Nevada කඳු මුදුන්වල ඇති හිම. මෙහි අග නගරය Carson city. විශාලම නගරය Las Vegas.

Nevada නිල වශයෙන් 'Silver State 'යන නමින් හඳුන්වනවා. ඒ එහි ඉතිහාසය රිදී සමග සම්බන්ධ ආර්ථිකයක් තිබූ නිසා. ඩොලර් මිලියන ගණන් වටිනා රිදී මෙහි කැණීම් වලින් ලැබිලා තියෙනවා. දැනට ආර්ථිකය සංචාරක ව්‍යාපාරය මත තමයි ප්‍රධාන වශයෙන් රැඳී තියෙන්නේ. සංචාරකයන්ට විනෝදාස්වාදය ලබා දීම හා සූදු ක්‍රීඩාව මෙහි ප්‍රමුඛ අදායම් මාර්ගයි. මේ හැර රන්, තඹ, ජිප්සම්, හා ලිතියම් කැණීම් ද ගවයන් ඇති කිරීමද කෙරෙනවා. ගවයන් 500,000කට වඩා හා බැටළුවන් 70,000කට වඩා ඇති කෙරෙනවා. ගව පැටවුන් වඩා හොඳ ආහාර දී පුෂ්ටිමත් කිරීම සඳහා වෙනත් ප්‍රාන්ත කර යවනවා.

අපි එදා රෑ නවතින්නේ Las Vegas නගරයේ තරු හෝටලයක. Las Vegas/Sin City නැත්නම Vegas  කියා හඳුන්වන  මේ නගරය ඇමරිකාවේ වඩාත් ම ජනප්‍රිය නගරයයි.   Mojave කාන්තාර ප්‍රදේශයේ ඇති රෑ පුරා නියොන් එළි දැල්වෙන ජනී ජනයා එහා මෙහා හැසිරෙන මේ නගරය නොනිදන නගරයක් කිව්වාට වරදක් නැහැ.

හෝටලයේ නම Mandalay Bay.  Las Vegas Boulevard/ Las Vegas Strip තමයි මේ නගරයේ ප්‍රසිද්ධ ම පාර. එහි තමයි අපේ හෝටලය පිහිටලා තියෙන්නේ. Mandalay Bay අක්කර 120ක භුමි භාගයක් ආවරණය කරන අතර තට්ටු 4කින් යුක්තයි.  කැසිනෝ සඳහා විශාල ඉඩක් ඇති මෙහි කාමර 3209ක් තියෙනවා. South Seas කියන තේමාව අනුව සකස් කළ අක්කර 11ක් පුරා විහිදී ඇති කෘත්‍රීම මුහුදු වෙරළ ජල ක්‍රීඩා සඳහා පහසුකම් වලින් යුක්තයි. රාත්‍රී කෑම අපි මගදී චයිනීස් අවන්හලකින් ලබාගෙන තිබූ නිසා අපි කෙලින්ම හෝටලයෙන්  අපට ලැබුණු 30ස්වෙනි තට්ටුවේ කාමරයට ගිහින් මද විවේකයකින් පසු හෝටලය ඇතුළත නරඹන්න යනවා. කැසිනෝ ක්‍රීඩාව සඳහා වෙනම පැත්තක් වෙන් කර තියෙනවා. එහි වෛවර්ණ නියෝන් එළියෙන් දිදුලන කැසිනෝ යන්ත්‍ර හැමතැනම. ඒ වගේම මිනිස්සු හා ගැහැනු දුම් පානය කරමින් නැත්නම් කෝපි තොල ගාමින් ඒ ක්‍රීඩාවේ නිරත වෙනවා. අපිත් එක යන්ත්‍රයක් අතපත ගාලා එහෙන් මෙහෙන් ඔබලා මුදලක් දාලා පොඩි විනෝදයක් ලබනවා. කවදා කාපු ටකරන්ද කිව්වලු!

Las Vegas Boulevard/ Las Vegas Strip හි ඇවිදගෙන යනවිට වෙනත් අතිවිශාල හා අතිනවීන හෝටල් සංකීර්ණ නරඹන්න පුළුවන්. ඒවා ඇතුළේ කෘත්‍රිමව නිපදවූ අහසවල්,බෝට්ටු/Gondola යාත්‍රා කරන වැනීසියේ  වැනි දිය මාර්ග ආදිය තියෙනවා. ජල මෙන්ම ගිනි සංදර්ශන තියෙනවා. ගායක ගායිකාවන් ගීත ගයනවා.  නාට්‍යංගනාවන් නටනවා. මේ වතාවේ අපට ඒවා නරඹන්න වුණේ නැහැ. 2016 සංචාරයේ දී ගියා.

ටික වෙලාවක් හෝටලය ඇතුළේ සැරිසරලා අපි අපේ කාමරයට ගිහින් නින්දට වැටෙනවා.

 

6 comments:

  1. ++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. එන්න ටිකක් ප්‍රමාද වුනා
    අපූරුයි විස්තරය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආව එක ගැන

      Delete
  3. බකට් ලිස්ට් එකේ තියෙන තැනක්. බලමු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විසිට් විසා අරන් එන්න.

      Delete