Thursday, July 11, 2024

විසල් අහසක් යට 5

 විසල් අහසක් යට 5

(ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර සිට බටහිරට රට හරහා සංචාරය)



මං කලින් කිව්වා නේ I 40 මාර්ගය කෙටි දුරක් විතරයි Texas ප්රාන්තය හරහා ගමන් කරන්නේ කියලා. දිවා ආහාරය අරන් අපි ඒ කොටස පහුකර ගෙන ඊළඟට අපට ඇතුළු වෙන්නට තියෙන New Mexico ප්රාන්තය බලා බටහිර දෙසට ගමන් ඇරඹනවා. .
මේ අතර මග බඩු ගෙනයන ඉතා දිග දුම්රියක් අපේ කැමරා කාචයට හසු කරගන්න ලැබෙනවා. එහි පෙට්ටි එකසිය ගණනක් තිබෙනවා. ඇමරිකාවේ සමහර ප්රාන්තවල මගී ගමනාගමනය සඳහාද දුම්රිය ඇති නමුත් රටපුරා ජාලයක් ලෙස වැඩි පුර විසිරී ඇත්තේ මෙවැනි කාගෝ දුම්රිය සඳහා මාර්ග. ඒවා නිෂ්පාදන බෙදාහැරීම සඳහා ලොකු වැඩ කොටසක් කරනවා.
Texas පහු කරලා New Mexico වලට ඇතුළු වන අපි මුලින්ම නතර කරන්නේ Glenrio නගරයේ Welcome center එකේ. එහිදී අප උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර අප සංචාරය කිරීමට හා නැරඹීමට කැමති තැන් මොනවාදැයි පිළිගැනීමේ නිලධාරිනිය අසනවා. අප හුදෙක් මෙහි ගොඩබට බවත් මේ ප්රාන්තය හරහා නැගෙනහිර සිට කැලිෆෝනියා ප්රාන්තයට යන බවත් අප ප්රකාශ කරනවා.
පිළිගැනීමේ මධ්යස්ථානය අවට නරඹන අපි එහි ඇතුළත ඇති ප්රදර්ශන භාණ්ඩද නරඹා ශාරීරික අවශ්යතා ද ඉටුකරගෙන නැවත පිටත් වෙනවා.
New Mexico ගැන කියනවා නම් එය ඇමරිකා එක්සත් ජනපදයේ පස්වන විශාලතම ප්රාන්තය. වර්ග සැතපුම් 121951 ක් වන එහි ජනගහනය මිලියන 2.1ක්. උතුරින් Colorado, නැගෙනහිරින් Oklahoma හා Texas, දකුණින් Texas, Mexico State of Chihuahua සහ Sanora හා බටහිරින් Arizona යන ප්රාන්ත හා ප්රදේශ වලින් New Mexico වටවී තියෙනවා. මෙහි අග නගරය Santa Fe. රටේ පැරණිතම අග නගරය වන අතර පිහිටුවා ඇත්තේ 1610 දී. New Mexico හී විශාලතම නගරය Albuquerque.
මේ ප්රාන්තය දකුණු රොකී කඳුවලට අයත් කඳුකර ප්රාන්තයක් බව අපට කියා පාමින් භූ විෂමතාවය වෙනස්වන හැටි පෙනී යනවා. උතුරු හා නැගෙනහිර පැත්ත සීතල ඇල්පයින් දේශගුණයක් දරණ අතර දකුණ හා බටහිර උණුසුම් කාන්තාර දේශගුණය දරනවා.
New Mexico හී රාජ්ය භාෂාව කියා එකක් නෑ. ඉංග්රීසි, Spanish, Navajo යන භාෂා භාවිතයේ තියෙනවා.
ගවයන් ඇතිකිරීම, වගාව,දැව කර්මාන්තය, විද්යා තාක්ෂණ පර්යේෂණ, සංචාරක කර්මාන්තය, කලාව හා තෙල් හා ගෑස් කැණීම මෙහි ආර්ථිකයට උරදෙනවා. සුප්රසිද්ධ Manhattan project එකට අදාල facility මෙහි නගරයක් වන Trinity හී තියෙනවා. ලෝකයේ ප්රථම න්යෂ්ටික බෝම්බය නිපදවීම හා පරීක්ෂා කිරීම මෙහිදී සිදුවන්නේ 1945 ජුලි 16වනදා. බෝම්බය හැඳින්වූ නම "gadget". 1945 අගෝස්‌තු 9දා ජපානයේ නාගසාකි නගරයට 'Fatman' බෝම්බය ගුවනින් හෙළනු ලබනවා.
දඩයක්කාර - එකතුකරන්නා (hunter - gatherer) ටත් එහා ප්රාග් ඓතිහාසික යුගයටත් වඩා ඈත අතීතයක අවුරුදු 11.000කට එහා New Mexico හී ආදී මිනිසුන් ජීවත්ව තිබෙනවා. එවැනි ආදී සංස්කෘතීන් ගෙන් පැවත එන ජනතාව අදත් ඉන්නවා. Clovis කියන්නේ එවැනි සංස්කෘතියක්. Clovis නමින් නගරයක් ද New Mexico හී තියෙනවා.
එදින හිරු බැස යන හෝරාවේ අප New Mexico හී Albuquerque නගරයේ අපේ නවාතැනට ළඟා වෙනවා. රාත්රී ආහාරය මගින් මිළදී ගන්නවා. නවාතැනට විත් ඇඟ පත සෝදාගෙන ආහාරය ද ගෙන මද විවේකයකින් ඉක්බිති අප නින්දට පිවිසෙනවා. ගමන් මහන්සිය නිසා නින්ද අප කරා එන්න ගත වන්නේ සුළු මොහොතයි.
පසුදා අවදිවී උදේ ආහාරය හෝටලයෙන් ලබාගෙන Albuquerque වලට සමු දෙනවා.
I 40 අධිවේගයේ සැතපුම් 374ක් New Mexico මතින් වැතිර සිටිනවා. මෙයින් අපට Albuquerque සිට I 40 වල තව සැතපුම් 138ක් ගමන් කළ පසුව New Mexico අවසාන නගරය වන Gallup පසුකරන්න පුළුවන් වෙනවා. ඒ සඳහා පැය 2ක් පමණ ගතවෙනවා. එයින් පසු බටහිරට අපට හමුවන ඊ ළඟ ප්රාන්තය Arizona.
Arizona ඇමරිකා එක්‌සත් ජනපදයේ නිරිතදිගින් පිහිටන ගොඩබිමින් වටවූ ප්රාන්තයක්. දකුණු දෙසින් Utah, ඊසාන දිගින් Colarado, නැගෙනහිරින් New Mexico යන ප්රාන්ත වලින් වටවෙලා තියෙනවා. අනිතුත් පැති ගත්තම Nevada වයඹ දෙසින් ඇති අතර බටහිරින් කැලිෆෝනියා ප්රාන්තය හා Mexican State of Sonera පිහිටනවා. ඇරිසෝනා ලෝකප්රකට වෙලා තියෙන්නේ අදින් වසර මිලියන 5 සිට 70 දක්වා ඉතිහාසයේ භූ තැටි උත්තරායණය (upliftment) වීමෙන් Colorado සානුව සෑදී සැතපුම් ගණන් දිගට Colorado ගඟේ හෑරී යාමෙන් මතුව ඇති Grand Canyon නමින් හඳුන්වන පාෂාණ ස්ථර තැන්පත් වීම පෙන්වන ප්රදේශය නිසා. ඇත්තටම අපි මේ ගමනේදී නෙවේ ඒක නරඹන්න ගියේ. 2016 කළ සංචාරයේ දී.
Arizona ඇමරිකා එක්සත් ජනපදයේ විශාලත්වය අතින් 6වන තැන ගන්නා ප්රාන්තය වන අතර වර්ග ඵලය වර්ග සැතපුම් 113.998ක් වෙනවා. ජනගහනය 7,151,512ක්. ඉන්නේ මිශ්ර ජනගහනයක්. Navajo වැනි ආදී ඇමරිකානු ගෝත්රවලින් පැවතෙන්නන්ද සිටිනවා. අග නගරය Phoenix.
දකුණු ඇරිසෝනා ප්රදේශය කාන්තාර දේශගුණය දරණ නිසා ඉතා උණුසුම් ගිම්හාන කාලයක් හා මධ්යස්ථ ශිශිර සෘතුවක් පවතිනවා.
Arizona හී ආර්ථිකය අතීතයේ සිට 5C මත රැඳී තිබුණා. එනම් Copper, Cotton, Cattle, Citrus හා Climate (සංචාරක කර්මාන්තයට). නමුත් කපු පමණක් නොව බෝග රැසක් මෙහි වවනු ලබනවා.
අප ගමන් කරන I 40 මාර්ගය සැතපුම් 359.11ක් Arizona හරහා ඇතිරී තියෙනවා. Arizona හීදී අප මෙවර නැරඹූ දේ මී ළඟ විසල් අහසක් යටදී....

4 comments:

  1. අපි ඉතින් ටෙක්සාස්, නිව් මෙක්සිකෝ ගැන දන්නේ අර කව්බෝයි කතාවල තිබුණ දෙවල් තමයි.

    ReplyDelete
    Replies
    1. ඒවා පරණ රතු ඉන්දියානු මතක වෙන්න ඇති. ස්තුතියි

      Delete
  2. කදිම චාරිකා සටහන් එකතුවක්!

    ReplyDelete