Thursday, July 4, 2024

විසල් අහසක් යට 3

 විසල් අහසක් යට 3

(ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර සිට බටහිරට රට හරහා සංචාරය)




පේ ගමනෙදී දෙවනියට ඇතුළුවූ ප්රාන්තය තමයි උතුරු කැරොලිනාව. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ ගිණිකොන දිග පිහිටි, දකුණින් වර්ජිනියා, නැගෙනහිරින් අත්ලාන්තික් සාගරය දකුණින් දකුණු කැරොලිනා ප්රාන්තයෙන් හා නිරිතදිගින් ජෝර්ජියා හා ටෙන්නසි ප්රාන්ත වලින් වටවූ ප්රාන්තයක්. එහි අග නගරය Raleigh. මුළු මහත් යුරෝපයේම ඇති පතනශීල වනාන්තර ප්රමාණය ඉක්මවා යන වන ගහනයකින් යුත් මේ ප්රාන්තය 4000කට වැඩි දේශීය ශාක විශේෂ ගණනක් දරනවා. ඒ නිසාම ශරත් සෘතුව කියන්නේ මේ ප්රාන්තයට එන සංචාරකයෙකු අමන්දානන්දයට පත් කරන වෙනමම ලෝකයක් වෙනවා.
මං කලින් ඔබට කියූ විදියට I 40 අන්තර් ප්රාන්ත අධි වේගය ආරම්භ වෙන්නේ උතුරු කැරොලිනා ප්රාන්තයේ Wilmington වරාය නගරයේ සිට. අප මේ මාර්ගයට පිවිසෙන්නේ උතුරු කැරොලිනා ප්රාන්තයේ Ashville සිට. දිවා ආහාරයෙන් පසු Greenville සිට පැය එකහමාරක් විතර ධාවනයෙන් පස්සේ Ashville වලට එනවා. එතනින් I 40 අධිවේගයට ඇතුළු වෙලා වනාන්තර මැදින් ඇවිත් ටෙන්නසි ප්රාන්තයට පිවිසෙනවා. මේ වන විට ගෙදර සිට පැය නවයක පමණ දුරක් ඇවිත්. රෑ අට පහුවෙන වෙලාවේ අපට දකින්න ලැබෙන්නේ අහසක් නෙවේ රතු තැඹිලි කහ දම් වර්ණ වලින් ඇඳපු චිත්රයක්. ඒ වගේ මනස්කාන්ත අහසක් මුළු ගමනේ දීම ආයේ දැක්කේ නෑ.
Tennessee ප්රාන්තය ගොඩ බිමින් පමණක් වටවූ ප්රාන්තයක්. එහි අග නගරය තමයි Nashville. මෙය සංගීතයට ඉතාම ප්රසිද්ධ ප්රාන්තයක්. සුප්රසිද්ධ ගායක Elvis Presley මිය ගිහින් තියෙන්නේ මේ ප්රාන්තයේ නිරිතදිගට වන්නට පිහිටා ඇති Memphis නගරයේදී. එහි Elvis Presley's Graceland නමින් හඳුන්වන විනෝදාස්වාදය සඳහා ඉඳිකර කර ඇති අති විශාල මධ්යස්ථානයක් තියෙනවා.
අයිරිස් මල ටෙන්නසි වල ප්රාන්ත පුෂ්පය වෙනවා. එහි Memphis නගරය ආශ්රිතව බටහිර දෙසින් මිසිසිපි ගඟ ගලා බසිනවා. ඒ ආශ්රිතව වනාන්තර භූමි රාශියක් තියෙන අතර විශාල දේශීය ශාක සංඛ්යාවක් දකින්න ලැබෙනවා. තව කියන්න ඕන විශේෂ දෙයක් තමයි ඒ ඒ ප්රාන්තවල මල් හැටියට වවන්න උනන්දු කරන්නේ ද දේශීය ශාක හා පැළෑටි. ඒවා අලංකාර විදියට වවලා වෙළඳපලේ විකිණීමට තියෙනවා. එසේ වුවත් ආක්රමණික බවට පත්වුණු විදේශීය (exotic plants) ද හුඟක් තියෙන බව සඳහන් වෙනවා.
Nashville හී තමයි අපේ පළමු රාත්රී කාලය ගතවන්නේ. අපේ සමීපතමයන් නිතරම ගමන ගැන දුරකථනයෙන් විමසනවා. ඒ මේසා විශාල දුර ගමනක අවදානම ගැන දන්නා නිසා. හෝටලයට පැමිණි වහාම මම ඔවුන්ට පණිවිඩ තබනවා. හෝටලයට පැමිණීමට කලින් රාත්රී ආහාරය මගදීම ගත් නිසා උණුවතුර ස්නානයෙන් තවා ගත් වෙහෙස වූ අපේ සිරුරු වහාම නින්දට වැටෙනවා.
උදෑසන අවදිවී ගමනට සූදානම් වෙලා හෝටලයෙන් සපයන පාතරාසයෙන් සප්පායම් වෙනවා. ඊළඟට අප ගමන් කරන්නේ ටෙන්නසි ප්රාන්තය පහුකර Arkansas ප්රාන්තයට ළඟාවීමට.
Arkansas ඇමරිකා එක්සත් ජනපදයේ ගොඩබිමින් වටවී තියෙන තවත් ප්රාන්තයක්. එහි පිහිටි උද්යාන, වන අරණ, ගුහා, ගංගා, කඳු හා උණු දිය උල්පත් වැනි සොබා සෞන්දර්යය නිසා මේ ප්රාන්තය ප්රසිද්ධියට පත්වෙලා තියෙනවා. එහි අග නගරය Little Rock. එහි Clinton Residential මධ්යස්ථානය පිහිටා තියෙනවා. ආන්තික දේශගුණයක් ඇති මෙහි නිතර කුණාටු හඹා යනවා.
ඇමරිකාව කිව්වම ධාන්යක් වශයෙන් අපට මතක් වෙන්නේ තිරිඟු නැත්නම් පාන් /ඇමරිකන් පිටි. ඇමරිකාවේ වී වගා කරනවා කියලා ඔබ දන්නේ නැතුවත් ඇති. වී-වගා කරන ප්රාන්ත අතර ආකන්සා ප්රමුඛ තැන ගන්නවා. අවුරුදු පනහක කාලයක සිට රටේ වී වගාවෙන් 40%පමණ එහි සිදුවෙනවා. ලුසියානා, කැලිෆෝනියා, ටෙක්සස් හා මිසොරි තමයි ඇමරිකා එක්සත් ජනපදයේ වී වගා කරන අනිකුත් ප්රාන්ත. වී වගාව හැර කුකුලන් ඇති කිරීම ආකන්සා වල තවත් ප්රධාන කෘෂිකාර්මික වැඩක්. ඇමරිකාව සතු එකම සක්රිය දියමන්ති ආකාරයද මේ ප්රාන්තයේ පිහිටා තිබෙනවා. මිනිස් වාසයක් දක්නට නැති බැලූ බැලූ අත ඈත ක්ෂිතිජය දක්වා විහිදී ඇති වී වගාව ඇතුළු විවිධ වගාවන් ගෙන් පිරුණු විශාල පැතලි භූමිය මාර්ගය දෙපැත්තේම තියෙනවා.
අපි I 40 මාර්ගයෙන් ආකන්සා වලට පිවිසිලා මුලින්ම නතර වෙන්නේ Arkansas Welcome Centre එකේ. හැම ප්රාන්තයකටම ඇතුළු වෙන තැන්වල මෙවැනි මධ්යස්ථාන තියෙනවා. ඒවායේ ඒ ඒ ප්රාන්තයේ සංචාරක ආකර්ෂණීය තැන් ගැන දැනුම්වත් කරනවා. සිතියම් ඇතුළු මුද්රිත ද්රව්ය ලබා දෙනවා. අපි එම මධ්යස්ථානය වටා ඇති මල්වල සුන්දරත්වය විඳ එහි ඇතුළත ඇති ප්රදර්ශන කුටි ද නරඹනවා.
නැවත ගමන අරඹන අපි දිවා ආහාරය සඳහා තමයි ඊළඟට නවතින්නේ. අපගේ දෙවන දින ගමනාන්තය Oklahoma ප්රාන්තයේ අග නගරය වන Oklahoma City වලයි. ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු මධ්යම ප්රදේශයේ ප්රාන්තයක් වන Oklahoma ද ගොඩබිමින් වටවූ ප්රාන්තයක්. මෙහි ඇති කවි බෝයි සංස්කෘතිය ප්රසිද්ධ එකක්. ඒ වගේම සක්රිය තෙල් ළිං වලින් වටවී තියෙනවා. ප්රධාන නිෂ්පාදන ඛනිජ තෙල්, ස්වභාවික වායු හා කෘෂිකාර්මික නිෂ්පාදන. පෙර රතු ඉන්දියානුවන් බහුලව සිටි පැත්තක්. 168 දෙනෙකු මරණයට පත් කරමින් 1995 දී ත්රස්ත ප්රාහාරයක් වශයෙන් සිදුවූ බෝම්බ ප්රහාරය සිදුවීම සිහිපත් කිරීම සඳහා ස්ථානයක් පිහිටා තිබෙනවා.
අපි Oklahoma City කරා පිවිසෙන විට බටහිර අහසේ හිරු බැස ගොස් ටික වේලාවක් ගතවී අවසානයි. අහසේ විවිධ වර්ණ වළාකුළු අපට ඒ බව කියා පානවා. එදා රෑ අපි එහි හෝටලයක ගත කරනවා.

No comments:

Post a Comment