Tuesday, July 16, 2024

විසල් අහසක් යට 6



 විසල් අහසක් යට 6

(ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර සිට බටහිරට රට හරහා සංචාරය)



පි ඇරිසෝනා ප්රාන්තයට ඇතුළු වී බටහිරට ගමන් කරමින් සිටි බව ඔබට මතක ඇති. මාර්ගයේ මේ කොටසේදී අපට මග නැවතී බලන්න තැන් කිහිපයක් තිබුණා.
එයින් එකක් තමයි Petrified Forest National Park. ඇරිසෝනා හි ඊසානදිග ප්රදේශයේ වර්ග සැතපුම් 346ක් පුරා විහිදී ඇති මේ උද්යානය අර්ධ ශුෂ්ක දේශ ගුණයෙන් යුක්තයි. මේ ප්රදේශයේ මුල්ම මනුෂ්ය වාසය මිට අවුරුදු 13,000කට ප්රථම සිදුවී ඇති බවයි සඳහන් වෙන්නේ. Clovis නම් මුල්ම ඇමරිකානු ස්වදේශික ජනතාව මෙහි ජීවත් වී තිබෙනවා. උද්යානය 1906 දී Petrified Forest National Monument ලෙසද 1962 දී ලෙසද ප්රකාශයට පත් කර තිබෙනවා.
Petrified කියන්නේ ගල්වූ කියන එකනේ. ඒ නම ආවේ කොහොමද කියලා කියන්නයි මේ හදන්නේ.
මේ උද්යානය වඩාත් ප්රසිද්ධ පොසිල වලටයි. Pangea ලෙස හැඳින්වූ විශාල පොලෝ තල ස්කන්ධයේ මේ බිම්කඩ තිබී ඇත්තේ සමකය අසලට වන්නටයි. ට්රයාසික යුගයේ, මීට වසර 200කටත් එහා මෙහි තිබූ ශාක බිම පතිත වී ගංගාවල ජලයේ ගිලී ගිහින් කාලයක් යද්දී ගස්වල කාබනික ද්රව්ය ක්වාර්ට්ස් ඛනිජ වලින් විස්ථාපනය වී ගල් වැනි වී තිබෙනවා. මිට අවුරුදු මිලියන 60කට පෙර පෘථිවි භූ තැටි උස්වී කොලරාඩෝ සානුව සෑදීමත් සමග මේ ශාක මතු වෙන්න පටන්ගෙන තිබෙනවා. උද්යානයේ මේ ශාක කොටස් ප්රදර්ශනයට තබා තිබෙනවා. මෙන්න මේ ශාක නිසයි උද්යානයට Petrified Forest කියලා කියන්නේ. උස්වූ කඳුවැටි වල පාංශු ඛාදනය වී ඉතා අලංකාර ලෙස පාෂාණ මතුවූ ස්තර දකින්න පුළුවන්.
අපි I 40 අධි වේගයෙන් පිටවී මුලින්ම අදාළ උද්යාන පිවිසුමෙන් ඇතුළු වී Painted Desert Visitor Center අමුත්තන්ගේ මධ්යස්ථානයට යනවා. එහි මග පෙන්වන්නෙක් සිතියම පෙවමින් අපට එහි ඇති වැදගත් තැන් ගැන විස්තර කරනවා. ඔහුට් ස්තුතිය පළකර නැවත මෝටර් රථයේ නැගී උද්යානයේ වටා ගමන් අරඹනවා. ඒ ගමනේදී මුලින්ම මෝටර් රථයෙන් බහින්නේ Painted Desert Inn නමින් හැඳින්වෙන පෙර හෝටලයක් ලෙස තිබී දැන් කෞතුකාගාරයක් ලෙස පවතවාගෙන යන තැන නැරඹීමටයි. පැරණි ආකාරයේ ගෘහ නිර්මාණ ක්රමයකින් සාදා ඇති එය සුන්දර ගොඩනැගිල්ලක්. මැටිවල වර්ණයෙන් යුක්තයි. ඒ අවට ශාක වර්ග රැසක් වවා ඒවා නම් කර තිබෙනවා. මේ ස්ථානයේ ඇති අයිස් ක්රීම් වෙළඳ සැලෙන් අපි අයිස් ක්රීම් මිලදී ගෙන කනවා. ඒ අයිස් ක්රීම් මට යාපනය චාරිකාවේ අමතක නොවන රියෝ අයිස් ක්රීම් මතකයට ගෙන ආවේ එහි විශාලත්වය නිසයි.
මීළඟට අපි නවතින්නේ 1926 සාදන ලද ඓතිහාසික මාර්ගය 66 (Historical Route 66 ) සැමරීම සඳහා තිබෙන 1932 Studebaker පැරණි මෝටර් රථය හා සැමරුම් ඵලකය ළඟ. එම මාර්ගය චිකාගෝ සිට චිකාගෝ සිට ලොස් ඇන්ජලිස් දක්වා වැටි තිබුණු එකක්.එම මාර්ගයේ කොටසක් වැටී තිබෙන එකම උද්යානය මේ Petrfied උද්යානයයි. Bobby Troup නම් ගායකයා ගයා ඇති Route 66 ගීතය ඔබට මේ ලින්ක් එකෙන් අහන්න පුළුවන්.
මෙහි ඇති තවත් පුරාවිද්යාත්මකව වටිනා ස්ථානයක් වන්නේ The News Paper Rock නම් ගල් පුවරු මුණත් රාශියයි. මෙහි කිසිම පුවත්පතක් නම් නැහැ. තියෙන්නේ petroglype නමින් හැඳින්වෙන අවුරුදු දහස් ගණනක සිට පැවත එන ගල්වල කෙටුණු සිතුවම් වැනි රූප. මේවා බිතු සිතුවම් (pictographs) වලට වඩා කල්පවතිනවා.ශුෂ්ක ප්රදේශවල ගල් මත තුනී තට්ටුවක් ලෙස රතු පැහැයේ සිට කළු පැහැය දක්වා වර්ණයෙන් යුතුව පවතින desert varnish නම් ස්ථරය කටුවකින් සීරූ විට මේ සිතුවම් අඳින්න පුළුවන්. මේවා ඇඳ ඇත්තේ මීට අවුරුදු 650 - 2000 අතර කාලයේ ජීවත් වූ Puebloan නම් ආදී මිනිසුන් විසින්. ඔවුන් වගා කටයුතු හා දඩයමේ යෙදෙමින් Puerco River නම් ගඟ ආශ්රිතව සිය ජීවිතය ගෙවා තිබෙනවා. කාලයක් තිස්සේ විවිධ ශිල්පීන් ඇඳ ඇති මේ රුප වලට අද සිටිනා ඇමරිකානු ඉන්දියානුවන් විවිධ අර්ථ දැක්වීම් දී තිබෙනවා.
උද්යානයේ ඇති Blue Mesa නම් ස්ථානය අපි නැරඹුවේ මෝටර් රථයේ යන ගමන්මයි. එහි ඇත්තේ මනස්කාන්ත භූ ගර්භ ලක්ෂණ. මේ හැර Agate Bridge,Jasper Forest,Crystal Forest,Rainbow Forest Museum and Giant Logs Trail ආදිය අපට ඒ තරම් නරඹන්න වුණේ නැහැ. ඒ අධික වෙහෙස මෙන්ම අපේ ගමනේ මේ වෙනුවෙන් ගත කිරීමට නියමිත වූ සීමා සහිත කාලය නිසයි. ඉතින් අපි උද්යානයෙන් පිටවී නැවත I 40 ඔස්සේ අපේ ගමන ආරම්භ කරනවා.

2 comments:

  1. චාරිකා සටහන් වලට මම හරිම කැමතියි
    තවත් විස්තර කලොත් ඒත් කැමතියි
    අදම කොටස් හයම කියව ඉවර කළා
    ඉතිරි කොටස් එනතුරු මග බලා ඉන්නම්
    මම ආසාවෙන් කියවූ book series එකක් තමයි little house
    ඇමරිකාවේ ප්‍රාන්ත අතර ලෝරා අප්පච්චි සමග ගිය ආකාරය විස්තර කරන ඒ පොත් තමයි මගේ ප්‍රියතම

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කමෙන්ටුවට. මගේ චාරිකා සටහන් කියවන තවත් රසිකයෙක් හමු වීම සතුටක්. මට එක අතපසු වීමක් වුණා මේ ගමනේදී. ඒ තමයි දිනපතා ගමනේ සටහන් තබා ගැනීම. ඒ නිසා විස්තර ටිකක් මග හැරුණා. ඉතිරි කොටස් දාන්නම්,

      Delete