Sunday, July 21, 2024

විසල් අහසක් යට 7

 

 විසල් අහසක් යට 7

 (ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර සිට බටහිරට රට හරහා සංචාරය)



ළඟට අපි ගමන් කරමින් සිටි ප්‍රදේශය ඉතාමත් ග්‍රාමීය බවක් පෙන්වූ නිසා අවන්හලක් සොයා ගැනීමද අසීරු වෙනවා. අවසානයේ අපි දිවා ආහාරය ගන්නේ කුඩා චීන අවන්හලකින්. සවස් වරුවේ Arizona ප්‍රාන්තයේ දී මීළඟට අපි නැරඹීමට යන්නේ සුවිශේෂී තැනක්. I 40 අධි වේගයෙන් එක්සිට් 233 අරන් සැතපුම් 5ක් ගිය තැන මේ ස්ථානයට ළඟා වෙන්න පුළුවන්.

මෙතනට කියන්නේ Metor Crater/ Barringer Crater කියලා. Barringer කියන නම එන්නට හේතුව මේ භුමි භාගය Barringer  පවුලට අයත් වීම. අදටත් එය එම පවුලේ සමාගමක් ලෙස තමයි නඩත්තු වෙන්නේ.

 මෙතැන ඇති වැදගත් කම දැන් මං ඔබට කියන්නම්. Pleistocene යුගයේ කොලරාඩෝ සානුව දැනට වඩා සිසිල් හා තෙතමනය සහිතව තිබිලා තියෙනවා. ප්‍රදේශය එවකට තෘණ හා කැලෑ වලින් යුක්තව තිබී ඇති අතර මැමත් හා Giant Ground Sloth සතුන් ද ඉඳලා තියෙනවා.

මෙතැනට මීට අවුරුදු 50000කට පෙර විශාල උල්කාපාතයක් වැටී තියෙනවා. එය වැදුණු වේගය පැයට සැතපුම් 45,000ක් යයි කියවෙන අතර ඒ ගැන වෙනත් මත ද තියෙනවා.  උල්කාපාතය පොළොව හා ගැටීමේදී ශක්තිය TNT මෙගා ටොන් 10ක ශක්තිය නිදහස් වී ඇති අතර ඉතිරිවී ඇත්තේ කුඩා කැබලි කීපයක් විතරයි. පසුව ඉතිරි කරගත් එවැනි කැබලි ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මේ ස්ථානයේ උල්කාපාතය ගැටීමේදී හෑරී ගිය විශාල බේසමක හැඩ ආවාටයක් තියෙනවා. මෙය විශ්කම්භයෙන් අඩි 4000ක් වන අතර එහි උස්වූ ගැට්ටේ සිට ගැඹුර අඩි 600ක් වෙනවා. සැබවින්ම එදා ඇතිවූ ගැඹුර පාංශු ඛාදනය නිසා අඩි 50 - 60ක් දක්වා අඩුවී ඇති බවයි කියවෙන්නේ. පතුළ ද ද්‍රව්‍ය තැන්පත් වී අඩි 100ක් විතර ගොඩ වෙලයි තයෙන්නේ.ගැට්ට තැනිතලාවෙන් අඩි 200ක් පමණ උසින් යුක්තයි. මව් පාෂාණය තැන්නේ සිට අඩි 700 - 800 පමණ ගැඹුරේ දී හමුවන අතර ආවාට ගැට්ටේ හෑරී උඩට මතුවූ එම මව් පාෂාණයේ සුන් බුන් දක්නට තිබෙන බව සඳහන් වෙනවා.

මේ ස්ථානය නිරාවරණය කරගෙන තිබෙන්නේ 1891 දී. එය යකඩ හා නිකල් වලින් යුක්ත අඩි 150ක් පළලින් හා රාත්තල් දස දහස් ගණනක බරකින් යුක්තව තිබෙනවා. මෙය පොළොව හා ගැටීමේ දී ඇතිවූ බලය පරමාණු බෝම්බයක් පතිත වීමේ දී ඇතිවන බලය මෙන් 150 ගුණයකින් වැඩි බව කියනවා.

අපි විවිධ පැති වලින් හා විවිධ කෝණවලින් ආවාටය නරඹනවා. ගැට්ට උඩට නැගීමට පඩි පෙළක් තියෙනවා. එහි නගිනවිට අප ගසාගෙන යන තරමට සුළං අධිකව තිබුණා. අත්වැට අල්ලා ගෙන තමයි සුළං පාරට මුහුණ දුන්නේ. එතැනට ආවාටය පහළින් තියෙන ආකාරය පේනවා.

ආවාටය පතුළට යන්න අවසර නෑ. තරමක් පහළින් වේදිකාවක් සාදා තියෙනවා. එතැනට විතරක් බහින්න පුළුවන්.

1960 සිට 1970 දක්වා NASA අජටාකාශ ගාමින් Apollo යානයේ සඳ ගමනට පෙර මෙහි පුහුණු වීම් කර ඇති අතර එවැනි පුහුණුවීම් අද දක්වාම වෙනවා.

1964 අගෝස්තු 8 දා නියමුවන් දෙදෙනෙකු රැගත් වාණිජ ගුවන් යානයක් ආවාටය හරහා යද්දී  අනතුරට පත්වී සමතුලිතතාවය බිඳී යානය ගිනිගෙන විනාශ වී තිබෙනවා. දරුණු තුවාල සහිතව සිටි නියමුවන් දෙන්නා බේරාගෙන තියෙනවා. ඒ ගුවන් යානයේ ඇතැම් කොටස් දැනටත් එහි තියෙනවා.

මේ ස්ථානයට වසරකට සංචාරකයන් 270,000ක් පමණ පැමිණෙන බව කියවෙනවා. මෙහි ඇති ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී අපට උල්කාපාත අවශේෂ,ඇස්ටරොයිඩ් කොටස්, හා අභ්‍යවකාශය ගැන ප්‍රදර්ශන භාණ්ඩ දැක ගත හැකි වෙනවා.

 Meteor Crater හා අවට ප්‍රදේශය නරඹන අපි නැවතත් I 40 අධි වේගයට පිවිසි බටහිරට ගමන් කරනවාI 40 අධි වේගය ඉවර වෙන්නේ කැලිෆෝනියා හි Bastow නගරයෙන් බව මා ඉහත කියා ඇති. Arizona ප්‍රාන්තයෙන් කැලිෆෝනියා ප්‍රාන්තයට පිවිසි Bastow වලින් Bakersfield හරහා Los Angelis වලට ඇවිත් එතනින් අපේ ගමනාන්තය වන Sacramento නගරයට යන්න පුළුවන්. නමුත් අපි කලින්ම වෙනත් මාර්ගයක් තමයි ගමනට තෝරාගෙන තිබුනේ. ඒ Arizona වලින් Nevada ප්‍රාන්තයට ඇතුළු වෙලා Las Vegas නගරයට යන්න. ඒ නිසා අපි Kingman හිදී I 40 වලින් නික්මී 95 මාර්ගය ඔස්සේ ගොස් Arizona වලින් පිටවී Nevada ප්‍රාන්තයට ඇතුළු වී Las Vegas කරා ගමන් අරඹනවා. ගමනාන්තයට ළඟා වෙද්දී අහස රත් පැහැයට හැරෙමින් තම වර්ණවත් බසින් ඒ දවසත් අවසාන බව අපට කියා දෙනවා. Las Vegas ගැන මී ළඟ විසල් අහසක් යටදී ඔබට කියවන්න  පුළුවන්.

No comments:

Post a Comment