Wednesday, September 30, 2026

කාලය ඔහේ එක දිගටම ගලාවී

 කාලය ඔහේ එක දිගටම ගලාවී! 

















ලීලය නැතුව කලබලයට ඇදේවී 

තාලය කුමටදැයි පැන පැන දුවාවී 

ආලය කරන දේවල් බිඳ වැටේවී 

කාලය ඔහේ එක දිගටම ගලාවී


සිත්වල ඇඳුණු සිතුවම් තව තියේවී

ඔත් තැන  ටිකක් කල් ඒ රූ රැඳේවී 

ගත් මග අනුව ඉන්  එකිනෙක මැකේවී 

අත් හැරුමට නොහැකි කිසිවක් නොවේවී


බිඳ බිඳ එකතු කළ මතකය ලියන්නේ 

කුමටද මතක පොත් පුරවා තියන්නේ

කවුරුද පරණ පොත් කියවා බලන්නේ

පහනද නිවුණු පසු අඳුරයි රැඳෙන්නේ


සැණයක් කල්පයක් විදියට දැනෙන කොට

දින සති මාස වී එක දිග ඇදෙන කොට 

තණ අග පිණි බිඳක් වන් ජීවිතයකට

ඇණයක් කුමට බිතු මත දින දසුනකට 


නිල් අහසේ හිරු හිනැහී නැගෙන කොට

වල්පැළ මැදින් තරගය ජය ගන්න කොට

කල්යල් බලා වපුරන දේ පැහෙන කොට

මල් පිබිදේවි ඉනිවැට දිග වුවද      හෙට

5 comments:

  1. හරිම ලස්සන කවියක් මහත්මිය. මෙය ඔබේ කලින් කවියට සම්බන්ධව ලියැවුණු එකක්මද කියලා නම් මට හරියටම තේරෙන්නේ නැහැ. ඒත් ඒ කවියට මා ලියූ කමෙන්ටුවේ සඳහන් කළ අනිත්‍යතාව සහ වෙනස්වීම පිළිබඳ අදහස මේ කවියටත් අපූරුවට ගැළපෙනවා කියලා මට හිතෙනවා.

    කාලයත් එක්ක අප ආදරය කරන දේවල්, බැඳීම්, මතකයන් ටිකෙන් ටික වෙනස් වෙලා, සමහර විට සම්පූර්ණයෙන්ම මැකිලා යන හැටි හරිම සංවේදීව ලියැවිලා තියෙනවා. විශේෂයෙන්ම,

    “තණ අග පිණි බිඳක් වන් ජීවිතයකට
    ඇණයක් කුමට බිතු මත දින දසුනකට”

    කියන පද දෙක ළඟ මම ටිකක් නතර වුණා. ඇත්තටම අප මේ තරම් කෙටි ජීවිතයක ගෙවෙන දවස් ගණන් කරමින් ඉන්නවා මිස, ඒ දවස් ඇතුළේ ජීවත් වෙනවාද කියන ප්‍රශ්නයත් එතැනින් මතු වෙනවා.

    මම වඩාත්ම කැමති කවිය අවසන් කරන විදිහටයි. මුල සිටම කාලය විසින් අපෙන් අහිමි කරන දේවල් ගැන කියාගෙන ඇවිත්, අවසානයේ ඒ කාලය තුළම අලුත් බලාපොරොත්තුවකටත් ඉඩ තියෙන බව මතක් කරනවා. මල් පිපෙන්න සුන්දර මල් වත්තක්ම ඕනෑ නැහැ; ඉනිවැට දිග වුණත් මලක් පිපෙන්න පුළුවන්.

    කවිය කියවා අවසන් කළාම හිතේ ඉතිරි වෙන්නේ අහිමිවීම් ගැන දුකකට වඩා, ඒ සියල්ල මැදත් හෙට දවස ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන සුන්දර හැඟීමක්. ඒ අවසානයට මම හරිම කැමතියි. ❤️

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++
      ආයෙ කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ.👌

      Delete
    2. මයියා ඔබට මොන තරම් ස්තුතියි කියන්නද කියලා මට හිතාගන්න බෑ. මගේ කවිය අගය කරන්න මේ තරම් වචන ලියුවට. වෙනත් කවුරුවත් එහෙම මගේ ලිවීමක් අගය කරලා නෑ. ස්තුතියි නැවතත්.

      Delete