Monday, August 29, 2022

අතීත අත්දැකීම් ස්මරණය


අතීත අත්දැකීම් ස්මරණය

 














අපි හුදකලාව ඉන්න වෙලාවට අපේ පොඩි කාලෙ දේවල් මතක් වෙන අවස්ථා තියෙනවනේ?  මෙලොව උපත ලද දිනයේ සිට ජීවිත අත්දැකීම් අපට මතක හිටින්නේ කුමන වයසක ඉඳලද  කියල  සොයා බලන්න  මට හිතුනේ  මගේ එවැනි මතකයන් පිලිබඳ සිතට ආ හැඟීමක් එක්ක.  ඇත්තටම කුමන වයසක ඉඳන් ද අපට ඒ දේවල් මතක හිටින්නේ? 

මේ ගැන හුඟක් මනෝවිද්‍යාත්මක පර්යේෂණ කරලා තියෙනවා. මුල් පර්යේෂණ වලට අනුව දරුවෙකුගේ වයස 3-31/2 වගේ වයසේ සිට තම ජීවිත අත්දැකීම් මතක තියෙනවා. University of London, University of Bradford හා Nottingham  Trent University යන ආයතන පුද්ගලයන් 6641ක් සහභාගී කරගෙන කරන ලද පර්යේෂණයකදී 38.6% ක් කියල තියෙනවා තමන්ට අවුරුදු දෙකේදී  හා ඉන් අඩු වයසේදී ස සිදුවූ දේවල් මතක බව. එයින් 893ක් කියල තියෙනවා අවුරුදු එකේදී සිදුවූ දේවල් ද මතක බව.  මේ පිරිසට වැඩියෙන්ම අයත් වෙලා තියෙන්නේ මැදිවියේ හා වඩා වයස්ගත අය.

මේ සමහර මතකයන් ළදරු  කරත්තයක සිටි කුඩා අවදිය තරම් ඈත ඒවා. ඒ මතකයන් තම වැඩිහිටියෙක් කියපු දෙයක් හෝ ඡායාරුපයක් මත ගොඩ නැගුනු ඒවා බවයි පර්යේෂකයන්ගේ මතය.  ඒ කියන්නේ සමහර මතකයන් අපේ හිතේ ඇතිවෙන ප්‍රබන්ධ.  නමුත් කතාව කියන පුද්ගලයා දන්නේ නැහැ එය ප්‍රබන්ධයක් බව.  නිදසුනක් හැටියට කවුරුහරි ඔබට කියා තිබුණොත් ඔයාට පොඩි කාලේ තිබුණු ප්‍රෑම් එක කොළ පාට එකක් කියල ඒ  මත ඔබේ සිතේ ප්‍රබන්ධයක් ගොඩ නැගෙනවා.  එය ඔබේ පොඩි කාලේ මතකයක් විදියට ඔබ විස්තර කරනවා. 

මේ විදියට මිනිසුන්ගේ මතකයන් වලින් 40%ක් ම යම් උදව්වක් මත ගොඩ නැගුනු ප්‍රබන්ධ බවයි මනෝ විද්‍යාත්මක පර්යේෂණ වලින් දැක්වෙන්නේ. 

ඇතැම් පර්යේෂණ වලට අනුව ඉතා කුඩා අවදියේ වුවත් මුහුණ දුන් අත්දැකීම සුවිශේෂී එකක් නම් එය මතකයේ රැඳෙනවා.  නිදසුනක් විදියට සහෝදරයෙකුගේ උපත මතක තියෙන්න පුළුවන්.

ළදරු කාලයේ අත්දැකීම් අමතක වීම "Childhood Amnesia " ලෙස හඳුන්වනු ලබනවා. හුඟක් අයට අවුරුදු තුන තුනහමාරට  පෙර කාලයේ සිදුවීම් මතක පොතේ අඳුරු කලාපයක්.

නවතම පර්යේෂණ වලට අනුව මතකය අවුරුදු දෙකේ අවදියේ පටන් රැඳී තිබෙන්න පුළුවන් බව කියවෙනවා. Memory ජර්නලයේ මේ බව සඳහන් වෙනවා.  මේ අධ්‍යනය සිදු කර තිබෙන්නේ ලාස් වෙගාස් හි University of Nevada හි මනෝවිද්‍යා සහාය මහාචාර්ය David Copoland PhD විසින්.  පළමු අධ්‍යනයන්ට වඩා වසරක් ඔබ්බට මතකය රැඳී තිබෙන්න පුළුවන් බවයි මේ අනුව පෙන්නේ.

අපගේ අතීත මතකයන් පහත දැක්වෙන කරුණු මත රඳා පවතින බවත් සඳහන් වෙනවා. ඒවා තමයි

1. සංස්කෘතිය

2. ජාතිකත්වය

3. නිවසේ පරිසරය (නාගරිකද ,ගම්බද ද වගේ )

4. ඔබේ දෙමව්පියන් ඔබේ මතකයන් අවදි කරන ආකාරය

5. බුද්ධිය

6. උපන් අනුපිළිවෙල

7. පවුලේ විශාලත්වය

8. ලිංගිකත්වය 

පෙර මතකයන් පුද්ගලයාගේ හර අගයන්, බිය, බලාපොරොත්තු හා සිහින සමගද බැඳී පවතිනවා. දැන් ඔබ හිතන්න පුළුවන්  මේ පරණ දේවල් මතක් කරන එකෙන් ඇති වැඩේ මොකක්ද කියලා. ඉන්න මං දැන් විස්තර කරන්න හදන්නේ ඒක තමයි. 

පෙර මතකයන් ඉගෙනීම තුළින් පුද්ගලයන්ට තම අභ්‍යන්තර ළදරුවා අවදි කිරීමට අවකාශය විවර වෙනවා.  ඒ මගින් සංකාමය, පීඩාකාරී අවස්ථා සමනය (cure ) කර ගන්න පුළුවන් බව සොයාගෙන තියෙනවා.  වෙන විදියකට කියනවා නම් ඔබේ පෙර මතකයන් ස්මරණය ඔබට ඔබ ගැනම උගන්වනවා.  අපි අපේ ළදරු හා ළමා කාලයට කොහොමත් ආදරෙයි නේ.  විවේකීව ඉන්නා වෙලාවට ඔබේ පෙර මතකයන් අවදි කරන්න.  ඔබේ මිතුරු සංගම් වලදී එවැනි මතකයන් බෙදා හදාගෙන සතුටු වන්න. දුක්බර මතකයක් වුණත් පසු කාලීනව එය අපේ හිතේ ඇති කරන්නේ ශෝකී රසයක්.  දුකම කොයි තරම් සතුටක් දෝ කියල ගීතයකිනුත් කියවෙනවානේ? 

මට ස්මරණය කරන්න පුළුවන් ඈතම අතීතය මගේ වයස අවුරුදු දෙක දක්වා දිවෙනවා. හැබැයි ඒක සුන්දර මතකයක් නම් නෙවෙයි.  මට අවුරුදු දෙකේදී සරම්ප රෝගය තදබල විදියට හැදිලා තියෙනවා.  ඒ කාලේ දැන් වගේ එන්නත් තිබුණේ නැහැනේ. ඉතින් මට උණ ෆැරන්හයිට් අංශක 105 දක්වා ඉහළ ගිහින් තියෙනවා. මගේ ඇඟේ මුළුමනින්ම වගේ හම ගිහින් තියෙනවා.  මේ සේරම මට කිව්වේ මගේ අම්මා. මගේ මතකයේ තියෙන්නේ ඒ උණ හොඳ වුණහම පොඩි ජංගි කෑල්ලක් ඇඳගෙන හිටි පුංචි  මම මගේ උදර ප්‍රදේශයේ හම අතින් ඇදල ගලවමින් හිටි හැටි විතරයි.

ඉතින් මට මේ ලිපිය සම්පුර්ණ කරන්න තව උදාහරණ සොයමින් ඉන්නවා.  ඔබේ අතීතම පෙර මතකය මෙහි කොමෙන්ටුවක් විදියට තියන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.

මේ ලිපියේ ඇතැම් කරුණු අන්තර්ජාලය ඇසුරිනි.


Friday, August 26, 2022

කාලයේ පෙරහැර නොනවතියි


 කාලයේ පෙරහැර නොනවතියි


















කාලය නොනවතින පෙරහැරකි.
කස කරුවන් පෙරහැරේ
ඉදිරියෙන්ම එයි.
පණිවිඩය අරගෙන.
මහ විඩාවක් දැනෙයි.
අත පය වේදනා දෙයි
කොන්දෙ කැක්කුම්
හිසේ ඇම්ම තව මෙකී නොකී
අපි එකට වයසට යනබව
ඒ අඞහැරය කියා පායි...
පින්සලය අතට ගමි.
වෙනදා තරම් සියුම් ලෙස
රේඛා නොඇඳෙයි,
සායම් ගලා නොයයි.
ඔබ ඒ දෙස නිහඬව බලා හිඳියි.
මම අඳිමි පෙරදා ඔබේ රුව
මා සිතේ ඇඳී ඇති ලෙස.
සිහින් සුසුමක් වාතලය
කම්පනය කරයි.
"ඔය ඇඟිලි වකුටු වෙලා නේද?"
ඔබ අසයි
"ඔව් ඔස්ටියෝආතරයිටිස්"
මම කියමි.
"කොහොම හිටිය කෙල්ලෙක්ද?"
ඔබ කියයි.
ඒක ප්‍රශ්නාර්ථයක් නොව
දිග දාර්ශනික කතාවක
සාරාංශයක් බව මට හිතෙයි.
"ඔයාගෙ අත පය වාත්තු කරල වගෙ"
පෙරදා ඔබ මගේ සේයාරුවක් බලමින්
කියූ හැටි මතකයට එයි.
"මගෙ ඇඟිලි බලන්න ඒ දවස්වල
පෝලිමේ පන්තිවල ළමයි.
එක්කෙනෙක් ඉගෙන ගැනීමත්
නවත්තල මගෙ ඇඟිලි දිහා
බලන් තපස් රැක්කනෙ
මං ඔයාට කියල ඇති "
මං මහ හඞින් සිනාසෙමි.
ඔබත් ඒ සිනාවට එක්වෙයි.
වයසට යන බව
අපට අමතක වෙයි.
ජීවිතය කියන්නේ මේක තමයි.
කාලයේ පෙරහැර නොනවතියි.

Photo by Sven Mieke on Unsplash

Sunday, August 21, 2022

ලියුම් Letters

     ලියුම් Letters



ඔබේ නමට මුලින්ම ලියුමක් ලැබුණ හැටි මතකද බලන්න. ඒක පුද්ගලික ලියුමක් හෝ රාජකාරී ලියුමක් වෙන්න පුළුවන්. ලියුම් බෙදන්නේ ලියුම් මාමා. එයාට තැපැල් මාමා /පියුම් මාමා කියලත් කියනවා. පියුම් කියන්නේ මගේ අතීසාර මිත්‍රයෙකු නම. එයා මුහුණු පොතේ නෑ. ඒ නිසා මේක අවමානයක් වෙන එකක් නෑ. ලොකු අය කියන විදියට නම් මේ ලියුම් බෙදන කෙනා තැපැල් කාරයා. ඒ මිහිරි සීනු නාදය අහන්න අපි කොච්චර ආස කළාද?

ඒත් අද පරම්පරාව ලියුමක් ලැබීමේ චකිතය, චමත්කාරය එතරම් විඳල නැතුව ඇති. අද වෙද්දී පුද්ගලික ලියුම් ලිවීම අභාවයට ගිහින්. අදහස් හුවමාරු කර ගන්න ප්‍රධාන වශයෙන්ම තියෙන මෙවලම දුරකථනය නෙ. දුරකථනයෙන් පෙම් බස් දොඩන එකට මල් කඩනවා කියලා කතාවකුත් ආවනෙ. ඒ වගෙම රාජකාරි වලට විද්‍යුත් තැපෑල තියෙනවා. ඒත් අතීතයේ අදහස් හුවමාරු කර ගැනීමට ප්‍රධාන වශයෙන් තිබුණෙ ලියුමක් ලියන එක. හුඟක් ඉස්සර ලියුමක් ආවත් ඒව කියව ගන්න ගමේ අකුරු සාස්තරේ දැන උගත් කෙනෙක් ළඟට ලියුම ගෙනියන්න වෙනවා.

ඒ කාලේ ලියුම් මාමා එනකම් අපි බලන් ඉන්නෙ පුදුම බලාපොරොත්තුවකින්. ලියුමක් එවන්න කෙනෙක් විශේෂයෙන් නැතත් ලියුමක් තියේවි කියලා හිතේ කොණක බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් එයා අපට ලියුම් නොදී පිට පාරෙ යන කොට කේන්තියකුත් එනවා.

ලියුම් කිව්වම පෙම්පත් ගැන නොකිය බෑ ඉතින්. ඒව තැපෑලෙන් එද්දී ගෙවල්වලින් හුටපට නෙ. මග රැකල ඉඳන් ගන්නත් බෑ. ඈයි තැපැල් මාම ගෙදර උදවියට කියනවනෙ. මෙන්න මේ නිසා තමයි ඒ ලියුම් හුවමාරුවට දූතයො හිටියේ. දූතයා පොතක් ඇතුලෙ දාපු ලියුම අදාල ග්‍රාහකයට දෙනව. පිළිතුරු ලිපියත් ඒ ක්‍රමේට තමයි යන්නේ. දූතයා ඉතින් හොඳ යාලුවෙක් වෙන්න ඕන. මේ ලියුම් එක්ක ලේන්සු, මල් වගෙ තෑගිත් හුවමාරු වෙනව. මේක කියවන අයට තමන්ගේ අතීතය මතක් වෙන එක නවත්තන්න මට බෑ.

රාජකාරී ලියුම් කියන්නෙත් අපූරු දෙයක්. ඔන්න සමහර ගම්වල ඉන්නවා ගමේ පුංචි පහේ කෙනෙකුට යහපතක් වෙනවට කැමති නැති තැපැල් ස්ථානාධිපති වරු. ඒ වගෙම තැපැල් කාරයො. ඒ වගේම ගමේ සමහර අය හිටියා කාටහරි රාජකාරි ලියුමක් එද්දී අද භාෂාවෙන් කියනවා නම් පුපේ ඉත්තෑවන් දුවන. මොකද විභාගයක්, සම්මුඛ පරීක්ෂණයක්, පත්වීමක් වගෙ දේවල් තමයි මේ ලියුම් වලින් දන්වන්නේ. අද වගේ වේදිකාවල නැගල හොරු අතින් පත්වීම් ගන්න සිරිත ඒ කාලේ තිබුණෙ නෑ. ඒ අතින් අපි වාසනාවන්තයි. ඉතින් මොකද අර ඉත්තෑවන් දුවන අය කරන්නේ? මේ ගොල්ලෝ එකතුවෙලා අදාල ලියුම හරි වෙලාව පහු කරල බෙදනවා. නැත්නම් අතුරුදහන් කරනවා. මේ නිසා මිනිස්සු වැදගත් ලියුම් සඳහා වෙන හිතවත් කෙනෙකුගෙ ලිපිනයක් තමයි දෙන්නේ. හැබැයි අපට හිටපු තැපැල් නෝනා හා තැපැල් මාමා නම් හුඟක් හිතවත්. ඒ වගෙ නපුරු දේවල් කළේ නෑ. හැබැයි මිනිස්සුන්ට තරහ ගියහම නම් ඔය තැපැල් ස්ථානාධිපතිල පතිනියල හඳුන්වන්නේ තැපෑල /තැපෑලි කියලා ගරු නම්බු ඇතුව.

පහු කාලීනව ගෙවල්වල තාප්ප බැන්දට පස්සේ ලියුම් පෙට්ටි ඒවයෙ හයි කර ගත්ත නෙ. ඉතින් තැපැල් මාමට තියෙන්නේ ලියුම් තියෙනවා නම් පෙට්ටියට දාන එක. ලියාපදිංචි ලියුමක් තිබුණොත් විතරයි සීනුව නාද වෙන්නේ. අනික පස්සෙ පස්සෙ අපට ලැබුණෙ පෙන්නන්නම බැරි බිල් විතරයි නෙ. ඒව බලන්න නමි කිසිම ඕන කමක් තිබුණෙ නෑ.

මේ රටවල් වල ලියුම් පෙට්ටි තනි තනිව හෝ සමූහ වශයෙන් පාර අයිනේ තියෙනවා. තට්ටු නිවාසවල ඇතුලෙම එක පැත්තකින් ලියුම්-පෙට්ටි තියෙනවා. ඒවයෙ යතුරු නිවෙස් හිමියො ළඟ තියෙනවා. තැපැල් මාමල එන්නේ වෑන් වල. ඇවිත් පෙට්ටියට ලියුම් දාල යනව. අපි ගිහින් ලියුම් පෙට්ටිය ඇරල ලියුම් හෝ පාර්සල් ගන්නවා. ලියුමේ කතාව නිමි. ඔබට අමතක නොවන ලියුම් කතා මෙහි කොමෙන්ටු ලෙස තියන්න.

Photo by Debby Hudson on Unsplash


Friday, August 5, 2022

ජීවිතය ගලා යයි







 




ජීවිතය ගලා යයි


අසිරිමත් මිනිස් සිරුර
අනවරත මෙහෙවරක යෙදෙයි.
ජීවිතය ජීවත් කරවයි.
නූලක් එහෙමෙහෙ වුණොත්
සමබරතාවය බිඳෙයි.
අට අනූවක් රෝග වැළඳෙයි.
කේසා නඛා දන්තා
මුමුණමින් හෙමිහිට
උපාසකම්මා බෝ මළුවේ
ඉඳගෙන පිළිකුල් භාවනාව
වඩවයි.
ඒ උත්තමයාගෙ දන්තා කේසා
වෙහෙර ගැබ තූළ වෙයි.
උපාසකම්මා බිම වැතිර
බැතිබරව ධාතු වන්දනා කරයි.
ඈත සොහොන් බිමක
මියගිය සිරුරු සෑයේ දැවෙයි.
දුම්රොටු වලාකුළු සිප ගනියි.
අළු පොළවට එකතු වෙයි.
ජීවිතය මිහිමත නොසැලී
ගලා යයි.
Image from Unsplash free images