Thursday, February 20, 2020

අධ්‍යාපන චාරිකා



















 

 අවුරුදු 35 ගුරු ජීවිතයේදී මම තරම් සිසුන් අධ්යාපන චාරිකා අරන් ගිය ගුරුවරියක්  නැතුව ඇති කියලත් හිතෙනවා. මගේ විෂය වුණු ජීවවිද්යාව අනුවත් මා යෙදුණු පරිසර නියමු වැඩ සටහන අනුවත්, විද්යා ගණිත අධ්යාපන සංගමයේ ක්රියාකාරිණියක් හැටියටත් , ගමේ ළමා සමාජය මෙහෙයවූ අනුශාසක හැටියටත් ගමන් අනිවාර්යයෙන් කළ යුතු ලෙස මා සැලකුවා. මුල් කාලවල අපි විදුහල් පති තුමාට විතරයි චාරිකාව යන බව කියන්නේඑතුමා අවසර දුන්න නම් ඉන් එහා  කිසි දෙයක් අපිට කරන්න තිබුණෙ නැහැ. පස්සේ නීති රීති වැඩි වුණා. පාසල් චාරිකා අනුමත කර ගන්න ග්රීන් පාත් කාර්යාලයට ගිය වාර අනන්තයි. වෙන කෙනෙක් යවල සමහර චාරිකා අනුමත කර ගන්න පුළුවන් වුණේ නැහැකොයි දේටත් කට පාවිච්චි කරන ක්රමයක්, කලාවක් තියෙනවනේහෝර්ටන් , සිංහරාජය, කන්නෙලිය, නකල්ස්, නුවර, නුවර එළිය ,රිටිගල, හම්බන්තොට, උඩවලව මොනතරම් චාරිකා ගිය සමහර චාරිකා දින දෙක තුන ඒවාමාත් එක්ක හැමදාම වගේ චාරිකා සගයන් ලෙස අත්වැල් බැඳන් හිටිය ඒකනායක සර්, පසුව චමලි,සාගරිකා, වගේම කාලවල සම්බන්ධ වුණු දෙමව්පියෝ මතක් නොකර බැහැ. විශේෂයෙන් මව්වරුන්ගේ සහය අගය කරන්න ඕන. ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව අය තමයි බාර ගත්තේ.

එක සැරයක් කන්නෙලියේ ගිහින් එද්දී පාසල් බස් රථය පළමු වතාවට දක්ෂිණ අධි වේගී මාර්ගයට දැම්ම වෙලාවේ සිසුන්, රියදුරු මහතා ඇතුළු අපි කවුරුත් ප්රහර්ෂයෙන් කෑගහන්න පටන් ගත්ත. මාර්ගය විවෘත කරලා නොබෝ කලකින්. පස්සේ කාලේදී පාසල් බස් රථයේ සීට් බෙල්ට් නැහැ කියල ග්රීන් පාත් එකෙන් දක්ෂිණ අධි වේගේ එන්න තහංචිත් දැම්මඒත් අපි නොගියෙමත් නැහැ.

චාරිකාව අනුමත ලිපියේ තියෙනවා සිසුන් ජලාශ වලට බැස්ස වීම තහනම් බව. ඒත් අපි හැම වසරකම වගේ මොරගල්ල කොරල් පරයේ මුහුදු පැළෑටි හා මුහුදු ජීවීන් අධ්යන චාරිකාවේ නිරත වුණා. 'ඇල්ගී නිරීක්ෂණය කරන්නේ ගොඩ ඉඳල ?' කියල මං චාරිකා භාරව කටයුතු කරන  නිලධාරියාගෙන් ඇහුවාකොරල් පරයට ගොඩවෙන්නේ උදේ පාන්දරම. එතකොට ජල මට්ටම දන හිසට තියෙන්නේ. ආපසු එන කොට ජල මට්ටම පපුව හරියට. එකිනෙකා දම්වැල වගේ අත් අල්ල ගෙන එනවා.

කිසිම චාරිකාවක ලොකු අනතුරක් වුණේ නැහැ. එක වරක් කන්නෙලියේ දී සිසුවියකගේ දතක් කැඩුණා, දිය ඇල්ල ළඟ ගලක් උඩ වැටිලාතව සැරයක් හෝර්ටන් තැන්නේදී නාල දරුවෙකුට සීතල හැදුණාරිවෙර්ස්ටන් ගිහිල්ලා 'අලි පුසුඹ ආවා' 'දැන් දැන් අලියා ගිහින්' කියපු වෙලේ තරමක බයක් දැනුණා. මට වඩා ගොඩක් බයවුණේ කාංචනාගේ අම්ම

ඉදිරි අනතුර ඉවකින් වගේ දැනෙන ගතියක් තිබුණා. එක සැරයක් හම්බන්තොට ගිහින් එද්දී ඇඹිලිපිටියේදී ළමයි චන්ද්රිකා වැවේ නාන්න එක පොරේ. මගේ සැර දැක්කේ එදා කියල ඒකනායක සර් කිව්වා. මොන විදියටවත් වැවට බැස්සුවේ නැහැ. අතර මග පොඩි වතුර පාරක  බස්සලා ළමයින්ගේ නෑමේ දොළ දුක සංසිදෙව්වා.

මේ කොහොම ගියත් ගමන ආරම්භයේදී මගෙත් අනික් සහායක ගුරුවරුන්ගෙත් පපුවේ තැම්බෙන බිත්තර නිවෙන්නේ චාරිකාව නිමවෙලා පාසලට ඇවිත් හැම දරුවම දෙමව්පියන්ට බාර දුන්නට පස්සේ. දරුවෙකුට අනතුරක් වුණොත් ඊළඟ වෘත්තීය මෙන්ම පුද්ගලික  ජීවිතයම ඉවරයි කියන හැඟීම හැමදාම පපුවේ කොටලා තිබුණා. චාරිකා නීති රීති අනුව ගියහම අනතුරක් වුණත්  අපේ රැකියාවට ප්රශ්නයක්  වෙන්නේ නැහැ. නමුත් ගමනකදී  දරුවෙකුගේ ජීවිතයට හානියක් වුණොත් අපිට ජීවත් වෙලා වැඩක් තියෙනවා කියන හැඟීම හැමදාම පපුවේ විදුලි කෙටුවා.

ඒත් හැම චාරිකාවක් පසුව මතක් කරන කොට එය පුදුම ප්රීති ප්රමෝදයක් සිතට ගෙන එනවා. සමහර වෙලාවට චක් ලේඛයටම වැඩ කළේ නැහැ. කොහොම වුණත් ස්ථානෝචිත ප්රඥාව පහළ වීමෙන් වැඩ කටයුතු කරදරයෙන් තොරව කර ගත්තකඳු නැගීමේදී දරුවෝ අපිට උදව් වුණා. මං මගේ අත දරුවොත් අරගෙන මේ චාරිකා ගිහින් තියෙනවා. එහිදී මගේ ආදරණීය සිසු දරුවෝ ඔවුන් වඩාගෙනත් ගියා. අය්යලා අක්කලා කවදාවත්  අපේ දරුවන්ගේ මතකයෙන් කවදාවත් ඈත් වුණේ නැහැ. හරිම ආදරණීයයි කාලය. කුමන චාරිකාව ගියත් අප ගැන විශ්වාසය තැබූ විදුහල් පතිවරුන්, දෙමව්පියන් චාරිකාවට සම්බන්ධවූ  අනිකුත් ගුරුවරුන්, දෙමව්පියන් ,පාසල් බසයේ රියදුරන්, අනිකුත් උදව්වට හිටිය සැමගේ සහායෙන් සියල්ල සාර්ථක වුණා. සැමට මං ස්තුතිවන්ත වෙනවා.






















Friday, February 7, 2020

සිහිනය






ඈ මට ඉදිරියෙන් අසුන් ගෙන
ඉදිරිපස පෙළක සුකොමලව
මා ඈට පිටුපසින් ඇස් රැහැන් බැඳ
පිටුපස පෙළක කලබලව

මේසය මත ඇගේ වමතේ
රන්වන් සිහින් අතැඟිලි ලතාවකට
මසිත මිහිරෙන් කිතිකවමින්
ගෙනගියා මා සිහින ලොවකට

ඈ ගැඹුරු කල්පනාවෙන් බරව
පාඩමට සිත නාභි ගත කර
වර්තමානෙන් අනාගතයට
තැනුවා පාලමක් හෙමිහිට

තැලී පොඩිවී ඉරී ගිය
දුර්වර්ණ ජීවිත කඩදාසිය මත
නැවුම් සිතුවමක් අඳින්නට
වෙර දැරුවා ඈ සෑම මොහොතකම

මා මගේ සිහින ලොව තුළ
ඉබාගාතේ සැරිසරන කළ
සිහින මැව්වේ ඇගේ අතැඟිලි
හිමිකර ගන්න විතරමයි මතු දින

ඈ ඇගේ ඒ සොඳුරු සිතුවම
අවසන්  කර තිබුණා මා නොදැනම
මා මගේ සිහින ලෝකෙන් මිදී
වැටුණා විසල් පොළෝ තලයට

අවදිවී විස්මයෙන්  අවට බලන කළ
ඇගේ වමතේ වෙද ඇඟිල්ලට
දිළෙන ලස්සන රන් මුදුවක්
වැටී තිබුණා දුටිමි වටකුරුවට

 Photo by Alvin Mahmudov on Unsplash

Wednesday, January 29, 2020

කොරෝනා කවුද නුඹ ?



නව කොරෝනා කියන්න කවුද නුඹ ?
ජීවීත් නොවන අජීවීත් නොවන
ගන්ධබ්බ ස්වරූපයකි නුඹ
විටකදී නිදියගෙන විටෙකදී අවදිවන
නුඹ ඇතුළු පරපුරම මහා වදයකි අපට

නුඹ ඇතුළු හැමදෙනම ඔව් නුඹේ පරපුරම
මේ මිහි මත වසන්නට ආවෙ නම්
පසු කලෙක බව හොඳට  තහවුරුය.
ඒ මන්ද නුඹට තනිව අපි නැතුව
කිසිවක් කරනු නොහැකිය.

කන්නට නොහැකිය
බොන්නට නොහැකිය
පරපුර හදන්නට නොහැකිය
හැබැයි වෙනස් වෙන්නට හැකිය

පරපෝෂිත වෛරසය
අප  තුළ චන්ඩියෙක් වේය නුඹ
අපේ  පිහිටෙන් සිය දහසක්
පැටව් බිහිකර අන්තිමේ
අප  විනාශ කර පැන යන්නෙහිය.

පැටව් තව දහසක් දෙන ලෙඩකර
නුඹේ සංසාර චක්‍රය ඉවරයක් නැතුව
නොනැවතී ගෙන යන මහිමය
ඒත් නුඹේ සමහර ස්වරූප
මිනිසාට පැරදුනු බව අමතක ද ?

ඒ නිසා දුන්නු දුක සෑහේය මේ ටිකට
බිලි ගත්ත  ජීවිත ද දැන් ඉතින් ඔය ඇතිය
මේ ලොවින් ඈත්වී යන්ට දැන් කල් ඇතිය
ගිහින් කොතැනකට හෝ නිදාගන්නට හැකිය. 

Photo by CDC on Unsplash

Monday, January 13, 2020

දුවන මිනිසුනි !!!




සිසිල උණුසුම සමතුලිත වුණි
ලොවේ ගහකොළ තුටින් නැළවුනි
සතා සීපාවා ද සතුටිනි
මෙලොව මේ ලෙස කලක් ගතවුණි

එදා මිනිසුන් ලොවේ නැති වුණි
ලොවම වනපෙත් නිලෙන් බැබලුණි
උචිතයා ඉතිරිවී අනුචිත එවුන්
ලෝකෙන් ඉබේ නික්මුණි

මෙහෙම යනකල යමක් වැරදුණි
මිනිස් කැළ මේ ලොවේ ඇතිවුණි
එදා සිට මහ විනාසය වුණි
ලොවේ ලස්සන අනේ නැතිවුණි

තෙලුත් හාරා ගිනිත් තියලා
දුමින් මුළු ලෝකයම  වහලා
බිමත් වනසා කැලෙත් කපලා
ලෝකයම උදුනකත් තියලා

ඈත ධ්‍රැවයේ හිමත් දියවුණි
මුහුදු දිය කඳ තව මහත් වුණි
පහත් බිම් දිය කඳෙන් යටවුණි
තවත් තැන්වල ගිණිත් ඇවිලුණි

සතුන් ඇවිළී දුවත් දුකකිණි
ඒත් ගැලවීමකුත් නොමවුණි
අඟුරු වූ දහසකුත් සිරුරිණි
දැවී ගිය මහ පොළොව ඇහුරුණි

ඒත් මිනිසා තවත් දුවමිණි
වෙනස් වීමක් තවත් නොපෙනුණි
දිනක් ඇවිදින් තවත් නුදුරිනි
සමුගැනීමක් වේය නිතැතිනි


Photo by Marcus Kauffman on Unsplash