Thursday, September 26, 2024

නොස්ටල්ජික් කතා 6 - ලොකු මුත්තණ්ඩි හොල්මනක් වීම

 නොස්ටල්ජික් කතා 6

ලොකු මුත්තණ්ඩි හොල්මනක් වීම






ත්තටම අපි පොඩි කාලේ හොල්මන් කතා, භූත කතා අහන්න හරිම ආසයි. හොල්මන් හරි භූතයො හරි කොහේ හරි ඇති කියලා නේ අපි හිතුවේ. මොකද ඒවා කියන අය ඇත්තටම දැක්ක වගේ අතේ පැළවෙන බොරු දෙසාබානවා නේ. ජන කතාවලත් බණ කතා වලත් ප්‍රේතයෝ, භූතයෝ, යක්ෂයෝ, පිසාචයෝ ඉන්නවනේ.

ඔහොම ඉන්න අතරේ අපේ ලොකු මුත්තණ්ඩි මැරුණා. උන්දලාගෙ ගේ තිබුණෙ අපේ වත්තට අල්ලපු වත්තක. නිතරම අපේ ගෙදර එනවා ඒ දවස් වල. ඇවිත් බුලත් විට එහෙම කකා අපේ මුත්තණ්ඩි එක්ක කතාව දාගෙන ඉන්නවා. ඒ දෙන්නා එක කුස උපන් අයියා මලෝ නේ.

මේ සිද්ධිය වෙද්දී උන්දෑ මැරිලා මාස ගණනක් ගිහින් වගේ තමයි මතක.

එක දවසක් හැන්දෑවේ අපි කට්ටිය ඒ කියන්නේ නංගිලා මල්ලිලා ඇරුණම පැට්ටා කියලා අපි හඳුන්වපු අල්ලපු ගෙදර අයියා කෙනෙකුත් හිටියා. එයාගේ හරි නම නීල්. ගෙදරට පැටි මහත්තයා. අපට පැට්ටා.

මට මතක විදියට අවුරුදු දවස් වගේ. ආත්තම්මා තෙල් ලිප තියලා කැවුම් කොකිස් එහෙමත් හදනව නේ. මේ තෙල් කෑම අපි කෑවොත් වතුර නොබී එළියට යන්න තහනම්. මොකද පෙරේතයෝ බැල්ම හෙලනවා. අපේ පහේ පොතේ ඔහොම කතාවක් තිබුණා. කතාවේ නම රොමාගේ වාසනාව. රොටියක් කකා රොමා සොහොනට ගිහින් ඉන්නකොට රොමාගෙ රොටිය සොහොන් කොතක් උඩ ඉඳගෙන හිටි යකෙක් උදුරා ගන්නවා. අන්තිමට යකා හිරෙන් පැනපු හිර කාරයෙක්.

ඉතින් අපේ ගෙදර හදන අර කැවිලි එළියට ගෙනියනවා නම් ආත්තම්මා ඒවා සමග යකඩ ඇණයක් තියලා තමයි අහුරන්නේ. යකඩ ඇණේට යක්කු බයයිලු.

මට වැල්වටාරම් නැතුව කතාව කියන්න බෑ වගේ නේද? ඔන්න අපි එදා ඉස්තෝප්පුවේ ඉඳගෙන තමයි සෙල්ලම් කළේ. එතන මිටි තාප්පයයෙන් ඔබ්බේ ගෙදරට එන පාර හොඳට පේනවා. ඒ වෙලාවේ හොඳටම කළුවර වැටිලා. සාලයේ පෙට්රොමැක්ස් ලාම්පුව පත්තු වුණාට පාරට එළිය එන්නේ නෑ නේ. ඉස්තෝප්පුවේ ටී පෝව උඩ තිබුණේ ග්ලෝබ් චිමිනිය දාපු ලාම්පුව විතරයි. ඒකේ එළිය එච්චර ප්‍රභල නෑ.

ඔන්න පැට්ටා එක පාරට පාර දිහා විමසුම් බැල්මක් හෙලනවා. එයාගේ ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි දෙකක් වගේ එළියට නෙරලා.  මූණත් සුදුමැලි වෙලා.  ඒත් එක්කම මහා භයානක හඬකින් කියනවා,

"අර අර සුදු නෝනා, හිච්චි නෝනා අර බලන්න. රාළහාමි නේද එන්නේ?"

රාළහාමි කියන්නේ අපේ අර මැරුණු ලොකු මුත්තණ්ඩි.

මාත් එතන හිටි අනික් අයත් බය බිරාන්ත වෙලා ඒ පැත්ත බැලුවා.

අම්මෝ! ඇත්ත නේන්නම් ලොකු මුත්තණ්ඩි හොඳට ට්වීඩ් රෙද්ද ඇඳලා කෝට් එක උඩින් දාලා බස්තමත් අතේ අරන් අපේ ගෙදර පැත්තට එනවා. ඇත්තටම ලොකු මුත්තණ්ඩිම තමයි. කිසිම වෙනසක් නෑ. පිටි පස්සට කොණ්ඩේ පීරලා ඒ විදියමයි. පස්සට බැඳපු කොණ්ඩ පුරුච්චිය පෙනුණේ නෑ. උන්දෑ අපේ දිහාවටනේ ආවේ.

හැබැයි පොඩි වෙලාවයි එහෙම පෙනුණේ. එක පාරට උන්දෑ නැතුව ගියා.

අපි බයවෙච්ච පාර කට්ටියම එකට බදාගෙන ගේ ඇතුළේ තමයි නැවතුණේ. හැබැයි ඒ වෙලාවේ ලොකු අයට මේ කතාව කිව්වේ නෑ. පස්සේ අම්මාට මේ කතාව කිව්වම අම්මා කිව්වේ ලොකු  මේ ඉඩකඩම් වලට ආසාව හින්දා පෙරේතයෙක් වෙලා ඇවිත් වෙන්න ඇති කියලයි. ඊට පස්සේ වුණත් ආයේ කළුවරේ සෙල්ලම් කරන එක නැවතුනෙත් නෑ. අපට හොල්මනක් තියා මොකා ආවත් ගාණක් නෑ වගේ. පෙරේතයෝ භූතයෝ කොහෙද අපිත් එක්ක එයාලගේ සෙල්ලම් දාන්නේ? ඒක පුදුම ළමා කාලයක් කියන්නේ ඒ නිසා.

ඇත්තටම හොල්මන් ගැන මගේ මුල්ම අත්දැකීම නම් ඒක. හුඟක් වෙලාවට ඒක පැට්ටා එහෙම දැකලා හෝ නැතුව හෝ අපේ මනස ඒ විදියට හැඩ ගැහුව නිසා අපටත් එහෙම පෙනුණා වෙන්න ඇති කියලයි අද මට හිතෙන්නේ. මොකද අඳුරේ වැනෙන කෙසෙල් කොළයක් වුණත් මිනිහෙක් වගේ හිතට පේනවා නේ. හොල් + මන = හෙලවෙන මනස.

 

Friday, September 6, 2024

නොස්ටැල්ජික් කතා 5 මුත්තණ්ඩි ගේ පූසන් වළදැමීම

 නොස්ටැල්ජික් කතා 5

 මුත්තණ්ඩි ගේ  පූසන් වළදැමීම

 


හ පූසී අපේ ගෙදරට ආවේ කොහේ ඉඳලා ද කියලවත්   කවදාද  කියලවත් අපට නම් මතකයක් නැහැ. හැබැයි මතක ගොඩක් අපට දීලා අනේක දුක් මෙන්ම සැප විඳලා අවුරුදු 15ක් අවසානයේ ඈ අපේ ඉස්සරහම අවසන් හුස්ම පොද වාතයට එකතු කළේ ටිකක් කල් ලෙඩ වෙලා ඉඳීමෙන් පස්සෙයි. අත්තම්මා කෑම බිමෙන් නම් සතුන්ට කිසි අඩුවක් කරන්නේ නෑ. ඒක ඇගේ කරුණාව වගේම අභිමානයේත් එකතුවෙන් වුණු දෙයක්.

"බල්ලගේ ඉරනම් කටු පේනවා. මිනිස්සු හිතයි අපි කන්න දෙන්නේ නෑ කියලා" ගෙදර බල්ලා පොඩ්ඩක් කෙට්ටු වුණහම ඈ කිව්වා.

කොහොම කන්න දුන්නත් පූසෝ ගෙදරම ඉන්නේ නැහැනේ. ඉතින් මහපුසී අහලපහල ගෙවල්වල සංචාරේ ගියා. අන්න එහෙම ගිය වෙලාවල්වල සමහර නපුරු මිනිස්සු ගල් වලින් ගහලා ද දන්නේ නැහැ ඇගේ එක ඇහැක් රතුවෙලා ඉදිමිලා එළියට පැනලා වගේ වුණා. අත්තම්මා ඇස් වෙදහාමිනේ නොවැ. අර බුද්ධදාස  රජ්ජුරුවෝ නයාටත් බෙහෙත් කළා වගේ ආත්තම්මා පුසගේ ඇහැටත් බෙහෙත් කරලා හොඳ කළා.

මහ පූසීට තිබුණේ  පොල් සම්බල් පාට, කළු පාට හා සුදු පාට කියන පාට තුනේ ලෝම ගොඩක්. එහෙම පාට තුන තියෙන හැම පුසන්ම ගැහැනු සතුන් නිසා ඈත් ගැහැනු සතෙක් වුණා. ඒ කාලේ පූසන් වන්ද්‍යාකරණය කියලා දෙයක් තිබුණේ නැහැනේ. ඉතින් මහ පුසිගේ බඩ වරින් වර ලොකු වුණා . ටික දවසකින් මඩුවේ හරි, ගෙයි කුස්සි කොටසේ  ගබඩා කාමරයේ හරි, ආත්තම්මාගේ කාමරයේ හරි ඒ බඩ නිදහස් කරලා පුළුන් බෝල ටිකක් අපට දකින්න සැලැස්සුවා. එයාලා ඇස් අරිනකම් වගේම ඇස් ඇරියට පස්සෙත් මහ පුසීගේ වැඩේ පුළුන් බෝල කටින් ඩැහැගෙන රට වටේ ඇවිදිනවා. ඒක පූස් අම්මලාගේ රාජකාරියක් නේ.

මේ මහ පුසිටයි පැටවුන්ටයි අපේ මුත්තණ්ඩි  නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ . අපි පූසෝ අතපත ගානවට වඩා ගන්නවට ආස වුණේ නැහැ. මේකට හේතුව හැටියට මුත්තණ්ඩි කියන්නේ

දරුවෝ බල්ලලු අල්ලන්න එපා. ඔය මවිල් පපුවට යනවා.

මේක හැර උන්දැ අකමැතිම තව එකක් තිබුණා . ඒ අපේ බුලත් කෑම. උන්දැ නම් බුලත්,පුවක්, හුණු, දුම්කොළ පදමට දාලා බුලත් විට කෑවා. හැබැයි ගෙදර බුලත් වැලෙන් හරි  කොළයක් හරි අපි කනවා දැක්කොත් දෝස්මුරේ දැම්මා.

ළමයිනේ බුලත් කෑවහම ඉංගිරිසි කතා කරන්න බැරි වෙනවා.

මාමලා එහෙම හොඳට ඉංග්‍රීසි කතා කළේ බුලත් නොකාපු නිසා වෙන්න ඇති. හැබැයි අපි නම් ඉතින් හොරෙන් හරි බුලත් නම් කෑවා. බුලත් විතරක් නෙමේ ගස්වල කඳන් දිගේ උඩට බඩ ගාන වැම්මල් කියන බුලත් වර්ගයේ කොළත් කෑවා. ඇත්තටම ඒවා කෑවහම කම්මුල් ඇතුළු පැත්ත තාවකාලිකව ගොරෝසු වුණා. ඉංගිරිසිත් යන්තම් කතා කර ගත්තා කියමුකෝ.

ඔන්න ඉතින් අපේ මහ පුසී සැරයක් පැටවූ තුන් දෙනෙක් දැම්මා. සුදු පාට දෙන්නයි, පොල් සම්බෝලයයි. සුදු පාට දෙන්නා කවුරු නමුත් අරන් ගියා. පොල් සම්බලයා ඉතුරු වුණා. අපි එයාට හරිම ආදරය වුණා. ඉමබා ,වඩා ගත්තා , ඇඳන්වල නිදි කෙරුවා.    මුත්තණ්ඩිට තරහ යන හැම දේම කළා.

එක දවසක් පොල් සම්බලයා නැති වුණා. ගෙදර වගේම වත්ත පුරායි, පාරවල් වලයි බැලුවා. පොල් සම්බලයා නෑ. අපිට හරිම දුකයි. ආත්තම්මාත් දුක් වුණා. හැන්දෑවේ හයට විතර අපි වත්ත පහළට ගියා තව ටිකක් බලන්න. පොල් ගහක් යටින් පුස් පැටියෙක් අඬනවා ඇහුණා. පොල් ගහ යට තිබුණු රොඩු බොඩු අහක් කරලා පොඩ්ඩක් හාරලා බැලින් නම් අනේ මැටි මුට්ටියක් ඇතුළේ පොල් සම්බලයා ගුලි වෙලා හිටියා. ඌට උණ ගැනිලා ඇඟ වගේ රත්වෙලා තිබුණා. අපි මුට්ටියත් එක්කම ඌව අරගෙන ගෙදර ගිහින් ආත්තම්මාට කිව්වා.

මෙහෙමත් මනුස්සයෙක් ! පණ පිටින් සත්තු වළලනව ද?  කරපු පව් මදිද? "ආත්තම්මා පරල වුණා. සාමාන්‍යයෙන් ආත්තම්මා ඔය වගේ දේවල් වලදී එහෙම තමයි. මුත්තණ්ඩි  ම්හු නැහැ. උන්දැ තමයි එකත් එකටම වැඩේ කරලා තිබුණේ. හැබැයි බාගෙට වළ දැම්මේ මැරෙන්නේ නැතිවෙන්න වෙන්න ඕන. රෑ වෙද්දී කාට හරි ගිහින් දෙන්න හිතුවා වෙන්නත් පුළුවන්. මොකද ගමේ පන්සලේ ප්‍රධාන දායකයෙක් වෙච්චි, ඒ වගේම් ආත්තම්මා එක්ක ඉඳහිට සිල් සමාදන් වෙන්නත් ගිය සැදැහැති උපාසක මහත්තයෙකුත් නොවැ.

පොල් සම්බලයා අපි එක්ක ඉඳලා පස්සේ කවුරුහරි අරන් ගියා මගේ මතකේ හැටියට. 

Thursday, August 22, 2024

කුහුඹුවනි තොප!

 කුහුඹුවනි තොප!



කුහුඹුවනි තොප
හිස්ව ගිය කුස්
පුරව ගන්නට
පැණි බිඳකට ඉව අල්ලමින්
අනවරත ගමනක යන
කුහුඹුවනි තොප
ඒ විඩාබර ගමන අතර
පාවහන් වලට
තැලි තැලී
පොඩි වෙවී
මැරි මැරී යන
මැරුණත් කිසිවකුටත්
වගේ වගකුත් නොවන
බලන්න අවට දෙනෙත ඇර
මේ එළඹ ඇති
සොඳුරු සුයාමය
යළිත් කිසිදා නොඑන
නෙක වර්ණයෙන්
වර්ණවත් කළ
සීනි දියකළ බඳුන්
ගෙන ඒවි උන් නුඹට
රැවටී බී මත් නොවුණ මැන
එවිට ලේසියි උන්ට
මත්වූ තොප
චප්ප කර දමන්නට
කුහුඹුවනි තොප
එකාමෙන් රොඳ බැඳගෙන
පාවහන් යටින්
එළියට විත් නොනිමි
නිදහස ලබා ගනු මැන!
සොඳුරු සුයාමයකි මේ
එය නැවත නොඑළඹෙන!

Tuesday, August 13, 2024

මාර්ග අනතුරු

 මාර්ග අනතුරු



FB පෝස්ට් එකක් viral යනවා ගැබිනි කාන්තාවක් මාර්ග අනතුරකින් මිය ගිය බව දැක්වෙන. ඈ අනතුරට ලක්වෙලා විනාඩි 45ක් විතර එතනම හිටියලු. කවුරුවත් මැදිහත් වුණේ නෑලු රෝහලට ගෙනියන්න. මිනිස්සු ඒකට බනිනවා. මනුස්සකම නැති වෙලා කියලා කියනවා.
විය යුත්තේ හදිසි ආපදා තත්ත්වයකට ක්ෂණිකව ක්රියාත්මකවන සේවා ජාලයක් රටපුරා ක්රියාත්මක වීම. එහෙම රටක් හදාගන්න පුළුවන් ජනතාවට ම තමයි. ජනතාව කිව්වට පුරවැසි වගකීම දන්නා ජනතාවට.
එතකොට එවැනි අවස්ථාවලදී දෙවිවරු වගේ මිනිස්සු කියන ජාතියක් ඕන නැ. මොකද ඒක අනිකුත් සේවා වගේ සේවයක්. මේ රටවල් වල එහෙම තියෙනවා. හැබැයි පසුව මුදල් අවශ්ය වෙනවා. ඒවා සඳහා රක්ෂණය වීම අවශ්යයි. මුදල් නැති වුණා කියලා කවුරුවත් පාරවල්වල මැරෙන්නේ නෑ. ඒවටත් රාජ්ය මැදිහත්වන රක්ෂණය තියෙනවා.
රූපයේ තියෙන්නේ එවැනි ආපදා සේවයක් ක්රියාත්මක වන ආකාරය.
Image from Unsplash free images

Sunday, August 4, 2024

විසල් අහසක් යට 9

 

විසල් අහසක් යට 9

(ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර සිට බටහිරට රට හරහා සංචාරය)

සුවදා උදෑසන ලක ලැහැස්ති වී Mandalay Bay වලින් පිටතට යන්න ආ අපට දැක ගන්න ලැබුණේ වෙරළ ඇඳුමින් සැරසී වෙරළ ක්‍රීඩා වලට අවශ්‍ය කරන භාණ්ඩ අතින් කටින් උස්සගෙන හෝටලයේ කෘත්‍රීම වෙරළ කරා ඇදෙන ගැහැනුන්,මිනිසුන් හා ළමයින් කඩිමුඩියේ ඒ දෙසට ඇදෙන දසුනයි. සැබෑ වෙරළක් කරා යන්න සැතපුම් සිය ගණනක් යන්න ඕන නිසා ඔවුන් මේ විදියට සතුටු වෙනවා වෙන්න ඇති.




දිවා ආහාරය මෙක්සිකන් අවන්හලකින් ගන්නවා. අපි ඒ වෙද්දී දිගටම යන්නේ ගෙයක් දොරක් පෙන්න නැති කාන්තර භූමියක් හරහා. ගස් කොලන්වත් නැහැ. කෑමෙන් පස්සේ වාහනේ එලවද්දී නිදිමතක් දැනුණු නිසා අපි ටික දුරක් ගිහින් මනුස්ස වාසයක් හමු වෙලා  එතැන වාහනය නතර කරනවා. එතැන පුදුමයකට වගේ ලොකු ගස් තුන හතරක් තියෙනවා. ඒවායේ මුල්වලට බිංදු ජල සැපයුම කරලා තියෙන බව අපි දකිනවා. ඒ නිසා මුල අවට වතුර ටිකක් පිරිලා. කුරුල්ලෝ ඒ වතුරෙන් නානවා. වතුර බොනවා.


 ඒ වගේම එතැන දැක්ක විශේෂ දෙයක් තමයි ඒ ගස්වල හැම අත්තකම වගේ තියෙන ගේ කුරුළු කූඩු. එයාලා ගෙවල් නැති නිසාද කොහෙද ගස්වල කූඩු හදලා. අපි ටික වෙලාවක් ඒ ගේ කුරුල්ලන්ගේ හැසිරීම් බලාගෙන ඉන්නවා. ඒ ඒ කූඩුවේ අම්මලා තාත්තලා මාරුවෙන් මාරුවට කූඩුවටයනවා, කිචි බිචි ගානවා. ඇතුළේ දරුපැටව් ඇති. එතැන් සිට අපි තෝරාගත් මාර්ගය Sierra Nevada කඳු පන්තිය පාමුලින් ඇදෙන සොබා සොඳුරු බවෙන් අනූන එකක් වෙනවා. 

ගමනේ පැය කීපයක් යද්දී වැසි අඳුරක් ද අහසේ ඇඳී යනවා. තවම අපි නෙවාඩා ප්‍රාන්තයේ ඉන්නේ. දිගින් දිගටම ෆ්ලෑෂ් ෆ්ලඩ් අනතුරු සංඥා එනවා. වහින වෙලාවට තැන්නේ එක්වරම කඳුවලින් ඇදී එන වැහි වතුර කන්දරාව වාහන පවා ගසාගෙන යන්න සමත් වෙනවා ඇති. හොඳ වෙලාවට වැස්සේ නැහැ. සුළඟ ඉතාම අධිකයි. විශාල ට්‍රක් රථ පාලනය කරගන්න බැහැ. ඒවා පාරේ ඒ මේ අත වැනෙනවා. එකවරම විශාල ට්‍රැෆික් එකක් එනවා. පොලිස් වාහනයක් සයිරන් හඬවමින් නොපෙනෙන වේගයෙන් ඉදිරියට යනවා. අපි තව ඉදිරියට එද්දී දකිනවා අර ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තියෙන හැටි හා ඒ වටා පොලිසිය හා ගිලන් රථ එක්රැස් වී ඇති බව. මෙහෙ අනතුරකදී ක්ෂණිකව ක්‍රියාත්මකවන හදිසි අපදා සේවයක් මුළු රට පුරාම ඇති නිසා මගියන්ට හා අනිකුත් කිසි කෙනෙකුට ඒවාට මැදිහත් වෙන්න වුමනාවක් සාමාන්‍යයෙන් නැහැ. අපට ඉදිරියෙන් යන ට්‍රක් රථයක් පාරේ එහාට මෙහාට වැනෙනවා අපට පෙන්නේ හිතට බයක් ද ඇති කරමින්.  ටික දුරක් එද්දී තවත් ට්‍රක් රථයක් පාරෙන් ඉවතට පැන පෙරලී ඇති බව. එතැනත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.

අපි එතැන පසුකර Walker Lake කරා එනවා. එතැන ටිකකට බහින්නේ වට පිටාවේ සුන්දරත්වය විදින්න. ඒත් සුළඟ අපට බාධා කරනවා. අපි සුළු වෙලාවක් එතැන ඉඳලා පින්තුර අරගෙන නැවත ගමන් අරඹනවා.

සමහර කාන්තාර දේශගුණයේ වැවෙන පැළෑටිවල මුලින් උඩකොටස ගැලවී  බෝල වගේ කොටසක් බවට පත්වී සුළං සමග තොග ගණනින් පාර හරහා හුළඟට යනවා. Tumbleweed කියලා හඳුන්වන ඒවායේ බීජ හා ඵල විසිරීමට මේ පාවී යන ගමන උපකාරී වෙනවා. ඒවා ගමන් කරන රථවල ගැටෙනවා. අපි යන පාර හරහා මේවා සිය ගණන් පාවී යනවා අපට පේනවා. සමහර ඒවා රථයේ හැපෙනවා. නිම්නය පසු කළ විට අපේ මාර්ගය වැටී තියෙන්නේ කඳු පන්තිය අතරින්. සමහර කඳු මුදුන් හිරු එළියෙන් නැහැවිලා. සමහර ඒවා අඳුරේ. හරිම සුන්දර දසුන් අපේ නෙත ගැටෙනවා. අපට ඉතා වේගයෙන් ගලාබසින දිය පාරක් හමු වෙනවා. අපි එතැන වාහනය නතර කරලා ටික වෙලාවක් එහි සුන්දරත්වය විඳිනවා.


                                                           Tumbleweed

බටහිර අහස රත් පැහැයෙන් විචිත්‍රවත් කරගෙන ඉර බැසයන වෙලාව වෙද්දී අපි කැලිෆෝනියා දේශසීමාව පහු කරනවා. ඒ වෙලාවේ හරියට අප කැලිෆෝනියාවට ආදරයෙන් පිළිගන්න වගේ අහසේ දේදුන්නක් මතුවෙන්න පටන් ගන්නවා. ගවයන් වෙල්වල නිදහසේ තණ කකා ඉන්නවා. වහු පැටවූ මව් දෙනුන්ගෙන් කිරි බිබී ඉන්නවා. මේ දසුන් අපට අපේ රට මතක් කරදෙනවා. මොකද මෙහෙදී මේ වගේ දසුනක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. මේ විදියට සතුන් ඇති කිරීම එක ක්‍රමයක්. මේ වෙල් යායවල් පහුකරගෙන අපි කඳු පෙදෙසකට අවතීර්ණ වෙනවා. ඒ Lake Tahoe පැත්ත.   Lake Tahoe කියන්නේ සියරා නෙවාඩා කඳුවල තියෙන විශාල මිරිදිය ජලාශයක්. සීත ඍතුවට මේ හරිය අඩි ගණනාවක් හිමෙන් යට වෙනවා. අපේ ගමන යෙදෙන්නේ ගිම්හානයේ නේ. එතකොට හිම ටිකක් තියෙන්නේ උස් කඳු මුදුන්වල විතරයි. ඒවා ඈතට සුදට පෙනෙනවා. දැන් ඉතින් ටිකෙන් ටික කළුවර වැටෙනවා. අපි ක්‍රමයෙන් අපේ ගමනාන්තයට ළඟා වෙන්නේ දින පහක දිග සංචාරය නිමා කරමින්. විසල් අහසක් යට මගේ සංචාර සටහන මෙයින් නිමා වෙනවා. කියවූ ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා.

 

Sunday, July 28, 2024

විසල් අහසක් යට 8

 

විසල් අහසක් යට 8

 (ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර සිට බටහිරට රට හරහා සංචාරය)



පි Nevada ප්‍රාන්තයේ Las Vegas නගරයට ළඟා වූ බව කිව්වා ඔබට මතක ඇති. Nevada කියන්නෙත් සම්පුර්ණයෙන්ම ගොඩබිමින් වටවූ ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර දෙසට ඇති තවත් එක ප්‍රාන්තයක්. වයඹ දෙසින් Oregon, ඊසනදෙසින් Idaho, නැගෙනහිරින් Utah සහ බටහිරින් California යන ප්‍රන්තවලින් එය වටවී තියෙනවා. විශාලත්වය අතින් හත්වැනි තැන ගන්නා එහි විශාලත්වය වර්ග සැතපුම් 110,577ක් වෙනවා. ජනගහනය නම් අඩුයි. මිලියන 3ක පමණ ජනගහනයක් තමයි ඉන්නේ.ප්‍රාන්තයේ වැඩි ඉඩ ප්‍රමාණයක් කාන්තාර හා අර්ධ ශුෂ්ක ප්‍රදේශ. ඇත්තෙන්ම මුළු ඇමරිකාවේම වියළීම ප්‍රාන්තය මේකයි. එකතුවන වතුර කොහෙවත් ගලා නොගිහින් එක්රැස් වන  Great Basin නම් උතුරු ඇමරිකානු ප්‍රදේශයේ Nevada වලට අසුවන කොටස Mojave කාන්තරය. Lake Tahoe හා Sierra Nevada කඳු බටහිර දාරයේ පවතිනවා.

Paiute, Shoshone හා Washoe යන ඇමෙරිකානු ඉන්දියානු ආදී ජනයා මෙහි ආදී කාලයේ ජීවත්ව ඉඳ තියෙනවා. මුලින්ම මෙහි පැමිණි යුරෝපියන් වන Spanish ජනතාව එම භාෂාවෙන් හිම සහිත බව කියන තේරුම සහිත Nevada යන නම දී තිබෙනවා. ඒ ඔවුන් දැක තිබෙන්නේ Sierra Nevada කඳු මුදුන්වල ඇති හිම. මෙහි අග නගරය Carson city. විශාලම නගරය Las Vegas.

Nevada නිල වශයෙන් 'Silver State 'යන නමින් හඳුන්වනවා. ඒ එහි ඉතිහාසය රිදී සමග සම්බන්ධ ආර්ථිකයක් තිබූ නිසා. ඩොලර් මිලියන ගණන් වටිනා රිදී මෙහි කැණීම් වලින් ලැබිලා තියෙනවා. දැනට ආර්ථිකය සංචාරක ව්‍යාපාරය මත තමයි ප්‍රධාන වශයෙන් රැඳී තියෙන්නේ. සංචාරකයන්ට විනෝදාස්වාදය ලබා දීම හා සූදු ක්‍රීඩාව මෙහි ප්‍රමුඛ අදායම් මාර්ගයි. මේ හැර රන්, තඹ, ජිප්සම්, හා ලිතියම් කැණීම් ද ගවයන් ඇති කිරීමද කෙරෙනවා. ගවයන් 500,000කට වඩා හා බැටළුවන් 70,000කට වඩා ඇති කෙරෙනවා. ගව පැටවුන් වඩා හොඳ ආහාර දී පුෂ්ටිමත් කිරීම සඳහා වෙනත් ප්‍රාන්ත කර යවනවා.

අපි එදා රෑ නවතින්නේ Las Vegas නගරයේ තරු හෝටලයක. Las Vegas/Sin City නැත්නම Vegas  කියා හඳුන්වන  මේ නගරය ඇමරිකාවේ වඩාත් ම ජනප්‍රිය නගරයයි.   Mojave කාන්තාර ප්‍රදේශයේ ඇති රෑ පුරා නියොන් එළි දැල්වෙන ජනී ජනයා එහා මෙහා හැසිරෙන මේ නගරය නොනිදන නගරයක් කිව්වාට වරදක් නැහැ.

හෝටලයේ නම Mandalay Bay.  Las Vegas Boulevard/ Las Vegas Strip තමයි මේ නගරයේ ප්‍රසිද්ධ ම පාර. එහි තමයි අපේ හෝටලය පිහිටලා තියෙන්නේ. Mandalay Bay අක්කර 120ක භුමි භාගයක් ආවරණය කරන අතර තට්ටු 4කින් යුක්තයි.  කැසිනෝ සඳහා විශාල ඉඩක් ඇති මෙහි කාමර 3209ක් තියෙනවා. South Seas කියන තේමාව අනුව සකස් කළ අක්කර 11ක් පුරා විහිදී ඇති කෘත්‍රීම මුහුදු වෙරළ ජල ක්‍රීඩා සඳහා පහසුකම් වලින් යුක්තයි. රාත්‍රී කෑම අපි මගදී චයිනීස් අවන්හලකින් ලබාගෙන තිබූ නිසා අපි කෙලින්ම හෝටලයෙන්  අපට ලැබුණු 30ස්වෙනි තට්ටුවේ කාමරයට ගිහින් මද විවේකයකින් පසු හෝටලය ඇතුළත නරඹන්න යනවා. කැසිනෝ ක්‍රීඩාව සඳහා වෙනම පැත්තක් වෙන් කර තියෙනවා. එහි වෛවර්ණ නියෝන් එළියෙන් දිදුලන කැසිනෝ යන්ත්‍ර හැමතැනම. ඒ වගේම මිනිස්සු හා ගැහැනු දුම් පානය කරමින් නැත්නම් කෝපි තොල ගාමින් ඒ ක්‍රීඩාවේ නිරත වෙනවා. අපිත් එක යන්ත්‍රයක් අතපත ගාලා එහෙන් මෙහෙන් ඔබලා මුදලක් දාලා පොඩි විනෝදයක් ලබනවා. කවදා කාපු ටකරන්ද කිව්වලු!

Las Vegas Boulevard/ Las Vegas Strip හි ඇවිදගෙන යනවිට වෙනත් අතිවිශාල හා අතිනවීන හෝටල් සංකීර්ණ නරඹන්න පුළුවන්. ඒවා ඇතුළේ කෘත්‍රිමව නිපදවූ අහසවල්,බෝට්ටු/Gondola යාත්‍රා කරන වැනීසියේ  වැනි දිය මාර්ග ආදිය තියෙනවා. ජල මෙන්ම ගිනි සංදර්ශන තියෙනවා. ගායක ගායිකාවන් ගීත ගයනවා.  නාට්‍යංගනාවන් නටනවා. මේ වතාවේ අපට ඒවා නරඹන්න වුණේ නැහැ. 2016 සංචාරයේ දී ගියා.

ටික වෙලාවක් හෝටලය ඇතුළේ සැරිසරලා අපි අපේ කාමරයට ගිහින් නින්දට වැටෙනවා.

 

Sunday, July 21, 2024

විසල් අහසක් යට 7

 

 විසල් අහසක් යට 7

 (ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර සිට බටහිරට රට හරහා සංචාරය)



ළඟට අපි ගමන් කරමින් සිටි ප්‍රදේශය ඉතාමත් ග්‍රාමීය බවක් පෙන්වූ නිසා අවන්හලක් සොයා ගැනීමද අසීරු වෙනවා. අවසානයේ අපි දිවා ආහාරය ගන්නේ කුඩා චීන අවන්හලකින්. සවස් වරුවේ Arizona ප්‍රාන්තයේ දී මීළඟට අපි නැරඹීමට යන්නේ සුවිශේෂී තැනක්. I 40 අධි වේගයෙන් එක්සිට් 233 අරන් සැතපුම් 5ක් ගිය තැන මේ ස්ථානයට ළඟා වෙන්න පුළුවන්.

මෙතනට කියන්නේ Metor Crater/ Barringer Crater කියලා. Barringer කියන නම එන්නට හේතුව මේ භුමි භාගය Barringer  පවුලට අයත් වීම. අදටත් එය එම පවුලේ සමාගමක් ලෙස තමයි නඩත්තු වෙන්නේ.

 මෙතැන ඇති වැදගත් කම දැන් මං ඔබට කියන්නම්. Pleistocene යුගයේ කොලරාඩෝ සානුව දැනට වඩා සිසිල් හා තෙතමනය සහිතව තිබිලා තියෙනවා. ප්‍රදේශය එවකට තෘණ හා කැලෑ වලින් යුක්තව තිබී ඇති අතර මැමත් හා Giant Ground Sloth සතුන් ද ඉඳලා තියෙනවා.

මෙතැනට මීට අවුරුදු 50000කට පෙර විශාල උල්කාපාතයක් වැටී තියෙනවා. එය වැදුණු වේගය පැයට සැතපුම් 45,000ක් යයි කියවෙන අතර ඒ ගැන වෙනත් මත ද තියෙනවා.  උල්කාපාතය පොළොව හා ගැටීමේදී ශක්තිය TNT මෙගා ටොන් 10ක ශක්තිය නිදහස් වී ඇති අතර ඉතිරිවී ඇත්තේ කුඩා කැබලි කීපයක් විතරයි. පසුව ඉතිරි කරගත් එවැනි කැබලි ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මේ ස්ථානයේ උල්කාපාතය ගැටීමේදී හෑරී ගිය විශාල බේසමක හැඩ ආවාටයක් තියෙනවා. මෙය විශ්කම්භයෙන් අඩි 4000ක් වන අතර එහි උස්වූ ගැට්ටේ සිට ගැඹුර අඩි 600ක් වෙනවා. සැබවින්ම එදා ඇතිවූ ගැඹුර පාංශු ඛාදනය නිසා අඩි 50 - 60ක් දක්වා අඩුවී ඇති බවයි කියවෙන්නේ. පතුළ ද ද්‍රව්‍ය තැන්පත් වී අඩි 100ක් විතර ගොඩ වෙලයි තයෙන්නේ.ගැට්ට තැනිතලාවෙන් අඩි 200ක් පමණ උසින් යුක්තයි. මව් පාෂාණය තැන්නේ සිට අඩි 700 - 800 පමණ ගැඹුරේ දී හමුවන අතර ආවාට ගැට්ටේ හෑරී උඩට මතුවූ එම මව් පාෂාණයේ සුන් බුන් දක්නට තිබෙන බව සඳහන් වෙනවා.

මේ ස්ථානය නිරාවරණය කරගෙන තිබෙන්නේ 1891 දී. එය යකඩ හා නිකල් වලින් යුක්ත අඩි 150ක් පළලින් හා රාත්තල් දස දහස් ගණනක බරකින් යුක්තව තිබෙනවා. මෙය පොළොව හා ගැටීමේ දී ඇතිවූ බලය පරමාණු බෝම්බයක් පතිත වීමේ දී ඇතිවන බලය මෙන් 150 ගුණයකින් වැඩි බව කියනවා.

අපි විවිධ පැති වලින් හා විවිධ කෝණවලින් ආවාටය නරඹනවා. ගැට්ට උඩට නැගීමට පඩි පෙළක් තියෙනවා. එහි නගිනවිට අප ගසාගෙන යන තරමට සුළං අධිකව තිබුණා. අත්වැට අල්ලා ගෙන තමයි සුළං පාරට මුහුණ දුන්නේ. එතැනට ආවාටය පහළින් තියෙන ආකාරය පේනවා.

ආවාටය පතුළට යන්න අවසර නෑ. තරමක් පහළින් වේදිකාවක් සාදා තියෙනවා. එතැනට විතරක් බහින්න පුළුවන්.

1960 සිට 1970 දක්වා NASA අජටාකාශ ගාමින් Apollo යානයේ සඳ ගමනට පෙර මෙහි පුහුණු වීම් කර ඇති අතර එවැනි පුහුණුවීම් අද දක්වාම වෙනවා.

1964 අගෝස්තු 8 දා නියමුවන් දෙදෙනෙකු රැගත් වාණිජ ගුවන් යානයක් ආවාටය හරහා යද්දී  අනතුරට පත්වී සමතුලිතතාවය බිඳී යානය ගිනිගෙන විනාශ වී තිබෙනවා. දරුණු තුවාල සහිතව සිටි නියමුවන් දෙන්නා බේරාගෙන තියෙනවා. ඒ ගුවන් යානයේ ඇතැම් කොටස් දැනටත් එහි තියෙනවා.

මේ ස්ථානයට වසරකට සංචාරකයන් 270,000ක් පමණ පැමිණෙන බව කියවෙනවා. මෙහි ඇති ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී අපට උල්කාපාත අවශේෂ,ඇස්ටරොයිඩ් කොටස්, හා අභ්‍යවකාශය ගැන ප්‍රදර්ශන භාණ්ඩ දැක ගත හැකි වෙනවා.

 Meteor Crater හා අවට ප්‍රදේශය නරඹන අපි නැවතත් I 40 අධි වේගයට පිවිසි බටහිරට ගමන් කරනවාI 40 අධි වේගය ඉවර වෙන්නේ කැලිෆෝනියා හි Bastow නගරයෙන් බව මා ඉහත කියා ඇති. Arizona ප්‍රාන්තයෙන් කැලිෆෝනියා ප්‍රාන්තයට පිවිසි Bastow වලින් Bakersfield හරහා Los Angelis වලට ඇවිත් එතනින් අපේ ගමනාන්තය වන Sacramento නගරයට යන්න පුළුවන්. නමුත් අපි කලින්ම වෙනත් මාර්ගයක් තමයි ගමනට තෝරාගෙන තිබුනේ. ඒ Arizona වලින් Nevada ප්‍රාන්තයට ඇතුළු වෙලා Las Vegas නගරයට යන්න. ඒ නිසා අපි Kingman හිදී I 40 වලින් නික්මී 95 මාර්ගය ඔස්සේ ගොස් Arizona වලින් පිටවී Nevada ප්‍රාන්තයට ඇතුළු වී Las Vegas කරා ගමන් අරඹනවා. ගමනාන්තයට ළඟා වෙද්දී අහස රත් පැහැයට හැරෙමින් තම වර්ණවත් බසින් ඒ දවසත් අවසාන බව අපට කියා දෙනවා. Las Vegas ගැන මී ළඟ විසල් අහසක් යටදී ඔබට කියවන්න  පුළුවන්.