Tuesday, April 7, 2020

ප්‍රතිශක්තිය - 2




2. විශිෂ්ඨ ආරක්ෂක  යාන්ත්‍රණය - Specific Defense Mechanism 


දැන් අපි හිතමු අර කලින් විශිෂ්ඨ නොවන ආරක්ෂක යාන්ත්‍රණයේ රැකවල් ලා සිටි, අපි විෂබීජ වලින් ආරක්ෂා කරන්න හිටිය, භට හමුදාව පරද්දල යම් කිසි විෂබීජයක් අපේ ශරීරයට ඇතුල් වුණා කියල. අන්න දැන් තමයි මේ දෙවන යාන්ත්‍රණය ක්‍රියා කරන්න පටන් ගන්නේ.

මෙසේ ඇතිවන ප්‍රතිශක්තිය නතු කරගත් ප්‍රතිශක්තිය (Acquired Immunity)  යනුවෙන් හඳුන් වනු ලබනවා.

ඔබට සමහරවිට පැපොල රෝගය  වැළදිලා ඇති ජීවිතයේ යම් දවසක. ඉන් පස්සේ ඔබට සාමාන්‍යයෙන් නැවත ඒ රෝගය හැදෙන්නේ නැහැ. හැබැයි ඔබට සරම්ප රෝගය, කම්මුල් ගාය වගේ වෙන රෝගයක් නොහැදී තියෙන්නේ නැහැ පැපොල හැදුන කියල. මෙන්න මේක වෙන්නේ කොහොම ද කියන එක තමයි අද පැහැදිලි කරන්නේ.

මෙතැනදී එක එක රෝගයට විශිෂ්ඨ විදියටයි ප්‍රතිශක්තිය ඇතිවෙන්නේ. ඒකයි මේකට විශිෂ්ඨ ආරක්ෂක යාන්ත්‍රණය කියල කියන්නේ. මෙය ඒ ඒ පුද්ගලයා ඇතිකරගන්නා හෝ ඒ ඒ පුද්ගලයා තුළට කෘත්‍රිමව ඇති කරවන්න පුළුවන් තත්වයක්. ඒ නිසා නතුකරගත් ප්‍රතිශක්තිය (Acquired Immunity)  කියල හඳුන්වනවා.

මේක වෙන්නේ කොහොමද කියල බලමු. අපේ ශරීරයේ තියෙන සෛලවලට යම් සෛලයක් අපේ ඇඟේ ම එකක් (Self) කියල දැනගන්න ඒවායේ marker එකක් තියෙනවා. හරියට අපි පිටරට යනකොට ගමන් මළු අඳුන ගන්න පාට රිබන් එකක් ගැට ගහනවා වගේ. ඒ නිසා යම් සෛලයක් අනික තමන්ගේ (Self)
කියල අඳුන ගන්නවා. ඒ නිසා පහර දෙන්න එපා කියල ප්‍රතිශක්ති පද්ධතියට කියනවා.

යම්කිසි විෂබීජයක් අතුල්වුනහම ඒක තමන්ගේ නෙවෙයි(Non - self) කියල අඳුන ගත්තහම ප්‍රතිශක්ති පද්ධතිය එයට පහර දෙනවා. ඒ විෂබීජය කලින් ඇතුල්වුණු එකක් නම් ප්‍රතිශක්ති පද්ධතිය ඒක මතක තියන් ඉඳල ආයේ අලුතින් ඇතුල්වුණු හැටියෙ වඩාත් ඉක්මණින් පහර දෙන්න පටන් ගන්නවා.
මේ විශිෂ්ඨ ප්‍රතිශක්ති ප්‍රතිචාරය ක්ෂණිකව උත්තේජනය (Trigger) කරන්නේ ප්‍රතිදේහ ජනකයක් විසින්. මේ ප්‍රතිදේහ ජනක විෂබීජවල(රෝගකාරක) මතුපිට තියෙනව වගේම ඒවා ඒ ඒ විෂබීජයට විශිෂ්ඨයි. ඒ කියන්නේ ඒකට විතරක් තියෙන දෙයක්. ප්‍රතිශක්ති පද්ධතිය ප්‍රතිදෙහජනකයට ප්‍රතිචාර දක්වනවා දෙවිදියකට.

1. රෝගබීජයට කෙලින්ම පහරදෙන සෛල නිපදවීමෙන්.

2. විශේෂ ප්‍රෝටීනයක් වන ප්‍රතිදේහ නිපදවීමෙන්.

ප්‍රතිදේහ ප්‍රතිදේහ ජනකයට (විෂබීජයට ) ඇලිල සෛලවලට ඒවා ගිලදමා විනාශ කිරීම පහසු කරවනවා.

ප්‍රතිශක්ති පද්ධතියට අදාළ සෛල ලිම්ෆොසයිට කියා හඳුන්වනවා. ඒවා වර්ග දෙකක් තිබෙනවා.

1. B ලිම්ෆොසයිට
2. T ලිම්ෆොසයිට

B ලිම්ෆොසයිට හැදිලා පරිණත වෙන්නේ  ඇට මිදුළු වල .  T ලිම්ෆොසයිටත් හැදෙන්නේ ඇට මිදුළුවල වුණත් පරිණත වෙන්නේ තයිමස් ග්‍රන්ථියේ . ( තයිමස් ග්‍රන්ථිය වසා පද්ධතියට අයත් එකක්. පපු ඇටයට යටින් පිහිටනවා.)

මේ සෛලවල කාර්යයන් තරමක් සංකීර්ණයි. සරල විදියට කිව්වොත්  B සෛල තමයි ප්‍රතිදේහ හදන්නේ. ප්‍රතිදේහ වලට විෂබීජ අල්ල ගන්න පුළුවන්, හරියට ඒවා ඇණයකට ගැලපෙන අඬුවක් වගේ. ඒවා අල්ලා දෙන විෂබීජ සුදු රුධිරාණු වලින් ගිල දානවා.

T සෛල වර්ග 4ක් තියෙනවා.  ඒවා විවිධ කෘත්‍ය ඉටුකරනවා.

1. Helper T Cells - B සෛල වලට උදවු කරනවා.
2. Cytotoxic T Cells- වයිරස් වලින් ආසදනය වූ සෛල හා පිළිකා සෛල විනාශ කරනවා.අවයව බද්ධ කළහම ඒවා ප්‍රතික්ෂේප කරන්න ක්‍රියා කරනවා. ඒ නිසා අවයව බද්ධ කළ අයට T Cell suppress බෙහෙත් දෙනවා. ඒ නිසා එවැනි අයගේ ප්‍රතිශක්තිය අඩුයි.
3.  Memory cells - දිගු කාලයක් පවතිමින් ආපහු ඒ රෝග කරකයම ඇඟට ඇතුල් වුණොත් ඒවා හඳුනාගෙන විනාශ කරන්න උදව් වෙනවා.
4. Natural killer T cells -  අනිකුත් ප්‍රති ශක්ති ක්‍රියාකාරිත්වයන්ට උදවු වීම

HIV අසාදනය වෙන්නේ ලිම්ෆෝසයිට වලට. මේ නිසා AIDS  රෝගීන්ගේ ප්‍රතිශක්තිය දුර්වලවී ක්ෂය රෝගය වැනි වෙනත් බෝවන රෝග ඔවුන්ට ඇතිවෙනවා.

නතුකරගත් ප්‍රතිශක්තිය ප්‍රධාන ආකාර දෙකකටත් ඒ දෙක යටතේ දෙක බැගින් හතරකටත් බෙදෙනවා. ඒවා ඉදිරි ලිපි වලින් ....

මේ මාතෘකාව සංකීර්ණයි. මා සරල ලෙස දැක්වීමට උත්සාහ කලත් ඒවා තරමක් සංකීර්ණ බව ඔබට පෙනේවි.

©Malini Ganewatta


2 comments: