Monday, April 13, 2020

වල්ගා තරු හා වසංගත -1



වල්ගා තරු පායා ඒම බිය ජනක කරුණක් බව පැරැන්නෝ විශ්වාස කළහ. මේ බියෙහි යම් සත්‍යයක් තිබීමට හැකි බවට  මෙරට ඒ සම්බන්ධ විද්‍යාඥයෙක් වන මහාචාර්ය චන්ද්‍ර වික්‍රම සිංහ හා Rhawn Joseph මතයක් ඉදිරිපත් කරති . ඒ Journal of Cosmology, 2010, Vol 7, 1750-1770. Journal of Cosmology.com May, 2010 හි පලකළ පර්යේෂණ පත්‍රිකාවක මෙසේ දක්වමිනි. නමුත් ඔහු ඉදිරිපත් කරන මතවාදය පර්යේෂණාත්මකව ඔප්පුකර පෙන්වූ දෙයක් නොවේ. තර්කානුකුල සාක්ෂි රැසක් දක්වයි.

පෘතුවිය මත ජීවය බිහිවුයේ කෙසේ ද යන්න පැහැදිලි කරන මතවාද කිහිපයකි.

1. මැවීම් වාදය
2. ස්වයං සිද්ධ ජනන වාදය
3. කොස්මොසොයික් වාදය
4. ජෛව රසායනික පරිණාම වාදය

මෙයින් මැවීම් වාදය ප්‍රතික්ෂේපිත වුවකි.  ස්වයං සිද්ධ ජනන වාදය  පර්යේෂණාත්මකව බිඳ දැමු එකකි. කොස්මොසොයික් වාදය  ජීවය මෙහි පැමිණියේ අභ්‍යවකාශයෙන් බව කියයි. ජෛව රසායනික පරිණාම වාදයට අනුව අතීතයේ යම් කාල වකවානුවක ජීවය මෙහිම ජෛව රසායනික විපර්යාස මගින් ඇතිවූ බව කියයි. පර්යේෂණාත්මක සාක්ෂි ද මෙයට ඇත. අපි ජීව විද්‍යාවේදී මේ වාදය පිළිගනිමු.

ඉහත වල්ගා තරු ගැන මතය දක්වන මහාචාර්ය වික්‍රමසිංහ කොස්මොසොයික් වාදය පිළිගන්නා බව පෙනේ.

ඔහුගේ පර්යේෂණ පත්‍රිකාවේ ලෝකයේ වරින් වර ඇතිවූ වසංගත කිහිපයක් දක්වා තිබේ. එකක් මහාමාරිය රෝගයයි. එය ඇති කරන්නේ Yersinia pestis  නම් බැක්ටීරියාව මගිනි. මෙය නිර්වායු පුර්ණ පරපෝෂී බැක්ටීරියාවකි. එයට ධාරක සෛලයක් නැතිව පැවතිය නොහැකිය.
මුල් වසංගතය 430 BC හිදී ඇතන්ස් හි ඇතිවිය. ඉන් පසු එය ලොව පුරා තැන්වල පැතිරී ගොස් පසුව අතුරුදහන් විය. ඉන්පසු ක්‍රි.ව. පළමු සියවසේදී ලිබියාව,ඊජිප්තුව හා සිරියාව යන රටවල Bubonic නමින් මහාමාරිය නැවත ඇති විය මෙය Yersinia pestis මගින් ඇතිවන බව සොයා ගන්නා ලදී. මීයන්ගේ මැක්කන් මෙහි වාහකයන් ලෙස ක්‍රියා කරන ලදී. නමුත් එතෙක් නැතිව තිබු බැක්ටීරියාවේ ප්‍රභවය කුමක් ද ? මෙය වල්ගා තරුවකින් ආවේය යන මතයක් සටහන් වී තිබුණි.

අඩ සියවසකට පසු Plague of Justinian නම් මහාමාරිය 541-542 AD හිදී ඇති විය.

Yersinia pestis  නිර්වායු පුර්ණ පරපෝෂිතයෙක් නම් රෝගය නැති කාලයේ එහි පැවැත්ම කෙසේ වීද ?Justinian plague (6th to 8th centuries), the Black Death (14th to 19th centuries) and modern plague (21st century) වශයෙන් මිනිසුන් විශාල සංඛ්‍යා මරණයට පත් කල Yersinia pestis මගින් ඇතිවන මහාමාරිය වසංගතය ලෝකයේ නැවත නැවත ඇති විය. මේවා නිර්වායු, හිමමිදීමට ඔරොත්තු දෙන ඒවා බවත් ඈත අභ්‍යවකාශයේ දී වෙනත් බැක්ටීරියා වලින් ජාන ලබාගෙන ආසාදක තත්වයට පත්වන බවත් දක්වා තිබේ.

ඈත අභ්‍යවකාශයට ක්ෂුද්‍ර ජීවීන් පැමිණියේ කෙසේ ද?

ඉහළ වායු ගෝලයේ ක්ෂුද්‍ර ජීවීන් ඇති අතර ඔවුන් විකිරණයට පවා ඔරොත්තු දේ. එමෙන්ම එහි ඇති වියළි ,අධික ශීත,ඔක්සිජන් නැති  තත්වයන්ට ද ඔරොත්තු දේ.  උල්කාපාත වේගයෙන් පොළව කරා ඒමේදී මුලින්ම මධ්‍ය ගෝලයෙන් වායුගෝලය හා ගැටී කැබලි වීම ඇරඹේ. එසේ නම් මේ ඉහළ වායු ගෝලයේ ඇති ක්ෂුද්‍ර ජීවීන් වල ප්‍රභවය එවැනි ගැටීම් වලදී නිදහස් වන උල්කා කොටස් හෝ වෙනත් අභ්‍යවකාශ සුන්බුන්  ද ?
නැතිනම් පෘථිවියෙන් ම ඉහළට ගිය ඒවා ද ? කුණාටු, යමහල්, මෝසම් ආදී ක්‍රියාකාරිත්වයන් හා විශාල උල්කා ගැටීම් වලින් විසිවී යන ද්‍රව්‍ය ඉහළ වායු ගෝලයට ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකිය. අභ්‍යවකාශයෙන් පතිත විය හැකිය. එමෙන්ම අභ්‍යවකාශ ජීවීන් පෘථිවි ජීවීන් සමග ජානමය ද්‍රව්‍ය හුවමාරු කර ගත හැකිය. තවද මේ ජීවීන්ගේ ගෙනෝම  UV විකිරණය නිසා විකෘති වීමට ද පුළුවන. එසේ වී ඒවා පෘථිවි ගස් වැල් ,සතුන් හා මිනිසුන්ට ව්‍යාධි ජනක විය හැකිය.

1918 ඇතිවූ මිලියන 100කට අධික සංඛ්‍යාවකට මරණය ගෙන දුන් ඉන්ෆ්ලුවන්සා ව එසේ පැරණි හා නව වයිරස එකතු වීමකින් සෑදුණු එකක් බව කයිමිරාවක් බව සොයාගෙන තිබේ.මෙය මුලින්ම පක්ෂීන්ට සැදුණ නිසා එහි ප්‍රභවය ද අහසය,

මහමාරියේ පැතිරීමද මිනිසුන්ගේ ගැන මාර්ග වලට වඩා සුළං ධාරා සමග සම්බන්ධයක් පෙන්වා තිබේ.

මේ පර්යේෂණ පත්‍රිකාවේ, 20 වන සියවසේ  මිලියන 500කට මරු කඳවු  වසුරියේ කාලාන්තර අනුව පැතිරීම  පැහැදිලි කිරීමට ද මේ අභ්‍යවකාශ සම්භවය ගැන කරුණු ඇතුලත් කර තිබේ. එම රෝගයට හේතුවූ වැරියෝල වයිරසය ද විකිරණ ප්‍රතිරෝධී, විජලනයට හා අධික ශීතල ට ඔරොත්තු දෙන එකකි.

1519 දී මෙක්සිකෝවට ඉහළින් වල්ගා තරුවක් පායා තිබේ. එම අවුරුද්දේම මහාමාරිය ඇතිවී මහද්වීප දෙකක ස්වදේශීය ජනතාව මිලියන ගණනක් මියගොස් තිබේ. මෙහිදී වල්ගා තරුවේ බලපෑමක් නොවන්නට ඇත. Cortez,සොල්දාදුවන් සමග මෙක්සිකෝවට පැමිණීමේදී රෝගය ගෙන එන්නට ඇත. නමුත්  Aztec පුජකයන් විශ්වාස කළේ  Cortez,වල්ගා තරුව හා රෝගය දෙවියන් එවූ බවයි. (Hernan Cortés මෙක්සිකෝවේ Aztec අධිරාජයා පරාජය කළ තැනැත්තා )

1680 නොවැම්බර් සිට 1681 පෙබරවාරි දක්වා නවසීලන්තයේ අලුයම අහසේ වල්ගා තරුවක් පැයුවේය. Mather නම් පූජකයා "Heaven's Alarm to the World" ලෙස ප්‍රකාශ කළේය. 1682 දී තවත් වල්ගා තරුවක් පැයුවේය .එය 'Tokens of God's Anger', ලෙස දැක්වීය.

වල්ගා තරු කිලෝමීටර් 20 සිට 300 පමණ දක්වා විශාලත්වයෙන් යුතු වෙයි. NASA දක්වන පරිදි Comet Tempel 1  හි මිදුණු විල්, මැටි ,කාබනික ද්‍රව්‍ය හා ජලය එයින් නිකුත්වූ ද්‍රව්‍ය අතර ඇත . එහි ඇති කාබනික ද්‍රව්‍ය ජීවීන්ගේ නොවේ යයි පැවසීමට හේතුවක් නැති බව වික්‍රමසිංහ කියයි. ක්ෂුද්‍ර ජීවීන් අක්‍රිය තත්වයෙන් හෝ එහි මැදට වන්නට සිටින්නට පුළුවන.

වල්ගා තරුව සූර්යාට ළඟා වන විට එහි මතුපිට හිම වාෂ්ප වීමට පටන් ගනී. එවිට වල්ගා තරුව කාබනික ද්‍රව්‍ය, සිලිකේට් අංශු,හා අයනීකරණය වූ වායු නිකුත් කරයි. එයින් වලිග දෙකක් සෑදේ . ප්ලාස්මා වලිගය හා දූවිලි වලිගය වශයෙනි. මේවා කිලෝමීටර් ගණන් දිගින් යුක්තයි. සමහර විට වල්ගා තරුවේ කැබලි කැඩී සුර්යා වටා කක්ෂ ගතවේ. 2001 Comet Linear හි හා 2006 Comet Schwachmann- Wachmann හි මෙසේ වී තිබේ. මේ කැබලි උල්කා හා ඇස්ටරොයිඩ් ලෙස එකතුවේ . වල්ගා තරු වල වලිගය පෘථිවි කක්ෂය හරහා යාම අසාමාන්‍ය දෙයක් නොවන අතර ඒවායේ කුඩා කැබලි දැල්වී "shooting Stars" ලෙස හෝ උල්කා ලෙස පොළවට පතිත වේ. ඇතුළත ජීවී දෙයක් වේ නම් එය ආරක්ෂාවී, පිටත තුනී තට්ටුවක් පමණක් දහනය වී විශාල උල්කාපාත පොළවේ පතිතවේ. 1910 Halley ගේ වල්ගා තරුව පැයු විට මෙසේ සිදු විය. විවධ ආලෝක ධාරාවන් නිකුත් කරමින් වල්ගා තරුවේ ද්‍රව්‍ය රාත්තල් මිලියන 200ක් පමණ පොළොවට එකතු විය. ඒවා සමග ජීවීන් සිටින්නට ඇත. සමහර ජීවීන් තරුවේ ක්ෂුද්‍ර කැබලි සමග වායු ගෝලයේ නොගැටී නොදැවී පසුව වායු ගෝලයේ ඉහළ ස්ථරයේ පතිත වන්නට ඇත. වසර ගණනාවක් තිස්සේ මේවා සුළං ධාරා සමග ක්‍රමයෙන් මුහුදු ගංගා , ගස් සතුන් මිනිසුන් මත පතිත වෙමින් තිබෙනවා වන්නට පුළුවන. මේවා වැටෙන යම් ප්‍රථම ධාරකයෙක් මුලින්ම රෝගයක් ඇති වෙන තැනැත්තෙක් වී ඔහුගෙන් රෝගය පැතිරී යාමට පුළුවන. මුලින්ම අහසේ පියාඹන පක්ෂියෙක් හෝ කෘමියකු මේ ග්‍රාහකයා වීමට ඉඩ තිබේ. සමහර විට වායු ධාරා සමග ඇදී ගොස් විශාල භුමි ප්‍රදේශයක පැතිරී යන්නට පුළුවන.

(මෙහි ඇත්තේ පර්යේෂකයන්ගේ මතය මිස  ලේඛයාගේ අදහස් නොවන බව සලකන්න.ඉතිරි කොටස් පසුව දක්වමි.)

Photo by Nick Owuor (astro.nic.visuals) on Unsplash
Ref. http://journalofcosmology.com/Panspermia10.html

2 comments: