Sunday, April 5, 2020

ප්‍රතිශක්තිය 1





ප්‍රති ශක්තිය ප්‍රතිශක්තිය කියල අපි භාවිතා කලාට ඇත්තටම ඒ මොකක්ද කියන්න වැඩි දෙනෙක් දන්නේ නෑ. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් කතා කරමුද ?
දැන් අපි කවුරුහරි මැරුණම මොකද අපේ සිරුරට ඊළඟට වෙන්නේ? ඔවු උත්තරය හරි ...කුණුවෙලා යනවා. එතකම් ඒ කියන්නේ මැරෙන කම් කුනුවුණේ නැත්තේ ඇයි ? කුණුවෙන්නේ මොනවා නිසා ද ? කුණුවෙන්නේ බැක්ටීරියා දිලීර නිසා. එහෙනම් ජීවත්ව ඉන්න කොට අපි අවට බැක්ටීරියා,දිලීර නැද්ද? අර විදියටම තියෙනවා. ඒත් අපි කුණුවෙන්නේ නැහැ. ඒ අපේ ඇඟේ ඒ බැක්ටීරියා දිලීර එක්ක සටන් කරන්න ප්‍රතිශක්තිය තියෙන නිසා. අපි ප්‍රතිශක්තිය නැතිව ඉපදුනොත් මේ ලෝකේ පවතින්න බැහැ. එහෙම ප්‍රතිශක්ති ඌනතාවකින් පෙළුණු දරුවෙක් 1971 ඇමරිකාවේ උපදිනවා. ඔහුගේ නම David Vetter. ඔහු ප්‍රසිද්ධ වුණේ 'බුබුල තුළ ළමයා 'කියල. ඒ කියන්නේ ඔහු ඇතිදැඩි කළේ බුබුලක, ඒ කියන්නේ බැක්ටීරියා,දිලීර නැති පරිසරයක. ඒ කතාව වෙන දවසක කියන්නම්. අද කියන්නේ ප්‍රතිශක්තිය ගැන.

අපේ ඇඟේ ප්‍රතිශක්ති ආකාර දෙකක් තියෙනවා.

1. විශිෂ්ඨ නොවන ආරක්ෂක  යාන්ත්‍රණය -Non Specific Defense Mechanism 
2.. විශිෂ්ඨ ආරක්ෂක  යාන්ත්‍රණය - Specific Defense Mechanism 

අද පලවෙනි එක ගැන බලමු.

1. විශිෂ්ඨ නොවන ආරක්ෂක  යාන්ත්‍රණය
මෙය යම්කිසි එක රෝගකාරකයකට/බැක්ටීරියාවකට/ දිලීරයක්ට/ වයිරසයකට විරුද්ධව එකක් ඉලක්ක කරගෙන නෙවෙයි ක්‍රියා කරන්නේ. ඕනෑම ශරීරයට ඇතුල්වෙන ආගන්තුක දේකට විරුද්ධව ක්‍රියා කර එය පළවා හරිනවා. අපිව මුර කරනවා.


  • පළවෙනි පෙළ ආරක්ෂකණය 


මෙහි පළමු ආරක්ෂක භටයා තමයි අපේ සම. සම භෞතික බාධකයක් විදියට, තාප්පයක් විදියට කිසිම ජීවියෙකුට ශරීරයට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා.සමේ තියෙනවා සෙබම් කියල තෙල් වගේ දෙයක්.ඒ වගේම දහඩිය - මේවා ක්ෂුද්‍ර ජීවීන් පළවා හරිනවා.

 සම නැති තැන් එනම් මුඛය, නාසය, ශ්වසන මාර්ගය, ආහාර මාර්ගය, මෞත්‍ර ලිංගික මාර්ගය මේ තැන්  ශ්ලේෂ්මල පටලයකින් (සෙම/කෙල  පටලයකින් ) අපිව ආරක්ෂා කරනවා. ඇස් කඳුළු වලින් ආරක්ෂා වෙනවා. ඔබ මේ දහඩිය ,කඳුළු,කෙල ,සෙම පිළිකුල් කරනවා නේද ? බලන්න ඒවා අපිව ආරක්ෂා කරනවා.

තව කැස්ස, කිවිසුම මගින් ශ්වසන මාර්ගයට ඇතුළු වෙන්න හදන දේවල් ඉවත් කරනවා. ආමාශයට ගියොත් අපේ කෑම ,බීම එක්ක එහි තියෙන අම්ල මගින් විෂබීජ විනාශ වෙනවා. වමනය ඇති කරලා අනවශ්‍ය දේ පිට කරනවා. වයිරස් පලවා හරින්න රුධිරයේ ඉන්ටෆෙරෝන් කියල දෙයක් හැදෙනවා.


  • දෙවෙනි පෙළ ආරක්ෂණය 

මෙහිදී ඇතිවන විපර්යාස එකතුවට කියනවා ප්‍රදාහක ප්‍රතිචාරය කියල. 


අර පළවෙනි පෙළ භට හමුදාව පරදවල සතුරෙක්, විෂබීජයක් ශරීර ගත වුනොත් මෙන්න මේ දෙවැනි පෙළ ආරක්ෂණය ක්‍රියාත්මක වෙනවා. අපි හිතමු සම තැනක සීරීමක් ඇති වුනාය කියල . ඔන්න එතන රුධිර නාල පළල් වෙනවා. ඒ නිසා තුවාලය තියෙන තැන රතු වෙනවා. රුධිරය ඒ අසලට ගලා ගෙන එනවා. සුදු රුධිරාණු මහා හමුදාවක් වගේ රුධිර නාල වලින් එළියට එනවා.විෂබීජ ගිල දානවා. මැරුණ විෂබීජ, සෛල එකතු වෙලා හැරව හැදෙනවා. පටක තරලය එතැනට එකතු වෙනවා. ඒ නිසා ඉදිමෙනවා. මේ යුද්ධය නිසා එතැන ස්නායු තෙරපෙනවා. ඉතින් අපට වේදනාව දැනෙනවා.

තව දෙයක් තමයි විෂබීජ ශරීර ගත වුනහම විශේෂ රසායනික ශ්‍රාවය කරනවා ශරීර උෂ්ණත්වය වැඩිකිරීම සඳහා. ඒ කියන්නේ උණ ගන්නවා. එහෙම උණුසුම වැඩි උනහම විෂබීජයේ වර්ධනය අඩු කැරෙනවා. එක සැරයක් මං උණට බෙහෙත් ඉල්ලුවහම මට වේද මහත්තයෙක් කිව්වා, ඔයා පොඩි ළමයෙකුත් නෙවේ නම් ඇඟේ උණ ටිකක් තිබුණහම මොකද ? උණෙන් ලෙඩේ අඩු කරනවා කියල. හැබැයි පොඩි දරුවන්ට උණ වැඩිවීම හොඳ නෑ . උණ වලිප්පුව ඇතිවෙන්න පුළුවන්.


 මේ ඔක්කොම විපර්යාස එකට ගත්තම කියනවා ප්‍රදාහක ප්‍රතිචාරය (Inflammatory Response)  කියලා .
මේ සටනින් තුවාලය එතැනින්ම සුවකරලා ඉවර කරන්නයි මේ උත්සාහය.

වේදනාව නිසා  අපි දැනගන්නවා තුවාලය ටිකක් අමාරු බව. අපි ඒක පිරිසිදු කරලා බෙහෙත් ටිකක් එහෙම දා ගන්නවා. දියවැඩියා රෝගයෙන් පෙලෙන අයගේ ස්නායු දුර්වල නිසා කකුල් තුවාල වුනත් වේදනාව දැනෙන්නේ නෑ. ඉතින් තුවාලය නොදැනුවත්වම වැඩිවෙනවා. සෛලවල සීනි වැඩි නිසා වැඩි වැඩියෙන් බැක්ටීරියා වැඩෙනවා. ඒ නිසයි ඒ අය පාවහන් පැළඳිය යුත්තේ,අවදානම් තැන් වල ඇවිදින කොට.

Photo by Brian Patrick Tagalog on Unsplash 

4 comments:

  1. මේ කොරෝන සිද්ධිය නිසා දින කිහිපයකට ඉහතදී මගේ හිතවතෙක් ඓන්ද්‍රීය ද්‍රව්‍යයන් දිරායාම සිදුවීම සහ කොරෝනා වැනි වයිරස අසාදනය ගැන විස්තරයක් මගෙන් ඇසුවා. මට මතක තිබෙන ආකාරයට දන්නා දේ කිව්වා. මම අදම ඔබගේ මේ විස්තරය ඔහුට යවනවා.
    මළ ජීවියෙකුගේ දේහය ව්යෝජනය වීමේදී බැක්ටීරියා දිලීර වැනි ක්ෂුද්‍ර ජීවීන්ට අමතරව පසෙහි සිටින වෙනත් විවිධ ජීවීන්ද (කෘමීන්, පනුවන් වැනි) වියෝජනය සඳහා හවුල් වන බව මා කීවා.
    ඔබගේ විස්තරය ඉතාම වටිනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ බොහෝ දෙනා මෙම සංසිද්ධි ගන නොදන්නා නිසා. දෙවෙනි කොටසත් ඉක්මනටම පළ කරන්න .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට, අදහස් දැක්වීමට. දෙවෙනි කොටසත් පළ කළා . එය සරල ලෙස පැහැදිලි කිරීම තරමක් අපහසුයි කියා දැනුණා .

      Delete