Monday, April 20, 2020

ගල්කිස්සේ මුහුදු වෙරළ


















(පුවතක් - ගල්කිස්සේ හෝටලය අසල වෙරළේ ස්වභාවික පරිසරය  විනාශ කෙරේ)


මුහුදු වෙරළක් තිබුණි නම් එය
වෙන එකක් නොව මේකමයි එය
ගණන් කරනට බැරි තරම් ලොකු
වාර ගාණක් ඇවිදගෙන ගිය

වරෙක සරසවි සිසුවියක් ලෙස
 මුහුදු ඇල්ගේ එකතු කරගෙන
වරෙක ගුරු භුමිකාවේ හිඳ
වසර ගණනක් සිසුන් අරගෙන

'මෙන්න  ළමයිනි  හරිත ඇල්ගේ
 මෙන්න භංගුර තාරකාවෙක්
මෙන්න මේ ගල් පොකුණු අස්සේ
ඉකිරියොත් ඇති බලාගෙන පය'

ආයේ පරිසර මිස් ලෙසින් මම
සිසුන් අරගෙන අනවසරවම
වෙරළ බඩ පරිසරය පෙන්වූ ..
වෙරළෙ වටිනා කම ඉගැන්වූ

ඉගෙන ගත් දෑ නිමක් නැත මෙහි,
ඉගැන්වූ දෑ නිමක් නැත මෙහි,

ඊළඟට අපි දරුවො අරගෙන
වරු ගණන් මෙහි වතුරෙ බැහැගෙන
ගොඩට ගන්නට සටන් කරගෙන
ගෙවුණු කාලය  මතක් කරගෙන

වැල්ලෙ වැතිරී වැලිත් නාගෙන
ආයේ ලුණු වතුරෙනුත් නාගෙන
ඔවුන් වැලි මාලිගා සැදු
මේ වෙරළ දැන් නැතුව ඇති එහි

කොළ පාට,රතු දුඹුරු ඇල්ගේ
ඉකිරි පසැගිලි ,මුහුදු බළලුන්
අනේ යටවී යන්න ඇති ඒ
නපුරු දැති ඇති යකඩ යකෙකුට

වැලිගොඩක් විතරයි එතන දැන්
තිබුණු ලෝකය මතකයක් නම්
ඒක සිහිනෙන් ගෑව සුවඳක්
වගේ ගෙන එයි නෙතට කඳුලක්....


©Malini Ganewatta

Photo by Uwe Jelting on Unsplash

2 comments: