Thursday, April 2, 2020

කොරෝනා කාලේ සිහිවන අතීත මතක







දශක හයකට වඩා ටිකක් වැඩි ජීවිත කාලය ගැන ආවර්ජනය කිරීමට වෙලාව එළඹ තිබේ. එහි කීමට බොහෝ දේ වෙතත් මේ ඒ සියල්ලට කාලය නම් නොවේ. කුඩා කල සිට ලැබූ ජීවිත අත්දැකීම් වලින් යමක් මතක තබා ගත හැකි වන්නේ කුමන වයසක දී සිට ද යන්න මට ගැටළුවක් වේ. ඒ ගැන මට කිව හැක්කේ මගේ මතකයන් තුළ රැඳී ඇති දෙයින් පමණි. එය පුද්ගලානුබද්ධ වීමට පුළුවන. 

දැන් මගේ මාතෘකාව බෝවන රෝග ලෙස ගනිමි. අවුරුදු දෙකේ වයසේදී මට සරම්ප රෝගය වැළඳී තිබේ. දරුණු උණ සුව වීමත් සමග  සම ගැලවී යාමට පටන් ගෙන තිබේ. ඒ කුඩා වයසේදී ජංගියක් පමණක් ඇඳගෙන බඩේ සම ගැලවූ බව මතකයට නැංවීම මට කුඩා කල ගැන ඇති ප්‍රථම මතකයි. ඉන් පසු නිවසේ කිහිප  අවස්ථාවකම බෝවන රෝග වැළඳුනු අවස්ථා පැමිණියද මා රෝගී නොවුනි. නැවත යොවුන් අවදියේ දී කම්මුල් ගාය ද, ඇස් රෝගය (Conjunctivitis)  ද වැළඳී තිබේ. ඊටත් පසුව ජර්මන් සරම්ප වැළඳුනි. වාසනාවකට එවේලේ මා ගර්භනී වී සිටියේ නැත. මගෙන් එය එකල කුඩා දැරියක වූ දියණියට වැළඳුනි. 

දරුණු බෝවන රෝගයකට සමාජයක් ලෙස මුහුණ දිමේ ඍජු අත්දැකීම් අපට නැත. නමුත් 70 ගණන් වල වසූරිය රෝගියෙක් රටට පැමිණීම නිසා දෙවන වරට අප වසූරිය සඳහා එන්නත් කළ සලකුණ අදටත් වමතේ පහළ බාහුවේ තිබේ. මැලේරියා වසංගතය නිසා එකම පවුලේ කිහිප දෙනකු මිය ගොස් අායු අපෙක්ෂාව ද බොහෝ පහළ ගිය හැටි අපේ වැඩිහිටියන් පවසා තිබේ. එමෙන්ම දෙවන ලෝක යුද සමයේ අාහාර හිඟය දරුණු ලෙස තිබුණු බවත් පාන් පිටි පමණක් අාහාරයට ගැනීම නිසා මාන්දමට ගොදුරු වී මිනිසුන් මිය ගිය හැටිත් අපේ වැඩිහිටියන් දැක අැත. 

කොලරා වසංගතයක් පිලිබඳ රාවයක් 1973-74 කාලයේ ඇසීමට ලැබුණි. යාපනයෙන් ඇරඹුණු මෙය ඉන්පසු වවුනියාවට ද ,කොළඹට ද රටේ තවත් ප්‍රදේශ වලටද පැතුරුණු බව මේ ලිපිය ලිවීමට පෙර සොයා බැලීමෙන් දැන ගතිමි. අප ජීවත් වූ ගාල්ල ප්‍රදේශයට මෙහි එතරම් බලපෑමක් නොවුනි. නැවත 1991/92 දී හා 1997/98 දී කොලරාව පැතිර ගොස් තිබේ. කොලරාව පාචනය ඇති කරන බැක්ටීරියා රෝගයක් වන අතර මිනිස් මළ ජලය හා ආහාර සමග පැතිර යන එකකි. 

රෝග තත්වයන් ම නොවුන ද යම් යම් ව්‍යසනකාරී තත්වයන් ගණනාවකට මේ දශක හයක ජීවිතය මුහුණ දී තිබේ. අපට මතක 1971 කැරැල්ල , 1983 කළු ජූලිය 1988-89 ඉන්දු ලංකා ගිවිසුම සමග නැගී සිටිම යන අවදිවල පාසල් /විශ්ව විද්‍යාල වසා වසා තැබීම, අැදිරි නිතිය, ආහාර හිඟ විම යන අවස්ථාය. සලාක ක්‍රමයට සමුපකාර මගින් පමණක් වියළි ආහාර බෙදා දෙන ලදි. පෝලිමේ සිට එ ආහාර අසීරුවෙන් ලබා ගැනීමට සිදු විය. 88-89 පාසල් වැසූ නමුත් කාර්ය මණ්ඩල සේවයට වාර්තා කළ යුතු බැවින් පයින්ම සැතපුම් අටක් පමණ ගමන් කළ හැටි මතක් වේ. 

තව 1970-77රජය ආනයනය සීමා කළ බැවින් අතැම් අාහාර රෙදිපිළි හිඟ විය. ලද දෙයින් සතුටු වීමට සිදු විය. මේ පිඩනය පුපුරා යාම 77 නව පාලනය බිහි වීමට මග පාදන ලදී. 1979 දී ද ළදරු කිරිපිටි මිළ දී ගැනීමට උප්පැන්න සහතිකය රැගෙන පෝලිම් වල සිටීමට සිදු විය. එයින් පසු වෙනස් වෙමින් අා ජීවන තත්ත්වයන් අපට ක්‍රමයෙන් අධි පරිභෝජනය හුරු කරවන ලදි. එය අැති හැකි එකාට ඕනෑවටත් වැඩිය කළ හැකි වීම නිසා නැති බැරි අය තුළ අසහනය වැඩි කිරීමට හේතු විය. හොරකම්, දූෂණ, මංකොල්ලකෑම් එහි ප්‍රතිඵලය විය. ක්‍රමයෙන් රටම යැපිම් අර්ථ ක්‍රමයකට හැරුනි. නිෂ්පාදනය අඩුවී සේවා සැපයීම වැඩි විය. තිස් අවුරුද්දකට අසන්න යුදමය තත්වය බිය, ශෝකය, සංකාව ඇතිකළ වෙනස්ම තත්වයකි. 2004 සුනාමිය බිහිසුණු අත්දැකීමකි. මේ හැර කෙලින්ම බල නොපෑ නමුත් ගං වතුර, නාය යාම්, නියග ආදිය ගැන ද අත් දැකීම් රැසකි. 

දැන් අලුත් ම තත්ත්වයකට අපි මුහුණ දී සිටිමු. ඒ කොරෝනා ලෝක අධිවසංගතයට මුහුණ දීමට සිදු වීමයි. මෙය අප සියළු දෙනාටම අලුත්ම අත්දැකීමකි. මීට පෙර මෙවැන්නක් ගැන අසා තිබුණා නම් ඒ ප්‍රබන්ධ කතාවකය. දැක තිබුණා නම් චිත්‍රපටයකය.සේවා සැපයීම් බොහෝ දුරට සීමා වී තිබේ. ගමනාගමන, ප්‍රවාහනය අඩපණ වී තිබේ. අාහාර සපයා ගැනීම, අත්‍යාවශ්‍ය දේ සපයා ගැනීම අසීරු අඩියකට පත් වෙමින් පවතී. බිය පැතිරෙමින් තිබේ. අපි නිවෙස් තුළ ස්වයං සිරමැදිරි වල සිරවී සිටිමු. අත් සෝදමු. ඈත්ව සිටිමු. මේ සියල්ලද වරප්‍රසාද බව ද ගෙයක් නැති කෙනෙකුට 'Stay at home'  කෙසේ වන්නට පුළුවන් ද කියාත් , වතුර නැති ජනතාව අත් සෝදන්නේ කෙලෙස ද කියාත්, සීමා සහිත කුඩා ඉඩ වල ඈත්ව ඉන්නේ කෙලෙස ද කියාත් ලෝකයේ ඇති අසමානතාව අපෙන් ප්‍රශ්න කරයි. අපි මෙතෙක් මිරිඟුවක් පසුපස දිවගිය මුවන් වූවෙමු ද ? ධනයට බලය ට තවමත් තැන තිබෙන බව පෙනේ. එහෙත් ලෝක බලවතුන් ද අසරණව ඇති සෙයකි.   

පරිභෝජනය අඩුකර ගැනීමට ඉහළ හා පහළ මධ්‍යම පන්තිකයන්ට හුරු වීමට අසීරු වුවත් එය කළ යුතු තත්ත්වයකට පත් වෙමින් තිබේ. වෙනදා මේ වන විට අවශ්‍ය, අනවශ්‍ය කොයි තරම් රෙදි පිළි, අනිකුත් භාණ්‌ඩ අපේ ගෙවල් වලට ඇවිත් ද? මේ අසීරු අවස්ථාව කළමනාකරණය කර ගැනීමට යුහුසුළු වෙමු. ඉදිරිය‍ අපැහැදිලිය. අඳුර දුරු වී ආලෝකය පහළ වේවා යි පතමි.

2 comments:

  1. මිනිසා ඇතුළු අප දන්නා ආකාරයේ අනිකුත් සතා සීපාවුන් සහ ගස් කොළ සඳහා ප්‍රශස්ත එකම ග්‍රහ ලෝකය ප්රුතිවිය වේ. මිනිසා පෘථිවියේ අයිතිකරු ලෙස සිතීමට පටන් ගත දින සිට කර ඇත්තේ පරිසර විනාශයමයි. මෙහි අනිසි විපාක දැන් වැල නොකැඩී එමින් පවතී. ජලගැලීම්, දරුණු නියඟ, තද කුණාටු, ලැව්ගිනි ආදිය අවසන් වුවා පමණකි. දැන් මාරාන්තික කොරෝනා. එකිනෙක පරයා යාමට යුද වැදීම, බල තන්හාව, දුබලයා තව තවත් දුබල කිරීම,ආහාර සුරක්ෂිතතාව නොසලකා හැරීම වැනි දහසකුත් එකක් වැරදි ක්‍රියා නිසා මුළු ලොවම කම්පා වී තිබේ. මෙය ආරම්භය පමණකි. මිනිසාගේ උම්මන්තක මානසික ස්වභාවය ඉවත් වන තුරු මේ ව්‍යසන වලින් බේරීමක් නොමැති බව පැහැදිලිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ කොමෙන්ටුවට. මිනිස්සු කුමන දෙයක් පසුපස යන්නේ ද යන්න ගැටළුවක් බව දැන් දැන් වැටහෙන්නේ වුවත් ඔවුන් නැවතත් පෙර තිබු පොර පිටියටම නැවත අවතීර්ණ වනු ඇත

      Delete