Wednesday, April 8, 2020

ප්‍රතිශක්තිය - 3




















විශිෂ්ඨ ආරක්ෂක යාන්ත්‍රණය නැත්නම් නතුකරගත්(පරිචිත) ප්‍රතිශක්තිය වර්ග හතරකට බෙදෙන්නේ මෙහෙමයි. මුලින්ම දෙකට බෙදෙනවා

1.  සක්‍රිය  ප්‍රතිශක්තිය (Active Immunity)
2.  අක්‍රිය  ප්‍රතිශක්තිය Passive Immunity)

මේ දෙක යටතේ ස්වභාවික සහ  කෘත්‍රිම කියල ආපහු බෙදෙනවා.

1.  සක්‍රිය  ප්‍රතිශක්තිය

a ) ස්වභාවික පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය (Naturally Acquired Active Immunity )
b ) කෘත්‍රිම පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය  (Artificially  Acquired Active Immunity)


2. අක්‍රිය ප්‍රතිශක්තිය

a ) ස්වභාවික පරිචිත අක්‍රිය ප්‍රතිශක්තිය (Naturally Acquired Passive Immunity)
b ) කෘත්‍රිම  පරිචිත අක්‍රිය ප්‍රතිශක්තිය (Artificially Acquired Passive Immunity)

1.  සක්‍රිය  ප්‍රතිශක්තිය

සක්‍රිය කියන එකෙන් කියන්නේ යම් පුද්ගලයෙක් තුළට ඒ ප්‍රතිශක්තිය ඇතිවෙන්නේ ඒ පුද්ගලයාගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය නිසාමය කියන එකයි. මෙය ඒ ඒ රෝගකාරකයට විශිෂ්ඨ වූ B සහ T  memory සෛල මගින් ඇතිකරන්නක්. මෙය ඇති වෙන විදි දෙක සළකා බලමු.


a ) ස්වභාවික පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය

ඔබට පැපොල රෝගය වරක් වැළඳුනා නම් ඔබේ ශරීරයේ ඒ සඳහා මේ ප්‍රතිශක්තිය ඇති වෙලා එය ජීවිත කාලයම තියෙනවා. ඉතින් ඔබට නැවත ඒ රෝගය හැදෙන්නේ නැහැ. සරම්ප, කම්මුල්ගාය, වසුරිය වගේ අනික් රෝග වලටත් ඒ වට අදාළව ප්‍රතිශක්තිය ඇති වෙනවා. නැවත එම රෝග කාරක ශරීර ගත වුනහම ශරීරය ඒවා හඳුනාගෙන පහර දී විනාශ කරනවා.

b ) කෘත්‍රිම  පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය

වෛද්‍ය විද්‍යාව ඉහත ක්‍රියාවලියම රෝගය පුද්ගලයෙකුට හැදෙන්නේ නැතුව, ප්‍රතිශක්තිය පුද්ගලයාගේ ශරීරය තුළ ඇතිකරන්න ක්‍රමයක් හොයා ගන්නවා. මෙහි පළමු අවස්ථාව වන්නේ 1798 දී, එඩ්වඩ් ජෙනර් විසින් වසුරීයට එරෙහිව සොයාගත් එන්නත.


එන්නත් ක්‍රම 4 කට හදනවා.

1. අඩපණ කරන ලද (Attenuated Pathogen) රෝගකාරකය යොදාගෙන එන්නත් සෑදීම - මෙහිදී ඇතුළත් කරන රෝගකාරකය ජීවී නමුත් රෝගය හදන්න තරම් ප්‍රභල නැහැ. උදාහරණ විදියට 1. සරම්ප,කම්මුල්ගාය හා ජර්මන් සරම්ප සඳහා දෙන MMR එන්නත 2. පැපොල සඳහා දෙන එන්නත,  පෝලියෝ මුඛ එන්නත (Sabin Vaccine) 

2. මරණ ලද ( අක්‍රිය කරන ලද ) රෝගකාරකය ,මෙහිදී බැක්ටීරියා හා වයිරස වල ප්‍රෝටීන හෝ යම් කුඩා කොටස් යොදා ගනී. උදාහරණ හැටියට කක්කල් කැස්ස සඳහා දෙන එන්නත, Polio Salk Vaccine 

3. ධුලක එන්නත් (Toxoid)- රෝග කාරකයේ ඇති යම් ධුලක ද්‍රව්‍යක් යොදා ගැනේ. උදාහරණ විදියට ඩිප්තිරියා එන්නත හා පිටගැස්ම එන්නත 

4. ජෛව සංශ්ලේෂිත එන්නත් - මිනිසා විසින් නිර්මාණය කරන ලද රෝග කාරකයේ ඇති කොටසකට් සමාන ද්‍රව්‍යයක් යොදා ගැනේ. උදාහරණ විදියට හෙපටයිටිස් B එන්නත 

ඉතින් මේ එන්නත් මේ වන විට ඔබේ ශරීරගත කරලා ඇති. 1979 හා ඉන්  පස්සේ ඉපදුන අයට වසුරිය එන්නත දෙන්නේ නැහැ. එය දැන් ලෝකයෙන් තුරන් කරන ලද රෝගයක් ලෙස ප්‍රකාශයට පත් කරලයි තිබෙන්නේ. අපි දෙවන ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ පෝලියෝ රෝගය පැතිරෙන්න පටන් ගත්තා. අපේ මිතුරු මිතුරියන්ටත් හදුනා. ඒ කාලේ පාසැලට වෛද්‍ය කණ්ඩායමක් ඇවිත් අපිට සීනි බෝලයක් විදියට පෝලියෝ එන්නත ලබා දුන්නා මතකයි. 

ඇතැම් දෙමාපියන් තම දරුවන්ට එන්නත් ලබා දෙන්නේ නැහැ. ඇමරිකාවේ වෛද්‍යවරියක් කිව්වා එන්නත් නොගන්න අය එන්නත් ගන්න අයගේ පිහිටෙන් රෝගවලින් බේරිලා ඉන්නවා කියල. එනම් සමාජයේ වැඩිපුර රෝගීන් නැති නිසා එහෙම එන්නත් ගන්නේ නැති පිරිසට රෝග බෝවෙන්න ඉඩක් නැහැ. නමුත් හුඟක් දෙනෙක් මේ විදියට එන්නත් ප්‍රතික්ෂේප කළොත් නැවත අයහපත් කාලයක් උදාවෙන්න පුළුවන්. දැන් මේ අලුත් SARS- CoV -2 වයිරසයට එන්නතක් හදන්න ලෝකයේ වෛද්‍යවරු/විද්‍යාඥයෝ උත්සාහයක නිරත වෙනවා. තාමත් HIV සඳහා එන්නතක් නැහැ.නමුත් ඒ සඳහා ගෙන යන උත්සාහය නතර කර නැහැ. 

©Malini Ganewatta

Photo by CDC on Unsplash

No comments:

Post a Comment