Friday, April 10, 2020

ප්‍රතිශක්තිය - 4 (අවසාන කොටස )



මව් කිරි ඔබේ දරුවා ආරක්ෂා කරයි. 
                                 

විශිෂ්ඨ ආරක්ෂක යාන්ත්‍රණය නැත්නම් නතුකරගත්(පරිචිත) ප්‍රතිශක්තිය වර්ග හතරකට බෙදෙන්නේ මෙහෙමයි. මුලින්ම දෙකට බෙදෙනවා

1.  සක්‍රිය  ප්‍රතිශක්තිය (Active Immunity)
2.  අක්‍රිය  ප්‍රතිශක්තිය Passive Immunity)

මේ දෙක යටතේ ස්වභාවික සහ  කෘත්‍රිම කියල ආපහු බෙදෙනවා.

1.  සක්‍රිය  ප්‍රතිශක්තිය

a ) ස්වභාවික පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය (Naturally Acquired Active Immunity )
b ) කෘත්‍රිම පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය  (Artificially  Acquired Active Immunity)


2. අක්‍රිය ප්‍රතිශක්තිය

a ) ස්වභාවික පරිචිත අක්‍රිය ප්‍රතිශක්තිය (Naturally Acquired Passive Immunity)
b ) කෘත්‍රිම  පරිචිත අක්‍රිය ප්‍රතිශක්තිය (Artificially Acquired Passive Immunity)

අද විස්තර කරන්න යන්නේ අක්‍රිය ප්‍රතිශක්තිය ගැන. සක්‍රිය ප්‍රතිශක්තියේදී ඒ පුද්ගලයාගේම ශරීරයේ ක්‍රියාකාරීත්වය නිසාමයි ප්‍රතිශක්තිය ඇතිවන්නේ. නමුත් අක්‍රිය ප්‍රතිශක්තියේදී වෙනත් පුද්ගලයෙකුගේ ශරීරයේ හැදුණු ප්‍රතිදේහ (ඉමියුනෝ ග්ලොබියුලින් ) ලබාදීමෙන් තමයි ප්‍රතිශක්තිය ඇති කරන්නේ. මෙහිදී ඇතිවන ප්‍රතිශක්තිය කෙටි කාලීන එකක්. 

a ) ස්වභාවික පරිචිත අක්‍රිය ප්‍රතිශක්තිය (Naturally Acquired Passive Immunity)

මෙහි දක්වන ආකාරයට මේ ප්‍රතිශක්තිය ස්වභාවිකව ඇතිවෙන්නේ. මේක ඇතිවන විදි දෙකක් තියෙනවා.
1. දරුවෙක් මවු කුස ඉන්න කාලෙදි මවගේ ශරීරයේ ඒ වන විට හැදිලා තියෙන ප්‍රතිදේහ මවගේ  සිට කළල බන්ධය හරහා දරුවට විසරණය වීමෙන්. මවට පිටගැස්ම එන්නත දීමෙන් මවගේ සිරුරේ ප්‍රතිදේහ ඇතිකරහම ඒවත් කළලයට ලැබෙනවා. මේවා කළලයට ලැබෙන්නේ තුන්වන ත්‍රයි මාසිකයේදී . ඇත්තටම එවිට කළලය නෙමෙයි කියන්නේ භ්රුණය කියල. 
2. උපතින් පස්සේ මවු කිරි විශේෂයෙන්ම මුල් කිරි (රන් කිරි) වල තියෙන කොලේස්ට්‍රම් ප්‍රතිදේහ වලින් පොහොසත්.  

කෙසේ නමුත් දරුවට මාස හයක් විතර යන විට මේ ප්‍රතිශක්තිය අඩු වෙලා යනවා. පොඩි දරුවන් දෙවියන් ආරක්ෂා කරන නිසා බෝවන රෝග හැදෙන්නේ නැතැයි කියන්නේ මෙන්න මේ ප්‍රතිශක්තියෙන් දරුවන් ආරක්ෂා වීමයි. 

b ) කෘත්‍රිම පරිචිත අක්‍රිය ප්‍රතිශක්තිය (Artificially Acquired Passive Immunity)
මෙහි නමෙන් දැක්වෙන විදියට මේ ප්‍රතිශක්තිය ඇතිකරනු ලබන්නේ කෘත්‍රිමව ඒ කියන්නේ වෙනත් ප්‍රභවයකින් ලබාගත් නිමි ප්‍රතිදේහ රෝගියාට එන්නත් කිරීමෙන්. මේ සඳහා උදාහරණ දෙකක් දක්වන්නම්.

a ) Rabies Immunoglobulin 

මෙහිදී අශ්වයින්ගේ හෝ මිනිසාගේ ශරීරයේ නිපදවන ලද නිමි ප්‍රතිදේහ රෝගියාට රෝහලකදී පමණක් ලබා දෙනවා. එසේ කරන්නේ රෝගියාට ජලභීතිකාව වැළඳුනේ යයි සැක සහිත සතෙක් සපා කෑමෙන් අනතුරුවයි. 
(මේ හැර මේ අවස්ථාවේදී ම රෝගියාගේම සිරුරේ ප්‍රතිදේහ සෑදෙන කෘත්‍රීම ක්‍රමයට අයත් එන්නතත් ලබා දෙනවා. එයින් ප්‍රතිදේහ සැදෙන්න කලක් ගතවන නිසා තමයි මුලින්ම නිමි ප්‍රතිදේහ ලබා දෙන්නේ. ඒ කෘත්‍රිම පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය )

b) Tetanus Immunoglobulin     

පිටගැස්ම සෑදීමට ආසන්න සැක සහිත අවස්ථාවකදී මේ නිමි ප්‍රතිදේහ රෝහලකදී ලබා දෙනවා. (ඔබ කටුවක් /යකඩ ඇණයක් ඇනුනහම දුවගෙන ගිහින් ගන්නේ නම් මේ නිමි ප්‍රතිදේහ නෙවෙයි. Tetanus toxoid එකයි. ඒ මගින් ඔබේ සිරුරේම ප්‍රතිදේහ ක්‍රමයෙන් වර්ධනය වෙනවා.  ඒ කෘත්‍රිම පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය )

දැන් ශරීරයේ ප්‍රතිශක්තිය ඇතිවෙන්නේ කොහොමද කියන එක ඔබට පැහැදිලි කරන්නයි මන් මේ ලිපි පෙළින් බලාපොරොත්තු වුනේ. ඔබ හොඳ ප්‍රතිශක්තියක් වර්ධනය කර ගන්න නම් ශරීරයට මනා පෝෂණයක් ද ලබා ගත යුතු බව මතක් කරමින් මං නවතිනව.

Photo by Luiza Braun on Unsplash

©Malini Ganewatta

2 comments:

  1. මුල ඉදන් කියෙව්වා. හරිම වටිනවා මේ සටහන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිථිල, කාලීන වැදගත් කරුණු නිසා ටිකක් මහන්සි වෙලා ලිව්වා. ජීව විද්‍යාව සරල ලෙස දක්වන්න ඕන වුණා, පොදු ජනයා උදෙසා

      Delete