Thursday, August 20, 2026

පියවර තිස් එකක් (රෆා දල්වි)

 පියවර තිස් එකක්

රෆා දල්වි (Rafaa Dalvi) විසිනි

(කෙටි කතාවක්) 




​සිං, අම්රිත්සාර් සන්ධිස්ථානයේ (Amritsar Junction) අංක තුන වේදිකාවේ ඇති බංකුව මත වාඩි වී සිටියේය. අවුරුදු නවයක් තිස්සේ වූ බලාපොරොත්තුව ඔහුගේ ශරීරයේ හැඩය ඒ ලී බංකුව මත සටහන් කර තිබුණි. ඔහුගේ විරෝධතා මධ්‍යයේ වුවද බිරිඳ විසින් සෑම උදෑසනකම මදින ලද ඔහුගේ තැඹිලි පාට  ඇඳුම, පසුවන සෑම දුම්රියක් සමඟම කෙට්ටු වන ඔහුගේ සිරුර මත බුරුලට එල්ලෙමින් තිබුණි.

​ඊළඟට පැමිණීමට තිබුණේ පතන්කොට් (Pathankot) වෙත යන සවස 4:30 දුම්රියයි.

'හා හා කාටද තේ ඕනේ? තේ ගන්න, තේ! රස්නෙට රස්නෙට තේ!' තේ වෙළෙන්දාගේ කටහඬ නළාකරුවන්ගේ සහ බර උසුලන්නන්ගේ කෑගැසීම් සමඟ මුසු විය. ළමයෙක් ඇඬීය. කාන්තාවක් වෙළෙඳසැලක් අසල කෙසෙල් ගෙඩිවලට මිල පවසමින් සිටියාය. වේදිකාව පහළ තිබූ ට්‍රාන්සිස්ටර් රේඩියෝවකින් ක්‍රිකට් විචාරයක් විසුරවා හැරෙමින් තිබුණි.

"ඉන්දියාව කඩුලු 2 කට ලකුණු 48 යි, ටෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 32 යි." 

ඔහු තම ඇතුළු  සාක්කුවෙන් ලිපියක් එළියට ගත්තේය. එහි නවන ලද තැන් මෘදු වී තිබුණි. ඔහුගේ ලප වැටුණු ඇඟිලි වෙවුලමින් ලිපිය දිගහැරියේය. ඔහු එහි වූ සෑම වචනයක්ම දැන සිටියේය. එහෙත් ඔහු නැවතත් එය කියෙව්වේය.

'​පපාජී, සත් ශ්‍රී අකාල්!

මම ආරක්ෂිතව පැමිණියා. පුහුණුව ගොඩක් අමාරුයි, ඒත් ඔයාගේ පුතා කොහොමහරි කරගෙන යනවා. ජීවිතය අපව පරීක්ෂා කරන බවත්, සැබෑ පන්ජාබියෙකු කිසිදා පසුබසින්නේ නැති බවත් ඔබ මට අලුතින් කිව්වා. සෑම උදෑසනකම හොරණෑව වදින විට මට ඔබගේ වචන මතක් වෙනවා. මෙහි සිටින කොල්ලන් මුළු උතුරෙන්මයි ඇවිත් ඉන්නේ - අම්රිත්සාර්, ලුදියානා, හිමාචල්, හරියානා වලින්.

​අපි හරියටම උදේ හතරට,  අවදි වෙනවා. මුලින්ම අපි පැයක් දුවනවා. හයේ රබ්බා (haye rabba), පළමු සතියේ මට හිතුණේ මගේ කකුල් කැඩෙයි කියලා. නමුත් හෙමින් හෙමින් මේ ශරීරය යකඩ වගේ හයි වෙනවා. ඊට පස්සේ ඩ්‍රිල් පුහුණුව, අප සැමගේ චලනයන් එකක් වන තුරු අණ පරිදි වමට සහ දකුණට හැරෙනවා. ඊට පස්සේ තුවක්කු පුහුණුව, එතනදී සෙබළුන් අපට රයිෆල් හසුරුවන්න උගන්වනවා. ඊට පස්සේ තවත් ඩ්‍රිල්, අපේ නිල ඇඳුම් දාඩියෙන් පෙඟෙනකම්ම. හැන්දෑව වෙනකොට, පපාජී, අපිට ඇස් ඇරගෙන ඉන්නවත් බැරි තරම් මහන්සියි. ඒත් මට සතුටුයි. මම පුංචි ළමයෙක් කාලේ ඉදන්ම ආස කළේ මේකට. මට මාතෘභූමියට සේවය කරන්න සහ අපගේ සික් උරුමයේ ගෞරවය රැකගන්න ඕනේ. මට අතහැරලා දාන්න හිතෙන හැමවෙලාවකම, මම ඔබ සහ මාතාජී ගැන, අපේ ගම සහ අපේ පස  ගැන හිතනවා.

​මම ළඟදීම ඔබව බලන්න එන්නම්. මාතාජීට බයවෙන්න එපා කියන්න. ඇගේ පුතා ශක්තිමත් වෙනවා.  පැමිණෙන දුම්රියවලින් නිල ඇඳුමෙන් සහ රයිෆලය සමඟ එන මාව හොයන්න. ඔබේ ආශිර්වාදය මගේ ශක්තියයි.

​ඔබේ ආදරණීය පුතණුවන්,

දලේර්

​වාහෙගුරු මෙහෙර් කරේ!

සිං ලිපිය නැවතත් පැරණි නවන ලද ලකුණු ඔස්සේම පරිස්සමෙන් නවා තම සාක්කුවේ දමා ගත්තේය. වේදිකාව ඒ වනවිට සෙනඟින් පිරී තිබුණි. ඔහුගේ ඇස් එක් මුහුණක් සෙවීය. පසුවී යන සෑම සෙබලෙකුම දුටු විට ඔහුගේ හදවත ගැස්සුණි. නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුත් ඔහුගේ පුතා වූයේ නැත.

​"සිං සාහිබ්," කටහඬක් ඇසුණි.

​ඔහු ඉහළ බැලීය. ඒ ස්ටේසන් මාස්ටර් ෂර්මාය. ඔහුගේ නිල ඇඳුම බඩ මැදින් තද වී තිබූ අතර, පසුගිය දීවාලි උත්සවයේදී බිරිඳ සෑදූ රසකැවිලි හමුවේ ඔහුගේ ඉණ මහත් වූ දා සිට යට බොත්තම ගලවා තිබුණි.

​"ඔයා තවමත් බලන් ඉන්නවද?"

​සිං හිස වැනුවේය.

​"ගෙදර යන්න, සාහිබ්. ඔයාගේ බිරිඳ බලන් ඉන්නවා ඇති."

​"එයා දන්නවා මම ඉන්න තැන."

​ෂර්මා ඉවතට ගියේය. එකිනෙකා ඔහුව ඒත්තු ගැන්වීමට දැරූ උත්සාහයන් අතහැර දැමූහ. ඔහුගේ බිරිඳ, අසල්වාසීන් සහ දුම්රිය පලේ දූෂිත වාතය ඔහුව මරා දමාවී යයි පැවසූ දොස්තරවරයාද ඒ අතර විය. නමුත් ඔවුන්ගෙන් කාටනම් ඔහුට මෙය පැහැදිලි කළ හැකි වීද?

​දුම්රිය නාද දෙමින් නතර විය. ඔහු නැගිට තම ටයි පටිය කෙළින් කර ගත්තේය.

'​සමහර විට අද.' 

දොරවල් විවෘත විය. මගීහූ එළියට ගලා ආහ. ඔහු නිල ඇඳුම්, රයිෆල් සෙවීමට මෙන් මුහුණු පරීක්ෂා කළේය. තරුණ සෙබළුන් කිහිප දෙනෙකු බැස ගියහ, සැබවින්ම ඔවුන් තවමත් ළමයින්ය. නමුත් ඔවුන්ගෙන් කිසිවෙකු දලේර් වූයේ නැත.

​වේදිකාව හෙමින් හිස් විය. සිං නැවතත් වාඩි විය.

' ​හෙට' , ඔහු සිතුවේය.

​අසරණ ළමයින් පිරිසක් ඔහු වෙත පැමිණියහ. ඔවුහු ඔහුගේ දෛනික පුරුද්ද දැන සිටියහ. ඔහු කාසි කිහිපයක් එළියට ගත් අතර, ඔවුහු පොරබදමින් ඒවා ගත්හ. ඔවුන්ගේ කුණු තැවරුණු මුහුණුවල සිනහවක් ඇඳුණි. අවුරුදු හතක පමණ එක් පිරිමි ළමයෙක් නතර විය.

​"බාබාජී, ඔයා හැමදාම මෙතන වාඩි වෙලා ඉන්නවා. ඔයා කාවහරි බලන් ඉන්නවද?"

​"මගේ පුතා."

​ළමයා හිස ඇල කළේය.

​"එයා හැංගිමුත්තම් සෙල්ලම් කරනවද? මට පුළුවන් හොයන්න උදව් කරන්න."

​සිං ඈතට ඇදී යන හිස් රේල් පාර දෙස බැලුවේය.

​"එයා හැංගෙන්න ගොඩක් දක්ෂයි."

******

​1991 මාර්තු මාසයේදී දලේර් පිටව ගිය දිනයේ තිබූ ආකාරයටම නිවස වෙනස් නොවී තිබුණි. ඔහු ලැසී බිවු මල නොකන වානේ විදුරුව සෝදා සෑම දිනකම තිබූ තැනම තබා තිබුණි. බිත්තියේ තිබූ ගුරු නානාක්ගේ පින්තූරය සහිත ලිතේ, ඔහුගේ ශාන්ත මුහුණ ලා නිල් සහ පාට තැඹිලි පැහැයට පත්ව තිබුණි. අමර්ජීත් එය වෙනස් කිරීම ප්‍රතික්ෂේප කළාය. ඈ පැවසුවේ, "එයා ආපසු එන විට, හැමදේම එයාට මතක තිබුණු විදිහටම තියෙන්න ඕනේ" යනුවෙනි.

​සිං ඇතුළු වන විට ඇය ලිප අසල සිටගෙන සිටියාය. ඇගේ සුදු කොණ්ඩය පිටුපසට කර බැඳ, දූපත්තාව (dupatta) එක් උරහිසකට දමාගෙන සිටියාය.

​"පරිප්පු එක නිවිලා," ඇය කීවාය.

​"මට බඩගිනි නැහැ."

​"ඔයාට දැන් කවදාවත් බඩගිනි නැහැනේ."

ඔහු දලේර්ගේ පාඩම් කරන මේසය අසල වාඩි විය. අවුරුදු ගණනාවක භාවිතය නිසා ලී පෘෂ්ඨය සීරී තිබුණි. දලේර් වයස අවුරුදු 10 දී ඔහුගේ නමේ මුල් අකුරු කැටයම් කළ ගැඹුරු සීරීම දිගේ සිං තම ඇඟිල්ල ගෙන ගියේය. එදා සිංට ගොඩක් කේන්ති ගොස් තිබුණි.

​අමර්ජීත් කෙසේ හෝ ඔහුට කෑම පිඟානක් ගෙනාවාය.

​"ෂර්මා සහ එයාගේ බිරිඳ ආවා. එයාලා ඔයා ගැන බයෙන් ඉන්නේ."

​"එයාලට බයවෙන්න දෙන්න."

​"ඔයා මුළු දවසම එතන වාඩි වෙලා, අර කුණු වාතය ආශ්වාස කරනවා. ඔයාට ලෙඩක් හැදුනොත්?"

​"මම හොඳින්."

​"දැන් අවුරුදු නවයක් වෙනවා."

​"ඉතින්? සමහර සේවාවන් දිගු කාලයක් පවතිනවා."

​"එයාට මොකක්හරි වුණා නම් හමුදාව අපිට දන්වනවා..."

​"එයා අපිට ලියුමක් ලිව්වා. එයා එනවා කිව්වා."

​ඇය ඔහුගේ දෑත් අල්ලා ගත්තාය. ගෙදරදොරේ දහසක් වැඩ වලින් ඇගේ දෑත් රළු වී තිබුණි, සම කඩදාසි මෙන් විය, ඔහු දුම්රිය පලට වී වාඩි වී සිටින අතරතුර ඇය තනිවම වහලය අලුත්වැඩියා කිරීමට උත්සාහ කිරීමේදී ඇගේ දකුණතේ එක් ඇඟිල්ලක්  ඇද වී තිබුණි.

​"එයා කවදාවත් ආවේ නැත්නම්?"

​ඔහු තම දෑත් ඉවතට ගත්තේය.

​"එහෙම ඒවා කියන්න එපා."

​"අපිට පුළුවන් පුද්ගලික රහස් පරීක්ෂකයෙක් ගන්න."

​"නෑ."

​"එයා මට කිව්වා දුම්රියපලේ බලන් ඉන්න කියලා. ඉතින් මම බලන් ඉන්නවා."

​ඇය නැගිට අතවත් නොතැබූ කෑම ඉවත් කළාය.

​"එහෙනම් මාත් බලන් ඉන්නවා. එයා මං ළඟට ආපසු එනකම්."

ඔවුහූ ​ඇඳේ  ඈතින් හාන්සි වී සිටියහ. දූර්දර්ශන් (Doordarshan) නාලිකාවේ 'නුක්කඩ්' (Nukkad) කතාමාලාවේ ශබ්දය සහ ඛන්නාගේ කුස්සියෙන් එන පිඟන් කෝප්ප ශබ්දය තුනී බිත්ති අතරින් ඇසුණි.

​"ඔයාට මතකද එයා ඒ නිල ඇඳුමෙන් කොච්චර ආඩම්බරයෙන් හිටියද කියලා?"

​"කුමාරයෙක් වගේ," සිං කීවේය.

​"මම ඒ නිල ඇඳුම හරියටම හදාගන්න තුන් පාරක් මැද්දා."

​"ඒක පරිපූර්ණයි. එයා හිටියේ එහෙමයි."

​"නෑ නෑ එයා ඉන්නවා," ඇය නිවැරදි කළාය. "එයා පරිපූර්ණයි."

​ඔවුන් නිහඬ වූහ. ඈතින් දුම්රියක් නළා හැඬවීය. සිංගේ සිරුර තද විය.

​"සමහර වෙලාවට මට හිතෙනවා මම එයාව කඩේදී දැක්කා කියලා," අමර්ජීත් කීවාය. "සමහර කොල්ලෝ ඇවිදින විදිහ, ඔළුව හරවන විදිහ දැක්කම, මට මොහොතකට හිතෙනවා..."

​ඇය හුස්මක් ගත්තාය.

​"ඒත් ඒ කවදාවත් එයා නෙවෙයි."

​සිං ඇස් පියාගත්තේය. සෘජු පුළුල් උරහිස් ඇති සෑම තරුණයෙකු තුළම ඔහු දලේර්ව දුටුවේය.

'​හෙට' , ඔහු තමාටම කියාගෙන නින්දට වැටුණේය. 

*******

​දුම්රිය ගමන් කරමින් තිබියදී දලේර් භාණ්ඩ මැදිරියට ගොඩ විය. ඔහුට පහසුවෙන්ම එහි අත්වාරු සොයාගත හැකි විය. ඇතුළත රෙදිපිළි පෙට්ටි පේළි තිබූ අතර, ඔහු ඒවා අතර තෙරපුණේය. පළමුවෙන්ම ඔහුට දැනුණේ දුර්ගන්ධයයි, ඊට පෙර පැටවූ නරක් වූ එළවළු සහ ඔහුගේම නොසේදූ සිරුරේ ගඳයි.

​සෑම සවසකම ඔහුගේ පියා වේදිකාවෙන් පිටව යන අයුරු ඔහු සෙවනැලි අතර සිට බලා සිටියේය. ඔහු බංකුව දෙසට ඇවිද යනු ඇත, නමුත් කණුව අසල නතර වනු ඇත. ඔවුන් අතර පියවර තිස් එකක් තිබුණි.

​දුම්රිය වේගය වැඩි කළේය. අවුරුදු නවයකට පෙර සිදුවූ මුල්ම ගමන ඔහුට මතක් විය. ඔහු එදා වාඩි වී සිටියේ හොඳ මැදිරියකය. අනෙක් අලුත් සෙබළුන් හිනාවෙමින් කතාන්දර කීහ. කෙනෙක් ඔහුට කෑම පෙට්ටියකින් කුල්චා (kulcha) කෑමක් දුන්නේය.

​සති අටක්......

පුහුණුවේදී ඔහුට රැඳී සිටීමට හැකි වූයේ එපමණයි.

​රාත්‍රී අභ්‍යාසය අතරතුර, උඩින් මැෂින් තුවක්කු පත්තු වෙද්දී මඩ අතරින් බඩගාගෙන යන අතරතුර, ඔහු බියෙන් ගල් වී එකපාරටම නැගිට්ටේය. පුහුණු උණ්ඩයක් ඔහුගේ පපුවට වැදී ඔහුව බිම වැටුණි. ඔහුට බියෙන් මළපහ විය.

​අනෙක් අය එය නොදැක්කා සේ සිටියහ.

​සර්ජන්ට් ඔහුව පැත්තකට කැඳවීය.

​"ගෙදර යන්න. සෙබළෙකු වීමට තරම් මානසික ශක්තියක් නුඹට නැහැ. සේවය කරන්න වෙන ක්‍රමයක් හොයාගන්න."

​ඔහු ආපසු ආවේය. ඔහු බෑගය අතැතිව දුම්රියපලේ දොරටුව අසල සිටගෙන, "පපාජී, මම උත්සාහ කළා" යන වචන පෙරහුරු කළේය. පසුව තැඹිලි පාට ඇඳුමෙන් සැරසුණු තම පියා දුම්රිය දෙස බලා බංකුවේ සිටිනු ඔහු දුටුවේය. අසල්වැසියන් පිරිසක් පසුවී ගිය අතර, එක් අයෙක් "අර බලන්න සිං දිහා, එයාගේ වීර පුතා එනකම් බලන් ඉන්නවා"යි කියනු ඔහුට ඇසුණි.

​ඔහු ආපසු හැරී නගරය දෙසට ඇවිද ගියේය.

​පළමු සතියේ ඔහු නිදාගත්තේ ගුරුද්වාරයේ (gurdwara) ය. ඔහු ලොරිවලට බඩු පටවන, පසුව බස් නැවතුම්පොළේ වැසිකිළි සුද්ධ කරන දෛනික රක්ෂාවක් සොයා ගත්තේය. නමුත් ලැගුම්හලේ කුලිය රුපියල් 20 ක් වූ අතර කෑමට තවත් රුපියල් 10 ක් වැය විය. . එක් රැයක, බඩගින්නෙන් ක්ලාන්ත වී සිටියදී, 11:47 දුම්රියේ කිසිවෙකු නොබලා සිටි අතහැර දැමූ බෑගයක් ඔහු දුටුවේය.

​එක් පාරක් විතරයි, ඔහු තමාටම කියා ගත්තේය.

​දෙවන වතාව පහසු විය.

​මැදිරියේ දොර විවෘත විය. ඔහුගේ සගයා වූ මුන්නා, තොල් අතරින් 'ඡයියා ඡයියා' (Chaiyya Chaiyya) සින්දුව මිමිණෙමින් ඇතුළට ආවේය. ඔහු සෑම විටම ඒ ෂාරුක් ඛාන්ගේ සින්දුව මිමිණුවේය. දලේර් වරක් ඔහුගෙන් ඒ මන්දැයි ඇසීය. "මොකද අපිත් කෝච්චි උඩ නටන නිසා, යාළුවා," මුන්නා හිනාවෙමින් කීවේය.

​අද රෑ ඔහු හිනාවුණේ නැත.

​"මම ආයේ ඔයාගේ නාකි මනුස්සයාව දැක්කා."

​මුන්නා බීඩියක් එළියට ගත්තේය.

​"මගේ තාත්තත් ඉස්සර බලන් හිටියා, ෆැක්ටරි ගේට්ටුව ළඟ. එයාගේ හදවත නතර වෙනකම්ම එයා එතන බලන් හිටියා."

​ඔහු බීඩිය පත්තු කළ අතර, තැඹිලි පැහැති එළියෙන් පසුගිය වසරේ පිහි සටනකින් ඔහුගේ ඇඟිලි අතර ඇති වූ කැළල මතුවිය.

​"කොච්චර කාලයක් ඔයා මේක කරගෙන යන්නද? එයා යම් දවසක ඒ වේදිකාව උඩ මැරිලා වැටෙයි."

​"කට වහගනින්."

​"එයා එක්ක කතා කරන්න, නැත්නම් යන්න යන්න."

​"මම කිව්වේ කට වහගනින් කියලා."

​මුන්නා උරහිස් සැළුවේය.

​"Navyug එක්ස්ප්‍රස් කෝච්චියෙන් හොඳ බඩුවක් හම්බුණා. ලැප්ටොප් එකක්. ලුදියානාවලදී නතර කරද්දී අපිට ඒක ගන්න පුළුවන්."

​දලේර් ඇස් පියාගත්තේය. දැන් පික්පොකට් ගහද්දී ඔහුගේ දෑත් වෙවුලයි. ඊයේ විතරක් නිදා සිටි ව්‍යාපාරිකයෙකුගෙන් බ්‍රීෆ්කේස් එකක් ගත් පසු ඔහුට වමනය ගියේය.

​ඔවුන් පැය කිහිපයකින් ලුදියානාවට ළඟා වී, පසුව නැවත අම්රිත්සාර් දෙසට හැරෙනු ඇත.

​මුන්නා දැන් ගොරවමින් සිටියේය, බීඩිය ඔහුගේ ඇඟිලි අතර බුරුලට තිබුණි. දලේර් එය තම පතුලෙන් පාගා දැමුවේය. දොරේ හිඩැසෙන් ඔහුට තාරකා පෙනුණි, ඒ ඔහුගේ ළමා කාලයේ දුටු තාරකාවන්මය. ඔහුගේ පියා තාරකා මණ්ඩල පෙන්වමින් වීරයන්ගේ කතා පවසයි. "ඒ අර්ජුනගේ දුන්න. සැබෑ වීරයෙකුගේ ශක්තිය එන්නේ එයාගේ ධර්මයෙන්, පුතා. ආයුධය යකඩ විතරයි."

​හෙට සිං තම ඇඳුම ඇඳගෙන, බංකුව වෙත ගොස්, පෙනී සිටීමට තරම් බියගුලු වූ අවතාරයක් එනතුරු බලන් සිටිනු ඇත.

******'

​සිං තම ලේන්සුවෙන් නළල පිස දැමුවේය. 4:17 දුම්රිය මිනිත්තු කිහිපයකට පෙර පිටත් විය.

​ගෝල්ඩන් ටෙම්පල් මේල් දුම්රිය පැමිණෙන්නේ සවස 5:15 ට ය. සිං සෑම දුම්රියක් ගැනම කටපාඩමෙන් දැන සිටියේය. සච්ඛන්ඩ් එක්ස්ප්‍රස් වන්දනාකරුවන් නාන්දෙඩ් වෙත ගෙන ගිය අතර, භාණ්ඩ දුම්රිය මධ්‍යම රාත්‍රියේ රටේ  අන්තිම කොටසට තිරිඟු ඇදගෙන ගියේය. ඔහුට 1999 මුළු දුම්රිය කාලසටහනම මතකයෙන් පැවැසිය හැකිය.

​ඔහු වටා, දීප්තිමත් ඵුල්කාරි (phulkari) සාලු හැඳි කාන්තාවෝ පෝටර්වරයෙකු සමඟ තර්ක කළහ. ශබ්ද විකාශන යන්ත්‍රයෙන් පන්ජාබි, හින්දි සහ කැඩුණු ඉංග්‍රීසියෙන් නිවේදන නිකුත් විය. විදේශ රටවලට යන පුතුන් ගැන ගුර්දාස් මාන්ගේ සින්දුවක් රේඩියෝවෙන් වාදනය විය.

​සිංට තම පපුව ඇතුළෙන් තද වන බවක් දැනුණි. ඔහු අත පපුව මත තබා ගත් අතර, තුනී රෙද්ද යටින් දැවිල්ලක් පැතිර ගියේය. 'දැන් නෙවෙයි' ඔහු සිතුවේය. ඊළඟ දුම්රියෙන් සමහර විට එයා එයි...

​ඒ 1984 වසර වැනිය, සියල්ල ගිනි ගත් කාලය. ඔහුගේ පියාද මියගියේ මෙලෙසමය, හදවත නතර වීමෙන්. සිවිල් රෝහලේ දොස්තර කිව්වේ මේ දුර්වලකම පවුල්වල පරම්පරාවෙන් එන එකක් කියලා. සිං එදා කිව්වේ පන්ජාබි හදවත් ශක්තිමත් කියලා. දැන් ඔහුගේ වම් අත හිරිවැටී ගියේය.

​ඔහුගේ පෙනීම සීමා විය.

​වේදිකාව ඇලවෙනවා මෙන් දැනුණි. ලිපිය ඔහුගේ සාක්කුවෙන් ගිලිහී ගිය අතර, ඔහුගේ දණහිස් නැමුණි.

​"සිං සාහිබ්!"

​තේ වෙළෙන්දා තේ කේතලය බිම දැමුවේය.

​"රාමු! රෆීක්! ඉක්මනට එන්න!"

​හර්ප්‍රීට් තේ කඩේ අයිතිය ලබා ගත්තේ ඔහුගේ පියාගෙනි. සිං තම බලාපොරොත්තුව ආරම්භ කරන විට ඔහුට වයස 17 කි. දැන් ඔහුට වයස 26 කි, ළමයින් තිදෙනෙකු සහ බර කේතලය නිසා කොන්දේ කුදයක් ඇත. ඔහු ධනවතෙකුගේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුතෙක්ද, අල්ලස් ගන්නා ටිකට් පරීක්ෂකයෙක්ද යන්න හොඳින් දැන සිටියේය. ඔහු සිංගේ කතාව අන් කාටත් වඩා හොඳින් දැන සිටියේය.

​පළතුරු වෙළෙන්දා තරාදිය අතහැර දැමූ අතර, කෙසෙල් ගෙඩි වේදිකාව පුරා පෙරළී ගියේය. සපත්තු මසන්නා ඉඳිකටු බිම දැමුවේය. පිකපොකට්කාරයා නතර විය. ඔවුහු ඔහු වටා රැස් වූහ.

​බ්ලූ ස්ටාර් මෙහෙයුමෙන් (Operation Blue Star) පසුව, විශ්වාසය අඩු වූ අතර, සෑම ආගන්තුකයෙකුම තොරතුරු සපයන්නෙකු විය හැකිව තිබූ කාලයේ, වේදිකාවේ වෙළෙන්දෝ තමන්ගේ අයව ආරක්ෂා කර ගැනීමට ඉගෙන ගත්හ. පොලිස් වැටලීම්වලදී ඔවුහු එකිනෙකා සැඟවූ අතර, වෙළඳාම නරක වූ විට තම උපයාගැනීම් බෙදා ගත්හ. සිං, ඔහුගේ රජයේ විශ්‍රාම වැටුපෙන්, කුඩා ක්‍රමවලින් ඔවුන්ට උදව් කළේය. ඔහු සෑම දිනකම එකම වේලාවට තේ බොන අතර, කවදාවත් පොලිෂ් කිරීමට අවශ්‍ය නොවූ සපත්තුවලට සතියකට වරක් ඔප දැමීය.

​"එයාව ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියමු," පාන් වෙළෙන්දා තදින් හුස්ම හෙලමින් කීවේය.

​රෆීක් බෙදීම (Partition) කාලයේ ළමයෙකුව සිටියදී ලාහෝර්වලින් පැන ආවේය. කිසිදා නොපැමිණි මිනිසුන් වෙනුවෙන් බලා සිටීම ගැන ඔහු තේරුම් ගත්තේය. ඔහුගේ මාමා සතියක් ඇතුළත එන බවට පොරොන්දු වී තිබුණි. ඒ මීට වසර 52 කට පෙරය. ඔහු දැන් බුලත් විටක් හපමින් සිටියේය,  ලේ එකතුවී මෙන් ඔහුගේ ඇඟිලි කහට නිසා රතු වී තිබුණි.

​දලේර් මුලින්ම චලනය විය.

​වෙළෙන්දෝ සිංව ගමන් බෑග් කරත්තයකට තබා ගත්හ. එහි රෝද සද්ද විය. දලේර් එක් කොනක් අල්ලා ගත්තේය. ඔහු තම පියාගේ පපුව යාන්තමින් ඉහළ පහළ යනු ඔහු දුටුවේය.

​ඔවුහු සවස සෙනඟ අතරින්, කැනඩාවට මිල අධික ඇමතුම් ගැනීමට මිනිසුන් පෝලිමේ සිටි STD බූත් එක පසුකර, ත්‍රිරෝද රථ ගාල ද පසුකර ඉදිරියට ගියහ.

​"ඔයා එයාව දන්නවද?" දලේර්ගේ බියපත් මුහුණ දැක තේ වෙළෙන්දා ඇසීය.

​"මම... මම එයාව මෙතන සමහර වෙලාවට දකිනවා."

​ගුරු තේග් බහදූර් රෝහල තිබුණේ වීදි තුනක් ඈතින්. හදිසි අනතුරු අංශය කෘෂිකාර්මික විෂ ශරීරගත වූ ගොවියන්ගෙන් සහ දේශසීමා හරහා ගලා ආ කෘතිම මත්ද්‍රව්‍යවලින් පීඩා විඳින ඇබ්බැහි වූවන්ගෙන් පිරී තිබුණි.

​තරුණ දොස්තරවරයෙක් සිංගේ නාඩි පරීක්ෂා කළේය. ඔහුගේ බැජ් එකේ සටහන් වූයේ: ඩොක්ටර් කුල්වින්දර් සිං, MBBS. ඔහුගේ කබායේ බීටාඩින් පැල්ලම් තිබුණි.

​"එයාට හෘදයාබාධයක් හැදිලා," ඔහු ඉහළ බලමින් කීවේය. "මෙතන පවුලේ කවුද ඉන්නේ?"

​වෙළෙන්දෝ එකිනෙකා දෙස බැලූහ. හර්ප්‍රීට් කතා කළේය.

​"මම දන්නවා සිං සාහිබ් ඉන්න තැන. මම එයාගේ බිරිඳව එක්කන් එන්නම්."

​නිවස තිබුණේ පැරණි නගරයේ, ස්වර්ණමය දේවාලය (Golden Temple) පසුකර, නිවාස  එකගොඩේ තදවී තිබූ, ඉහළින් කේබල් වයර් පැටලී තිබූ පටු අඳුරු වීදිවලය.

​මිනිත්තු තිහකට පසු, අමර්ජීත් ඇගේ සුදු දූපත්තාව සමග පාවෙමින් දොර අතරින් ඇතුළු වූවාය. ඇය කෙළින්ම සිංගේ ඇඳ ළඟට ගොස් ඔහුගේ අත අල්ලා ගත්තාය.

​සිං තුනී කොට්ටයකට බර දී සිටියේය. ඔහුගේ හුස්ම ගැනීම අමාරු නමුත් ස්ථාවර විය. දොස්තරගේ මුහුණ ඇයට ඉතිරිය පැවසීය. පැය කිහිපයක්, සමහර විට දවසක්.

​"ඔයා මෝඩයා," ඇය හෙමින් කීවාය.

​වෙළෙන්දෝ බෙහෙත් සඳහා තමන් සතුව තිබූ සුළු මුදල ලබා දී පිටව ගියහ.

​දලේර් දොරෙන් පිටත ගල් වී සිටියේය. ඔහු තොප්පිය පාත් කර බිත්තියට තද විය.

​ඔහු පිටව යා යුතුය. යාමට සියලු හේතු තිබුණි. නමුත් ඔහුගේ පියාගේ මුහුණ ඔහුව අල්ලා තබා ගත්තේය.

​අමර්ජීත් ඇඳ ළඟ වාඩි වී, පැරණි නැළවිලි ගීතයක් මිමිණුවාය.

​සිං සලිත විය. ඔහුගේ ඇස් ඇරණු අතර ඔහුගේ තොල් චලනය විය. අමර්ජීත් සමීප වූවාය.

​"දලේර්?"

​ඔහුගේ පියාගේ කටහඬ පැහැදිලිව සහ හදිසියේ නැග ආ අතර, එයින් ඔහු තිගැස්සුණි. නමුත් සිං බැලුවේ දොර දෙස නොවේ. ඔහුගේ ඇස් හිස් කොනකට යොමු වී තිබුණි, ඔහුගේ මුහුණේ සිනහවක් විය.

​"බලන්න, අමර්ජීත්."

​සිංගේ කටහඬ වසර ගණනාවකට පසු ඇසුණු ශක්තිමත්ම හඬින් පිට විය.

​"බලන්න අපේ කොල්ලා දැන් කොච්චර ලස්සනද කියලා."

​අමර්ජීත් ඈත කොන දෙස බැලූ අතර තීන්ත ගැලවුණු බිත්තිය සහ වෛද්‍ය වාර්තාව හැර වෙන කිසිවක් දුටුවේ නැත. ඇගේ මුහුණ අඳුරු විය.

​"සර්දර්ජී..."

​"එයාගේ නිල ඇඳුම දැක්කද? ඒක හරිම ලස්සනයි."

​සිං වෙවුලන අතක් ඔසවා පෙන්වීය.

​"පදක්කම් තුනක්... නෑ, හතරක්. වීරකම වෙනුවෙන්. මම දැනන් හිටියා. මම හැමදාම කිව්වා මගේ පුතා වීරයෙක් වෙයි කියලා."

​දලේර් තම නළල දොර රාමුවට තද කළේය.

​පදක්කම් හතරක්. පුහුණුවේ සති අටක්වත් ඉන්න බැරි වූ, මඩේදී ඇඳුමේ මළ මූත්‍රා පහවූ පසුව හොරෙක් වූ පුතෙකුට ඔහුගේ පියා මවාගත් පදක්කම් හතරක්.

​"එයා කියනවා එයා රහසිගත මෙහෙයුම්වල හිටියා කියලා, ලියුම් ලියන්න බැරි වුණා කියලා, එන්න ලැබුණෙම නෑ කියලා. ඒත් එයා කවදාවත් අපව අමතක කළේ නෑ. එහෙ හිටියත්, එයා හැමදාම එයාගේ පපාජී සහ මාතාජී ගැන හිතුවා."

​අමර්ජීත් ඈත කොන දෙසත්, පසුව ඇගේ සැමියාගේ මුහුණ දෙසත් බැලුවාය.

​"ඔව්, මටත් එයාව පේනවා."

​"ඔයාට පේනවද?"

​"එයා හරිම උසයි, ශක්තිමත්, ඔයා ඒ කාලේ හිටියා වගේමයි."

​ඇය සිංගේ අත මිරිකුවාය.

​"එයාට කියන්න අපි එයා ගැන ආඩම්බර වෙනවා කියලා."

​"එයා දන්නවා. එයා කියනවා එයා ඈතක හිටියත් අපි දිහා බලන් හිටියා කියලා."

​දලේර් බිත්තිය දිගේ පහළට රූරා වැටී තෙත ටයිල් මත වාඩි විය.

​"එයා මට කාශ්මීරය ගැන කියනවා, එහෙ කඳු ගැන, කැලෑව උසට වැවෙන ඊසානදිග ගැන, රෑට වැලි සින්දු කියන රාජස්ථානයේ කාන්තාරය ගැන."

​"ඒ හැම තැනම," අමර්ජීත් මිමිණුවාය. "අපේ වීර කොල්ලා."

​"එයා කියනවා එයාට එවන්න ලැබුණේ අර ලියුම විතරයි කියලා. ආරක්ෂක හේතූන් මත. ඒත් එයා අපේ පින්තූරය හැමතැනම අරන් ගියා, එයාගේ යුනිට් එකේ අයට පෙන්නුවා, එයාට හොඳින් ඉන්න තල්ලුව දුන්න පපාජී ගැන සහ මුළු පන්ජාබයේම හොඳම සර්සොන් කා සාග් (sarson ka saag) හදන මාතාජී ගැන එයාලට කිව්වා."

​හෙදියක් පසු දලෙර් පසුකර ගිය අතර දලේර් දෙස බැලුවාය. ඔහු නැගිට ජනේලය දෙසට ඇවිද ගියේය.

​ඔහු ආපසු එන විට අමර්ජීත් කතා කරමින් සිටියාය.

​"පුතා, ඔයාගේ පපාජීට ගොඩක් මහන්සියි. එයා ඔයා එනකම් ගොඩක් කාලයක් බලන් හිටියා. දැන් ඔයාලා දෙන්නටම විවේක ගන්න කාලය ඇවිත්."

​සිංගේ බෙහෙත් ඔහුව නිද්‍රාවට ඇද දමමින් තිබුණි.

​"එයා කියනවා අපිව මෙච්චර කාලයක් බලන් ඉන්න සැලැස්සුවට සමා වෙන්න කියලා."

​"සමා කරන්න දෙයක් නෑ," අමර්ජීත් මිමිණුවාය.

​සිංගේ ඇස් වැසුණි. ඔහුගේ හුස්ම ගැනීම හෙමින් වී ශාන්ත විය.

​දලේර් ඉවතට ඇවිද ගොස් ඔහුගේ දෙමාපියන් සහ ඔවුන්ගේ මතකයේ රැඳි වඩා හොඳ පුතා තනි කළේය.

******'

​සුල්තාන්වින්ඩ් (Sultanwind) සොහොන් බිම මීදුමෙන් වැසී තිබුණි.

​දේහය දල්වන ගින්න පත්තු විය. සුදු ඇඳුම් ඇඳගත් පිරිසක් ආදාහන පූජාසනය සහ ගේට්ටුව අතර පිරී සිටියහ. හොඳින් මදින ලද නිල ඇඳුම් ඇඳගත් දුම්රිය සේවකයෝ, උදෑසන වෙලාවේ තම කඩවල් වැසූ වේදිකා වෙළෙන්දෝ, සිං සමඟ කතා කිරීම නතර කර තිබූ නමුත් පැමිණි අසල්වැසියෝ. පළතුරු වෙළෙන්දා ඔහුගේ පුතුන් දෙදෙනා කැඳවාගෙන ආවේය. තේ වෙළෙන්දාගේ බිරිඳ  ඇගේ දූවරුන් සමඟ සිටියාය. පිකපොකට්කාරයා පවා එතන සිටියේය, ඔහුගේ හිස වසාගෙන තිබුණි.

​දලේර් සුසාන භූමියේ තාප්පය පිටුපස සිටගෙන, ගඩොල් හිඩැසකින් බලා සිටියේය. ඔහු පාරේ වෙළෙන්දෙකුගෙන් ගත් සුදු රෙද්දක් පොරවාගෙන සිටියේය. නමුත් ඔහුට අන්තිම මීටර් 50 පසුකර යාමට නොහැකි විය.

​පූජකවරයා (granthi) කීර්තන් සොහිලා (Kirtan Sohila) සූත්‍රය ගායනා කළේය; මගේ විවාහ දිනය නියම වී ඇත; එන්න, මගේ යෙහෙළියනි; එළිපත්ත මත තෙල් වත් කරන්න. ඒ වචන දලේර්ට මුලින්ම ඇසුණේ ඔහුට අවුරුදු හතක් වන විට, තම සීයාගේ මළගෙදරදීය, එදා වටපිටාවේ සිටි අය ඇයි අඬන්නේ කියා ඔහුට තේරුණේ නැත.

​අමර්ජීත් වියළි ඇස්වලින් ගින්න දෙස බලමින් ආදාහන පූජාසනය අසල සිටගත්තාය. ඇගේ සොහොයුරන් ඇය දෙපස සිටි අතර, ඇය ඇගේ දුකේදී තනිව සිටියාය.

පන්දමක් ගෙන පූජාසනය වටා යමින් ​ලොකු මාමා අන්තිම කටයුතු සිදු කළේය. එය කිරීමට පුතෙකු නොමැති නිසා, ඒ යුතුකම ඔහුට පැවරුණි.

​"එයා හොඳ මනුස්සයෙක්," දලේර් සැඟවී සිටි තැන අසල අයෙක් කීවේය. ඒ පැරණි දුම්රිය සේවකයන් දෙදෙනෙකි. "එයා ඒ බංකුව උඩ හමුදා සෙබළෙක් වගේ තමන්ගේ රාජකාරියේ හිටියා."

​"අපි හැමෝම මොකක්හරි දෙයකට බලන් ඉන්නවා."

​ගින්න උසට දැවුණි. එය හර්පාල් සිංගේ සිරුර බිලි ගත්තේය. දුම ඝනවී, කළු පැහැයෙන් ඉහළ නැගුණි, පසුව ලා පැහැ වී නැති වී ගියේය.

​උත්සවය අවසන් විය. මිනිස්සු අඛන්ඩ් පාත් (Akhand Path) සඳහා සහ සිංගේ හොඳ දවස්වල කතාන්දර බෙදාගන්නා ලංගර් (langar) දානය සඳහා ගුරුද්වාරයට ගියහ.

​දලේර්ට ඔවුන් පසුපස යාමට අවශ්‍ය විය. ඒ වෙනුවට ඔහු ඇවිද ගියේ දුම්රියපල කරායි. 

​ඒ උදෑසන තදබදයට පෙරය. බිම අතුගාන අතුගාන්නා හැරුණු විට අංක තුන වේදිකාව පාළුවට ගොස් තිබුණි. සිං නොමැතිව බංකුව වැරදි ලෙස පෙනුණි. කෙනෙක් එතන දාස් පෙති මල් (marigolds) තබා තිබුණි.

​තම පියාට දැනුණු දේ දැන ගැනීමට දලේර්ට එක් වරක් එතන වාඩි වීමට අවශ්‍ය විය. නමුත් ඔහුට චලනය වීමට නොහැකි විය.

​6:45 දුම්රිය පැමිණියේය. තරුණ සෙබළෙක් තද කහ පැහැති නිල ඇඳුමෙන්, රයිෆලයක් උරහිසේ දමාගෙන ආවේය. ඔහු බංකුව දෙස නොබලා එය පසුකර ගියේය.

******'

​ඇය පළමු දිනයේ ඇඳේම සිටියාය. සිංගේ කණ්ණාඩි කූට්ටම අයිනේ මේසය මත තිබූ අතර ඔහුගේ සෙරෙප්පු දොර අසල තිබුණි.

​දෙවන දිනය වන විට ඇය උයමින් සිටියාය. පීධන උදුනේ පරිප්පු, තාවා එකේ රොටී. ඇය කොටස් දෙකක් සාදා පිඟන් දෙකක් තබද්දී ඇයටම ඇය කරන දේ අසු විය.

​තෙවන උදෑසන ඇය 6:30 ට අවදි වූවාය. නොසිතාම ඇය සිංගේ තැඹිලි පාට කබාය මැද්දාය, පසුව ඇය එය අල්ලාගෙන සිටින්නේ මන්දැයි ඇයට මතක් කරගත නොහැකි විය.

​ඇය එය ඇඳ ගත්තාය. එහි ඔහුගෙන් හමන සුවඳ සහ දුම්රිය ඩීසල් ගඳ තිබුණි. ඇයට සාක්කුවේ තිබී ලිපිය හමු විය, ඇය එය දිගහැරියාය, එය කියවා, සිං නැවූ පැරණි නවන ලකුණු ඔස්සේ නැවත නවා ගත්තාය.

​ඇය දුම්රියපලට ගියාය.

​ඇයට අවශ්‍ය වූයේ බංකුව දෙස බලා සමුගැනීමටය. නමුත් ඇය අංක තුන වේදිකාවට ළඟා වී ඔහු වාඩි වී සිටි තැන පරඬැල් වී තිබූ දාස් පෙති මල් දුටු විට ඇගේ කකුල් පණ නැති විය. ඇය වාඩි වූවාය.

​8:47 දුම්රිය පැමිණියේය. දොරවල් විවෘත වූ අතර මගීහූ ගලා ආහ. ඇය පිටව ගියේ නැත.

​තේ වෙළෙන්දා ඇයව මුලින්ම දුටුවේය.

​"බෙන්ජී (Bhenji), ඔයා විවේක ගන්න ඕනේ. ශෝක වන කාලය..."

​"සිං සාහිබ් හැමදාම මෙතන වාඩි වුණා," ඇය කීවාය. "කවුරුහරි බලන් ඉන්න ඕනේ."

​තේ වෙළෙන්දා මැටි කෝප්පයක (kulhad) ඇයට තේ ගෙනාවේය.

​වෙළෙන්දන් අතර ආරංචිය පැතිර ගියේය. පළතුරු වෙළෙන්දා ඇය අසල කෙසෙල් ගෙඩි දෙකක් තැබුවේය. පාන් වෙළෙන්දා සහ සපත්තු මසන්නා ඔවුන්ගේ ශෝකය ප්‍රකාශ කිරීමට ආහ.

​දලේර් කණුව පිටුපස සිට බලා සිටියේය.

​4:17 දුම්රිය පැමිණියේය.

​සිං වරක් දැරූ ඒ දැඩි බලාපොරොත්තුවෙන්ම අමර්ජීත් බැස යන මගීන් පරීක්ෂා කළාය. වේදිකාව හිස් වූ විට ඇය නැවත වාඩි වූවාය.

​"එයා එන්නේ නෑ, බෙන්ජී."

​"එයා අන්තිමේදී සිං සාහිබ් හොයාගෙන ආවා."

​දින සති බවට පත් විය.

​අමර්ජීත් සෑම උදෑසනකම 8:47 ට පැමිණ අවසන් සන්ධ්‍යා දුම්රියෙන් පසු පිටව ගියාය.

​සමහර වෙලාවට දලේර් බලා සිටියේය, ඇය ලිපිය කියවන අයුරු, ඇගේ තොල් වචන මත නිහඬව සලිත වන අයුරු, පසුව එය නැවත සාක්කුවේ දමාගෙන රේල් පාර දෙස බලමින් සිටින අයුරු.

​එක් සවසක, අමර්ජීත් ඇය ළඟ තිබූ හිස් අවකාශයට කතා කළාය.

​"මම දන්නවා ඔයා බලන් ඉන්නවා කියලා, පුතා. කොහේ හරි. අම්මා කෙනෙක් දන්නවා. ඔයා ලෑස්ති වුණාම එන්න. මම බලන් ඉන්නම්."

​දලේර් කණුවට බර විය.

​ඔහුගේ උගුර හිර වූ අතර ඇස් දැවුණි. ඔහුට ඇය වෙත දුව ගොස් ඇගේ බලාපොරොත්තුව අවසන් කිරීමට අවශ්‍ය විය. නමුත් ඔහු ඇය බලන් සිටි පුතා නෙවෙයි. ඒ පුතාගේ පපුවේ පදක්කම් තිබුණි.

​සති මාස බවට පත් විය.

​එක් සවසක, අමර්ජීත් පිටව යාමට හැරෙද්දී, පැරණි ලිපිය ඇගේ කබායෙන් ගිලිහී ඇයට නොපෙනී පිටුපසට වැටුණි.

​දලේර් එය දුටුවේය. ලිපිය බංකුව අසල නතර වූ අතර, එහි පිටිපස කකුලට තද වී, සුළඟින් ආරක්ෂිත විය.

​ලිපිය පා වී ගියහොත්, අමර්ජීත්ට ඔහු වෙත තිබූ අවසන් පුරුක අහිමි වන අතර, ඇය ජීවත් නොවනු ඇත.

​දලේර් ගල් වී සිටියේය. වේදිකාව ඔහු ඉදිරියේ ඇදී ගියේය. ඔහුගේ කකුල් ඔහු යටතේ නොසන්සුන් විය.

​ඔහුට බංකුවෙන් තම පියාගේ කටහඬ දෝංකාර වනවා ඇසුණි. "සැබෑ වීරයෙකුගේ ශක්තිය එන්නේ එයාගේ ආත්මයෙන්, පුතා. ආයුධය යකඩ විතරයි." 

​ඔහු එක් පියවරක් තැබුවේය, පසුව තවත් පියවරක්, අවුරුදු නවයකට පසු පළමු වතාවට ඔහු ඒ පියවර තිස් එකම ඇවිද ගියේය.

​ලිපිය එතන තිබුණි. ඔහු එය අතට ගෙන නැවතත් ඔහුගේ වචන සහ පොරොන්දු කියෙව්වේය.

​ඔහු තම පියාගේ බංකුවේ වාඩි වී ලී පටි දිගේ දෑත් ගෙන ගියේය, එහි ලී රටා අතර සටහන් වී තිබූ පැය, දවස් සහ අවුරුදු ඔහුට දැනුණි.

​අලුත් විදියකට නැමුම් ලකුණු ඇතිව දලේර් අන්තිම වතාවට ලිපිය නැමුවේය.  පසුව ඔහු අම්රිත්සාර් සන්ධිස්ථානයෙන් සම්පූර්ණ එළිය මැදින් එළියට ඇවිද ගියේය, ඒ තවත් කණු සහ මුළුවල නොඇලී, ප්‍රධාන දොරටුවෙන් එළියට, ගෙදර දෙසටයි. 

​ඔහුට පිටුපසින්, අංක තුන වේදිකාවේ බංකුව හිස්ව තිබුණි.

​එය වැඩි වේලාවක් හිස්ව නොපවතිනු ඇත. දුම්රිය දිගටම පැමිණෙනු ඇත, තවත් අය බලා සිටීමට පැමිණෙනු ඇත.

(2026 පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටි කතා තරගයේ කෙටි ලයිස්තුගත වූ කතාවක සිංහලානුවාදයයි.)

මේ කතාවේ මට අසුවූ යම් දෝෂයක් ඇත. ඔබටත් එය හසුවේදැය බලන්න. 

No comments:

Post a Comment