Tuesday, September 18, 2018

ලොකු මාමා




ලොකු මාමා


"
ළමයිනේ ! මේ හැන්දෑ වෙලාවට ඔය තැන්වල ඉන්න එපා කියල තියෙනව නේද ?" මුත්තන්ඩී අපට තරවටු ස්වරයකින් කීවේය. අපි සෙල්ලම් කරමින් සිටි තැනට මදක් ඔබ්බෙන් කුඩා ගල් කැබලි ගොඩ ගසා තිබුණු ගල් ගොඩකි. මේ ගල් ගොඩ යට ලොකු මාමාගේ සොහොන ඇති බව අම්මා මා සමග කියා ඇත. කෙසේ නමුත් වත්තේ මේ කෙළවර මහා අඳුරු ගුහාවකි. වත්තේ මායිමෙන් මෙපිට ඇති රබර් වතු යායට, ඉර අවරට හැරී මද වෙලාවකින් කළුවර කුර ගගා එන්නට පටන් ගනී. එය කළු අඳුරු සළුවක් පරිද්දෙන් අපේ වත්තේ මේ කොන හා දැවටී යාමට වැඩි වෙලාවක් ගත වන්නේ නැත .  එහෙත් මෙතැන සෙල්ලම් කරන අපේ සිත් තුළට  බියක සේයාවක් වත් ඇති වුයේ නැත. මුත්තන්ඩීගෙන් බැණුම් අසමින් වුවද අපි රිසිසේ මෙතැන සෙල්ලම් කිරීමට තෝරා ගන්නේ ඒ අවට හොරා පොලිස් සෙල්ලමේදී හැංගීමට තැන් තිබුණු නිසාය .

ලොකු මාමා මා ඇසින් දැක නැත. මා ඉපදී ඇත්තේ  ලොකු මාමා මිය ගොස් බොහෝ කලකට පසුවය. ඔහු මිය ගොස් තිබුනේ දෙවන ලෝක යුද්ධය පැවති වකවානුවේ දීය. ඔහු මිය යන විට වයස අවුරුදු විසි එකක තරුණයෙකු බවත් ඒ වන විට අම්මා තරුණ වියට එළඹ සිටි බවත් අම්මා කීවේ දැඩි ශෝකයකිනි. ගෙයි කොතරම් ඉඩකඩ තිබුණද අප සැම නිදා ගැනීමට පුරුදුවී සිටියේ බරාඳය කොටසේ බිම පැදුරු එළා ගෙනය. අම්මා රෑ නිදි පැදුරේ ඉන්නා ගමන් අපට නින්ද යන තෙක් අතීත අත්දැකීම් සමග මුසුවූ කතන්දර අපට කීවාය.  දැන් මේ කතන්දර වැඩිපුර මතකයේ ඇත්තේ මගේම පමණක් විය යුතුය. අපේ දරුවන්ට ඒ කතා ඇසීමට එතරම් වුවමනාවක් හෝ ඉස්පාසුවක් නැති වූයෙන්   මේ කතා මා සමගම මේ ලෝකයෙන් ඉවත් වී යනු ඇත.

මුත්තන්ඩී සහ අත්තම්මා ට දරුවන් පස් දෙනෙක් වුහ. එනම් ලොකු මාමා , අම්මාගේ අක්කා,එනම් ලොකු අම්මා ,සුදු මාමා හා පොඩි මාමා ය. ඔය කියන ලොකු අම්මාත් අපි දැක නැත. ඇය මිය ගියේ වයස අවුරුදු නවයේදී බව අම්මා කියා ඇත. අම්මා ළාබාල අවදියේ  තමන්ට අහිමිවූ එකම සොයුරිය ගැන දුක් නොවූවා නොවේ.  එය ද දුකක් වූ නමුත් ඒ කාලය වන විට අම්මා කුඩා දැරියක්ව සිටි නිසා එය එතරම් සිතට වැදී නොතිබිනැයි මට සිතේ.

ලොකු මාමා එසේ නොවේ. ඔහු පවුලට පහන් ටැඹක් බඳු පුත්‍ර රත්නයක් විය. පවුලේ කුදු මහත් කටයුතු සොයා බැලීමට තරම් දැනුවත් බවක් හා ජවයක් ඔහුට තිබුනේය.  අම්මා වැඩි විය පැමුණුනු අවස්ථාවේ ලොකු මාමා තෑගි වශයෙන් ඇයට පිරිනමා තිබුණේ වටිනා පිඟන් කෝප්ප සෙට් එකකි. එය අම්මා පණ මෙන් සුරකිනු මා දැක ඇත. තවමත් එහි ඇතැම් පීරිසි කෝප්ප මහ ගෙදර අල්මාරි තුළ තිබෙන්නට පුළුවන් බව මට සිතේ.  ලොකු මාමා හැදී වැඩුණේ මුත්තන්ඩී ගේ දැඩි නීති රීති යටතේ බැවින් ඔහු අසීමිත බියකින් තම ළමා කාලය ගත කළ බව අම්මා කියා ඇත. එහෙයින්ම ඔහු ඉතා කීකරු  දරුවෙකු විය.

ඒ අවාසනාවන්ත වකවානුවේ ලොකු මාමාට වැළදී තිබුණේ උණ සන්නිපාතයයි (Typhoid fever). මේ කාලයේ නම් මෙවැනි රෝග ප්‍රතිජීවක ඖෂධ මගින් පහසුවෙන්ම යටපත් කල හැකි නමුත් ඒ කාලයේ වෛද්‍ය විද්‍යාව එතරම් දියුණු වී තිබුණේ නැත. ප්‍රති ජීවක ඖෂධ ආදිය දියුණුවට පත් වුයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බව මා කියවා ඇත.

පවුලේ දේශීය වෛද්‍ය වරයා ගෙන්වා ප්‍රතිකාර කරන ලද බව අම්මා කියන්නීය. කසාය පානය කිරීම ඉතා අමිහිරි අප්‍රසන්න දෙයකි. මුත්තන්ඩි බලෙන් මෙන් ලොකු මාමාට කසාය පොවා ඇත. පළමු කසාය වඩි වලින් මද සුවයක් ඇති වුවත් පසුව සියල්ල අයහපත් අතට හැරී තිබුණි. අවසානයේ කසාය පානය කිරීම ලොකු මාමා විසින් ප්‍රතික්ෂේප  කර ඇත.

යුද වාතාවරණය අප රටට ද උග්‍ර ලෙස බලපා තිබුණ නිසා ආහාර හිඟය ද දරුණු වී තිබිණී . කැඳ උගුරක් දීමට හාල් සොයා ගැනීම ද විශාල ගැටලුවක් විය. මුදල් ද හිඟ වීය.  එකල ජීවිතය ඉතා කටුක අපහසු  එකක් වූයේය.  රටේ ආහාර හිඟ විය. වෙනත් රටවල් වලින් ආහාර ගෙන ඒමත් යුද්ධය නිසා නැවතී තිබුණි.  රටේ සහල් හිඟ වූයෙන් යුධ ආධාර වශයෙන් ලැබුණු පාන් පිටි පමණක් ආහාරයට ගැනීමෙන් මිනිසුන්, ගැහැණුන් හා දරුවන් පාණ්ඩුවෙන්  පෙළෙන්නට වූ බව අම්මා කීවාය. ඔවුන්ගේ සිරුරු ඉදිමුණේ ලු. සුදුමැළි වුණේ ලු. එයින් අදහස් වූයේ ප්‍රෝටීන කැලරි මන්දපෝෂණය බව මගේ අධ්‍යාපනයත් සමග මම තේරුම් ගත්තෙමි.  අම්මලාගේ පවුලට ද ඒ දුෂ්කරතා වලින් මිදීමට අපහසු වී ඇත.  මුත් තන්ඩි ගේ රැකියා කටයුතුද අවහිර වී තිබුණි. දෙවන ලෝක යුධ බිය ජීවිත වෙළාගෙන පැවති ඇත. ආහාර හිඟයට අමතරව ප්‍රහාරයක් වේදෝයි බියද විය. පාසලේදී බෝම්බ ප්‍රහාරයක් වුවහොත් එයට මුහුණ දිය යුතු ආකාරය අම්මලාට කියා දී ඇත.

"පැන්සලය කටේ හරහට ගහගෙන බිම් ගෙවල් වලට රිංගන්න කිව්වා." අම්මා අතීතය මතක් කරන්නීය. අපේ ගෙය පිටුපස කණ්ඩියේ ද එකල හෑරූ බිම් ගෙයක් මෑතක් වනතෙක්ම තිබුණි.

"
අනේ! ලොකු මාමාට හොඳටම අමාරු වුණා . කතා කරන්නත් බැරි වුණා. අතින් මොනවා ද කිව්වා....බිත්තියේ බෝල කුඩුවේ එල්ලලා තිබුණු එයාගේ කමිසය පෙන්නමින්. අපිට තේරුම් ගන්න බැරි වුණා ...මොකද්ද කිව්වේ කියලා " අම්මා අපට කතාව කියන්නීය.

අත්තම්මා කෙසේ හෝ කැඳ ටිකක් පිළියෙළ කොට ඇත. අම්මා කැඳ කෝප්පය රැගෙන ලොකු මාමා සිටි කාමරයට යමින් සිටි  ඒ මුසල අඳුරු සැන්දෑවේ ගෙයට උඩින් කණ කොකා තෙවරක් හඬා ගෙන ගිය බව අම්මා අපට කීවේ ගැමියන් විශ්වාස කරන ආකාරය අනුවය. දැනුත් කණ කොකුන් නම් අඬනවා ඇත. ඒත් අපි දැන් කණ කොකා අඬන්නේ කෙසේද ?කුමකට ද? කියා සොයා බලන්නේ නැත. එහෙත් අම්මා කියූ එදා කණ කොකා ඇඩූ ඇඩිල්ල ආයෙත් කිසි කළෙකත් නො අඬන එකක් ලෙස මගේ සිතේ කොණක මහා දුකක් ඇති කරමින් වරින් වර දෝoකාර දෙයි.

එදින රැයේ ලොකු මාමා අවසන් හුස්ම හෙලා ඇත.

"
අනේ ! අය්යා මැරුණට පස්සේ තමයි දැක්කේ එයාගේ කමිස සාක්කුවේ සත පණහක් තියෙනවා. එයා ඒක තමයි අත දික් කරලා කියල තියෙන්නේ " අම්මා කඳුළු සලන්නීය.

"
අත්තම්මා කාලයක් යන කම් නියං කොබෙය්යිය අඩන වෙලාවට අඬනවා . නියං කොබෙය්ය අඬන්නේ ' මී පුප් ලදිම් දරු නොලදීම් .....රන් කැටි පුතා කෝ 'කියලනේ"

මේ කතාව අසා බොහෝ කාලයක් යන තුරුත් ඇතැම් විට අදත් නින්දට ගොස් දෑස පියාගත් කල මට, නොදුටු ලොකු මාමාත් , ඔහුගේ දුක්බර අවසන් මොහොතත්,කමිස සාක්කුවේ තිබුණා යයි කියූ සත පනහත් සිතේ මැවී යයි. මම එවිට මා නොදුටු ලොකු මාමා වෙනුවෙන් කඳුලක් හෙලමි.

 

ඒ වගේම නියං කොබෙයියෙකුගේ ඒ දුක්බර රාවය ඇසෙන හැම මොහොතකමත් ලොකු මාමා මෙන්ම ඒ දයාබර ආත්තම්මා ද මගේ මනස තුළට නිරායාසයෙන්ම ඇතුළු වෙති. එවිට ඒ කුරුල්ලාගේ නැතිවූ දරු පැටවුන් වෙනුවෙන්ද ලොකු මාමා හා අත්තම්මා වෙනුවෙන් ද මම හඬමි.


අද වන විට ඒ රන් කැටි පුතා වෙනුවෙන් හැඬු ආත්තම්මා ද අපේ අම්මා ද  ජීවිත රඟ මඬලෙන් නික්ම ගොසිනි. අපි තවම රන් කැටි පුතුන් වෙනුවෙන් දුක් වෙමින් ජීවිතයේ සැන්දෑ සමය ගත කරමින් සිටිමු. මේ ලෝකයේ කොතෙක් අම්මලා රන්කැටි පුතුන් වෙනුවෙන් අඬා හා අඬමින් ඇද්ද ? ඒ කඳුළු සප්තමහා සාගරය තරම් පරිමාවක් වනු ඇත.

 


Photo by Aliyah Jamous on Unsplash
.

Wednesday, September 12, 2018

ලෝකයේ සතුටින්ම සිටින රට


ලෝකයේ සතුටින්ම සිටින රට 

World Happiness Report අනුව ලෝකයේ රටවල් 156ක් අතරින් සතුටින්ම ජීවත් වන ජනතාව සිටින රට ලෙස  2018 වසර සඳහා පින්ලන්තය කිරුළු දරා සිටී. එසේ තේරීම සිදුකර ඇත්තේ නිර්ණායක 6ක් අනුවය. ඒවා නම් දල දේශීය නිෂ්පාදිතය,ආයු අපේක්ෂාව, සමාජයීය සහයෝගය ,කාරුණික භාවය,නිදහස හා දුෂණයෙන් තොර වීමයි.

පින්ලන්තයේ  5.5 මිලියන වන ජනතාව යුරෝපයේ අනික් රටවල ජනතාවට  වඩා වර්ග සැතපුමකට වැඩි  පුර
වනාන්තර ප්‍රමාණයක් හිමිකරගෙන ඇත. පරිසර තත්වය ඉතාම ඉහලය. තර්ජන මට්ටම ඉතාම අඩු වීම මේ රට ලෝකයේ ඉතාම සාමකාමී රටක් බවට පත්කර තිබේ.

මේ වර්ග කිරීමේ ඊළඟ රටවල් නවය වන්නේ 2. නොර්වේ 3. ඩෙන්මාර්ක් 4. අයිස්ලන්තය 5. ස්විස්ටර්ලන්තය 6. නෙදර්ලන්තය 7. කැනඩාව 8. නවසීලන්තය 9. ස්වීඩනය හා 10. ඔස්ට්‍රේලියාවයි. . ශ්‍රී ලංකාවට මෙහි  හිමිව ඇති තත්වය 116 වේ. දුෂණය ඉහ වහා ගිය අපේ රටට මෙයට වඩා තත්වයක් ලැබිය නොහැකි වනු ඇත.

Photo by axell dotcom on Unsplash

Friday, September 7, 2018

ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දරු වෛද්‍ය සිහිනය





ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ  දරු වෛද්‍ය සිහිනය

ශ්‍රී ලාංකික දෙමව්පියෝ විශේෂයෙන් පහළ මධ්‍යම පන්තිකයෝ තම දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දීමට මහත්වූ වෙරක් දරති. මෙය අපේ කාලයේත් යම් පමණකට නොතිබුනේ යයි කිව නොහැකිය. "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා"යනුවෙන් යනුවෙන් පුස්තකාලවල බිත්ති මත පුවරු දක්වා තිබුනා මතකය. පසු කලෙක කපටි දේශපාලකයින්ගේ තරම දැනගත්තෝ "මතු රැකෙනා ශිල්පයමයි උගත මනා"යනුවෙන් මෙහි අර්ථය වෙනස් කලේ මතු රැකීමට නම් වෙනස් ශිල්ප ටිකක් දැනගත යුතු නිසාය.

කෙසේ වුවත් 'ඉගෙන ගත්තොත් විතරයි පුතේ අපිට ගොඩ යන්න පුළුවන් ' යන්න ඕනෑම උගත් නුගත් දෙමව්පියෙක්ම තම දරුවන්ට පවසන දෙයකි. අපි පසු කලෙක අධ්‍යාපන ඩිප්ලෝමාවේදී  උගත් ආකාරයට පහළ පන්තියේ ජනතාවට ඉහළ පන්තියට නැගීමට හෙවත් සමාජ සචලතාවයට ඇති එකම ඉනිමග අධ්‍යාපනය ලැබීමයි.
ශ්‍රී ලංකාවේ මහජන මතයට අනුව ඉහළට ඉගෙන ගත් තම දරුවා ළගා වියයුතු ඉහළම, උසස්ම තනතුරු දෙක වන්නේ වෛද්‍ය හා ඉංජිනේරු තනතුරුය. අද වන විට විෂය ක්ෂේත්‍ර පුළුල්වී වෘත්තීන් රැසකට ඇතුළු වීමේ මංපෙත් විවරව තිබෙන බව දන්නේ අතලොස්සකි.

මේ උසස් යයි සම්මත රැකියා වලින් ද වෛද්‍ය වරයකු වීමේ සිහිනය පුදුමාකාර එකකි. මෙය ලියන මටත් උසස් පෙළට ජීව විද්‍යා විෂය ධාරාව හදාරණ කාලයේ මේ වෛද්‍ය හීනය හිතේ කොනක හීනියට තැන්පත්ව තිබුනේය. මා උසස් පෙළ පළමු වරම සමත් වූ පසුව ඒ හීනය අළු යට පැවති ගිනි පුපුරක් මෙන් දැල්වෙන්නට පටන් ගත්තේය. එයට හුළං පිම්බේ,ගුරුවරු,නෑදෑයන් හා හිතවතුන් විසිනි.

"ආ දැන් කවදද මෙඩිකල් කොලේජ් යන්නේ ?"ඔවුහු ඇසුහ.

ඉංග්‍රීසි ටිකක් තව දියුණු කරගන්න." ගුරුවරු ඔවදන් දුන්හ.

එහෙත් මට ඇතුල්වන්නට වරම් ලැබුනේ විශ්ව විද්‍යාලයේ ස්වභාවික විද්‍යා පීඨයටය. දෙවන වර විභාගයට ඉදිරිපත් වීමට අයදුම් කර තිබුණද එසේ නොකර මම උද්භිද විද්‍යාව, අද කියන විදියට ශාක විද්‍යාව විශේෂ උපාධියක්  හැදාරුවෙමි. වෛද්‍ය සිහිනය බොඳවී ගියේ එසේය. එදා ඒ තිබු හීනය හුදෙක් මගේම එකක් මිස දෙමව්පියන්ගේ එකක් නොවේ. මගේ මවට අවශ්‍යව තිබුනේ කුමක් හෝ රැකියාවක් කිරීමට සුදුසුකමක් ලබා ගැනීමට ඉගැන්වීම පමණි. එමෙන්ම මගේ ඒ හීනය සැබවින්ම  අහිංසක එකකි. එහි ලස්සන දොස්තර නෝනා කෙනෙකු ඇදී සිටියා  විනා ඉහළ සමාජ තත්වයක් ලැබීම  හෝ  වෛද්‍ය වරියක වුවොත් විශාල ලෙස මුදල් උපයා ගන්නට පුළුවන් වේවී යන්නක්  හෝ ගැබ්ව තිබුනේම නැත.


මෙරට නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක වුවද දෙමවුපියන් උපයන දෙයින් වැඩි කොටසක් දරුවාගේ අධ්‍යාපන අවශ්‍යතා සම්පුර්ණ කිරීමට වැයවේ. විශේෂයෙන්ම උපකාරක පන්ති සඳහා වැයවන මුදල් සම්භාරය අති විශාලය. ගුරුවරු ද නොවන ටියුෂන් පන්ති මෙහෙයවන්නෝ දරු සෙනෙහසද අධික අධ්‍යාපන තරගයද, අවිනිශ්චිත අනාගත පැතුම් ද සහිත බොරදියේ මාළු බාමින් දෙමාපියන්ගේ සේසත උපකාරක පන්ති වෙත පොම්ප කරවමින් සිටිති. පාසල් අධ්‍යාපනය කෙරෙහි විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් බිඳ වැට්ටවීම වර්තමාන ගරිල්ලා මාකටින් ක්‍රමයේම පැති කඩක් මිස අනිකක් නොවේ.

මෙවන් පසු බිමක ඇති හැකි තත්වය මත විශාල දේශනා පන්ති වල සිට ගුරුවරු ගෙදරට ගෙන්වා  ගැනීම දක්වා විවිධාකාර උපකාරක පන්තිවල පිහිට වෛද්‍ය සිහිනය සැබෑ කර ගැනීමට අත්‍යවශ්‍ය වන්නේය. විශේෂයෙන් අද වන විට දෙමව්පියෝ කොතරම් තදින් මේ වෛද්‍ය හීනය දකින්නට පෙළඹ  ඇත්ද යන්න සිතා ගැනීමට අසීරු තරම්ය. ඒ හීනය සැබෑ කර ගැනීම සඳහා ඕනෑම කැප කිරීමක් කිරීමට ඔවුහු සැදී පැහැදී සිටිති. ඔවුහු ඉතා අඩු උසස් පෙළ ප්‍රතිඵල ලැබූ දරුවන් පවා තම දේපල පවා උගස් කොට හෝ මුදල් සොයා ගෙන විදේශ රටවල වෛද්‍ය විද්‍යාල කරා යවති.

මෙසේ යැවු එක් දරුවෙක් විදේශ ගත වුයේ ඉතා අකමැත්තෙනි. මේ දරුවාට වෛද්‍ය වරයෙකු වීමට අවශ්‍ය නැත. " මම මෙහෙ ආවේ මගේ ඕන කමකට නෙවෙයිනෙ ? අම්මල කියපු නිසානෙ ? මම මෙහෙ විභාග ෆේල් වුනත් මොනවත් කියන්න එපා " දරුවා කියා ඇත. විදේශ වෛද්‍ය උපාධි ලබා ගෙන වෛද්‍යවරු වුවෝ නොවෙත් යයි මෙයින් අදහස් නොකෙරේ. එසේ උගත් පිරිස් මෙරට මෙන්ම පිටරටවලද සේවය කරති. මුදල් හදල් නොඅඩුව ඇති අයට දරු වෛද්‍ය සිහිනය සිහිනයක්ම නොවේ. එය පහසුවෙන් නිෂ්ඨාව කරා ලඟා විය හැකි යථාර්තයකි.

ඇතැම් විට දරුවන් සමගම දෙමවුපියෝ මේ හීනය දකිති. විභාගය ඉතා අවම මට්ටමෙන් සමත්වූ එක බැංකු නිලධාරිනියකගේ දරුවෙක් සිය මවද සමග මගෙන් උපදෙසක් පැතුවේය. "පුතේ,ඔයා නැවත සැරයක් විභාගය ලියල සුදුසුකම් ලබා ගන්න. එහෙම පුළුවන් නිසානේ අවස්ථා තුනක් දීල තියෙන්නේ."මම කීවෙමි.
"නෑ මම ..........එකට යනවා." දරුවා ගත් කටටම කීවේ එවකට තිබු පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක නම සඳහන් කරමිනි. ඔහු එහි ඇතුල් වුවාදැයි නොදනිමි. 

දැන් ඇතැම් අය උසස් පෙළ කුමන විෂය ධාරාවක් හැදෑරුවත් වෛද්‍ය උපාධිය ලැබීමට එය බාධාවක් නොවන බවත් වෙනත් රටවල එසේ කරන බවත් ලියති. ලොව බලවත්ම රට වන ඇමරිකා එක්සත් ජනපදයේ උසස් විද්‍යාලයෙන් පසු වෛද්‍ය උපාධිය ( ) හැදෑරීමට කලින් වෙනත් ප්‍රථම උපාධියක් කර තිබිය යුතුවේ. එය කුමන ක්ෂේත්‍රයක වුවත්  වරදක් නොවන බව පිළිගන්නා නමුත්    අනාගතයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට බලාපොරොත්තු වන්නේ නම් මානව ව්‍යුහ විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ආදී විද්‍යාවන් උසස් පාසලේ සිටම ඉගෙන ගැනීමට උනන්දු කරවනු ලැබේ. මේ ප්‍රථම උපාධියට වසර හතරක් ගතවේ. ඉන්පසු වෛද්‍ය විද්‍යාල තෝරාගැනීමේ විභාගය තිබේ.  එයින් තේරුණොත් අවුරුදු හතරක් වෛද්‍ය විද්‍යාලයේ හැදෑරීම් කර වෛද්‍ය උපාධිය ලබා ගත යුතු වේ. එයට ඇත්තෙන්ම අවුරුදු පහක් පමණ ගතවේ. ඉන්පසු බලපත්‍රය ලැබීමට    නමින් හැඳින්වෙන පුහුණුව සාමාන්‍ය වෛද්‍යවරයෙකු වීමට අවුරුදු තුනක් ද, ශල්‍ය වෛද්‍යවරයෙකු වීමට අවුරුදු හයක් ද ගතවේ. ෆෙලෝශිප් එකක් ලැබීමට තව අවුරුදු දෙකක් පමණ ගතවේ. මේ නිසා එක්සත් ජනපදයේ දී වෛද්‍යවරයෙක් වීමට පාසලින් පසු අවුරුදු 11 සිට 14 -16 අතර කාලයක් ගතවේ.  මෙයින් පෙනෙන්නේ දියුණු රටවල කොහෙන් හෝ අටවා ගත් උපාධියකින් වෛද්‍යවරයෙකු වීමට බැරි බවයි. 

අද රටේ පොදු ජනතාව ද පොදු මාධ්‍ය වලද සමාජ මාධ්‍ය ජාලා වල ද වෛද්‍ය වරුන්ට බනිති. දෙස් දෙති. සල්ලි ගරන අමානුෂිකයන් යයි කියති. වෛද්‍ය වරයාත් මේ විපරීත සමාජයේ කොටසක් බවත් එහෙත් වෛද්‍යවරු වැඩි පිරිසක් තම වැටුපෙන් පමණක් ජීවත් වන බවත් නොදනිති. එහෙත් තම දරුවා වෛද්‍ය වරයෙකු කිරීමේ හීනය දකිති. තම දුවට දොස්තර බැණා කෙනෙක් ද තම පුතාට දොස්තර ලේලි  කෙනෙක් ද ඉස්තරම් වේ. තම දරුවා මෙතරම් දරුණු "අපරාධ කරුවෙක් " කිරීමට තම ධනය,වෙහෙස මහන්සිය කැප කරන්නේ ඇයි ද යන්න මට ගැටලුවකි. ඉහළ සමාජ ස්තරයකට නැගීමට ද ? එසේ නැති නම් තම දරුවා පමණක් පරමාදර්ශී වෛද්‍ය වරයෙකු වී සත් භාවයෙන් රෝගී  ජනතාව සුවපත් කරාවි කියා ඔවුන් සිතනවා ඇත්ද? නැතිනම් ඔවුන් ද මේ දකින්නෙත් මගේ සිතේ තිබු අහිංසක හීනය වැනි එකක් ද  ?

Photo by Online Marketing on Unsplash

Monday, September 3, 2018

කුණු කසළ ප්‍රශ්නය




කුණු කසළ ප්‍රශ්නය

කුණු කසළ ප්‍රශ්නයට අපේ රටේ හරි විසඳුමක් නැති බව ඇත්ත. දැන් නගර සභා වලින් සතියට දවසක් කුණු ගෙනියනවා. ඒවා තවත් තැනක කුණු කන්දකට එකතු වෙනවා ඇති.
එහෙම වුනත් ලැබී තිබෙන පහසුකම පාවිච්චි කරලා නගර සභාවේ කුණු ලොරියට කුණු ටික එකතු කරලා දෙන්නේ නැතිව මේ සියලු දේ වෙනත් ඉඩමකට දැමීමට හෝ පිළිස්සීමට මිනිස්සු කැමති ඇයි ?
...පොලිතින්, ප්ලාස්ටික්, කපු නොවන රෙදි කැබලි වැනි දේ පිලිස්සීමෙන් කොයි තරම් ශරීරයට අහිතකර ද්‍රව්‍ය පිටවෙනවද ? අපි හුස්ම ගන්නේ ඒවා සහිත වාතය නේද ? වස විස නැති කෑමම සොය සොයා යන මිනිස්සු ඇයි වස විස ඇති වාතය නහයෙන් උරා ගන්න ආස ?කම්මැලිකමද ???නූගත් කමද ???නොදැනුවත් කමද ?මේ පිළිස්සීම් ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා 
පිළිස්සීම් වර්ග දෙකක් තිබෙනවා. 
1. Incinerator එකක දහනය 2. විවෘත වාතයේ දහනය 
මේ පළමු ක්‍රමය වියදම් අධික විශේෂ ස්ථානයක කළහැකි එකක්. එහිදී ඉතා ඉහළ උෂ්ණත්වයකටයි (>850C අංශක)දහනය කරන්නේ. එයින් ශක්තිය නිපදවා ගන්නත් පුළුවන්. ස්වීඩනයේ ගෘහස්ථ අපද්‍රව්‍ය 47%පමණ මෙසේ දහනය කර බලශක්තිය නිපදවා ගන්නවා. මෙහිදී පරිසර හානි අඩුයි. 
නමුත් දෙවැනි ක්‍රමය තමයි  බොහෝ දෙනා මේ සෑම තැනම පුළුස්සන ක්‍රමය. 300 C අංශක පමණ අඩු උෂ්ණත්වයකදී තමයි මෙහිදී ද්‍රව්‍ය දහනය වෙන්නේ.



පහළ උෂ්ණත්ව වල විවෘතව දහනය කරන කසළ වලින් පිටවන අපද්‍රව්‍ය අතර  dioxins, අළු , furans, ක්ලෝරිනීකෘත  hydrocarbons, carbon monoxide, lead, barium, chromium, cadmium, carbon dioxide, sulfur dioxide, arsenic or mercury. acid vapors සහ පිළිකා කාරක තාර  (carcinogenic tars) ආදිය බහුලව තිබෙන්න පුළුවන්. 
මේ ද්‍රව්‍ය ආඝ්‍රහණය කිරීමෙන් හිසරදය, ඔක්කාරය ,කරකැවිල්ල ,ඇස් දැවිල්ල වැනි ලක්ෂණ වල සිට පෙනහැලි විනාශ වීම හා පිළිකා වැනි දරුණු තත්වයන්ට පවා මුහුණ දීමට සිදුවෙනවා.  මීට අමතරව සමේ රෝග,ඇස් වටා කළුපැහ වීම,අක්මාවේ දෝෂ ,ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වීම,අන්තරාසර්ග පද්ධතිය දුර්වල වීම,ප්‍රජනක පද්ධතිය නිසි පරිදි ක්‍රියා නොකිරීම නිසා වඳ භාවය හා ස්නායු පද්ධතිය දුර්වල වීම,ද Dioxin හා Furan නිසා සිදු විය හැකියි.


ඉතින් මේ මිනිස්සු රෝග වලට අත වනලා කතා කර ගන්නවා නේද ?
Photo by Viktor Forgacs on Unsplash

නුර් ජහාන්- මෝගල් අධි රාජිණිය


නුර් ජහාන්- මෝගල් අධි රාජිණිය 
 

දාහත්වන ශත වර්ෂයේ ඉන්දියාවේ වඩාත් ප්‍රභල අධිරාජිණිය වුයේ නුර් ජහාන් . විශාල මෝගල් අධිරාජ්‍යයේ පෙර නොවූ වීරූ චරිතයකටයි  ඈ පන පොවා තිබෙන්නේ.

වර්තමානය වටහා ගැනීමට ඇගේ නායකත්වය වැදගත් වන්නේ කෙසේදැයි යන්න ඉතිහාසඥවරියක  වන රූබි ලාල් විස්තර කරනවා.


 ජහාන්ගිර්, කුරාම් කුමරු (ෂා ජහාන් ) නූර් ජහාන් සමග 1624








                                           නූර් ජහාන් ව්‍යාඝ්‍රයා මරා දැමූ අවස්ථාව


 උපතේදී ඇයට ලැබුණු නම Mihr un-Nisa වන අතර පසුව ඇගේ සැමියා, මෝගල් අධිරාජයා Jahangir විසින් ඇය නුර් ජහාන් ලෙස නම් කරනවා.   පළමුවැනි එළිසබත් රැජිනට දශක කිහිපයකට පසුව ඈ උපත ලැබුවත්, ඇය විසින් පාලනයට නතුකරගත් භුමි ප්‍රදේශය බ්‍රිතාන්‍ය රැජිනගේ භූමි ප්‍රදේශයට වඩා විශාල වෙනවා. 

දහසය වැනි ශත වර්ෂයේ බලයට පැමිණීමෙන් පසු මෝගල් වරුන් වර්ෂ 300ක් පමණ ඉන්දියානු අර්ධද්වීපය පාලනය කරනවා. මෙය ඉන්දියාවේ විශාලතම සහ බලගතුම රජ පෙළපතක් වෙනවා. නූර් ජහාන් ඇතුළුව එහි අධිරාජවරුන් හා රාජකීය කාන්තාවන් චිත්‍ර, සංගීතය හා ගෘහ නිර්මාණ ශිල්පයේ අග පැමිණියවුන් වෙනවා. ඔවුන් මහා නගර, මහේශාක්‍ය බලකොටු,මුස්ලිම් පල්ලි හා සොහොන් ගෘහ නිර්මාණය කරනවා.

මෙම රජ පෙළපතෙහි එකම කාන්තා, පාලකවරිය වශයෙන් නූර් ජහාන් නාමය ඉන්දියාව, පකිස්ථානය හා බංගලිදේශයේ ජනප්‍රවාද වල ප්‍රචලිතයි.

ඇය පිලිබඳ කතා ගෘහාශ්‍රිතවත්,  මෝගල් යුගයේ,විශේෂයෙන් ඇගේ පාලන කාලය තුල ප්‍රධාන නගර දෙකක් වන උතුරු ඉන්දියාවේ අග්‍රා හා පකිස්ථානයේ ලාහෝර් නගරවල ඇති ස්මාරක අසලත් බොහෝසේ කියවෙනවා. වැඩිහිටි ගැහැණු පිරිමි,සංචාරක මග පෙන්වන්නන් හා ඉතිහාසය පිලිබඳ පණ්ඩිතයින් කියන කතා අතර නූර් හා ජහන්ගිර්  හමුවීම, ආලයෙන් බැඳීම, ඈ විසින් ඇතෙකු පිට නැගී වෙඩි තබා මිනී කන ව්‍යාඝ්‍රයෙකු මරා උගෙන් පීඩා විඳි ජනතාව බේරා ගැනීම  ආදිය වෙනවා. 

බොහෝ විට ඇගේ ආදර අන්දරයත්,කලාතුරකින් ඇගේ වීරත්වයත් පිලිබඳ කතා මිනිස්සු අසා තිබුණත් ඇගේ සැබෑ ජීවිතය, දේශපාලනික විචක්ෂණ භාවය හා බලගතු අභිලාෂයන් ගැන අසා ඇත්තේ අල්පයකි. අසාමාන්‍ය බලපෑම් වලට විරුද්ධව අධි රාජ්‍යයක් පාලනය කරන ඇය චිත්තාකර්ශනීය කාන්තාවක් වෙනවා.. ඈ කවිකාරියක්,ප්‍රවීණ දඩයක්කරියක්, නව්‍ය ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙනවා.ඈ විසින් අග්‍රාහී සිය දෙමව්පියන් සඳහා සැළසුම් කළ සොහොන් ගෙය පසුකලෙක ටජ්මහල් ගොඩ නැංවීම සඳහා අදහස් ලබා දෙනවා.

පුරුෂාධිපත්‍ය රජ කරන ලෝකයක කැපී පෙනෙන නායිකාවක් වශයෙන් නූර් ඉදිරියට එන්නේ රාජ්‍යත්වයේ හිමිකමකින් නොවෙයි. නමුත් ඇය සම ස්වෛරී ලෙස මෝගල් අධිරාජ්‍ය පාලනය කරමින්  කෛරාටික  පාලකවරියක  ලෙසත්,Jahangir ගේ ප්‍රියතම භාර්යාව ලෙසත්  අධිරාජ්‍යයාගේ අන්තඃ පුරයෙන් ඉහළ තලයකට නැගී එනවා. 

ස්ත්‍රීන්ට සමාජ අවකාශයේ ඉඩක් නොතිබුණු අවධියක නූර් මෙතරම් බලවත් වුයේ කෙසේද ? ඇය හැදී වැඩුණු වටපිටාව එයට ආධාර වුවා විය හැකිය. ඇය වටා සිටි ස්ත්‍රී පුරුෂ ආධාර කරුවන්, ඇය Jahangir, සමග වින්දනය කල විශේෂ ජීවිතය ,ඇගේ අභිලාෂයන් ඇගේ මව්බිම හා එහි මිනිසුන් ඒ අතර වනවා.
අල් -හින්ද් ,අරාබීන් හා පර්සියානුවන් දකුණු ඉන්දියාව ලෙස එකල හැඳින්වූ ඉන්දු ගඟට එපිට වූ භුමිය බහුවාර්ගික ,ධනවත් හා ඉවසිලිවන්ත එකක් වූ අතර වෙනස් සිතුම්-පැතුම්,ආගම් හා පාරම්පරික සිරිත් එක්ව පැවතීමට ඉඩදෙනු ලබනවා.

කීර්තිමත් පර්සියානු වංශවතෙකුට දාව කන්දහාර් (වත්මන් ඇෆ්ගනීස්ථානය ) සමීපව, 1557 දී නූර් උපත ලබන අතර, සෆාවීඩ්  රජපෙලපත යටතේ පැමිණි  කරදර හමුවේ ඉරානයේ නිවස අතහැර  වඩාත් ලිබරල්  වූ මෝගල් අධිරාජ්‍ය වෙත එනවා. 

ඇගේ දෙමාපියන් උපන් භූමියෙන් හා ඇය ඇති දැඩිවූ  භූමියෙන් සම්මිශ්‍රණය වූ සම්ප්‍රදාය තුළ හැදී වැඩුණු ඇය මෝගල් රාජ්‍ය නිලධාරියෙකු හා හිටපු හමුදා නිලධාරියෙකු ද වන කෙනෙකු හා 1594 දී ප්‍රථම වරට විවාහ වෙනවා.ඔහු සමග නැගෙනහිර ඉන්දියාවේ ධනවත් ප්‍රාන්තයක් වූ බෙන්ගාලයට යන ඇය එහිදී සිය එකම දරුවාට උපත ලබා දෙනවා.

ජන්හිර් ට විරුද්ධ කුමන්ත්‍රණයකට සම්බන්දවී යයි සැක පිට නූර් ගේ සැමියා අග්‍රාහී අධීකරණයට ගෙන එන මෙන් බෙංගාලයේ ආණ්ඩුකාරයා විසින් අණ කරණු ලබනවා.නමුත් ආණ්ඩුකාරයාගේ රාජ්‍ය නිලධාරීන් හා ගැටී නූර් ගේ සැමියා ඝාතනය වෙනවා. වැන්දඹු නුර්ට ජහන්ගිර් ගේ අන්තඃ පුරය තුළ රැකවරණය ලැබෙන අතර පසුව එහි අනිත් අගනුන් විසින් ක්‍රමයෙන් ඇය විශ්වාස කරන්නටත් අගය කරන්නටත් පටන් ගන්නවා.

1611 දී සිය 20වන හා අවසන් බිරිඳ වශයෙන්  ජහන්ගිර්, නූර් විවාහ කර ගන්නවා. 1614 සිට ජහන්ගිර් ගේ මතක සටහන් ඔහු හා නූර් අතර තිබු විශේෂ සබදතා   පෙන්නුම් කරනවා. ඔහු ඇය සංවේදී සහකාරියක් වශයෙන්,අනර්ඝ සත්කාර කන්නියක වශයෙන්,විශාරද උපදේශිකාවක් වශයෙන්,දක්ෂ දඩයක්කාරියක වශයෙන්, රාජ්‍ය තාන්ත්‍රිකාවක වශයෙන් හා කලාවට ආදරය කරන්නියක වශයෙන්  අගය කරමින් ඇගේ ආලේඛ්‍ය  චිත්‍රයක් අදීනවා .

බොහෝ ඉතිහාසඥයන් කියන්නේ මතට ලොල් වීම නිසා රාජ්‍ය කෙරෙහි යොමු වීමට සවිබල නැති වීමෙන් නුර්ට රාජ්‍ය පැවරූ බව වුනත් එය සම්පුර්ණ ඇත්ත නොවෙයි. ඔවු, අධිරාජයා මත්ලෝලීයෙකි, කංසා දුම් උරන්නෙකි.ඔවු ,ඔහු තම බිරිඳට ගැඹුරින්ම ආලය කරන්නෙකි. නමුත් නුර් රාජ්‍ය පාලකයා වීමට එහි විශාල බලපෑමක් වන්නේ නැහැ.

ඇත්තෙන්ම වුයේ ඔවුන් දෙදෙනා එකිනෙකා පිළිගැනීමයි. සම - ස්වෛරී ලෙස සිය බිරිඳගේ නැග එන බලපෑම අධිරාජයා කරදරයක් ලෙස සලකන්නේ නැහැ. ඔවුන්ගේ විවාහයෙන් ඉක්බිතිව ඇය සිය ප්‍රථම රාජ්‍ය නියෝගය පනවනවා.සේවකයෙකුගේ භුමි අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්. එහි අත්සන කියවෙන්නේ,Nur Jahan Padshah Begum ලෙස. එහි අර්ථය නූර් ජහාන් ,අධිරාජිනිය යන්නයි.

එය ඇගේ බලය වැඩි වෙමින් පැවති බවට නිර්ණායකයක් වන අතර ඇගේ ස්වෛරීත්වය පිලිබඳ සංකේතයකි. 1617 දී සංසරණය වූ  රිදී හා රන් කාසි වල දී ඇගේ නම Jahangir, ගේ නමට විරුද්ධ පැත්තේ තිබෙනවා.  අධිකරණ ඉතිහාසඥයින්, විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් ,වෙළෙන්දන් හා අමුත්තන් ඉක්මනින්ම ඇගේ අද්වීතීය තත්වය වටහා ගන්නවා.එක් ඇමතියෙක් සිද්ධියක් විස්තර කරන පරිදි, පිරිමින්ට පමණක් සීමාවූ රාජකීය සඳලු තලයේ පෙනී සිටිමින් ඇය බොහෝ දෙනා මවිත කරනවා. ඇගේ උදාර  හැසිරීමේ එකම දෙය නොවේ මෙය. දඩයමෙදී වේවා, නියෝග හා කාසි නිකුත් කිරීමේදී වේවා, රාජ්‍ය ගොඩනැගිලි සැලසුම් කිරීමේදී වේවා, දුප්පත් කාන්තාවන්ට උදවු කිරීමේදී හා වරප්‍රසාද නොලත් අය නගසිටුවීමෙදී වේවා, නූර් ගතකළ ජීවිතය එකල බොහෝ කතුන් අතර අසාමාන්‍ය එකක් වෙනවා.
ඇගේ සැමියා සතුරන්ගේ ග්‍රහණයට නතුවූ අවස්ථාවක ඔහු බේරා ගැනීම සඳහා සේනා නායකත්වය සැපයීම ඇගේ නිර්භීත බව කියාපාන අතර එය ඇගේ නාමය ජනතා සන්තානය තුල හා ඉතිහාසය තුළ නොමැකෙන සටහනක් තැබීමට සමත් වෙනවා.

(02. 09 2018 දින පලවූ BBC ලිපියක පරිවර්තනයකි. රූප : අන්තර් ජාලය )