Tuesday, January 12, 2021

පවුල් බර

 











පවුල් බර

 

මෙවර ඔහු ගෙදර එන්නේ මාස තුනකට පසුවය.  ඒ ඔහුගේ රාජකාරියේ ස්වභාවය අනුවයි. විමලා ඔහු එන තෙක් ඇඟිලි ගනිමින් බලා සිටියාය.  එකල දැන් මෙන් ජංගම දුරකථන හෝ වෙනත් සන්නිවේදන මෙවලම් තිබුණේ නැත.  හදිසි පණිවිඩයක්  දැනුම් දෙන්නට තිබුණු එකම මග විදුලි පුවතක් යැවීමයි. ඇතැම් විට විදුලි පුවත ග්‍රාහකයාට ලැබෙන විට හදිසිය අවසන් වී බොහෝ දිනක් ද ගතවී ගොසිනි. එවැනි විශේෂ අවස්ථාවක පොලිස් පණිවිඩයක් යවන ක්‍රමයක් ද තිබුණේය. විමලාට ඔහුට කීමට පණිවිඩයක් තිබුණි. එහෙත් ඉහත කී අයුරින් දැන්වීමට තරම් හදිසි පණිවිඩයක් නොවේ. පණිවිඩය නම් ඉතා වැදගත්ය. ඔහු අද එන බව ඊයේ ලැබුණු ලිපියෙන් කියවී තිබුණි. ඒ නිසා ඈ දෑස් දල්වා මග බලා සිටියාය. වරින් වර ඇගේ හද ගැස්ම වැඩි වූයේ ඇය නොදැනුවත් වමය. ඇගේ සිත මහා පශ්චාත්තපයකින් පිරී ඇත.  රාත්‍රී අවසාන බස් රථය හන්දියට පැමිණෙන හඬ ඇගේ සිතෙහි ඇති කළේ තිගැස්මකි. මේ බස් රථය හැම දිනකම එන්නේ නැත. එදිනත් එවැනි දිනයක් වූවා නම් හොඳ නේදැයි ඇයට සිතුනේ ඇයිද යන්න ඇයටම වැටහුණේ නැත.

කෙසේ නමුත් එදින බස් රථය ආවේය. ඊ ළඟ මොහොතේ ඔහුගේ වෙහෙසට පත් කෙසඟ සිරුර කඩුල්ල පසුකර වත්තට ඇතුල්වෙනු ඇයට පෙනුණි. දරුවන් සිවු දෙනා රාත්‍රී ආහාරයෙන් පසු නින්දට වැටී තිබුණු බැවින් නිවසේ වූයේ පාළු මූසල බවකි.

ඈ අසීරුවෙන් මවා ගත් සිනාවකින් යුතුව ඉදිරි දොරකඩ ලඟට ගියාය.

“කෝ විමල දරුවෝ ?" අසන ගමන් ඔහු තම අතවූ ගමන් මල්ල විමලා වෙත දිගු කළේය.

"නිදි"  කියා ඇසෙන නෑසෙන හඬින් කියූ ඇය ගමන් මල්ල අතට ගත්තාය.

"මට කලින් බස් එක නූලෙන් වැරදුණා. ඕකෙ දරුවන්ට ගෙනාපු බුන්දියි, ඇපලුයි ඇති. උදේටවත් දෙමු." ඔහුගේ හඬ දුක්බර විය.

 

අම්මත් නිදිද ?" ඒ සමගම ඔහු විමසුවේ සිය නැන්දණිය වූ විමලාගේ මව ගැනය.

 

"නැහැ . තාම කුස්සිය අස් කරනවා ඇති." විමලා කීවාය.

"මේ ටිකේ දරුවන්ට හරියට කන්නත් නැතුව ඇති නේද විමල. කොහෙද මුන් පඩි දුන්නේ අදම නේ. නැත්නම් මං ඔයාට මනි ඕඩරයක් එවන්න හිටියේ. " ඔහු පසුතැවීමෙන් යුතුව කීවේය.

"තියෙන විදියට හදල දුන්න සිරී. පොල් අතු වියපුව විලියම් අප්පුට විකුණලා සල්ලි ටිකක් ගිය සතියේ හම්බ වුණා." ඔහුගේ සිත සැනසීමට මෙන් විමලා කීවාය.

 

"ඔයා දැන් නාල කෑම කාල ඉන්න. පස්සේ ඕව කතා කරන්න බැරිය." ඈ ඒ සමගම කීවාය.

 

ඔහු නිදන කාමරයට ඇතුළු විය. ඇගේ සිත නැවත චංචල වී ගියේය.

"සිරී", ඇගේ දුබල හඬ කාමරයේ දෝංකාර දෙනු ඇයටම ඇසී ඇය බියට පත් වූවාය.

ඒ හඬේ කිසියම් අමුත්තක් දැනුණෙන් ඔහු වික්ෂිප්තව බලා සිටියේය.

"සිරී මට ඔයාට දෙයක් කියන්න තියෙනවා" ඇය ආයාසයෙන් කියා ගත්තාය.  

  "මොකක් ද?" මෙවර ඔහුගේ හඬ කෝපය සමග මුසුවී තිබුණි.

ඇය බියපත් මුව දෙනක සේ පණිවිඩය ඔහුගේ කණෙහි තැබුවාය.

තම සැමියාගේ දෙනෙත් මහත්වනු ඇයට පෙනුණි. ඔහු මොහොතක් කල්පනා කළේය.

 

"දැන් හුඟක් දවස් ද?" ඔහු යම් කිසි තීරණයකට එළඹුණු ලෙසින් ඇසුවේය.

"ඔව්" ඇය කෙඳුරුවාය.

"මට පොස්ට් කාඩ් එකක් වත් නොඑව්වේ?" ඔහුගෙන් ප්‍රශ්නයකි.

"ඔයාගේ වැඩටත් බාදාවක් නේ සිරී මේක හිත හිත ඉන්න වුණහම"

“අපි කොහොමද විමල තව දරුවෙක් හදන්නේ ? මේ ඉන්න තුන්  දෙනත් දහ දුක් විඳිද්දී.”

“මොකක් ද සිරී ඉතින් කරන්නේ. අපි පරිස්සම් වුණා මදි”

“මොකක්ද කරන්නෙ ? බබා වෙන්නේ නැතුව ඉන්නවා විමල.මම කරන්නම් කරන දේ,  හෙට උදේ  බන්දු හම්බ වෙලා. මිනිහත් ලඟදි ඔහොම දෙයක් කළා කිව්වා.”

“නැති කරන්න ද?”

“නැතුව මොකක් කරන්නද?”

“පව් නේද සිරි?”  ඇගේ කටහඬ වෙවුලන ස්වරූපයක් ගත්තේය.

 

“පව්, පව උඹ තියා ගනින්. අන්තිමට සේරම බර මගේ කර පිට. උඹට නම් මොකක් ද ? ගේන දෙයක් තම්බල මුන්ට කන්න දෙන එක විතරනේ. “ඔහුගේ කෝපය උතුරා ගියේ ය.

ඈ නිහඬ වූවාය. මීට වසර දොළහක අතීතයට ඇගේ සිත ගමන් කළේ නිරායාසයෙනි. එදාත් මෙවැනිම පණිවිඩයක් ඔහුගේ කණට කර කෝල හඬින් කියූ ඒ දිනය ඇගේ මනසේ චිත්‍රයක් ලෙස ඇඳී ගියේය. එදා ඔහුගේ මුහුණේ ඇඳුණු ආදරබර පෙනුම, දිදුළන දෑසින් විස්මයෙන් මෙන් ඈ දෙස ඔහු බලා සිටි හැටි සිතට මොහොතක මිහිරක් ඇතුල් කළේය.

ක්ෂණයකින් ඇය වැළඳ බදාගත් ඔහු

"මගේ විමලො. ඉතින් රත්තරන් මාත් එහෙනම් තාත්ත කෙනෙක්." කියමින් ඇගේ මුහුණත් ගෙලත් අතොරක් නැතිව සිප ගත්තේය.

"ඔයා ආස දුවෙකුට ද පුතෙකුට ද "ඇයද සුරතල් වෙමින් ඇසුවාය.

"මම නම් ආස දුවෙකුට "ඔහුගේ  හඬ බලාපොරොත්තුවෙන් පිරී ඉතිරී තිබුණි.

ඒ බලාපොරොත්තුවේ කුමරිය නිවසට වැඩියේ කාගේත් සිත් අමන්දානන්දයට පත් කරමිනි. දියණියගේ කෙළිලොල් සුරතල් හඬ නිවස පුරවා ලීය. කවුරුත් ඇය සුරතල් කළහ. ඒ දියණියට පසු එක පෙළට තවත් දියණියන් දෙදෙනෙකු පවුලට එකතු වීමත් සමග සතුට සිනහව පසු දොරෙන් පලා ගොස් නැතිබැරි අමාරුකම ඉදිරි දොරෙන් ඇතුළු වූයේ ආරාධනාවක් නොලැබ මය.

අද තත්ත්වය සහමුලින්ම වෙනස්වී තිබේ.  සිරීගේ රැකියාවේ ඇතිවූ වෙනස් කම් මත ආදායම අඩු වීමට අමතරව රටේ උද්ධමනයත් වැඩි වීම නිසා දරුවන්ගේ හා පවුලේ ඕනෑ එපාකම් සම්පුර්ණ කිරීම ඉතා අසීරු විය.

පසුදා ඔහු ගෙන ආ යම්කිසි පෙති වර්ගයක් ඈ අකමැත්තෙන් අඬ අඬ ම පානය කළා ය.

"වෙනසක් නැද්ද විමල" පසුදා ඔහු බලාපොරොත්තු සහගතව ඇසුවේය.

“නැහැ”

“කරුමේ තමයි. ඒකවත් අපිට හරියන්නේ නැහැ " 

ඒ බෙහෙතින් පලක් නොවූයෙන් ටිකෙන් ටික දින සති ගෙවී යද්දී ඔහු අහස පොළොව ගැට ගසන්නාක් මෙන් කල්පනාවේ යෙදී සිටිණු දැකීම ඇගේ සිතට ඇති කළේ මහත් බියකි. දුකකි. ඔහු ආදරයෙන් තොර මිනිසෙකු, දයාබර සිතක් නැති පියෙකු නොවන බව ඇය දනියි.

“සිරී , අපි වෙන මොකක් හරි කරමු ද ?”

“බෑ විමල , දැන් පරක්කු වැඩියි, අනිත් එක ඕවා කරන්න ගිහින් ඔයාට මොනවා හරි අනතුරක් වුණොත් මේ කෙල්ලෝ  තුන් දෙනෙක් හදන්නේ කොහොමද මම? "

 දැන් ඔහු තුළ  තමා කෙරෙහි ආදරයක් නැද්ද යන්න ඇයගේ සිතට පළමුවරට ඇතිවිය. ඒ සමගම  දෙනෙතින් කඳුළු රූරා වැටුණේ ඇයටත් හොරෙනි. ඇය පහත්වී ගවුම් සායෙන් කඳුළු පිස දැම්මාය. ඒ කඳුළුවල බර ඔහුට දැනුණේ නැත. දැන් ඇයට අනතුරක් වීමේ බය ඔහුට ඇත්තේ දරුවන් සමග ඔහු තනි වේය යන සිතුවිල්ල මත මිස තමා ඔහුට අහිමිවීමේ දුකක් මත නොවේය ය යන්න ඇගේ සිත කොනිති කරමින් රිදවා ලීය. කෙසේ හෝ දරුවා නැති කිරීමේ අදහස එතැනින් අවසන් විය. අම්මාගේත් නංගීගේ ත් ඇණුම් බැණුම් කෙළවරක් නොවීය.

තව එකෙක් හදා ගත්තේ නැතා. උඹලට මොළේ නැද්ද ? දැන් මේ හැම තැනම තියෙන්නේ ඕවට උපක්‍රම." දරුවන් පස් දෙනෙකුගේ මවක වූ අම්මාද අවලාද නැගීම ඇයට ඇති කළේ මහත් කලකිරීමකි.

“කෙල්ලොම තුනක් ඉඳිද්දී. මේ සැරෙත් කෙල්ලෙක් වෙන්න ඇති. උඹලට දැනේවි කවද හරි " නංගි ද අගුළුපත් තැබුවාය.

ඇය මේ සියළු ඇණුම් බැණුම් මධ්‍යයේ සිය නූපන් දරුවා වෙනුවෙන් ශක්තිය එකතු කළා ය.  පෝෂ්‍ය ජනක ආහාර උපන් දරුවන් වෙනුවෙනුත් නැතිවූ අතර සිය ශරීර ශක්තිය නූපන් දරුවා වෙනුවෙන් දිය කරමින් ඇයට කුස ගින්නේ සිටීමට සිදුවූ අවස්ථාද හිඟ නොවීය. එහෙත් ඇය සියල්ල උත්සාහයෙන් දරා ගත්තාය. මෙවරත් දියණියකම ලැබේවි ද යන්න ඇය චකිතයට පත් කළ තවත් එක සිතුවිල්ලකි.  මේ දරුවා පුතෙකු වුව හොත් තමාට අම්මා ගේ පමණක් නොව සිය සැමියාගේද ආදරය නැවත ලැබෙනු ඇති බවට ඇය විශ්වාස කළා ය.

 

ඇය ප්‍රර්ථනා කළ පරිදිම ඊයේ ඇයට පිරිමි පුතෙකු ලැබුණි. රෝහල්  වාට්ටුවේ බිත්ති ඔරලෝසුව දෙස බලමින් ඇය තම සැමියා එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියේ මේ සුබ ආරංචිය ඔහුගේ කණෙහි තැබීමටය.

දවල් දොළහ පසුවීත් තවත් පැය භාගයක් ගතවූ තැන ඇගේ දෙනෙතට සැනසිල්ලක් ලැබුණි.

“ඔන්න කොල්ලෙක් “ ඈ බලාපොරොත්තු පිරුණු හඬින් තෙපලුවාය. එහෙත් ඔහුගේ මුහුණ මත ඇය බලාපොරොත්තු වූ පෙනුම ඇති නොවීය.  දැඩි ආර්ථික අපහසු තාවය ඔහුගේ හැඟීම් දැනීම් නැතිකර ඇති සෙයකි. ඔහු හිස් බැල්මෙන් ඇගේ ඇඳට සම්බන්ධ තොටිල්ලේ වූ නිල් පැහැති  රෙද්දක ඔතා සිටි රෝස පැහැති  සිඟිත්තා දෙස බලා සිටියේය. ඇයට රෝහලෙන් බැහැර වීමට සිදුවන්නේ සැත්කමෙන්  පසුවය. ඒ නැවත දරුවන් නොලැබෙන පරිදි කරනු ලබන සැත්කමයි.

“හවසට අම්ම ඒවි” ඔහු හැඟීමකින් තොරව වචන පිට කළේය.

 ඊළඟ මොහොතේ ඇයගේ කිළිටි රෙදි පෙරෙදි සහිත ගමන් මල්ල ද ගෙන ඔහු වාට්ටුවෙන් පිට විය. ඊළඟට ඇය සවස රෝගීන් බලන වේලාව එනතුරු බලා සිටියාය. ඒ කාලය එළඹ බලාපොරොත්තුවේ ගිනිසිළුව දැල්වෙමින් මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවී ගියේ ඒ සමගම ඇගේ සුසුම් ද වාතලයට එකතු කරමිනි. සිඟිත්තා නින්දේ පසුවෙයි. ඇයට මහත් තනිකමක් දැනුණි. මව්වරුන් ළඟ රැඳී සිටි නෑදෑ හිතවත්තු එකා දෙන්නා පිටව යනු පෙනුණි. ඈ නැවත ගේට්ටුව දෙස බැලුවා ය.

අම්ම එනව " ඇයට ඉබේම කියවුණේ ගේට්ටුවෙන් ඇතුළු වූ සිය මවගේ මුහුණ දැකීමෙනි. අම්ම සතුටු වේවි පුතෙක් නිසා ඈ ආසාවෙන් බලා සිටියාය. අම්මා වයසටත් වඩා වයසට ගොස් ඇතැයි ඇයට ශෝකයක් ඇති විය.

"අරය ගෙදර ආවද අම්මේ ?" ඈ ඇසුවේ සිය සැමියා කලින්ම ගෙදරට ගොස් මේ සුබ ආරංචිය අම්මාට කියා ඇතැයි බලාපොරොත්තුවෙනි.

“ඔහේ නැහැ. එයැයි කොහේ හරි රස්තියාදු වෙවී ඇති. මං ලොකු කෙල්ලට නංගිල බලාගන්න කිව්ව පුංචි එනකම්" අම්මා කීවේ කෝපය මුසු හඬකිනි.

“උඹට කොහොමද දැන්? අමාරුවක් නැහැනේ? “ඉන්පසු අම්මාගේ හඬ මව්වත් විය.

“අමාරුවක් නැහැ අම්මේ. පුතෙක් හම්බ වුණේ”

ඈ අම්මාගේ රැළි සහිත මුහුණෙහි සිනාවක් බලාපොරොත්තු වූවාය. එහෙත් එහි වූයේ උපේක්ෂා සහගත බැරෑරුම් බවක් පමණකි.

“මොකා වුණත් හදන්න එපැයි.. ඕවා උඹලට කල්පනා කරන්න තිබුණේ කලින්.”

"හෙට ඔපරේසන් එක කරනවා. දරුවෝ හම්බ නොවෙන්න"

"එහෙමද? ඒකත් කමක් නැහැ. මටත් දැන් නම් තවත් දරුවෝ මත්තේ නහින්න සක්තියක් නැහැ පුතේ "

 අම්මා තොටිල්ලේ වූ දරු  පැටියා දෙස නෙත් යොමාගෙන කීවාය.

ඇය අම්මා ගැනත් තමා ගැනත් දරු පැටියා ගැනත් මහත් දුකක් ක්ෂණිකව ඇතිවී ඇසට නැගී ආ කඳුළු බින්දුවක් පිටි අත්ලෙන් පිසදා ගත්තාය. ඒ සමගම  සියළු දුක්ඛ දෝමනස්සයන් පාකර හරින සේ දිගු සුසුමක් හෙළූ ඈ කවුළුවෙන් එපිට ඈත පෙනෙන මහා සාගරය දෙස හිස් බැල්මෙන් බලා සිටියාය. මුහුදු රැල්ළ වෙරළේ හැපෙමින් සිය නොනවතින අඳෝනාව දිගින් දිගටම කරගෙන ගියේය. 

Thanks to  Thijs Schouten  for this lovely photo on Unsplash  




Sunday, January 10, 2021

බතල

 









බතල

 

බෙල් එක ගැහුවා

වතු වැඩ වෙලාව

ඔක්කොම එළියට

පේළි හදාගෙන

 

වගා බිමේ දැන් ඔක්කොම

අද තියෙන්නෙ ළමයි ඔන්න

බතල වගාවයි කරන්න

දැන් හැමෝම අහන් ඉන්න

 

බතල හොඳයි ඇඟට ගුණයි

උදේ කෑමකට කදිමයි

ඇග්රි මැඩම්ගේ කටහඬ

දෝංකාර දෙයි හැම තැන

 

“බතල දඬු ටික කපල ගනිමුද

මෙන්න මේ පොඩි පිහිය අරගෙන”

මේක අහලා රමණි ගැස්සුව

රව රවා ඇගෙ මුහුණ පිම්බුව

 

"කොලෙජ් එකට ඩැඩී මාව

එවන්නෙ වතු වැඩට නෙමේ

පිස්සු බතල හිටවිල්ලක්

මගේ අතේ මඩ ගෑවෙයි

කවුද අනේ බතල කන් නෙ

අපෙ ගෙදරට නෑ ගෙනෙන්නෙ "

 

"සීය එක්කල බතල හිටවල

හොඳට පුරුදුයි මගේ අත්දෙක

කෝ දෙන්න ටීචර් පිහිය මට

මං කපන්නම් හරිම ගණනට"

 

"චන්ද්‍රිකා මේ උදැල්ලෙන් දැන්

කොටල ඔය පොළොවත් හදන්නකො

මෙන්න මේ විදියට බතල දඬු

පස් වලට යටකර තලන්නකො" 

 

"බතල හිටවල වතුර දාලා

ඔක්කෝම දැන් වැඩත් ඉවරයි

අතුත් හෝදල බඩුත් හෝදල

පේළියට පන්තියට යන්නකො"

 

පාසලෙන් අස් වෙලා බෝකල්

ලොකු ගැහැණු වී රට පුරා අපි

කලාතුරකින් හම්බ උනහම

ටිකක් ආ ගිය කතා දොඩනව

 

අද උදේ මට රමණි හමු වුණි

ටවුමේ මාකැට්ටුවට  අවුදින්

එයාගේ එළවළු කූඩෙ මම

දැක්ක තියෙනව බතල ගොඩකුත්


Thursday, January 7, 2021

හතර බීරි කතාව

 














හතර බීරි කතාව

 

මෙදා සැරේ ප්‍රසංගයට

මං ගත්තේ ගම දෝණිට

කපුට කියපු පනිවිඩේට

සැමියෙක් එයි අත ගන්නට

 

“තරුණෙක් මට එනව යයි කියා

කපුට කීව මේ තමා එයා

අම්ම අප්ප දෙන්න කැමති නම්

කසාදයට බොහොම කැමති මම් “

 

ගෙදර වේදිකාවේ

නැහැ වෙන නළුවො ආවේ

චරිත හතරම මං

තනියෙන් කළා සතුටෙන්   

 

උඩ ගෙදර කමලා

යට ගෙදර පොඩි විමලා

වෙන වැඩ පසෙක ලා

මගෙ නැටුම් බලනට සැරසිලා

 

එක රස ගුලාවකි.

ගෙදරම වේදිකාවකි

වෙනස් කමකුත් නැති

රසිකයින් මා අගයති

 

රමණි ගේ අම්මා

දවසක් ඔළුව දැම්මා

එදා සිට පෙම්මා

එයා ගම දියණියට දැම්මා

 

 

කාලයත් ගෙවුණි

ප්‍රසංගය ළඟ ලඟ වුණි

රමණිට උණ ගැනුණි

ගම දියණි යළි මා වුණි

 

එදා දින ආවා

මං ඇඳුම අත ගෑවා

ලස්සනයි කීවා

අඳින්නට ලං වුවා

 

උණට ඔසු අරගෙන

රමණි හනිකට දුවගෙන

එතනටම පැමිණ

ඇඳුම් ඇන්දා මගෙ

අතින් ගෙන 

 

මං කවුද නොදනිමි.

ගම දියණි නම් නොම වුණි.

පහළටම විසිවුණි .

ටිකට් අරගෙන නැටුම බැලුවෙමි.


Thanks to Kelly Sikkema for this lovely photo on unsplash.

 


නාට්ටිය

 









නාට්ටිය

 

නැටුම් මැඩම් තෝරගත්තෙ

මං පළතුරු වෙළෙන්දිට

හතර වසරේ නාට්ටියට

 ජාඩි වෙළෙන්දා රමණි


ඒ වාරේ ඉවර වෙලා

ප්‍රසංගයක් තියන්නටලු

අපි පුරුදු වුණා නාට්ටිය

වේදිකාවෙ  දින දෙකක්ම

 

“පළතුරු පළතුරු

ගුණදෙන පළතුරු

ඇඟට ගුණයි ලාබයි

මේ පළතුරු”

 

“ජාඩි ජාඩි හරිම රසයි

එන්න මැණිකෙ  මෙන්න ගන්න

කන්නට පුළුවන් එක හුස්මට

ලොකුවට  බත් පිඟානක්ම “

 

ගෙදර ගිහින් එදා හවස

ගේ මිදුලේ වේදිකාවෙ

මම පළතුරු වෙළෙන්දි වී

මල්ලිට දී ජාඩි මල්ල

 

"මේ ළමයා හරි කෙට්ටුයි නේ මිස්

පළතුරු වෙළෙන්දි කෙට්ටු වෙන්න බෑ

එතකොට අපි දෙන පණිවිඩෙ

හරියට මේකෙන් කියවෙන්නේ නෑ "

 

ලොකු මැඩම්ගෙ

අදහස ළඟ නැටුම් මැඩම්

අසරණ වි බලා හිටියෙ

හිස් බැල්මෙන්

මුකුත් කියන්නේ නැතුවම

 

" රමණි  හරි මහතයිනේ

උසත් ටිකක් වැඩියි  වගේ

ජාඩි වෙළෙන්දා මහතට

හිටියම එය හරි නැහැනේ "

 

නැටුම් මැඩම් ඔළුව වැනී

වේදිකාවෙ තිර ඇදුණි

නාට්ටියත් ඉවර වුණි

යාව ජීව වේදිකාව

එයින් පස්සෙ ගෙදර වුණී

 

Thanks to Christoffer Zackrisson for this lovely photo on Unsplash

 

 

 


සාහිත්‍ය නිර්මාණකරණය

 









සාහිත්‍ය නිර්මාණකරණය

 

පුළුල්ව ගත් කල සාහිත්‍ය යනු  ලිඛිතව ඇති දේවල්වල  එකතුවකි. නමුත් පටු අර්ථයෙන් සැලකීමේදී සාහිත්‍ය ලෙස අපේ සිත් තුළට ඇතුල් කර ඇත්තේ  කලාත්මක ස්වභාවයෙන් ලියා ඇති නව කතා,කෙටි කතා, ප්‍රබන්ධ කතා, නාට්‍ය හා කවියයි.  මෑත කාලයේ දී  වාචික සාහිත්‍යත් ඇතුළත් වීමෙන් අර්ථය තවත් පුළුල් වී තිබේ. 

 

කෙසේ නමුත් සාහිත්‍යයේදී සිදුවන්නේ ඒ ඒ භාෂා වලින් කරනු ලබන වචන හරඹයකි.  සාහිත්‍ය නිර්මාණයක් කිරීමට නම් භෂාව හැසිරවීම ප්‍රගුණ කළ යුතු වෙයි. ඒ ඒ ප්‍රදේශ අනුව ඇති භාෂා ව්‍යවහාර ගැන දැන ගත යුතු වෙයි. භාෂාව නිවැරදිව භාවිත කරන අයුරු ඉගෙන ගැනීම සැමටම වඩා වැදගත් වෙයි. වත්මන් සිංහල භාෂාව බොහෝ විපර්යාස වලට ලක්වී ඇත්තේය.   නූතන බොහෝ මාධ්‍යන් විසින් කරනු ලබන  අවිචාරවත් භාෂා හැසිරවීම ඉතා ජුගුප්සා ජනක වෙයි. ඒවා නිරන්තරයෙන් අසන පාසල් දරුවෝ   තමා විධිමත් අධ්‍යාපනයේදී ඉගෙන ගන්නා භාෂාවට වඩා මේ අච්චාරු භාෂා විලාසයන්ට ආසක්ත වෙති.  

 

ඕනෑම සාහිත්‍ය නිර්මාණයක් බිහි වන්නේ රටක  සමාජයීය, සංස්කෘතික, ඓතිහාසික, ආර්ථික, දේශපාලනික  ආදී  ප්‍රස්තුතයන් පසුබිම් කරගෙනය.  එසේ නම් නිර්මාණයක්  කරන තැනැත්තා ඒ ඒ කාල වකවානුවලට අයත් ඉහත විස්තර කරන ලද පසුබිම් බලවේග ගැනත් අවබෝධ කර ගැනීම ඉතාම අවශ්‍ය වේ. නිදසුනක් ලෙස නව කතාවක අප විසින් මෙහෙයවීමට තීරණය කර ගන්නා චරිත, සිද්ධි, හා හැසිරීම් එම බලවේග මගින් හසුරුවනවා විනා අපේ රුචිය අනුව හැසිරවීමට නොහැක්කේය.  

 

අපට සාහිත්‍ය නිර්මාණකරණය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය නම් වඩවඩාත් උසස් සාහිත්‍ය කෘති  විශේෂයෙන් උසස් ලෝක සාහිත්‍ය දෙසට යොමු වීමත්  විචාර  බුද්ධියෙන් යුතුව ඒවා පරිශීලනය කිරීමත් අනිවාර්ය වෙයි.  එමෙන්ම නිරන්තර අභ්‍යාසයත් ඉතාම අවශ්‍ය වෙයි.

Thanks to Elaine Howlin for this lovely photo on Unsplash