Friday, March 25, 2022

ඕක් ගස




 


ඕක් ගස


Fagaceae ශාක කුලයට අයත් Quercus ගණයේ විශේෂ 450 කට පමණ පොදුවේ කියන නමක් තමයි ඕක්. මේවායින් 58ක් උතුරු ඇමරිකාවට ආවේණිකයි. අලංකාරයට වවන ශාක, දැව ශාක, හා පඳුරු මේ ඕක් විශේෂ අතර තිබෙනවා. මේවා උතුරු මධ්‍යධරණී කලාපයේ හා නිවර්තන කලාපයේ ඉහළ උන්නතාංශ වල වැවෙනවා. ඕක් ශාක සදාහරිත හෝ පතනශීලී පත්‍ර දරනවා. මේ පත්‍ර ඇඟිලි වැනි බෙදුම් සහිතයි. පත්‍ර දාර දැති සහිතව හෝ සම්පුර්ණව පවතිනවා. ඕක් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. රතු ඕක් හා සුදු ඕක් අනුවෙන්. රතු ඕක් වල පත්‍ර ඛණ්ඩ තුඩු සහිතයි. සුදු ඕක් වල රවුම්.
ඕක් මල් නම් ලස්සන නැහැ. පත්‍ර හැලුණු කාලවල හෝ පත්‍ර සහිත විට පිපෙන පිරිමි මල් කහපාට සිහින් නටු වැනි කොටස් වල පහළට එල්ලෙමින් පවතිනවා. මේවා Oak catkin කියල හඳුන්වනවා. ගැහැණු මල් ද එකම ශාකයේම වෙනම හටගන්නවා. ඒවා මල් එකක්,දෙකක් හෝ වැඩි ගණනක් සහිත එකාක්ෂ ලෙස හැදෙනවා. ගැහැණු මල් වලින් Acorns නමින් හඳුන්වන විශේෂ ඵලය හට ගන්නවා. මේවා සත්ව ආහාර සඳහා ගන්නවා.
                                                           ඕක් පිරිමි මල් Oak catkin 
                                                 ඕක් ගෙඩි Acorns (This photo is from Pexel)



වනාන්තර වලදී ඕක් ශාක මුල්ගල් විශේෂ (Keystone species) වශයෙන් වැදගත් පරිසර විද්‍යාත්මක කෘත්‍යයක් ඉටු කරනවා. සත්ව වාසස්ථාන හා ආහාරමය වශයෙන් මේ ශාකය ඉටුකරන මෙහෙය අමිලයි. ඕක් ශක් මිනිසාට බොහෝ ප්‍රයෝජන අත්කර දෙනවා. ඕක් දැවය ඉතා වටිනා එකක්. එය ගොඩනැගිලි නිර්මාණයේදී හා ගෘහ භාණ්ඩ නිපදවීමට ගන්නවා. මේ හැර අලංකාරය හා සෙවන සඳහා ඕක් වවනවා. ලොකු ඕක් ගසක් අඩි 30ක් පමණ උසට වැඩෙන අතර ඒ වටා විශාල වපසරියකට සෙවන දෙනවා. ඒ නිසා නගර අලංකරණයේදී මේ ශාකයට වැදගත් තැනක් හිමි වෙනවා. ඔබ සැම පොරොප්ප ඇබ ගැන දන්නවා ඇති. ඒවා හදන්නේ කෝක් ඕක් (Quercus suber ) ගහේ ඝනකම් වල්කයෙන්. 

                                                
රොබට් හූක් අන්වීක්ෂයෙන් බැලුවෙත් ඒ අනුව සෛලය කියල ඒ බලපු කාමර වැනි ව්‍යුහ වලට cell කියන නම දුන්නෙත් මෙන්න මේ වල්කය තමයි. 
මම කැලිෆෝර්නියාවේ දී ලබා ගත් පහත ඇති ඡායාරූපවල ලොකු කළු පාට ගෙඩි වගේ තියෙන දේ බලන්න. ඒ ඕක් ගෙඩි නෙවෙයි. ඒවා ගසේ අතු හා පත්‍ර මත හැදෙන Oak galls ලෙස හඳුන්වන අසාමාන්‍ය වර්ධන. ඒවා හට ගැනීමට හේතුව Oak සලබයා නම් කෘමියෙකුගේ අසාදනය. මෙතෙක් දවස් ශීත ඍතුවේ කූරු හා මේ අසාමාන්‍ය වර්ධන විතරක් තිබුණු ගස්වල දැන් වසන්තය එළඹීමත් සමග දළු දමා ලස්සන වෙමින් තිබෙනවා.
                                                         Oak galls


Sunday, March 20, 2022

මේපල් ගස


 මේපල් ගස

මේපල් ගස ගැන ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. අඩු තරමින් මේපල් කොළය ගැන නොදන්නා කෙනෙක් නැතුව ඇති. ඒ එය කැනඩාවේ ජාතික ධජයේ සංකේතය නිසා. එහි රතු පැහැයෙන් බලාපොරොත්තුව, සශ්‍රීක භාවය, ශාන්තභාවය හා මධ්‍යස්ථභාවය සංකේතවත් කරන බවත් රටාවෙන් සංස්කෘතික උරුමය හා ස්වාභාවික සම්පත් නිරූපණය වන බවත් කියනවා.
මේපල් කියන්නේ ඇත්තෙන්ම Acer ගණයට අයත් විශේෂ දළ වශයෙන් 125 ක් පමණ අයත් ශාක වලට කියන පොදු නමක්. බොහෝ විශේෂ ගස් මීටර් 10-40 දක්වා උස ගස් වශයෙන් හැදෙනවා. ඇතැම් ඒවා එතරම් උසක් නැති පඳුරු ලෙස වැවෙනවා. මේවා බොහොමයක් ආසියානු කලාපය නිජබිම කරගෙන ඇති අතර සමහර ඒවා යුරෝපය උතුරු අප්‍රිකාව හා උතරු ඇමරිකාව ආශ්‍රිතව දකින්න පුළුවන්. බොහෝ විශේෂ පතන ශීලී වන අතර කිහිපයක් සදාහරිත වෙනවා.
මේපල් මල් කුඩායි. ඒවා ශීත ඍතුව අග හෝ වසන්තයේ එළිපත්තේදී පිපෙනවා. ඇතැම් ගස්වල මල් පිපෙන්නේ පත්‍ර හැලීමටත් පෙර. සමාරාවක් වන මේපල් ඵලය 'හෙලිකොප්ටර්' 'මේපල් කී' ආදී නම් වලින් හැඳින්වෙනවා. රූපවල මේපල් ගස් ශරත් සමයේ තිබූ ආකාරය, මල් හා ඵල දක්වා තිබෙනවා.














Monday, March 14, 2022

ආපස්සට යාම








ආපස්සට යාම 

 

පාන් ගෙඩිය සත විසිපහට අරගෙන

කුප්පි ලාම්පුවෙ එළියෙන් බලාගෙන  

හොද්දක් දර ලිපේ හැඳිගා හදා ගෙන  

පෙත්තක් ගිල දැමූ කාලය නැවත එන 


හැබයි පාන් ගෙඩියේ මිළ අහසටය 

භූමී තෙල් ටිකට දිගු පෝලිම් වලය 

දර ටික හිඟයි නේ  දැන් නැහැ නොව කැලය

පනින්නට වෙන්නෙ දල්වා ගිනි මැලය 


තිරික්කලේ මඩුවෙන් නැවත අරගෙන 

කැඩුණු බිඳුණු තැන් පිරියම් යොදාගෙන 

නාකි ගොනා අරගෙන ගැට ගසා ගෙන 

හයි වේ එකේ යමු ගොනුකුර ගෙවා ගෙන  


කාලය අනික් පැත්තට යන කතාවල 

අතීතයට  ගොස්  එහි සැරිසරන කල 

මේ බොරු මෙහෙම වෙනවද පෑ සිනාවල

සාපය වැදී වාගෙයි එයම වෙන කල  


 Thanks  Laura Ockel for the image on Unsplash


 

 

Thursday, March 10, 2022

මල්

 










මල්

නාලිනී එන්න බලන්නට පිපීලා ලා දැයි මල්
පිණි වැටී තිබේ යයි කියා තිබුණා කිනිති මත මල්
හෝඩි පොත තවම මිහිරි මතකයකි සිහිලැල්
එහි අකුරු මැකී ගොස් දැන් බොහෝ කල්

එහෙ කැලේ ගාල්වල ඔහෙ ඇදී යන වැල්
මෙහි හිනැහුණා, වටින බඳුන්වල ලකල්
ගසාගෙන ඩොලර් ගණනින් ලේබල්
බලා සිටියේ නම් හනික විකිණෙන කල්

මල් මල් කීවාට මේ නොවේ වන මල්
ඇවිළෙන මොහොතක වුවද යුද ගිනි දැල්
වසන්තය එනමග බලා කල්යල්
පිපී තිබුණා එය දසුනකිය මනකල්

Tuesday, February 22, 2022

මැයි ගස

 




මැයි ගස 


රතු පාට මන බඳින මල් සැරසිල්ල 

නිසි කලට තුරු හිසේ පැළදිල්ල  

මැයි මස මතක් කර මල්  පිපෙන ගසයි එය  

මහමග,උයන්වතු වල  සෙවන ගෙන දෙන 


මං හිතෙන් ඈත  අතීතෙට ගියා 

මැයි මල් එදත්  හිනැහී හිටියා 

මල් ගැන විස්තර  මෙහෙමයි කියා  

පොතේ  පාඩම  මේ ලෙස තිබුණා ලියා  


රනිල කුලයේ උප කුලකයකි 

සේසල්පිනොයිඩියා 

මල් පෙති පහකි, රේණු දහයකි 

එහි නම ඩිලොනික්ස් රෙජියා 


රතට රතේ හිනැහුණත් මල් තවම 

මග දෙපස,උයන් වතුවල  හැම තැන 

ඒ සොඳුරු මැයි ගස හිතේ ඇඳුන 

අනේ දැන් දකින්නට නැහැ එතැන !


Thanks to Luis Felipe Lins for the photo on Unsplash


Monday, February 14, 2022

වැලන්ටයින්

 










වැලන්ටයින්  


අපූරු ගසක් යයි සිතා 

පැළයක් දෝතින් ගෙන 

ගෙනත් සිටුවීමි වත්තේ එක පසෙක 

ගසද සරුවටම වැඩුනා දිනෙන් දින 

 

එළඹුණු නවම් මස මැද වන විට 

සුදු ලස්සන මල් කිණිති 

පිපී දිලුණා ඇගේ හිස මත 

වැලන්ටයින් ලු මේ ගසේ නම 


මව් ගස වටකර ඇගේ පාමුළ

යාර ගණනක වපසරිය වටකොට  

 ඉපැදුණා පොඩි පොඩි පැළ දරුවන් 

හතරවට හැම තැනකම 


"ඔය ගස උදුරා වනසා දමන්න 

නොරටින් ආ අප දේශයට 

ආක්‍රමණික සතුරෙකි අනික් ගස් වල "

හඬ නැගුවා පරිසරවේදීන් සැම 


තවත් කල් නොයවා එදිනම  වනසා ලීමි ගස

කැති පොරෝ ගෙන දරුවන්ද සමගින ...

ඈ හිස සැරසූ මල්  වැටී තිබුණා ඇය පාමුළ

මියගිය දරුවන්ගෙ මොළකැටි සිරුරු මත 


එදිනටම යෙදී තිබුණේලු ලෝකය සමරණ 

වැලන්ටයින් දින යයි නම් කළ 

ආදරවන්තයින්ගේ සැමරුම් දින 

මම දැන ගෙන හිටියේ නැහැ ඒ වග


ඡායා රූපය අන්තර්ජාලයෙනි.



Friday, February 11, 2022

දයාබර සුදු දුව ( කෙටි නවකතාව) - දෙවන දිග හැරුම

 


දයාබර සුදු දුව ( කෙටි නවකතාව) - දෙවන දිග හැරුම

 

අවුරුදු තුන පහුවෙන්න කලින් ඔයාට අකුරු කියවීමේ උත්සවය තිබ්බා.  අකුරු කියෙව්වේ ලොකු මාමා. එදායින් පස්සේ ඔයා දවසට දෙකට පොත් පත් වල තියෙන දේවල් අඳුර ගන්න දක්ෂ වුණේ අපි පුදුමයට පත් කරමින්. ආච්චි කියන ගාථා එක සැරයක් දෙසැරයක් ඇහුවහම ඔයාට කට පාඩම් වුණා. අවුරුදු හතර වෙද්දී තුන් සුත්‍රය, නරසීහ ගාථා, ජයමංගල ගාථා ඔයා ගායනා කළේ අහන් ඉන්න ආස හිතෙන විදියට. අවුරුදු හතරයි මාස පහක් වෙද්දී ඔයා ඉස්කෝලෙකට දාන්න තාත්තට ලොකු උනන්දුවක් තිබුණා.  නගරයේ කන්‍යාරාමය, සවුත්ලන්ඩ් බාලිකාව හා සංඝමිත්තාව කියන තුනටම ඔයාව දාන්න පුළුවන් කම තිබුණ කියල තාත්ත කිව්වා. අන්තිමේ තාත්තගේ හිත ගියේ සංඝමිත්තාවට. ඉතින් ඔයා ඒකට ඇතුල් කළා. පහළ බලාංශයට තමයි මුලින් ඇතුල් කළේ. මුල් දවස්වල මාත් ඔයා එක්ක පාසලට ගියා. උඩ පන්තිවල ළමයි විවේක කාලෙට ඔයාගේ පන්තියට එනවා 'සුදු බබා ' බලල යන්න. ඔයා හිනාවෙන්නේ ඇස් වලින් කියල ඒ ගොල්ලෝ කිව්වේ ඔයා හිනාවෙන කොට ඇස් දෙක හීන් ඉරි දෙකක් වගේ වෙන හින්ද වෙන්න ඇති. ඔයාගේ ඇස් වල සුදු ඉංගිරියාව ළා නිල්  පාටක් ගත්තා. කළු බෝලය හරිම තීව්රයි. තොල් දෙක ලස්සන රෝස පාටයි.  හම හිම කුමාරිගේ වගේ. ඔයා හුඟක් දවස්වල පාසල් එක්ක ගියේ මාමා.  සමහර කාලවල මාමගේ යාළුවෙකුගේ මෝටර් රථයෙන් යැව්වා. 

 

පහළ බාලාංශයෙන් ඉහළ බාලාංශයට ඊළඟට දෙක පන්තියට, තුන පන්තියට ඔයා සමත් වුණා. ලස්සන බෝල අකුරු ලිව්වා.  ඒ කාලෙ පන්ති පොත්, නිල ඇඳුම් කිසි දෙයක් රජයෙන් දුන්නේ නම් නැහැ.  අවුරුද්ද අවසානේ දෙන පොත් ලැයිස්තුවට පොත් ටික අරන් දෙනකම් ඔයාට ඉස්පාසුවක් තිබුණෙ නැහැ.  තාන් සුවඳ හමන පොත් ටික ලොකු මාමා තමයි හැමදාම අරන් දුන්නේ. ඔයා ඒ පොත් ටික ඔක්කොම දෙසැම්බර් නිවාඩුව ඉවර වෙන්න කලින්ම කියවල ඉවර කළා.  පොත් කියවන්න ඔයාට තිබුණේ පුදුම ආශාවක්. ඒ දවස්වල දැන් වගේ රුපවාහිනිය තිබුණේ නැහැනේ. ගෙදර රේඩියෝවක් තිබුණා. ඔයා ඒකෙ යන ගීත ලස්සනට ගායනා කළා.  ඒකෙ යන නාට්‍ය තනියම රඟපෑවා. 

 

දෙකේ පන්තියේ ඉඳන් ඔයා තනියම බස් එකේ ඉස්කෝලේ ගියා. ඒ කාලෙ තිබුණේ ලංගම බස් විතරයි.  ටික දෙනෙකුට තමයි තමන්ට කියල පුද්ගලික වාහන තිබුණේ.  පොඩි මාමට හැමදාමත් වාහනයක් තිබුණා.  ඒත් එයා වෛද්‍යවරයෙක් විදියට වැඩ කළේ දුරබැහැර පැත්තක.  ඉතින් ඒ වාහනයේ අපි ගමන් ගියේ කලාතුරකින් තමයි.  අපිට විශේෂ ගමනක් යන්න තියෙනකොට කුලී මෝටර් රථයක් යොදා ගත්තා. ඒ කාලේ කුලියට හයර් යන මෝටර් රථ වගේම ටැක්සි සේවයකුත් නගරවල තිබුණා.  ත්‍රී රෝද රථ ආවේ මේ මෑතක නේ.  පාරවල් වල අද වගේ මහා කලබලයක් තිබුණේ නැහැ.  බස් එකේ කොන්දොස්තර මාමගේ ඉඳල මග තොටේ නොදන්නා නාඳුනන අය වුණත් කාගේ දරුවෙක් වුණත් ආරක්ෂා කරගන්න ඕන කියන යහපත් සිතුවිල්ලේ හිටියා. බයක් තිබුණ නම් තිබුණේ කරවල වාඩි වලටය කියල පිරිමි ළමයි අරන් යනව කියන එක තමයි. එහෙම නැතුව අතන මෙතැන අපයෝජන, දුෂණ ගැන අහන්න නොලැබුණු තරම්.  එවැනි දේවල් කිහිපයක් හුදකලාව වෙන්නත් ඇති.  ඒත් අද වගේ කැමරා උස්සගෙන දුවල අඬන වැලපෙන දර්ශන එක්ක ඒ සිදුවීම් අත්ශයෝක්තියෙන් පෙන්නලා ඒ තොරතුරු විකුණගෙන කාල ජීවත්වෙන නරක පුරුද්දක් තිබුණේ නැහැ.  ප්‍රසිද්ධ අපරාදයක් වුණ වෙලාවල් වල කවි කොලය කියල එකක් නම් විකිණිලා ගියා.  හාර ලක්ශේ මං කොල්ලේ, ඇඩ්ලින් විතාරණ මිනී මැරුම මට මතක ඒවා දෙකක්.  1959දී බණ්ඩාරනායක අගමැති තුමාගේ ඝාතනය රටම කැලඹීමට පත්කරා.  ඒවා ඔයාලට මතක නැහැ.  1960 දී සිරිමා බණ්ඩාරනායක මැතිණිය ලෝකයේ ප්‍රථම අගමැතිනිය බවට පත්වුණා. මේ කාලයේ රටේ තිබුණේ යහපත් වාතාවරනයක් .  නීතියේ ආධිපත්‍ය රැකිලා තිබුණා. රජයේ රැකියා වලට ගැනීමේදී දේශපාලනය බලපෑම් කළේ නැහැ.  හුඟක් පුද්ගලික අංශයේ දේවල් ජනසතු වුණා. තෙල් ආනයනයේදී සිදුවූ වෙනස කැපී පෙනෙන එකක්.  අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම රජයට ගත්තා. මං මේ දේවල් කියන්නේ ඔයා අපි එක්ක හිටිය ඒ නිදහස් වකවානුව ගැන මේ කතාව කියවන අයට යම් අවබෝධයක් ඇති වෙන්න.  අද තියෙන්නේ හාත්පසින් වෙනස් වාතාවරණයක් නිසා.  ජීවන වියදමත් බොහොම අඩුයි. බස් ගාස්තුව සත පහ, දහය වගේ ගණන්.  දැන් ඉන්න තරුණ අයට මෙහෙම තත්වයක් ගැන හිතා ගන්නවත් බැහැ.  ඔයාට බස් එකේ බාගෙ ටිකට් එකට යන ශත තුන වියදම් කරලා මොනවා හරි කඩ චෝරු කකා යාළුවොත් එක්ක ගොඩ පාරවල්වලින් පයින්ම ගෙදර එන වෙලාවල් තිබුණා.  අපිට ඒවාට තරවටු කරන්න ඕන කමක් තිබුණේ නැහැ.  මහමග කියන්න තරම් අතුරු ආන්තරාවක් ගැන බයක් තිබුණෙ නැහැ.

 

ඒ දවස් වල පොත් දාගෙන යන්න අද වගේ කරේ එල්ලන් යන බෑග් තිබුණෙ නැහැ.  පොඩි සූට් කේස් එකක තමයි ළමයි හැමෝම වගේ පොත් අරන් ගියේ.  ඔයාල බස් හෝල්ට් එකේ බස් එක එනකම් ඒ සුට්කේස් එක උඩ කකුල් දෙපැත්තට දාල වාඩිවෙලා ඉන්නවා.  ඒවා ලේසියෙන් කැඩෙන්නේ නැහැ. අන්තිමට හම ගියාට පස්සේ තමයි විසිකරලා දාන්නේ. ඒ කාලේ විවේකයට කන්න පාසලෙන් බනිස් දෙනවා.  ඒවායේ හරියට ගුල්ලෝ හිටියලු.  පාන් පිටිවල ඉන්න ගුල්ලෝ අහක් කරන්නේ නැහැනේ පිටි අනද්දී. ඉතින් ඔයාලා ඒ බනිස් වල ගුල්ලෝ කෑලි ගලවල එක එක්කෙනා ගහ ගන්නවලු.  ගෙදරින් බටර්, ජෑම් පාන් අරගෙන යන ඒවා විවේකෙට කලින් සුට්කේස් එකට හොරෙන් අත දාගෙන සුට්කේස් පියනෙන් මූණ වහගෙන මැඩම්ට නොපෙනෙන්න කනවලු.  මැඩම් දැක්කොත් පොඩි තරවටුවක් මිසක් ලොකු දඬුවම් නම් ඒ ඉස්කෝලේ කවදාවත් දුන්නේ නැහැ.

 

ආච්චි (ඇත්තම කිව්වොත් ඒ කාලෙ අපේ පැත්තේ ආච්චි කියන වචනය මිත්තණිය හඳුන්වන්න යෙදුවේ නැහැ. ආත්තම්මා කියල තමයි ඔයාල කියව්වේ.) හැම පසළොස්වකට වගේම සිල් සමාදන් වෙන්න පන්සල් යනවා.  ඔයත් පුරුදු වුණා ඒ එක්කම යන්න.  ඒ කාලෙ පන්සල් යන්න අමුතුවෙන් ළමා සාරි මහන්න ඕන වුණේ නැහැ.  පාසල් නිල ඇඳුම උඩින් දාගන්න මම ඔයාට පුංචි උතුරු සළුවක් හදල දුන්න.  සිල් සමාදන් වෙලා උදේ දානෙට ආපහු ගෙදර එනවා.  ඒ කාලෙ පන්සලේ උපාසක දාන දීමක් නැහැ.  මම ඔය දෙන්න එනකොට හීල් දානෙ ලෑස්ති කරලා තියෙනවා.  ඔයාට හිටපු ගමන් 'උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛා පදං ' අමතක වෙලා පුටු උඩ ඉඳ ගන්නවා. ආච්චි මතක් කරහම ආයෙ පැදුරට එනවා.  තව ටිකකින් සිල් අමතක වෙලා නංගි, මල්ලි එක්ක සෙල්ලම් කරනවා.  කොහොම හරි අමාරුවෙන් හවස හතර විතර වෙනකම් ඉඳල ඔයා සිල් පවාරණය කරනවා. ආච්චි නම් හැමදාම පහුවදා උදේ තමයි පවාරණය වෙන්නේ. එක දවසක් ආච්චිට පෝය දවසේ ඇහැරෙන්න පමා වෙලා සිල් ගන්න යන්නෙ නැතුව ඉන්නයි හැදල තියෙන්නේ.  ඔයා එකහෙළාම යන්නම ඕන කියල අඬල.  ඉතින් ඔයාවත් අන්දවා ගෙන ආච්චි පන්සල් ගිහින්.  මම ඒ කාලෙ තාත්තගේ වත්තෙ ගෙදර ගිහින් හිටියේ.  එහෙම කාල තිබුණා. එතකොට ඔයා ආච්චි, සීය හා මාමල එක්ක තමයි හිටියේ.  සමහර දවස්වලට මම නංගි හා මල්ලී එක්ක කුලී මෝටර් රියට නගින කොට ඔයා අඬනවා.  ඒ වුණාට ටොෆි, චොකොලට් මොනවා හරි දීල ආච්චි ඔයා නළව ගන්නවා.