Wednesday, March 29, 2023

සිදුවීම්

 






සිදුවීම්

ජීවිතය කියන්නේ සිදුවීම් ගොඩක්. සිදුවීම් දාමයක්. මේ සිදුවීම් දිගටම සිදුවෙනවා. එක එක ජීවිත වෙනම ගත්තත් වෙනවා. පොදුවේ ගත්තත් වෙනවා. පොදුවේ වෙන දේවල් පුද්ගලයා කෙරෙහි විවිධ විදියට බලපානවා. සමහර සිදුවීම් අපි හිතාමතා සැලසුම් කරලා සිදුකර ගන්නවා. තව සමහරවිට වෙන දෙයක් සිදුවෙලා සැලසුම් කළ දේ කරන්න බැරි වෙනවා. සමාජයක් වශයෙන් මෙන්ම පුද්ගලයන් වශයෙන් ද වෙන්න තියෙන සිදුවීම් අපි සැලසුම් කරනවා.
ඉතින් අප වටා සමාජ පරිසරයේ යම් සිදුවීමක් වුණ විට අපි අපේ මට්ටමින් එය විග්රහ කරනවා. ඒ විග්රහයන්ට අප ගිලී ඉන්න නොයෙකුත් මති මතාන්තර බලපානවා. හුඟක්ම සංස්කෘතික ආගමික පසුබිම.
දැන් මෙහෙම ගනිමු. යම්කිසි පුද්ගලයෙක් දුම්රියක ගැටී මිය යනවා. ඒක එක සිදුවීමක්. ඒක ඒ තැනැත්තා වුවමනාවෙන් කරගත් දිවි නසා ගැනීමක් වෙන්න පුළුවන්. නැත්නම් අත් වැරදීමකින් වුණා වෙන්න පුළුවන්. නමුත් දැන් සිදුවෙලා ඉවරයි. "ඒ වෙලාවේ ඔහු මියයන්න තිබුණා. වෙන කොහේ හිටියත් මිය යනවා. ඒක කාටවත් වලක්වන්න බෑ." කියලා සමහරු කියනවා. "ඒක එයාගෙ කර්ම ශක්තිය." තව කෙනෙකුට කියන්න පුළුවන්. "දෙවියන් වහන්සේගේ කැමැත්ත" ඒ තවත් කෙනෙකුට අනුව.
තව එකක් ගනිමු. යම් උපත් දුබලතාවයක් එක්ක දරුවෙකු බිහිවෙනවා. බිහිවී ටිකකින් මිය යනවා.
" ඒ දරුවා පෙර කළ පව් " කෙනෙක් කියනවා.
" දෙමව්පියන් කළ පව් දරුවන් පිටින් යනවා." කියලා මං ඒ වගේ සිදුවීමක් සහිත පෝස්ට් එකක කමෙන්ටුවක දැක්කා.
තව අවස්ථාවක් ගනිමු. යම්කිසි පවුලක් හදිසියේම ධනවත් වෙනවා. හොඳ ගෙයක්, වාහන, දැසිදස් ඇතුව ඉන්න පටන් ගන්නවා. මේක ටික ටික වූ සිද්ධි දාමයක්.
"පින් කරපු මිනිස්සු." ඒ සිද්ධි දාමය අනික් මිනිස්සු විග්රහ කරනවා. "කවද වුණත් පින පලදෙනවා." කෙනෙක් කියනවා.
ඔන්න මේ ධනවත් වූ තැනැත්තා මුදල් හෙව්වේ වැරදි වැඩකින් කියලා අහුවෙලා ඔහු සැකපිට අත්අඩංගුවට පත් වෙනවා.
"පව් කාරයෝ. හත්මුතු පරම්පරාවට වත් හොඳක් වෙන්නේ නෑ." අර ගුණ ගැයූ මිනිස්සු සිදුවීම වෙනස්ම විදියට දකිනවා.
ජීවිතයේ සිදුවීම් අපට මෙහෙයවන්න බැරිද?
යම්තාක් දුරකට පුළුවන්. පාරේ යද්දී පරිස්සම් වී රිය ධාවනය කරන කෙනෙක් ඉන්න පුළුවන් කිසිදාක අනතුරක් තමන්ට හෝ අනුන්ට සිදු කර නොගත්. ඒ වගේම පළමු වතාවේ සුක්කානම ගත්ත කෙනෙක් නොසැලකිල්ල හා තමා ගැන අධිතක්සේරුව නිසා එදාම මිය යන්නත් පුළුවන්.
ඊ ළඟ මොහොතේ නැත්නම් හෙට එහෙම නැත්නම් නුදුරු අනාගතයේදී කුමන සිදුවීමක් වේවිද කියලා කියන්න පුළුවන් ද? ඔව් සමහර දේවල් ගැන පෙරයීම් කරන්න පුළුවන්. කාලගුණ ය, වන්ද්ර හා සූර්යග්රහණ ඇතුළු ග්රහ වස්තූන් ගෙ චලිත ගණිතමය වශයෙන් පෙරයීම් කරන්න පුළුවන්.
ඒත් ඔබේත් මගේත් ඊ ළඟ මොහොතේ සිදුවීම අපි හිතන දෙයක් වෙන්නත් පුළුවන්. කිසිසේත්ම නොසිතන දෙයක් වෙන්නත් පුළුවන්. සිදුවීම් පෙළ නොකඩවා අනවරතව සිදුවෙනවා. ඒක විතරයි හරියට කියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සියල්ල අහම්බ ලෙස මං දකිනවා.
රූපයේ කාන්තාව කවුරුහරි එනකම් බලාගෙන ඉන්නවාද? ඊළඟ මොහොත කුමක් වේද?
Life is just a bunch of accidents!
Image from Unsplash free images

Thursday, March 16, 2023

පැපොල දෙවන වර සෑදීම Shingles

 


පැපොල දෙවන වර සෑදීම Shingles
අද මං අපට අදාළ රෝහලට ගියා. ඔයාල හිතයි දැන් ආ මොකද? අනේ ලෙඩ වුණා ද? නෑ එහෙම නෑ. ඒ ගියේ එන්නත් දෙකක් ගන්න. මෙහෙ වැඩිහිටි අයට නියුමෝනියා වළක්වන්න Pneumococcal vaccine එකයි Shingles නැති නම් Herpes Zoster වළක්වන්න Shingles vaccine එකයි දෙනවා. මේ දෙකම එක දවසේ ගන්න පුළුවන්.
දැන් ඔයාල නියුමෝනියා ගැන නම් අහල තියෙනවා නෙ. අනික වැඩිය අහලා නැතුව ඇති. Shingles කියන්නේ පැපොල (Chickenpox). දෙවෙනි වර හැදෙන එක. මේ දෙකම එකම වයිරස් එකෙන් (Varicella virus) හැදෙන්නෙත්. පැපොල හැදිලා නැති වුණත් අපේ ශරීරයට ඒ වයිරසය ඇතුළු වෙලා තියෙන්න පුළුවන්. නැත්නම් පැපොල වළක්වා ගන්න ඔබ එන්නත අරන් ඉන්න පුළුවන්. මටත් පැපොල හැදිලා නෑ. ලෙඩුන් සමග ඉතාම කිට්ටුවෙන් තුන් සැරයක් හිටියා. ඒත් හැදුණෙ නෑ. ඒ කියන්නේ මගේ ශරීරයට වයිරසය ඇතුළු වෙන්න ඇති. ප්රතිශක්තිකරණය ඇතිවෙන්න ඇති. ඒ වුණත් මං Varicella vaccine එක ගත්තා. ඒක දෙවරකට දෙන්නේ. මුල් එකට පස්සේ booster එක මාස දෙකකින්. කොහොමටත් පැපොල ලෙඩේ කලින් හැදිලා නැත්නම් මෙහෙ එන්න medical ගන්න කොට ඒක ගන්න ඕන.
ඉතින් Shingles කියන්නේ ඒ Varicella වයිරසය ශරීරයේ නිද්රාගතවෙලා ඉඳලා කාලයකට පස්සේ ආපහු හැදෙන එක. හැබැයි මේක ඇඟ පුරාම හැදෙන්නේ නෑ. බිබිලි එන්නේ ශරීරයේ එක අර්ධයක ස්නායුවක් යන මාර්ගයක. ඒක කඳේ හෝ ඇසේ වෙන්න පුළුවන්. බිබිලි එන්න කලින් උණ, අධික වේදනාව, පිච්චෙනවා වගේ දැවිල්ල ඇතිවෙනවා. ඇස නොපෙනී යාමටත් පුළුවන්. ලෙඩේ සුවවෙලා ටික කලක් යනකම් මේ දැවිල්ල තියෙන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ හැම පස් දෙනෙකුගෙන් කෙනෙකුට ජීවිත කාලයේ කවදහරි Shingles හැදෙන බව සඳහන් වෙනවා. ඒ නිසා එන්නත් ලබාදීම සිදු කරනවා. ඒකත් මාත්රා දෙකකින් දෙන්නේ. තව මාස දෙකකින් මං booster එක ගන්න ඕන.
පැපොල වුණත් වැඩිහිටි අයට හැදෙන එක අවදානම්. දැන් පැපොල වැළඳුන සැනින් anti viral බෙහෙත් දෙනවා. එතකොට අමාරු වෙන්නේ නෑ. තව කියන්න ඕන දෙයක් තමයි පැපොල හැදිලා නැති කෙනෙකුට Shingles රෝගියෙකුගෙන් පැපොල බෝවෙන්න පුළුවන්. හැබැයි Shingles කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවෙන්නේ නෑ. අදට ඇති. එන්නත දුන් අතත් ටිකක් රිදීගෙන එනවා.


රූපය Mayo clinic ඇසුරෙන්,අන්තර්ජාලයෙන්


Monday, March 13, 2023

කැලිෆෝනියාවේ වැසි සහ සුළං

 

කැලිෆෝනියාවේ වැසි සහ සුළං





කැලිෆෝනියා කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්රාන්ත 50න් එකක්. පැසිෆික් සාගරයට මායිම් වන එහි වර්ගඵලය වර්ග සැතපුම් 163, 696ක් පමණ වෙනවා. ඒ කියන්නේ ලංකාව වගේ හය ගුණයකට වැඩි වපසරිසරියක්. සැක්රමෙන්ටෝ එහි අගනුවරයි.
මේ ප්රාන්තයේ දේශගුණික තත්ත්වයන් වුණත් හුඟක් විවිධ වෙනවා. සමහර පැතිවල අවුරුද්ද පුරා හිම තියෙනවා. මොහාවේ, ඩෙත්වැලි වගේ කාන්තාර කීපයකුත් මෙහි තියෙනවා. සාමාන්යයෙන් වැස්ස අඩුවෙන් තමයි ලැබෙන්නේ. මේ දවස්වල වෙන අවුරුදු වලට වඩා වහිනවා. මේ වනවිට ඇතැම් ප්රදේශ ගංවතුරෙන් යටවෙලා. කුණාටු නිසා බලපෑම් ඇතිවෙලා. අපටත් හුඟක් වහිනවා. ගංවතුර තර්ජනයක් නෑ.
මේ ප්රාන්තයේ ගංඟාවල් 10ක් තියෙනවා. ඒ වගේම ජලාශ විශාල සංඛ්යාවක් තියෙනවා. සියලුම ගංඟාවල් වල දිග එකතුව සැතපුම් 189454ක්. දිගම ගඟ සැක්රමෙන්ටෝ ගඟ. ඒවායේ ජලයෙන් පානීය ජල අවශ්යතා, විදුලිබල අවශ්යතා ඉටුකෙරෙනවා වගේම විශාල පරිමාණයේ වගාවට අවශ්ය ජලයද සැපයෙනවා.
මේ සමග තියෙන්නේ සැක්රමෙන්ටෝ ගඟේ මං ගිය වෙලාවක ගත් පින්තූර දෙකක්.

Wednesday, March 8, 2023

නොස්ටැල්ජික් කතා 4 - ඇඳුම්/සීතාම්බර පට

නොස්ටැල්ජික් කතා 4 - ඇඳුම්/සීතාම්බර පට






ඇඳුම් ගැන කතාවක් සැරටම යනවා. අපි නවසිය පණස් ගණන් වල ඉපදුනු අය. කල් ඉකුත් වූ පිරිසක් කියලත් සමහරු අපට පරිභව කරනවා. මං කාටවත්ම කියන්නෙ නෑ අපි හිටපු ඒ අතීතයට යන්න කියලා. මං වුණත් දැන් මේ ජීවත් වෙන්නේ වර්තමානයේ. අතීතය සැබෑවක් බවත් අනාගතය මායාවක් බවත් කවුද කියල තිබුන මතකයි. වර්තමානය තමයි යථාර්ථය.
හැබැයි ඒ අතීතය ගැන සටහනක් තියන්න කාගෙවත් වගක් මට ඕන නෑ. අද අපේ කතාව ඇඳුම්. අපි ඒ කාලේ ඇඳුම් ඇන්දද? ඔව්. පොඩි ගෑනු ළමයි ඇන්දේ ගවුම් පොඩි. පිරිමි ළමයි කලිසම් කමිස පොඩි. අපේ ලොකු නංගී ගැහැනු ළමයෙක් වුණත් කලිසම් පොඩි කමිස පොඩි වලට ආසා වුණා. ඊටත් ඉස්සර කාලේ පොඩි පිරිමි ළමයි ඇන්දේ දිග කමිසයක් විතරයිලු. ඒක පිටිපස්සෙන් පලල පටියක් ගැට ගහල තිබුණලු.
අපි තුන්දෙනාට එකම මෝස්තරයේ රෙද්දෙන් ගවුම් පොඩි මැහුවේ අපේ අම්මා. කරට මන්තය එහෙම දාල, රැළි තියල හරිම ලස්සනට ඒ ගවුම් මැහුවා. සමාන්ය ගමන්බිමන් වලට, ගෙදරට අඳින්න මැහුවේ ජම්පින් ෆිෂ් කියල මාළුවෙක් ගෙ පින්තූරෙ සහිත සීල් එකක් ගහල තිබුණ රෙදි වර්ගයකින්. ඒ රෙදි යාරයක් රුපියල් හතරක් වගේ ගණනක් බව මතකයි. හැබැයි අපට ගවුම් තුන හතරකට වඩා නම් තිබුණෙ නෑ.
උත්සව වලට නම් ටැෆටා, ඕගන්ඩි වගේ වටින රෙදිවලින් ගවුම් මැහුවා. ඒ ගවුම් පිම්බිලා තියෙන්න යටට කැන් කැන් කියලා දැල් වගේ රෙද්දකින් මහපු සායක් ඇන්දා. නැත්නම් ඒ සාය ගවුමටම අල්ලල මහල තිබුණා. අනුරාධපුරයේ නැන්දා මට ඒ වගේ ලස්සන ඇඳුම් මහල දුන්නා. ඈ එම්බ්රොයිඩර් වැඩවලට හරීම දක්ෂයි.
අපේ තාත්ත නැතිවෙලා අපට ආර්ථික අමාරුකම් ආවහම ඇතැම් ළඟ නෑදෑයන්ගේ අක්කලගෙ ඇඳුම් ඉඳහිට අපට ලැබුණා. මං පොඩි කාලෙම අතින් හා මහන මැසිමෙන් මහන්න ඉගෙන ගත්තා. අම්මගෙන් තමයි ඒ ගුරුහරුකම් ලැබුණෙ. මාමලගෙ පරණ කමිස කපල බ්ලවුස් මැහුවා. ඒවයෙ මූට්ටු නොපෙනෙන විදියට මල් මැහුවා. අත්තම්මාගෙ දිග සායවල් තිබුණා. ඒවා කපල ගවුම් මැහුවා. පොඩි කාලේ සුදු ඇඳුම් අඳින්න ඕන වුණ වෙලාවට පාසල් ඇඳුමම ඇන්දා.
මෙන්න මේ වගෙ බොහොම අල්පේච්ඡ ජීවිත කාලයක් ගෙවිලා අපි ලොකූ වුණා. සරසවියෙදි පවා මං මමම මහපු ඇඳුම් තමයි ඇන්දේ. ඒවා වර්ණනාවට ලක් වුණා. ලස්සනට ගැලපෙන වර්ණ සංකලන ඒවායේ තියෙනවා කියලා. පාසල් කාලේ අන්තිම හරියෙදි පතරොම් තියල මහන්න පොඩ්ඩක් ඉගෙන ගත්තේ මගෙ මිතුරියගෙ සොයුරිය වසන්ති අක්කගෙන්. හුඟක් පස්සෙ කාලෙදි සිංගර් එකේ මැහුම් පාඨමාලාව බාගෙට කළා.
ඒ කාලේ ඇඳුම් මැහීමේ ව්යාපාරය ආරම්භ වෙමින් තිබුණා. ඇඟලුම් කම්හල් ඇති වුණා. ඇඳුම් සාප්පු විවෘත වෙන්න පටන් ගත්තා. ඒත් ඒ වෙනකොටත් 1980 ගණන්වලදිත් මං පවුලෙ හැමෝගෙම ඇඳුම් මැහුවා. පිරිමි කමිස පවා මැහුවා. පාසල් නිල ඇඳුම් මැහුවා.
ටිකෙන් ටික ජනතාව අර ඇඳුම් සාප්පුවලට ඇදෙන්න පටන් ගත්තා. ඇඳුම් සුලබ වුණා. ටිකක් කල් ඇඳලා ඇඳුම් පැත්තකට කරන්න, විසි කරන්න පෙළඹුණ. මහරගම ඇඳුම් පුරවරයක් වුණා. අපි ජීවත්වූ ප්රදේශයේ හුඟක් කාන්තාවන් ඇඳුම් මසා කඩවලට දැමීමෙන් සිය ජීවිකාව සරි කර ගත්තා.
අලුත් පරපුරේ අය තුළින් ඇඳුම් මැසීමේ ආසාව, උවමනාව අයින් වෙලා ගියා.
උත්සව කාලවලට අර ඇඳුම් සාප්පු පිරී ඉතිරී ගියා. ඒත් මං හුඟක් වෙලාවට ඇඳුම් තව දුරටත් මහගෙන තමයි ඇන්දේ.
ඇඳුම් හුවමාරු කිරීම කියන්නේ අමුතු දෙයක් නෙවේ. ඉඳහිට මිතුරියන් ගෙ ඇඳුම් ඉල්ලගෙන ඇඳල තියෙනවා. සේවයට යන්න පටන් ගනිද්දී සාරි දෙකයි තිබූණේ. අන්තිමට සේවයෙන් විශ්රාම යද්දී සාරි සිය ගණනක් තිබුණා. හැමදාම සාරි හැට්ට, යට සාය මැහුවෙත් මම. ඒ සාරි සේරම හිතවතුන්ට නෑදෑයන්ට පරිත්යාග කළා. පිරිමි ඇඳුම් හා දරුවන්ගේ ඇඳුම් හුඟක් තිබුණා. ඒවා සුබ සාධන අංශවලට පරිත්යාග කළා. දැන් සාරි ඇඳීමක් නෑ. බොහොම සරල ඇඳුම් කීපයක් පමණයි දැන් තියෙන්නේ. මේ රටේ නම් ඒ ඒ
සෘතුව ළඟාවෙන කොට ඒකට ගැලපෙන ඇඳුම් ආයිත්තම් වලින් වෙළඳපොළ පිරී ඉතිරී යනවා. අධි පරිභෝජනය මෙහෙ ජීවන රටාවේ විදිය.
ඔන්න ඔහොම තමයි අවුරුදු හැට ගණනක අපේ ඇඳුම් කතාව. කවදත් ඇඳුම ලංකාවේ ජනතාව රවටන එකක්. යුරෝපීය ඇඳුම ගලවල රෙද්ද බැනියම අඳින්න ගත්තේ ඒ රැවටිල්ල සඳහා තමයි. ඒ සුදු පට පිළි යට තු.. වක්කු පි.. ස්තෝල ඉන බැඳන් ඉන්න බව හුඟක් අයට පෙනුණෙ නෑ. ඉතින් ඇඳුම් අඳින විදිය දේශපාලන සටන් පාඨයක් වීම අමුතු දෙයක් නෙවේ. ඇඳුම් වලට විතරක් නෙවෙයි හුස්ම ගැනීමටත් දේශපාලනය බලපාන බව ඇත්ත.
ඒත් ඒ සමහරු ඇඳන් ඉන්නේ සීතාම්බර පට. සේරම එළියේ වුණත් ඒවා පේන්නේ මෝ.. ඩයන්ට විතරයි කියලයි කියන්නේ. කවුරුවත් මෝ.. ඩ බව පෙන්නන්න කැමති නැති පාටයි. අපි මෝ... ඩයෝ. අපට පේනවා.
Image from Unsplash free images

Saturday, February 25, 2023

නොස්ටැල්ජික් කතා 3 - වැල් ඇඳ ගමනක් යාම

 








නොස්ටැල්ජික් කතා 3 - වැල් ඇඳ ගමනක් යාම


ලණු වලින් වියපු වැල් ඇඳක් ඉස්සර ගෙවල්වල පිළේ ඒ කියන්නේ ඉස්තෝප්පුවේ තියෙනවා. මේ ඇඳට ඇඳ ඇතිරිලි එළන්නේ නෑ. තුන් ඉරියා පන් පැදුරක් දාල ඇඳ ඉහත්තේ කොට්ටයක් තියනවා.
මෙහෙම ඇඳක් අපෙ ගෙවල් දෙකේම තිබුණ.
මෙහෙම ඇඳක් තියෙන්නේ ඇයි කියල සකියනි ඔයාල හිතුවද? මං හිතන්නේ එකක් තමයි වත්තේ පිටියේ වැඩ කර කර ඉඳල ඇවිත් අපේ මුත්තණ්ඩිලාට ලොකු තාත්තාලාට පිට දිග ඇරගන්න.
මුත්තණ්ඩිගෙ දේවල් තමයි මට වැඩියෙන් මතක. මුත්තණ්ඩි තනියම හාන්සි වෙලා ඉන්නවට අමතරව තව එකක් මේ ඇඳෙන් ඉටු වෙනවා. ඒ තමයි මුත්තණ්ඩිගෙ සගයො ආවම බුලත් වංගෙඩියෙන් විටක් එහෙම කොටලා ඒක බෙදාගෙන හප හප අතීත පූචානම් කියවන්න. ලෝක යුද්දෙ කාලෙ කතා, බෝම්බ දාපු හැටි, හැංගිලා හිටපු හැටි වගෙ කතා අහන්න මාත් ආසයි.
මේ ඇඳේ තවත් රාජකාරියක් තමයි දුර බැහැර ඉඳන් ආව ආගන්තුකයෙකුට රෑ නවාතැන් දෙන එක.
කවුරුවත් වැඩිය නැති වෙලාවට ඇඳ උඩ නැගල උඩ පනින එක තමයි අපේ වැඩේ. ඒක හරියට අද නම් ට්රැම්පොලින් එකක පනිනවා වගේ. හැබැයි ඇඳේ වැල් ටික ඇදිලා මැද බොක්කක් හැදෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. එහෙම වුණහම ආයෙ ඇඳ ලණු වලින් වියන්න ඕන. ඒකත් මුත්තණ්ඩීම කළා.
මේ කතාව මං ඉපදෙන්න ඉස්සර එකක්. මට අපේ මව් තුමී තමයි කිව්වේ. ඔන්න එක දවසක් උදේ නැගිටලා බලනකොට ඉස්තෝප්පුවේ තිබුණ ඇඳ නෑලු. මුත්තණ්ඩිට යකා වැහිලා. කවුරුවත් එහෙම හොරකමක් මේ සම්ම ජාතියෙදි කරල නෑලු.
"කවුද මට මේ නොසන්ඩාල වැඩේ කොරපු එකා. මං ඕක ඉතුරු කරන්නේ නෑ" මුත්තණ්ඩි ගිගිරුවලු.
මුත්තණ්ඩි හනි හනිකට මූණ එහෙම හෝදගෙන කෝට් බෑය එහෙම දාගෙන එළියට බැහැලා යන්න ගිහින්. අත්තම්මයි අම්මලයි මාමලයි තබ්බීරි වෙලා ඉන්නවලු.
පැය දෙකකට විතර පස්සේ ඇඳක් කරේ තියා ගත්ත එකෙක් ඉස්සර කරගෙන මුත්තණ්ඩි එනවලු. අර මිනිහ දෙකට නැවීගෙන එනවලු.
ඇවිත් කරේ තිබුණ ඇඳ පිළේ නිසි තැන තියල
"අනේ අප්පුහාමි මට ගහන්න නම් එපා!" කියලා වැඳ වැටිලා.
ඔන්න ඔහොමයි හොරාටම කියල හොරකම් කරපු ඇඳ ආපහු ගෙදරට ගෙනත් තියෙන්නේ.
"හාමිනේ ඔන්න ඕක බඩගින්නේ ඉන්නෙ. හීල්බත් ටිකක් දීල ඒක කාල යන්න කියන්න." කියල හොරාට සලකල තියෙනවා. ඒකා අහල ගමක මිනිහෙක්ලු.
පින්තූරය අන්තර්ජාලයෙන්. මුල් හිමිකරුට තුති!

Friday, February 10, 2023

නොස්ටැල්ජික් කතා 2 - මුත්තණ්ඩිගෙ බැංකුව

 




නොස්ටැල්ජික් කතා 2 - මුත්තණ්ඩිගෙ බැංකුව

අත්තම්මට දෑවැද්දට හම්බ වෙච්ච කළුවර ලීයෙන් කැටයම් දාපු තනි කොස් අල්මාරියෙ වරුණෙ කිව්වේ අත්තම්ම විතරක් නෙවේ, අම්මත් නිතර කිව්ව. ඒකෙ වටින බඩු දාන්න හොර ලාච්චුවක් එහෙම තියෙනව කියල හරි උජාරුවට කියනව. හැබැයි හොරුන්ට ගන්න බැරිවෙච්ච බඩු අස්සෙ මීයෙක් කූඩු හදල. ලාච්චුව කපන් තමයි ඌ ඇතුල් වෙලා තියෙන්නේ. ඒ වටින කියන අල්මාරිය අම්මට දෑවැද්දට දුන්නලු. ඒක තිබුණෙ තාත්තලගෙ ගෙදර.
තාත්තගෙ ගෙදර කියන්නේ මගෙ ගෙදර නෙවේද කියල ඔයගොල්ලෝ හිතයි. මට ඉතින් ගෙවල් දෙකයි උනාට උපන් දා ඉඳන් වැඩි හරිය හිටියෙ අම්මගෙ ගෙදරනෙ. උපන්දා සිට සරසවි යනකං පදිංචිය ඇහුවොත් ඒ අම්මගෙ ගෙදර. අත්තම්ම අම්මගෙ අම්ම. මුත්තණ්ඩි අම්මගෙ තාත්ත. ඉතින් ආල්මාරීයෙ කතාවට එමු.
ඉතින් ඊට පස්සේ ඉඳන් කාලයක් යනකම් අපේ ගෙදර අල්මාරියක් තිබුණෙ නෑ. පස්සෙ කාලෙකදි මාම අල්මාරියක් ගෙනාව බව ඇත්ත. නමුත් මුත්තණ්ඩි ගෙ වටින කියන දේවල් තිබුණෙ සයිඩ්බෝඩ් කියල කියපු ලස්සන පොඩි කබඩ් එකක. අත්තම්මාගෙ ඇඳුම් වගෙ දේවල් තිබුණෙ පෙට්ටගමක. ඒකත් බොහොම ගරු ගාම්භීර එකක්. තව අත්තම්මට තිබුණ ලිපි ලේඛන, මුදල් එහෙම දාන්න පොඩ් ලී පෙට්ටියක්. ඒකට කියන්නේ ගබෙත්තුව. ඒ ගැන පස්සෙ දවසක කියන්නම්.
අර සයිඩ්බෝඩ් එක ළඟ බිම වාඩිවෙලා රෑට රෑට මුත්තණ්ඩි මොනව හරි බොහොම පරිස්සමෙන් කරනව මං දැක්ක කීප දවසක්. අපි එබුණොත් හනික වහ ගන්නව.
"මොනවද මුත්තණ්ඩියෙ ඔය කරන්නේ?"
"පොඩි ළමයින්ට ඒව ඕන නෑ." මුත්තණ්ඩි ටිකක් සැර වෙනව. හැබැයි පොට වරද්ද ගන්නව. පොඩි ළමයින්ට ඕන නැති ඒ දේ ගැන මගෙ අර වටින කියන මොළයට මහ කුතුහලයක් එනව.
කවුරුවත් නැති වෙලාවක් බලල මං සයිඩ්බෝඩ් එක ඇරල අවුස්සල බැලුවා. මේ තියෙන්නේ මුත්තණ්ඩිගෙ බෑංකුව. රුපියලේ, සත පනහේ, විසිපහේ කාසි, රුපියල් දහයෙ විස්සෙ කොළ හිස් බිස්කට් ටින් එකක. . ඒ දවස්වල ඒව හරි වටිනවනෙ. අද රුපීයල බ... ලු වටින්නෑ උනාට. මං ඒක එහෙමම වහල ආයෙ තියල සේරම අස්කරල තිබුණ විදියට තිබ්බා.
ඒ බැංකුවෙන් ඉඳහිට රුපියලක් දෙකක් හර වෙන්න ඇති. ඒක මුත්තණ්ඩි දන්නෙ නෑ මයෙ හිතේ. මොකද බැංකු පොතක් තිබුණෙ නෑ නෙ හර බැර සටහන් කරන්න. හොරු අල්ලන්න සීසී ටීවීත් නෑනෙ ඒ දවස්වල. හර උන කාසිවල හැඩරුව කවුරුවත් දන්නෙ නෑ මෙයාලා. අපේ ඉස්කෝලෙ ඉස්සරහට දවල්ට ඉස්කෝලෙ ඇරෙන වෙලාවට එන අයිස්ක්රීම් මාමා විතරක් දන්නවා.
ඉතින් මෙයාලා මං අත්තම්ම එක්ක හැම පෝයටම සිල් ගන්න පන්සල් ගියා ඒ දවස්වල . දෙවෙනි සිල්පදෙත් නිතර කිව්වා. මුත්තණ්ඩි නම් ඉඳහිට තමයි සිල් ගත්තෙ. එදාට මට මුත්තණ්ඩි පෙනුණෙ අර සිල්ගත්ත ගමරාල වගෙ. හැබැයි උන්දැ හොඳ බෞද්ධයා.
පින්තුරවල තියෙන්නේ ඒ සයිඩ්බෝඩ් එකයි අත්තම්මගේ පෙට්ටගමයි. ඒවා තාම මල්ලි ළඟ සුරක්ෂිතව තියෙනවා

Monday, February 6, 2023

නොස්ටැල්ජික් කතා 1 - අත්තම්මට එලොව පොල් පෙනීම







 








නොස්ටැල්ජික් කතා 1 - අත්තම්මට එලොව පොල් පෙනීම

වත්තේ තිබුණෙ වැඩිපුරම පොල්ගස්. පොල් හා පොල් අතු අත්තම්මගෙ ප්රධාන ආදායම් මාර්ගයක්. පොල් කැඩුවහම මඩුවේ ගොඩ ගහනවා. හැන්ඩි මාම සැරින් සැරේ ඇවිත් පොල් ඔයල දෙනවා. තොග පිටින් විකුණන්නෙ කලාතුරකින්. සිල්ලරට තමයි ආත්තම්මා පොල් විකුණන්නෙ.
නවම් මාසෙට පොල් පලදාව අඩුයිලු. පොල් අතු නවයක් ගහකින් වැටෙනවලු. අත්තම්මාගෙ කතා තමයි. මං ගණන් කරල නම් නෑ. ඔන්න ඔය පොල් අඩු කාලෙ දවසක්
මැගී නැන්දා ආව පොල් ගෙනියන්න.
"හාමිනේ පොල් ගෙඩියක් ගන්න ආවෙ. පොල් සම්බෝලයක් වත් හදල පොඩිවුන්ට රෑට කන්න දෙන්න කියල."
"අනේ මැගියො පොල් අපට කන්න වත් නෑ මේ දවස්වල" අත්තම්ම කිව්වා
මට හොඳ මතකයක් තිබුණ ඒ දවස් වල. දැන්නම් ශීතකරණය අරිනවා. ගන්න හිතපු දේ මතක නෑ. ඉතින් එදා මං දිව්වා ගබඩා කාමරේට. පොල්ගෙඩි තුනක්ම මේසෙ යට. ගත්තා එකක්.
"මේ තියෙන්නේ අත්තම්මේ පොල්"
අත්තම්ම ගොලු වෙලා. හ්ම් නෑ.
"ගන්න මැගි නැන්දෙ ගන්න. තව ගෙඩි දෙකක්ම තියෙනවා අපට"
මං කලින් දවසෙ හැන්දෑවේ මුසාවාදා වේරමනී කිව්වේ අත්තම්මා එක්කමනෙ. අත්තම්මට ඒක අමතක වෙලා වගේ. හැන්දෑවට මතක් කරන්න හිතුවා මම.
Image from Unsplash free images

Tuesday, January 31, 2023

අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද? Homo sapiens කතාව 5 (අවසාන කොටස )

 අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද?

Homo sapiens කතාව 5 (අවසාන කොටස )








Homo ගණයේ විශේෂත්වයන් ගණනාවකි.
1. සාපේක්ෂව විශාල කපාල ධාරිතාව (මොළයේ විශාලත්වය)
2. ඍජු කාය විලාශයට හා දෙපාවත් බවට ගැලපෙන ගාත්රා සැකසුම
3. බල හා සියුම් ග්රහණයට (මහපටැඟිල්ල, දබරැඟිල්ල හා මදැඟිල්ල මගින් කරන ඉඳිකටුවක් ඇහිඳීම /පෑන අල්ලා ලිවීම වැනි සියුම් දේ කිරීම) උපකාරී වන ආකාරයට මහපටැඟිල්ලේ පිළිමල් බව
4. ප්රශස්ත ලෙස උපකරණ සෑදීමේ හැකියාව
Homo ගණයේ විශේෂ රාශියක් පොසිලවල වෙනස් කම් අනුව නම් කර ඇති අතර මෙහි මා කතා කරන්නේ එයින් වඩාත් වැදගත් කිහිපය පමණයි.
දැනට වසර මිලියන 2.4කට පෙර ජීවත්වූ අප අයත් ගණයේ ආදිතමයින්ගේ පොසිල නැගෙනහිර අප්රිකාවෙන් හමු වුණා. මේවායේ මොළයේ හා දේහ ප්රමාණයේ විශාලත්වය ඔස්ට්රලොපිතකස් ට සමාන වුණා. නමුත් ආහාර විලාසිතාවේ වෙනසක් කියා පාමින් චාර්වක දත් වෙනස් වී තිබුණා. අඩු වශයෙන් වසර මිලියන 1.8කට පෙර හෝමෝ ගනයේ සාමාජිකයින් සත්ව සිරුරු කපා ගැනීමට ආදී කාලින ගල් ආයුධ භාවිත කර තම ශාක ද්රව්ය මුල්වූ ආහාරයට ශක්තිජනක මස් හා ඇටමිදුළු එකතු කරගෙන තිබෙනවා.
ආදිතම හෝමෝ විශේෂය Homo habilis ජීවත් වී ඇත්තේ මීට වසර මිලියන 2.3 ත් 1.4ත් අතර. මොවුන්ගේ පොසිල සමග එම ආයුධ හා කැපූ කෙටූ අස්ථි කොටස හමුවී තිබෙනවා. වඩාත් ප්රභල හා ව්යාප්ත වූ විශේෂය Homo erectus . අප්රිකාව හා යුරේසියාව පුරා මීට වසර මිලියන 1.9ත් වසර 100,000ත් අතර ජීවත්ව සිට තිබෙනවා. බාගවිට පසු කලෙක, ගස් වලට නැගීම සඳහා ඔස්ට්රලොපිතකස් ට තිබු අනුවර්තන මොවුන්ගෙන් ගිලිහි ගොස් තිබෙනවා. Homo erectus පාරිසරිකව නම්යශීලි වුණා. එමෙන්ම H.erectus ට තිබූ බුද්ධිමය හැකියාව ඔවුන්ගේ විවිධ පරිසරවල ජීවත් වීමට, ව්යාප්තියට හා පැවත්මට දායක වෙන්න ඇති. පසුව හමුවූ ආසියාතික පොසිල වලට අනුව H.erectus ගේ කපාල ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1250කට වඩා වැඩියි.
මීට වසර 700 දහසකට පෙර මුල් Homo erectus ගෙන් අපසරණය වී H. heidelbergensis පරිණාමය වී තිබේ. මොවුන් දේහ පරිමාණයන්, දත් වල අනුවර්තන හා බුද්ධිමය හැකියාව අතින් බොහෝ දුරට අපට සාමාන වුණා. වඩා දියුණු ආකාරයේ ආයුධ නිපදවීමට හැකි සක්රිය දඩයක්කරුවන් වූ මොව්හු අඩු වශයෙන් මීට වසර 400 දහසකට පෙර ගින්දර පාලනය කිරීමේ හැකියාව දැරුවා.
DNA විශ්ලේෂණය මානව පරිණාමය අවබෝධ කර ගැනීමට දෙන ආලෝකය සුළුපටු නැහැ. ආදී මානව නෑදෑයකුගේ පැරණිතම DNA සොයාගෙන ඇත්තේ ස්පාඤ්ඤ යේ අටපුවර්කා කඳු වැටියේ ගුහාවක පත්ලේ "Pit of Bones” ලෙස හඳුන්වන තැනින්. මෙහි තිබු පුද්ගලයන් 28 දෙනෙකුට අයත් දත් හා අස්ථි වලින් එකතුකර ගත් ජාන සමුහයේ (genome ) මීට වසර කට පෙර සිටි ආදිතම නියැන්ඩතාල් වරුන්ගේ ගේ බව අනාවරණය වුණා. ඒ අපේ වඩාත් සමීපතම නෑදෑයන්. මේ ජාන නූතන මිනිස් ජාන සමග සැසදීමේදී අනාවරණය වන්නේ පොදු පුර්වජයා මීට වසර 550.00ක් හා 750,000 ක් අතර පැවත ඇති බවයි. ඔහු Homo heidelbergensis වීමට ඉඩ තිබෙනවා. මෙයින් ඇතිවූ පවුල් ගසේ අප්රිකානු ශාඛාවේ Homo sapiens ද යුරෝපීය ශාඛාවේ Homo neanderthalensis හා Denisovans නම් අද්භූත මානවයාද ඇති වී තිබෙනවා.ශක්තිමත් දේහයෙන්, සංකීර්ණ චර්යාවන්ගෙන් හා අපගේ ප්රමාණයට සමාන කපාල ධාරිතාවෙන් යුත් නියැන්ඩතාල් මානවයා මීට වසර 250ස් දහසකට පෙර Homo heidelbergensis ගෙන් වෙන්වී යුරෝපයේ ඇති වීය යන බවට සාධක තිබෙනවා.
Homo sapiens එනම් නුතන මානවයා මීට වසර 200දහසකට පෙර අප්රිකාවේ දී H. heidelbergensis ගෙන් ගෙන් අපසරණය වී පරිණාමය වන්නට ඇති . ඝන සෙන්ටිමීටර් 1400 ක කපාල ධාරිතාව, සංකීර්ණ චර්යා රටා, උපකරණ නිර්මාණය, දඩයම් කිරීමේ දක්ෂතාවය එම විශේෂයට අප්රිකානු මහද්වීපය තුළ ව්යාප්ත වීමට මග පෑදුවා. වසර 100 දහසකට පෙර අප විශේෂය යුරේසියාවටත් ,ඔස්ට්රේලියාව හා ඇමරිකාවටත් වශයෙන් ලෝකය පුරා පැතිර ගියා. විශේෂය යන්නේ නූතන අර්ථ දැක්වීමට පටහැනිව Homo sapiens හා Homo nianderthalensis අතර සංසර්ගය පවා සිදු වී ඇති බවට පොසිල වලින් ලැබුණු DNA සාක්ෂි දරනවා.
අපගේ සමීප නෑදෑයෙකු වූ Denisovans අපට ඉතිරි කර තබා ඇත්තේ සීමිත ශරීර කොටස් ටිකක් පමණක් බව කියවෙයි. මතභේදයට තුඩුදී ඇති නමුත් පැපුවා නිව් ගිනීයා හි මානව ගෙනෝමය ගැන නූතන අධ්යයන වලින් හෙළිදරව් වී ඇත්තේ මීට වසර 15,000කට පෙර නූතන මානවයන් Denisovans සමග ජීවත් වූවා පමණක් නොව අන්තර් අභිජනනය ද සිදුව ඇති බවයි. දැනට ජීවත් වන ආසියාතිකයින් ගේ ගෙනොමයේ 3% - 5% අතර ප්රමාණයක් Denisovans ගේ ජාන තිබේ.
ඉතින් අපේ සමීප Homo ආදිතමයන් ජාන පරම්පරාවක් අපට ලබාදී පොසිල වශයෙන් පමණක් සලකුණු ඉතිරි කර මෙලොවින් සමුගෙන තිබීම ඇත්තෙන්ම කණගාටුවට කරුණක් නොවන් නේද? අපි Homo sapiens තවමත් ජීවත් වෙමින් සිටිමු. පරිණාමීය කාල රේඛාවේ අප ඇතිවී ගතවී ඇත්තේ අසුරුසැනක් පමණයි . සියල්ල වෙනස් වීම තුළ අපටත් අවසානයක් තිබෙන්නට පුළුවන.
රූප සටහන් අන්තර්ජාලයෙන්

Saturday, January 28, 2023

අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද? Homo sapiens කතාව 4


 අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද?

Homo sapiens කතාව 4



මානව පවුල් මූලය පසු මයෝසීන කාලවකවානුව දක්වා එනම් මීට වසර මිලියන11.3-5.3 දක්වා දිවෙනවා. මේ ගැන දිගින් දිගට විස්තර කරන්න අමාරුයි මේ වගේ පෝස්ට් එකක. සාමාන්ය කෙනෙකුට කියවල තේරුම් ගන්න පුළුවන් තරමට සරලවයි මෙතැන් සිට කියන්නේ.
මයෝසීන යුගයේ පෘථිවියේ දේශ ගුණික වෙනස් කම් රැසක් වෙලා තියෙනවා. සමකයෙන් උතුරේ අධික ශීත තත්වයක් හටගෙන තියෙනවා. වසර මිලියන15.7කට පෙර හොමිනිඩේ ගෝත්රයෙන් කාණ්ඩ දෙකක් බෙදී ඔරන්උටන් පොන්ජිනේ කාණ්ඩයටත් අනිකුත් සතුන් හොමිනේ වලටත් වෙන් වෙනවා. හොමිනේ වලින් වසර මිලියන8.8කට පෙර හොමිනි හා ගොරිලිනි වෙන්වෙනවා. වසර මිලියන හතරකට පෙර පැනිනි නම් කණ්ඩයක් ලෙස චිම්පන්සින් වෙන්වෙනවා.
හොමිනිඩ්ස් නැත්නම් මහා වානරයන් ගැන පසුගිය පොස්ට් එකේ කතා කළා. පොසිල සාක්ෂි මෙන්ම මානව හා චිම්පන්සින්ගේDNA අධ්යයන අනුව මේ දෙවර්ගය මීට වසර මිලියන හයකට පෙර පොදු හොමිනොයිඩ් පුර්වජයෙකුගෙන් පැවත එන බව මනාව පෙන්නුම් කරනවා. චිම්පන්සි වෙන්ව ගිය පසු ඒ පරිණාමීය ශාඛාවේ ඇතිවූ අය හොමිනින් ලෙස හඳුන්වනවා. එයින් ඇතිවන විශේෂ චිම්පන්සින්ට වඩා නුතන මිනිසාට සමාන කම් දක්වනවා.
එම පරිණාමීය ශාඛාවේ ඇතිවූ සතුන් අතර ඔරොරින්, ඔස්ට්රලොපිතකස්, පරන්ත්රෝපස් හා හෝමෝ ඉන්නව.
Australopithecus විශේෂ ගණනාවක් ජීවත්වී තිබෙන අතර ඒ මීට වසර මිලියන4.4 සිට1.4 දක්වා ප්ලයෝසීන හා ප්ලයිටෝසීන කාල වකවානුවල. වසර මිලියන3.2කට පෙර ඉතියෝපියාවේ ජීවත් වූ බවට අනාවරණය වූ සුප්රසිද්ධ ලුසී ගැන ඔබ අසා ඇති බවට සැකයක් නැහැ. ඒ ඔස්ට්රලොපිතකස් මානවිකාවක්. ඔස්ට්රලොපිතකස්ට මානව හා මහා වානර ලක්ෂණ පිහිටලා තිබෙනවා. දෙපාවත් බව මානව ලක්ෂණයක් වන අතර මොළය සාපේක්ෂව කුඩා වීම වානර ලක්ෂණයක්. රදනක දත් වන්රය්න්ගේ ඒවාට වඩා කුඩායි. චාර්වක දත් නුතන මානවයන්ගේ ඒවාට වැඩ විශාලයි.
Australopithecus anamensis පැරණිම එනම් මුලින්ම ඇතිවූ විශේෂය වන අතරAustralopithecus robustus මෑතම ඇතිවූ විශේෂය ලෙස හඳුනාගෙන තිබෙනවා. Australopithecus හා Homo අතර යම් සමානකම් තිබෙන නමුත්Homo ඔස්ට්රලොපිතකස් පුර්වජ අවධියකින් වෙනම පරිණාමය වී ඇති බවයි පෙනෙන්නේ. Homoවිශේෂ ගණනාවක් ජීවත්වූ බවට සාධක තියෙනවා.
ඒ ගැන මීළඟට බලමු.
රූපය අන්තර්ජාලයෙන්

Saturday, January 21, 2023

අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද? Homo sapiens කතාව 3

 

අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද?

Homo sapiens කතාව 3















ඇන්ත්රොපොයිඩ් සතුන් පරිණාමය වී තිබෙන්නේ මීට වසර මිලියන 50 කට පෙර ඔලිගොසීන වකවානුවේ දීයි. ඒ ප්රොසිමියන් සතුන්ගේ මාර්ගයෙන් වෙන්ව වෙනම මාර්ගයක.
ඇන්ත්රොපොයිඩ් සතුන් ගැන බලමු.
වඳුරන් එක සත්ව කොටසක්. වඳුරන් කොටස් දෙකකට බෙදෙනවා.
1.පැරණි ලෝක වඳුරන්
කැටරිනී (Catarrhini) නමින් හඳුන්වනු ලබන අතර අප්රිකාවේ හා ආසියාවේ ජීවත්වන වඳුරන් . පටු නාසයකින් යුක්තයි..
2.නව ලෝක වඳුරන්
ප්ලැටිරිනි (Platyrrhini) ලෙස හඳුන්වනු ලබන මොවුන් දකුණු ඇමරිකාවේයි ජීවත්වන්නේ. පළල් නාසයකින් යුක්තයි.
ප්ලැටිරිනි ඇතිවීමත් සමග අප්රිකාව හා දකුණු ඇමරිකාව මහාද්වීපික ප්ලාවිතය මගින් ඈත්වී තිබෙනවා. ඒ අනුව වඳුරන් පැරණි ලෝකයේ ඇතිවී නව ලෝකයට ආවා යයි සිතනවා. ඒ ගොඩබිම් තීරු ඔස්සේ හා ලී කොට මත පාවී.
අනික් ඇන්තත්රොපොයිඩ් සතුන් නම් වානරයන්. මීට වසර මිලියන 25කට පෙර සීනොසොයික කාල වකවානුවේ පැරණි ලෝක වඳුරන් වෙනම පරිණාමීය මාර්ගයකට අවතීර්ණ වෙද්දී එයින් වෙන්වූ මාර්ගයක වානරයන් පරිණාමය වෙනවා.
වානරයන් වඳුරන්ට වඩා විශාලයි. බොහෝ වානරයන්ට ගස් උඩ එහා මෙහා යාමට හැකි වුවත් වැඩිපුර බිම ජීවත් වෙනවා. ඔවුන් වඳුරන්ට වඩා බුද්ධිමත්. දේහ විශාලත්වයට සාපේක්ෂව මොළය ලොකූයි.
වානරයන් කොටස් දෙකකට බෙදනවා.
1.කුඩා වානරයන් (Lesser Apes) -
ගිබන් වර්ග
2. මහා වානරයන් (Great Apes) -
චිම්පන්සින් (Pan ගණය), ගොරිල්ලා (Gorilla ගණය) , ඔරන්උටන් (Pongo ගණය) හා මානවයා (Homo ගණය)
දැන් පළමු පෝස්ට් එකේ මානව වර්ගීකරණය අනුව ඔහු අයත්වන කුලය (Family) හොමිනිඩේ (Homonidae) බව මතක් කර ගන්න.
මේ කුලයට Homo ගණය හැර Pan, Pongo හා Gorilla ගණයද අයත් වෙනවා.
දැන් ඔබට පේනවා අපි පැවත එන්නේ අද අපට දකින්නට ලැබෙන කිසිම වඳුරෙක්ගෙන් හෝ වානරයෙක් ගෙන් නොවන බව. අප සියල්ලන්ම එකම පූර්වජයෙකුගෙන් පැවත ඒම පමණක් බව.
Homo ගණය ගැන ඊළඟට බලමු.
රූපය අන්තර්ජාලයෙන්

Thursday, January 19, 2023

අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද? Homo sapiens කතාව 2

 









අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද?

Homo sapiens කතාව 2

පහුගිය පෝස්ට් එකේ අපි නූතන මිනිසාගේ වර්ගීකරණය ගැන බොහොම කෙටියෙන් කතා කර ගෙන ආව. නැවතුනේ මිනිසාගේ ගෝත්රය වන ප්රයිමේටා ගෝත්රයෙන්.
අද තව ටිකක් ප්රයිමේටා සතුන් ගැන විස්තර බලමු.
මුල්ම ප්රයිමේටාවන් වැනි ක්ෂීරපායීන් එනම් ප්රාග් ප්රයිමේටා සතුන් ලේනුන්, හා ට්රී ශ්රෑස් (tree shrews) වගේ බව පොසිල සාක්ෂි අනුව පේනවා. මේ පොසිල වලින් වඩාත් පැරණි එක ප්ලෙසියාඩපිස් (Plesiadapis) . අවුරුදු මිලියන 55ක් පැරණියි.
මුල්ම සත්ය ප්රයිමේටාවන් හමු වන්නේ ඉයෝසීන කාල වකවානුවේ (Eocine epoch) උතුරු ඇමරිකාවේ, යුරෝපයේ, ආසියාවේ හා ආප්රිකාවේ. මොවුන් අද සිටින ලීමා වගේ
ප්රයිමේටාවන් රුක්වාසී බව කලින් පෝස්ට් එකේ කිව්වා. මේ සඳහා ඔවුන්ගේ පාද හා අත් අනුවර්තනය වී සකස්වී තියෙනවා.
ඒවා නම්
1.උරහිස් සන්ධියේ විශාල චලන පරාසය ගස්වලට නැගීමට රුකුලක්
2.මහපටැඟිල්ල අනික් ඇඟිලිවල වඩා විශාල වීම මෙන්ම එය අනික් ඇඟිලි වලින් ඈත්ව පිහිටීම (පිළිමල් මහපටැඟිල්ල) ගස්වල අතු හොඳින් ග්රහණය කර ගැනීමට ඉඩ සලසනවා
3. ත්රීමානේක්ෂක දෘෂ්ටිය - එනම් ඇස් දෙකේ දෘෂ්ටි පථ එකිනෙක මත අතිපිහිත වීම නිසා දුර හා ගැඹුර පිළිබඳ හොඳින් ග්රහණය කර ගැනීමට හැකි වෙනවා
මේ රුක්වැසි ජීවන රටාවට ඇති අනුවර්තන ඇරුනහම ප්රයිමේටාවන් ගේ මොළයේ විශේෂත්වය වැදගත් දෙයක්. ඔවුන්ගේ මොළය සෙසු ක්ෂීරපායීන්ට වඩා වීශාලයි. බරින් වැඩියි.
ඒ හැර සෙසු ක්ෂීරපායීන්ට නඛර (claws) තියෙන අතර ප්රයිමේටාවන් ගේ නිය පැතලිවී තියෙනවා.
සාමාන්ය වශයෙන් එක වරකට එක පැටියෙකුට තමයි ගර්භනී භාවය ඇතිවෙන්නේ.
එමෙන්ම සෘජු කාය විලාශයට නැඹුරුතාව දක්වනවා. (මිනිසා සම්පූර්ණයෙන්ම සෘජු කාය විලාශය දක්වනවා)
ප්රයිමේටාවන් කාණ්ඩ දෙකකට බෙදෙනවා
1.ප්රොසිමියන් (Prosimians)
2. ඇන්ත්රොපොයිඩිස් (Anthropoids)
ප්රොසිමියන් වලට දැනට නෂ්ටව ගිය සතුන් මෙන්ම ජීවත්වන සතුන් අයත් වෙනවා. දැනට ජීවත්වන සතුන් වන්නේ මැඩගස්කරයේ ලීමා, අප්රිකාවේ බුෂ් බේබි, ගිනිකොණ දිග ආසියාවේ උනහපුලුවන් ඇතුළු සතුන්.
මේ සතුන් බල්ලන් වැනි මුහුණ සම්පූර්ණයෙන්ම ලෝම වලින් වැසුණු දිග රැවුල් ගස් සහිත, සෙලවිය හැකි විශාල කන් සහිත සතුන්. දේහ කුඩායි. මොළයද සාපේක්ෂව කුඩායි. රුක්වාසී වගේම ඇවිදීමට ගාත්රා හතරම යොදා ගන්නවා. නීශාචර හැසිරීම දක්වනවා.
ඉයෝසීන කාල වකවානුව අවසන් වන විට බොහෝ මුල් ප්රොසොමියන් විශේෂ නෂ්ටවී ගිහින්. ඒ අධික ශීතලට මුහුණ දීමට බැරිව හෝ මුල් වඳුරු වර්ග නිසා ඇතිවූ තරගයේදී පරාජය වීම නිසා .
ඇන්තත්රොපොයිඩ් කාන්ඩයට අයත්වන්නේ වඳුරන්, වානරයන් (Apes) හා මානවයන්. ඒ ගැන ඉදිරියේදී කතා කරමු. රූපයේ ප්රොසීමියන් සතුන් දැක්වෙනවා.
රූපය අන්තර්ජාලයෙන්