Wednesday, April 29, 2020

බෝනිකි ගෙවල්' - 1 බෝනිකි ගෙවල් සෙල්ලමේ පසුබිම




ඔව්, ඒක නම් ඇත්තටම හරිම සුන්දර ළමා කාලයක්. දැන් වගේ අර විභාගෙට මේ විභාගෙට කියලා ළමයින්ට පාඩම් කරන්න, උපකාරක පන්ති වලට යන්න වගේ ඒවා තිබුණෙම නැහැ. අම්මලා කතාවට කිව්වා වැඩ බැරි ළමයින්ට රෑ ඉස්කෝල තියෙනවා කියලා. ඒවාට ඒ කියන ළමයි ගියේ ලැජ්ජාවේ හැංගි හැංගී කියලා. ඒත් මේ කියන ළමයින්ට නම් ඒ පන්ති මොනවාද කියලා කිසිම තේරුමක් තිබුනේ නැහැ. පාසල් ඇරිලා ඇවිත් ඒ ගොල්ලෝ ගෙවල් අවට රබර්වතු, තේ වතු ,බඩ වැටිවල ඇවිද්දා. සෙල්ලම් කළා.

හැන්දෑ වෙනකොට ගෙදර ලොකු අය විසින් පහන් දල්වනු ලබනවා. විදුලි බලය තිබුණේ නැහැ. පෙට්‍රෝ මැක්ස් කියල ලාම්පු වර්ගයක් තිබුණා. මේවායේ භූමිතෙල් වාෂ්පයෙන් දැල්වෙන මැන්ටලයක් තියෙනවා. භුමි තෙල් දාල හුළං ගහන්න ඕන. මැන්ටල බිඳුනහම නැවත දාන්න ඕන. මේ වැඩ කරන්නේ ගෙදර වැඩිහිටියෝ. අනික් ලාම්පු වර්ග තමයි චිමිනි ලාම්පු, කුප්පි ලාම්පු ආදිය. මේවායෙන් පිටවන දැළි කොයි තරම් ද කියනවා නම් නිවැසියන්ගේ  නාසය ඇතුළේ, බාහිර කන් පෙති අස්සේ කළු පාටට බැඳී තියෙනවා, ඒ දැළි .

ඉතින් මේ ළමයි පාසල් කාලයේ නම් අඳුර වැටෙන කොට දැල්වෙන පහන් එළියෙන් පොත් පත් වල වැඩ ටික වෙලාවක් කරනවා. ඊට පස්සේ හදල තියෙන දෙයක් කාලා බීලා යන්තම් හත අට වෙනකොට නින්දට යනවා. ඒ කාලයේ ජීව රිද්මය පරිසරයට අනුගතව ක්‍රියාත්මක වුණා. අඳුරත් එක්ක නිදා ගත්තා. අරුණාලෝකයත් එක්ක අවදි වුණා. මේ ළමයින්ගේ සීයා ( ළමයි ඔහු ඇමතුවේ මුත්තන්ඩි කියල ) නම්  සීයට සීයක්ම පරිසරයේ රිද්මය අනුව ජීවත් වුණා. උදේ හතරට අවදි වෙලා ළිප ගිනි මොලවලා,  වතුර රත් කරන අතරේ ගින්දරෙන් තම සීතල දෑත රත් කර ගන්නවා. දවසේ කාර්යන් හැන්දෑවේ හත වෙන කොට නිම කරලා නින්දට යනවා. මස් ආහාරයට ගත්තේ නැතත් මුහුදු මාළු නම් නැතුවම බැහැ. මේ ජීවන රටාව නිසා වෙන්න ඇති ඔහු අවුරුදු අනු අටක්ම ලොකු ලෙඩ දුකක් නැතුව ජීවත් වුණේ. මාළු ගේන්න මේ සීයා සතියකට සැරයක් විතර නගරේ ලෙල්ලමට යනවා. නගරෙ පිහිටා තිබුණෙ දකුණු මුහුදු තීරයට යාබදව. අලුත් මාළු අහුරලා දෙන්නේ අමු පොල් අත්තකින් වියන මල්ලකට. මේකට කිව්වේ පිරිවැස්ස කියල. අද වගේ පොලිතින් අසුරන තිබුණෙ නැහැ.

නිවාඩු කාලයේ නම් මේ ළමයින්ට සෙල්ලම විතරයි. හැබැයි දෙසැම්බර් නිවාඩුවේ නම් ඊළඟ අවුරුද්දේ අච්චු පොත් ගෙනාවහම ඒවා ඉවර වෙනකම් කියවනවා. ඒ කාලේ පෙළ පොත් මිළදී ගන්න ඕන. දැන් වගේ නොමිලේ පෙළපොත්,නිළ ඇඳුම්  ලැබුණේ නැහැ.

මේ ළමයි ජීවත් වුණේ ප්‍රධාන නගරයකට ආසන්න ගමක. නගරයේ දුම්රිය යන සද්දෙත්, මූදේ රැල්ල බිඳෙන හෝ හෝ සද්දෙත් රැට පරිසරය නිහඬ වෙලාවට බිමට කන තියන් අහන් ඉන්න කොට හොඳට ඇහෙන තරම් නගරය කිට්ටුයි.  ගේ ලඟම පිටුපස කන්ද මුදුනට නැග්ගහම ඈතින් මුහුද දැක ගන්නත් පුළුවන්.

ගම්වල සමහර ධනවත් ගෙදර වල විදුලි ජනක තිබුණා. ප්‍රධාන නගරවල ගෙවල් වලට නම් විදුලි බලය තිබුණා. රුපවාහිනී, පරිගණක ගැන දන්නෙවත් නැහැ. දුරකථනයක් නම් ඉඳ හිට ගෙදරක තිබුණා. තැපැල් කන්තෝරුවේ නම් අනිවාර්යයෙන්ම දුරකථනය තිබුණා. මේ ගෙදරටත් පසු කලෙක රේඩියෝවක් ගෙනාවා. ඒක  බැටරි වලින් තමයි වැඩ කළේ. ඒකෙන් අත්තම්මයි සීයයි බණ ඇහුවා . මේ ළමයි කතන්දර, ළමා ගීත එහෙම ඇහුවා. මේ රේඩියෝවෙන් ඒරියල් කම්බියක් ගේ ළඟ පොල් ගහකට ඇදල තිබුණා . ඒකෙන් තමයි ගුවන් විදුලි සංඥා ආවේ. අහස ගොරවන කොට ඒක ගලවන්න ඕන

මේ ළමයි හතර දෙනෙක් හිටියා. සුදු නෝනා කියන ලොකු අක්කා අනිත් අයට වඩා සුදු හමක් තියෙන ළමයෙක්. දෙවෙනියා හිච්චි නෝනා. එයා ටිකක් නිහඬ චරිතයක්. අම්මාට හුඟක් කරදර කරපු තුන්වෙනි ගැහැණු ළමයාට අමුතු නමක් තිබුණෙ නැහැ. එයා වැඩිපුර හිටියෙ තාත්තලයි ගමේ . ඒ නිසා මල්ලි එයාට කිව්වේ උන්නක්කා කියලා. මොකද එයා පොඩි නිසා  අර ගමේ නම හරියට කියන්න බැහැ. පස්සේ මේක තවත් කෙටි වෙලා තමයි උන්නා වුණේ.  අන්තිමේ දී  එයාට ගමේ නමත් එක්ක ගැළපෙන  'උන්නා' කියල නම දිගටම පටබැඳුණ . පොඩ්ඩා තමයි එකම කොල්ලා. හැබැයි කෙල්ලෝ එක්කම ඉඳලා කෙල්ලෝ කරන සෙල්ලම් තමයි වැඩිපුර කලේ.

මේ කාලේ රට රටවලින් ශ්‍රී ලංකාවට භාණ්ඩ ගෙන්වීම සීමා කරලා තිබුණේ. ඒකට කියන්නේ සංවෘත ආර්ථිකය කියලා පස්සේ ලොකු උනහම මේ ළමයි දැන ගත්තා. ඉතින් දැන් වගේ සෙල්ලම් බඩු වෙළඳ පොළවල් වල තිබුණේ නැහැ. ජපන් රටේ උපත ලබා ලංකාවට එන බෝනික්කෝ හිටිය තමයි. හැබැයි ඒවා අයිති කර ගන්න ටිකක් අත මිට සරු දෙමව්පියන් ඉන්න ඕන. මේ කියන ළමයි ඒ බෝනික්කන් ගැන හීන මැව්වා තමයි. හැබැයි ඒ හීන හැබෑ වුණේ නැහැ.  ඉඳ හිට ප්ලාස්ටික් බෝනික්කෙක් දෙන්නෙක්   තාත්තා අරන් දුන්න. ඒවා  අත පය හොලවන්නේ නැති, ඇසිපිය ගහන්නේ නැති දර කොටයක් වගේ බෝනික්කෝ.  පොල් පිති හරක්, කොළපතේ තියල ඇදන් යන ඒවා වගේ සෙල්ලම් තමයි මේ කාලේ ළමයින්ට කරන්න තිබුණේ.

මේ කියන ළමයි හතර දෙනාගෙ සෙල්ලම් වෙනස් ස්වරුපයක් ගත්තා. ඒවාට නමක් ඔබට කියන්න ඕන නම් 'බෝනිකි ගෙවල් සෙල්ලම' කියල කියන්න පුළුවන්. නිවාඩුව පටන් ගන්නවත් එක්ක මේ ළමයින්ගේ බෝනිකි ගෙවල් සෙල්ලම පටන් ගන්නවා . හැම කළු වළාකුලකම රිදී රේඛාවක් තියෙනවා වගේ ජපන් බෝනික්කන් ගැන මේ ළමයින්ගේ ඉටු නොවුණු හීන අලුත් ලෝකයකට,අලුත් මානයකට  ඔවුන් ගෙන ගියා. ඒ තමයි එකල අහන්න වත් නොතිබුණු මේ බෝනික්කන් නිර්මාණය කිරීමේ කලාවේ ආරම්භය. . අන්න ඒ සුන්දර කතාන්දරය තමයි 'බෝනිකි ගෙවල් '.

මේ හතර දෙනාට අයිති බෝනිකි පවුල් හතරක් තිබුණා. මේ බෝනික්කන්ගේ නිර්මාතෘ කවුද කියලා තාම කියන්න බැරි වුනානේ . ඒ තමයි මේ හතර දෙනාගෙන් ලොකු අක්කා. . එයා රෙදිවලින් බෝනික්කන්ගේ ඔළුව ,අත් පා හා ඇඟ කොටස් වෙනම මහල ඒවාට පුළුන් පුරවල එකට සම්බන්ධ කරලා බෝනික්කෝ හැදුවා. ඇස්,කට නහය ගැලපෙන නූල් වලින් මැහුවා. කොණ්ඩයට කළු නූල් යෙදුවා. දැන් නම් මේ වගේ රෙදි බෝනික්කෝ ඕන තරම් සාප්පුවල තියෙනවා නේ කියල ඔබ හිතාවි. ඒත් ඒ කලේ කාලෙ එහෙම නෑ.

මේ දරුවන්ගේ නිර්මාණ වුණු බෝනිකි පවුල් වල අම්මා, තාත්තා හා ළමයි ඉන්නවා. ඒ ගොල්ලන්ට ගැලපෙන ඇඳුම් විවිධ වර්ණ රෙදි වලින් මැහුවා. සමහර අම්මගේ වටින කියන රෙදි කපල බැනුම් ඇහුවා. ඒ වුනාට ළමයින්ගේ වැඩේ නවත්තන්න නම් කාටවත් බැරි වුණා.

ඉතින් මේ පවුල් ජීවත් වුණු ගෙවල් ගැනත් අහන්න ඔබ ආසා වේවි. මේ ගෙවල් සමහර කාලවලට කාඩ්  බෝඩ් වලින් පොඩියට හැදුවා. පුංචි බංකු , ලෑලි වගේ දේවල් හේත්තු කරලත් හැදුවා. ඒවායේ ඉස්තෝපුව , සාලය, කෑම කාමරය, නිදන කාමර හා කුස්සිය අනිවාර්යයෙන්ම තියෙනවා. ඇඳන් පුටු විවිධ දේවලින් හැදුවා. පුටු සෙටි රෙදි වලින් මහලා පුළුන් පුරවලා හැදුවා. අවශ්‍ය සියළුම ගෘහ භාණ්ඩ විවිධ ක්‍රම වලින් හැදුවා.

                                                   බෝනිකි ගෙදර සෝෆා සෙට් එකක් 

සමහර කාලවලට මිදුලේ මැටියෙන් මේ සියළු අංගෝපාංග සහිත ගෙවල් හැදුවා. වැහි කාල වලත් මේ ගෙවල් වල බෝනිකි පවුල් ජීවත් වුණා.

මේ බෝනිකි පවුල් වලට තමන්ටම අයත් වාහනය බැගින්  ද තිබුණා. ඒ වාහන තමයි මාමලා පාවිච්චි කර අවසන් වූ පරණ සපත්තු.

බෝනිකි පවුල් වල ජීවිතය ගතවන හැටි අක්කලා සහ මල්ලි විසින් තමයි සැලසුම් කළේ. මල්ලි ට ස්වාධීන තීරණ ගන්න අවස්ථාවක් ආවේ නැහැ. එකක් එයා පොඩි නිසා ඒවා ඒ තරම් තේරුණේ නෑ. අනික අක්කලට ඕන විදියට තමයි හැම දෙයක් ම කෙරුණේ. පවුලේ සාමාජිකයන්ට නම් දීලයි තිබුණේ. බෝනිකි පවුල් හතරේ විස්තර ඊ ලඟට .......


No comments:

Post a Comment