Saturday, December 30, 2023

ලොව වයස්ගතම කිකිළිය මිය ගියාය

 ලොව වයස්ගතම කිකිළිය මිය ගියාය




පීනට් නමින් හැඳින්වුණු ලොව වයස්ගතම කිකිළිය වයස අවුරුදු 21ක් ආයු වළඳා නත්තල් දින උදෑසන මිචිගන් හිදී මිය ගියා. ඈ වයස්ගතම කිකිළිය බවට ගිනස් වාර්තාව හිමිකරගෙන සිටියා.
පීනට් උපත ලබා තියෙන්නේ 2002 වසරේ දී. ඇගේ හිමිකාරිය වූයේ මාසි ඩාවින් නම් කාන්තාවයි. ඇයට අතහැර දමා තිබුණු බිත්තරයකින් සිහින් කිචි බිචියක් ඇහිලා තියෙනවා. බලද්දී එළියට ඒමට අපහසුවෙන් සිටි පුංචි කිකිළි පැටියෙක් ඇගේ උදවුවෙන් බිහිවෙලා තියෙනවා. මාසි කිකිළි පැටියාට පීනට් කියන නම තියලා හදාවඩා ගෙන තිබෙනවා.
පීනට් නින්දේදීම හෘදයාබාධයකින් මියගොස් තිබුණේ ඇගේ ප්රියතම ළගින තැනක් වන. මාසිගේ ගේ පපුව මත බව සඳහන් වෙනවා.
තොරතුරු අන්තර්ජාලයෙන්. පින්තූරය Unsplash free images වලින්.

Friday, December 22, 2023

නත්තල රතූ හා කොළ පාට වුණේ ඇයි?

 නත්තල රතූ හා කොළ පාට වුණේ ඇයි?












මං උදේම Facebook ආවහම කරන්නේ notification බලන එක. මගේ සහෘදයෝ ලියලා තියෙන කොමෙන්ටු කියවන්න මං ආසයි. ඒවා ඉමොජි නොවී වචන විදියට තියෙනවට ගොඩක් ආසයි. ඒ වගේම මං ඔබ අහන ප්රශ්නවලට උත්තර දෙනවා පුළුවන් විදියට.
අද මගේ මිතුරියක් වන මාලනී අබේවික්‍රම අහලා තියෙනවා හොඳ ප්රශ්නයක් මගේ Holly berry පින්තූරය යට. ඒ තමයි ක්රිස්මස් රතු පාට වෙන්නේ ඒ ගෙඩි නිසාද කියලා. ඇත්තටම ක්රිස්මස් රතු හා කොළ වර්ණ වලින් නියෝජනය වෙනවා. ඒ ඇයි? රතු කියන්නේ රුධිරයේ වර්ණය. ජීසස් කුරුසියේ වද විඳින වෙලාවේ හැලුණු රුධිරය. මිනිසුන්ගේ පාපය වෙනුවෙන් ඔහු හෙලූ රුධිරය තමයි රතු වලින් නිරූපණය වෙන්නේ.
කුමක් ද මේ මිනිසූන්ගේ පාපය? මගේ අදහස මිනිසුන් බරබ්බස් හො.. රා තෝරා ගැනීම. (අද ලංකාවේ මිනිස්සුත් හො.. රු තෝරගෙන නේ ඉන්නේ. ඒ වෙනුවෙන් කොච්චර දෙනා රුධිරය හෙළලා තියෙනවද? තාම පවු ගෙවිලා ඉවර නෑ.)
ඉතින් ක්රිස්මස් වල කොළ කියන්නේ (eternal) සදාකාලික බවේ වර්ණය. ඒක සදාහරිත ගහක කොළ වගේ. වසරේ හැමදාම කොළ තියෙනවා. මේ දවස් වල පතනශීලී ගස් වල කොළ හැලී ගිහින්. හැබැයි Holly සදාහරිත ශාකයක්. මේ දවස්වල ඒ ගස්වල කොළ හා ගෙඩි කැපී පේනවා. ඒ නිසා නත්තල් සැරසිලි වලට ඒ Holly අතු යොදා ගන්නවා.

Thursday, December 21, 2023

ශිශිරයේ සිතුවිලි සිත්තම්

 ශිශිරයේ සිතුවිලි සිත්තම්


















අද දෙසැම්බර් 21. උත්තරාර්ධගෝලයේ ශිශිර සෘතුව නිල වශයෙන් පටන් ගන්නවා. ඒත් ඔබ දන්නවා සමහර පැතිවල කලින්ම හිම වැටිලා. හැමතැනම එකවගේ නෙවේ. විවිධයි. වර්ෂනය කියන්නේ හිම හෝ වැස්ස විදියට අහසේ එකතුවුණ වතුර කන්දරාව ආයේ පොළොවට එන විදිය.
අද උදේ අපේ ප්රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් වලින් නම් - 0.55. ඒත් මල් තුහින විතරයි පොළොව හා වහලවල් වහගෙන තියෙන්නේ. ඉර පායගෙන එනවා. ශ්රීෂ්මයේ වගේ නෙවේ දැන් පායන ඉරට ආදරයක් තමයි හිතෙන්නෙ. මූසල අළු පාට පරිසරය හීන් රත්තරන් කෙඳිවලින් වලින් පොරවන උදේ හිරු රැස් මනස්කාන්ත දර්ශනයක් මවනවා. ඉර ටික ටික පරිසරය උණුසුම් කරලා දෙනවා. එතකොට තමයි එළියට බහින්න පුළුවන් වෙන්නේ.
උදේ කෝපි කෝප්පය නිවෙන්නට කලින් බොන්න ඕන. තාපය කියන්නේ උණුසුම් වස්තුවකින් පිටට ගලා යන දෙයක්. කෝපි එකටත් ඒ දහම පොදුයි.
පින්තූරය කලින් වතාවක හිමේ ගිය වෙලාවක්.

Saturday, December 16, 2023

මට මා හමු විය - 1

 මට මා හමු විය - 1






















හැම කෙනෙක් ඇතුළෙම තව කෙනෙක් ඉන්නවා. නමුත් හැමටම ඔහු /ඈ හමු වෙන්නේ නෑ. නැත්නම් එහෙම හමුවෙන්න උත්සාහ කරන්නේ නෑ. මං ඉදිරියට 'ඔබ' කියා අමතන්නේ අන්න ඒ අභ්යන්තර පුද්ගලයාට.
මට මතක් වෙනවා මහා විසාල නිල් අහසක් යට දවසක ඔබ මට හමු වූ විදිය. ඊට කලින් අහස එච්චර විසාලයි කියලා මට තේරුණේ නෑ. ඇත්තටම මං ජීවත් වුණේ පුංචිම පුංචි ලෝකෙක. හැම දෙයක් ගැනම හුඟක් දුරට හිතුවේ අනික් අය හිතන විදියට. අනිත් අය කියා දුන්න විදියට. පොත්පත්වල තියෙන විදියට.
ඒත් මගේ ඇතුළේ සිටි ඔබ හමු වූ දා ඉඳලා මං මගේම විදියකට හිතන්න ගන්නවා. ඒක කොයි තරම් අපූරු දෙයක්ද කියලා මට හිතෙන්නේ දැන්. වෙනස් විදියට හිතන්න ගත්තහම හිතට දැනෙන සැහැල්ලුව විස්තර කරන්න අමාරුයි. ඒ සැහැල්ලුව ඇතුළේ තරහ යන එක, වෛරය ඇතිවෙන එක, ඊර්ෂ්යාව ඇතිවෙන එක පසුතැවෙන එක වගේ ඒවා නැති වෙලා යනවා. දුක්වෙන එක අඩු වෙලා යනවා. ඒ මොහොතේ කරන්න තියෙන දේට සිත යොමු වෙනවා. කවුරුවත් කියපු නිසා නෙවේ. ඇතුළාන්තයෙන් වන වෙනසකින්. මරණය කොයි මොහොතේ ආවත් කමක් නෑ කියලා හිතෙනවා.
ලෝකය විශාල එකක් බව එදායින් පස්සේ මං තේරුම් ගන්නවා. කාගෙවත් දෙයක් විදිහට නෙවේ. මගේම විදියට. මොන මොනවා හරි නොවැදගත් දේ සඳහා තාමත් ලේ හලන නපුරු මිනිසුන්ටත් මේ දේ කවදා හරි ඔවුන්ගේ ඇතුළාන්ත පුද්ගලයා කියා දේවි කියලා මං බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවේ පැළ ඉනි වැටට පවා මරා ගන්න හදන මිනිසුන්ට ඒ බව කියා දේවි කියලා මං බලාපොරොත්තු වෙනවා. . පොඩි දේටත් තරහ ගන්නා මිනිසුන්ට ඒ බව කියලා දේවි කියලා මං බලාපොරොත්තු වෙනවා. . සහකම්පනය නැති මිනිසුන්ට ඒ බව තේරුම් කර දේවි කියලා මං බලාපොරොත්තු වෙනවා . එතෙක් මේ ලෝකය මේ තියෙන කිසිම දේකින් යහපත් පැත්තට වෙනස් වෙන්නේ නෑ කියලා මට හිතෙනවා.
Image credit to Kenny Cinders on Unsplash

Sunday, December 10, 2023

රෝස්මරී Rosemary

 රෝස්මරී Rosemary















රෝස්මරී කියලා පොදු නමින් හඳුන්වනු ලබන්නේ Salvia rosemarinus නම් විද්යාත්මක නමින් ඇති ශාකය. මධ්ය දරණී ප්රදේශවල හැදෙනවා.
මෙය සදාහරිත, බහු වාර්ෂික, කුඩා පඳුරු හැටියට තමයි හැදෙන්නෙ. ඉඳිකටු වගේ කොළ තියෙන්නේ. මල් සුදු, රෝස දම් හා නිල් පැහැයෙන් පිපෙනවා.
කොළ හා මල් පොඩිකළ විට අපූරු සුවඳක් එනවා. සුවඳට හේතුව එහි ඇති සගන්ධ තෙල්. ප්රධාන වශයෙන් 1,8 Cineole හා Alfa - Dinene. වේලා ගත් රෝස්මරී කොළ කුළු බඩුවක් ලෙස යොදාගන්නවා. රෝස්මරීවල මතකය රඳවා ගැනීම වැඩි කිරීමේත් ඇතැම් රෝග සුව කිරීමේත් ගුණ තියෙනවා.
රූපයේ තියෙන්නේ අප ඇවිද යන මහමග දෙපස වවා ඇති රෝස්මරී පඳුරු.

Monday, December 4, 2023

ඔබේ දරුවාගේ අධ්‍යාපන ගමන

 ඔබේ දරුවාගේ අධ්යාපන ගමන



සාමාන්ය පෙළ ප්රතිඵල නිකුත් වී සිසුන් කොටසක් හා ඔවුන්ගේ දෙමාපියන් සතුටින් ෆේස්බුක් සටහන් තබා තියෙනවා . තවත් කොටසක් ප්රමාණවත් ප්රතිඵල නොලැබීම නිසා සන්තාපයට පත්වෙලා බව පේනවා. ඒ ගැන මං කලින් පෝස්ට් එකක් දැම්මා. ඔබට නැවත උත්සාහ කරන්න පුළුවන් බව මං එහිදී කිව්වා. මේ සටහන ලියන්නේ තවත් කාරණයක් මතක් කර දෙන්න.
සාමාන්ය පෙළ දිය බිඳක් නම් උසස් පෙළ සාගරයක් හා සමානයි කියලා කවුරු හෝ කියා තිබුණා. ඔව්, ඒ දෙක අතර ලොකු පරතරයක් තියෙන බව ඇත්ත. ඒ වගේම සාමාන්ය පෙළ A සාමාර්ථ ගත්තා වුණත් ඒ ලකුණු ලැබීමේ යම් යාන්ත්රික බවක් තියෙනවා. ඉලක්ක ගත ප්රශ්න වලටයි උත්තර ලියන්නේ. ඉතින් අර A සාමාර්ථ ගත්ත සිසුන් අතර දක්ෂයොත්, මධ්යස්ථ හා ඊට පහළ මට්ටමේ සිසුනුත් ඉන්නවා. මොකද පිරිසක් අතර බුද්ධිය ප්රමිතව ව්යාප්තවන ජානමය සාධකයක්. ඒ අනුව දරුවන් අතර ඉහළ බුද්ධි මට්ටම් ඇති සුභග ( Gifted children ) සිසුන් සුළුතරයක් ඉන්නවා. ඔවුන්ට පහසුවෙන් උසස් පෙළ විෂයයන් වුවත් වැටහෙනවා. මධස්ථ අයට ටිකක් මහන්සි වුණහම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඊටත් පහළ අයට සුදුසු ක්රම වේද අනුව ටිකක් වැඩියෙන් උත්සාහ කරන්න වෙනවා.
සාමාන්ය පෙළ ලිව්වත් එක්කම සිසුන් උසස් පෙළ සඳහා ටියුෂන් යන බව රහාසක් නෙවේ. ඉස්සර ටියුෂන් කිව්වේ පාසලේ දී වැටහෙන්නේ නැති යමක් වඩාත් හොඳින් වටහා ගැනීම සඳහා ඇති අමතර උපකාරක පන්ති ලෙසයි සැළකුවේ. අප නම් එහෙමවත් ටියුෂන් ගියේ නැහැ. දැන් සේරටම කලින් ටියුෂන් යනවා. ඒ වගේම ඒ පන්තිවල කරන්නෙත් මුළු විෂය නිර්දේශය ආවරණය කරන්න හදන එක. ඒ විතරක් නෙවේ සමහර ළමයි ගුරුවරු කීප දෙනෙකු ළඟට යනවා. ළමයට සටහන් කන්දක් එකතු වෙනවා. පාසල අවසානයේ වගේම සති අන්තයේ ද ටියුෂන් පන්ති කීපයකට යන සිසුන්ට තමන්ට කියලා හිතන්න හෝ ස්වයං අධ්යනයේ යෙදෙන්න වෙලාවක් නැහැ. ස්වයං අධ්යනය යනු කුමක් ද කියාවත් ඒ සිසුන් දන්නේ නැහැ. කෙටි සටහන් පවා පන්තිවලින් දෙනවා. මේ නොනවතින සටන ඔරොත්තු නොදෙන දරුවන් රෝගීන් වෙනවා. ඒකට තව හේතුවක් තමයි මේ ළමයින්ට කිසිම ව්යායාමයක් නැති වීම වගේම සමබර ආහාර වේලක් නොලැබීම. ආහාර ගන්න වත් හරියට වෙලාවක් නැහැ. ටියුෂන් ගාස්තු අධික නිසා පවුල්වල ආහාර සඳහා වෙන්වන මුදල පවා අඩු වෙනවා.
දෙමාපියන් මේ ගැන කල්පනා කරාවී කියලා මම හිතනවා. ඊළඟට තියෙන තව රෝගයක් නම් සුදුසු වෙලාවට ප්රථම මේ විභාග වලට පුද්ගලිකව අයදුම් කර පෙනී සිටීමේ උමතුව. ලංකාවේ දැනට තියෙන ක්රමය අනුව ළමයින්ගේ කාලය අපතේ යන බව ඇත්ත. 7,8,9, ශ්රේණිවල කාලය අනවශ්ය ලෙස ගත වෙනවා. ඒකට පිළියම තම තමන්ගේ ළමයින් කලින් සාමන්ය පෙළ හා උසස් පෙළට ඉන්දවිම නොවන බව තේරුම් ගන්න. ප්රතිපත්තිමය වශයෙන් සාමාන්ය පෙළ වසරක් කලින් තියන්න පුළුවන්. ඒක රාජ්ය මට්ටමෙන් ගන්න ඕන තීරණයක්. අනික හැකි ඉක්මනින් විභාග ප්රතිඵල නිකුත් කිරීමේ ක්රම වේදයක් සකස් වෙන්න ඕන. ඒවා තනි තනිව කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ වෙනස් කම් වුණොත් ඔබේ දරුවන්ට කලින් උසස් අධ්යාපනයට යොමු වෙන්න පුළුවන්. රටේ සුදුසු පාලනයක් ඇතිකරගන්න එකේ වගකීම තියෙන්නේ පුරවැසියන්ට.
ඔය ඇතැම් පන්තිවල ගුරුවරුන් ලෙස කටයුතු කරන අය ඒ ඒ විෂයයේ සරල සුදුසු තැනින් නෙවේ ආරම්භ කරන්නේ. මෙන්න මේ නිසා ඇතැම් සිසුන්ට හිතෙනවා ඒ විෂයය තමන්ට කරගෙන යන්න බැහැ කියලා. එතැනින්ම විෂයය ධාරාව වෙනස් කරනවා. හරි විදියට නම් පාසලේ අධ්යාපනයට යම් උදව්වක් විදියට උපකාරක පන්තියක් තිබීම සාධාරණයි. දැන් මේකට හුඟක් අය කියාවි පාසලේ උගන්වන්නේ නැහැ කියලා. හරි පාසලේ උගන්වන්නෙම නැද්ද? එහෙන්ම ඒක ගැන සොයා බලන්න දෙමාපියන්ට වගකීමක් තියෙනවා. උගන්වනවා කියා එකකුත් ඇත්තටම නැහැ. මග පෙන්වීමක් තමයි ගුරුවරුන්ට කරන්න පුළුවන්. ඒ මගේ යන්න සිසුවාට වෙලාවක් වෙන්කරගෙන ඉගෙන ගත දේ විමසන්න අවස්ථාව තියෙන්න ඕන. විෂයයේ තමාට ඇති ගැටළු සටහන් කරගෙන තම ගුරුවරයාගෙන් හෝ වෙනත් අයෙකුගෙන් ඒවා විසඳා ගන්න ඕන. නැතුව කළයක් මුනින් නවා වක් කරනවා වගේ මුළු විෂය නිර්දේශය හැම පන්තියෙන්ම වැටෙන්න ඕන නැහැ.
සුදුසු විෂය සංකලන තෝරාගෙන ඔබේ දරුවාට ඒ ගමන යන්න උදවු කරන්න. ඔබට ජය.
Photo credit to Tri Vo on Unsplash

Sunday, December 3, 2023

පසුකලෙක පසුතැවෙන්න ඔබේ දරුවාට ඉඩ නොතියන්න

 පසුකලෙක පසුතැවෙන්න ඔබේ දරුවාට ඉඩ නොතියන්න
























සාමාන්ය පෙළ ප්රතිඵල නිකුත් වීමත් එක්ක කතාබහක් යනවා ඉගෙනගෙන වැඩක් නෑ. උසස් පෙළ වැඩක් නෑ. ව්යාපාර කරන්න ඕන. අනික් අයට රැකියා දෙන තත්වයට පත් වෙන්න ඕන. හොඳයි හොඳයි. එහෙම වෙන්න.
ඒත් ළමයාට අවුරුදු 12ක පාසල් අධ්යාපනය දියුණු රටවලත් තියෙනවා. ඒක වැඩක් නැත්නම් ඉවත් කරන්න ඕන නේ. එහෙම වෙලා නෑ. සමහර විට ඒක නැතිවීම පසුව හැමදේටම බාධාවක් වෙන්න පුළුවන්.
එක සැරයක් සාමාන්ය පෙළ අසමත් නම් තව සැරයක් උත්සාහ කරන්න. ළමයින්ගෙ බුද්ධිමය වර්ධනය වෙන පිළිවෙලක් තියෙනවා. ඒක හැම ළමයටම එකම විදියට වෙන්නේ නෑ. සමහර ළමයි වියුක්ත චින්තන අවධියට පත් වෙන්නේ පසුව. ඒ තත්ත්වයට ආ විට ඉගෙනීමේ විභාග සමත්වීමේ හැකියාව වැඩි දියුණු වෙනවා.
විෂය (subject) යන්නට කියනවා ශික්ෂණය (discipline) කියලා. ඇත්තටම විෂයයක් හැදෑරීම තුළින් ශික්ෂණයක් එනවා. ඉගෙන ගන්නා කාලේ ඒ වෙනුවෙන් ගත කරන්න. විශේෂයෙන් අවුරුදු 18ක් වෙනකම් ළමයෙක් බව මතක් කරන්න කැමතියි. ආදායම් සෙවීමට යම් හැකියාවක් ඇත්නම් ඒකත් සුළු වශයෙන් කරන්න. නමුත් ඉගෙනීම අත අරින්න එපා.
අත්දැකීම් ඇතිවයි මේ සටහන ලියන්නේ. ලොකුම ව්යාපාර කරන අය ඉන්නවා පසුවී හෝ ඔවුන් අධ්යාපන සුදුසුකම් ලබාගන්න වෙහෙසෙනවා. සභාපති තනතුරක ඉන්න, අධ්යක්ෂ මණ්ඩලයක වගේ ඉහළ තැනක කටයුතු කරන්න, ව්යාපාරික සබඳතා වැඩිදියුණු කරගන්න අධ්යාපනය අවශ්ය බව ඔවුන්ට වැටහෙන නිසයි එහෙම මහන්සි වෙන්නේ.
ඒ නිසා රැකියා කරන්න හෝ එහෙම ඕන නැත්නම් ව්යවසායකයෙකු වෙන්න හෝ අධ්යාපනය ඕන බව හිතට ගන්න. සමහරු හිතනවා ඉංග්රීසි ටිකක් කට ගා ගත්වීට සේරම හරි කියලා. ඉංග්රීසි ඉගෙන ගන්න. ඒකත් අවශ්යයි. නමුත් මූලික අධ්යාපනය ඉතාම වැදගත් දෙයක්.
පසු කලෙක පසු තැවෙන්න ඔබේ දරුවාට ඉඩ නොතියන්න.
Image from Unsplash free images

යවමු පළවා තැවුල් සිනාසෙමු බිඳක්

 යවමු පළවා තැවුල් සිනාසෙමු බිඳක්




















අළුපාට දවස් දැන් එමින් ටික ටික
දුකම පුරවයි සිතට අහුරමින් ඉඩ
ඉර එළිය දකින්නට පොරබදයි සිත
සහන් එළියක් ළඟක පෙනෙන්නට නැත
අහස හරි දුක්බරයි කඳුළු එහි ඇත
අඬන්නට ගත් විටදි නැවතුමක් නැත
ඉරු ඇවිත් වියළවා පිසදමා නෙත
හංඟාවි මේ කඳුළු පැතුම වෙයි සිත
මේ මොහොත ඊළඟට ඒ මොහොත වෙන
සෑම ක්ෂණයම ගෙවී අතීතෙට යන
සිතින් විතරක් නැවත එහෙ ඇවිද යන
දුකද එක මොහොතකට සතුටක්ම වන
අඳිමු සිතුවම් පොතක සිහින සිතුවමක්
මවමු මාලිගා ඇයි කාටවත් වගක්
ඉඳිමු සතුටට එන්න හිතට දෙමු ඉඩක්
යවමු පළවා තැවුල් සිනාසෙමු බිඳක්
Image from Unsplash free images

Saturday, November 11, 2023

ඉල්මහ

 



ඉල්මහ

බක්මහට දෙවෙනි නැත
ඉල්මහේ කඳුළු බර
බොල් පොළොව උරාගත්
කල් ගියත් උඩට එන
බිය නොදත් ඒ සැවොම
මිය ගියත් සුබ සිහින
ගිය නමුත් හැර දෙරණ
සිය සියක් හඞ නගන


හඞ නැගුණ හඬ මඩින
ලෙයින් යකඩින් තැළුන
සොයුරු සොයුරියනි සැම
මේ පොළොව යට නිදන
ජීවිතේ දුෂ්කරම
මග අරන් තෝරගෙන
නුඹ වින්ද දුක් කන්ද
දන්නෙ නෑ බෝම දෙන
එදාටත් වඩා මට
අද සිතෙයි නුඹ ගැනම
නුඹ නිදන තැන නොදැන
බරය මුළු හද ගැබම
මේ දෙරණ සිප වැතිර
හෙලූ අවසන් සුසුම
වාතයට මුසුව ගිය
දුම්රොටු ද සිතට එන
ගං දියේ පාව ගිය
ඡායාද ඇත මැකුණ
සමුදුර ද වැළඳ ගොඩ
ගෙනාවේ රැළි නොවන
කොතන වුව කම් නොවන
ඔබ මෙදින සිටින තැන
පිනි රැඳුණු තණ පලස
මත තබමි මල් බඳුන!
Photo credit to Bence Bella-Schottner on Unspalsh

Thursday, November 9, 2023

ඇදී ජල තල මත












ඇදී ජල තල මත

ඇඳී යයි රූ එක එක

බිඳී යනු දැක දැක
බැඳී ඉන්නට කියයි
තව නෙත

Saturday, November 4, 2023

රැජනකට ඔටුනු ඕනෑම නැත

රැජනකට ඔටුනු ඕනෑම නැත




 

මී මැසි ජනපදයක් කියන්නේ අපූරු තැනක්. වෙනම සංස්කෘතියක්,වෙනම ජීවිතයක්. මී මැසි ජනපදයක ඉන්න ස්ත්‍රීන් අතර රැජනක් ඉන්නවා කියලා ඔබ දන්නවා. ඒ වගේම වැඩකාර මැස්සියන් ඉන්නවා කියලා දන්නවා. මීමැසි ස්ත්‍රීන්ට  වර්ණදේහ යුගල 16ක් ඒ කියන්නේ වර්ණදේහ 32ක් තියෙනවා. මේ වර්ණදේහ හා ජාන සැකැස්ම රැජනගේත් වැඩකාරියන්ගේත් එකමයි. ඒ කියන්නේ ඕනෑම වැඩකාර මැස්සියකට රැජනක් වීමේ විභවය තියෙනවා. ඔව් ඕනම ගැහැනියෙකුට රැජනක වෙන්න පුළුවන්. මී මැසි රැජන හැදෙන්නේ බලය ඩැහැගෙන නෙවෙයි. ඒක වෙන්නේ ආහාරයේ අනුහසින්. බල අරගලයක් නැත්තෙත් නෑ. ඔටුනු පැළඳීම් නැති එහෙත් මහා බල පරාක්‍රමයෙන් යුත් රැජනගේ උපත ,ජීවිතය හා  අවසානය  ගැනයි අද අපේ කතාව.

දැන් අපි ඒ කතාව බලමු.

අලුත් රැජනක් ඕන කියන සංවේදනය මී මැසි ජනපදයට දැනෙන්න ගන්නවා. ක්‍රියාරම්භ කය (Trigger) වෙන්නේ ජනපදයේ රැජනගේ පෙරමෝන සුවඳ මට්ටම අඩු වීමත් එක්ක ඇතිවෙන තත්වය. සමහරවිට පරණ රැජන වයසට ගිහින් රෝගී වීම නිසා හරි ඈ සමුහ සරණය කට සූදානම් වෙන නිසා හරි වෙන්න පුළුවන්. සමුහ සරණය ගැන වෙන ලිපියකින් කතා කරන්නම්.

මෙන්න මේ අවස්ථාවේ හෙද මැස්සියන් (nurses) අලුතෙන් බිත්තරවලින් එළියට ආපු ගැහැනු කීටයන් නැත්නම් රාජ කුමාරිකාවන් 10 - 20 අතර සංඛ්‍යාවක් තෝරාගෙන බොහොම සුවිශේෂී  අහාර රටාවකට ඔවුන් යටත් කරනවා. ඔවුන්ට එතැන් සිට ආහාරය වශයෙන් ලැබෙන්නේ වෙනස් දෙයක්. ඒකට කියන්නේ රෝයල් ජෙලි නැත්නම් රාජකීය ජල්ලිය. මේක කිරි වගේ සුදුපාට දෙයක්. ශ්‍රාවය වෙන්නේ ගැහැනු මැස්සියන්ගේ ඔළුවේ තියෙන ග්‍රන්ථි විශේෂයකින්. රෝයල් ජෙලි ජලය, ප්‍රෝටීන, සරල සීනි, මේද අම්ල, විටමින් B, අනිකුත් විටමින,අංශුමාත්‍ර මුලද්‍රව්‍ය ඇතුළු ඛනිජ ලවණ ආදිය අඩංගු පූර්ණ ආහාරයක්. එහි  ප්‍රති බැක්ටීරීය ද්‍රව්‍ය ද අඩංගු වෙනවා. මේ ආහාරය අර හැදී වැඩීගෙන එන  රාජ කුමාරිකාවන් ගේ  ප්‍රජනන පද්ධතියට බලපෑමක් කරනවා. ඒ අනුව රැජන නිර්මාණය වෙනවා.

මේ සෑම රාජකුමාරිකාවක් ම හැදෙන්නේ මී වදයේ විශේෂිත කුටීරයක. ඒවාට රැජන කුටි කියලා කියනවා. ඒවායේ හැඩය හරියට රටකජු ගෙඩියක් වගේ. රැජනියන් රූපාන්තරණය වෙන්න කලින් වැඩකාර මැස්සියන් ඒ කුටි වසා දමනවා. රැජන ඇතුළේ හැදෙනවා. පහළොස් වන දිනයේදී වැඩකාර මැස්සියන්ගේ ද උදවු ඇතිව ඒ කුටියේ බිත්තියේ රවුමට හිලක් කපලා පොඩි දොරක් හදාගෙන රැජන එළියට එනවා. ඒ එන්න කලිනුත් වැඩකාර මැස්සියන් රැජනට ආහාර කවනවා.

 

ඊට පස්සේ රැජනට කරන්න තියෙන්නේ ටිකක් ම්ලේච්ඡ ක්‍රියාවක්. ඈ නිසඟයෙන්ම ඒ රාජකාරිය කරන්න බැඳිලා ඉන්නවා. ඒ තමයි අර රෝයල් ජෙලි කැවූ අනික් සහෝදර රාජ කුමාරිකාවන් මරණයට පත්කිරීම. මෙන්න මෙතන තමයි එක්තරා ආකරයක බල අරගලය තියෙන්නේ. ඒ සඳහා ඔවුන් කැඳවීමට රැජින උච්ච ස්වරයෙන් හඬක් නිකුත් කරනවා. අනිකුත් කුමාරිකාවන් ද ඒ හඬ නිකුත් කරනවා. ඔවුන් එළියට ඇවිත් එකිනෙකා හා සටන් කරනවා. අන්තිමේ දී රැජන හැර සියල්ලන්ම මැරෙනවා. රැජන සිය කුටියේ සිටියදීම සමහරවිට මේ හඬ නිකුත් කරනවා.

 

සටන අවසන් වුනු විට රැජන මී වදයෙන් එළියේ සංසර්ග පියාසැරියේ යෙදෙනවා. එහිදී ඈ පිරිමි මී මැස්සන් හා සංසර්ග ක්‍රියාවලියේ යෙදෙනවා. එහිදී ඇයට ඉදිරි වසර 3 - 5 දක්වා කාලයක් සංසේචිත බිත්තර දැමීමේ වරම හිමි වෙනවා. මේ පියාසැරියෙන් පස්සේ රැජන නැවත මී වදයට එනවා. මව් රැජන ඒ වනවිට වයසට ගිහින් මරණාසන්න ව හිටියොත් අලුත් රැජන විසින් ඈ ඝාතනය කරනු ලබනවා. සමහරවිට මව් රැජන   සමුහ සරණය කරලා වෙන් තැනකට ගිහින් ඉන්නත් පුළුවන්.  දැන් මී වදයේ සියල්ලෝම නව රැජන පිළි ගන්නවා. එසේ වීමට තරම් පෙරමෝන දැන් ඇගෙන් නිකුත් වෙනවා.

මින් පසු මුළු ජීවිත කාලෙම වගේ වැඩකාර මැස්සියන්ගේ උදව් ඇතිව රැජන මී වදය තුළ ඉන්නවා. සිය උදරය ඇදගෙන ඈ මී වදය පුරාම ඇවිදිනවා.සෑම බිත්තර දාන කුටීරයක්ම නිරීක්ෂණය කරනවා. කුටීරය හිස් නම් ඈ ඇගේ උදරය ඒ තුළට පහත් කර බිත්තරයක් දානවා.

එක ගිම්හාන කාලයකට ඈට පුළුවන් බිත්තර 2000ක් පමණ දාන්න. සමහර කාලවලට ඈ බිත්තර නොදා විවේකීව ඉන්නවා. සත්තු සේවිකාවන් ඈ වටා රවුමක් හැදිලා ඈ රැකබලා ගන්නවා. ඒ වගේම මී වදය පුරා පෙරමෝන සුවඳ පතුරවනවා. ඒකෙන් කවුරුත් දැනගන්නවා රැජන යහතින් ජීවත් වෙන බව. කලින් කිව්වා වගේ අවුරුදු 3- 5 ත් අතර කාලයක් ඈ තම මෙහෙවර ඉටු කරනවා.  ඇගේ ජීවිතයේ අවසානය ළඟා වන විට බිත්තර දැමීමේ හැකියාව අඩුවෙලා යනවා. පෙරමෝන ශ්‍රාවයත් අඩු වෙනවා. ඒ අනුව නැවතත් නව රැජනක් බිහි කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා.

Photo credit to Ante Hamersmit on Unsplash



Friday, October 20, 2023

තිතක් වෙමි මම

 තිතක් වෙමි මම



පොඩි තිතක තිතක් වී
පුදුමෙන් බලා ඉඳිමි මම
ගිනිදැල් නැගෙන
දුම් කඳන් විසිරෙන
කඳුලැල් හැලෙන
සෝ සුසුම් පාවෙන
වැළපුම් ඇසෙන
මා පමණක් නොව
සැවොම එතිත මත තිත් බව
අහෝ මිනිසුනි
ඔබට නොවැටහෙන!!!
( Photo credit to NASA on Unsplash)

Thursday, October 5, 2023

වැස්සට අපට සතුට ගෙනා

 වැස්සට අපට සතුට ගෙනා











වැස්සකට තෙමෙන එක හා එහි ඇති විනෝදාස්වාදය ගැන Jayantha Kahatapitiya ලියලා තිබුණ පෝස්ට් එකක් නිසා මේ විස්තරය ලියන්න හිතුණා. අපි පොඩි කාලේ වහින වෙලාවට එළියට බැහැලා තෙමි තෙමී ටිකක් දඟලලා ඊට පස්සේ වහලේ පීල්ලේ එන වතුරෙන් නාන එක අමුතු දෙයක් වුණේ නෑ. ඒ කාලේ හුඟක් ගෙවල් වල වැසි පීලි තිබුණෙ නෑ. හිරිකඩෙන් ආරක්ෂා වෙන්න තිබුණේ දිගු අගුව සහිත වහලවල්.
අපේ ගෙදර කොටස් දෙකක් තිබුණා. ප්රධාන ගේ සහ උයන, කෑම කන හා ගබඩා කාමරය සහිත ගේ. මේ දෙක අතර පළල් කොරිඩෝවක් තිබුණා. ප්රධාන ගේ වහලේ වැහි පීලි තිබුණා. ඒ නිසා වැහි වතුර ගලා ආවේ ඒවා දිගේ පොළොවට.
මේ ගෙවල් දෙකේ වහලවල් දෙක එකට සම්බන්ධ වෙන තැන ගැල්වනයිස් තහඩුවකින් හදපු පළල් පීල්ලක් දාලා තිබුණා. මේකේ එන වැහි වතුර තමයි අපි නෑවේ. ඒ කාලේ විෂ බීජ හෝ ලෙඩ ගැන හැඟීමක් අම්මලාට තිබුණෙත් නෑ. අපි ඒ ගැන ලොකුවට දන්නෙත් නෑ. අපට ඕන තරම් හෙඹිරිසාවල් හැදුනා. හැදෙනවා. හොඳ වෙනවා. උණ ආවොත් ඒක ටිකක් වැඩිපුර තිබුණොත් දොස්තර ළඟට ගෙනියනවා.
අදින් අවුරුදු තිස් ගණනකින් එපිට අපේ ළමයින්ටත් වැස්සේ තෙමෙන වරම් තිබුණා. ඒ ගොල්ලොත් වැස්සට පැනලා නටනවා මට මතකයි. මට හොඳටම මතක ආසම කරපු වැස්සේ තෙමීම වුණේ සිංහරාජයේ නේවාසිකව ගත කරපු දවස් කීපයෙන් එක දවසක. එදා වැස්සට තෙත බරිත වී වෙව්ලමින් තමයි නවාතැනට ආවේ. කිසිම ලෙඩක් හැදුනේ නෑ.
අද හැදෙන විශේෂයෙන්ම නාගරික මැද පන්තියේ දරුවෝ වැස්සකට තබා පොදකට අහුවෙන්නවත් වාසනාව නොලද්දෝ වන්නේ ඇයි? මඩ ගොඩක දඟලන්න වරම් නොලද්දෝ වන්නේ ඇයි? අපි වැස්සට බය වෙන්න පටන් ගත්තේ කවදා ඉඳලා ද?
(Photo from Unsplash free images)

Friday, September 29, 2023

Air Fryer Fried Eggplant

Air Fryer Fried Eggplant with eggs for lunch.











Thank you Reine Cabrera for the idea.

Recipe
First, you have to wash the eggplants
Then air fry them for 20 minutes.
Meanwhile, cut onions and bell peppers. Add salt and spices as you wish.
Sautee them for 4 minutes.
Whisk an egg
Take the eggplants out of the air fryer, cut and open
Heat 1tsp of olive oil in a skillet on low heat.
Place the opened eggplants on it.
Add the onion mixture.
Add eggs on the top.
Heat for 3 minutes
Turn upside down
Heat 1 minute
Now it's ready to serve.