Saturday, December 16, 2023

මට මා හමු විය - 1

 මට මා හමු විය - 1






















හැම කෙනෙක් ඇතුළෙම තව කෙනෙක් ඉන්නවා. නමුත් හැමටම ඔහු /ඈ හමු වෙන්නේ නෑ. නැත්නම් එහෙම හමුවෙන්න උත්සාහ කරන්නේ නෑ. මං ඉදිරියට 'ඔබ' කියා අමතන්නේ අන්න ඒ අභ්යන්තර පුද්ගලයාට.
මට මතක් වෙනවා මහා විසාල නිල් අහසක් යට දවසක ඔබ මට හමු වූ විදිය. ඊට කලින් අහස එච්චර විසාලයි කියලා මට තේරුණේ නෑ. ඇත්තටම මං ජීවත් වුණේ පුංචිම පුංචි ලෝකෙක. හැම දෙයක් ගැනම හුඟක් දුරට හිතුවේ අනික් අය හිතන විදියට. අනිත් අය කියා දුන්න විදියට. පොත්පත්වල තියෙන විදියට.
ඒත් මගේ ඇතුළේ සිටි ඔබ හමු වූ දා ඉඳලා මං මගේම විදියකට හිතන්න ගන්නවා. ඒක කොයි තරම් අපූරු දෙයක්ද කියලා මට හිතෙන්නේ දැන්. වෙනස් විදියට හිතන්න ගත්තහම හිතට දැනෙන සැහැල්ලුව විස්තර කරන්න අමාරුයි. ඒ සැහැල්ලුව ඇතුළේ තරහ යන එක, වෛරය ඇතිවෙන එක, ඊර්ෂ්යාව ඇතිවෙන එක පසුතැවෙන එක වගේ ඒවා නැති වෙලා යනවා. දුක්වෙන එක අඩු වෙලා යනවා. ඒ මොහොතේ කරන්න තියෙන දේට සිත යොමු වෙනවා. කවුරුවත් කියපු නිසා නෙවේ. ඇතුළාන්තයෙන් වන වෙනසකින්. මරණය කොයි මොහොතේ ආවත් කමක් නෑ කියලා හිතෙනවා.
ලෝකය විශාල එකක් බව එදායින් පස්සේ මං තේරුම් ගන්නවා. කාගෙවත් දෙයක් විදිහට නෙවේ. මගේම විදියට. මොන මොනවා හරි නොවැදගත් දේ සඳහා තාමත් ලේ හලන නපුරු මිනිසුන්ටත් මේ දේ කවදා හරි ඔවුන්ගේ ඇතුළාන්ත පුද්ගලයා කියා දේවි කියලා මං බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවේ පැළ ඉනි වැටට පවා මරා ගන්න හදන මිනිසුන්ට ඒ බව කියා දේවි කියලා මං බලාපොරොත්තු වෙනවා. . පොඩි දේටත් තරහ ගන්නා මිනිසුන්ට ඒ බව කියලා දේවි කියලා මං බලාපොරොත්තු වෙනවා. . සහකම්පනය නැති මිනිසුන්ට ඒ බව තේරුම් කර දේවි කියලා මං බලාපොරොත්තු වෙනවා . එතෙක් මේ ලෝකය මේ තියෙන කිසිම දේකින් යහපත් පැත්තට වෙනස් වෙන්නේ නෑ කියලා මට හිතෙනවා.
Image credit to Kenny Cinders on Unsplash

8 comments:

  1. ජීවිතයේ සැන්දෑ සමයේ විශ්‍රාම ගෙන, නෑදෑ හිතමිතුරන්ගෙන්ද තරමක් දුරස්වී සිටින විට තමයි තමන්ට තමන්ම මුණ ගැසෙන්නේ. විශේෂයෙන්ම මවුබිමෙන්ද ඈත්වී විදේශයක සිටින විට මේ හැඟීම තවත් වැඩි වෙනවා. ඊර් ෂ්‍යා, ක්‍රෝධ, පසුතැවිලි වැනි මිනිසාට පොදු ඍණාත්මක අදහස් වලින් ටික ටික අත්මිදෙන විට ඔය සැහැල්ලුව බොහෝ දෙනෙකුට ලැබෙනවා. සියල්ලේ අනිත්‍ය භාවය හොඳින් අවබෝධ වන්නේද එවිටයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. ඇත්තෙන්ම හිතන්න වෙලාව ගත්විට තමයි දේවල් වැටහෙන්නේ. අප කවදත් පරිසර හිතකාමීව මානව හිතවාදීව කටයුතු කළ බව ඇත්ත. සැහැල්ලුව හුඟක් වටිනවා.

      Delete
  2. එහෙම නම් අපිත් සහකම්පනය ඇති මිනිසුන් ගොඩනගන්න උත්සාහ කරමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. ඔව් ඇත්තටම පුළුවන් ආකාරයෙන් උත්සාහ කරනවා.

      Delete
  3. තමන්ව හොයා ගන්නවයි කියන එකත් ලේසි කෙලියක් නෙවේ...... Mayya

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. උත්සාහ කළොත් බැරි නැහැ.

      Delete
  4. උපනිෂද්වල පාඨයක් තියෙනව... 'මනස විවර කරන්න. අභ්‍යන්තරට සාවදානව සවන් දෙන්න. එවිට උත්තර සත්ය මතුවේවි' කියල.

    අගනා ලියමනක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නමියා. ඔව්, ඒකට මට කාලයක් ගියා. මීට කලින් මේ තත්ත්වය ඇති වුණා නම් හොඳයි. හැබැයි මම කොහොමත් ඇදහිලි වලට ගිහින් හිටියේ නැහැ. විමසීම නිතරම හිතේ තිබුණා

      Delete