Monday, August 5, 2019

පිහාටුවක් වුණා මම


පිහාටුවක් වුණා මම 

කාලය ගලා ගොස්
සරල රේඛාවක
මිහිතලය කැරකුණා දෙපා යට
එළඹුණු හිමිදිරිය පිවිතුරු විය

එනමුත් වැසී ගියා
සැනෙකින් අහස් කුස
මහා දුම් ගුලි වැහි වලාකුළු වලින්
බියකරුය අඳුර දස අත

විහිදුණා විදුලි එළි
පිපිරුණා අකුණු සැර
මදියි නොකියන්න
තෙමා දැමුවා මහපොළොව

හිරු හිනැහුණා ආයෙත්
ගිනි මද්දහන හිසට ඉහළින්
ටිකෙන් ටික ටිකෙන් ටික
සෙවණැලි දික්වුණා උස් කඳු වගේ

මල් සුවඳ විහිදෙන ඒ සැදෑ කළ
පිහාටුවක් වුණා මම
දැන් ඉතින් පාවෙමි අහස්කුස
සුළං රැල් හා බැඳි දයාබරව

සැහැල්ලුවෙන් ඒ මේ අත
පතිත වන තුරු
ජීවිතය දුන් මේ
මහා පොළොව මත
© 2019 Malini Ganewatta All rights reserved. 

Saturday, July 27, 2019

Paji / හේතු (Esther Kiviat)

Paji / හේතු (Esther Kiviat)








අද මම කියන්න යන්නේ අපුරු ළමා කතන්දර පොතක් ගැන. මගේ ලොකු නංගි පත්මාට  පාසල් ත්‍යාග ප්‍රධාන උත්සවයකදී මේ හේතු කියන අපූරු පොත තෑගි ලැබුණා. මගේ මතකයේ විදියට 1970 ගණන් වල මුල හරියේ. ඒ පොතේ ඉන්න කතා නායකයා තමයි හේතු. පොතේ හැටියට හේතු සිංහල ළමයෙක්. ' හේතු හීන්දෑරි තලඑළලු සිංහල ළමයෙක් විය. ස්වර්ණභුමිය යයි නම් ලද ලංකාදීපේ මහා වනය මැද තිස්සපුර නම් කුඩා ගමේ හේතු වාසය කළේය.....' කියල තමයි පොත පටන් ගන්නේ. හේතු අපූරු දරුවෙක්. ඔහු සම්ප්‍රදායට අභියෝග කර ජය ගන්නා ආකාරයත්, එසේ සම්ප්‍රදායට අභියෝග කිරීමට යාමේදී ඔහුට මුහුණ දෙන්නට සිදුවූ විවධ දුෂ්කරතාවලට ඔහු සාර්ථකව මුහුණ දුන් සැටිත් අවසානයේ ඔහුට විරුද්ධවූ වැඩිහිටියන් ඔහු ගෞරවණීය ලෙස පිළිගන්නා අන්දමත් මේ කතාවෙන් කියවෙනවා.

තව අරිසරය හා බැඳුණු ඔහුගේ ගැමි ජීවිතයේ සුන්දරත්වය මනරම් විදියට මෙහි විස්තර වෙනවා. සේරෝටම වැඩිය මං ආසා කළ දෙය නම් හේතුත් ඔහුගේ හොඳම යාළුවා වූ හුදා ගැනත් තියෙන විස්තරයට. හුදා පළල් ලොකු මුහුණක් ඇති සුදු ගොනෙක් ලෙස පොතේ දැක්වෙනවා. මං මේ පොත කී පාරක් කියෙව්වද කියල මට මතක නෑ. ඒ තරම් පොතට අපි කවුරුත් ආසා කළා.

මේ පොත අපේ මහ ගෙදර මේ වන තෙක් තියෙන බව මං දැන ගත්තේ ළඟකදී. ඊට පෙර මං පොතක් නැවත මිළදී ගෙන තිබුණා. එය අස්ථාන ගතවූ නිසා පසුගිය පොත් ප්‍රදර්ශනයකදී ආයෙත් එකක් ගත්ත. මේ පොත් අර පරණ එක තරම් ලොකු ප්‍රමාණයේ නෙමෙයි. මෙවර ගත්ත එක සුරිය ප්‍රකාශකයන්ගේ. පොතේ ප්‍රථම මුද්‍රණය 1961 බවත්, දෙවන මුද්‍රණය 1999දෙසැම්බර් 20 බවත් එහි සඳහන් වෙනවා. මිළ රු.60.00යි.

ඉතින් පොතේ කතෘ කවුද කිව්වේ නැහැනේ. එස්තර් කිවියැට් (Esthar Kiviat) කතෘ. මේ පොතේ මනරම් චිත්‍ර හැරල්ඩ් ප්‍රයිස් (Harold Price) ගේ. පරිවර්තනය ඒ.පී. ගුණරත්න.
ඉතින් මට ආසාවක් ඇති වුණා මේ එස්තර්  ගැන අන්තර්ජාලය පීරන්න. ඇගේ පුද්ගලික තොරතුරු එතරම් හමු වුණේ නැති නමුත් පසුව ඇය විසින් රචනා කළ Changing Tides නම් පොතේ තිබෙන කරුණු අනුව ඇය ඇමෙරිකාවේ Michigan හි උපන්   කාන්තාවක් බවත්  බවත් ඇගේ  සැමියා Charles Kiviat බවත් ඇයට Erik Kiviat නම් පරිසර විද්‍යාඥ පුතෙක් සිටින  බවත් දැනගත්තා. එමෙන්ම ඇය දක්ෂ අධ්‍යාපනඥවරියක්, පරිසරවේදිනියක් පමණක් නෙවෙයි දක්ෂ ඡායාරූප ශිල්පිනියක් ද වෙනවා.

හේතු ලෙස සිංහලට  පරිවර්තනය වූ මුල් පොත වන Paji ගැන විස්තර හොයන්න මගේ කුතුහලය යොමු වුණා. ඒ පොත McGRAW - HILL ප්‍රකාශනයක්.     

Esthar Kiviat                                                                                                             

                                                  Dr. Erik Kiviat



1946 දී මුල්  මුද්‍රණය එළිදක්වා තිබෙනවා. ඒ මුල් කෘතියේ පාවිච්චි කරන ලද පිටපතක් මට ගෙන්වා දෙන්න කියලා කිවූ පමාවෙන් මගේ එකම බෑනා වන සුපුන් පුතා එය මිළදී ගෙන තිබුණා. ඒ සමගම අර මම මුලින් කිවූ Changing Tides  පොතත් එවලා තිබුණා. ඔහුට මගේ ස්තුතිය !!!

ඉතින් Paji කියෙව්වහම මට තේරුණේ හේතු එහි පරිවර්තනයක් නොව අනුවාදයක් බව. මොකද Paji පටන් ගන්නේ මෙහමයි. "Paji was a slim brown Tamil boy. He lived in the little village of Anapura,deep in the heart of the jungle, on the pear-shaped island of Ceylon....' .  Paji ගෙ ලොකු සුදු ගොනාගේ නම Push - ba. නම් ගම් ඇරුනහම කතාව ඒ විදියටම තියෙනවා. ගෙදර තිබුණු හේතු පොත හරියට අබලන් වෙලා. ඔබට පින්තූර වලින් බලා ගන්න පුළුවන්.

ඔබේ දරුවන්ටත් නොපසුබට උත්සාහය මෙන්ම අලුත් විදියට සිතීම ගැන ආදර්ශයක් ගෙන දෙන 'Paji / හේතු' කියවන්න දෙන්න.
© 2019 Malini Ganewatta All rights reserved. 

Monday, July 15, 2019

Lonely Dandelion

Lonely Dandelion 


I am a lonely Dandelion,
Waiting here in this backyard.
My heart is burdened  with sorrow,
My eyes are filled with tears.

Last summer my mother was living,
In a backyard far away.
When the morning sun came peeping,
She bloomed with a smile on her way.

The surrounding became hotter and hotter;
Her petals get shriveled and  withered.
When the winds howled about the buildings,
She released her seeds to the sky.

The tiny seeds like parachutes
Revolving, with the blowing wind.
One came down  and settled here,
On this gloomy backyard ground.

Autumn came dropping red leaves
Covered the seed on the ground.
Galloped the winter gray and cold
Everywhere was snowbound.

Snow gradually disappeared,
Then came lovely spring breeze.
The seed happily sprouted
Spreading  it's tiny green leaves.

With the smell of rain drops,
I was born on the top of the shoot.
After passing sweet childhood,
I smiled with petals colored bright.

Nobody has come to see me yet
No friends, no butterflies no bees,
So I am miserable and grieved
Oh!this loneliness no one sees....

© 2019 Malini Ganewatta All rights reserved. 




 

Monday, July 1, 2019

The Little Spirits Garden -අහිමි දරුවන්ගේ සොඳුරු නවාතැන


The Little Spirits Garden - අහිමි දරුවන්ගේ සොඳුරු නවාතැන


අත්දැකීම් නැතිතාක් අප එතරම් සංවේදී නොවන නමුත් අසනවිට හදවත කම්පා වන  දුක්බර කතන්දර අප සමාජයන්හි කොතෙකුත් ඇත.

මේ කැනඩාවේ ඩෙබී බාලිනෝ අපිට කියන්නේත් එවන් දුක්බර කතාවකි. ඇයට හා ඇගේ සැමියාට ප්‍රථම දරුවා ලෙස දියණියක් උපදිනවා. ඔවුන් ගේ ජීවිතයේ සිහිනයක් වුයේ දරුවන් රැසක් සිටින ලොකු පවුලක් ඇති කර ගැනීම. නමුත් ඔවුන්ගේ දෙවන දියණිය පවුලට එක්වෙන්න සිටියදී ගැටලුව පැන නගිනවා. "2013 දී සති 21ක්වූ මගේ Victoria මට නැති වෙනවා". ඩෙබී මතකය අළුත් කරනවා  . එය ඇගේ ප්‍රථම ස්වභාවික ගබ්සා වීම. ඊළඟ අවුරුදු 5 ඇතුළත ඈ තවත් එවැනි තත්වයන් 8 කට මුහුණ දෙනවා.

"මට මොනවා වුණාදැයි කියන්න බැහැ... ඒක පුදුම දුකක්." වෛද්‍යවරුන්ටත් ඇගේ මේ තත්වයට හේතුවක් දක්වන්න පුළුවන් වුනේ නැහැ. කැනේඩියානු කාන්තාවන් 3000ක් පමණ වසරකට මළ දරු උපත් ඇති කරනවා. පිළිසිඳ ගැනීම් වලින් 15-20% අතර ප්‍රමාණයක් ස්වභාවික ගබ්සාවට ලක්වෙනවා. නමුත් එක දිගට එවැනි 9කට මුහුණ දෙන්න සිදුවීම ස්විශේෂී දෙයක්. ඇගේ දරුවන් 5ක් මුල් ත්‍රයි මාසිකය තුළත් 4ක් දෙවන ත්‍රයි මාසිකය තුළත් නැති වෙනවා. මෙසේ ඛේදවාචකයන්ට මුහුණ දෙන ඇගේ පවුලේ අයට හිතට එන ගැටළුවක් තිබෙනවා.
"එසේ මළ දරුවෙකුගේ සිරුරට කරන්නේ කුමක් ද? ඔවුන් පැවතුණු බව ස්මරණය කරන්නේ කෙසේද?
අවමංගල උත්සවයක් තියන්න තරම් ඔවුන් වැඩී නැහැ. නමුත් ඔවුන් පැවතුණේ නැතැයි කියා නොසළකා ඉන්නත් බැහැ. වික්ටෝරියා ට කුමක් කළ යුතු දැයි අපිට වැටහීමක් තිබුණෙ නැහැ. අපි ඈ රෝහලේ දමා ගියා. ඔවුන් ඈ 'ජිව අපද්‍රව්‍ය' ලෙසයි ඇත්තටම හැඳින්වූවේ. එයින් මගේ හදවත කඩා වැටුන."

නමුත් සති 16කින් දෙවන දරුවා විලියම් ගේ නැතිවීමත් එක්ක ඔවුන්ට දෙයක් දැන ගන්න ලැබුණා. වෛද්‍යවරයෙක් ඩෙබීට පැවසුවා The Little Spirits Garden  ගැන.  The Little Spirits Garden කියන්නේ උපතට පෙර/උපතේදී  මියගිය දරුවන් සිහිපත් කිරීම සඳහා භුමි අලංකරණය කර නිර්මාණය කරලා තියෙන උද්‍යානයක්. එය බ්‍රිටිෂ් කොලොම්බියා ,වික්ටෝරියා හි  රෝයල් ඕක් සුසාන භූමිය තුළ පිහිටා තිබෙන අතර වැඩ නිම කර ඇත්තේ 2012 වසරේයි.

ඵහි කොන්ක්‍රීට් කුළුණු පෙළක් මත කුඩා අළු පාට ගෙවල් නිර්මාණය කර තිබෙනවා. ඒවා ආත්මයන්ගේ ගෙවල් "spirit houses" ලෙසයි හඳුන්වන්නේ. ඒ එකක් නැතිවුණු එක දරුවෙක් නියෝජනය කරනවා. දැනට එවැනි ගෙවල් 400ක් ඇති අතර 3000ක් දක්වා සෑදීමට ඉඩ තිබෙනවා. දුකට පත් දෙමව්පියන්ට මෙහි සේවය නොමිලේ වන අතර මේ උද්‍යානය ආධාර මත පවත්වාගෙන යන්නක්. දරුවා ආදාහනය කළේ නම් අළු තැන්පත් කිරීමේ හෝ විසුරුවා හැරීමේ කොටසක් තිබෙනවා. අළු නැතත් සිරුර මෙහි මිහිදන් කළත් නැතත් "spirit house"එකක් හැම මළ දරුවෙකු වෙනුවෙන්  ලබා ගන්න පුළුවන්.

මේ ගෙවල් පදම් කළ කොන්ක්‍රීට් වලින් එකම විදියට හදල තියෙනවා. ඒ තුළ ගර්භාෂයක හැඩය කොටා තිබෙනවා. මේවායේ කැටයම් ඇති නිසා කලක් යන විට පාසි බැඳෙනවා. පවුල් කැමති විදියට මේවා සැලසුම් කරන්න හෝ නම පමණක් ප්‍රදර්ශනය කර මූලික නිමැවුම තියෙන්න අරින්නත් පුළුවන්.

ඩෙබීට මේ භුමියේ  "spirit houses"  9ක් තියෙනවා.

ඩෙබී මේ තම දරුවන්ගේ "spirit houses" වලින් තම සිත සනසා ගන්නවා . සෑම එළඹෙන වසරකම දරුවන් ලැබීමට නියමිතව තිබු දින, ඔවුන් බිහිවූ දින, මිය ගිය දින ඈ එහි යන්නීය. එපමණක් නොව  මව් වරුන්ගේ දින, පියවරුන්ගේ දින,පාස්කු දින, වැලන්ටයින් දින ආදී ඔවුන් ජීවත්ව සිටියේ නම් ඔවුන් සමග ප්‍රීතිමත්වන දිනවල සිය සැමියාත් සමග එහි යන්නීය. ඔබට අවශ්‍ය යමක් විඳ ගැනීමටත් ඔබට අවශ්‍ය තරම් වැළපීමටත් මේ උද්‍යානය හැම අතින්ම නිදහස් තැනක් වන බව ඇය කියනවා.

කැනේඩියානු භුමි සැකසුම් වාස්තුවිද්‍යාඥන් වන  Bill Pachet හා Joseph Daly  යන දෙදෙනා මෙහි නිර්මාණකරුවන් වෙනවා. . Bill ජපානයේ සිටියදී එහි Jizo බෞද්ධ සම්ප්‍රදයානුකුල ක්‍රියාවක් දැකීමෙන් මේ සඳහා පෙළඹවීම ඇතිවූ බව ඔහු දක්වනවා.  Jizo  සම්ප්‍රදාය අනුව මියගිය දරුවන් සැමරීම වෙනුවෙන් කුඩා ස්මාරක පිළිම නෙළනු ලැබේ. සුසාන භුමි යාව ඇති පන්සල්වල මේවා තැන්පත්කර තැබේ. උත්සව අවස්ථාවල දෙමව්පියන් විසින් සකසන ලද ඇඳුම් හා ගොතන ලද තොප්පි වලින් මේවා සරසා පෙරහරක් ලෙස එකතු කෙරේ. එවිට පොදුවේ සමාජයේ යම් අහිමිවීමක් සනිටුහන් කරන මෙවැනි අවස්ථාවක් දැකීමෙන් කැනඩාවේත් මෙයට සමාන දෙයක් නිර්මාණය කිරීමට ඔහු පෙළඹවී ඇත.  ඔහු එය එක ආගමකට,විශ්වාසයකට සීමා නොවී කැනඩාව වැනි බහුත්වවාදී රටකට ගැලපෙන එකක් විය යුතු බව කල්පනා කර ජනතා අදහස් විමසා මෙය නිර්මාණය ආරම්භ කරනවා . මුලින් කිතුණු විරෝධයක් පැන නැගුණු නමුත් පසුව සැම දෙනාම එක අදහසකට පැමිණීමෙන් උද්‍යානය යථාර්තයක් බවට පත්වෙනවා .

උද්‍යානයේ අවුරුදු 5ක් වැඩ කරන සුසන් කියන පරිදි 1950ස් ගණන් වල මෙසේ දරුවන් මියගිය අය පවා මේ උද්‍යානයේ "spirit house"  එකක්  ඉල්ලා පැමිණ ඇත. දෙමාපිය දු දරු සබඳතාව මේ තරම් ශක්තිමත් ලෙස  ඇත්තේ ආසියාතික අපේ වැනි රටවල පමණකැයි සිතීම කොතරම් වැරදිද යන්න මෙය කියවූ මට ඇතිවූ අදහසයි.සුසන් ද  තමාට 1960 දී එසේ අහිමි වූ සහෝදරයකු වෙනුවෙන්ද 1991 දී තමාට ගැබේදීම අහිමිවූ පුතු වෙනුවෙන් ද නිවාස දෙකක් ලබාගෙන ඇත.

අපේ කතා නායිකාව වන ඩෙබී තම දියණිය සමග මෙහි එන්නීය.

තම තනිය මැකීමට පැමිණේ යයි බලාගෙන සිටි තම සහෝදරයා හෝ සහෝදරිය කිසි දිනක නොපැමිණීම නිසා සුන්වූ බලාපොරොත්තු මේ පුංචි දියණියට ද තිබේ. දැන් ඇයට අවුරුදු අටකි. ඈ අවුරුදු තුනේ සිටම මෙහි පැමිණ ඇත. ඇය මෙහි පැමිණ සෙල්ලම් කරයි,නටයි. සිය සොයුරු සොයුරියන්ට කතා කරයි.සිංදු කියයි. ඔවුන්ට කෑම ගෙනෙයි. "මං දැන් පාසල් යනවා" "මං හැලෝවීන් වලට මෙහෙමයි  ඇන්දේ" වැනි දේවල් කියයි.

ඉතින් මේ උද්‍යානය සොඳුරු තැනක් නොවේදැයි මම ඔබෙන් අසමි.  

BBC Stories ඇසුරිනි.
මගේ මිණිපිරිය චමත්කා මේ කතාව ගැන පින්තූර බලා නිර්මාණය කරණ  ලද Spirit house එකක චිත්‍රයකි. 
ජපානයේ Jizo බෞද්ධ සම්ප්‍රදාය 

Wednesday, June 19, 2019

පෝෂණය

























කුඩා දරුවෙක් මන්දපෝෂණය නිසා මියගියාය කියන පුවතත් එක්ක, පෝෂණය ගැන මේ දවස් වල හරියට කතා වෙනවා. නිසි පෝෂණය ලැබීම කියන්නේ මොකක්ද?  ඒ කියන්නේ නියමිත පෝෂ්‍ය කොටස් නියමිත ප්‍රමාණයෙන් ලැබීමෙන් පුද්ගලයෙක් වයසට සරිලන උසෙන් හා බරෙන් යුක්තව සෞඛ්‍ය සම්පන්නව සිටීමනේ. දරුවෙක් නම් නිසි පරිදි වැඩෙන්නත් ඕන. ඉතින් මේ අදාළ පෝෂණය නොලැබීම අපි හඳුන්වනවා දුෂ්පෝෂණය කියලා.

දුෂ්පොෂණයේ ආකාර දෙකක් තියෙනවා.

1. මන්දපෝෂණය
2. අධි පෝෂණය

මන්දපෝෂණය  - මෙහිදී වෙන්නේ ශරීරයට අවශ්‍ය ශක්තිය හා පෝෂ්‍ය ද්‍රව්‍ය නිසි ප්‍රමාණයට නොලැබීම නිසා වර්ධනය බාලවීම, ශරීරය වැහැරී යාම, බර අඩුවීම, විටමින හා ඛනිජ වැනි ක්ෂුද්‍ර පෝෂක ඌනතා රෝගී තත්ත්ව ඇතිවීම ආදී පුළුල් පරාසයක විහිදෙන තත්වයන් ක්‍රමයෙන් ඇතිවීම.
අධිපෝෂණය - දේහ බර වැඩිවීම,ස්ථුලතාවය, ආහාරයට නෑකම්දක්වන හෘදයාබාධ,ආඝාතය,
දියවැඩියාව,පිළිකා වැනි  බෝනොවන රෝගී තත්ත්ව ඇතිවීම වැනි පුළුල් පරාසයකට අයත් තත්වයන් මේ යටතේ හඳුනා ගන්න පුළුවන්.

දුප්පත් කම නිසා ලැබෙන දෙයක් කන්නට වීම වෙනම ගැටළුවක් තමයි. නමුත් යම් පමණ ආර්ථිකයක් ඇති හෝ ඉහළ පන්තියේ අය වුවත් නිසි පෝෂණය ලබනවා ද යන්න ප්‍රශ්නයක්. ආහාරයට ගන්නා ද්‍රව්‍ය සංයුතියෙයි ප්‍රශ්නය තියෙන්නේ.

ඇත්තවශයෙන්ම මේ දුෂ්පොෂණ තත්වයන් අපේ රටේ බොහෝ දරුවන්ට හා වැඩිහිටියන්ට කුමන ආකාරයකින් හෝ තියෙනවා. ආර්ථික වශයෙන් මධ්‍යම හා පහළ මට්ටමේ අයට ඇත්තේ මන්ද පෝෂිත ආකාරය. කෑම නැති නිසාම නෙවෙයි කන විදිය අනුවයි වැඩිපුරම මෙය ඇතිවන්නේ. ඒ කියන්නේ පිෂ්ට ආහාර අධිකව ගන්නවා. තෙල් සහිත ආහාරත් ගන්නවා. එළවළු ,පළතුරු අඩුවෙන් ගන්නේ.  අපේ ජනතාව මස් මාළු බිත්තර ආදිය ගන්නේ ඉතාම අඩුවෙන්. සමහරවිට නිර්මාංශ ව ඉන්නවා. අමුවෙන් එළවලු ආහාරයට ගැනීම අඩුයි. පන්සල් වලින් දානයට වඩමවන සාමනේර හිමිවරුන් ඇතුළු බොහෝ හාමුදුවරුත් අමු එළවලු සලාදය බොහෝ විට ප්‍රතික්ෂේප කරනු මා අත්දැක තිබෙනවා. කොළ වර්ග අධික කාලයක් රත්කරලයි ගන්නේ. මේ නිසා ඇතැම් පෝෂක කොටස් නොලැබී යනවා.

මේ තත්වය නිසා ඇතිවූ සංකුලතා පාසල් ශිෂ්‍යන් තුළ තිබෙනු අත්දැකීමෙන් හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් කම්මැලියි, උනන්දුවක් නැහැ,නිදිමත ගතියෙන් ඉන්නවා. ධාරණ ශක්තිය, වටහා ගැනීමේ ශක්තිය අඩුයි. උදෑසන ආහාරය නිසිලෙස ගන්නේ නැහැ. සමහර විට එය මගහැරිලම යනවා. දිවා විවේකයට කෙටි කෑම ගන්නවා. පාසලින් පසු කෑම ගත්තා හෝ නොගත්තා යන්න නොසළකා සවස උපකාරක පන්ති කරා ඇදෙනවා.
සමහර දරුවන් අධික ලෙස ස්ථුලතාව පෙන්වනවා. ඔවුන්ට ඒ හා සම්බන්ධ වෙනත් සංකුලතා ද තිබෙනවා. ඔවුන්ට සමාන වයස් කාණ්ඩයේ දරුවන් අතර උසුළු විසුළු වලට මුහුණ දෙන්න පවා සිදුවෙනවා. ඔවුන් සිටින්නේත් තම ස්වරූපය ගැන දුක් වෙමින්. ඒ නිසා ඔවුන්ගේ ඉගෙනීමටත් බාධා වෙනවා.

හැබැයි මේ තත්වය අලුතෙන් සමාජයේ ඇතිවූ එකක් නෙවෙයි. අපේ ජනතාවගේ අදහසක් තියෙනවා ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තන්ගේ කාලේ හැම දේම හොඳට තිබුණය, හොඳ කෑම ලැබුණය,පරම ආයුෂ ගෙවුවය කියල. නමුත් අපේ වැඩිහිටියෝ අපිට කියාදීල තියෙනවා ඒ කාලේ දරුවෝ වගේම වැඩිහිටියෝ මාන්දමෙන්, පණු රෝගවලින්, උණ සන්නිපාතයෙන්  පෙළුණු හැටි, මැරුණු හැටි. දෙවන ලෝක යුද්ධය කාලේ පාන් පිටි විතරක්ම කාල ඇඟවල් ඉදිමුණ හැටි. තව ගෙදර වත්තේ හැදෙන පැපොල් ගෙඩිය අගුණයි කියල ඒකවත් කන්න නොදී ඇස්වල කොරපොතු සහිත දරුවෝ හිටිය බව. (ඒ කියන්නේ විටමින් A ඌනතාව.) ඇතැම් දරුවෝ අන්ධ බවටත් පත් වූ බව.

මේ විදියට බැලුවහම එදා වලක්වන්න බැරි සමහර තත්ත්ව යටතේත් අද වළක්වන්න උත්සාහ නොගන්නා (අධික දරිද්‍රතාව) ඇතැම් තත්ත්ව හා බොහෝවිට අධ්‍යාපනයක් ලැබූ දෙමව්පියන් සිටිද්දී වළක්වන්න පුළුවන් කම තියෙද්දිත් අපි අපේ දරු පරපුර ගැන සැළකිලිමත් වෙනවා මදි යයි හිතෙනවා. මේ ගැන පිළියම් යෙදීම අත්‍යවශ්‍ය කාරණයක්. නැතිනම් ඉදිරියට ඇතිවන්නේ රෝගී පරපුරක්.

(Thanks to Anna Pelzer for this lovely image on Unsplash)




Sunday, June 16, 2019

සෛලය The Cell


සෛලය The Cell


ලෝකයේ ඇති ලොකුම අරුමය
සොබා දම් මවු තුරුළෙ  විස්මය
පුදුම අතරෙත්  මහා පුදුමය 
වෙන කිසිත් නොව එයයි සෛලය

හිරුගෙ උණුසුම ලබා මිහි කුස
ඈත දිනකදී උපන් සෛලය
එදා සිට මේ මොහොත වෙනකම්
හුස්ම ගනිමින් ඉන්න මහිමය

ඒ උපන් ප්‍රාණියා ආයෙත්
මිය ගියේ නැහැ කවමදාවත්
විස්මයක් මේ තුන් ලොවේ වත්
අසා දැක නැත මිතුර තාමත්

සෛලයක් තුළ කෙරෙන විස්කම්
තාම හරියට දන්නෙ නැත්  නම්
කාටවත් තව මවනු බැරිනම් 
ඊට වැඩි මෙවලමක් නැතිනම්

මමයි  ජගතා සිතන  මනු සත
තම තමා ගැන වහසි බස් නෙක
කොතෙක් කිව්වත් කිසිත් පල නැත
සැමට ඉහළින් සෛලයම ඇත

මනු සෛල තුළ මනු ගුණම මිස
සෛලයට උස් පහත් කම් නැත
සෛලයේ වැඩ බැරිව ගිය  දින
ආදේශ නැත තැබෙනු ඇත තිත

අකුරටම හසුරවා  තොරතුරු
සෑම සියුමැලි දෙයම නිරතුරු
සොයා බලමින් මවයි විසිතුරු
සෛල සැකසුම දෙයකි ගරුසරු

ලොවට හිරු සඳු පායනා තුරු
දියත දිය බිඳු සුරකිනා තුරු
සොබා දම් මව පවතිනා තුරු
සැරද සෛලය සැරද නිරතුරු

Wednesday, June 5, 2019

'මා හුස්ම ගන්නා වාතය'


'මා හුස්ම ගන්නා වාතය'


ලෝකයේ පරිසරය,රටේ පරිසරය හා අප ආසන්න වටපිටාව ගැන සිතීමට තවත් පරිසර දිනයක් එළඹ තිබෙනවා.

ඔව් 2019 ජුනි මාසයේ 5ස් වෙනිදා ජගත් පරිසර දිනය. ඔව් සිතමු කුමක් ද? 'මා හුස්ම ගන්නා වාතය'

මෙවර ජගත් පරිසර සැමරීම සිදු වෙන්නේ චීනයේ. මෙවර තේමාව 'වායු දූෂණය' අපිට හුස්ම ගැනීම නතර කරන්න බැහැ , නමුත් අපි හුස්ම ගන්නා වාතයේ ගුණාත්මක බව වැඩිකරන්න යමක් කරන්න පුළුවන්.

ආසන්න වශයෙන් ලෝකය පුරා මිලියන 7ක් මිනිස් ප්‍රාණීන් පරිණත වෙන්න කලින්ම වායු දූෂණය හේතුවෙන් මිය යනවා. ඔව්, මෙයින් මිලියන 4ක් ම ආසියා - පැසිෆික් ප්‍රදේශ වලින්. ඉතින් 2019 ජගත් පරසර දිනය, ලෝකය පුරා රජයන්ගෙන් බැගෑපත්ව අයැද සිටින්නේ කර්මාන්ත,ප්‍රජාවන් හා තනි තනි පුද්ගලයන් වශයෙන් එක්වී ගවේෂණය කරන්න,කුමක් ද නගර සහ ප්‍රදේශ වල වායු තත්වය වැඩි දියුණු කරන්න, හැකිතාක් පුනර්ජනනීය බලශක්තිය හා හරිත තාක්ෂණය කෙරෙහි යොමු වන්න කියලයි.

ලෝක ජනගහනයෙන් 92%ක් පිරිසිදු වාතය හුස්ම ගන්නේ නෑ කියල ඔබ දන්නවා ද ?
වායු දුෂණයේ විපාකවල සුභ සාධනය උදෙසා ලෝක ආර්ථිකයෙන් වසරකට ඩොලර් ට්‍රිලියන 5ක් වැයවෙන බව ඔබ දන්නවා ද ?


මොකක් ද වායු දුෂණය කියන්නේ ?

වාතයේ සාමාන්‍ය ප්‍රතිශතයේ තියෙනවට වඩා වායු වර්ග වැඩිවීම, ඝන ද්‍රව්‍ය වල කුඩා අංශු විශේෂයෙන්ම කාබනික අංශු වාතයේ බහුල වීම. මේ ඇතැම් ඒවා ඉතා විෂ සහිතයි. මේවා හුස්ම ගැනීමෙන් කුඩා දරුවන්ගේ හා වයස් ගත අයගේ ශ්වසන පද්ධතියට වගේම හෘදයට හානි සිදු වෙනවා. පිළිකා ඇති වීමටද හේතු කාරක වෙනවා.

මහා පරිමාණයෙන් සිදුවෙන කර්මාන්ත ආදිය සම්බන්ධ වායු දුෂණ තත්වයන්ට ඔබට මට තනියම විසඳුම් දෙන්න බැරි බව ඇත්ත. නමුත් පුංචි පුංචි මට්ටමේ සිදුවන අහිතකර දෑ වාතයට එකතු වෙන එක වළක්වන්න අපිට පිළිවන් නේ ද ? ඒත් අපි හුස්ම ගැනීම ගැන ඒ තරම් හිතන්නේ නැහැ. අපි කන බොන දේ ගැන හුගක් කතා කරනවා. හොඳ ඒවා තෝරනවා. කාබනික වගාවන් ගැන විමසිලිමත් වෙනවා. කෑම වල වස විස තිබෙනවා ,ඒවා නිසා අපි ලෙඩ වෙනවා කියල හිතනවා. ඒත් අහිතකර දේ සහිත වාතය හුස්ම ගැනීම ඊටත් වඩා නරකයි කියල අපිට හිතෙන්නේ නැහැ. ඒ නිසා අපි පොලිතින් ප්ලාස්ටික්,කෘත්‍රිම රෙදී ඇතුළු අහිතකර බොහෝ දේ  විවෘත පරිසරයේ පුළුස්සනවා. බුදු කුටි තුළ හඳුන් කූරු දල්වනවා, වැසුණු කාමර තුළ මදුරු දඟර දල්වනවා. කුඩා දරුවන් ළඟ තබාගෙන දුම් පානය කරනවා. ගුහා වල් වගේ වැහුණු කුස්සිවල දර වලින් කෑම උයනවා. ගෘහාශ්‍රිත තැන්වල වාහන ස්ප්‍රේ පේන්ට් කරනවා. මේවයේදී පිටවෙන දුම් හා අංශු  සහිත වාතය අපි හුස්ම ගන්නවා. අපි,අපේ දරුවෝ ලෙඩ වෙනවා.

මේ අහිතකර තත්වයන් වළක්වා ගැනීමට අපිට යම් තරමකින් වත් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නේද්?

තව අපිට කරන්න පුළුවන් දෙයක් තමයි හැකි හැම විටකම ගස් කොළන් හිටවලා ඒවා හොඳින් රැක බලා ගැනීම. ගස් වලින් වාතයේ වැඩිවී තිබෙන කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගන්නවා. ඒ වගේම ඇතැම් පැළෑටි වාතයේ ඇති විෂ ද්‍රව්‍ය පවා උරාගෙන වාතය පිරිසිදු කරන බව කියවෙනවා.

ඔව්, අද පටන්වත් අපි අපේ ආසන්න වටපිටාවේ වාතය දුෂණය වෙන එක වළක්වා ගන්න ක්‍රියාත්මක වෙමු.


Sunday, June 2, 2019

මාළු ලෑල්ලේ පාඩම



මාළු ලෑල්ලේ පාඩම 

අලුත්  පාඩම ව්‍යවහාරික ජීව විද්‍යාව
මාළු විශේෂ හඳුනා ගනිමු  අපි අද
බඩ වත දිගට අන්වායාමව
අඳුරු ඉරි තුන තියෙන්නෙ  බලයට

කහ පාට වරලිති කෙලවල්ලාගේ
වරලිති කලුයි බලයාගේ
ටෝපිඩෝ හැඩ ගත් ඇඟ කාගේ
වෙන කාගෙද ඉතින් ගොඩයාගේ

වරුතක රළු කොරල
වලිගෙ ළඟ ඒ අසල
මේ මාළුවා පැතලි
පරා පැටියෙක් විපුල

ටීච ඔහෙ කිව්වාට
තේරෙන්නෙ නෑ අපිට 
ඉඳ හිට දවසක මාළු කෑල්ලක් 
අපේ පිඟානෙත් තිබුණාට 

එහෙම නම් යන් යන්න 
කොහේ  යන්නද ටීච 
පේළියක් හැදිල දැන් 
නෝට්‌ පොතකුත් ගන්න 

යනවා ගේට්ටුවෙන් එලියට 
පාර දිගේ මාළු ලෑල්ලට 
මේ ඉන්නෙ මාළු දිගට හරහට 
'ළමයි මේ අද මාළු ගන්නද? '

මුදලාලි මේ දරුවන්ට 
මාළුන්ගේ හැටි බලා ගන්ට 
ආවෙ නම් නැහැ මාළු ගන්ට 
දෙන්න ඔතනින් පොඩි ඉඩක් මට 

'ආ ආ එන්න ළමයින් මෙහෙට'
ළමයි ටික සීරුවට වටේට 
අලුත් ගුරු පත්වීමක් ඒ මොහොතට 
සහායට දෙවෙනියත් එතැනට 

පාඩම යයි නොනැවතීම
පාට,කොරළ,වලිග හැම එකක් ගැන 
බෙල්ල දිගු කරන් එබීගෙන  
පසුපසින් දැන් මං අධීක්ෂක 

Saturday, May 25, 2019

ආගමික ඉගැන්වීම් වලින් තොරව මිනිසා හික්මවන්න බැරිද ?

ආගමික ඉගැන්වීම් වලින් තොරව මිනිසා හික්මවන්න බැරිද ?

ආගම් නිසා ලෝකයට වෙලා තියෙන්නේ හොඳට වඩා නරක කියලයි මට කලක පටන්ම  හිතුනේ. ඒ සිතුවිල්ල පසුගිය සිදුවීම් වලින් තවත් තහවුරු වෙනවා. නිදහස්ව පළමු හුස්ම අරන් උපදින මිනිස් ප්‍රාණියා ආගමක සදාකාලික හිරකාරයෙක් කරන්නේ ඇයි ? එය ඇත්තෙන්ම උපතත් එක්ක ජීවිතාන්තය දක්වා  දඬුවමක් දුන්නා වගේ වැඩක්.

ආගමක් කියන්නේ මොකක්ද ? Oxford Dictionary defines religion as the belief in and worship of a superhuman controlling power, especially a personal God or gods. මිනිසා අභිබවා ගිය පාලන බලයක් ඇති දෙවියෙක් /දෙවියන් පිලිබඳ විශ්වාසය හා නමස්කාර කිරීම ලෙස ආගම යන්න අර්ථ ගැන්වෙනවා. සැබවින්ම ලෝකයේ එවන් දෙවි කෙනෙක් හෝ ලොව පාලනය කරන බලවේගයක් තියෙනවා ද ?

ශාස්තෘ වරයෙක් යම් දෙයක් දේශනා කලාට පස්සේ ඒක කැමති පරිදි වෙනස් කරලා වහළයට දාගෙන ආගම කියන කණු මත තියල තම තමන් යැපෙන්න පූජකයන් හදාගත් සංස්ථාවක්ය ආගම කියන්නේ කියල මං කියවල තියෙන බව මතකයි.

බුද්ධාගම ලෙස ආගමක් ගැන කියවුණත් මේ අර්ථ දැක්වීම අනුව බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් ගැලපෙන්නේ නැත්තේ එහි මැවුම්කාර දෙවියෙක් පිළිගන්නේ නැති නිසා. එහි නිර්මාතෘ වන බුදුන් වහන්සේ මෙසේ වදාරා තිබෙනවා. 'මහණෙනි, මා උගන්වන්නේ කරුණු දෙකක් පමණයි. එනම් විඳීම් වල ස්වභාවය හා විඳීම් නැති කිරීම ගැනයි.' වෙනත් විදියකට කිව්වොත් චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
මේ දර්ශනය තුළ යමක් ඇතිවීමේ හා නැති වීමේ හේතු ඵල ධර්මය පැහැදිළි කර තිබෙනවා. මේ තත්වයන් සත්‍ය වන්නේ පුනර්භවය සත්‍ය කාරණයක් බව පිළි ගැනීම තුලයි. විඳීමේ විපාක අපි ජීවිතය තුළ අත්දකින නමුත් මරණින් මතු ජීවිතය ගැන අත්දැකීම් අපි කිසිවෙකුට ලබන්න බැහැ. මේ ගැන බොහෝ පර්යේෂණ අධ්‍යන බටහිර පවා කර ඇති නමුත් අවසන් නිගමනයක් කෙදිනක ලැබේදැයි කියන්න පුළුවන් කමක් නැහැ.

සෑම ආගමක්ම හැදෙන්න හේතුව, මිනිස් සන්තානය තුළ ලැගුම් ගත් මරණය හා දුක් විඳීමට ඇති බිය මත ආදී කල්පික ගෝත්‍රික මිනිසා තුළ ගැබ්වූ සිතුවිලි මත පදනම්වූ ඇදහිලි පසුබිම් වෙලා කියලයි මට හිතෙන්නේ. ඒ වගේම කල්පනා කරන්න, හිතන්න, ලියන්න ඉඩ කඩ තියෙන්න ඇත්තේ කෑම,බීම ,ඉඳුම් හිටුම් වැනි මුලික අවශ්‍යතා සොයන්න පරසරය හා ඔට්ටු වෙමින් කටුක ජීවිතයක් ගත කල සාමාන්‍ය ජනතාව වෙන්න බැහැ. ඒවායින් සංතෘප්ත වූ ඉහළින් වැජඹුණු ජන කොටසක්. ඔවුන් තමන් විඳින සැප සම්පත් මේ ජීවිතයට සීමා වෙනවට කැමති වුණේ නැහැ.

ඒ නිසා දෙවියන්ගේ තුරුළට ගොස් වඩා හොඳ ජීවිතයක් ගත කරන්න හෝ දෙව් ලොව ඉපදී හෝ වෙනත් හොඳ ආත්මයක ඉපදී සැප සම්පත් තවත් දීර්ඝ කාලයක් භුක්ති විඳින්න හිතන්න ඇති. ඒ වගේම තමන්ට අවශ්‍ය සම්පත් ලබාගන්න පොදු ජනතාව රැවටීමේ උපක්‍රමයක් ලෙසත් මේ මරණින් මතු ලැබෙන  සැපවත් ලොව පිලිබඳ සංකල්පය යොදා ගත්තා. ඒ තමයි එදා සිට අද දක්වා කෙරෙන ආගම දේශපාලනය සඳහා යොදා ගැනීම.  පාලකයන් ඇතුළු හොඳින් හෝ නරකින් වස්තුව උපයා ගත් වරප්‍රසාද ලත් පිරිසක් තමන්ට  යටත්ව ඉන්නා පීඩිත ජනතාවට ඔවුන් දුප්පත්ව මේ ලෝකයේ ඉපදී ඇත්තේ පෙර කරන ලද අකුසල කර්ම නිසා බව ඒත්තු ගන්වමින් ඔවුන්ට ලබන ආත්මයේ ධනවත්ව ඉපදී සැප විඳීමට අවශ්‍ය නම් දාන මාන ආදී  කුසල් වඩ වඩාත් රැස් කරන්න ඕනෑ බව කියනවා. එක යතිවරයෙක් දේශනා කර තිබුණා තම සැමියා බිරිඳට ගහනවා නම් අඩන්තේට්ටම් කරනවා නම් ඒ තමන් ලබා උපන් හැටි බව සිතා ඒ සියල්ල ඉවසා සිටිය යුතු බව.

බෞද්ධයා කෙලෙස් දුරු කර, නැවත ඉපදීම නැතිකරන අජරාමර නිවන අවසාන අරමුණ ලෙස ගත්තත් බොහෝ නාමික බෞද්ධයන් ඇත්තටම එය තේරුම් අරන් ඉන්නවා කියල මං හිතන්නේ නැහැ. පුනර්භවයේ දී ඇතිවන පුද්ගලයා මේ භවයේ සිටි පුද්ගලයා වත් වෙන කෙනෙකු වත් නොවන බව හා අනාත්ම බව පැහැදිළි කර තිබුණත් එකම නූලක් වගේ තමන්ම භවයේ ගමන් කරන බව තමයි මිනිස්සු හිතන්නේ. ඒ නිසානේ එන ආත්මයේ කුඩල්ලකු වුනත් කොට්ටයක් පතන්නේ. එය හින්දු ධර්මයේ එන සදාකාලික ආත්මය පිළිගැනීමට සමාන තත්වයකි. ස්ථිර සාර 'මම' යන්නක් නැති බවත් එය මොහොතක් පාසා වෙනස් වෙන බවත් පැහැදිලිවම බෞද්ධ දර්ශනයේ තිබියදීත් මේ නාමික බෞද්ධයෝ 'මම' බදා ගනිමින් එහිම ගිලී ජීවත් වෙනවා.

ඉතින් ආගම් ගැන කිව්වා ඇති. මේ හැම එකකම යම් භීතියක් පදනම් කර ගෙන තමයි මිනිහා යහමගට ගන්න බලන්නේ. පව් කළොත් අපායේ දුක් විඳින්න වෙනවා කියන එක. 'පව්' කියන එක ආගම අනුව වෙනස් වෙනවා. ඇතැම් ආගම් වලට අනුව සතුන් මවල තියෙන්නේ මිනිස්සුන්ට ප්‍රයෝජනයට ගන්න. ඒ නිසා සතුන් මැරීම පවක් වෙන්නේ නැහැ.

උඩඟු බව,කෑදරකම, ඊර්ෂ්‍යාව, උදහස,වගේ දේවල් බයිබලයේ පව් ලෙස සැලකෙනවා. ඉස්ලාමයේත් පව් ගණනාවක් දක්වා තිබෙනවා . දෙමාපියන්ට ගරු නොකිරීම හා අකීකරු වීම, අනාථයන්ගේ දේ පර්භෝජනයට ගැනීම, හේතුවක් නැතිව මිනී මැරීම, අල්ලා හෝ  ඔහුගේ පණිවිඩකරුවන් ගැන බොරු කීම, දිනපතා යාඥාවන් නොකිරීම එයින් කිහිපයකි.

සෑම ආගමක් තුලම විශ්වාස කල නොහැකි පාරභෞතික දේ උගන්වනවා. මේවා යථාර්තයෙන් හුඟාක් ඈත් වූ දේවල්. මේවා කතන්දර වශයෙන් හොඳයි. වින්දනයක් ලබන්න පුළුවන්. නමුත් සැබෑ ජීවිතයට ඇති වැඩක් නැහැ.

ඒ ඒ ආගම් වලට අනුව පව් කිරීමෙන් දෙවියන් වහන්සේ වෙත යන්න බැරිවෙනවා. රහසින් කරන දෙයක් වුනත් දෙවියන් වහන්සේ දකිනවා යනුවෙන් භීතිය ඇති කරනවා. බෞද්ධයාට අනුව පව් කිරීමෙන් නරක කර්ම සිදුවී, මේ අත්භවය තුළ හෝ මතු අත්භවයක දී ඒවා පළ දෙනවා. මේ විදියට යම් භීතියක් මරණින් මතු තත්වය ගැන ඇති කිරීම නිසා මිනිසා යහ මගට පැමිණවීමට බලනවා. දරුවන් බයට පත් කරනවා 'ඔයා  ඔය වැඩේ කළොත් අපායේ යාවි ' කියලා. සතෙක් මරන්න හදන දරුවෙකුට අපි එහෙම කියනවා.

ඉතින් මේකට වෙන ක්‍රමයක් නැද්ද ? තියෙනවා.

ආගමක් මත දරුවෙක් හික්මවන්න මවක් හෝ පියෙක්  මෙහෙම කියනවා ' මේ විදියට නරකට ඔයා හැසිරෙයි කියල දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ.' ඊට වඩා නරකද ඒ දෙමව්පියන් මෙහෙම කියන එක ' ' මේ විදියට නරකට ඔයා හැසිරෙයි කියල අපි බලාපොරොත්තු වෙන්නේ  නැහැ.' දරුවා තුළ දෙමව්පිය ගුරුවරු කෙරෙහි විශ්වාසය ඇති කිරීමෙන් නොපෙනෙන බලවේගයකට දරුවා හික්මවීම බාර නොදීමෙන් දරුවාගේ පෞරුෂ වර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කෙරෙනවා. 

සතුන් මැරීම හා ඔවුන්ට හිංසා කිරීම වැළැක්වීම ගැන ඉහත නිදසුනම ගත්තොත් , සෑම ජීවිතයක්ම වටින බව කියා දීමෙන්, තමන්ට රිදෙන විදියට අනිත් සතාට හෝ පුද්ගලයාටත් රිදෙන බව තේරුම් කර දීමෙන්   දරුවා තුළ සංවේදීබව(Empathy) වර්ධනය කරන්න පුළුවන්. .

ඇත්තෙන්ම මෙයම මේ විදියට බෞද්ධ ඉගැන්වීම් වලත් තියෙනවා.

සබ්බේ තසන්ති දණ්‌ඩස්‌ස...
සබ්බේසං ජීවිතං පියං...
අත්තානං උපමං කත්වා...
න හනෙය්‍ය න ඝාතයේ...
සියල්ලෝම දඩුවමට බියවෙති.සියලු දෙනාම තම ජීවිත වලට ආසා වෙති.එම නිසා අනුන්ද තමා මෙන් සිතා අනුනට හිංසා නොකළ යුතුය.නොකර විය යුතුය.
...ධම්ම පදය...
...දණ්‌ඩ වර්ගය..

තව මෛත්‍රී භාවනාව තුළ සියළු සතුන්ට ආදරය කිරීම, යහපතක් වේවා කියා ඉගැන්වීම තිබෙනවා. වෙනත් සුත්‍ර දේශනා වලත් සමාජයේ යහපත් පැවැත්ම සඳහා පුද්ගලයා පමණක් නොව පාලකයා ද පැවතිය යුතු ආකාරය පැහැදිළි කර තිබෙනවා. අනිකුත් ආගමික ධර්ම තුළත් මෙවැනි වැදගත් කරුණු තිබෙනවා. 

බය කිරීමෙන් තොරව මේ දේවල් වල ආභාෂය අරන් හොඳ යයි සම්මත පුරුදු පුහුණු කරන්න පුළුවන්, ඕනෑම කෙනෙකුට. ඒකට ආගමක් කියා දෙයක් තුළ හිර කිරීම අවශ්‍ය නැහැ. පසු කලෙක ලෞකික ජීවිතයෙන් මිදෙන්න කෙනෙකුට අවශ්‍ය නම් ඒ ගැන හැදෑරීම් කරලා ධර්ම මාර්ගයටම යොමුවෙන්න මෙයින් බාධාවක් වන්නේ නැහැ. 

මේ තත්වයන් ඒ ඒ පරිසර අනුව තෝරා බේරා ගන්න වෙනවා. ආහාරය සඳහා මසුන් ඇල්ලීම යම් ප්‍රදේශයක ජනතාවගේ එකම අදායම් මාර්ගය වෙන්න පුළුවන්. එහිදී කල්පනාකාරීව එවැනි අවස්ථාවකදී වුනත් වැරදි විදියට සතුන් මැරීම කියන්නේ කුමක් ද කියන එක පහදා දීම අවශ්‍ය වෙනවා. මේ වගේ අනිකුත් සමාජයට අහිතකර විවිධ දේ අවබෝධ කර දීමෙන් ඒ ඒ රටවලට ගැළපෙන හොඳ පුරුදු දරුවන්ට කාවද්දන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා සංගීතය, වෙනත් කලාවන්, සාහිත්‍ය යොදා ගන්න පුළුවන්. 

දරුවන් කවදත් හොඳයි. මේ ලෝකෙ නරක දරුවන් නැහැ.  වැඩිහිටියන්  කරන නරක තමයි ඔවුන් දකින්නේ. ඔවුන් ආදර්ශයට ගන්නේ. නැත්නම් වරදක් ද නොදැන වරදක් යයි සම්මත දෙයක්  කරන්න පුළුවන්. යාළුවගේ අලුත් පැන්සලය ආසාවට අරගෙන ගෙදර ගේන්න පුළුවන්. එය දැකපු පළමු වතාවෙම දෙමව්පියන් දරුවාගෙන් ඒ ගැන විමසන්න ඕන. එය නැවත යාළුවාට ගිහින් දී සමාව ගන්න පොළඹවා යහමගට ගන්න ඕන. මේකට දරුවා බය කරන්න අවශ්‍ය නැහැ. 

යම් හොඳ පුරුද්දක් සමාජ ගත වුණහම ඒක කඩන්න මිනිස්සු බය වෙනවා. අපායේ යයි කියන බය නෙමේ ඒක. තමන් සමාජ විරෝධියෙක් කියා මහා සමාජය සිතාවි,තමා සමාජයෙන් ප්‍රතික්ෂේප වේවි කියන බය. උදාහරණයක් විදියට මාර්ග නීති පිළිපැදීම ගන්න පුළුවන්. අපේ සමාජය තාමත් බොහෝ දුරට මාර්ග නීති පිළිපදින්නේ පොලිසිය පේන්න ඉන්නවනම් විතරයි. දඩ ගහනවට බයට, නඩු පැටලෙනවට බයට. තාම ඒක සමාජ වගකීමක් ලෙස හිතන්න පුරුදු වෙලා නැහැ. ආගම් කීයක් තියෙන රටක් ද ? නමුත් ආගමකට මුල් තැනක් නොදෙන රටවල් තියෙනවා මේ නීති අකුරට පිළිපදින. නීති ගරුක බව කුඩා කල පටන්ම සිතට කාවද්දන්න අවශ්‍යයි. නමුත් වෙන්නේ මොකක්ද ?ආගම කර තියන් හිටියත්, බොරු කීමෙන් වෙන්වීමේ ශික්ෂා පදය ඉගැන්වූ දරුවාටම මුලින්ම පාසලට ඇතුලත් කරන සම්මුඛ පරීක්ෂනයෙදී කියන්න  බොරු උගන්වනවා.  

සමාජයක සැමට එකසේ බලපාන  නීති පද්ධතියක් තිබෙන්න ඕන. දැන් අපේ රටේ කොතරම් ආගමික අනුශාසනා  තිබුනත් සැමට බලපාන පොදු නීති පද්ධතියක් ඇති කරගන්න බැරිවෙලා තියෙනවා නේ? නීතිය බලවතා ළඟ නැමෙනවා නේ? පරම්පරාවෙන් පරම්පරාවට දරුවන් දකින්නෙත් මේ අවුලම නේ? ඉතින් කවදා පායයි ද දිනිසුරු අප රටට ? කියලා අහන්න වෙනවා. 

මේ සැමට පෙර අමතක නොකළ යුතු කාරණය නම් කුමන යහපත් ගතිගුණයක් වුව රෝපණය වන්නේ මුලික අවම ආර්ථික අවශ්‍යතාවත් සම්පුර්ණ වුණ සාධාරණ සමාජයක් තුළ පමණක් බව. එසේ නොවන නිසරු බිමක වවන්න යන හොඳ ගතිගුණ කියන පැළය නිසි පෝෂණය නොලැබී මිය යනවා..එවැනි සාධාරණ  සමාජයකට පසුබිම සකසන එකත් සබුද්ධික ජනතාවගේම වගකීමක්.  

හොඳ නරක තේරුම් ගත්, වගකීම, යුතුකම්, වගවීම් හඳුනන ආගම් නැති ලොවක් මගේ එකම පැතුමයි. එය කෙදිනක හෝ ඉටුවනු ඇතිබව තරයේ විශ්වාස කරමි. මා මෙන් සිතන පතන තවත් අය මේ ලොව ඇති. එන්න මිතුර, අපි යහපත් ලොවකට පිය මනිමු. 


John Lennon

Imagine there's no heaven
It's easy if you try
No hell below us
Above us only sky
Imagine all the people
Living for today... Aha-ah...

Imagine there's no countries
It isn't hard to do
Nothing to kill or die for
And no religion, too
Imagine all the people
Living life in peace... You...

You may say I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will be as one

Imagine no possessions
I wonder if you can
No need for greed or hunger
A brotherhood of man
Imagine all the people
Sharing all the world... You...

You may say I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will live as one

Wednesday, May 15, 2019

ගිණි ගෙන දැවූණි මව්බිම

 
ගිණි ගෙන දැවූණි මව්බිම 


බක් මහ අසිරියෙන් ලද
උණුසුම් සතුට විඳ විඳ
සිටි ඒ මොහොත සිඳ බිඳ
පිපිරුණා අකුණක් හිසේ මැද

ගිණි ගෙන දැවූණි මව්බිම
අළු වුණි ඇන්ද සිතුවම
සැම නෙත කදුළු බිඳුවම
ගලාගෙන ගොස්  ගඟකි කඳුළුම

දින සති වලට පෙරළී
කාලය ගලයි නොසැළී
සිත්වල නැගුණු පෙරළී
ඒත් තාමත් නොමැත පෙරළී

නැග විත්  පෙරඹරින් අර 
විහිදා  සිහිල් රැස් කඳ 
මේ දුක් අදෝනා මැද
කුමට නැගුණි ද මේ වෙසක් සඳ

අතු අග එබී බල බල
විළිබර පෙති විදා හැර
බඹරිදු එතැයි සිත සිත
කුමට පිපුනිද මේ වෙසක් මල

සැම දෙස දොරින් දොර මැද
නැත මෙහි සිනා මල් අද
වැතිරී තැවෙමි හිත හිත
කිමද මෙතරම් කටු යහන මත

Tuesday, May 7, 2019

ලෝකයේ මැදට ගියෙමි.

ලෝකයේ මැදට ගියෙමි. 

ඔබ සිටින තැන වටේට ලෝකයම පෙනේ නම් එතැන ලෝකයේ මැද වෙන්න ඕනෙ නේද ? අපි පුංචි කාලෙ හිතුවේ එහෙමයි. මේ වගේ තැනකට ගියහම ඒ සිතුවිලි අලුත් වුණා. කොහෙද මේ ? ඒ තමයි සඳ තැන්න/ සඳමිණි තැන්න නැත්නම් හැමෝම කියන Moon Plains .

ඇත්තටම ලෝකේ ලස්සන අතගාල බලන්නවත්, අහන්න වත් තියෙන දෙයක් නෙමේ කියන එක තේරුම් ගියේ ලංකාවෙත් ලෝකෙත් සංචාරය කරන්න පටන් ගත්තට පස්සේ. ඒ ලස්සන තියෙන්නේ ඒ තැන්වලට ගිහින් ඇසින් දැක බලා විඳගන්න.

මේ සුන්දර තැන පිහිටලා තියෙන්නේ නුවරඑළිය නගර මධ්‍යයේ ඉඳල 5.8km දුරින් රන්හවඩී ගම පාරේ. ඇතුල් වෙන ස්ථානයට තියෙන්නේ නගරයේ ඉඳල 2.5 km විතර. ඒ සීතාඑළිය කෘෂි කර්ම දෙපාර්තමේන්තුවට අයත් බීජ අර්තාපල් ගොවිපොළෙන්. ගොවිපොළට ඇතුල්වෙන තැන වාහන වතුර වළක් තුළින් ගිහින් තමයි ඇතුල්වෙන්නේ. ඒ වාහන රෝද සේදීමක් කරන්න. ඒ වතුරේ විෂබීජ නාශක දාල තිබෙන බව අපේ ගයිඩ් කිව්වා. ගොවිපොළට පිටින් අපිරිසිදු දේ ඇතුල් වීම වැළැක්වීමටයි එහෙම කරන්නේ.

එතැනින් ප්‍රවේශ පත්‍ර අරන්, සෆාරි ජීප් එකකට රු 2000ක් ගෙවල යන්න ඕන. එහි යන රියදුරු මහතා මගපෙන්වන්නාගේ කාර්යත් ඉටු කරනවා. භුමිය පාලනය කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අලි වැටක් ගොවිපොළ වටේ තියෙනවා දැකල කුකුසක් ඇති වුණා අලි නැතුව අලි වැටක් මොකටද කියල. ඒකට හේතුව අපේ ගයිඩ් කියල දුන්නා. ගොවිතැන් සඳහා වෙන් කර ගන්න ප්‍රදේශය ගෝනුන්, මුවන්,ඉත්තෑවුන් ගෙන් බේර ගන්නයි වැට දාල තියෙන්නේ. සතුන් නිදහසේ ඉතිරි ප්‍රදේශවල ඉන්නවා. වසර 5ක් එක භුමි ප්‍රදේශයක් වගා ඊළඟ කන්නයේ දී වෙනත් කොටසක වගා කරලා මේ යොදාගත් කොටසට සතුන්ට එන්න අරිනවා. 472 හෙක්ටයාර් පමණ වන මුළු භුමි ප්‍රදේශයෙන් 20 හෙක්ටයාර් තමයි වගාවට යොදා ගන්නේ.

මේ භුමිය කලින් කසළ ගොඩ ගැසූ තැනක් විදියට තිබිල තියෙන්නේ. මේ තත්වයෙන් සංචාරක ආකර්ෂණය ඇති කරන පෙදෙසක් බවට පත් කරලා තියෙන්නේ 2014 වසරේ. තැන්නට යන පාර නම් සෝදා පාළුවට ලක් වූ එකක්. වාහනයේ යද්දී මුළු ශරීරයම ඇඹරිලා යනවා. පරිස්සමට නොගියොත් කොන්ද ඉවරයි. හැබැයි තැන්නට ගියහම වටේම අංශක 360 පේනවා.හරිම මනස්කාන්ත  දසුනක්. තැන්නෙන් පහළ පෙනෙන ප්‍රපාතය  'පුංචි ලෝකන්තයක්' පෙන්වනවා. තැන්නේ සිට දසුන් හොඳින් විඳ ගැනීමට වේදිකාවක් හදල තියෙනවා.    සමහර කාලගුණික තත්ත්ව යටතේ මිහිදුමින් වැහිලා දසුන නොපෙනී යන බව අපේ ගයිඩ් කිව්වා.

මේ තැන්නට ශ්‍රී ලංකාවේ උසම කඳු දහයෙන් 9ක් ම පේනවා. ශ්‍රී පාද කන්ද විතරයි පෙන්නේ නැත්තේ
වටේ පේන කඳු වැටී තමයි, කිකිළියමාන කන්ද, (අඩි 7339 ), Single Tree Mountain (අඩි 6890 ), Great Western Mountain (අඩි 7257 ), Conical Hill Mountain( අඩි7106), කිරිගල්පොත්ත කන්ද  (7835 අඩි ), තොටුපළ කන්ද  (අඩි 7737 ), හක්ගල කන්ද  (අඩි 7110 ), නමුණුකුල කන්ද  (අඩි 6667 ) සහ පිදුරුතලාගල කන්ද  Pidurutalagala Mountain (අඩි 8281 ).