Friday, March 22, 2024

සුදු රෝස White Roses - 5

සුදු රෝස White Roses

පස්වන කොටස 



ළඟ දින දෙක තුන තීරණාත්මක විය. ඩේසි හා මා අතර අනුරාගී බැලුම් සියයකට වඩා හුවමාරු වීමෙන් පසු එක දිනක අපි  අවන්හලකදී හමු වීමු. ඇගේ උණුසුම් දෙතොලේ රස පහස එදා ඈ මට නොඅඩුවම ලබා දුන්නාය.  ඊ ළඟ   දින දෙක තුන ඇතුළත මගේ ඉල්ලීම ඩේසි එකවරම බාර ගත්තේ ඈ නිදහස් ඇමරිකානු යුවතියක වු බැවිනි. ඩේසි කිසිම අඩු පාඩුවක් නැතිවම මගේ අවශ්‍යතා සපුරා දුන්නාය. ඈ පැවසූ පරිදි ඉදිරියේදී ඈ වෙනත් රැකියාවකට මාරු වීමට නියමිත විය. මා සමග ගැඹුරු සම්බන්ධයක් ගැන ඈ සිතා නැතිබව පැහැදිලි විය. ඒ නිසා ඩේසි හා මගේ මේ සම්බන්ධයට එතරම් දිග ආයුෂක් තිබෙන්නට බැරි බව මට වැඩි කලක් නොගොස්ම පසක් විය. ඒ ගැන මට පසු තැවෙන්නට වුවමනාවක් ද නොවීය. මා පෙර ගත කළ දිවියේදී එවන් සම්බන්ධතා රාශියක් ඇතිව නැතිවී ගොස් තිබුණු බැවිනි.

ඇත්තෙන්ම දීර්ඝකාලීන සම්බන්ධතා බරක් ලෙස මට දැනෙමින් තිබුණේ චාරුකා හා මා අතර සම්බන්ධතාව පටන්ගෙන මාස කීපයක් ගත වෙද්දීම වූවත් ඇගෙන් ලැබෙන ආදරය හමුවේ ලොල්වූ මගේ යටි සිත   ආත්මාර්ථකාමී ලෙස එයින් මිදීම ප්‍රතික්ෂේප කළා නොවේදැයි දැන් මට සිතෙයි. මද සුළං මැද පාවෙමින් තිබූ ඒ පිහාටුවක් බඳු ජීවිතයට මා  නැවත යා යුතු බව මගේ යටි සිත මට බලපෑම් කරමින් සිටියේය. ඒ නිදහස් දිවි පැවැත්මට නැවත යාමට මට තිබුණු එකම ගැටලුව චාරුගෙන් මිදීම විය. මම එයට සම්‍යක් ප්‍රයෝගයක් කල්පනා කරමින් සිටියෙමි. එය සිතට ආ පසු මා කළේ නිර්දය ලෙස එය ක්‍රියාවට නැංවීමයි.

"චාරු මට සති දෙකකට බිස්නස් ට්‍රැවල් යන්න තියෙනවා කොලරාඩෝ වලට. ඔයාට මැනේජ් කරගන්න පුළුවන් නේ?". මම චාරුට අදහස ඉදිරිපත් කළෙමි.

මේ සැරේ සති දෙකක් ද?” ඈ විමතිය පළ කළාය.

ඔව්, මේක වර්ක් ෂොප් එකක් මා ඇයට කීවේ මුසාවක් නොව මට කාර්ය භාරයක් නැතත් ඇත්තෙන්ම එවැන්නක් පැවත්වෙන බැවිනි. 

"සති දෙකනේ සුජාන් මට පුළුවන්."  ඈ අහිංසකව පැවසුවාය. සම්පුර්ණ ප්ලෑන් එක තිබුණේ මගේ හිත ඇතුළේය.

මම මගේ ගමන් බෑගය තුළට අවශ්‍ය සියලුම ලියකියවිලි ඇතුළු කළේ ඇයට සැකයක් ඇති නොවන විදියට රහසිගතවය. ඈ කිසිසේත් මෙතෙක් මා සැක නොකළාය. සැකයක් සිතීමට ඉඩක් තිබුණේ නම් එක් දෙයක් නිසා පමණි. ඒ ඉදිරි ක්‍රියාමාර්ග පසුව ගැනීමට සිතා මෝටර් රථය බ්‍රයන්ට ගෙන යාමට කීමයි. මෝටර් රථයේ අලුත් වැඩියා කිරීමක් ඇති නිසා එසේ දුන් බව මම චාරුකාට කීවෙමි. ඒ ගැන ඈ වැඩිදුර ප්‍රශ්න නොකළාය.   නියමිත දිනයේ ඈ ලවාම මා ලොස් ඇන්ජලිස් හි ගුවන් තොටුපොළට ආවෙමි. ඇගෙන් සමුගත් මොහොතේ ඈ මා උණුසුම් ලෙස වැළඳ ගත්තාය.

"බුදු සරණයි   පරිස්සමින් ගිහින් එන්න. ඔක්කොම හරිනේ " ඈ මදක් බිඳුණු හඬින් සුබ පතද්දී මා ඇගේ නෙත් කෙවෙණි තුළ කඳුලක් දුටුවෙමි. මම හැඟීම් නැත්තෙකු පරිදි ඇගේ නෙත් බැල්මෙන් මිදී වෙනතක නෙත් රැඳෙව්වෙමි. මට දුක හිතී  එසේ කරන්නට ඇතැයි ඈ සිතන්නට ඇත. ඒ මා ඇගෙන් ලද අවසන් උණුසුම් හාදුවයි. ඒ අපේ අවසන් හමුවීම බව ඇයටත් කුමන ආකරයකින් හෝ වැටහී තිබුණේ ද? එවැනි සංවේදන අප සතුද? ඈ එවැන්නක් කිසිම විටක මුවින් පවසා සිටියේ නැත. මා ඈ තේරුම් ගත්තෙම් ද? ඈ මා තේරුම් ගත්තේ ද?  ‘Two hearts that beet as one, our lives have just begun’යනුවෙන් වූ මම ආසා කරන චාරුකා ද නිතර ගයමින් සිටි ලයනල් රිචී හා ඩයනා රොස් ගයනා කරන ‘Endless love’  ගීතයේ කොටසක් කොහේදෝ පසුබිමකින් ඇසෙමින් තිබුණේය. ඇත්තෙන්ම ඒවා අරුතක් නැති වදන් සමූහයක්  පමණක් ද? දෙදනෙකු අතර වන  සම්බන්ධතා තේරුම් ගන්නේ කෙසේ ද? මගේ උඩු සිත අවුල්වූ නූල් පන්දුවක් විය. එයම මගේ යටි සිත පෙළමින් සිටියේය. මගේ ප්‍රයෝගය ක්‍රියාත්මක කිරීමේ වුවමනාව තදින්ම තිබුණු නමුත් ඒ මොහොතේ මගේ සිත මදකට සසලවී මම ඇතුළතින් දැවී ගියෙමි. පියවි ලොවට පැමිණි මම චාරුකාට අතවනා සමුදී ගුවන් තොටුපොළේ ආරක්ෂක පෝලිමට එකතු විමි. නැවත හැරී ඈ දෙස බලන විට මට පිටුපා ඈ ඉවතට යමින් සිටියාය.

 මා මේ ගමන පිටත් වූයේ රැකියාවට සමු දීමෙන් අනතුරුවය. මේ වනවිට මගේ අතේ වසරක් පමණ ජීවත් වීමට සෑහෙන තරම් මුදලක් විය. කොලරාඩෝ ගුවන් තොටුපළෙන් හෝටලයට ගිය මම ඉදිරි වැඩපිළිවෙල කල්පනා කරන්නට පටන් ගත්තෙමි. අප අතර ඇති සියලුම සම්බන්ධතා වලින් ඈත් විය යුතු බව මට කල්පනා විය. චාරුට මා පැමිණි බව පැවසීමෙන් පසු දුර කථනය විසන්ධි කර තැබුවෙමි. බ්‍රයන් පැවසූ පරිදි චාරුට මගේ අදහස පැහැදිලි කරදී ඇගෙන් වෙන් වීමට මට ධෛර්යයක් නැත්තේ ඇයිද යන්න මටවත් තේරුම් ගැනීමට නොහැකි විය. සමාජ මාධ්‍යවල කොහොමටත් අප දෙදෙනා ම බොහෝ දුරට අක්‍රිය නිසා ඒවා තිබුණත් නැතත් ගැටලුවක් නොවන බව පැහැදිලි හෙයින් මම ඒවායින් ඉවත් වන්නට නොසිතුවෙමි. ප්‍රශ්නය දුරකතනයයි. අංකය මාරු කළ හොත් ගැටළු ගොඩකි. ඒ නිසා චාරුකාගෙන් එන ඇමතුම් මග හැරීමට සිතුවෙමි. ඇමතුම් කීපයකට කෙටි පිළිතුරු දී ඉන්පසු ක්‍රමයෙන් ඒවා මග හැරියෙමි.  අනතුරුව ඈ මට පණිවිඩ එව්වාය. මුලදී කෙටි පිළිතුරු යැවූ නමුත් පසුව මම ඒවා මග හැරියෙමි. මම ඒවා නොකියවීමි. ඊ මේල් වලටද පිළිතුරු නොයැවීමි. ඉන්පසු ඈ නිහඬ වූයේ මා නොසිතු පරිදිය. මේ වනවිට අප දුරස් වී මාස දෙකක් ගෙවී ගොස් තිබුණේ නොදැනීමය. කෙසේ වුවත් එපාර්ට්මන්ට් එකේ කුලිය ගෙවීම සඳහා සෑහෙන මුදලක් මම කලින්ම චාරුකාගේ බැංකු ගිණුමට බැර කළෙමි. ඒ එසේ කියා නොව ඇගේ අවශ්‍යතා සඳහා කියාය. අඩුම වශයෙන් චාරුකාට කුමක් සිදුවී දැයි සොයා බැලුවේ වත් නැත්තේ මන්දැයි මගේ යටි සිත මට වදදෙමින් තිබුණේය. එහෙත් නැවත සම්බන්ධතාව අලුත් කරගන්නට ද මට අවශ්‍යතාවක් නොවිය. මම අවසානයේ ඈ ගැන සොයා බලන මෙන් බ්‍රයන්ගෙන් ඉල්ලීමක් කළෙමි. මා පුදුමයට පත් කරමින් ඔහු පවසුවේ ඈ එපාර්ට්මන්ට් එක හැර ගොස් ඇති බවයි. එමෙන්ම විශ්ව විද්‍යාලයේද ඈ නොමැති බවයි. කීප වරක් ඇගේ දුරකථන අංකයට අත ගියත් මම වෑයමින් එය ක්‍රියාත්මක කිරීම වළක්වා ගත්තෙමි. දණ්ඩ චුම්බක දෙකක සමාන ධ්‍රැව මෙන් ඈත් මාත් ඈත්වී ගිය බවත් නැවත ළඟා වීමක් නොවන බවත් මගේ සිත මට කිවේය. කාන්තාවන් කෙරේ මගේ ඇල්ම පවා මේ ටික දිනට මගෙන්  දුරුවී යන බවක් ඒ සමගම මට  තේරුම් යමින් තිබුණි.

රැකියාවක් සොයා ගැනීම හා ජීවත් වීමට තැනක් ලබා ගැනීම ප්‍රමුඛත්වයේ ලා සැළකිය යුතු විය. මා කැලිෆෝනියාවේ රැකියාවෙන් ඉවත් වීම ගැන පසුතැවීමක් ද සිත කොනක වූ අතර කුමන ප්‍රාන්තයක අලුතෙන් ජීවිතය පටන් ගන්නේ දැයි ස්ථිර තීරණයක් ද නොවිය. එසේ වුවත් මම රැකියා කීපයකට අයදුම් පත් යොමු කළෙමි. හිස ද නිදහස් නොවූයෙන් සම්මුඛ පරීක්ෂණ  ද නිසි පරිදි කෙරුණේ නැති බවක් මට හැඟී ගියේය. මාස තුනක කාලයක් ගෙවී ගියේ නොදැනීමය. ඒ සමගම මට ලංකාවට ගොස් දෙමව්පියන් දැක බලාගැනීමට සිත අභ්‍යන්තරය විසින් ක්ෂණික පෙළඹවීමක් ඇතිකරන ලද්දේ දෛවෝපගතව ද යන්න මම අදටත් සිතමි. නැවත රැකියාවක් ආරම්භ කළ පසු එය අසීරු විය හැකිය. ඒ නිසා මම වහාම ගුවන් ටිකට් පත් වෙන්කර ගතිමි.

ඊළඟ සති අන්තයේ මම කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මව්බිමට පා තබනවාත් සමගම හිතේ තිබුණු කුමක්දෝ බරක් අපේ දුක් උසුලන ඒ සුපුරුදු බිම විසින් බාරගෙන මගේ සිත සැහැල්ලු කළා වැනි අපුර්ව හැඟීමක් මට ඇති විය.

අම්මාත් තාත්තාත් පුදුමයට පත්කරමින් මම ගෙදර දොරකඩ පෙනී සිටියෙමි

හිච්චි පුතා මේ හදිසියේ .... කියන්නෙත් නැතුව අම්මා විශ්මය පිරි දෙනෙතින් නමුත් කවදත් ඇගේ සුපුරුදු ආදරණීය සිනාව මුවට නංවා ගනිමින්  මා පිළිගත්තාය.

තාත්තාද මගේ ආගමනය නිසා මහත් සතුටට පත්ව සිටියේය. වෙනදා මෙන්ම ආ ගිය තොරතුරු කෙටියෙන් අප අතර හුවමාරු විය. මගේ පුද්ගලික තොරතුරු කවදත් ඔවුන් ඉදිරියේ තැබුවේ නැති අතර මගේ ස්ත්‍රී සම්බන්දතා ඔවුන් දැනගත්තේ නැත.

©malinieganewatta2024

Image from pexel






Friday, March 15, 2024

සුදු රෝස White Roses - 4

                                                        සුදු රෝස White Roses

   සිවුවැනි  කොටස                                                                                                                                       ම සාමන්‍යයෙන් වසරකට එකක් හෝ දෙකක් පමණ මගේ වෘත්තීයට අදාළ සංචාරවල යෙදීම සාමාන්‍ය දෙයකි. චාරුකා හා මා එක වහලක් යට වාසයට පැමිණි පසුත් දෙවරක් එසේ යාමට සිදුවීම නිසා චාරුකාට එය සාමාන්‍යකරණය වී තිබුණේය. ඒ අවස්ථාවල මා ගුවන්තොට කරා ප්‍රවාහනය කළේද ඇය විසිනි. දුකකින් නමුත් මට සමුදෙන ඈ ඒ දින දෙක තුන  සුපුරුදු පරිදි තනියම කාලය ගත කළාය. මේ සියලු දේ මැද අපේ සබඳතාව ලෝකයේ ඇති අනිකුත් දහසකුත් සබඳතා අතර ඇති තවත් ක්ෂුද්‍ර අංශුවක් ලෙස ඉදිරියට ඇදී ගියේ අපටත් හොරෙනි.

 සියුම් අංශුවේ සිට මේ ලෝකයේ සියලු දේ ක්ෂණයක් පාසා වෙනස් වෙමින් පවතින බව  අපට අමතකව ගොස් තිබුණේය. කොයි කවුරු අමතක කළත්  ලෝකය  තම ගමන නවත්වන්නේ නැත. එය සිය වේගය පවත්වා ගනිමින් ගමන් කරමින් තිබුණේය. අපට විද්‍යමාන වන්නේ ඉතාමත් සෙමින් නමුදු එහි සිදුවිය හැකි සියලු වෙනස්කම් සිදුවෙමින් පැවතුණේය. ඒ වෙනස් වෙන දේවල් අතර ජීවී අජීවී සියලු දේ  පමණක් නොව  පුද්ගලන් අතර සබඳතාවයන් ද වන්නේය. බැඳුම් සදාකල් පවතින්නේ නොවේ. වෙනස්කම් එකිනෙකා කරා ළඟා වන්නේ එක එක තරමිනි.

අපගේ සබඳතාවේ දී ඒ වෙනස මුලින්ම දැනෙන්නට වූයේ මටයි.  සියුම්ව නමුත් දැනෙන තරමක වේගයෙන් මට යමක් අහිමි වේගෙන යන බවක් වැටහෙමින් තිබුණේය. එය මට මේ වනවිටත් පැහැදිලි කරගැනීමට වචන නැති දෙයකි. සැබවින්ම මට කුමක් වේගෙන එන්නේදැයි පැහැදිලි බවක් නොවීය. සෙමෙන් පටන් ගත් නමුත් ඊ ළඟ සති කිහිපයේදී චාරුකා ඇතුළු මා වටා එතෙක් තිබු සියලු චමත්කාරජනක දේ හා හැඟීම් මා කෙරෙන් ඉවත් වේගෙන යන්නට වූයේ තුරඟ වේගයෙනි. මට එසේ දැනෙන්නට වූයේ ඇයිද යන්න අදටත් නොවිසඳුණු ගැටලුවකි. මා ප්‍රතිකාර ගතයුතු මානසික තත්වයක වූවාද යන්න මට තේරුම් ගියේ නැත. මා තුළ පැන නැග ක්‍රමිකව වර්ධනය වී යන හැඟුම් තනිව දරා ගැනීමට අපහසු වූයෙන් මට වඩාත් සමීප මිතුරා හමුවී ඒ ගැන කතා කිරීමට ඉටා ගතිමි.

" මගේ හිතට හරිම කරදරයි බ්‍රයන්. මට කිසිම නිදහසක් නෑ වගේ දැනෙනවානේ."

දිනක් අවන්හලකදී ඒ මගේ අතිජාත මිතුරා වන ජර්මන් ජාතික බ්‍රයන්ට මම මගේ සිතේ ඇතිවෙමින් තිබෙන අතෘප්තියක් වැනි අසහනකාරී හැඟීම ගැන අදහස් දැක්වීමි. ඔහු චාරුකා හා මගේ ලිවින්ග් ටුගෙදර් සම්බන්ධය හොඳින්ම දන්නා මිතුරෙකි.

"මොකක්ද ඔයා ඒකෙන් අදහස් කරන්නේ?"

"මං ඉස්සෙල්ලා හිතුවේ මට කවුරුවත් කෙනෙක් ආදරේ කරන්නේ නැහැ කියලා. දැන් චාරු මට ඕනෑවටත් වඩා ආදරය කරනවා. ඒ වුණාට මට ඕලා එක්ක හිල්ඩා එක්ක තිබ්බ සම්බන්ධකම් වගේ නෙවේ කියලා හිතෙනවා. ඒවායින් මම මිට වඩා සැහැල්ලුවක් වින්දා කියලා හිතෙනවා.”

ඕලා, හිල්ඩා තාවකාලික සම්බන්ධකම් නේ සුජාන්. උන්ට දැන් වෙන කවුරු කවුරුහරි ඇති. චාරු උඹට ආදරේ එක කොච්චර දෙයක් ද? කවදාහරි ෆැමිලි එකක් වෙන්න ඉන්නවා නම් මාත් එහෙම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් තමයි තෝරා ගන්නේ   බ්‍රයන් කීවේය.

ඒත් බ්‍රෝ මේක මට බරක් වගේ දැනෙනවා නේ?”

ඔයා අදහස් කරන දේ මට පැහැදිලි මදි. නිදහස නැහැ කියන්නේ ඇයි?”

මටත් තේරෙන්නේ නෑ බ්‍රයන්. මට මොකක් හෝ හිතෙනවා. ඒකයි. වෙලාවට ගෙදර යන්න ඕන. නැත්නම් එයා තනියම”.  

උඹට එයා එහෙම නීති දානවද?”

අනේ නැහැ. එයා එහෙම නැහැ. ඒත් මට එයා ඉන්දෙද්දී වෙන කෙනෙක් හම්බ වෙන්නවත් පාර්ටි යන්නවත් හිතෙන්නේ නැහැ.

ඒ ගැන තව හිතන්න. එහෙම නම් ඒක චාරුට පැහැදිලි කරලා අයින් වෙන්න.

ඇත්තෙන්ම බ්‍රයන් වැනි බටහිර ජාතිකයන් ඒ අතින් අවංකය. ඔවුහූ අදහස් සඟවාගෙන නොසිටිති. සබඳතා ඇරඹීමට මෙන්ම ඒවාට නැවතීමේ තිත තැබීමට ද බිය නොවෙති. මේ රටේ මට හමුවූ වෙනත් යුවතියන් හමුවේ දී මට තිබූ විවෘත බව චාරුකා හමුවේ මගෙන් පලාගොස් ඇති සෙයකි. මගේ සිතේ ඇති වෙමින් වර්ධනය වෙමින් යන මේ තත්ත්වය හමුවේ තවත් සති දෙක තුනක් ගතවී ගියේය. චරුකාට මගේ වෙනසක් නොදැන්නේ ඇයිදැයි මට වරෙක විමතියක් ද ඇති නොවූයේ නොවේ. අහම්බයන් සිදුවන්නේ සැලසුම් කොට නොවේ. ඒවා අපේ ජීවිතයට කොහේ හෝ සිට ඇතුළු වෙයි. ඒවායින් විටෙක යහපතක් ද විටෙක අයහපතක් ද සිදු වෙයි. එහෙත් අහම්බ අපට වළක්වා ලන්නට නොහැකිය. ඊළඟ සතියේ සේවා ස්ථානයට අලුතෙන් පැමිණි ඩේසි මගේ සිත වෙනස් කළාය.  නැතිනම්  මට වෙනස් වීමේ වුවමනාව තදින්ම දැනෙමින් සිටි මොහොතක ඈ ආවාය කියන එක වඩා නිවැරදිය.  රූපය අතින් ඩේසි හා චාරුකා අතර තිබුණේ අහසට පොළොව තරම් පරතරයකි. ඩේසි ඇත්තෙන්ම සුරඟනක් වූවාය. රන්වන් පැහැති සමත් බ්ලොන්ඩ් වර්ණ කේශ කලාපයත් ඇගේ සුරඟන රුව ඔපවත් කළේය. ඩේසිගේ දෙනෙතේ වූයේ උතුරා ගලා යන අනුරාගී බැල්මකි. රතු තොල් ආලේපනයෙන් නිතරම සැරසෙන ඇගේ මහත් වූ දෙතොල් මගේ සිත තුළ ඇති කළේ එක්තරා විදියක නොසන්සුන් බවකි. ඇයට නියමිත් රාජකාරි කාර්යන් ගැන පැහැදිලි කිරීම් පැවරී තිබුණේ මට බැවින් මම ඉතා කැමත්තෙන් එය ඉටුකරන්නට ඉදිරිපත් වුනෙමි.

එදා නිවසට ගිය මගේ වෙනස චාරු දැනගනු ඇති දැයි කිසියම් චකිතයක් වැඩිපුර මගේ සිතේ හොල්මන් කළේය.

"සුජාන් අද වැඩිපුර වැඩ තිබුණද?" චාරු මා වැළඳ ගනිමින් ඇසුවාය.

ඔව්, අලුත් බැච් එකක් ආවනේ. එයාලට ඔරියෙන්ටේෂන් කරන්න තිබුණා. හුඟක් ඒවා ඔන්ලයින්. ටිකයි පැහැදිලි කරන්න තිබුණේ”.”

ඈ ඉන් එහාට කිසිවක් ඇසුවේ නැත. කොහොමටත් කාර්යාලයේ කටයුතු ගැන ඈ හාරා අවුස්සා අසන්නේ නැත. රාත්‍රී ආහාරය සුපුරුදු පරිදි ගන්නා අතර චාරු වෙනදා  මෙන්ම සුරතල් බස් තෙපලුවය.  සැමදා සිදුවන අප දෙදෙනාගේ කායික සම්බන්ධය ද බාධාවකින් තොරව සිදු වුවත් මට එයින් එතරම් තෘප්තියක් නැති බවක් දැනෙමින් තිබුණේ මාසයකට පමණ පෙර සිටය. චාරුට ඒ බවක් ඇඟවුණේ නැත්තේ ඇයිද යන්න මට ගැටලුවකි. යම් ආකාරයකින් එසේ දැනෙමින් තිබුණත් ඈ මට ඒ බව නොපෙන්වමින් සිටියා වන්නටද බැරි නැතැයි මට දැන් සිතෙයි. එකල තේරුම් නොගත් ඇගේ දේහ බසේ සමහර සියුම් තැන් මට දැන් දැන් වැටහෙමින් තිබේ. එසේ වී නම් ඇයටත් මා ගැන යම් කලකිරීමක් වීද? අතීතයේ  මිස ඒ වනවිට මට වෙනත් සම්බන්ධතා නොතිබුණු බව ඈ දැනගෙන සිටියාය. මගේ දුරකථනය ඇගෙන් සැඟවී මක් නොවූ අතර එවැන්නක අවශ්‍යතාවක් එතෙක් ඇතිවී තිබුණේත් නැත. එසේත් නැතිනම් ආදරය යනු අයිතිකර ගැනීමම නොවේ යයි පුළුල් චින්තනයක් ඇය තුළ වීමද? ඇගේ එදිනෙදා මතුපිට හැසිරීමේ කිසිඳු අසතුටක් පෙනෙන්නට ද  නොවිය.

©malinieganewatta

Saturday, March 9, 2024

සුදු රෝස White Roses - 3

 







සුදු රෝස 

තෙවැනි කොටස 



ක්ව ජීවත් වීම සම්බන්ධයෙන් අපි දෙන්නා සියලු දේ සාකච්ඡා කර තීරණය කර ගතිමු. මේ රටවල්වල එක්ව ජීවත් වීමේ එකම අරමුණ විවාහයකට අනිවාර්යයෙන්ම යාම නොවේ. එසේ කලක් ජීවත්වී දෙදෙනාගේ කැමැත්තෙන් වෙන්ව යාම සාමන්‍ය සිද්ධියකි. එසේ වෙන්වී යන අය අවලංගු කාසි වන්නේ නැත. නැවත සම්බන්ධයකට යාමේදී එය ගැටලුවක් වන්නේ නැත. එහෙත් ලංකාව ඇතුළු ආසියාතික රටවල් වල තත්වය එසේ නොවේ. විශේෂයෙන් ගැහැනු ළමයෙකුට එසේ වීම සමාජය විසින් පිළිගන්නේ නැත. චාරුකා වුවද ඒ කුලකයට අයත් දැරියකි. මේ ගැන අපි කතා කළෙමු.

අපි එහෙම වෙන්වෙන එකක් නැහැ සුජාන් ඈ විශ්වාසය පල කළාය.

ඇත්තෙන්ම අපට එසේ නොගැලපීමක් ඇතිවනු ඇතැයි මට ද සිතුණේ නැත.

ලෝකය හමුවේ නොව අපේ හෘදය සාක්ෂිය හමුවේ අපි අපේම වීම තවත් කල් දැමීමට හේතුවක් නො වූයෙන්  ඊළඟ සති අන්තය නගරයේ තද බදයෙන් ඈත්ව පිහිටි කැලෑබද සංචාරක හෝටලයක ගත කිරීමට අපි තීරණය කර ගතිමු. කඳු වැටිවලින් ඉස්මත්තේ ඈත යෝධ දේවදාර ගස් මණ්ඩියෙන් ඔබ්බෙහි රන්වන් කිරණ දසත විහිදුවමින් හිරු බැසයන්නට සැරසෙන සෙනසුරාදා සුන්දර සැන්දෑ යාමය  එළඹීමත් සමග අපි ඒ රමණීය නවාතැනට ළඟා වීමු. වසන්තයේ එළිපත්ත මත වුවත් තවම අවට පරිසරයේ වූයේ තද සීතලකි. සීතල එහෙත් ගතට සුව දායක මද සුළං අප ගත දැවටෙමින් හමා යමින් තිබුණේය. රෝස මල් පඳුරුවල තවමත් රතු පාට දළු අතරින් මල් කැකුළු පොදි එළියට මතුවෙමින් තිබුණු අතර මලක් දෙකක් ලජ්ජාවෙන් මෙන් පිපෙමින් තිබුණේ නව යොවුන් වියට පා තබන දැරියක කෝමල සිනා පාමින් සිය කාමරයේ තිර රෙද්දෙන් යන්තමින් එබී බලා සිටිනයුරින් යයි  මට සිතුණි. අවට පරිසරයේ දිගහැරෙමින් තිබුණු ළපැටි මීවන දල්ලක පවා සියුම් සිත්තමක බඳු අමුතු චමත්කාරයක් ඇතැයි මට සිතුණේ කිසිදා එවැන්නක් දැක නොතිබුණු පරිද්දෙනි. මා කවදත් පරිසරයට ඇලුම් කළ බව බොරුවක් නොවේ. චාරුකා ද අවට සුන්දරත්වයෙන් වශීවී සිටියාය. ඒ සොඳුරු සීතල රැයේ දී අප දෙදෙනාට දෙදෙනාගේ තරුණ සිරුරුවල උණුසුමේ අවශ්‍යතාව තදින්ම දැනෙමින් තිබුණ අතර පළමු රාත්‍රිය ගත කරන යුවලකට හැම අතින්ම ගැළපෙන අයුරින් අති රමණීයව පිළියෙළ කර තිබූ ඒ කුටියේ සුවපහසු සයනය මත සුදෝ සුදු කපු නූලෙන් සිත්ගන්නා රටාවකට අනුව වියා සකස් කර තිබුණු උණුසුම් පොරෝනා අතරදී අප දෙදෙනා සිත කය දෙකෙන්ම ඒකාත්මික වීමු. එය චාරුකාගේ ප්‍රථම එවන් අත්දැකීම විය. ඇගේ සතුට මගේත් සතුට වූ අතර වලාකුළු අතර පාවෙමින් ගොස් අපි එකටම එකම මොහොතක එවැනි සම්බන්ධයක දී කලාතුරකින් සාක්ෂාත් කරගන්නා ගමනාන්තයට සැපත් වීමු.

තෘප්තියට පත්ව මගේ තුරුළට තව තවත් තෙරපුණු ඈ  සුජාන් මට ඔයා නැතුව මොහොතක් වත් ඉන්න බෑ සුජාන්. ඔයා මට ආදරේ නේද?” ළගන්නා ස්වරයෙන් ඇසුවාය.

ඔව් කෙල්ලේ මම ග්‍රහණය තවත් දැඩි කරමින් ඈ මගේ පපුවට තුරුළු කර ගත්තෙමි.

දවසින් දවස චාරුකාගේ ආදරය මා වසඟ කරගත් බව කියන්නේ අතිශයෝක්තියෙන් නොවේ. ලංකාවේ සිටියදී ඈ සිත්ගත් තරුණයින් කිහිප දෙනෙකුම සිටි නමුත් ඔවුන් ඇයට ප්‍රේමාරාධනා  නොකළ බවත් ලංකාවේ සිරිත අනුව ගැහැනු ළමයාට ඉක්මන් විය නොහැකි බවත් ඒ නිසා ඒ පෙම් සිහින බිඳී  ගිය බවත් ඈ අවංකවම මට කීවාය.

ඊළඟ මාසය ඇතුළත අපි එක වහලක් යට ජීවිතය ආරම්භ කළෙමු.  දින සති මාසවලට හැරුණි.  අපගේ උණුසුම් ඇසුරෙන්  චාරුකා මහත් සතුටක් ලැබුවාය.  මගේ ආදරයද නොඅඩුවම ලැබෙන ලිංගික තෘප්තියද ඇය වෙනස්ම ලෝකයක් වෙත කැඳවා ගෙන ගියාක් බඳු හැඟීමක් ඇගේ සිත තුළ ඇතිවී ඇතැයි නිදහසේ මා තුරුළේ දොඩමළු වන අතරේ ඈ තොදොල් හඬින් කීවාය. මම ද චාරුකාගේ සොඳුරු වත මෙන්ම සිරුරද කතාවද හැසිරීමද හමුවේ වෙනදා නොලද අපූර්වත්වයක් අත්දකිමින් සිටියෙමි. පරිසරයේ සියල්ල අප වෙනුවෙන් වී යයි අපට සිතෙමින් තිබුණේය.

ඇගේ පර්යේෂණ කටයුතුද සාර්ථකව ඉදිරියට යමින් තිබුණේය. ඈ හදාරන්නේ මගේ විෂයයන් නොවූවත් හැකි සෑම අයුරින් ම මම  ඇගේ අධ්‍යාපන කටයුතුවලට අතහිත දුන්නෙමි. මේ වනවිට මා වෙනදා මෙන් මිතුරු හමුවීම් වලට එතරම් සහභාගී වන්නේ නැත. ඇත්තෙන්ම ඒවා අඩුවී ගියේ ක්‍රමිකවය. චාරුකා මට සීමාවන් පැනවුයේ නැතත් මමම මා වටා පවුරක් ඉඳි කරගත් සෙයකි. චාරුකාගේ ආදරයේ මා කිමිදී ගිය බවක් මට දැනෙන්නට වූයෙන් ඇයත් සමග යන්නට පුළුවන් ගමනක් හැර තනිවම විනෝද වීම නුසුදුසු යයි මට සිතෙන්නට විය. ඒ වගේම වෙනදා හුදකලාවම ඇති තරම් කරක් ගැසු තියටර්වල, සිනමාහල්වල, හයික්වල යන්නේ නැත. ගියත් චාරුකා සමග පමණි. චාරුකා නිතරම මා හා දැවටී සිටියාය. චාරුකා කැමති පරිදි මෝල්වල කඩ සාප්පුවල මා ඈ සමග ගියේ ඇත්තෙන්ම සතුටු සිතිනි.ඇගේ ආදරය නිමක් නොවීය. නිවසේ කුදු මහත් කටයුතු ද වැඩි හරියක් කළේ ඇයමය.

අපි මැරි කරන්න ඕන කියලා ඔයාට හිතෙන්නේ නැද්ද චාරු?”  මම දිනක් ඇගෙන් ඇසුවෙමි.

ඇයි ඔයාට එහෙම හිතෙනවද?”

නෑ ගැහැනු ළමයින්ට නේ වැඩිපුර එහෙම හිතෙන්නේ. ඒකයි ඇහුවේ ඒ සමග ඈ මදෙස හෙලූ ආරාධනාත්මක බැල්මත් සමග ඉඳුරන් අවදි වූයෙන්  මම ඇගේ කනට පහළින් ගෙලමුල සිප ගතිමි.

ඔය ඉතින් .... මෙයාට තියෙන ගාය

අනික් එක්කෙනාට ගාය නැතුව ඇති

ඒ සමගම ඇගේ මුහුණට යම් බැරෑරුම් ස්වරූපයක් ආරුඪ වී කතාව ද ගැඹුරු විය.

සුජාන් මං අපේ අම්මලාට මේ ගැන කියන්න හිතුවා කීප සැරයක්ම. ඒත්  එතකොට ඒ ගොල්ලෝ අනිවාර්යයෙන් අපේ මඟුල ඉක්මන් කරන්න කලබල වෙනවා. ඇත්තටම මට ලොකු මඟුලක් ඕනත් නැහැ

පුදුමයි නේ ...ගෑනු ළමයි කැමති එහෙම මඟුල් ගන්නනේ?”

නෑ සුජාන් මට ආසා සුදු ලස්සන දිග වෙඩින් ෆ්රොක් එකක් ඇඳලා, ඔයාගේ අතින් මෙන්න මේ ඇඟිල්ලට මුද්දක් දාලා පොඩි සුදු රෝස මල් පොකුරක් අතට ගන්න විතරයිඈ සිය වමතේ සිහින් දිගු ඇඟිලි අතරෙන් වෙදඟිල්ල දක්වමින් කියා සිටියේ ලොකු ඇස් වලින් සිනාසෙමිනි.

ඉතින් මං දෙන්නම්කෝ සුදු රෝස මල් පොකුර

ඉතින් මනමාලයනේ අනේ ඒක ගේන්නේ

කවදද ඉතින් ඒක කරන්න ඕන මගේ පුංචි ගෑනු ළමයෝ?” මම ඇය හරහට වඩා ගනිමින් පැවසුවෙමි. ඒ සමග

අනේ අනේ මාව බිම තියන්න සුජාන්.... කියා යටි ගිරියෙන් කෑ ගසත්දීම මම ඈ වඩාගෙන ගොස් ඇඳ මතින් තබා ඇගේ ගෙලත් දොතොලත් සිප ගත්තෙමි. මොහොතකින් ඈ නැවතත් අර බැරෑරුම් පෙනුම සිය ලොකු ඇස්වලට ගත්තාය.

තව අවුරුද්දක් විතර ඉමු සුජාන්. මගේ වැඩවල අමාරු ටිකත් එතකොට ඉවරවෙලා තියේවි නේ. අම්මලා කොහොමත් ලංකාවේ උත්සවේ ගන්න කියාවි. එයාලගේ හිතත් සනසන්න ඕන නේ.”

ඇගේ විවෘත බවට මම ඇලුම් කළෙමි. මෙවන් සොඳුරු බලාපොරොත්තු පිරුණු ප්‍රේමනීය කතාබහ මැද අපේ ජීවිත ගලා ගියේ අපටත් නොදැනීමය. ආදරය මේ යයිද එය සදාතනික යයිද නිම්හිම් නැති හැඟුම් සමුදායක අපි වෙලී පැටලී ගොස් සිටියෙමු.

දින සති මාසවලට පෙරළෙමින් වසර දෙකකට ආසන්න කාලයක් ගෙවෙමින් තිබුණේය. අක්කලාත්  අම්මාත් මට කතා කරන වාරයක් පාසා පිළිවෙලක් වීම ගැන තම සුපුරුදු තැටිය වාදනය කිරීමට අමතක නොකළ අතර මමත් ඒ වාදනය ඒ කනින් අසා මේ කනින් පිට කිරීමේ වෘතය දිගටම අනුගමනය කළෙමි. තාත්තා නම් එදිනෙදා දේශපාලන තොරතුරු හැර පුද්ගලික දේ කතා නොකළේය. චාරුකා ගේ දෙමව්පියන්ගෙන් එවන් යෝජනා නොපැමිණියේ ඈ තම ඉගෙනීම අවසන් වන තෙක් එවැනි දේ කතා නොකරන්නැයි ඔවුන්ට තහංචි පනවා තිබූ බැවිනි. අප අතර සම්බන්ධය ඒ කිසිවෙකුත් නොදත්හ.

©malinieganewatta

Photo from pexel


Monday, March 4, 2024

සුදු රෝස White Roses - 2

 



සුදු රෝස  

දෙවැනි කොටස 


ණිවිඩ කීපයක් එහා මෙහා හුවමාරු විය. ඒ සැම අකුරකින්ම හදවතේ එක් විවර නොවූ තැනක් සිය දොරගුලු හැරගෙන යම් හැඟුම් සමුදායක් සමග රැළි නගමින් එන සාගර රැළි සමූහයක් මෙන් එකක් පරයා එකක් නැග එන්නට වූ අතර ඒ හඬ දුරකථනය ඔස්සේ ඇසීම සිත තව තවත් ඒ සැබවින් නොදුටු රුව කෙරේ ආසක්ත වීම වැඩි කළේය. ඉන් අනතුරුව වීඩියෝ ඇමතුම් හරහා ඒ සොඳුරු රුව රාත්‍රී කීපයක්  වාගේ මා ඉදිරියට ආවේ අලුත් ලොවකට මට ඇරයුම් කරමිනි. ඒ සෑම ඇමතුමක්ම, සටහන්වන හැම අකුරක්ම, හුවමාරු වන හැම රූපයක්ම මටත් නොදැනීම වෙනදා නොවූ සියුම් සංවර ස්වරුපයක් ගත්තේ කුමන බලපෑම කින්ද යන්න මට අදටත් ගැටලුවකි. මගේ සෑම හැසිරීමක්ම මට නොදැනුවත්වම වෙනස් වෙමින් පැවතියේය. කතා කරන හැම වචනයක්ම ප්‍රේමනීය විය. හැම දිනයක්ම එළඹියේ නව බලාපොරොත්තු සමුදායක් සමගිනි. ප්‍රේමය නම් මේ යයි කියන්නට ලියන්නට මම වචන සොයමින් සිටියෙමි. චාරුකා මටත් කලින්ම මට ප්‍රේම කළා වන්නට ඇත. ඇත්තටම ජීවිතය මල් යායක්‌ විය. මෙසේ කාලයේ විහඟුන් පියාසර කරන වකවානුවේ එක දිනයක අපගේ ප්‍රථම භෞතික හමුවීමට මග පාදා ගතිමි.  අවසානයේ ඒ සොඳුරු හමුව සිදු වූයේ එළඹෙමින් තිබූ වසන්ත සමයේ එක් ආනන්දනීය සවස් යාමයක දී ලොස් ඇන්ජලිස් හි ගෙටි සෙන්ටර් නම් අපූරු ස්ථානයේ දී ය.

මා එහි ළඟාවන විට ඈ ස්ථානයට ඇතුළුවන ගේට්ටුව අසල සිටියාය. තද නිල්  පැහැයෙන් යුත් ඩෙනිමකින් හා මැරුන් පැහැති උණුසුම් ජැකට් එකකින් සැරසී සිටි ඈ දුර තියාම සිය දිගු ලොකු ඇස් වලින් බලමින් මට අත වැනුවාය.

"චාරු ඔයා. මේක ඇත්තක් ද? මට පුදුමයි චාරු." කී  මම ඈ වැළඳ බදා ගතිමි. ඇයද මොහොතකට මගේ උණුසුමට තුරුළු වූවාය.

"ඉතින් සුජාන්?" ඇගේ පිළිතුරත් සමග ඈ මගේ දෙනෙත් තුළට කිඳා බැස්සාය.

"කියන්න තරම් ලස්සනක් මේකිගෙ නෑ” මගේ සිත කීවේය.

ඒත් ඒ දෙනෙත් මා වසඟ කළේ මටත් හොරෙනි. ඇයත් සිතුවම් වලට ආශා කළ බව දැනගෙන තිබූයෙන් ගෙටි සෙන්ටර්හි සිතුවම් ඇති කොටසේ අත්වැල් පටලාගෙන ඒවා නරඹමින්ද, උද්‍යානයේ වසන්තයට එබිකම් පානා තුරුලතා අතරද අප දෙදෙනා හෝරාවක් දෙකක් දොඩමළුව ගෙවූ ඒ අතිශය උන්මාදනීය කාලය නිමා වූයේ නිමේෂයක් පරිද්දෙනි. සුන්දර සිහින මැද තවත් හමුවීම් දෙකක් තුනක් වූ අතර අපි අපේ ආදරය ප්‍රකාශ කර ගතිමු. එහි කිසිඳු පැත්තකින් සැකයක් හෝ රැවටිල්ලක් නොවීය. අයි ලව් යූ කියා සිය දහස් වරක් කියන්නට ඇත. කෙමෙන් කෙමෙන් අප දෙදෙනාට දෙදෙනා නොදැක සිටීම අසීරු වන තත්ත්වයක් දක්වා ඒ ප්‍රේම පුරාණය ඇදී ගියේය. ඇගේ අධ්‍යාපන කටයුතු හේතුවෙන් ඈ සිටියේ ඉතාමත් අවිවේකී කාලයක් ගත කරමින් බැවින් අපට හමු වීමට ලැබුණු කාලය ඇත්තෙන්ම සීමිත විය. එසේ වුවත් ඇයටත් මටත් විවේක ලැබෙන කිසිඳු අවස්ථාවක් මග නොහැර, සුන්දර උයන් වතු, කෞතුකාගාර හා අවන්හල් වලදී අපි වරින් වර හමු වීමු. එළිමහන් හමුවීම් වලට පසුව අපි  ප්‍රථම වරට දිවාකාලය ගත කිරීමට  ලොස් ඇන්ජලිස් හි රිට්ස් කාල්ටන් තරු පහේ හෝටලය තෝරා ගත්තෙමු. එහෙත් කිසිඳු එකඟ තාවයක් ගැන කලින් කතා නොවූවත් එහිදී සාමන්‍ය සිප වැළඳ ගැනීමකින් ඔබ්බට නොගියෙමු. මගේ ඉඳුරන් ඒ දේ ඉල්ලීම සාමාන්‍ය වුවත් චාරුකා හමුවේ ඉබේම මට ඇතිවූ සංවරය ඒ මොහොතේ එසේ කිරීමට ඇගෙන් ඉල්ලීමෙන් මා වළක්වා ලූයේය.

අපි දෙන්නා අපේ තොරතුරු කතා කර ගත්තෙමු. මගේ පෙර සම්බන්ධතා ගැන මම ඇයට කෙටියෙන් නමුත් සත්‍ය වසන් නොකර පවසා සිටියෙමි. ඈ ඉවසූ කන් ඇතිව සාවධානව ඒ සියල්ල අසා සිටියාය.

මට අතීතයෙන් කමක් නැහැ සුජාන්. මම මේ මොහොත හා ඉස්සරහ ගැන හිතන කෙනෙක් ඇගේ වචන මා ඇයට තව දුරටත් සමීප කිරීමට හේතු විය.

දිවා ආහාරයෙන් පසු සැහැල්ලුවෙන්  හා සුරතලයෙන්  මගේ පපුවේ රෝම අතර අතැඟිලි යවමින් මගේ තුරුලේ සිටි චාරුකාට වැඩිදුර නොසිතා අපට එකට ජීවත්වෙන්න පුළුවන් නේද චාරු?” යයි මම මගේ සිත තුළ වාන් දමමින් නැග එන අදහස පැනයක් ලෙසින් ඉදිරිපත් කළෙමි.  ඒ යෝජනාව ගෙන ඒමට ඉක්මන් වීම ගැන එක්වරම  සිතට ඇති වූයේ චකිතයකි. පළමු හමුවීමෙන්ම තීරණයන්ට එළඹීම මෙවැනි රටවලට නම් අමුත්තක් නොවුණි. ඒත් ඈ මේ රටට පැමිණ වැඩි කලක් ගතවී නැත. මේ රටේ සාමාන්‍ය ජීවිතය ගැන ඇගේ අවබෝධය එතරම් ලොකු පරාසයක විහිදී තිබෙන්නට ඉඩකඩක් නැතිවාට සැක නැත. මෙහි තරුණ ජීවිත ගතවන ආකාරය ගැන මට හොඳින්ම අත්දැකීම් ඇත. පුදුමය නම් මගේ පැනය හමුවේ අමුත්තක් නොදැක්වූ ඈ එවැනි ජීවිතයකට අකමැත්තක් ඉදිරිපත් නොකළාය. ඒ වෙනුවට ඇගේ දෙනෙත් තුළ වූයේ අනුරාගය මුසු ආදරණීය බැල්මකි.

“Why not Sujan? හැබැයි සුජාන් ඔයාට මගේ එපාර්ට්මන්ට් එකට එන්න කියලා කියන්න බෑ. මොකද අපි තුන්දෙනෙක් එකට ඉන්නවනේ. චාරුකා කීවාය.

මං දැනට ඉන්න තැනත් හරි මදි කෙල්ලේ. මං තැනක් බලනවා මේ දවස් වල. ඒක ඉක්මනින් ලැබෙයි.

හොරා මටත් නොකියම එපාර්ට්මන්ට් ගන්න ප්ලෑන් කළා නේද?”  ඈ මා චුදිතයෙකු වශයෙන් සළකා කීවත් ඇගේ ස්වරයේ වූයේ මා එසේ කිරීම ගැන සතුටක ඡායාවකි.

නෑ චාරු ...එහෙම හිතලා නෙවේ. මට කොහොමත් තැන වෙනස් කරන්න හිතිලා ගොඩක් කල්  මම ඇත්තම කතාව ඈ හමුවේ තැබුවෙමි.

අපි දෙන්නම එකතුවෙලා ඒක ගනිමු. කොහොමත් හැමදාම එහෙම ඉන්න නෙවේනේ නේද සුජාන්?”  ඈ තුළ සිටි සාමන්‍ය ලාංකික ගැහැනු ළමයා අවදි විය.

නෑ නෑ අපි මැරී කළහම ගෙයක් අරගමු. එපාට්මන්ට් එකට ගෙවන එක මම කරන්නම්. ඔයා තාම ඉගෙන ගන්න ළමයෙක් නේ. අපේ සම්බන්දෙ ඔයාගේ පේරන්ට්ස්ලා  දන්නවද?”

මං ඔයා ගැන කිව්වා. ලංකාවේ කෙනෙක් හමු වුණාම කොහොමත් කියනවනේ. ඒත් මේ සම්බන්දෙ ගැන කිව්වේ නැහැ. ඒකට තව කල් ඕන සුජාන්. ඔයත් තාම අම්මලා තාත්තලට කිව්වේ නැහැනේ?”

මට ඕනම මොහොතක කියන්න පුළුවන්. නොකියම තීරණ ගන්නත් පුළුවන්. ඒ ගොල්ලෝ මගේ පුද්ගලික දේ ගැන අහන්නේ නැති තරම් චාරු.”

ඒ වුණත් අපි මේ වගේ දේවල් දෙමව්පියන්ට කියන එක අපේ යුතුකම තමයි සුජාන්. මටත් ලොකුවට නීති දාලා නැහැ. එකනේ තනියම මම මෙහෙ එව්වේ.”

හොඳයි එහෙම කිව්වා කියමු. ඔයාගෙ ගෙදර අය ලිවින්ග් ටුගෙදර් වලට කැමති වේවිද?”

අපෝ එයාල නම් බඳින්න කලින් එහෙම දේකට කැමති වෙන එකක් නෑ. මං ඒ ගැන නම් තාත්තට කියන්න යන්නේ නෑ. එයාල මාව බන්දලා එවනවා කෙනෙක් හිටියා නම්. මට එහෙම කවුරුවත් හිටියේ නෑ සුජාන් ඇගේ ස්වාධීන තීරණය ගැන මට ඇතිවූයේ සතුටකි. ඈ පවුලේ එකම ගැහැනු දරුවා බවත් ඇයට වැඩිමල් එකම සහෝදරයා දැනට එංගලන්තයේ රෝහලක වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන බවත් පවුලේ තොරතුරු වශයෙන් දැන ගතිමි. ඇගේ පියා කලක් විදුහල් පතිවරයෙකු ලෙස සේවය කර දැනට විශ්‍රාම සුවයෙන් පසුවන බවත්  මව ගුරුවරියක වශයෙන් තවමත් සේවය කරන බවත්   තව දුරටත් ඈ මට පැවසුවාය. ලංකාවේ ඇගේ දෙමාපියන්ගේ නිවස පිහිටා තිබුණේ මහරගම ආසන්න ගමක බවත් ඇගෙන් දැන ගතිමි. මගේ පවුලේ තොරතුරු ද මම නොවලහා ඇයට කීවෙමි. ලිවින්ග් ටුගෙදර් සම්බන්ධව අප තීරණයකට ඉක්මනින් පැමිණි නමුත් එය ක්‍රියාත්මක කිරීමට කල්යල් බලන්නට සිදු විය. එහෙත් සුදුසු එපාර්ට්මන්ට් එකක් ලැබෙන තුරු වෙන්ව සිටීම අප දෙදෙනාට තව දුරටත් ඉවසුම් නොදෙන්නක් බවට පත්වීය.

  ©malinieganewatta2024

Photo from Pexel

Thursday, February 29, 2024

සුදු රෝස White roses - 1

 





සුදු රෝස

පළවෙනි කොටස  

 


ම තිරයේ ඒ වනවිටත් ඇති ඡායාරූපය දෙස  නැවත වතාවක් දෙනෙත් යොමු කළෙමි.  ඒ මුහුණ පැහැපත්ය. ඒත්  එතරම් රූපසම්පන්න බවක් පෙන්නුම් කළේ නැත. මේකප් දැමූ බවක් පෙනෙන්නට තිබුණේ ද නැත. මදක් මතුවී පෙනෙන කම්මුලේ අස්ථීන් හා දික්වූ සිහින් නැහැයත් එතරම් සිත් ඇද ගන්නා සුළු බවක් ඒ මුහුණට එක් නොකළේය. එහෙත් මුතුවන් දසන් යන්තමින් පෙනෙන සේ මතුවී ඇති සිනාව කිසියම් ආකර්ශනීය බවක් මුහුණට එක්කර තිබුණි. ඒ සමගම තරමක් ඝනව සකස් කළ ඇහිබැමට යටින් වූ මදක් ලොකු දීප්තිමත් දිගුඇස් මගේ අවධානයට යොමු වූයේ නිතැතිනි. ඒ රූපයට යමෙකු ආසක්ත වන්නේ නම් ඒ එහි ඇස්වල පෙනෙන බැල්ම නිසාම විය යුතුය. මටත් ඒ ඇල්ම ඇතිකළේ ඒ අසිරිමත් ඇස්යයි මම සිතමි. හිතේ ඇතිවූ හැඟීම විස්තර කිරීමට අපහසු තරම් විය.

මොකක්ද මන්දා අමුතු බැල්මක් මේ ඇස්වල තියෙනවා.මම මටම කියා ගතිමි.

හායි! හව් ආ යූ? ඇක්චුවලි අයි ෆීල් ලයික් ටෝකින් ටු යූ, නොට් ජස්ට් ලීවින් අ මැසේජ්  .

මම මැසෙන්ජරයට ගොස් වොයිස් ටයිප් කළෙමි.

උත්තර ලැබුණේ නැත. ටික වෙලාවකින් බැලූ විට කොළ එළිය තිත නිවී ගොස් තිබුණි.

නැවත වරක් ඒ ගිනුමේ ප්‍රොෆයිල් පින්තූරය දෙස නෙත් හෙලූ මම සියලුම ඇප් වසා දමා හඬද නිහඬ කොට දුරකථනය නිවා දමා පැති මේසය මත තබා ඇඳේ අනික් පසට හැරී නින්දට වැටුණෙමි. පසුදින සුපුරුදු පරිදි දුරකථනය අතට ගෙන තිරයේ තිබූ නෝටිෆිකේෂන් බැලූ මට දක්නට ලැබුණේ ඊයේ තැබූ පණිවිඩයට පිළිතුරකි.

“I saw your message. I'm in California too. I came here one year ago for my PhD at The University of California.”

ඒ කියන්නේ එයා මගේ ප්‍රොෆයිල් එක බලලා. ඒකනේ මං කැලිෆෝනියා බව දන්නේ? මේ ළඟ නේ ඉන්නේ.මම මටම  කියා ගත්තේ මහත් ප්‍රමෝදයක් සිත තුළ පොර බදද්දී ය. ඒ සතුටට හේතුව කුමක් ද යන්නවත් මට නිනව්වක් නොවීය. දිනකට වරක් දෙකක් වත්පොතේ සැරිසැරීමක් කරනු විනා මා  කවදත් එයට ඇබ්බහි වීමක් වුයේ නැත. එහි පොස්ටුවක් දැම්මේ මාසයකට දෙකකට වරක් පමණි. මට මේ මුහුණ හමු වූයේ ඊයේ එසේ සැරිසරණ අතරය. ඇඩ් ෆ්‍රෙන්ඩ් ලෙස මතුවූ රූපයේ යටින් චාරුකා වල්පිට ලෙස ඉංග්‍රීසි බසින් නම සඳහන් වී තිබුණි. ඒ මුහුණේ තිබූ මට වචනයෙන් විස්තර කරන්නට බැරි යම්කිසි ළගන්නා සුළු බවක් විසින් මම එහි අයිතිකාරියගේ ගිණුමට යොමු කරනු ලැබීමි. එයින් මට දැනගැනීමට හැකි වූයේ ඈ ඇමරිකාවේ ජීවත් වන බව පමණකි. ඒ හැර ඈ ලංකවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් බව සඳහන් වී තිබුණි. වෙනත් පුද්ගලික දෑ එහි නොවීය.

ගැහැනු ළමයින්ගේ මුහුණු, ඔවුන්ගේ පණිවිඩ පමණක් නොව ඔවුන්ගේ ඇසුරද මට අමුතුවෙන් සිතිය යුතු  අලුත් අත්දැකීමක්  නොවිය. මගේ සැහැල්ලු සරල ජීවිතය මද සුළං මැද  පාවෙමින් තිබුණු පිහාටුවක්  බව කිව යුතුය. ඒ පිහාටුව ගසා ගෙන යන තරමේ සුළං රැල්ලක් ඒ වනතෙක් හමාවිත් තිබුණේ නැත. මා ඇමරිකාවට ආවේ ග්‍රීන් කාඩ් ලොතරැයිය ඇදීම නිසාය. එවිට මට වයස අවුරුදු විසි හතරකි. ඉංජිනේරු උපාධියේ අවසන් ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් සිටි මට එය ලොතරැයියෙනුත් ලොතරැයියක් වීම දෛවයේ සරදමක් ද වාසනාවක් ද යන්න  මම අද සිතමින් සිටිමි. මා මෙබිමට පා තබා ඒ වනවිට වසර අටක් ගෙවී ගොස් තිබුණි.

ආගන්තුක පරිසරයක මුලදී දැනෙන සාමන්‍ය කාන්සාමය  තත්වය සමනය වත්ම හිතුවාටත් වඩා කලින් මම විප්‍රවාසයේ තහවුරු විමි. සැබෑ ඇමරිකානුවෙකු වීමට සංක්‍රමණිකයෙකුට කිසිදාක නොහැකි වන්නේය. වයසින් අවුරුදු අටක නවයකට අඩු කුඩා කළ මෙහි සංක්‍රමණය නොවුව හොත් අපගේ ඉංග්‍රීසි උච්චාරණය  කිසිදා නිවැරදි වන්නේ නැත. නිවැරදි ලෙස යනු නිරපේක්ෂ සත්‍ය ලෙස ගතයුතු නිවැරදි බවක් නොවේ. අපට නුපුරුදු ඇමරිකානු උච්චාරණයයි. මටද එය එසේම වුවත් අනිකුත් බොහෝ දේ වලින් ඒ වනවිට මගේ ජීවිතය ඇමරිකානු බවට හැරී තිබුණේය. අසන ගීතද, නරඹන සිනමාවද, කියවන පොත්පතද, සැරිසරණ තැන්ද, අඳින පළඳින විලාසිතාවන් ද මේ රටට ගැළපෙන පරිදි ක්‍රමයෙන් සකස් විය. එහෙත් සිතන සිතුවිලිවල ඒ වනවිටත් නැංගුරම් ලාගෙන  සිටි ලාංකිකයා නැත්නම් සිංහලයා උඩට මතුවන්නේ ඉබේටම වීම මට නවතා ලිය නොහැකි ජන්ම දායාදයක් විය. ආගමික වශයෙන් මට කවදත් ලොකු බැඳීමක්, බලපෑමක් නොවූයේ මගේ දෙමව්පියන්ද ඒ තරම් ඒවාට ඇලුණු ගැලුණු පුද්ගලයන් නොවූ නිසා විය යුතුය. කොහොමටත් තාත්තා දැඩි භෞතිකවාදියෙකු වූයෙන් ගෙදර හා සමාජීය වශයෙන් වූ ආගමික කටයුතු වලදී මුල් තැන ගත්තේ අම්මාය. 

මගේ ජීවිතය එකල තරමක් අවිවේකි වූයේ මා විසින් දිගටම කරගෙන ගිය උසස් පෙළ අමතර ගණිත පන්තිය නිසාය. මට අවශ්‍ය වූයේ මගේ ඉගෙනීමේ වියදම් ඇතුළු යැපීමේ බර  දෙමාපියන් මත නොතැබීමයි. ඒ වගේම මගේ ඉගැන්වීමේ හැකියාවට සිසුහු ආකර්ෂණය වීම මගේ ඊගෝව උස් ස්ථානයක රැඳවීය. මගේ උපයා ගැනීම් වලින් සරසවි ජීවිතයේදීම මම මෝටර් රථයක් ද මිළදී ගැනීමට සමත් වූයෙමි. දෙමාපියන්ට මගෙන් වියපැහැදම් අවශ්‍ය නොවුණත් සහෝදරියන්ගේ අවශ්‍යතා සඳහා මම ඉදිරිපත් වුයෙමි. අපේ පවුලේ සහෝදර බැඳීම් ඔවුන් විවාහ වූ පසුව පවා ඈත් වූයේ නැත්තේ ඔවුන් හා සම්බන්ධ වූ අනික් පාර්ශවයන් ද හොඳ මිනිසුන් වූ බැවිනි.

ඉගෙනීමට ද මගේ  හැකියාව අනිකුත් අය මවිත කරවන තරම් වීම විටක මට කරදරයක් පවා විය. ඒ හැකියාව අපේ පවුලට  සහජයෙන් උරුම වුවක් විය යුතුය. මට විභාග සඳහා ලොකු මහන්සියක් ගැනීමට අවශ්‍ය නොවීය. දැනට පරිපාලනයේ ඉහළ තනතුරක් දරන අයියාද සිය කැමැත්තෙන් ගුරුකම තෝරා ගත් ලොකු අක්කාද වෛද්‍යවරියක වන පොඩි අක්කාද එක ලෙස ඉගෙනීමේ දක්ෂන් වූහ. මා මොරටුව විශ්ව විද්‍යාලයේ ගතකළ වසර හතරක සරසවි ජීවිතයේ දී  ගැහැනු ළමයින් දෙතුන් දෙනෙකුම ඇසුරු කළ නමුත් ඒ කිසිම සබඳතාවක් දුර දිග පැවතියේ නැත. ඒ නිසා මට වෙනත් කිසිම බාධාවක් නැතිව තනිකඩයෙකු ලෙසම ඇමරිකාවට ගොඩ බැසීමට හැකි වීමත් ඒ සමගම උසස් උපාධියක් සඳහා ඉගෙන ගැනීමට අවස්ථාව පාදා ගැනීමට ඉඩහසර ලැබීමත් මා ලද ජයග්‍රහණයන් විය.

පුදුමයට මෙන් මා වටා සියල්ල සකස් වන්නේ මගේ සැහැල්ලු ජීවිතයට අවකාශය ඉබේම සකස්වන ආකාරයෙනි. එය මා උපන්දා සිටම සිදුවූවක් බව වරෙක අම්මා කි බව මතකය.

හිච්චි පුතා බඩට ආවත් හරි දරුවා හම්බ වෙද්දීවත් මට කිසිම අමාරුවක් වුණේ නැහැ.

 මා දිනෙන් දින උස්මහත් වෙද්දීත් දෙමව්පින්ට අමතර දුකක් කරදරයක් විඳින්නට වූයේ නැති බව ඔවුහු පවසා සිටින්නේ මහත් සතුටෙනි. අක්කලා හා අයියා කුඩා කළ නිතර රෝගී වී ඒ සඳහා දෙමාපියන්ට කරදර විඳින්නට සිදු වී තිබේ. ඒ වනවිට ලංකාවේ සිටින දෙමාපියන් බැලීමට වසරකට දෙකකට  වරක් යාම හැර මව්බිම සම්බන්ධ වෙන වගකීමක් මට තිබුණේ නැත. මගේ දෙමව්පියන්ට සැළකිය යුතු තරම් වත්කමක් තිබුණු හෙයින්ද ඔවුන්ට ඒ වනවිටත් මනා සෞඛ්‍යසම්පන්න ජීවිතයක් හිමි වූයෙන් ද එමෙන්ම මගේ  සහෝදරියන් දෙදෙනා හා එකම සහෝදරයා දෙමාපියන්ට කිසිම අඩුපාඩුවක් නොවන අයුරින් ඔවුන් රැකබලා ගත් හෙයින්ද දෙමාපියන් ගැන වුව බරපතල වගකීම් මට නොවීය.  මගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමට  ඔවුන් දෙදෙනා ඇමරිකාවට පැමිණි අතර ඒ වතාවේ පුතා ඉන්නා දේශයේ වටපිටාව  හැකිතාක් නැරඹීමට අවස්ථාව උදා කර දෙන්නට මම උත්සුක වීමි. ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ සිය මිතුරු හා නෑදෑ සංගම් අතර අනිකුන්ට නොදෙවැනිව  ඇමරිකාව මෙසේ යයි කියන්නට හැකිවීම පමණක් බව මම දන්නෙමි. ඒ හැර විප්‍රවාසී ජීවිතයකට ඔවුන්ගේ කිසිඳු මනාපයක් තිබුණේ නැත.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මා ගතකළ කාලයද ඉතාම ප්‍රසන්න එකක් විය. මා ක්‍රීඩාවට ද සංගීතයටද එකසේ ඇලුම් කළ හෙයින් හා ඒ සම්බන්ධ අවස්ථා වලට නිරන්තරයෙන් සහභාගී වූ බැවින් විශ්ව විද්‍යාලයේදී මට නිතැතින්ම කැපී පෙනෙන තැනක් හිමි වූයේ මා නොසිතූ පරිද්දෙනි. විවිධ ජාතීන්ට අයත් මිශ්‍ර ජනගහනයක් ඇති කැලිෆෝනියා ප්‍රාන්තයේ මා ඇසුරට පත් මිතුරෝ  බොහෝ දෙනෙකු  වූහ. මෝටර් රථයද විකුණා දමා මා එනවිට යම් ප්‍රමාණයක මුදලක් ගෙනැවිත් තිබූ අතර විශ්ව විද්‍යාලයේදී ඉගැන්වීමෙන් ලැබෙන ආදායම තනි පුද්ගලයෙකු වශයෙන් මට ප්‍රමාණවත් විය. එපාර්මන්ට් එකකට කුලී ගෙවීමටත් එදිනෙදා ආහරය සඳහාත් වාහනයට ගෙවීමටත්  ඒ හොඳටම ප්‍රමාණවත් විය. ඉගෙනීමෙන් පසු කැලිෆෝනියා ප්‍රාන්තය මූස්ථානය කරගත් ලෝකයේ කීර්තිමත්ම සමාගමක මගේ ක්ෂේත්‍රයට අදාළ රැකියාවකට යාමට හැකිවීම සංක්‍රමණිකයෙකු ලෙස මා ලද තවත් ජයග්‍රහණයකි. පුරවැසි බව ලැබුණු පසු රාජ්‍ය අංශයට යාමට ඉඩහසර විවරවන නමුත් මා කරමින් සිටින රැකියාවටත් ස්ථානයටත් ඇලුම් කිරීම නිසා එහිම රැඳී සිටියෙමි.

වරින් වර විවිධ ජාතීන්ට අයත් ගැහැනු ළමයින් සමග සබඳකම් පැවැත්වූ මම මාගේ ඇතුලාන්තය විසින් ඉල්ලන කිසියම් දෙයක් මෙතෙක් නොලැබුණේය යන චිත්තාවේගයකින් පසු වීමි. ඒ කුමක්ද යන්න මට පවා පැහැදිලි නොවීය. ලංකාවේ මෙන් නොව ගැහැනු ළමයින් සමග කතාබහෙන් ආරම්භ වන සම්බන්දතා රැයක් ගත කිරීම සඳහා දුරදිග යාම මෙහි සාමන්‍ය දෙයකි. එවැනි අවස්ථා ගණනාවක් මට අත්විඳින්නට ලැබුණේ කුමන හෝ හේතුවක් නිසා ගැහැනු ළමයින් මට ආකර්ෂණය වීම හේතු කොටගෙනය. සමහර විට මගේ සමේ වර්ණය, උස හා කතාබහේ විලාසය එයට හේතු වන්නට ඇත. එහෙත් ඒ කිසිම ඇසුරක් විවාහ සංස්ථාව දක්වා තබා දිගුකාලීන එක්ව ජීවත්වීම් දක්වා වත් ගෙන යාමට ඔවුන්ට වත් මටවත් වුවමනාවක් වූයේ නැත. ආදරය යනු කුමක්ද යන්න ගැන මම සිතමින් සිටියෙමි. සැබවින්ම ඒ වනතෙක් මට සැබෑ ආදරයක් හමු නොවන්නට ඇත. සිනමාවේ, වේදිකාවේ හා පොත පතවල උතුරා යන ආදරය නිරන්තරයෙන් දැක්කෙමි. එහෙත් සැබෑ ජිවිතයට එවැන්නක් එබිකම් කළේ නැත. අපේ ශ්‍රී ලාංකික කමේ අංගයක් ලෙස පවතින පවුලක් ඇතිකරගෙන ජීවත් විය යුතුය යන්න පිටුදකින්නට නොහැකි ©සිතුවිල්ලක්  මට ද ජානගතවම ලැබී තිබුණේය.

මගේ අම්මා හා තාත්තා ආදරයෙන් බැඳී සිට විවාහ වුවෝ වෙති. ඔවුන් අතර බහින් බස්විමකට වඩා දුර දිග ගිය ආරවුල් මා දැක නැත.  අක්කලා දෙන්නා තම සහකරුවන් සොයා ගත්තේ ද ආදරය කිරීමෙන් පසුවය. අයියා  පවුලට සම්බන්ධ තැනකින් ආ යෝජනාවක් අනුව තම සහකාරිය සොයා ගත්තේය. මට පෙනී ගිය පරිදි ඒ වනවිට ඔවුහු යහපත් පවුල් ජීවිත පවත්වාගෙන ගියෝය. මා විවාහ විය යුතුද? එසේ නම් මා විසින් තෝරා ගත යුත්තේ කවරාකාර යුවතියක්ද? අම්මා හා ලොකු අක්කා නිතරම ඒ ගැන මතක් කරමින් සිටිති. එහෙත් මට එතෙක් මගේ ජීවන සහකාරිය හමුවී තිබුණේ නැත. මෙවන් වාතාවරණයක් තිබියදී වත් පොතේ අහම්බෙන් මතුවූ ඒ රුව මගේ සිත කැළඹීමට පත් කර තිබුණි.

©malinieganewatta

Thursday, February 8, 2024

සතුට

 සතුට



පි අතීතයේ සතුටින් හිටිය ද?
අපි දැන් සතුටින් නෙමේද ඉන්නේ?
අපි ඉදිරියේදී සතුටින් ඉඳීවි ද?
මං හුඟක් බලල තියෙනව කවියක් හරි කතාවක් හරි අතීතයේ අප විඳි දෙයක් මතක් වෙන්න ලියුවොත් ඒක හුඟක් ජනප්රිය වෙනවා. ඒක අතීතයේ අප විඳි සතුටු දෙයක්, මධ්යස්ථ දෙයක් හෝ දුක්බර දෙයක් වෙන්න පුළුවන්. අපි අතීතයට යන්න ආසයි. ඒ කියන්නේ අපි අතීතයේ හැම තිස්සෙම තෘප්තිමත්ව සතුටින් හිටියා කියන එකම නෙවේ.
විදුලි බලය නැතිව ලාම්පු පත්තු කරගෙන රාත්රී කාලය ගත කළේ. ගෑස් නැතුව දර ලිප් දල්වාගෙන දැළි වලං හෝදගෙන ඉවුම් පිහුම් කළේ. පයින් හරි බයිසිකලයකින් හරි බස්වල තද බද වෙලා ගමන් ගියේ. මෝටර් රථයක් තිබුණෙ එහෙමත් කෙනෙකුට විතරයි. හුඟක් ගෙවල් පොල් අතු සෙවිලි කරල තිබුණෙ. ඒ පොල් අතු මාස ගණනක් ඇතුළත දිරාපත් වෙනවා. ආයෙ අළුත් ඒවා සෙවිලි කරන්න ඕන. ඒත් ජීවිත ගෙවුණ. වෙන විකල්පයක් නෑ නෙ. ඔය වගෙ උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්.
ඒත් අපි ඒ අතීතය සුන්දර දෙයක් විදියට මතක් කරනවා. මේ හැඟීම් nostalgic feelings කියල ඉංග්රීසියෙන් හඳුන්වනවා. මේ වචනය මධුර ඩික්ෂනරියේ තිබුණෙ කාංසාව කියල. අපි අධ්යාපන මනෝ විද්යාවේ කාංසාව කිව්වේ Anxiety කියන තත්ත්වයට. අනිකුත් ඩික්ෂනරිවල nostalgic කියන එකට තනි වචනයක් දී නෑ. මේ nostalgic feelings වගේම ගෙදරින් බැහැරව ඉන්න කොට ඇතිවන homesickness තත්ත්වය අතීතයේ මානසික ආබාධ කියල හිතල තියෙන්නෙ. නමුත් එය එසේ නොවන බවයි අද පැහැදිලි කරන්නේ. ඒ විදියට බැලුවම අතීතය මතක් කරල අපි සතුටු වෙනවා.
මෙවැනි හැඟීම් ඇතිවෙන්නේ දැන් අපි ඉන්න තත්වයෙන් තෘප්තිමත් නොවන නිසා කියලා විස්තර වෙනවා. ඒ කියන්නේ මනුෂ්යයා හැම විටම ඉන්න තත්ත්වයට වඩා යමක් බලාපොරොත්තු වෙනවා. ඒක නරක දෙයක් නෙවෙයි. අළුත් නිර්මාණ හැම එකක්ම බිහිවෙන්නේ ඒ හැඟීම නිසා නෙ. නැත්නම් මේ තියෙන දේ ඇති කියලා නවතින්න තිබුණ නෙ. එහෙම බැලුවත් මේ වගෙ හැඟීම් ඇතිවීම හොඳයි.
මං වෙනත් වැඩක නොයෙදෙන වෙලාවට මගේ හිතට එන අතීත අත්දැකීම් ලියනවා. සමහර ලිවීම් FB එකේ දානවා. ඒක මගේ සතුට. මං ලියල තියෙන දේ කියවල කෙනෙක් ලයික් එකක් දානව. තව කෙනෙක් ඉමොජියක් දානව. තව කෙනෙක් වචනයෙන් ඒක ගැන කොමෙන්ටුවක් ලියනව. ඒවත් මං සතුටට පත් කරනවා. කවුරුවත් කියෙව්වෙ නැතත් මං ලියනවා. එහෙම මං විතරක් කියවපු මා විසින් අකුරු කළ හුඟක් ඒව තීයෙනවා. හමහර විට මා විසින්ම ඒවා විසි කරල දානවා.
කෙනෙකුට ලියන්න ඒ අත්දැකීම් ප්රාථමික ඒ කියන්නේ තමන්ම මුහුණ දුන් ඒවා වෙන්න ඕන නෑ. ඒත් කියවන අය හුඟක් වෙලාවට හිතනව ඒවා ලේඛකයගෙම අත්දැකීම් කියලා. කොහොම ලැබුණු අත්දැකීම් වුවත් ඒවා පොදු බවට පත්වූ තරමට හදවත් තූළට යනවා වැඩියි.
අපි අදත් හෙටත් සතුටින් ඉඳිමු නේද මිතුරනි!
ජීවිතය හුඟක් දිග නෑ වගේම ආයෙ ලැබෙන්නෙත් නැහැනෙ.

Thank you Szilvia Basso for the image on Unsplash

Friday, February 2, 2024

ඉරිඟු ගැන අලුත් කතාවක්

ඉරිඟු ගැන අලුත් කතාවක් 
රසික හරිශ්චන්ද්‍ර සුරියාරච්චි විසින් සංස්කරණය කරනු ලබන 
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට පලකරනු ලබන සිසිල ඔන්ලයින් සඟරාවේ 2024 පෙබරවාරි කලාපයේ මේ ලිපිය පලවිය.

 

ද අපි ආහාරයට ගන්නා බෝග වර්ග ඈත අතීතයේත් මේ විදියටම තිබුණා කියලා ඔබ හිතනවද? ඒත් ඒවා එහෙම තිබුණේ නැහැ. වනමය වශයෙන් තිබුණු විවිධ ශාක ක්‍රමයෙන් මිනිසා විසින් ගෘහස්තකරණය කිරීමෙන් තමයි ඒවා ලැබුණේ. කෘෂිකර්මය වැඩි දියුණු වීමත් එක්ක මේවායේ ස්වභාවික බෝවීම පාලනය කරලා දෙමුහුම් ආදිය ඇති කර ගත්තා. ඒ විතරක් නෙවේ අද වෙනස් ජීවීන්ගේ ජාන ඇතුළු කරලා ශාක හා සත්ව ගෙනෝමය වෙනස් කරන තැනටත් ඇවිත් තියනවා. අද කතාව ඉරිඟු ගැන.

ඉරිඟු කියන්නේ ලෝකේ වැඩියෙන්ම වවන බෝග වර්ග වලින් එකක්. අවුරුදු දහස් ගණනක් තිස්සෙම එය සත්ව ආහාරයක් වගේම මිනිස් පරිභෝජනටත් යොදාගෙන තියෙනවා. විශේෂයෙන් ඇමරිකානු දේශීය ජනතාව තමයි මෙය භාවිත කරලා තියෙන්නේ. දැනට ඉරිඟු අමෙරිකාවේ ප්‍රධාන ආහාර වලින් එකක් විතරක් නෙවේ එතනෝල් ඉන්ධනය හදන්නත්, පැණිරස කාරක හා තවත් නොයකුත් නිෂ්පාදන හදන්නත් පාවිච්චි කරනවා. ලෝකය පුරා වසරකට ඉරිඟු මෙට්‍රික් ටොන් බිලියන 1.2 ක අස්වැන්නක් නෙලා ගන්නවා.

ඉරිඟුවල වැදගත්කම මෙන්ම එහි සම්භවය පිලිබඳ ශතකයකට වැඩි කාලයක් වාද විවාද  ඇතිවී තිබුණා. ඉරිඟු ගෘහස්තකරණය වෙලා තියෙන්නේ දැනට අවුරුදු 10,00කට ඉස්සර.

2023 දෙසැම්බර් 1 දා සයන්ස් සඟරාවේ පළවන පර්යේෂණයක් මගින් පෙන්වා දෙනවා නූතන ඉරිඟු (Zea mays ) අවුරුදු 5000කට එපිට මෙක්සිකෝවේ නිර්මාණය වූ දෙමුහුමකින් පැවත එන බව. ඒ ශාකය මුලින් ගෘහස්තකරණය කරලා අවුරුදු දහස් ගණනකටත් පස්සේ සිදුවූ දෙයක්. පර්යේෂණ කණ්ඩායම කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ පරිණාමය හා පරිසර විද්‍යාව දෙපාර්තමේන්තුවේ මහාචාර්ය රොස් ඉබාරා (Ross-Ibaara) ප්‍රමුඛ පිරිස.

පසුගිය දශක කීපය තුළ හිතුවේ Zea maize දැනට අවුරුදු 9000 - 10000කට පෙර දකුණු මෙක්සිකෝවේ පහත්බිම් වල ඇති වනමය තෘණ වර්ගයක් වන තෙයෝසින්ටේ (Teosinte)  වලින් ඇතිවුණා කියලයි.

මෑතදී අනාවරණය වූ දෙයක් තමයි නූතන ඉරිඟුවල ගෙනෝමයේ මෙක්සිකෝවේ මධ්‍යම උස්බිම්වල ඇති තවත් Teosinte තෘණ වර්ගයක DNA ද තිබෙන බව.

රෝස් ඉබාරා ඇතුළු පිරිසඇමරිකා එක්සත් ජනපදය,චීනය හා මෙක්සිකෝවේ ඉරිඟු නියැදි දහසකට වඩා පර්යේෂණ යට ලක් කර නූතන ඉරිඟුවල ඇති DNA වලින් 20% ක් අර උස්බිම්වල හැදෙන Teosinte වලට අයත් ඒවා බව තහවුරු කළා. ඒ අනුව කරන ලද නිගමය මෙහෙමයි.  ඉරිඟු අවුරුදු 10,000කට පෙර ගෘහස්තකරණය වුණත් එය එකල එතරම් ලෝකය පුරා ව්‍යාප්තවී නැහැ. එය ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ අවුරුදු 4000කට පෙර සිටයි. ඒ මේ දෙමුහුම සිදුවූ පසු විය හැකියි. මුල් එකට වඩා මෙය ප්‍රචලිත වීම ගැන පර්යේෂණ දියත් වෙමින් තියෙනවා.

දෙමුහුමක දෙමුහුම් දිරිය (Hybrid vigor) කියා දෙයක් තියෙන බව ප්‍රවේණි විද්‍යාවේ කියවෙනවා. නූතන ඉරිඟුවල මුල් එකට වඩා කරල්වල ප්‍රමාණය ලොකු වීම වෙන්න පුළුවන්. අස්වැන්න වැඩි වීම වෙන්න පුළුවන්. මල් පිපෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. නිවර්ත කලාපීය වැනි විවිධ  දේශගුණික තත්ත්ව වලට ඔරොත්තු දීම වෙන්න පුළුවන්. මේවා දෙමුහුම් දිරියේ ප්‍රතිඵල වෙන්න පුළුවන්. ඒ වගේම මේ උස්බිම් Teosinte වලින් ලැබුණු ගෙනෝම කොටසේ හානිකර විකෘති අඩුබව ද පෙනීගොස් තිබෙනවා.