Monday, July 1, 2024

විසල් අහසක් යට 2

 විසල් අහසක් යට 2

( ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර සිට බටහිරට රට හරහා සංචාරය)




අපේ ගමන ආරම්භ වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ චාල්ස්ටන් වරාය නගරයේ සිට. මේ දකුණු කැරොලිනා ප්‍රාන්තය අත්ලාන්තික් සාගර මායිමේ පිහිටි එෛතිහාසික කොළනි 13ට අයත් ප්‍රදේශයක්. මුලින් ඇමරිකාවේ තිබුණේ කොළනි 13ක්. ඇමරිකානු විප්ලවයෙන් අනතුරුව තමයි ප්‍රාන්ත 50කින් සමන්විත ඇමරිකා එක්සත් ජනපදය ආරම්භ වන්නේ. අප්‍රිකානු ජනතාව වහලුන් ලෙස ගොඩබට චාල්ස්ටන් වරාය ආසන්නයේ ඒ පිළිබඳ සැමරුම සඳහා ස්මාරක දකින්න තියෙනවා.
ඇත්තටම චාල්ස්ටන් නගරය ඇතුළුව දකුණු කැරොලිනා ප්‍රාන්තය කලබල ගතියෙන් අඩු ජීවත්වීමට ආසා හිතෙන සොබා සොඳුරු බවෙන් අනූන ප්‍රදේශයක්. වසන්තයෙන් ආරම්භ වුණහම ශරත් සමය ඇරඹෙන තුරු මුවෝ, හාවෝ, ලේන්නු එහේ මෙහේ දුවන නිල්ල නිලන වනාන්තර, නිල් දිය පිරි ජලාශ්‍රිත ප්‍රදේශ විතරක් නෙවේ එහේ තියෙන්නේ. විනාඩි 45කින් විතර අත්ලාන්තික් සාගරයේ මුහුදු සුළඟ විඳින්න වගේම සුදු පෙණ කැටි ආභරණ දරණ මුහුදු රැල්ල ස්පර්ශ කරන්න, මිනිත්තුවෙන් මිනිත්තුව උස් පහත් වෙමින් නැග එන ඒ රැළිවල ගිලී නාන්න, සරුංගල් යවන්න, හැන්දෑවට අහසේ සැරිසරණ මුහුදු ළිහිණින් දකින්න වගේ මෙකී නොකී සතුට එහිදී විඳින්න පුළුවන් කම තිබෙනවා. ශරත් සමය එළඹෙනවා කියන්නේ මේ මුළු නැගෙනහිර පැත්තේම ශාක කහ, රතු, තැඹිලි වර්ණ සළු පොරවා ගෙන ඊළඟ ශීත සෘතුව සඳහා ඒ සළු පිළි මුදවා ගෙන නිරුවත් වෙන්න සූදානම් වීම. ඒක ඇස් දෙකෙන්ම බලන්න ඕන කරන අපූරුම දසුනක්.
එතකොට අපේ ගමන මේ කියන ඇමරිකා එක්සත් ජනපදයේ අත්ලාන්තික් සාගර මායිමේ ඉඳන් එහි අනික් පැත්තේ පැසිෆික් සාගර මායිම දක්වා තමයි යෙදී තිබුණේ.
මේ විශාල රටේ මහා මාර්ග පද්ධතිය අද වෙද්දී හිතාගන්න බැරි තරම් සංකීර්ණ දෙයක් වුණත් ගූගල් වලට අනුව පාරවල් සොයාගෙන යන එක ලේසි වෙලා තියෙනවා කියලා ඔබ දන්නවා.
අපේ රට හරහා ගමන යෙදී තිබුණේ Interstate 40 /I 40 අධිවේගී මාර්ගය ඔස්සේ. I 40 ආරම්භ වෙන්නේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ Wilmington නගරයේ සිටයි. එය අවසාන වන්නේ කැලිෆෝනියාහී Barstow නගරයෙන්. මේ Interstate 40, ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන අන්තර් ප්‍රාන්ත අධිවේගී මාර්ග වලින් තුන්වැනියට දිගම එක. දිග සැතපුම් 2,556.61ක්. (කිලෝමීටර් 4, 114.6) ක්. මෙහේ සාමාන්‍ය ව්‍යවහාරයේ අඩි අඟල් සැතපුම් රාත්තල් තමයි තාම පාවිච්චි වෙන්නේ. මීට වඩා දිග අන්තර් ප්‍රාන්ත අධිවේගී මාර්ග 2ක් තියෙනවා. ඒ I90 හා I 80. ඉතින් I 40 මාර්ගයට පිවිසෙන්න අපට මුලින්ම උතුරු කැරොලිනා ප්‍රාන්තයට යන්න වෙනවා.
ඔන්න අපි චාල්ස්ටන් වල ඉඳලා ජුනි 9දා උදේ 9.00 ට විතර ගෙදරින් පිටත් වෙනවා. උදේ ආහාරය ගෙදරින් ගන්නවා. පිළියෙල කළ කෑම නම් හදාගත්තේ නෑ. ඒකට හේතුව ගෙදර දෙවල් හුඟක් අස්කරලා අපි කවුරුත් මහන්සියෙන් හිටපු එක. අපේ මූලික පවුලේ සැම අවුරුදු 12කට පස්සේ එකට හමුවුණ අවස්ථාව ජුනි 8දා උදාවුණෙ. ඉතින් කතාබහත් උතුරන්න තිබුණා නෙ. පොඩි දරුවන් ඒ කියන්නේ අපේ මුනුපුරු මිනිපිරියත් පුදුම විදියට සතුටු වුණා.
මගට කන්න පලතුරු, කජු හා තවත් පැකට් කළ කෙටි කෑම මල්ලක් නම් පිහියක් ද සමග හදා ගත්තා. වතුර බෝතලුත් ගත්තා. නගර පහු වෙද්දී පාර දෙපැත්තේම මහා ඝන වනාන්තර තමයි මේ පැත්තේ දකින්න පුළුවන්. වනාන්තර එළි කරලා තමයි නගර හදන්නේ. නගරයක කඩ සාප්පු, රෝහල්, පාසල් අතුළු සාමාන්‍ය ජන ජීවිතය පහසු කරන දේම සැළසුම් සහගතව සකස් කර තිබෙනවා. වෙනමම නිවාස තනි වශයෙන්, නගර නිවාස වශයෙන් (town homes) හා තට්ටු නිවාස වශයෙන් තියෙනවා. අවශ්‍යතා මිළදී ගන්න නගරයට යන්න ඕන. ඒ සඳහා හැමෝටම මෝටර් රථ තියෙනවා. සමහරවිට පයින් යන දුර තමයි කඩවල් තියෙන්නේ. ඒත් යන්නේ මෝටර් රථයෙන්. බඩු අරන් පයින් උස්සන් එන්නත් බෑ නේ.
ගමනේ මහන්සිය නිවා ගන්න ශරීර අවශ්‍යතා ඉටු කරගන්න අතර මග exit එකකින් අධිවේගයෙන් පිට වුණහම rest area තියෙනවා. ඒවායේ සියළු පහසුකම් පිරිසිදුව තියෙනවා. අපි වාහනයෙන් බැහැලා පොඩ්ඩක් ඇවිදලා අත පයේ හිරි ඇර ගන්නවා.
ඒ වගේම අවශ්‍ය කරන පානයක් drive through එකක් හරහා ගිහින් ගන්නවා. උදේ සමුදී දෙමගක ගිය අපේ පවුලේ කොටසක් පැය 4ක පමණ ගමනකින් පස්සේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ Greenville ville ප්‍රදේශයේ දී දවල් කෑම වෙලාවේ දී නැවත වතාවක් හමු වෙනවා. හමු වෙලා ජපන් රෙස්ටුරන්ට් එකකදී අපි සේරම දවල් කෑම ගන්නවා. ඉන් පසු නැවතත් සමු දී අපි අපේ ගමන පිටත් වෙනවා.
Image from the Internet

Monday, June 24, 2024

විසල් අහසක් යට 1

 විසල් අහසක් යට 1

(ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර සිට බටහිරට රට හරහා සංචාරය)




අ
හස විසල් එකක් කියලා මුලින්ම තේරුම් ගියේ අපි කොට්ටාවේ කුලී ගෙදර ඉඳලා පන්නිපිටිය බාගෙට හදපු ගෙදර පදිංචි වුණ දවසේ. බාගෙට හදපු නෙවේ ඇත්තටම කිව්ව නම් වඩා හොඳ කාලට හදපු ගෙදර කියන එක හරි. මොකද නිදන කාමරය කුස්සිය විතරයි ඉන්න පුළුවන් තත්වයක තිබුණෙ. ප්‍රදේශයේ උසම තැන තිබුණ ඒ ගෙදර ස්ලැබ් එකේ ඉඳන් අහස බැලුවම මහා විසාල අහසක් මට පෙනුණා. එතකම් හිටිය කොහේවත් එහෙම දෙයක් දැකලා තිබුණෙ නෑ කියලා එදා මට හිතුණා.
එයින් පස්සෙ අහස ගැන අපූරු හැඟීමක් මට ඇති වුණෙ පසු ගිය ඉරිදා. පහුගිය ඉරිදා උදේ නමයට විතර අපි එදා පන්නිපිටියේ ගෙදරට පෙනුණ අහසට වඩා හුඟක් විසාල අහසක් යටින් මිනිත්තුවෙන් මිනිත්තුවට පොළෝ තලයේ ලක්ෂ්‍යයෙන් ලක්ෂ්‍ය පහු කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ නැඟෙනහිර වෙරළ පැත්තේ ඉඳන් බටහිර වෙරළ පැත්තට අපේ සැතපුම් තුන්දාහක සංචාරය පටන් ගත්තා.
වෙනදා මේ ගමන යන්නේ අභ්‍යන්තර ගුවන් ගමනක් විදියට. එක අතර මැද මාරුවීමක් එක්ක ඒ ගුවන් ගමනට පැය දහයක් විතර ගත වෙනවා. මෙවර අපි මෝටර් රථයෙන් තමයි ගමන ආවේ. අපි පටන් ගත්තේ දකුණු කැරොලිනා ප්‍රාන්තයෙන්. ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ ප්‍රාන්ත පනහකින් හැදුන ප්‍රාන්ත රාජ්‍යයක් බව ඔබ දන්නවා. අපි ප්‍රාන්ත කීයක් පහු කළාද, මොන පාරවල්වල ආවද නතර වුණේ කොහේද දැක්කේ මොනවද කියන කතාව තමයි මේ පටන් ගන්නේ. ඒක අපූරු අත්දැකීමක්. මට ඉඩ ලැබෙන විදියට ඔයාලට ඒ සංචාර ඒ සංචාර සටහන අරන් එන්නම්.
Image from Unsplash

Thursday, May 30, 2024

අන්තර්ජාතික ආර්තව ස්වස්ථතා දිනය International Menstrual Hygiene Day 28th May 2024

 අන්තර්ජාතික ආර්තව ස්වස්ථතා දිනය

International Menstrual Hygiene Day 28th May 2024







අද කාන්තාවන්ට සුවිශේෂී දිනයක්. කාන්තාවක් සිය ජීවිතයේ අවුරුදු 30කට වැඩි කාලයක් මුහුණ දෙන ජීව විද්‍යාත්මක සංසිද්ධියක් ආර්තවය කියන්නේ.
ගැහැනු දරුවෙක් වැඩි විය පත් වෙනවා කියන්නේ පළමු ආර්තවය සිදු වීම. ඒක දැන ගන්නේ රුධිරය පිටවීම සමග නමුත් ඊට සති කීපයකට පෙර සිට ඇගේ ශරීරයේ සිදුවූ ක්‍රියාවලියක ප්‍රතිඵලය විදියට තමයි රුධිරය පිට වෙන්නේ. ඇගේ ඩිම්බ කෝෂවල ඩිම්බයක් මෝරලා ඒක පිටවෙලා පැලෝපීය නාලය දිගේ පහළට එනවා. එය සංසේචනයක් නොවුනහම ගර්භාෂයේ බිත්තියේ අභ්‍යන්තර ස්ථරය සමග බිඳ වැටී රුධිරය හා පටක සමග එළියට පිටවීම තමයි ආර්තවය. මේ හා සම්බන්ධ සංකීර්ණ හෝමෝන පාලනයක් තියෙනවා. එතැන් සිට මේ විදියට දවස් 28කට වරක් ආර්තව චක්‍රය සිදුවෙනවා. ඒක නවතින්න පුළුවන් සාමාන්‍ය අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් ගර්භනී වීම. අනික ආර්තවහරණයේදී. එහෙම නැතුව නවතිනවා නම් සෞඛ්‍යය ප්‍රශ්නයක් වෙන්න ඕන.
ආර්තව දිනවල සාමාන්‍ය ජීවිතය ගෙනයන්න නම් පිටවන රුධිරය අවශෝෂණය කරගන්න දෙයක් පළඳින්න වෙනවා. මේ සඳහා අතීතයේ රෙදි තමයි භාවිත වුණේ. අප මුල් කාලවල පාවිච්චි කළෙත් රෙදි. ඒවා සිනිඳු වීම අත්‍යවශ්‍යයි. නැතිනම් ඉකිලි ප්‍රදේශ තුවාල වෙනවා. ඒ වගේම ඒවා උණු වතුරේ තම්බා සෝදා වියලා නැවත පාවිච්චි කරන්න ගන්නවා. ඇත්තටම අද පවතින වාතාවරණය සමග මෙහෙම කරන එක අමාරුයි. එදා හරිම අපහසු කාල අපි ගත කරලා තියෙනවා. විශ්ව විද්‍යාල ජීවිතයේ දී පවා එහෙම අපහසු කාල අපේ වයසේ කවුරුත් ගතකළා.
පසු කාලයේ සනීපාරක්ෂක තුවා වෙළඳපොලට ආවා. මුලදී ආවේ ඉනට ගැට ගසන ඒවා. අලවන ඒවා ආවේ පසුව. මේ වනවිට සනීපාරක්ෂක තුවා වලට අමතරව ටැම්පොන්, මෙන්ස්ට්‍රුවල් කප් ආදිය තියෙනවා. මේවායේ මිළ ගණන් අධික වීම කාන්තාවන්ට බලපානවා. වියදම් සමබර කර ගැනීමේ දී පවුලේ අනිකුත් කටයුතු ඊට වඩා පෙරට එනවා. කාන්තා ස්වස්ථතාව පවත්වා ගැනීම හා ඇගේ එදිනෙදා කාර්යයන් සඳහා පහසුව ලබා දීම සමාජයටම වැදගත් දෙයක් බව අද මතක් කර දෙන්න ඕන. ඒ නිසා යම් සහනයක් යටතේ මේ කාන්තා අවශ්‍යතා ඉටු කිරීමට වග කිව යුත්තන් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.
මේ හැර ආර්තවය සම්බන්ධ යම් අපහසුතා සඳහා ප්‍රතිකාර ලබා ගැනීමත් වැදගත්. ඒ දිනවල අධික වේදනාව නිසා වින්ද පීඩා මෙතෙකැයි කියන්න බෑ. විභාග වලටත් ඒවා බලපැවා. රීඩ් මාවතේ ගස් පවා ඒ වේදනාව දන්නවා. ක්ලාන්තයෙන් පෙලුණු කෙසඟ දැරියකට ඒ ගස් පාමුල සෙවන දුන් හැටි ඒවාට මතක ඇති. අද නම් ඒ සඳහා වඩා සුදුසු වේදනා නාශක ප්‍රතිකාර ඇති.
අධික රුධිර වහනය වෙනවා නම් වගේම රුධිර වහනය දින 3,4කට වඩා තියේ නම් ඒ සඳහා ප්‍රතිකාර ගන්නත් ඕන. මට එවැනි තත්ත්වයක් ඇතිවී විශ්ව විද්‍යාලයෙන් එක්තරා කාන්තා රෝහලකට මා යොමු කළා. එදා ඒ රෝහලේ දී ශිෂ්‍යාවක වශයෙන් මා අපහසුතාවයට පත් වුණා. එහි සිටි සේවිකාවන් එක්තරා රටාවක් අනුව තමයි හැමෝටම සළකන්න පුරුදු වෙලා හිටියේ. පසුව අදාළ වෙද්‍යවරිය ඉදිරිපත් වී මා ඒ අපහසුතාවයෙන් මුදවා ගෙන මට යකඩ ඌනතාවයට ප්‍රතිකාර කිරීමෙන් ඒ තත්ත්වය සමනය කළා.
අද තත්ත්වය යහපත් ඇති කියලා හිතනවා. කෙසේ වුවත් කාන්තා ස්වස්ථතාව කියන්නේ ඒ ඒ කාන්තාවට පමණක් නොව පවුලට මෙන්ම මුළු මහත් සමාජයටම ඉතාම වැදගත් දෙයක් බවයි කියන්න තියෙන්නේ.
හුඟක් දවසකින් ලියූ හෑල්ල ඔයාලා කියවන්න ඇති නේද?
image from Unsplash

Tuesday, May 14, 2024

බෝනිකි ගෙවල්

බෝනිකි ගෙවල්





බෝනිකි ගෙවල් මගේ අලුත්ම ebook එකයි. ගුණසේන ගුරුළුගෝමි ඇප් එක ඔබේ දුරකතනයට ඉන්ස්ටෝල් කරගෙන එය මිලදී ගන්න පුළුවන්. නොමිලේ සාම්පල් එකක් කියවන්න පුළුවන්. හොඳ නම් මිලදී ගන්න කියලා රසික ඔබෙන් මා ආදරයෙන් ඉල්ලා හිටිනවා. මුද්‍රිත පොතක් කරන්න හැකියාවක් දැනට මට නැත. 






මේ පොතේ පිදුමයි 

සදා අමතක නොවන
ඒ සොඳුරු කාලය
මට තිළිණ කළ
මගේ එකම සොහොයුරා වජිරට හා
සොහොයුරියන් දෙදෙනා
පත්මා හා දම්මිකාට
ආදරයෙන් පිළිගන්වමි
මේ අකුරු පෙළ! ❤️

Tuesday, April 23, 2024

ජීවියෙකු විසින් තව ජීවියෙකු ගිලදැමීම Endosymbiosis

ජීවියෙකු විසින් තව ජීවියෙකු ගිලදැමීම

නයිට්‍රජන් තිර කරන ඉන්ද්‍රයිකාව



එක ජීවියෙකු විසින් අනිකකු ගිලදමා ඒ ගිලගත් ජීවියා තම කාර්යක් කිරීමට යොදා ගැනීම Endisymbiosis කියලා හඳුන්වනවා. සෛල ඇතුළේ ඒ ඒ වැඩ කරන කාමර ඉන්ද්‍රයිකා කියලා හඳුන්වනවා.
ඔබට මේ Endosymbiosis මෙහෙම තේරුම් කරවන්න මං උත්සාහ කරනවා.
දැන් හිතන්න ඔබ හැමදාම (අවුරුද්දක් තිස්සේ කියමු) යම්කිසි බෙහෙතක් එක පෙත්තක් බොනවා බෝතලයකින් අරගෙන. ඒක අතපසු කරන්න බෑ. යම් විදියකින් ඔබ ඒ බෝතලය ගිලිනවා කියලා හිතන්න. දැන් ඇඟ ඇතුලේ ඒ බෝතලයක් ස්වයංක්‍රීයව දවසට එක පෙත්ත ගානේ නිදහස් කරනවා කියලා හිතන්න. එතකොට ඔබේ අර අමතර කාර්ය බෝතලය ඇඟ ඇතුළේ ඉඳන් කරනවා.
ඇත්ත ලෝකේ එහෙම අවස්ථා දෙකක් ගැන ජීව විද්‍යා පොතපතවල තියෙනවා.
1. මීට අවුරුදු බිලියන 2.2 කට පෙර Archea බැක්ටීරියාවක් වෙනත් බැක්ටීරියාවක් ගිලදමා එය මයිටොකොන්ඩ්‍රියාවක් බවට පත්වී සෛලයේ ශක්ති බලාගාරය බවට හරවා ගැනීම. මයිටොකොන්ඩ්‍රියා වෙනම බෙදී දුහිතෘ සෛල වලටත් යනවා.
2. මීට අවුරුදු බිලියන 1.6කට පෙර තරමක් දියුණු සෛලයක් Cyanobateriaවක් ගිලදමා එය හරිතලව නැත්නම් ආහාර නිෂ්පාදනාගාරය බවට පත්කර ගැනීම. හරිතලවද වෙනම බෙදී නව පරම්පරාවට ඇතුළු වෙනවා.
දැන් Cell හා Science ජර්නලවල පලවී ඇති නවතම Endosymbiosis උදාහරණය නම් Braarudosphaera bigelowii නම් ඇල්ගාව ULYN - A නම් Cyanobacteria වක් ගිලදමා එය නයිට්‍රජන් තිර කරන මධ්‍යස්ථානය නැත්නම් ඉන්ද්‍රයිකාව බවට පත්කර ගැනීමයි. මේ නවතම ඉන්ද්‍රයිකාව Nitrocyst කියලා හඳුන්වනවා.
මේකේ වැදගත්කම මොකක්ද? ඔයාලා දන්නවා වායුගෝලයේ 78%නයිට්‍රජන් වායුව තියෙන බව. ඒ වගේම නයිට්‍රජන් ගහකොළ වැඩෙන්නට ඕන බව. හැබැයි මේ මහා නයිට්‍රජන් ප්‍රභවයෙන් සත පහක දෙයක් ගස්වලට ගන්න බෑ. එහෙම ගන්න පුළුවන් බැක්ටීරියා හා සයනොබැක්ටීරියාවලට විතරයි. මේ Braarudosphaera ඇල්ගීවලටත් බෑ. අන්න ඒ නිසා ඒ වැඩේ කරවා ගන්න නයිට්රෝසිස්ට් එකක් හදාගැනීම වැදගත් දෙයක්.
මේ සොයාගැනීම වසර ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණ ප්‍රථිඵලයක් විදියට තමයි එළියට එන්නේ. වැඩි විස්තර ඒ ජර්නල්වලින් කියවා ගන්න පුළුවන්.
පින්තූරය මං අතින් ඇන්දා

Tuesday, April 16, 2024

සුදු රෝස White Roses - 8

සුදු රෝස White Roses 

අටවැනි (අවසාන ) කොටස 




දින දෙක තුනක් ගතවී ගියත් චාරුකා බැලීමට යාමට මට එතෙක් හිත හදාගන්නට බැරි විය. ඒ මගේ පැත්තෙන් හිතනවාට වඩා ඇගේ පැත්තෙන් සිතීමෙනි. මාත් ඇයත් අතර තිබූ ඒ සමීප සම්බන්ධය ලොවට හොරෙන්ම වැළලී යාමට ඉඩදීම යෙහෙකැයි අවසානයේ මම හිත හදා ගත්තෙමි. ඒත් රබර් බෝලයක් ඔබන්න ඔබන්න උඩට එන්නාක් මෙන් අවසන් වරට ඇගේ ඇස් පියවෙන්න්ට පෙර ඈ බැලීමට යන්නැයි මගේ සිත  මට ආයාචනය කරන්නට විය.

මම ඇගේ පියාට දුරකථන ඇමතුමක් ගත්තේ සැලෙන හදවතිනි.

“තාත්තා දැන් චාරුකාට කොහොමද?”

“හුඟක්ම අමාරුයි පුතා. සැරින් සැරේ ඇස් අරිනවා විතරයි”  මට ඇගේ අනුරාගය පිරි ලොකු ඇස් මතක් විය. ඒ ඇස් නුදුරේම යළි නොඇරෙන්නම වැසී යනු ඇත. ඊට කලින් එක් වරක් හෝ ඒ ඇස් දැක ගත යුතු නේද?

“මම ඉක්මනින් එන්නම් තාත්තා. ඕනෑම දේකට මට කතා කරන්න. සල්ලි වුණත් ප්‍රශ්නයක් නැහැ.”

“බොහොම ස්තුතියි පුතා බුදු සරණයි!”

මම දුරකථනයේ ගැලරියට ගොස් චාරුකාගේත් මගේත් සුන්දර අතීතය නරඹන්නට වීමි. බොහෝ පින්තූර ම විසින් ඉවත් කර තිබූ අතර ලොකු ඇස්වලින් ඈ ම දෙස බලා සිටින පින්තුරයක් එහි රැඳී තිබුණි. එදින රැයේ මගේ දුර බණුව හදිසියේ නද දෙන්නට වූයයෙන් මා එය අතට ගත විට ඒ චාරුකාගේ පියාගෙන් විය.

“තාත්තා!”

“ඔක්කොම ඉවරයි පුතා. දරුවා අද උදේ සදහටම ඇස් පියා ගත්තා. බොඩි එක තව ටිකකින් ගෙදරට ගේනවා. එයාගේ ඉල්ලීම අනුව ඉක්මනින් අවසන් කටයුතු කරනවා. මම මේ දන්වන්න ඕන අයට දන්වන ගමන්”

 මගේ අතින් දුර බණුව බිම වැටුණි. මා වහා පහත්වී එය රැගෙන කණගාටුව පළකර මා ඉක්මණින් පැමිණෙන චාරුකාගේ පියාට බව පවසා සංවාදය නවතා දැමුවේ තව දුරටත් කතා කිරීම අපහසු බව දැනෙමින් පැවති නිසාය. මා හැම දෙයටම ප්‍රමාද වූවා වැඩිය. ඒ ලොකු ඇස් දැන් ඉතින් මා දෙස කවදාවත් බලන්නේ නැත. මට චෝදනා කරන්නේ නැත. මා විසින් ඇය හැර දැමීම ඈ මැසිවිල්ලකින් තොරවම පිළිගත්තා ය. ඒ ඇගේ අසනීපය ඈ හඹා ආ නිසා ද?

“මගේ යාලුවා නැති වෙලා අම්මා!” මම අම්මාට කීවේ ඇත්තක්ම නොවේද?

“අපොයි අසරණ දරුවා!” කාගේ කවරෙක්දැයි නොදැන වුවත් අම්මා සිය කණගාටුව හදවතින්ම ප්‍රකාශ කළාය.

පසුදා උදේ මම මහරගම බලා පිටත් වීමි. අතරමග පන්නිපිටියේදී  සුපිපි ෆ්ලෝරා මල් කඩයට ගොස් සුදු රෝස මල් පොකුරක් ගත්තෙමි.

“නෑ සුජාන් මට ආසා සුදු ලස්සන දිග වෙඩින් ෆ්රොක් එකක් ඇඳලා, ඔයාගේ අතින් මෙන්න මේ ඇඟිල්ලට මුද්දක් දාලා පොඩි සුදු රෝස මල් පොකුරක් අතට ගන්න විතරයි” ඇගේ මුදු මොළොක් හඬ වාතලයේ විසිරී විත් මගේ දෙසවනට ඇතුළු විය. මම දැවී ගියෙමි.

මල් පොකුර නැහැයට ළං කර එහි සුවඳ බැලු මම එය කාරයේ පිටුපස අසුනේ සුරැකිව තබා මහරගමට ගොස් එතැනින් ගොඩිගමුවේ චාරුකාගේ නිවස දෙසට ධාවනය කළෙමි. මග දෙපස සුදු කොඩි මගේ සිතට ඇතුළු කළේ වචනයෙන් විස්තර කළ නොහැකි ගුඪ මූසල හැඟුම් සමුදායකි. හදවතට යකුලකින් පහර දෙන්නාක් මෙන් මගේ සිත මට දඬුවම් දෙමින් සිටියේය.

වාහනය රථ නැවතීම සඳහා සකස් කළ හිස් භුමියේ නවතා රෝස මල් පොකුර එසේම තිබෙන්නට හැර රථය අගුලු දැමූ මම චාරුකාගේ වත්තට ඇතුළුවී නිවෙස දෙසට පියවර තැබුවෙමි.

එහි වැඩි සෙනගක් නොවිය. චාරුකාගේ පියා මා හඳුනා ගත්තේය.  මට දෙඅත් එකතුකර මට ආචාර කළේය. මමත් ප්‍රති ආචාර කළෙමි.

“එන්න පුතා” කියමින් මට ඉදිරියෙන් දේහය වෙත යන ඔහු අනුව මම පියවර තැබුවෙමි.

චාරුකාගේම හැඩරුව ඇති සුදු ඔසරියකින් සැරසී සිටි මැදි වියේ කාන්තාවක් වෙත පළමුව ගිය ඔහු,

“මේ පුතා තමයි මං ඔයාට කිව්වේ චාරුකා ඇමෙරිකාවේ දී අඳුරන නිසා බලන්න ආවා කියලා. මේ චාරුකාගේ අම්මා” කියා ඒ කාන්තාවට මා හඳුන්වා දුන්නේය.

“අනේ පුතේ බලන්න මේ දරුවට වෙච්ච දෙයක්” ඈ සිය අත් ලේන්සුවෙන් මුව වසා නැග ආ ඉකිය වලකා ගත්තාය.  ඇගේ ශෝකාකුල ඇදී ගිය මුහුණ මගේ සිතේ මහා තෙරපුමක් ඇති කිරීමට සමත් විය. මම මදක් ඉදිරියට නැමී ඒ මාතාවට ආචාර කළෙමි.  ඒ සමගම මට එකවර ඇතිවූ චකිතය වූයේ ඈ චාරුකාගෙන් මා ගැන දැනගෙන ඇතිද යන්නයි. එහෙත් ඇගේ දේහ බස එවැන්නක් ඉඟි කළේ නැත. මම සැනසුම් සුසුමක් හෙලීමි.

ඉන් ඉක්බිති අපි තිදෙනා චාරුකාගේ නිසල දේහය වටා සිටගෙන සිටියෙමු. ඇගේ ලොකු ඇස් පියවි තිබුණේය. මා අසල සයනයේ වම් පසින් සිය ලොකු ඇස් පියාගෙන විටෙක බොරුවට මා රවටා නිදි බවට රඟ පෑමටත් විටෙක ඇත්තටමත් ඈ අහිංසක ලෙස නින්දේ පසුවී සිටි ආකාරය මගේ සිතේ සළ රූ පෙළක් පරිද්දෙන් මතුවී එද්දී මම උගුරේ හිරවුණු ගුලියකින් පීඩා විඳිමින් තව දුරටත් ඇගේ නිසල දේහය දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටියෙමි.  ඇගේ මුහුණේ හකු ඇට වඩාත් උස්ව මතුව තිබුණේ රෝගය හේතුවෙන් ඈ කෘෂ වූ නිසා විය යුතුය. ඈ ආසා කළ ආකාරයේ සුදු දිග ලේස් ගවුමක් ඇඳ සිටි මුත් අතේ රෝස මල් පොකුරක් තිබුණේ නැත. දේහය වටා වත් මල් තිබුණේ නැත, ඈ දෑත ළයට මදක් පහළින් බැඳ ගෙන නිසලව උඩුකුරුව වැතිර සිටියාය. කෙදිනක හෝ මගේ අතින් රන් මුදුවක් පළඳින්නට බලාසිටි ඇගේ ඇගේ සිහින් දිගු ඇඟිලි සුදු අත්මේස් වලින් වැසී තිබුණේය.

“නෑ සුජාන් මට ආසා සුදු ලස්සන දිග වෙඩින් ෆ්රොක් එකක් ඇඳලා, ඔයාගේ අතින් මෙන්න මේ ඇඟිල්ලට මුද්දක් දාලා පොඩි සුදු රෝස මල් පොකුරක් අතට ගන්න විතරයි”

ඇගේ කටහඬ ඇසෙන්නේ කොහේ සිටදැයි මම වටපිට බැලුවෙමි.

“මං රෝසමල් පොකුර ගෙනාවා චාරු ...ඒත් ඒක ඔයාගේ අතට දෙන්න තරම් මට තිබුණු හයිය මං නැතිකර ගත්තේ මීට මාස ගණනකට ඉස්සර චාරු.”

මගේ ඇසට කඳුළු එද්දෝයි බියක් මට ක්ෂණිකව ඇතිවිය. ඇත්තෙන්ම මෙතෙක් මා ඇය හා එකතුවී සිටියේ නම් මා මිළදී ගත් සුදු රෝස පොකුර ගෙනවිත් ඇගේ හිස්වූ දෑත් මත තබා ඇගේ අහිංසක ආසාව ඉටු කිරීමට ඉඩක් ලැබෙන්නට තිබුණි. එහෙත් වළලා දැමූ කතාවක් මෙතැන යළි ගොඩ ගැනීමෙන් ඇතිවන යහපතක් නැත. එවැන්නකට තටු ලැබී පියාසර කිරීමට ඒ රටේදී එතරම් වෙලාවක් යන්නේ නැත. එයින් කිසිවෙකුටත් සෙතක් අත්වන්නේ ද නැත.

“වාඩිවෙන්න පුතා” යනුවෙන් චාරුකාගේ මවගේ කටහඬ සමග පියවි ලොවට පිවිසි මම එතැන අයිනක තිබූ පුටුවක් මතට බර විමී. දැරියක් මට කෝපි බඳුනක් පිරිනැමුවා ය. උගුර කට වියළී තිබුණෙන් එය මට අමෘතයක් බඳු විය. වරින් වර සෙනග පැමිණ චාරුකාට අවසන් ගෞරව දැක්වූහ. මා දන්නා අඳුනන කිසිවෙකුත් හමු වුයේ නැත.

මම කලින්ම චාරුකාගේ ඉදිරි පිංකමක් සඳහා යොදා ගන්නා මෙන් කියා සෑහෙන මුදලක් කවරයකට දමා ඇගේ පියාගේ අත තැබුවේ කිසිවෙකුත් නැති මොහොතක් බලා මහත් චකිතයකිනි. එහෙත් කිසිදු අදිමදි කිරීමකින් තොරව “පිං සිද්ධ වෙච්ච්වේ පුතා “ කියා ඔහු එය භාර ගැනීම මට මහත් අස්වැසිල්ලක් විය. චාරුකාගේ පියා මට කී පරිදි එංගලන්තයේ සිටි චාරුකාගේ සොහොයුරා කලින් දෙවරක් පැමිණ ගොස් තිබුණු අතර අවසන් කටයුතු සඳහා පැමිණෙන්නේ ඒ මොහොතේ බව දන්වා තිබුණෙන් පවුලේ ඥාතීහු ඔහු බලාපොරොත්තුවෙන් ඉන්නා බව කතාබහෙන් මට තේරුම් ගියේය. ටික වෙලාවක් ගතවීමත් සමග ඇගේ මුහුණුවර ඇති තරුණයෙක් ශාලාවට ඇතුළුවනු පෙනුනි.

"මේ අපේ පුතා රවීන්. මේ නංගිගේ ඇමරිකාවේ හිටපු යාළුවෙක්." ඔහු සිය නැගණියගේ දේහය කරා යාමටත් පෙර චාරුකාගේ මව මට ඔහු හඳුන්වා දුන්නාය.  මම නැගිට ඔහුට අතට අත දුන්නෙමි.

ඔහු සිය නැගණියට කඳුළු පිරි දෙනෙතින් යුතුව අවසන් ගෞරවය දැක්වීමෙන් අනතුරුව  වැඩම කළ හාමුදුරුවරු දෙනමක් හමුවේ මතක වස්ත්‍ර පිදීමේ චාරිත්‍රය සිදු කරන ලදී. වෙනත් කතාබහ කිසිවක් නොවිය. සවස හතරට පමණ දේහය සොහොන් බිම වෙත රැගෙන යාම ආරම්භ විය. මම අවසන් වරට ඒ මුහුණ දෙස බලා දෙඇස පියා ගතිමි. පාදාන්තයේ සිට කේශාන්තය දක්වා හිරිවැටීමක් බඳු වචනයෙන් විස්තර කිරීමට අපහසු සියුම් කම්පනයක් ඇතිවි නැතිවි ගියේය. පෙට්ටිය වසන හඬ වෙනත් ලෝකයක සිට මෙන් ඇසෙන්නට විය. පවුලේ අයවලුන් විසින් කරට ගත්  දේහය ඉදිරිපස විශාල ගේට්ටුවෙන් ඔබ්බෙහිදී අවමංගල රථයේ තැන්පත්විය. පවුලේ අයට පිටුපසින් මම සෙමින් ඉදිරියට ඇදුණෙමි.

මගේ රථයේ පිටුපස අසුනේ සුදු රෝස මල් පොකුර දුක්බරව බලාගෙන සිටියේය. මම රථයට නැගී අවමංගල පෙරහැර පිටුපසින් යන රථ පෙරහැරට එකතු වීමි. එහෙත් මගදී එය මගහැර අතුරු පාරක  සෙවන සහිත පාළු තැනක රථය නවතා ගතිමි. මට මහා හයියෙන් අඬන්නට ඕනෑ විය. මම සුක්කානම මත හිස තබාගෙන අඬන්නට වීමි. කඳුළු පිටවී යත්ම හිතට ඇතිවූයේ සැහැල්ලුවකි. කාලය ගතවී තිබුණේ මට නොදැනීමය. වෙලාව සවස හය පසුවී තිබුණි.

මම රථය ප්‍රධාන පාරට දමා සුසාන භුමිය කරා සෙමෙන් එය ධාවනය කළෙමි.  ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවත්ම අවමංගල අවස්ථා සඳහා පැමිණි අය පිටවෙමින් සිටිනු දක්නට ලැබුණි. අඳුර වහ වහා බිමට පහත් වෙමින් පැවතියේය. සුසාන භුමිය වටා ඇති උස ගස්වල සෙවනැලි මහා දිගට බිම දිගේ වැතිරෙමින් තිබුණේ අද පස්වලට යට වූවන්ට සෙවන සලසන අයුරක් කියා පාමිනි. රථය නවතා එයින් බැස ඇවිද ගොස් චාරුකාගේ සිරුර තැන්පත් කළ තැනට ඇදුනෙමි. ඇගේ නම සහිත බැනරය නිසා එය හඳුනා ගැනීම පහසු විය. සැරසිලි වශයෙන් තිබුණේ ගොක් රැහැන් කිහිපයක් පමණි. සෙවනැලි අතරෙන් පෙරී ආ රන්වන් හිරු කිරණ අලුතෙන් ගොඩ ගැසූ පස් කැට මත ඇතිරී තිබුණේ දෛවය කියා දෙයක් ඇත්නම් එය විසින් චාරුකාට උරුම කර දී තිබූ එදිනෙන් ඇරඹෙන ඇගේ අවසන් නින්දට සුබ පතන්නාක් මෙනි. සියල්ලෝ එතනින් ඉවත්ව ගොස් ඇති බව තහවුරු වූ පසු ආපසු රථය වෙත පැමිණ සුදු රෝසමල් පොකුර ගෙන නැවත සොහොනට ගොස් උස්කර සකස් කර ඉටිපන්දම් දෙකක් දල්වා තිබුණු සොහොන මත මල් පොකුර තැන්පත් කළෙමි.

"චාරු මෙන්න ඔයා අසාවෙන් ඔය දෑතට ගන්න බලා හිටිය ලස්සන් පොඩි සුදු රෝස මල් පොකුර"

මම හැකි ඉක්මණින් රථය කරා පැමිණ එය පණ ගන්වා එතැනින් පිට වුණෙමි. තවත් පැය භාගයක් ඇතුළත මම දකුණු අධි වේගී මාර්ගයේ දකුණට ගමන් කරමින් මගේ අරමුණක් නැති නොනවතින ජීවිත ගමන යළි ආරම්භ කරමින් සිටියෙමි.

Image from Pexels free images

©malinieganewatta2024

  

Friday, April 5, 2024

සුදු රෝස White Roses - 7

 

සුදු රෝස White Roses 

හත්වැනි කොටස 





ස්ථානයේ වූයේ දැල් ගසා මල් වැල් වර්ගයක් යවා තිබූ වැටක් මැද්දෙන් විශාල වත්තකට ඇතුළුවන හැර දමා තිබූ ගේට්ටුවකි. නිශ්චිතවම එතැන ඇත්තේ චාරුකාගේ නිවස ද යන්න පිළිබඳ ක්ෂණික කුකුසක් මට ඇති විය. මම වත්තට රථය ඇතුළු නොකර රථය නවතාගෙන වට පිට බලනවාත් සමග වයසක තැනැත්තෙක් ගේට්ටුවෙන් පිටතට පැමිණෙමින් සිටියේය. මම රථයේ ඉදිරිපස වීදුරුව පහළට කර ඔහු හා සිනාසී කතා කරන්නට මග පාදා ගතිමි.

“මේ වල්පිට මහත්තයාගේ ගෙදර නේද අන්කල්?” මම ඔහුගෙන් ඇසුවෙමි.

“ඔව්, සර්, මහත්තයා ගෙදර ඉන්නවා. යන්න”  කියා යටහත්  පහත් ස්වරූපයකින්  මට කීවේ මා දන්නා හඳුනන කෙනෙකු තරමට සිතාගෙන ය. සාමාන්‍ය ගැමියාගේ ස්වභාවය එයයි. මම රථය ගේට්ටුවෙන් ඇතුළු කිරීමට හරවන විටත් ඉදිරිපස වීදුරුව හැර තිබුණු අතර “අනේ වල්පිට මහත්තයලට වුණු දෙයක්” යයි  වයසක පුද්ගලයා කියනු මට යන්තමින් ඇසුණත් නැවත ඒ ගැන ඇසීමට යාම චාරයක් නැති දෙයක් ලෙස දැනුණු බැවින් වීදුරුව වසා දමමින් මම රථය වත්තට ඇතුළු කළෙමි.

නිවසේ ජනේලයක් පමණක් විවෘතව තිබුණි. මම සීනුව නාද කර මහත් නොඉවසිල්ලෙන් බලා සිටියේ දොර ඇරෙන තුරුය.

අරුණු දොරින් මැදි වයසේ ප්‍රතාපවත් පුද්ගලයෙක් මතු විය.

ඔහුගේ මුහුණේ මා කවුරුද යන්න පිලිබඳ ප්‍රශ්නාර්ථයක් ඇති බව මට පෙනී ගියෙන්

“මේ වල්පිට මහත්තමයා ද?” කියා ඇසුවෙමි

“ඔව්, පුතා කවුද කියලා මට නිච්චි නැහැ”

මා මුලින් වචන පාවිච්චි කළේ ඉතා පරිස්සමටය

“මම චාරුකා අඳුනන කෙනෙක්. ඇමරිකාවේ දී අපි එකම එපාර්ට්මන්ට් කම්ප්ලේක්ස් එකක ටික කලක් ඉඳලා තියෙනවා. ලංකාවේ අපි කීප දෙනයි නේ ඉන්නේ. ඉතින් අපි එකිනෙකා ගේ තොරතුරුකතා බස් කරනවා සමහර විට එයා මගේ ගැන කියන්නත් ඇති. මම මේ මහරගමට ආවා මගේ යාළුවෙක් ලෙඩ වෙලා හොස්පිටල් ඉන්නවා බලන්න. ඉතින් චාරුකා කිව්ව ලිපිනයට මෙහෙට එන්න හිතුණා.”

“ඔව් ලංකාවේ අය හමු වුණහම එයා අපට කියනවා. මට විශේෂයෙන් මතක නැහැ පුතා.  මේ දවස්වල මගේ මතකයත් ඒ තරම් හොඳ නෑ කියලා හිතෙනවා.”

ඔහුගේ ස්වරය ඉතාම දුක්බර එකක් බවට හැරුණි.

මා ගැන විශේෂයක් ඔහු තුළ තිබෙන්නට නැති බව තහවුරු වූයෙන් මම සැනසිල්ලට පත් වීමි.

“ඔව් මටත් ළඟදී චාරුකා හමු වුණේ නැහැ තාත්තා.”

“එහෙමද පුතා?  .... ඒ කියන්නේ ඔය ළමයා අලුත්ම තොරතුරු දන්නේ නැති හැඩයි.”

“ඒ කියන්නේ මොකක් ද තාත්තා?”

“චාරුකා දැන් ඉන්නෙත් ඒ රෝහලේම තමයි පුතා.”

“එයා ලංකාවට ආවද? ඇයි ඉස්පිරිතාලේ ඉන්නේ?”

චාරුකාගේ පියා හිමාලය වුවත් සසල කරන තරම් බර සුසුමක් වාතලයට පිටකර වචන එකතු කිරීමට ප්‍රයත්නයක් දරණ අතරේ ඇසට නැගුණු කඳුලක් දෝ වම් අතේ පිටි අත්ලෙන් පිසදමා මදෙස නැවත බැලුවේය. ඉක්බිති එකතුකළ වචන මුදා හැරියේය.

“දැනට මාස දෙකහමාරකට  උඩදී එයාට පිළිකාවක් බව දැන ගත්තා. ඉතින් අපි එයා මෙහෙ ගෙන්න ගත්තා. ඒක බොහොම ඉක්මනින් පැතිරෙන එකක්. සර්ජරි එකක් කළා. ඒක හරිගියේ නැහැ.  දැන් අවසාන අවස්ථාව. එයාගේ අම්මා එයා ළඟ ඇති. තව සති දෙකකට වඩා මගේ දරුවා ජීවත් වෙන්නේ නැහැ පුතා.”

ඒ වචන මගේ කනට ඇසුණේ වෙනත් ලෝකයක සිට මෙනි. මගේ උගුරේ ගුලියක් සිරවෙනු දැනුණු අතර මගේ මුහුණේ මස් පිඬු චලනය වීම චාරුකාගේ පියාට නොපෙනුණේ නම් ඒ,  ඔහු ඒ මොහොතේ සිටි ව්‍යාකුල බව නිසාම මිස වෙන කිසිවක් නොවන නිසා බව මට සහතිකය. මගේ සමබරතාවය නැතිව යනවාක් මෙන් දැනුණෙන් මම වට පිට බැලුවේ ඉඳ ගැනීමට ලොකු අවශ්‍යතාවක් දැනුණු හෙයිනි. මා ගෙතුළ පුටු දෙස නෙත් යොමන්නට ඇත. ඒ නිසාදෝ

“එන්න පුතා ඉඳගන්න. මට ඒක කියන්නත් අමතක වුණා” යනුවෙන් චාරුකාගේ පියාගේ වචන මට ඇසෙන්නට විය.

ඔහු අනුව යමින් මම ආලින්දයේ පුටුවකට බර වීමි.

මගේ හදවත හඬා වැළපෙන්නට පටන් ගත්තේ කිසිදාක මට සමාවක් නොදෙන අන්දමටය. මගේ වෙනස චාරුකාගේ පියාට දැනේවිද යන බයකුත් එක්වරම මගේ සිතට පිවීසියේය.

ඒසා විසල් චාරුකාගේ ආදරයට මා පයින් ගැසුවේ ඇයි? තව මාස දෙකක් මට ඈ සමග ඉන්නට සිත් නුදුන්නේ ඇයි? ඇගෙන් වෙන් වීමෙන් මා ලද දෙය කුමක්ද? මා සෙවූයේ කුමක් ද?

“මටත් හුඟ දවසකින් එයාට කතා කරන්න බැරි වුණා තාත්තා.”

මම පිළිතුරක් අවශ්‍ය යයි සිතුණු නිසා කියා ගතිමි.

“මේ දරුවා දවල්ට කාලද?” යමක් මතක් වූ කලෙක මෙන් ඔහු මා විමසිය. ඒ අවස්ථාවේ වෙලාව දවල් දෙක පමණ වන්නට ඇත.

“ඔව් තාත්තා මං මගදී කෑවා”  කියා ගතිමි.

“ඉන්න මං බොන්න මොනවා හරි හදාගෙන එන්නම්” කියූ ඔහු නිවෙස තුළට ගියපසු මගේ සිත කිසිඳු අතකින් මාවතක් නොපෙනෙන මහා පාළු වනාන්තරයක අතරමං වූ ලෙසකින් අතරමං විමක බව මට තේරුම් යමින් තිබුණේය. මට ඈ බැලීමට යන්නට හැකිද? ඇගේ තත්වය අනුව එය සුදුසුද? මා දුටුවිට කුමන තත්වයක් ඇති වේද? පියා මා ගැන නොදන්නා නමුත් ඈ මවට මා ගැන කියා තිබෙන්නට බැරිද? මා ඇය බැලීමට යාමෙන් විය හැකි යහපතක් තිබේද? මට කිසිවකට පිළිතුරු නොවිය. අහන්න කෙනෙකුත් නැත. බ්‍රයන්ට කතා කරන්නට සිතුවෙමි.

සිසිල් පානයක් සහිත වීදුරුවක් සමග චාරුකාගේ පියා මා අසලට ආ විට මම නැවත මේ ලෝකයට පිවිසියෙමි.

“දරුවාට සැරින් සැරේ සිහි කල්පනාව ආවා ඊයේ වෙනකම්. අද මං දවල් බලලා එනකම් ඇස් ඇරියේ නැහැ. පුතාට ගිහින් බලන්න පුළුවන් කැමති නම්. විසිපහ වාට්ටුවේ තමයි ඉන්නේ. ඇඳ දහසය” චාරුකාගේ පියා දිගටම කියාගෙන ගියේය.

“මට දැන් හදිසියේම යන්න ඕන තාත්තා අම්මගේ වැඩකට. මං දවස් කීපයකින් ආයේ එන්නම්. ඒ ආවහම බලන්න යමු”  මම වචන ගැට ගසා ගත්තෙමි.

“හොදයි පුතා.”

“තාත්තට මොනවා හරි උදව්වක් ඕන වුණොත් මට කියන්න. මගේ ෆෝන් නම්බර් එක ලියා ගන්න. මට තාත්තගේ එකත් දෙන්න.”

ඔහු ගෙතුළට ගොස් ලිවීමට කොළයක් රැගෙන ආ අතර මම සාක්කුවෙන් පෑන ගෙන එහි මගේ මුලකුරු සමග නම සමග දුරකථන අංකය ලියා දුන්නෙමි. ඔහුගේ අංකය මගේ දුර බණුවට ඇතුළු කර ගත්තෙමි. එයින් පසු චාරුකාගේ පියාට සමුදී එතැනින් මා නික්මුණේ හිස ගිනිගත්තෙකු ලෙසිනි. මා ගෙදරට ආවේ කෙසේදැයි මටවත් පැහැදිලි නැත.

"ඒ ළමයට අමාරුද පුතා?” අම්මා ඇසුවේ මගේ මුහුණ කියවීමෙන් විය යුතුය.

“ඔව් අම්මා දැන් සිහියත් නැහැ. මම ආයේ වෙලාවක යන්න ඕන.”

“අපොයි දෙවියනේ මේ කරුම ලෙඩේ දැන් හරියට පැතිරෙනවා.”

Image from Pexels 

©malinieganewatta2024