Thursday, June 15, 2023

Morlok සිවු නිවුන්නු හා භින්නෝන්මාදය (Schizophrenia)

 












Morlok සිවු නිවුන්නු හා භින්නෝන්මාදය (Schizophrenia)

භින්නෝන්මාදය ලංකාවේද ඇතුළුව ලොව පුරා සුලබ මානසික ආබාධයක්. තම තෙවන දශකයේ මුල් අවුරුදු කීපය ඇතුළත භින්නෝන්මාදයට ගොදුරුවූ Morlok සිවු නිවුන්නු ගැන නවතම හෙළිදරව්වක් කරන පොතක් පළවී තිබෙනවා. භින්නෝන්මාදයට පවුල් ආරයේ සම්බන්ධයක් තිබෙන බව වෙෙද්‍ය විද්‍යානුකූලව පෙන්වා ඇති දෙයක්.
නවතම පොත පළ කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ Audery Clare Farley PhD විසින්.
පොතේ නම Girls and Their Monsters: The Genian Quadruplets and Making of Madness in America (Grand Central).
" Genian" යන්න පර්යේෂණ වලදි මේ සිවුනිවුන්නු හදුන්වනු ලැබූ ව්‍යාජ නමක්.
මේ සිවු නිවුන් දැරියන් ඉපදුනේ 1930 මැයි මාසයේ 19දා. මාධ්‍ය මගින් හුවා දක්වා තිබුණේ මේ දරුවන් සහිත පවුල පරිපූර්ණ එකක් පරිද්දෙන් නමුත් පොත එහි ඇතුළාන්තය බිය ජනක එකක් බව හෙළි කරනවා. ඔවුන් තම පියා නිසා සිය නිවසේ දී අත් දුටු බිය ජනක වාතාවරණයේ කතාව එහි විස්තර වෙනවා.
උපන් දා සිටම ඔවුන් මාධ්‍ය වලට කීර්තිමත් පුද්ගලයන් (celebrety) වෙලා තියෙනවා. මුලින්ම ප්‍රසිද්ධියේ ඔවුන්ට නම් තැබීමට තරගයක් තියලා එහි ජයග්‍රාහකයා අනුව තමයි නම් දී තියෙන්නේ. ඒ නම් තමයි Edna, Wilma, Sarah, හා Helen. මේ නම් වල මුලකුර ඔවුන් ඉපදුන රෝහලේ නම වන Edward W. Sparrow Hospital හී වචනවල මුල් අකුරු.
මව Sadie Morlok පියා Carl Morlok . මව දරුවන්ට එකම වර්ණ එකම මෝස්තරයේ ඇඳුම් අන්දවා ඇති අතර පාසලේදී ගුරුවරුන්ට ඔවුන් වෙන්කර හඳුනා ගැනීමට වෙනස් වර්ණ වල බෝ එකක් පළඳවා තිබෙනවා.
පියා කාල් විසින් දරුවන් අධික ලෙස බියවද්දා ඇති බවත් මානසිකව හා ලිංගිකව අපයෝජනය කර ඇති බවත් පොත මගින් කිසිවක් නොසඟවා හෙළිකරනවා.
වැඩිම හිංසාවට ලක්ව ඇත්තේ බාලම සොයුරිය හෙලන්. ඔවුන් දෙවන දශකයට එළඹෙත්ම පිට පිරිමි ළමයින්ගෙන් ඈත් කර තැබීමට අධික උවමනාවක් පියාට ඇතිවී තිබෙනවා. ඒ නිසා ඔහු තම කොට්ටය යට තුවක්කුවක් තබාගෙන තමයි නිදාගන්න ගිහින් තියෙන්නේ දැරියන් ස්වයං වින්දනයට යොමුවීම වැලැක්වීම සඳහා එකල ඇතැම් දෙමාපියන් කරන ලද ස්ත්‍රී ජනකාංග ඡේදනය (clitorectomy) ට වයස දොළහක් වන හෙලන් හා විල්මා යන දැරියන් දෙදෙනා ලක්කර තිබෙනවා.
1950 දී එඩ්නා භින්නෝන්මාද රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම පටන් ගෙන තිබෙනවා. ඇයට භ්‍රාන්ති (hallucination) නැත්නම් ව්‍යාජ දර්ශන පෙනීම හා අසාමාන්‍ය ශරීර වේදනා ඇතිවීම තමයි මුලින් ඇතිවුණේ.
ඉන්පසු විල්මා ද 1954 දී සාරා හා හෙලන් ද රෝගයට ගොදුරු වෙනවා.
1954 දී John Hopkins විශ්ව විද්‍යාලයේ පර්යේෂණ මනෝවෛද්‍ය David Rosenthal විසින් රෝගී සිවු නිවුන් දැරියන් මානසික ප්‍රතිකාර වලට යොමු කරනවා. බොහෝ අංශවල පර්යේෂණ රැසක් ආරම්භ වෙනවා භින්නෝන්මාදය ඇති වීම ගැන අනාවරණය කර ගැනීමට බොහෝ පර්යේෂණ කරනු ලබනවා. දීර්ඝ කාලීනව කරන ලද අධ්‍යයනයේ සම්පූර්ණ වාර්තාව එළි දක්වා ඇත්තේ 2000 වසරේ දී.
1963 දී David Rosenthal තමන්ගේ විශාල අධ්‍යනයනය , The Genian Quadraplets : A Study of Heredity and Environment in Schizophrenia නම් පොතෙන් විස්තර කරනවා . එයින් ප්‍රධාන වශයෙන් කියන්නේ ජානමය නැමියාව භින්නෝන්මාදය ඇති කිරීමට වැඩි බරක් ඇති කරන බව.
නමුත් Farley ගේ නවතම පොත Girls and Monsters රෝගය ඇතිවීම (trigger) කෙරෙහි නැවත පරිසරය පැත්තට බරක් ඇති බව පෙන්වා දෙනවා.
සිවුනිවුන්නුන් ගෙන් අද ජීවත් වන්නේ සාරා පමණයි. ඈ තම මතකයන් පොතකට ගෙන තිබෙනවා. ඒ 2015දී 'The Morlok Quadraplets' නමින්.
Source : an article by Justin Garson PhD in psychology today

Saturday, May 27, 2023

තාත්තෙක් නැති ඒත් සීයෙක් ඉන්න පිරිමි මී මැස්සා ( Drone bee)


 තාත්තෙක් නැති ඒත් සීයෙක් ඉන්න පිරිමි මී මැස්සා ( Drone bee)












දැන් සිංහල කවියෝ කවි ලියනකොට (කවියෙක්ම නොවුණත් මාත් ඉඳහිට) බඹරා ගැන හරියට ලියනවනේ. ඒ ගොල්ලො මල් තලනවය, මල් රොන් ගන්නවාය ඊට පස්සේ මල් දාලා යනවාය කියලා. ඒවා අමු කෙප්ප. කවදාවත් බඹරා නැත්නම් පිරිමි මී මැස්සා මල් පැණි වත් රොන් වත් ගන්න මල්වල පලාතේවත් යන්නේ නෑ. ඒ රාජකාරී කරන්නේ වැඩකාර ගෑනු මී මැස්සියෝ. එතකොට අර කවි කාරයෝ කියන්නේ ලෙස්බියන් වැඩක් ගැන නේද? මල් ගෑනුන්ට සමාන කරනවා නම් බඹරා නෙවේ නෙ බඹරී නෙ යන්නේ මල් තලන්න. රොන් ගන්න.
මේ පිරිමි මී මැස්සා උපදින්නේ සංසේචනය නොවූ බිත්තර වලින්. ඉතින් මෙයාට තාත්තෙක් නෑ. හැබැයි සීයා කෙනෙක් ඉන්න එපැයි. (ඒ වගෙම මෙයාලා ඒක ගුණයි. මොකද සංසේචනය වෙලා නෑනෙ. ඉතින් වර්ණදේහ 16යි තියෙන්නේ. ගෑනු මැස්සියන්ට හා රැජිනට 32ක් තියෙනවා.)
මෙයාලගෙ ප්‍රධාන රාජකාරිය සමූහ සරණයකින් පස්සේ කන්‍යා රැජින සංසේචනය කරන එක. ඒ වැඩේ හැම පිරිමි මැස්සටම ලැබෙන්නෙත් නෑ. ටික දෙනෙක් ඒ වාසනාව හිමි කර ගන්නවා.
ඒ වගෙම මෙයාලා මී මැසි ජනපදයේ උණුසුම රැක ගන්න යම් උදව්වක් කරනවලු. හැබැයි මෙයාලා ජීවත් වෙන්නේ අර ගෑනු මැස්සියෝ ගේන මල් පැණි වලින්. මෙයාලා මහ කම්මැලියෝ නිසා 'Lazy Willi' කියලා නමකුත් පටබැඳිලා තියෙනවා. මෙයාලගේ ආයුෂත් අඩුයි. දවස් 30ක් විතර. ටික දවසක් යද්දී අර ගෑනු ටික මෙයාලා මී වදයෙන් ඇදලා වීසි කරනවලු හාමතේ මැරෙන්න. මේ මොන වදකාරයොද කියලා හිතනවා ඇති. අර වැඩේ වුණත් රැජින එක්ක විතරනෙ. වැඩකාර ගෑනු ටිකට මෙයාලගෙන් ඇති වැඩේ මොකක්ද නේද?
පින්තූරය අන්තර්ජාලයෙන්

Tuesday, May 23, 2023

චමත්කාරජනක නිවර්තන වැසි වනාන්තර

 









චමත්කාරජනක නිවර්තන වැසි වනාන්තර

ඔයා කවදාහරි සිංහරාජයේ හෝ කන්නෙලියේ ගිහින් ඒ චමත්කාරය විඳලා තියෙනවා වෙන්න පුළුවන්. ඇත්තටම වන වියනෙන් වැහිලා තියෙන ඒ තුරු අතරින් හිරු රැස් බිඳක් හොරෙන් හොරෙන් වගේ බිමට පතිත වන අඳුරු වැහි වනාන්තරයක් තරම් චමත්කාරයක් මේ ලොව වෙන නැහැ.
ලෝකයේ විශාලත්වයෙන් කොච්චර පොඩි වපසරියක ද මේ නිවර්තන වැසි වනාන්තර පිහිටලා තියෙන්නේ කියලා ඔයාට සිතියමෙන් බලා ගන්න පුළුවන්.
ප්‍රධාන නිවර්තන වැසි වනාන්තර 5ක් තියෙනවා.
1. දකුණු ඇමරිකාවේ Amazon
2.මධ්‍යම අප්‍රිකාවේ Congo
3. ගිනිකොණ දිග ඕස්ට්‍රේලියාවේ Australian Rain Forest
4.Sandaland
5.Indu - Burma
ඒ ටිකත් කොච්චර තර්ජනයට ලක් වෙලා විනාශ වෙමින් තියෙනවාද කියලත් ඔයාට National Geographic වගේ චැනලයකින් බලාගන්න පුළුවන්. ලෝකෙට වැටෙන ඉර එළියෙන් 1%තමයි ප්‍රභාසංශ්ලේෂණ මගින් තිර කරන්නේ. ඒ වැඩෙන් ලොකු පංගුවක් මේ වැසි වනාන්තර වලින් කරනවා. ඒ කියන්නේ කාබන්ඩයොක්සයිඩ් තිරකරලා දේශගුණ තත්ත්වය යහපත්ව තියාගන්න මේ වනාන්තර කරන මෙහෙය අපමණයි.
කොයි තරම් විශාල ජෛව විවිධත්වයකට සෙවන දෙනවද කියන එක තව පැත්තක්. මේ කිසි දෙයක් දුර දක්නා නුවණ නැති උදවියට පේන්නේ නෑ.
කවදාහරි කොන්ගෝ හරි ඇමසන් හරි වනාන්තරයක අර සිංහගලට ගියා වගේ ගමනක් යන එක සිහිනයක්.
සේයාරුව හා සිතියම අන්තර්ජාලයෙන්.

Monday, May 8, 2023

මගේ ෂොපින්


 මගේ ෂොපින්

කෙතරම් ලාභ වුණත් අනවශ්‍ය දෙයක් නම් මිළදී ගන්න එපා යයි ආර්ථික විද්‍යාඥයෙක් කියා තිබුණ බවක් මං අහලා තියෙනවා. අද වෙළඳ ලෝකය සකස් වෙලා තියෙන්නේ අපේ අතේ තියෙන මුදල් කෙසේ හෝ ඔවුන්ගේ සාක්කුවට දමා ගැනීමට. ඒක තමයි වෙළඳාම කියන්නේ. ඒකට දොසක් කියන්න බෑ. ධනවාදී වෙළඳපොල ආර්ථිකය අප ග්‍රහණයට ගත් මහා දරුණු බිල්ලෙක්. ඕන මොනවද නැත්තේ මොනවද කියලා හිතාගන්න බැරි ප්‍රපාතයකට මේ බිල්ලා ජනතාව ඇද දාලා තියෙනවා. වෙළඳ ප්‍රචාරණය සකස් වෙලා තියෙන්නේ අපේ මනසේ වගේම ශරීරයේත් හොඳම නිලයන් අල්ලලා.
උදාහරණයක් මෙහෙම පැහැදිලි කරන්නම්. අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා විවිධ එන්සයිම අඩංගු යුෂ ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙනවා. මුලින්ම කෙල ශ්‍රාවය වෙනවා. ඊළඟට ආමාශයික යුෂ ශ්‍රාවය වෙනවා. මේවා ශ්‍රාවය වෙන්න ආහාරවල සුවඳ, ආහාර දැකීම ප්‍රමාණවත්.
"අම්මෝ කටට කෙලත් උනනවා." කියලා අපි කියනවා. ඒක පෙරේත කම කියලා තව කෙනෙක් කියන්න පුළුවන්. නෑ ඒ අපේ ශරීර ස්වභාවය. දැන් අපි හිතමු ඔයා ආහාර පිළියෙල කරනවා කියලා. ඉස්සර නම් හාල්වල කළු ඇට වී ඇට අහුලන්න ඕන. දැන් එහෙම නෑ. පොල් ගාන්න ඕන. උඔලකඩ කපන්න ඕන. මෙන්න මේවා කරද්දී අපේ අර ග්‍රන්ථි ක්‍රියා කරනවා. එතකොට අපට හාල් ඩිංගක්, පොල් රළක්, උඹලකඩ කෑල්ලක් කන්න හිතෙනවා. ඒක කන එක හොඳයි. නැත්නම් අර ශ්‍රාවයන් අපරාදේ.
දැන් මෙන්න මේ ශාරීරික ක්‍රියාවලිය කොහොමද වෙළඳ ප්‍රචාරණය සඳහා ගන්නේ බලමු. ඔබ රූපවාහිනී තිරය ඉස්සරහ බලන් ඉන්නවා. ඒකෙ වෙළඳ දැන්වීමක ලස්සනට අයිස්ක්‍රීම් නැත්නම් සොසේජස් ඔය මොනවා හරි ආහාර වර්ගයක් පෙන්වනවා. සතුටෙන් ඒවා කමින් ඉන්න අය පෙන්වනවා. ඔයාට ඒවා කන්න පෙළඹවීමක් ඇති කරනවා. තව මාර්ගයේ යනවිට හොඳට පේන තැන්වල කට්අවුට් ඒ වගේ රූප එක්ක දානවා. නැත්නම් ආහාර ප්‍රවාහන රථවල එවැනි රූප පින්තාරු කරලා තියෙනවා. ඔයාට ඒ ළඟ කඩයකීන් ඒවා මිළදී ගන්න හිතෙනවා.
ඉස්සර අපි ෂැම්පූ ගැන දන්නේ නෑ. සබන් ගාලා තමයි හිස සේදුවේ. ඔන්න ෂැම්පූ හඳුන්වා දුන්නේ මෙහෙමයි. ඇස් කණ්ණාඩියක එක වීදුරුවක් සබන් ගාලා හෝදලා ඒකෙ පටලයක් බැඳිලා හරියට පේන්නෙ නෑ වගේ දානවා. අනික් වීදුරුව ෂැම්පූ දාලා හෝදලා හොදට විනිවිද පේන හැටි දානවා. ඒ කියන්නේ ෂැම්පූ වලින් තමයි හොඳට පිරිසිදු වෙන්නේ කියලා අපේ හිතට දානවා. ඔය වගේ උදාහරණ ඕන තරම්.
කොහොම උනත් මං නම් භාණ්ඩ මිළදී ගැනීමේදී මගේ පිටුපසින් මගේ ජීවිතයේ දීම දුක්ගැහැට විඳි කාලවකවානු සෙවනැල්ලක් වගේ මං ආවරණය කරනවා. අත්‍යවශ්‍ය දෙවල් පවා නැතිව ජීවත් වූ කෙටි කාල සීමාවන් මං පහු කරලා තියෙනවා. ඉතින් භාණ්ඩ ගන්න විට හුඟක් හිතන්න පෙළඹෙනවා. මං එහෙම භාණ්ඩ තෝරන දවසක ආර්පිකෝ ආයතනයේදී සේවකයෙක් කියවනවා 'මිස් හරියට හිතනවා නේද? "කියලා.
" ඔව් ඒ මගේ හැටි" මං කියනවා.
අද අන් කවරදාටත් වඩා වෙළඳපොල අප ආක්‍රමණය කරන ආර්ථික රටාවක් තුළ මගේ ක්‍රමය ආශීර්වාදයක් කියලා හිතෙනවා.
Thank you Allef Vinicius for the image on Unsplash

Monday, May 1, 2023

පිළිවෙල

 පිළිවෙල



මකුළුවා වෙහෙසෙයි
රටා වියමින් දැල තනයි
ඒ ඌ පැතූ පිළිවෙල යි
උගේ ලෝකය මනහරයි!
ගෙහිමියා වෙහෙසෙයි
ඌ තැනූ දැල් කඩයි
ඔහු පිළිවෙල යයි සිතන
තැනට නිවහන් ගෙන එයි!
දැල් බිඳුණු මොහොතේම
මකුළුවා යළි වෙහෙසෙයි
යළි රටා මතුවෙයි
උගේ පිළිවෙල යළි එයි!
නිවහනේ එසැණ සිට නැවත
අපිළිවෙල හිස ඔසවයි
පිළිවෙලින් අපිළිවෙලට
යන්න වෙහෙසක් නුවුමනයි.
ඒ ලොවේ දහමයි
වටහා ගත යුතුමයි!
Thanks to Torbjern Helgesen for the image on Unsplash

Wednesday, April 19, 2023

ජීවිතය

 ජීවිතය



මේ ටිකේ මේ වේදිකාවේ දකින දේවල් ගැන හිතලයි මේ ටික ලියන්නේ. මේ දකින ඇතැම් දේවල්වල සුලමුල හරියට දන්නේ නැති නිසා පශ්චාත් මරණ පරීක්ෂණ වලට යන්නේ නෑ. අපි පරණ මිනිස්සු. ජීවිතේ අගිස්සේ ඉන්නේ. ගතකළ ජීවිතයේ හමුවුණ විපර්යාස අනන්තයි අපරිමාණයි. වැරදීම් ඕනතරම් වෙලා තියෙනවා. ඒ ඒ වෙලාවට හරි කියලා ගත්ත තීරණ පසුව වැරදි බව වැටහෙනවා. මීට අවුරුදු දහයකට කලින් ඊටත් කලින් විතරක් නෙවේ ඊයෙ ගත්ත ඇතැම් තීරණ වුණත් අද හරි නැති විදියට පේනවා. අපට පාලනය කළ නොහැකි අහිමිවීම් වෙලා තියෙනවා. ඒවා එහෙම වුණා කියලා ජීවිතේ නැවතුණෙ නෑ. ජීවිතේ අයාලේ යන්න ඉඩ දුන්නෙත් නෑ.
ජීවිතේ සිදුවුණ අමිහිරි සිදුවීම්, අහිමි වීම් ගඩොල් බදාම විදියට අරන් තමන්ගෙ ඉදිරි ගමනට බාධකයක් තාප්පයක් නිර්මාණය කරගෙන ඒ මත පසුතැවෙන දරුවන්ට, මගෙ සිසුන්ට මමම උදාහරණයට අරන් මං අවවාද කරලා තියෙනවා. මං එහෙම තාප්ප බැඳ ගත්තා නම් අද මේ විදියට ඉන්න බැරි බව කියලා තියෙනවා.
ජීවිතය කියන එක අපිට ලැබෙන්නේ එක වතාවයි. ඊළඟ එකක් වඩා හොඳට තියෙනවා හෝ තියෙන්න පුළුවන් කියලා හිත රවටා ගන්න එපා. වැරදුනා නම් දැන් හරි පැත්තට හැරෙන්න. ඔබ ප්‍රමාද නෑ. කොහෙත්ම ප්‍රමාද නෑ. තරුණ ඔබට කාලය තියෙනවා. තාක්ෂණය නිවැරදිව හසුරුවා ගන්න. පහුගිය කාලේ දෙමාපියන් වැඩිහිටියන් ඇතුළු සමාජය වැඩක් නැති පුහු ඉලක්ක කීපයක් හඹා යන්න ඔබ තල්ලු කරලා තියෙනවා. ඒවා සම්පූර්ණ වුණා කියලා සියල්ල හරි යන්නේ නැති බව දැන් ඔවුන්ට පෙනී යනවා ඇති. නැතුවත් ඇති. තාමත් ඔවුන් ඒ හීන ලෝකවල වෙන්නත් ඇති. කොච්චර ද්‍රව්‍ය තිබුණත්, කොච්චර සහතික සුදුසුකම් තිබුණත් ජීවිතය ඒවට අහුවෙන්න නෑ. ජීවිතය ඊට එහායින් තියෙන දෙයක්. සමාජය අමිහිරි තැනක් වුණා නම් ඒක හරි පැත්තට ගන්න අංශු මාත්‍රයක් හරි හරි පැත්තට ගන්න කරන්න පුළුවන් දෙයක් කරන්න ඕන.
ජීවිතය ඇඟිලි අතරින් ගිලිහෙන්න තමන්ගේ හිතෙන් එක පොඩි බුරුල් වීමක් ඇති. එවැනි සැබෑවූ අවස්ථා වගේම නූලෙන් ගිලිහුණු අවස්ථා අත්දැකලා තියෙනවා. එහෙම හැඟීම් දැනෙනවා නම් කල් නොයවා ඒ කියන්නේ තම පාලනයේ දුරස්ථ පාලකය තමන්ගේ අතින් ගිලිහෙන්න කලින් අවශ්‍ය සුදුසු තැනකට යොමුවෙන්න බලන්න. එහෙම ආයතන රාජ්‍ය වගේම රාජ්‍ය නොවන ඒවා තියෙනවා. මෙතන නම් සඳහන් කිරීම කරන්න බෑ. සම වයස් මිතුරන් හොඳයි. නමුත් අත්දැකීම් බහුල අයගෙ අදහසුත් ගන්න.
ආයෙත් මතකයට ගන්න මේ ජීවිතය අපට ලැබී තියෙනවා. ඒක නැති වුණත් ලෝකය නවතින්නේ නෑ. ලෝකය එදා වගේම හෙටත් ඉදිරියට යනවා. ඒක ලැබෙන්නේ එක වරයි. ඒ වාරය සතුටෙන් ගතකරන්න. සතුට තමන්ම හදාගන්න. ඒක කාටවත් දෙන්න බෑ. ඒ ඒ පුද්ගලයාට අනුව වෙනස් සතුටවල් තියෙනවා. නමුත් ඒක අන් අයට කරදරයක් නොවෙන විදියට තියාගන්න එක ඔබේ සමාජ වගකීම.
ඔබ සැමට යහපතක්ම පතනවා!
Thanks to Birmingham Meusem Trust for the image on Unsplash

ගමන

 ගමන



කාලය නැගී ඇත යානයක
වේගය වර්ෂවේ ආලෝක
අතීතය හීනයකි නෑ සෝක
මේ මොහොත නංවලා අභිෂේක
දරුවන් ගුලිවෙලා කැදලිවල
මුනුපුරන් හිනැහේවි හීනවල
ඉඳහිටක මතුවුණත් තිරවල
දැනෙන්නෑ උනුහුමක් පපුවල
ඉතින් අපි වයසට ගියහම
ඇවිදිමු හැම අහුමුල්ලකම
ඇඳුමක් මල්ලක ඔබාගෙන
බරක් නෑ සැහැල්ලුව විතරක්ම

සුරතලුන් විතරනේ දැන් බැඳීම
වයසයි උන්ටත් උන් යාවි ළඟදීම
වටින කියන දේකුත් නැතිවුණාම
හිතන්නට දෙයක් නෑ රෑ වුණාම
ඇදී යන මේ ජීවිතේ තවලම
ගාල වෙත ළං වේවි නුදුරේම
ලිහා බැමි නිදහස්වු මොහොතේම
පියා ඇස් නිදාගමි හැමදාම.

Thanks to Madalyn Cox for the image on Unsplash

Monday, April 17, 2023

සව් ඇට එන්නේ කොහොමද?

 සව් ඇට එන්නේ කොහොමද?




සව් කැඳ බොන්න කවුද අකමැති නේද? ඒත් සව් ඇට කොහොමද හැදෙන්නෙ? ගහක හැදෙනවද? අපි ටිකක් ඒ ගැන කතා කරමු.
ඔන්න මැලේසියාව, ඉන්දුනීසියාව හා නිව් ගිනියාවල වනමය වගුරුබිම් වල වවන ශාකයක් තියෙනවා සේගු පාම් කියලා. එහි උද්භිද විද්‍යාත්මක නාමය Metoxylon sagu. මේක පාමේ කුලයේ (Family - Palmae) ශාකයක්. අපි තාල වර්ගයේ ගස් කියලා කියන්නේ. මේක වියලි බිම්වලත් හැදෙනවා. ලෝකයේ සමහර ප්‍රදේශවල ජනයාට ප්‍රධාන ආහාරය සපයන්නේ මේ ශාකය.
දැන් ඔයාල හිතනවා ඇති මේ ශාකයේ සව් ඇට හැදෙනවා කියලා. නෑ නෑ. දැන් මං ඒ ගැන කියන්නම්.
මේ ශාකය පරිණත වෙද්දී අඩි මීටර් 15ක් විතර උසට හැදෙනවා. කඳ සෘජුයි, මහත හා අතුනොබෙදුන එකක්. කඳ මුදුනේ පාණිවත් විශාල පත්‍ර කිරුලක් දරනවා. මුල් අතු නොබෙදී පොළවේ ගැඹුරට ගමන් කරනවා. මේ ගස් ඉක්මනින් වැඩෙනවා. පැතිරෙනවා. ඒ මව් ගස වටා පැනනගින අංකුර වලින්.
ගහට අවුරුදු 12 - 15 ක් පමණ වනවිට ලිංගික පරිණතිය එළඹෙනවා. එය ජීවිත කාලයටම මල් දරන්නේ එකම එක වතාවයි.
ඉන්පසු ගහ මැරෙනවා. මල් කෘමීන් මගින් පරාගණය වෙලා ගෙඩි හැදෙන්න වසර 11/2ක් විතර යනවා. ඒ ගෙඩිවල හැදෙන ඇට සව් ඇටද? නෑ
මේ ගහේ කඳේ බඩයේ පිෂ්ටය විශාල වශයෙන් තැන්පත් වෙනවා. එය උපරිමයට එන්නේ මල් පිපෙන්න කලින්. අන්න ඒ වෙලාවේ ගහ කපනවා. කපලා බඩය තලලා මිරිකලා යූෂය ගන්නවා. හරියට අපි කිතුල් බඩයෙන් කිතුල් පිටි ගන්න විදියටයි ඒක කරන්නේ. ඊට පස්සේ ඒ දියරය පෙරලා වතුර වාෂ්ප කරලා පිටි නැත්නම් සේගො ගන්නවා. එක ගහකින් සේගො 150-300 kg පමණ ගන්නවා. වී වගාවට වඩා බොහෝ කාර්යක්ෂම දෙයක්.
සේගො නැගෙනහිර ආසියාවේ රටවල් වල ප්‍රධාන ආහාරයක්. ඒ වගේම විවිධ ආහාර හදන්න මෙය යොදා ගන්නවා. සේගෝ පිටි හොඳින් වියළුවහම ඕන තරම් කාලයක් තියාගන්න පුළුවන්.
සේගෝ වල ප්‍රයෝජන ගොඩයි. මෙය මොනො සෝඩියම් ග්ලූටමේට් හදන්න ගන්නවා. ජෛව වියෝජනය වන ප්ලාස්ටික් හදන්න ගන්නවා. රෙදි වලට කැඳ දාන්න ගන්නවා. එතනෝල් හා සිට්‍රික් ඇසිඩ් හදන්න ගන්නවා. පහසුවෙන් දිරවන නිසා සත්ව ආහාර හදන්න ගන්නවා.
මේ ශාකයේ පත්‍ර ද ආර්ථික වශයෙන් වැදගත්. ඒවායින් බෑග්, බාස්කට්, කූඩු වගේ ඒවා හදනවා. මේවායේ දිග කෙඳි තියෙනවා. ඒවා කඩදාසි හදන්න ගන්නවා.
සේගෝ පාම් ගසේ කඳ සිදුරු කරන පළිබෝධයා Sago Beetle. මේ සතාගේ පිළවු රසවත් ආහාරයක් ලෙස සකස් කරනවා.
කෝ එතකොට සව් ඇට?
සේගෝ පිටිවලින් හදන ඇට වර්ගයක් තමයි සව් ඇට (Sago pearl). මේවා කෙලින්ම ජලය හා මිශ්‍රකර රත් කර කාබෝහයිඩ්‍රේට ආහාරයක් ලෙස ගන්න පුළුවන්. නැත්නම් අපි හදනවා වගේ පොල්කිරි හෝ එළකිරි දාලා තලප හෝ කැඳ ලෙස හදන්න පුළුවන්. ඒ වගේම සව් ඇට හදද්දී හාල්පිටි, ඉරිඟු පිටි, අර්තාපල් පිටි හෝ මඤ්ඤොක්කා පිටි සේගෝ වලට මිශ්‍ර කරන්න පුළුවන්.
නියම සව් ඇට සම්ප්‍රදායික ක්‍රමයකට හදන බව සඳහන් වෙනවා. ඒ ඇට ඒකාකාරී නෑ. කැඩෙන සුළුයි. ඒ වගේම රිෆයින් කරන්නේ නැතිනිසා දුඹුරු පාටයි. ඉක්මනින් තැම්බෙනවා. නියම සව් තායිලන්තයේ තියෙන බව සඳහන් වෙනවා.
ආදේශක සුදු පාට ඇට. රිෆයින් කළ පිටි වර්ගවලින් හදන්නේ.
පසු කාලීනව සව් ඇට හැදීම යන්ත්‍රානුසාරයෙන් කරනවා. . අතීතයේ අතින් ක්‍රියාත්මක වූ යන්ත්‍ර අද වන විට ස්වයංක්‍රීය දියුණු මට්ටමේ ඒවා.
ඔන්න සව් ඇටේ කතාව.
තව false sago palm කියලා ගහක් තියෙනවා. ඒ කියන්නේ මඩු. අර ඉහත කී ශාකයට සහමුලින්ම වෙනස් විවෘත බීජක ශාකයක්. උද්භිද විද්‍යාත්මක නමින් Cycas circinalis, Cycas rumphii හා Cycas revoluta. මේවායේ ඇට හා කඳෙන් ද පිටි ලබාගන්න පුළුවන්. ඒවාත් වෙනත් පිටි එක්ක සව් ඇට හදන්න ගන්නවා.
සියළුම රූප ඔබේ දැනුම උදෙසා අන්තර්ජාලයෙනි.

Saturday, April 8, 2023

අරගලය

අරගලය  





මගේ කෙටි කතා පොත අරගලය ගුණසේන ගුරුළුගෝමී ඇප් එකෙන් කියවන්න කියලා මගේ දයාබර රසිකයින්ට ආදරයෙන් ආරාධනා කරනවා.

This is my newly published ebook. A short story book with 10 stories. It is available in the Gurulugomi app. My dear friends, I cordially invite you to read it and give me your ideas.

Wednesday, March 29, 2023

සිදුවීම්

 






සිදුවීම්

ජීවිතය කියන්නේ සිදුවීම් ගොඩක්. සිදුවීම් දාමයක්. මේ සිදුවීම් දිගටම සිදුවෙනවා. එක එක ජීවිත වෙනම ගත්තත් වෙනවා. පොදුවේ ගත්තත් වෙනවා. පොදුවේ වෙන දේවල් පුද්ගලයා කෙරෙහි විවිධ විදියට බලපානවා. සමහර සිදුවීම් අපි හිතාමතා සැලසුම් කරලා සිදුකර ගන්නවා. තව සමහරවිට වෙන දෙයක් සිදුවෙලා සැලසුම් කළ දේ කරන්න බැරි වෙනවා. සමාජයක් වශයෙන් මෙන්ම පුද්ගලයන් වශයෙන් ද වෙන්න තියෙන සිදුවීම් අපි සැලසුම් කරනවා.
ඉතින් අප වටා සමාජ පරිසරයේ යම් සිදුවීමක් වුණ විට අපි අපේ මට්ටමින් එය විග්‍රහ කරනවා. ඒ විග්‍රහයන්ට අප ගිලී ඉන්න නොයෙකුත් මති මතාන්තර බලපානවා. හුඟක්ම සංස්කෘතික ආගමික පසුබිම.
දැන් මෙහෙම ගනිමු. යම්කිසි පුද්ගලයෙක් දුම්රියක ගැටී මිය යනවා. ඒක එක සිදුවීමක්. ඒක ඒ තැනැත්තා වුවමනාවෙන් කරගත් දිවි නසා ගැනීමක් වෙන්න පුළුවන්. නැත්නම් අත් වැරදීමකින් වුණා වෙන්න පුළුවන්. නමුත් දැන් සිදුවෙලා ඉවරයි. "ඒ වෙලාවේ ඔහු මියයන්න තිබුණා. වෙන කොහේ හිටියත් මිය යනවා. ඒක කාටවත් වලක්වන්න බෑ." කියලා සමහරු කියනවා. "ඒක එයාගෙ කර්ම ශක්තිය." තව කෙනෙකුට කියන්න පුළුවන්. "දෙවියන් වහන්සේගේ කැමැත්ත" ඒ තවත් කෙනෙකුට අනුව.
තව එකක් ගනිමු. යම් උපත් දුබලතාවයක් එක්ක දරුවෙකු බිහිවෙනවා. බිහිවී ටිකකින් මිය යනවා.
" ඒ දරුවා පෙර කළ පව් " කෙනෙක් කියනවා.
" දෙමව්පියන් කළ පව් දරුවන් පිටින් යනවා." කියලා මං ඒ වගේ සිදුවීමක් සහිත පෝස්ට් එකක කමෙන්ටුවක දැක්කා.
තව අවස්ථාවක් ගනිමු. යම්කිසි පවුලක් හදිසියේම ධනවත් වෙනවා. හොඳ ගෙයක්, වාහන, දැසිදස් ඇතුව ඉන්න පටන් ගන්නවා. මේක ටික ටික වූ සිද්ධි දාමයක්.
"පින් කරපු මිනිස්සු." ඒ සිද්ධි දාමය අනික් මිනිස්සු විග්‍රහ කරනවා. "කවද වුණත් පින පලදෙනවා." කෙනෙක් කියනවා.
ඔන්න මේ ධනවත් වූ තැනැත්තා මුදල් හෙව්වේ වැරදි වැඩකින් කියලා අහුවෙලා ඔහු සැකපිට අත්අඩංගුවට පත් වෙනවා.
"පව් කාරයෝ. හත්මුතු පරම්පරාවට වත් හොඳක් වෙන්නේ නෑ." අර ගුණ ගැයූ මිනිස්සු සිදුවීම වෙනස්ම විදියට දකිනවා.
ජීවිතයේ සිදුවීම් අපට මෙහෙයවන්න බැරිද?
යම්තාක් දුරකට පුළුවන්. පාරේ යද්දී පරිස්සම් වී රිය ධාවනය කරන කෙනෙක් ඉන්න පුළුවන් කිසිදාක අනතුරක් තමන්ට හෝ අනුන්ට සිදු කර නොගත්. ඒ වගේම පළමු වතාවේ සුක්කානම ගත්ත කෙනෙක් නොසැලකිල්ල හා තමා ගැන අධිතක්සේරුව නිසා එදාම මිය යන්නත් පුළුවන්.
ඊ ළඟ මොහොතේ නැත්නම් හෙට එහෙම නැත්නම් නුදුරු අනාගතයේදී කුමන සිදුවීමක් වේවිද කියලා කියන්න පුළුවන් ද? ඔව් සමහර දේවල් ගැන පෙරයීම් කරන්න පුළුවන්. කාලගුණ ය, වන්ද්‍ර හා සූර්යග්‍රහණ ඇතුළු ග්‍රහ වස්තූන් ගෙ චලිත ගණිතමය වශයෙන් පෙරයීම් කරන්න පුළුවන්.
ඒත් ඔබේත් මගේත් ඊ ළඟ මොහොතේ සිදුවීම අපි හිතන දෙයක් වෙන්නත් පුළුවන්. කිසිසේත්ම නොසිතන දෙයක් වෙන්නත් පුළුවන්. සිදුවීම් පෙළ නොකඩවා අනවරතව සිදුවෙනවා. ඒක විතරයි හරියට කියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සියල්ල අහම්බ ලෙස මං දකිනවා.
රූපයේ කාන්තාව කවුරුහරි එනකම් බලාගෙන ඉන්නවාද? ඊළඟ මොහොත කුමක් වේද?
Life is just a bunch of accidents!
Image from Unsplash free images

Thursday, March 16, 2023

පැපොල දෙවන වර සෑදීම Shingles

 


පැපොල දෙවන වර සෑදීම Shingles
අද මං අපට අදාළ රෝහලට ගියා. ඔයාල හිතයි දැන් ආ මොකද? අනේ ලෙඩ වුණා ද? නෑ එහෙම නෑ. ඒ ගියේ එන්නත් දෙකක් ගන්න. මෙහෙ වැඩිහිටි අයට නියුමෝනියා වළක්වන්න Pneumococcal vaccine එකයි Shingles නැති නම් Herpes Zoster වළක්වන්න Shingles vaccine එකයි දෙනවා. මේ දෙකම එක දවසේ ගන්න පුළුවන්.
දැන් ඔයාල නියුමෝනියා ගැන නම් අහල තියෙනවා නෙ. අනික වැඩිය අහලා නැතුව ඇති. Shingles කියන්නේ පැපොල (Chickenpox). දෙවෙනි වර හැදෙන එක. මේ දෙකම එකම වයිරස් එකෙන් (Varicella virus) හැදෙන්නෙත්. පැපොල හැදිලා නැති වුණත් අපේ ශරීරයට ඒ වයිරසය ඇතුළු වෙලා තියෙන්න පුළුවන්. නැත්නම් පැපොල වළක්වා ගන්න ඔබ එන්නත අරන් ඉන්න පුළුවන්. මටත් පැපොල හැදිලා නෑ. ලෙඩුන් සමග ඉතාම කිට්ටුවෙන් තුන් සැරයක් හිටියා. ඒත් හැදුණෙ නෑ. ඒ කියන්නේ මගේ ශරීරයට වයිරසය ඇතුළු වෙන්න ඇති. ප්‍රතිශක්තිකරණය ඇතිවෙන්න ඇති. ඒ වුණත් මං Varicella vaccine එක ගත්තා. ඒක දෙවරකට දෙන්නේ. මුල් එකට පස්සේ booster එක මාස දෙකකින්. කොහොමටත් පැපොල ලෙඩේ කලින් හැදිලා නැත්නම් මෙහෙ එන්න medical ගන්න කොට ඒක ගන්න ඕන.
ඉතින් Shingles කියන්නේ ඒ Varicella වයිරසය ශරීරයේ නිද්‍රාගතවෙලා ඉඳලා කාලයකට පස්සේ ආපහු හැදෙන එක. හැබැයි මේක ඇඟ පුරාම හැදෙන්නේ නෑ. බිබිලි එන්නේ ශරීරයේ එක අර්ධයක ස්නායුවක් යන මාර්ගයක. ඒක කඳේ හෝ ඇසේ වෙන්න පුළුවන්. බිබිලි එන්න කලින් උණ, අධික වේදනාව, පිච්චෙනවා වගේ දැවිල්ල ඇතිවෙනවා. ඇස නොපෙනී යාමටත් පුළුවන්. ලෙඩේ සුවවෙලා ටික කලක් යනකම් මේ දැවිල්ල තියෙන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ හැම පස් දෙනෙකුගෙන් කෙනෙකුට ජීවිත කාලයේ කවදහරි Shingles හැදෙන බව සඳහන් වෙනවා. ඒ නිසා එන්නත් ලබාදීම සිදු කරනවා. ඒකත් මාත්‍රා දෙකකින් දෙන්නේ. තව මාස දෙකකින් මං booster එක ගන්න ඕන.
පැපොල වුණත් වැඩිහිටි අයට හැදෙන එක අවදානම්. දැන් පැපොල වැළඳුන සැනින් anti viral බෙහෙත් දෙනවා. එතකොට අමාරු වෙන්නේ නෑ. තව කියන්න ඕන දෙයක් තමයි පැපොල හැදිලා නැති කෙනෙකුට Shingles රෝගියෙකුගෙන් පැපොල බෝවෙන්න පුළුවන්. හැබැයි Shingles කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවෙන්නේ නෑ. අදට ඇති. එන්නත දුන් අතත් ටිකක් රිදීගෙන එනවා.


රූපය Mayo clinic ඇසුරෙන්,අන්තර්ජාලයෙන්


Monday, March 13, 2023

කැලිෆෝනියාවේ වැසි සහ සුළං

 

කැලිෆෝනියාවේ වැසි සහ සුළං





කැලිෆෝනියා කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50න් එකක්. පැසිෆික් සාගරයට මායිම් වන එහි වර්ගඵලය වර්ග සැතපුම් 163, 696ක් පමණ වෙනවා. ඒ කියන්නේ ලංකාව වගේ හය ගුණයකට වැඩි වපසරිසරියක්. සැක්‍රමෙන්ටෝ එහි අගනුවරයි.
මේ ප්‍රාන්තයේ දේශගුණික තත්ත්වයන් වුණත් හුඟක් විවිධ වෙනවා. සමහර පැතිවල අවුරුද්ද පුරා හිම තියෙනවා. මොහාවේ, ඩෙත්වැලි වගේ කාන්තාර කීපයකුත් මෙහි තියෙනවා. සාමාන්‍යයෙන් වැස්ස අඩුවෙන් තමයි ලැබෙන්නේ. මේ දවස්වල වෙන අවුරුදු වලට වඩා වහිනවා. මේ වනවිට ඇතැම් ප්‍රදේශ ගංවතුරෙන් යටවෙලා. කුණාටු නිසා බලපෑම් ඇතිවෙලා. අපටත් හුඟක් වහිනවා. ගංවතුර තර්ජනයක් නෑ.
මේ ප්‍රාන්තයේ ගංඟාවල් 10ක් තියෙනවා. ඒ වගේම ජලාශ විශාල සංඛ්‍යාවක් තියෙනවා. සියලුම ගංඟාවල් වල දිග එකතුව සැතපුම් 189454ක්. දිගම ගඟ සැක්‍රමෙන්ටෝ ගඟ. ඒවායේ ජලයෙන් පානීය ජල අවශ්‍යතා, විදුලිබල අවශ්‍යතා ඉටුකෙරෙනවා වගේම විශාල පරිමාණයේ වගාවට අවශ්‍ය ජලයද සැපයෙනවා.
මේ සමග තියෙන්නේ සැක්‍රමෙන්ටෝ ගඟේ මං ගිය වෙලාවක ගත් පින්තූර දෙකක්.