Wednesday, December 25, 2019
සාමාන්‍ය ජෛව සමුදාය (Normal Body Flora) හෙවත් අපේ ශරීරයේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන්
සාමාන්‍ය ජනතාව විෂ බීජ වලට අසීමිත බියක් දක්වන බව පෙනී යනවා. ඒ විෂ බීජ නැත්නම් ක්ෂුද්‍ර ජීවීන් සියල්ලම රෝග කාරක කියල හිතන නිසා.
මොනවාද මේ විෂ බීජ කියන්නේ?
බැක්ටීරියා, වයිරස් හෝ දිලීර කියන ක්ෂුද්‍ර ජීවී වර්ග වලට අයිති ජීවීන් තමයි බොහෝ කොටම. මැලේරියා , ඇමීබයෝසිස් වගේ රෝග ඇති කරන්නේ නම් ප්රෝටෝසෝවා කියන වර්ගයට අයිති ජීවීන්.
ජනතාව බොහෝ විට හිතන්නේ තමන් ඇර අනික් හැමෝම ලඟත් අවට පරිසරයේත් විශේෂයෙන්, රෝහල් ,මළ ගෙවල් වගේ තැන් වල මේ විෂ බීජ හුඟක් තියෙනව කියලයි. (රෝහල් වල නම් ඇත්තටම Hospital Flora කියල වෙනම විෂබීජ සංයුතියක් තියෙනවා. )
නමුත් ඇත්ත නම් අපි කාගේත් ශරීර මත, ඒ කියන්නේ සම මත, මුඛ කුහරය, උගුර ඇතුළු ඉහළ ශ්වසන මාර්ගය, ආහාර මාර්ගය, මෞත්‍ර ලිංගික ප්‍රදේශ වල සිටින ක්ෂුද්‍ර ජීවී සෛල සංඛ්‍යාව අපේ ශරීරය හැදිලා තිබෙන සෛල සංඛ්‍යාවටත් වඩා වැඩි බවයි. මේ ජීවීන් අපි මෙලොවට ඉපදිලා ටික වෙලාවකට පසු අපේ ශරීරයේ ස්ථාපිත වෙලා අපි මැරෙන කම්ම අපිත් එක්ක ඉන්නවා. මේ ජීවීන්ට තමයි කියන්නේ සාමාන්‍ය ජෛව සමුදාය (Normal Body Flora ) කියල. මේ ගොඩට වැඩියෙන්ම අයිති බැක්ටීරියා හා ඇතැම් දිලීර. වයිරස හා පරපෝෂිත ජීවීන් මේ ගොඩට අයිති නැහැ.
ඔබ බොහෝසේ වර්ණනා කරන සම, කෙස්, තොල් ආදී අවයව මත මේ ජීවීන් බහුලව ඉන්නවා.
සාමාන්‍ය ජෛව සමුදායේ වැදගත්කම කුමක් ද
1. මේ ජීවීන් අපිට උදව් කරනවා. මොකකට ද ?
a)අපිට ලෙඩ හදන වෙනත් විෂ බීජ වලින් අප ආරක්ෂා කරනවා.
b) අපට පාවිච්චි කරන්න පුළුවන් යම් යම් පෝෂක නිපදවනවා. උදාහරණ විදියට ආහාර මාර්ගයේ බැක්ටීරියා බයෝටින්, විටමින් B 12, ෆෝලික් අම්ලය, තයමින් හා විටමින් K නිපදවනවා.
2) මේ ජීවීන් ඇතැම් විට අපට හානි කරනවා. උදාහරණ විදියට දත් කුහර ඇති කිරීම, මුඛයේ තුවාල ඇති කිරීම හා වෙනත් රෝගී තත්වයන් ඇති කිරීම
3) මේ සමහර ජීවීන්සහභෝජීන් විදියට ඒ කියන්නේ අපිට උදව්වක් හෝ හානි කිරීමක් නැතුව පවතිනවා.
කෙසේ නමුත් නිරෝගී පුද්ගලයන් ගේ මේ ජීවීන් සාමාන්‍යයෙන් රෝග ඇති කරන්නේ නැහැ. නමුත් පුද්ගලයා දුර්වල වූ විට රෝග ඇති කරනවා. උදාහරණ විදියට AIDS සෑදුනු කෙනෙකුට හෝ අවයව බද්ධයකින් පසු ප්‍රති ශක්තිය අඩු කිරීමට දෙන ඖෂධ ගන්නා කෙනෙකුට
ඉතින් මේ ජීවීන් නැති ජීවාණුහරණය වූ ජීවීන් ඉන්නවා ද ?
ඔව් ...හිතන්න සිසේරියන් සැත්කමකින් දරුවෙක් ගත්ත කියල. ඒ දරුවාගේ ඇඟේ ඒ මොහොතේ මේ සාමාන්‍ය ජෛව සමුදාය නැහැ. හැබැයි ටික වෙලාවකින් ඒ දරුවා අතට ගන්නා හෙදිය හෝ වෛද්‍ය වරයා ගෙන් දරුවාට ජීවීන් ඇතුල් වෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් උපන් හැටියේ සිඟිත්තා මවගේ සිරුරට ස්පර්ශ වෙන්න දෙන නිසා මවගේ ජීවීන් දරුවට ඇතුල් වෙනවා. සාමාන්‍ය දරු උපතක දී මවගේ උපත් මාර්ගයේ හා මෞත්‍ර ලිංගික ප්‍රදේශ වල සිටින ජීවීන් මුලින්ම ඇතුල් වෙනවා.
මේ සාමාන්‍ය ජෛව සමුදාය ගැන වැඩි දුර තොරතුරු අනාවරණය වුණේ සතුන් සිසේරියන් සැත්කමකින් එළියට අරන් ජීවාණු හරිත පරිසරයක හැදී වැඩෙන්න සැලැස්වීමෙන් පසුවයි. එහිදී අපුර්ව සොයාගැනීම් දෙකක් කරලා තියෙනවා.
1. එවැනි ජෛව සමුදාය රහිත සතුන් සාමාන්‍ය සතුන්ට වඩා දෙගුණයක් කල් ජීවත් වන බව
2. මේ කාණ්ඩ දෙකේ සතුන් ගේ මරණ ආකාර දෙකකින් සිදුවීම. ජෛව සමුදාය සහිත සාමාන්‍ය පරිසරයේ ඉන්න සතුන් ආසාදන නිසා මිය යන අතර ජෛව සමුදාය රහිත සතුන් බඩවැල් වල දුර්වලතා නිසා මිය යනවා.
මේ හැර මේ සත්ව කණ්ඩායම් දෙකේ සතුන්ගේ තවත් වෙනස් කම් රාශියක් තිබෙන බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම මිනිසුන්ගේත් සාමාන්‍ය ජෛව සමුදාය මගින් විශාල බලපෑම් ජීවිතයට ඇති වන බව සොයාගෙන තිබෙනවා.
Thanks for the photo- Photo by Nhia Moua on Unsplash
Ref. https://www.ncbi.nlm.nih.gov/books/NBK7617/
Monday, December 16, 2019
සසර හුය Tread of existence
දැනට මේ විශ්වයේ ඇතැයි කියා මා විශ්වාස කරන්නේ මේ අප ජීවත්වන ග්‍රහ ලොව තුළ ඇති ජීවය පමණකි. අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් වෙනත් ග්‍රහ ලෝකවල හෝ විශ්වයේ වෙනත් චක්‍රාවාට වල හෝ ජීවයක් ඇත්නම් ඒ බව සනාථ වන දිනය තෙක් ඒ ගැන සිතීම අත්හරිමි.
අප පෘථිවියට ජීවය ආවේ කොහෙන්ද? පෘථිවිය ඇති වුයේ කවදා ද?
දැනට ඇති සාක්ෂි වලට අනුව පෘථිවිය බිහිවූයේ මෙයට වසර බිලියන 4.5 කට පෙරය. එහි ප්‍රථම ජීවය බිහි වූයේ දැනට වසර බිලියන 3.5කට පෙරය. එසේ ජීවය බිහිවූ දා සිට එම ප්‍රථම ජීවී සෛලය මේ දක්වා ඇත්තෙන්ම මරණයට පත් වීමක් සිදුවී ද? එසේ නැති බව පැහැදිලිය. ඒ එදා බිහිවූ අප සැමගේ මුතුන්මිත්තා එදා ආරම්භ කළ හුස්ම ගැනීම (ශ්වසනය) අද දක්වාම අඛණ්ඩව ගමන් කර ඇති අතර ඒ ගමන හෙටත් ඉදිරියටත්, කවදා හෝ මේ ග්‍රහලොව/ සෞරග්‍රහ මණ්ඩලය සම්පුර්ණයෙන් විනාශ වෙනතෙක් හෝ ජීවය තව දුරටත් පැවතීමට මෙහි තත්වයන් අසමත් වෙනතෙක් හෝ සිදුවනු ඇත. සමහර විට අපෙන් එකෙක් හෝ විශ්වයේ වෙනත් තැනකට ගොස් රැකී සිටීමට සමත් වුව හොත් තවත් ඉදිරියටත් මේ හුස්ම ගැනීම සිදුවනු ඇත.
මේ හුස්ම ගැනීමේ අඛණ්ඩ සිදුවීම සිදුවන්නේ කෙසේ ද?
එදා ඒ ජීවියා බිහිවී ටික කලෙකින් ඔහුගේ ප්‍රජනනය සිදුවී අලුත් ජීවියෙක් බිහිවන්නට ඇත. එවැනි සරල ජීවීන්ගේ ප්‍රජනනය මව් සෛලය දෙකට බෙදී නව දුහිතෘ සෛල දෙකක් ඇති වීමයි. එනම් එතැන මරණයක් සිදුවී නැත. මරණයක් සිදුවූවා යයි ඔබ සිතුවත් එය මළ සිරුරක් ශේෂ නොකරන මරණයකි. මෙහිදී මුල් ජීවියාගේ හුස්ම ගැනීම අඛණ්ඩවම දුහිතෘන් කරා ගමන් කර ඇත.
ජීවීන්ගේ ප්‍රජනනය ලිංගික ප්‍රජනනය තෙක් පරිණාමය වූ විට මව්පියන් අඛණ්ඩව ගෙන ආ ජීවන හුස්ම දුහිතෘ ජීවියා කරා ගමන් කරන්නේ ශුක්‍රානු හා ඩිම්බ හරහා ය. වඩාත් නිවැරදිව කිවහොත් ඩිම්බය හරහාය. මක් නිසාද යත් ජීවී සෛලවල හුස්ම ගැනීමේ ඉන්ද්‍රයිකාව වන මයිටොකොන්ඩ්රියා යුක්තානුවට ලැබෙන්නේ ඩිම්බයෙන් වීමයි. ශුක්‍රාණුවේ ද මයිටොකොන්ඩ්රියා ඇති නමුත් ඒවා යුක්තානුවට යාමට තරම් වාසනාවන්ත වෙන්නේ නැත.
මා මෙහි හුස්ම ගැනීම ගැන පමණක් උදාහරණයට ගැනීමට පෙළඹුණේ හුස්ම ගැනීම නැවතීම නැත්නම් අවසන් හුස්ම හෙලීම මරණය ලෙස පොදුවේ අප සළකන නිසාය. ඇත්තෙන්ම ජීවය සම්බන්ධ අනිකුත් ක්‍රියාවලින්ට අයත් දේවල් ද ඒවා පිලිබඳ තොරතුරු ගැබ්වී ඇති හුය වන DNA නම් රසායනික සංයෝගය ඔස්සේ ආරම්භක ජීවියාගේ සිට අප වෙත අඛණ්ඩව ගමන් කර ඇත. ඒ ගමනේදී මේ DNA හුයේ බොහෝ වෙනස්කම් ද සිදුවී ඇත. මේ නිසා මේ අඛණ්ඩව ගමන් කරන DNA හුය 'සසර හුය' ලෙස නම් කරමි. මේ සසර හුයෙහි ගමන අඛණ්ඩව සිදුවේ. එක් එක් පුද්ගලයා වශයෙන් 'මම' 'අප' ලෙස අප විසින් හඳුනා ගෙන ඇති අයවලුන් මේ අඛණ්ඩ සසර හුයේ එක් එක් ක්‍ෂුද්‍ර කොටස් වේ. එහෙත් මේ ක්ෂුද්‍ර අංශු වලට විශාල වැදගත් කමක් කාර්යභාරයක් ඇත. ඒ වැදගත් කම රඳා පවතින්නේ අප අතේ ඇති 'බැටන් ' එක යෂ්ටිය මේ ගමනේ ඊළඟ පුරුක/ක්‍රීඩකයා වෙත පවරා දීම කළ යුතු බැවිනි. එසේ නොදුනහොත් ඔබ සතු DNA හුය කොටසේ ගමන එතැනින් අන්ධව කෙළවර වෙයි.
එහෙත් මේ යෂ්ටිය ඊළඟ පුරුකට බාර දීමට ඔබට බල කිරීමක් නැත. ඔබට අවශ්‍ය නම් ඊළඟ පරපුරක් ඇති නොකර සිටීමේ නිදහස ඇත. නමුත් තව මිලියන ගණන් ජීවීන් තම යෂ්ටිය ඊළඟ ක්‍රීඩකයාට ලබා දෙනු ඇත. ජීවය අඛණ්ඩව ගලා යනු ඇත. මේ අනුව කවුරු හෝ පුද්ගල ශරීරයක් හිමි කෙනෙක් දරුවන් බිහි නොකරන්නේ නම් එතනින් ඔහුගේ සසර හුය නැවතී අවසන් වෙයි. ඔහුගේ ජාන ඉදිරියට ගමන් නොකරයි. ජාන යනු DNA අණුවේ කොටස් වේ.
ඇත්තෙන්ම සම්මතයෙන් ඔබ්බට සිතූ විට 'මම' ය 'මාගේ'ය කියා වෙන්ව ගතහැකි දෙයක් නැත්තේය. ඇත්තේ ජීවයේ අඛණ්ඩ ගලා යාමකි.
Photo by Maksim Tarasov on Unsplash
Friday, November 29, 2019
ඇවිත් යන්න එන්න
හිම ඉඳිකටු ගත ඇනෙන
මේ සීතල ශිශිර ඍතුවේ
ඔබේ හිරිවැටුණු දෙපා
සතපන්න මෙහි එන්න
හදවත ද හිම වගේ
ගල්ගැසෙන රාත්‍රියේ
ඔබ ගයන දුක් ගීතයේ
සිහින් හඬ මට ඇසේ
මේ කුටිය තාමත් උණුසුම්ය
දැන් ඔබේ මතකයෙන් ගිලිහී
ඈතින් ඈතටම ගිහින් ඇති
එදා විඳි ඒ උණුසුම් සුසුම්
සෙනෙහසේ ගින්දරෙන්
ඇවිල ගිය ගිනිදැල්ල
නොනැවති දැල්වෙන එළිය
ඔබට මග කියාවි කවුළු දොරෙන්
හිරු පායා එන ඇසිල්ලේ
හිනැහෙන සමන් පිච්ච මල්
ඔබ අතින් සිටවූ මල් වැලේ
අඩු නැතිව පිපෙනවා අදටත්
එන්න ඔබ ඇවිත් යන්න එන්න
විඳින්න මේ මල් සුවඳ විඳින්න
තනිවූ පැල්පතේ හිඳ මා
මග බලන් ඉන්නවා තාමත්
Photo by Vidar Nordli-Mathisen on Unsplash
Wednesday, November 13, 2019
Memories of California....
Telling me the truth it's the end of another year,
Chilly grey cold winter is slowly peeping.
Recalling me the time we spent together
Can you remember our lovely roses withering
I planted curry leaf seeds on wet papers,
They sprouted happily feeling the summer warmth,
I looked after them; when they were little kids,
Placing the pots to face the sun on the window pane.
You told me they are now young adult boys!
And help you to prepare your delicious meals,
But how is that orange kid ; your baba's favorite?
He and I decided together to plant it in that place...
Rainbow colors;colors of the backyard flowers,
Birds that built nests but failed rearing their kids,
Locusts hiding in bushes and ate my chili leaves,
I could feel, the soft wings of yellow butterflies.
More than grass in the lawn, were Portulaca plants,
One by one I uprooted them before the sun rise
Without saying good bye after the winter had arrived,
Suddenly all of them disappeared;What a surprise?
It was a cold grey early morning in December,
You surprised me showing grass in the park.
All over there was a carpet of tiny snowflakes,
And it's a rare thing to see snow in Bakersfield.
Sunflowers started to wither giving so many seeds,
I collected and collected them in empty yogurt bins,
If you search in the corners of your pantry cupboards,
You'll find them playing peekaboo in the safe proper place.
My garden here is empty now, no flowers to bloom,
No fruits on the trees and no birds to be seen,
Nightingales rarely sing in the sweet dreams,
The sun rises in the mornings and sets in the evenings.
Monday, November 11, 2019
Saturday, November 9, 2019
කඩදාසි විත්ති
පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය සිසුන් අත් කඩදාසි සෑදීමේ නිරත වෙමින්
සයිබර් අවකාශය කොතරම් පුළුල් වුවද අද දවසේද කඩදාසි මානව සමාජය තුළ අත්‍යවශ්‍ය අංගයක් ව ඇත්තේය. අනාගතයේදී ද එය එසේ වනු ඇති බව මගේ විශ්වාසයයි.
හැඳින්වීම
සයිබර් අවකාශය කොතරම් පුළුල් වුවද අද දවසේද කඩදාසි මානව සමාජය තුළ අත්‍යවශ්‍ය අංගයක් ව ඇත්තේය. අනාගතයේදී ද එය එසේ වනු ඇති බව මගේ විශ්වාසයයි.
ශාක, පිදුරු හෝ වෙනත් තෘණ වර්ග වලින් ලබා ගන්නා සෙලියුලෝස් තන්තු එකට තදකර
වියලා ලබා ගන්නා තුනී නම්‍යශීලී තහඩු කඩදාසි ලෙස හැදීන්විය හැකි ය. සෙලියුලෝස් යනු ශාක සෛල බිත්තිවල සංඝටකයක් ව පවතින
එබැවින්ම මේ පෘතුවිතලය මත සුලබතම සංකීර්ණ කාබනික රසායනික ද්‍රව්‍ය වේ.
කඩදාසි බහුවිධ කාර්යන් සඳහා භාවිතා වේ. එනම් ලිවීම, මුද්‍රණය, පිරිසිදු
කිරීම, වෙනත් නිර්මාණ සෑදීමට ගැනීම ඒ අතරවේ.
අරමුණ
කඩදාසි අප වෙත එයි. අපි ඒවා මිලදී ගනිමු. භාවිතා කරමු. ඉවත ලමු . එහෙත්
කඩදාසියේ ඇරඹුම කෙසේද? කොතැනද? කඩදාසි සෑදීම, භාවිතයෙන් පසු ඉවත ලෑම නිසා යම්
අනර්ථයක් සිදුවේද? , කඩදාසි ප්‍රතිචක්‍රීකරණය යනු කුමක්ද ? එය සිදු කරන්නේ කෙසේද ?
යන්න විමසා බැලීම මේ ලිපියේ අරමුනයි.
කඩදාසියේ ඉතිහාසය
අවුරුදු 5000 කට පමණ පෙර ඊජිප්තුවේ නයිල් ගංගා ඉවුරුවල වැඩුණු පැපිරස් (
Cyperus papyrus) නම් පන් වර්ගයක බඩයෙන් ලබාගත් කඩදාසි වැනි ඝන ද්‍රව්‍යක් ලිවීම
සඳහා භාවිතා කරන ලදී. පැරණි ඊජිප්තු, රෝම හා වෙනත් මධ්‍යධරණී ශිෂ්ටාචාරයන් ලිවීමට
භාවිත කල මෙමෙ ද්‍රවයන් පොදුවේ tapa ලෙස හැඳින්වූ අතර ඒවා ලබා ගැනීමට පැපිරස් බඩය
පමණක් නොව පේපර් මල්බෙරි, නුග පවුලේ ශාක හා Daphna ශාකයේ පොත්තද යොදාගෙන ඇත. නමුත්
මේවා නිපදවූ ක්‍රමය කඩදාසි නිපදවන ක්‍රමයෙන් හාත්පසින්ම වෙනස් විය. කඩදාසි සෑදීමට මත්ගාන ලද සෙලියුලෝස් තන්තු
භාවිතකරනු ලබන අතර පැපිරස් වැනි ද්‍රව්‍ය වල තන්තු ශාකයේ තිබු ආකාරයෙන්ම තද කර
සාදන ලදී.
කඩදාසි ( paper) යන වචනය Papyrus නම් ලතින් වචනයෙන් බිදී ආවකි. පැපිරස්
ශාකය අමුද්‍රව්‍ය ලෙස මුලික වීම එයට හේතුව වේ. එහි මුලය Papuros නම් ග්‍රීක
වචනයකි.
කඩදාසි නිපදවීමේ ආරම්භය ක්‍රි.ව.
දෙවන ශතවර්ෂයේ චීනයේ ලී යැන් හි සිදු වී
ඇත.එනම් ක්‍රි.ව. 105 තරම් ඈතදීය. චීනයේ සායි ලූන් විසින් සිය 14 වැනි වියේදී ලොව
ප්‍රථම කඩදාසි සෑදීමේ ක්‍රමය හෝටී අධිරාජයාට ප්‍රකාශයට පත් කළේය. එම කඩදාසි පැරණි
රෙදි, මාලුදැල්, තෘණ හා ගස්වල පොතු මිශ්‍රණයකින් සාදන ලදී. නමුත් කඩදාසි පිළිබද
මුල්ම පුරා විද්‍යාත්මක සාක්ෂිය ලැබෙන්නේ ක්‍රි.පු. දෙවන ශතවර්ෂයේ චීනයෙනි. වත්මන්
කඩදාසි කර්මාන්තයේ ප්‍රමුඛයා වන්නේද චීනයයි. ඇමරිකා එක්සත් ජනපදය දෙවන තැන රැඳේ.
13 වන ශත වර්ෂයේදී කඩදාසි පිළිබද දැනුම චීනයේ සිට මද පෙරදිග හරහා යුරෝපයට පැතුරුනි.
එහිදී ප්‍රථම ජල බලයෙන් ක්‍රියාකරන කඩදාසි කම්හල ස්පාඤ්ඤයෙදී ඇරබුණි. 1719 දී Rene de Reaumurකඩදාසි සැදීමට අවශ්‍ය
තන්තු ලීවලින් ලබා ගත හැකිය යන අදහස ඉදිරිපත් කළේය.. 19 වන සියවස වන විට කඩදාසි සුලබ විය.
අද ප්‍රධාන වශයෙන් කඩදාසි සැදීමට සෙලියුලෝස් තන්තු ලබා ගන්නේ ලී වලිනි.
එපමණක් නොව කඩදාසි ප්‍රතිචක්‍රීකරණය ද කඩදාසි නිපදවීමේ ක්‍රියාවලියේම කොටසක් ලෙස
සැලකේ.
කඩදාසි සෑදීමේ ක්‍රියාවලිය හා බැඳුනු පරිසර දුෂණය
කඩදාසි සෑදීම සඳහා සෙලියුලෝස්
තන්තු අවශ්‍ය වේ. ශාක වලින් සෙලියුලෝස් තන්තු වෙන් කර ගැනීම එතරම් පහසු කාර්යයක්
නොවේ. එයට හේතුව ශාක සෛල බිත්තිවල සෙලියුලෝස් තන්තු වියුක්තව නොතිබීමයි. ඒවා ලිග්නින්, පෙක්ටින් , රෙසින්, සිලිකා, හෙමි
සෙලියුලෝස් , මැලියම්, වැනි තවත් බොහෝ සංයෝග සමගත් ඉටි තෙල් වැනි ලිපිද සංයෝග
සමගත් බැදී පැවතීම එයට හේතුවයි. එබැවින් සෙලියුලෝස් තන්තු මේ අනිකුත් ද්‍රව්‍ය
වලින් වෙන්කර ගත යුතුය. මේ සඳහා අමුද්‍රව්‍ය මෘදු කිරීමේ ද්‍රව්‍ය සමග මිශ්‍ර කල
යුතුය. ඒ සඳහා ප්‍රභල හෝ දුර්වල ක්ෂාර යොදා ගැනේ. ප්‍රභල ක්ෂාර සමට ඉතා අහිතකරවන අතර පරිසරය දුෂණය කරයි.
මේ හැර තන්තු සුදු පැහැ ගැන්වීමට විරංජන කාරක දැමිය යුතුය. එනයින් බැලූ කල අමුද්‍රව්‍ය
වලින් කඩදාසි සෑදීම කිහිප ආකාරයකින්ම පරිසරය දුෂණය කරයි. මෙය Paper Pollution ලෙස හැඳින්වේ. කඩදාසි
කම්හල් වාතය,පස, ජලය යන පරිසරයේ ප්‍රධාන අංග තුනම දුෂණය කරයි. මෙය කැනඩාවේ සහ
එක්සත් ජනපදයේ තෙවැනි විශාලතම දුෂණ ප්‍රභවය වේ. වසරකට දුෂක කි.ග්‍රෑම් මිලියන 100 ක් මුදා හරී. කඩදාසි හා පල්ප නිපදවීම
මුළු ලොව පුරා තෙවැනි විශාලතම ශක්ති
පරිභෝජනය ද සිදු කරයි. මෙම කර්මාන්තය සඳහා ජලය අනිකුත් සෑම කර්මන්තයකටම වඩා යොදා ගැනේ.
පසුගිය වසර හතළිහ තුල කඩදාසි පරිභෝජනය 400% කින් ඉහළ ගොස් ඇත. හෙළන ශාක
වලින් 35% ඒ සඳහා යෙදවේ
මේ හැර නයිට්‍රජන් ඔක්සයිඩ , සල්ෆර් ඩයොක් සයිඩ්, කාබන්ඩයොක්සයිඩ් යන වායු
ද මේ කර්මාන්තයේ දී වායු දුෂක ලෙස නිකුත්වේ. නයිට්‍රජන් ඔක්සයිඩ හා සල්ෆර් ඩයොක් සයිඩ් අම්ල වැසි
ඇති කරන අතර කාබන්ඩයොක්සයිඩ් හරිතාගාර ආචරණය මගින් කාලගුණ විපර්යාසය කෙරෙහි
බලපායි. අපජලය පිටකිරීමේදී ඒ සමග
ලිග්නින්, මද්‍යසාර , විරංජන කාරක ක්ලොරේට, ලෝහ පිට කරයි. ඉවත ලන කඩදාසි භූ
පිරවුම් වලටද යොදනු ලැබේ.
මේ අතරම අද කඩදාසියෙන් පරසරයට සිදුවන්නේ අනර්ථයක් නොවන බවටද මතයක් පවතී.
එනම් පරසරයට අහිතකර නොවන රසායන අද දියුණු කර ඇති බවත්, කඩදාසි තුල කාබන් සංචිත වීම
නිසා පරිසරයෙන් කාබන්ඩයොක්සයිඩ් ඉවත් වන බවත්, කෘෂිකර්ම කටයුතු ආදියට ඉවක් බවක්
නොමැතිව වනන්තර විනාශ කරන අතර කඩදාසි කර්මාන්තයේදී වනාන්තර මනා පාලනයක් ඇතිව
පවත්වා ගන්නා බවත්ය.
කඩදාසි ප්‍රතිචක්‍රීකරණය
ඉවතලන කඩදාසි ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ඇරඹුනේ කෙදිනක කොහිදීද? කඩදාසියේ ආරම්භක අවධියේ කඩදාසි හා ඒ ආශ්‍රිත
නිෂ්පාදන රත්‍රන් වලටත් වැඩ දුලබ විය. එබැවින් කඩදාසි නැවත භාවිතය මුලින්ම ඇරබෙන්නේද
ඊජිප්තු අධිරාජ්‍යයේය. ලියන ලද පැපිරස් තහඩු මකා නැවත ලිවීමට ගන්නා ලදී. මෙය ප්‍රතිචක්‍රීකරණය
නොව ප්‍රති භාවිතයයි.
ප්‍රතිචක්‍රීකරණය පිලිබඳ ප්‍රථම සාක්ෂිය 1031 දී ජපානයෙන් හමුවේ.
ජපන් රජය විසින් පැරණි කඩදාසි නැවත පල්ප බවට පත් කර නැවත කඩදාසි සෑදිය යුතු බවට
නියෝගයක් පනවන ලදී. ඉන් පසු ඇමරිකා එක්සත්
ජනපදයේ 1690 දී පමණ පළමු කඩදාසි ප්‍රතිචක්‍රීකරණ කම්හල පෙන්සිල්වේනියා හි පිලඩෙල්පියා
වල ආරම්භ විය. එහි අයිතිකරු වුයේ විලියම් රිටන්හවුස් ය. අමුද්‍රව්‍ය ලෙස ගන්නා
ලද්දේ රෙදි හා වැරහැලිය. 1750 දී බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් පැරණි කඩදාසි ප්‍රතිචක්‍රීකරණය
ආරම්භ කළේය.
ප්‍රථම ලෝක යුද්ධය සමයේදී කඩදාසි හිඟ වුයෙන් ප්‍රතිචක්‍රීකරණයට නව
උද්යෝගයක් ඇතිවිය. 1929 දී කොටස් වෙළදපොළ කඩාවැටීමත් සමග නව කඩදාසි සෑදීමට
අමුද්‍රව්‍ය ලබා ගැනීම අපහසු වූ නිසා ප්‍රතිචක්‍රීකරණයෙන් කඩදාසි සාදන ලදී. 1940 – 1950 දක්වා නැවත නව කඩදාසි (virgin paper)
මුල් තැන ගැනීම නිසා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය පසුබෑමකට ලක්විය. 1970 ගණන්
වනවිට කඩදාසි භාවිතය අධික වීමත් සමග ඉවතලන කඩදාසි බැහැරලීමේ ගැටලුව පැන නැගුණි. 1988 දී කැලිෆෝනියා ප්‍රාන්ත රජය 50% ප්‍රතිචක්‍රීකරණ
කඩදාසි සහිත අපද්‍රව්‍ය පමණක් මිලදී ගැනීමට තීරණය කළේය. මෙය අනෙකුත් ප්‍රාන්ත වලටද
පැතිරී 1993 වන විට ප්‍රතිපත්තියක් බවට පත් විය.
පසුගිය වසර කිහිපය තුල හරිත සංකල්පයත් සමග ප්‍රතිචක්‍රීකරණය කරන කඩදාසි ප්‍රමාණය
භූ පිරවුම් වලට ගන්නා කඩදාසි ප්‍රමාණයට වඩා වැඩි විය.
ඇමරිකානු එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සිය (EPA) මගින් ප්‍රතිචක්‍රීකරණය ආරම්භක කඩදාසි නිපදවීමට වඩා
35% ක් අඩුවෙන් ජලයද 74% ක් අඩුවෙන් වාතයද දුෂණය කරන බව අනාවරණය කරගෙන ඇත.
ශ්‍රී ලංකාවේ කඩදාසි කර්මාන්තය
ශ්‍රී ලංකාවේ කඩදාසි කර්මාන්තය 1955 දී වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවෙන් ඇරඹුනි.
එය ශ්‍රී ලංකාවේ පැරණිතම කර්මාන්තයයි. 1958 දී එය නැගෙනහිර කඩදාසි කර්මාන්ත
සංස්ථාව ලෙස නම් කරන ලදී. 1976 දී ඇඹිලිපිටිය දී දෙවැනි කඩදාසි කර්මාන්ත ශාලාව
අරඹන ලදී. එය ජාතික කඩදාසි සංස්ථාව ලෙස
පසුව නම් කරන ලදී. 2011 දී මෙය
පුද්ගලීකරණය කරන ලදී. 1992 හි දී ජාතික කඩදාසි
සංස්ථාව සීමාසහිත සමාගමක් බවට පරිවර්තනය කරන ලදී. කඩදාසි ආනයන නීති ලිහිල්
කිරීමත් සමග මෙහි නිෂ්පාදනය බිඳවැටුණු අතර යුද්ධයේ බලපෑමද මේ පසුබැස්මට බලපා ඇත .
කෙසේ හෝ 2015 හි දී කම්හල වසා දැමුණු බව ඒ
පිලිබඳ මේ ලියුම්කරු විසින් කරන ලද විමසීමේදී අනාවරණය විය.
ශ්‍රී ලංකාවේ කඩදාසි ප්‍රතිචක්‍රීකරණය
ශ්‍රී ලංකාවේ කඩදාසි ප්‍රතිචක්‍රීකරණය මගින් කඩදාසි සෑදීම පිලිබඳ ප්‍රබෝධයක්
ඇති වුයේ 1972 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් සමගය. එම ප්‍රතිසංස්කරණය මගින් සංවර්ධනය කළ විෂය
මාලාවේ ප්‍රාග් වෘත්තීය නම් විෂයක් සඳහා සතියට කාල ඡේද 7ක් වෙන්විය. මෙයින් එක කාල
ඡේදයක් රටේ ස්වාභාවික සම්පත්,මිනිස් සම්පත් , එම සම්පත් දියුණු කරගන්නා අන්දම ආදී
කරුණු ගැන හැදෑරීමටද ජ්‍යාමිතික හා යාන්ත්‍රික ඇඳීම පුහුණු කිරීමටද වෙන්විය. ඉතිරි
කාල ඡේද හය ප්‍රාග් වෘත්තීය විෂය i හා ප්‍රාග් වෘත්තීය විෂයii සඳහා වෙන්විය.
ප්‍රාග් වෘත්තීය විෂය i යටතේ කෘෂිකර්මය, ඛනිජ විද්‍යාව, ගෘහ විද්‍යාව, හා
ලෝහ,මැටි,හා පේෂ කර්මාන්තයද ඉගැන්වුනි. ප්‍රාග් වෘත්තීය විෂය ii යටතේ ප්‍රදේශයේ
කෙරෙන කිසියම් කර්මාන්තයක් ඉගැන්වුනි. කඩදාසි,මැණික්, ධීවර, උළු , ගඩොල් වැනි
කර්මාන්ත මේ සඳහා තෝරා ගැනුනි. එවකට කළුතර ම්යුසියස් ගුරුවිදුහල්පතිව සිටි ඉන්ද්‍රපාල අබේවීරට අනුව ප්‍රාග් වෘත්තීය විෂය
පිලිබඳව මේ රටේ පමණක් නොව විදේශීය රටවලද , අධ්‍යාපනඥයින් ගේ විශේෂ අවධානය යොමුවී
ඇත. යුනෙස්කෝ විද්‍යාඥයින් පවා මෙබඳු නව විෂයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් ප්‍රශංසා
මුඛයෙන් කථා කොට ඇත. එහෙත් අපේ රටේ ඇතැම් දෙමව්පියන් මෙන්ම පටු පරමාර්ථයන්ගෙන්
අනුන ඇතැම් උගතුන්ද එවකට තිබු රජයට ප්‍රහාර එල්ල කිරීමේ යෙදී සිටි සමහර නිලධාරීන්ද
මෙම විෂය සම්බන්ධයෙන් වැරදි ආකල්ප පතුරුවා හැරියහ. ළමුන් විසින් තෝරා ගනු ලබන ප්‍රාග්
වෘත්තීය විෂයට අනුව ඔවුන්ගේ අනාගත රැකියාව තෝරා ගැනීමට සිදුවන බව එවැනි එක
දුර්මතයකි. නමුත් මෙම විෂයයන් ඉගැන්වීමේ අරමුණ වුයේ කිසියම් රැකියාවක් ඉගැන්වීම නොවේ. එසේම කිසිම
ළමයකු ඉගෙන ගන්නා ප්‍රාග් වෘත්තීය විෂයක් අනුව ඔහුට හෝ ඇයට අනාගතයේ රැකියාවක් තේරීමටද
සිදුනොවේ. සියලුම ළමුන් ප්‍රාග් වෘත්තීය විෂයයන් උගත යුතුවූ නමුත් ඔවුනට කැමති
රැකියාවක් අනාගතයේදී තෝරා ගත හැකි විය.
මෙම විෂයයන් ඉගැන්වීමේ අරමුණු තුනක් විය.
1. එදිනෙදා ජීවිතය සඳහා අවශ්‍ය හසුරු කෞශල්‍යතා ලබා දීම.
2. දරුවන්ට ශ්‍රමයේ වටිනා කම පිළිබඳව වටහා දීම.
3. දරුවන් තුල වැඩකිරීමේ ආශාවක් හා උනන්දුවක් ඇති කිරීම.
දැන් මේ සියල්ල වෙනස් වී ගොස් ඇති අතර නිසි පරිදි පැළයක් සිටුවීමට පවා
නොදත් බහුතරයක් සිටින කෘෂිකාර්මික රටක් මෙන්ම ඉඳිකට්ටේ සිට සියල්ල විදේශවලින්
ගෙන්වන රටක් බවට අප රට පත්වී ඇත. වැඩ කිරීමට වඩා නිකම් කාලය ගතකර මුදල් උපයන ක්ෂේත්‍ර සියල්ලෝම සොයති.
ප්‍රාග් වෘත්තීය විෂය වශයෙන් අත්කඩදාසි සෑදීම ගාල්ල
දිස්ත්‍රික්කයේ උනන්විටිය මහා විද්‍යාලයෙන් ආරම්භ විය. එයට මුලිකත්වය ගෙන කටයුතු කලේ අත්කඩදාසි විශේෂඥ
රිචඩ් පෙරේරා මහතාය. අත් කඩදාසි පිළිබඳව අප රටේ කිසිවකුටත් නොතිබූ විශේෂඥ පුහුණුවක්
හා දැනුමක් ඔහු සතු විය. කඩදාසි කර්මාන්තය සඳහා එම විදුහලේ කඩදාසි පර්යේෂණ හා
සංවර්ධන අංශයක් පිහිටුවනු ලැබීය. උනන්විටිය මහා විද්‍යාලය මේ විෂය ආරම්භ කර ඉතා
සාර්ථකව පවත්වා ගෙන යන ලද අතර අත්කඩදාසියේ මුද්‍රිත කඩදාසි විත්ති ( Paper News)
නම් පුවත්පතක්ද පවත්වාගෙන ගියේය.
එම අවදියේදී එනම් 1975 දී අත්කඩදාසි නිෂ්පාදනය පිලිබඳ ගුරු පුහුණු පාඨමාලාද පවත්වා තිබේ. ඒ පිලිබඳ එක් අවුරුදු කාර්මික පාඨමාලාවක් රත්මලානේ කණිෂ්ඨ කාර්මික ආයතනයේ ආරම්භ කරන ලදී. 1976 දී රත්මලානේ අත්කඩදාසි කම්හලක්ද ආරම්භ විය. මේ කාලයේ නැගෙනහිර කඩදාසි සංයුක්ත මණ්ඩලයද ක්‍රියාත්මක වී තිබිණ.
කඩදාසි ප්‍රති චක්‍රීකරණයේ වත්මන් තත්වය
අද වන විට ලෝකයේ ප්‍රතිචක්‍රීකරණ කඩදාසි 100 % ක්ම ජලප්‍රතිරෝධී ආහාර
ඇසුරුමේ සිට තියුණු ග්‍රැෆික් නිර්මාණය කරන කඩදාසි දක්වා දියුණු වී ඇත. කඩදාසි කර්මාන්තය යන්න ට අද මුලාරම්භක කඩදාසි
මෙන්ම ප්‍රතිචක්‍රීකරණ කඩදාසි ද ඇතුළත්ය.
නුතන කඩදාසි ප්‍රතිචක්‍රීකරණය පහත සදහන් පියවර මත පදනම්වේ.
1. භාවිතා කඩදාසි මෘදුකාරක දැමු ජලයේ පෙන්වීම.
2. ඒවා කොටා රත්කර නැවත සෙලියුලෝස්
තන්තු ලබා ගැනීම.
3. පෙරහන් තිර මගින් පෙරා ගැනීම. ( ප්ලාස්ටික් ආදිය ඉවත් කිරීමට.)
4. මිශ්‍රණය පිරිසිදු කිරීම.
5. තීන්ත ඉවත් කිරීම.
6. විරංජනය
7. කඩදාසි සෑදීම.
ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණ කඩදාසි නිපදවීම පුද්ගලික ව්‍යවසායකයින් කිහිප
දෙනෙකු විසින් හා ඇතැම් නගරසභා මගින් දැනට කරගෙන යනු ලැබේ. නිදසුනක් වශයෙන්
කෑගල්ලේ මැක්සිමස් සමාගම දැක්විය හැකිය. ඔවුන් කඩදාසි නිපදවීම සඳහා භාවිත කල
කඩදාසි සහ අලින්ගේ වසුරු යොදා ගැනීම විශේෂත්වයකි.
2002 වර්ෂයේදී පමණ මධ්‍යම පරිසර අධිකාරිය මගින් පරිසර නියමු වැඩසටහන ක්‍රියාත්මක
වන පාසල් වලට අත්කඩදාසි,
නිෂ්පාදනය නැවත හඳුන්වා දෙන ලද අතර පිළියන්දල මාධ්‍ය මහා විද්‍යාලයේ පරිසර නියමු
කණ්ඩායම භාර ආචාර්යවරිය වශයෙන් හා පරිසර නියමු කලාප කොමසාරිස් වරිය වශයෙන් මේ ලියුම්කරු විසින් එය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. වෙළඳපොළ ඉලක්ක කර නොගත් නමුත් ප්‍රදේශයේ
හා ඉන් බැහැර ප්‍රදේශ වල පාසල් වල දරුවන්ටත්, ශ්‍රී ලංකා විද්‍යා ගණිත අධ්‍යාපන
සංගමයේ අනුග්‍රහය මත දුරබැහැර ප්‍රදේශවල පාසල් දරුවන්ටත් මේ පිලිබද ප්‍රයෝගික වැඩමුළු හා ප්‍රදර්ශන පවත්වන ලදී.
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ පරිසර නියමු ජනාධිපති පදක්කම් ලාභී මිත්‍ර ශිරාන්
ශිෂ්‍යයාගේ අත්කඩදාසි නිර්මාණ ඒවා ව්‍යාප්ත කිරීම පිලිබඳ ව්‍යාපෘතියට 2006 වර්ෂයේ
ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ පරිසර අංශයේ ප්‍රථම ස්ථානය ද හිමිවිය.
මිත්‍ර ශිරාන් ශිෂ්‍යයාගේ ජයග්‍රහණය ගැන 2006 Daily Mirror පුවත් පතේ පළවූ ලිපිය
මිත්‍ර ශිරාන් ශිෂ්‍යයාගේ ජයග්‍රහණය ගැන 2006 Daily Mirror පුවත් පතේ පළවූ ලිපිය
© 2019 Malini Ganewatta All rights reserved.
මුලාශ්‍ර :
http://www.buschsystems.com/recycling-bin-news/2014/05/a-brief-timeline-of-the-history-of-recycling/
කඩදාසි විත්ති , 1975 දෙසැම්බර් 1 කඩදාසි නිෂ්පාදන තොරතුරු ඇතුලත් පාසල් පුවත්පත ,කඩදාසි
පර්යේෂණ හා සංවර්ධන අංශය , මහා විදුහල, උනන්විටිය .
© 2019 Malini Ganewatta All rights reserved.
Sunday, November 3, 2019
ඉම
දවස පුරා ප්‍රතාපවත්ව ලෝවැසි ජීවීන්ට තම සුවිසල් මෙහෙය ඉටු කළ හිරු ඈත ක්ෂිතිජයෙන් තම විවේකය පතා නොව, ලෝකයේ අනික් පැත්තට සේවය ලබා දෙනු වස් ගමන් කිරීමට ආසන්නව, මළානික තඹ පැහැය සැම දෙසටම විහිදුවමින් සෙමින් සෙමින් ඇදී යනු පෙනිණ. හෝ හෝ හඬ නගමින් අනවරතව සුදෝ සුදු පෙණ කැටි විසුරුවමින් මුහුදු රළ නැගී විත් වෙරළේ හැපී බිඳෙයි. නැවතුමක් නැත. පෙණ කැටි වල සුදු පැහැයට හිරුගේ රැස්වල තඹ පැහැය තැවරී රන් මෙන් බැබලෙයි. බලා සිටීමෙන් සිතට ඇති වීමක් නැති දසුනකි. මේ වගේ බලා සිටීම එපා වීමක් නැති අනිකුත් දේවල් මොනවා දැයි සිතන්නට මගේ සිත වෙහෙසෙයි. අලි පැටවුන්ගේන්ගේ සුරතල් හැසිරීම, දුම්රියේ ගමන එයින් කිහිපයක් බව මතක් වෙයි.
වෙරළේ සෙල්ලම් කරන අනිකුත් දරු දැරියෝත්, දෙමවුපියෝත් අපට බොහෝ ඈතින් සිටිති. ඔවුන් කුඩා මිනිස් රූ ලෙස වැල්ලේ විවිධ ක්‍රීඩාවන් හි නියැලෙනු ඈතින් වුවත් යන්තමින් පෙනෙයි. තවත් තැන් කිහිපයක ගල් පර මත අල්ලාප සල්ලාපයේ යෙදෙන පෙම්වතුන්ය. ඔවුන්ගේ යොවුන් සිත් තුළ දහසකුත් එකක් අනාගතය අරමුණු කරගත් සිහින ඉපදෙමින් ඇතිවාට සැකයක් නැත. යෞවන ප්‍රේමය සුන්දරය. විචිත්‍රවත් ය. ඒ සුන්දරත්වය විඳීමට අකමැත්තෝ කවුරුන් ද ? නොගැඹුරු මුහුදු දියේ ජල ක්‍රීඩා කරමින් ස්නානය කරන පිරිසක් ද තරමක් ඈතින් සිටිති. ලවණ මිශ්‍රිත මුහුදු සුළං ආඝ්‍රහණය කිරීමත් මුහුදු ජලය ස්නානය කිරීමත් ශරීර සෞඛ්‍යට හිතකර ය යනුවෙන් මතයක් දකුණේ ජීවත් වන අප අතර ඇත. මම ගැඹුරු හුස්මක් වුවමනාවෙන්ම උඩට ඇද්දෙමි. අප සිටින තැන කිසිවෙකුත් නැත. මා මේ හුදකලා තැන තෝරා ගත්තේ කරුණු කිහිපයක් මුල් කර ගෙනය.
වෙරළාසන්න ශාක ප්‍රජාවේ වෘක්ෂ කලාපයේ පොල් ගස් පෙළ අපට මදක් පිටුපසින් වෙරළ තීරය දිගේ එක දිගට විහිද ගොස් තිබෙණු මට දර්ශනය වේ. පොල් අතු සුළඟට එක් දිශාවකටම නැමෙයි. හුදකලා වූ මුහුදු බිං තඹුරු වැල් කිහිපයක් වැල්ල බදාගෙන රැල්ලෙන් ගැලවී නොගොස් රැඳී සිටීමට මහා සටනක් කරයි. ඒවායේ මල් කිහිපයක් ද ඇතත් ඒවායේ වර්ණය මට පෙනෙන්නේ නැත. මේ වෙලාවට ඇසේ කේතු සෛල නොව යෂ්ටි සෛල ක්‍රියාකාරීවන බව මට මතක් වෙයි. කේතු වර්ණ හඳුනා දෙයි. වර්ණය පෙනීමට නම් හොඳට ආලෝකය තිබිය යුතුය. මා විධිමත් අධ්‍යාපනය ලැබූ විෂය ක්ෂේත්‍රයට පරිබාහිරව පොත පත කියවීමෙන් උගත් ජීව විද්‍යාවට අදාළ කරුණු මේ වෙලාවේ මතක් වෙන්නේ ඇයි ? විද්‍යාව දියුණු වෙමින් තිබීම කෙතරම් හොඳ දෙයක් ද ? ලෝකයේ කොතැනක හෝ මේ මොහොතේත් විද්‍යාත්මක පර්යේෂණ සිදු වනවා ඇත. දැනට සුව කිරීමට අපහසු රෝග සඳහා ඖෂධ සොයා ගැනීමේ පර්යේෂණ ද ඒ අතර ඇති. විද්‍යාත්මක සොයාගැනීම් වල යම් අහිතකර පැත්තක් එහි ඇත් නම් ඒ ධනයම ,බලයම අරමුණු කරගත් ලෝකය විසින් ඒවා නරකට යොදාගැනීම නිසා මිස සොයා ගැනීම් වල නරකක් නිසා නොවන බව මගේ අදහසයි. .
දැරිය නිහඬවම සිප්පි කටු අහුලා ඈ අත ඇති කුඩා බඳුනට එකතු කළාය. ඉන් පසු ගල් තලාවට නැග ඉඳගත් ඇය අහුලාගත් සිප්පි කටු දෙස බලමින් ගල් තලාව මත ඒවා විවිධ ආකාරයේ ගොඩවල් වලට සකස් කළා ය. ඇගේ වත දෙස මම ඔහේ බලා සිටියෙමි. මොන තරම් පියකරු ද එය. ඇගේ සියුමැළි සම ඇත් දත් මෙන් සුදු පැහැතිය. මේ වේලේ එය වඩාත් සුදු මැළිව මට පෙනුනි. ඇගේ නෙත් කැල්මේ වෙනදා තිබූ ප්‍රබෝධය වියැකී ගොස් ඇතැයි මට සිතේ. යන්තම් නවවන වසර ලබා ඇති ඇය තාමත් කිරිදරුවෙකු නොවන්නී ද? ඇගේ මුහුණට වැටී ඇති කෙස් රොද ඇස ද ආවරණය කරමින් ඇති බව මට පෙනුනි. ඇගේ කෙස් රැළි සහිත නොවේ. ඍජුය. කෙලින්ම ඇස ආවරණය කරයි. 'සුදු මැණිකේ' ඒ අපි කවුරුත් ඈ අමතන නමයි.
'මෙහේ එන්න සුදු මැණිකේ' මා ඈ ඇමතුවේ හිස කෙස් ඇසට වැටීම නිසා 'ඇස් වපර වෙනවා' යයි අම්මා කියා තිබු බව සිහි වීම නිසාය. ඈ සිනාසෙමින් මා වෙත ආවාය. 'ඇයි මාමේ ?' ඇගේ කටහඬ මෘදුය. මම නිහඬවම ඇගේ කෙස් අතර උඩට වී තිබුණු කොණ්ඩ කටුව ගලවා මුහුණට වැටී තිබුණු කෙස් රොද ද අසු වනසේ නැවත සකස් කළෙමි.
'මාමේ මේ සිප්පි කටු කියන්නේ සත්තුන්ගෙ කෑලි නේද ?' ඇගේ සිතට නැගුණු ගැටලුවක් මා වෙත ඉදිරිපත් කළාය.
'ඔව්, දෙපියන් බෙල්ලන්ගේ කටු '
'කෝ දැන් දෙපියන් බෙල්ලෝ?
'ඒගොල්ලො දැන් මැරිලා ඔය කටු විතරයි.'
'අය්යෝ කොච්චර සත්තු මැරිලද ?' ඇගේ සංවේගී හඬ මගේ සිත තුළද ශෝකයක් තවරයි.
'එහෙම තමයි සුදු මැණිකේ ...උපදිනවා ,ටික කලක් ජීවත් වෙනවා , ඊට පස්සෙ මැරෙනවා.' මගේ දාර්ශනික පිළිතුර ඇයට ගැඹුරු වැඩි යයි මට සිතුණේ ඒ වදන් මුවින් පිටවූ පසුය.
ඈ කල්පනාවට බර වූවාය. ඇගේ නෙත්වල කියා ගන්න බැරි දුකක් තැවරී ඇතැයි මට සිතුනි.
'අපිත් එහෙම මැරෙනවා ..නේද මාමා' මගේ පිළිතුර ඔස්සේ ඈ තව දුරටත් සිතා ඇත.
' ඔව් සුදු මැණිකේ...ඒක කාටත් වෙන දෙයක්.'
'මං මැරුණොත් මාමට දුකයි ද?'
'ඇයි පැටියො එහෙම අහන්නෙ ? ඔයා තාම පොඩි ළමයෙක් නේ?' ඇගේ පැනයට පිළිතුරු දෙනු වෙනුවට මම ඇයට පැන දෙකක් ඉදිරිපත් කළෙමි.
'දුකයි ද කියන්න'. ඈ නැවත මගේ අතේ එල්ලෙමින් ඇසුවාය.
'මට විතරක් නෙමේ ඔයාගේ අම්මට,තාත්තට නංගිට හැමෝටම දුකයි නේ?'
'අපෝ තාත්තට නම් දුකක් නැති වෙයි ' ඈ ක්ෂණිකව කීවාය.
මේ ප්‍රකාශයට හේතුව කලක පටන්ම ඈ හා ඇගේ පියා අතර ඇතිවී තිබෙන දුරස්ථ භාවයයි.
ඇත්තෙන්ම මේ තරම් සුන්දර දැරියක් ඇගේ පියාට එපා වීම පුදුම සහගතය. ඔහු දැරිය බැලීමට බොහෝ කලකින් පැමිණියේ නැති බව මට සිහිපත් විය. ඒ මිනිසා දරුවන්ට ආදරේ නොමැත්තේ ඇයි ? ගැහැණු දරුවන් ඉපදීම ගැන ඔහු නොසතුටු වූ බව අම්මා පවසයි. දරුවන් ගැහැණු පිරිමි ලෙස තීරණය වන්නේ සම්භාවිතාව අනුව බව ඔහුට පහදා දිය හැකි නොවීම මොන තරම් අභාග්‍යයක් ද ? මේ බැරෑරුම් මොහොතේ හෝ ඔහුට තම දියණිය නිකමට හෝ දැක බලා ගන්න ඕනෑ කමක් ඇති නොවීම මා සිතේ කෝපයක් ඇති කරයි.
'නෑ සුදු මැණිකේ තාත්ත ලඟදි ඔයා බලන්න එයි. තාත්තට බිස්නස් වැඩ වැඩි වෙලා ඇති.' මා පිළිතුරක් ගොනු කලෙමි.
දැරිය නැවත මගෙන් මිදී ගොස් සිප්පි කටු අතරට එක් වුවාය. දරුවන් එහෙමය. වැඩිහිටි අප මෙන් වැඩි වෙලාවක් එකම අරමුණක එල්බ ගෙන සිටින්නේ නැත. ගිලී ගිය හිරුගේ රන්වන් කිරණ විසිරීමෙන් මුළු බටහිර අහස් තලයම තැඹිලි පැහැයෙන් නැහැවී ඇත. ඒ එළිය මුහුදු දිය ද වර්ණයෙන් පින්තාරු කරයි. ඒ පින්තුරය පැහැදිළි එකක් නොවේ. ජලය චංචල වීමත් සමග සිතුවමේ ස්වරූපය වෙනස් වෙයි. හරියට මගේ හිත වගේ යයි මට සිතේ.
තව ටික වෙලාවකින් දැරියත් රැගෙන මා නිවස බලා පියමං කළ යුතුය. දැරිය පිලිබඳ සිතේ ඇතිවන ශෝකය ඇයට නොපෙනෙන්නට කඳුළු වලට හරවමි. මා ඇගේ මාමා ය. ඈ මගේ එකම සොයුරියගේ දියණියයි. ඇගේ පියාත් ඈත් අතර ඇති ඉමහත් දුරස්ථ භාවය හේතුවෙන් ඇය හැදී වැඩෙන්නේ මගේ අම්මා හා තාත්තා එනම් ඇගේ මව් පස ආත්තම්මා හා සීයාගේ ආදරය හා රැකවරණය මැදය. අප යන ගමන බිමනට ඇයද සහබාගි වන්නීය. ඒ නිසා දුම්රිය ගමන්, බස් රථ, මෝටර් රථවල ගමන් යාමෙන් සතුටු වන්නට ඈ වාසනාව ලද්දීය. තවම යන්නට බැරි වුයේ ගුවන් ගමනක් පමණි. පසු කලෙක ඒ අවස්ථාවද ඇයට උදා කර දිය යුතු යයි මට සිතේ. ඈ ඉගෙනීමටත් දක්ෂ තාවය පෙන්වන්නීය. ඒ නිසා ඇගේ අනාගතය ශක්තිමත් කර දීම මගේත් වගකීමක් ලෙස සලකමි. අද මෙන් පොත් පත් නිළ ඇඳුම් නොමිලේ පාසල් සිසුන්ට ලබා නොදුන් ඒ අතීතයේ වසර අවසාන නිවාඩුව එළඹෙන විට ඊළඟ වසරට අවශ්‍ය පොත්පත් ලැයිස්තුව ශිෂ්‍යයන්ට ලබා දේ. එකල අද මෙන් දෙමාපිය රැස්වීම් කියා දෙයකුත් නැත. පොත් පත් ලැයිස්තුව මා අතට පත්කරන තෙක් සුදු මැණිකේට ඉවසුමක් නැත. මාද නොපමාවම අලුත් සුවඳ හමන පෙළ පොත් ඈ වෙනුවෙන් මිළදී ගනිමි. ඒවා සියල්ල පාසල ආරම්භ කරන දිනය වන විට ඈ විසින් කියවා අවසන් ය. ඇගේ ඉගෙනුමට ඇති ලැදියාව එබඳුය.
' මාමේ දැන් හීතලයි නේද ?' දැරිය මා අඬ ගැසීමටත් පෙරම මා අසලට ආවාය .
'ඔව් සුදු මැණිකේ,දැන් සීතල සුළං එනවා. ඉරත් බැස්ස නේ ?' මා ඇය තුරුල් කර ගතිමි.
'ඔයාට හීතලේ ඉන්න හොඳත් නැහැ' . මම තව දුරටත් කරුණු එකතු කලෙමි.
'මාමේ මං හෙට ආයිත් යන්න ඕන නේද ?' ඇගේ බිඳුණු කටහඬ මගේ උගුරේ බෝලයක් වැන්නක් හිරකලෙන් මට කතා කිරීම අපහසු විය. මම කෙළ බිඳක් ගිල අපහසු තාවයෙන් මිදීමට වෑයම් කළෙමි. එහෙත් උගුරේ ගුලිය ඉවත් වන්නේ නැත. ඈ මේ අසන්නේ හෙට නැවතත් ඇයට රෝහල් ගත වීමට නියමිත බව ගැනයි.
ගැමියන් 'නෝනා වාට්ටුව ' ලෙස හඳුන්වන රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස දෙකකට වැඩි කලක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඈ මෙසේ නිවසට තාවකාලිකව එවන ලද්දේ සතියකටය. ඇය සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ දෙකක ප්‍රතිඵල ලැබෙන තුරුය. ඇගේ අසනීපය 'Acute Myeloblastic Leukaemia?'යනුවෙන් රෝහල් කාඩ් පතේ සටහන් ව ඇත. තව පරීක්ෂණ කිහිපයකින් පසු රෝගයේ නම ඉදිරියෙන් ඇති ප්‍රශ්නාර්ථ ලකුණ ඉවත් වීමට වැඩි ප්‍රතිශතයක සම්භාවිතාවක් ඇති බව වෛද්‍ය මතයයි. සතියකට පෙර ඇය කොළඹ සිට දකුණු ප්‍රදේශයේ වූ අප නිවසට එදා කැඳවා ගෙන ආවේ ද මා විසිනි. දුම්රියේ පැමිණ රෑ අටට පමණ රිච්මන්ඩ් කන්ද ස්ටේෂමෙන් බැස කුලී රථ නොවූයෙන් ඈ කර පින්නා ගෙනම ජූල් ගස් හන්දියට පැමිණියෙමි. ඇගේ බර ඒ වනවිට ඉතාමත් පහළ බැස තිබුණෙන් මට දැනුණේ අවුරුදු පහක පමණ දැරියකගේ බරක් පමණි. එතැනින් කුළී රථයක් රැගෙන නිවෙස බලා පැමිණියෙමි. අතින් ඇල්ලුවත් තැලී පොඩිවී යතැයි සිතෙන මල් පෙත්තක් තරමට බියක් ඇතිව මේ සතිය තුළ අපි ඇය රැක බලා ගත්තෙමු.
මා මේ කියන කතාව වෛද්‍යවිද්‍යාව අද තරම් දියුණු කාලයක කතාවක් නොවන බව මෙය කියවන්නෙකුට දැනටමත් අවබෝධ වී ඇතිවාට සැකයක් නැත. ළමා රෝහලේ ඇගේ ඇඳට ආසන්න ඇඳන් දෙකේ සිටි රෝගී දරුවන් දෙදෙනා මේ වන විට ජීවතුන් හැර ගොස් ටිකක් කල් බව ද මට ක්ෂණිකව මතක් විය. වයස අවුරුදු තුන හතර තරම් වයස් වල සිටි ඒ කිරිදරුවන්ගේ මොළකැටි සුදුමැළි මුහුණු මා සිතේ ඇඳී යයි. ඔවුන්ගේ දෙමාපියන්ගේ සෝබර වික්ෂිප්ත බැල්මෙන් යුත් මුහුණු ඒ පසුපස ඇදී එයි. කිරිකැටි දරුවෙකුගේ දුක්බර අවසානය දකින්නට ලැබීම දෙමාපියන්ට ජීවිතයේ අත්දැකීමට ලැබෙන අවාසනාවන්තම අත්දැකීම විය යුතුය.
ගුලිය තවම උගුරේය. ඒ සමග ඇතිවන තදබල වේදනාව මුළු හිස පුරාම කැරකී ගොස් කඳුළු වශයෙන් ඇසට එකතු වෙයි. අඳුර නිසා ඇයට පැහැදිළිව නොපෙනෙන බැවින් මගේ කඳුළුවලට තව තවත් ඇස තුළ තෙරපී දුක් විඳීමට සිදු වුයේ නැත. මම සාක්කුවෙන් ලේන්සුව ඇද ක්ෂණිකව කඳුළු පිස දා ගතිමි. මගේ මිතුරියගේ නිවසට ගොස් මම පෙර දා සුදු මැණිකේ වෙනුවෙන් ඇති තරම් හඬා වැළපුනෙමි. ඒත් කඳුළු ඉවර වී නැත. 'අම්මා නැති දා මාමාට කිරි එරේ ' යයි අම්මා කියූ කියමන සත්‍යයක් විය යුතුය. මේ ලේ නෑ කමට ඉමක් නැත. එය ඉමක් කොණක් නැති විශ්වය බඳුය
'යං පැටියො අපි ගෙදර' මම සුලැගිල්ලේ එල්ලී සිටි දැරියට බොහෝ අපහසුවෙන් කීවෙමි. මා තේරුම් ගත්තාක් මෙන් දැරිය නැවත දොඩමළු වුයේ නැත.
Photo by Jake Roxen on Unsplash © 2019 Malini Ganewatta All rights reserved.
Sunday, October 27, 2019
Bokul
Bokul
වසර මුලදී මං හිතන්නේ මාර්තු මාසෙ දිනක කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙලේ චිත්‍රපට දෙකක් බැලුව. කෙටි චිත්‍රපටයක් හා වෘත්තාන්ත චිත්‍රපටියක් බැලුව. එයින් කෙටි චිත්‍රපටිය ජීවිතයේ පසුකාලයක අමතක වීමේ රෝගයට ගොදුරුවූ කාන්තාවකගේ. එය ශෝකය දනවන චිත්‍රපටියක්. මා මෙහි අදහස් දක්වන්නේ වෘත්තාන්ත චිත්‍රපටිය බෝකුල් ගැන. එයින් කියවෙන්නේ ඇසෑමයේ කතාවක් වුවත් අපේ රටේ තත්වයට බොහෝ දුරට සමානත්වයක් එයින් පිළිබිඹු වෙනවා.
සමාජ ආර්ථික හා දේශපාලනික තත්වයන් ස්පර්ශ කරමින් ඇසැමයේ සමාජය පිලිබඳ විචිත්‍රවත් කෙරෙන චිත්‍රපටයක් ලෙස බෝකුල් හඳුන්වන්න පුළුවන්. රීමා බෝරා විසින් අධ්‍යක්ෂණය කරන ලද බෝකුල් MAMI, Mumbai film festival එකේ ‘India Story’ කොටස විසින් තෝරා ගෙන තිබෙනවා.
කතාවේ රට්කිම් කියල වයස අවුරුදු 30ක තරුණයෙක් තම සොයුරියගේ විවාහ මංගල්‍යයට සහභාගී වීමට, වසර ගණනාවකට පස්සේ තම උපන් ගම වන බ්‍රහ්මපුත්‍ර නිම්නයට එනවා. ඔහුට ඔහුගේ නගරයේ පාරම්පරිකව තිබුණු තත්වයන්වල වටිනාකම් වල සිදුවී ඇති වෙනස් වීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඔහු දැන හඳුනාගෙන සිටි අය පවා වෙනස් වෙලා.
ඔහුගේ පැරණි සංගීත ගුරුවරයා ඒ වනවිට කොහි සිටීදැයි නොදත් නිසා ඔහු ඒ ගුරුවරයා සොයා ස්කූටරයේ නැගී නගරය වටා සැරිසරද්දී සුවිශේෂී චරිත තුනක කතන්දර දැන ගැනීමට ලැබෙනවා. තරුණ රික්ෂෝ කාරයා,දුවෙක් සමග තනිවී සිටින තරුණවිය ගෙවීයමින් සිටින ස්ත්‍රියක්,තම පුත්‍රයා නැතිවූ සොවින් තැවෙන මහලු ධීවරයෙක් යන තුන්දෙනා තමයි ඒ. ඒ තුන්දෙනාගේම නම අහම්බෙන් වෙන වෙනම 'බොකුල්'.
කලින් නගර වැසියෙක් වුවත් අද වසර ගණනාවකට පසු පිටස්තරයෙක් වන රට්කිම්ට සමාජ යථාර්ථයේ වෙනස් වීම, මිනිස් වටිනාකම් විතැන් වීම ඔවුන් තම කතන්දර තුළින් ඉදිරිපත් කරනවා. තරුණ ස්ත්‍රී බොකුල් තම ජීවිතය ගෙන යාමට කඩයක් කරනවා. එහිදී ඇයට මුහුණ දීමට සිදුවෙන කරදර,ගැහැට ,අවලාද සියල්ල අපේ සමාජයේ තනිවූ ස්ත්‍රියක් මුහණ දෙන ආකාරයේ ඒවාමයි. ඔබ දන්නවා එවැනි තත්වයක් යටතේ ස්ත්‍රියකට තනිව පැවැත්මේ අසීරු කම. තරුණ රික්ෂෝ බොකුල් මුහුණ දෙන්නේ පොදුවේ අපේ වගේ රටවල තරුණ පරපුර අත්විඳින ඛේදවාචකය.
භාෂාව නොදැන වුවද තේරුම් ගත හැකි පරිදි මනා ලෙස හසුරුවන තිර රචනයක් ඔස්සේ දිගහැරෙන චිත්‍රපටියේ රගපෑම් ද ඉතා විශිෂ්ඨ මට්ටමේ තිබෙනවා. කැමරාව සන්දීප් පටිල් ගේ. රට්කිම් ලෙස උදයන් දුවාරා ද , බෝකුල් නම් කාන්තාව ලෙස උර්මිලා මහන්තා ද , රික්ෂෝ බෝකුල් ලෙස කෞශික් ශර්මා ද ,ධීවර බෝකුල් ලෙස නිරාබ් දාස් ද අනර්ඝ රඟ පෑමක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ සුවිශේෂී චිත්‍රපටිය නරඹන්න කියා මා ඔබට ආරාධනා කරනවා.
Saturday, October 19, 2019
මගුල් විසිතුරු වැනුම
තාලයට මහහඬින් හඬ නැගෙන අෂ්ටකය
ටිෂූ කඩදහි එකින් එක පෙඟෙන කඳුළැලිය
කෝල ලෙස විළිබරව යුවළ පෝරුව මතය
බිඳී ඒ සැනින් වීසි වී යන පොල්ගෙඩිය
සැරසිලිය හැමතැනම නෙක වර්ණ විසිතුරුය
අත වළලු ගෙලේ බැඳී තැලී මාල දිලිසේය
හිසේ සැරසිල්ල බිම වැටෙන්නට ළඟ වගෙය
ළඳුන්ගේ වත ටිකක් ඒ නිසා විමසිලිය
මේසයෙන් මේසයට රවුම් වල පිරිසමය
සිනාසෙන උන් මුහුණු ඇති තරම් පින් බරය
ඒ වුණත් මේ බිමේ කතා නම් අසීරුය
සංගීතයය විසුල කන් අඩිය පලා ගිය
ටාං ටිං වීදුරු ද බෝතල් ද දෙන හඬය
බඩ මහත තඩි පිරිමි තෙරපෙමින් එහි ගොඩය
කතා බස් ටිකෙන් ටික වැඩි වේවි එන හැඩය
කෑම ගන්නට වගක් සිතක් වත් නැති වගය
කුසගින්න බුර බුරා ටිකින් ටික නැග ඒය
බුෆේ පෝලිමේ දිග සැතපුමකටත් වැඩිය
බෙදාගත් කෑම ටික අරන් මෙහි එන විදිය
විසාලම සටනකිය පටලගෙන යාර හය
මත් වෙවී හිටිය උන් ඉදිරියට පැමිණේය
යුවල දැන් උන් අතින් අහසටම විසිවේය
ඊළඟට පොකුණු වල ගැඹුරටම කිමිදේය
නිදිමරන් සරසවපු සායම් ද දියවේය
සංගීතෙ වෙනස් වී බයිලයට පෙරළේය
නැටුමක්ලු බෙරේ නම් පලුවකුත් නැතිවේය
ටිකින් ටික කාලයත් අවරටම බර වේය
නව යුවල පිටත්වන නැකත දැන් එළඹේය
මත් වෙවී හිටිය උන් ඉදිරියට පැමිණේය
යුවල දැන් උන් අතින් අහසටම විසිවේය
ඊළඟට පොකුණු වල ගැඹුරටම කිමිදේය
නිදිමරන් සරසවපු සායම් ද දියවේය
සංගීතෙ වෙනස් වී බයිලයට පෙරළේය
නැටුමක්ලු බෙරේ නම් පලුවකුත් නැතිවේය
ටිකින් ටික කාලයත් අවරටම බර වේය
නව යුවල පිටත්වන නැකත දැන් එළඹේය
මාස ගණනක වෙහෙස දැන් ඉතින් අහවරය
මාස ගණනකි තවත් ඉදිරියට ගෙවන ණය
දිස්නෙ දුන් සබන් බුබුලක් බිඳී යන වගය
නූතනේ මගුල් විසිතුරු වැනුම මේ ලෙසය
Tuesday, October 15, 2019
මා මළ පසු සොහොන් කොතේ ඔබට නොහැකිය දුක් ගී ලියන්නට
මා මළ පසු සොහොන් කොතේ
ඔබට නොහැකිය දුක් ගී ලියන්නට
මන්ද මෙදියත සොහොන් කොතක්
මා වෙනුවෙන් ඉඳි නොවන බැවින
මම යන්නටම යන්න යමි නික්ම
මා නිසල සිරුර ශේෂ කරන
සියළු අංශුන් පස් කැට අතරට
එක්ව එකට මුසුවණු ඇත.
එයින් සරුවන මේ දෙරණ මත
කිණිති විදහා වැවෙන මල් ගස්
පුබුදාවි සිය කැකුළු දිනයක
ඔබට හැකිවේවි ඒ මල් නෙලන්නට
මා අන්තිමට හෙළු හුස්ම බිඳ
මා ගත ශේෂයන් පිට කරන
සියලු වායුන් හා සමගින් එක්ව
මුසුවණු ඇත මේ විසල් වා තලයට
මා අසිරිමත් සිරුර හිරුගෙන්
උරාගත් සියළු ශක්තින්
විසුරවමි මම ඉමක් කොණක් නැති
මේ මහා අනන්ත විශ්වයට
නැත මා කියා කෙනෙක් ඉන් ඉදිරියට
ඉතින් සබඳ මට සමුදෙන්න
නැවත කිසිදා හමුවීමක් නොවන
ඒ දිගු ගමන යන්න
මා මළ පසු සොහොන් කොතේ
ඔබට නොහැකිය දුක් ගී ලියන්නට
මන්ද මෙදියත සොහොන් කොතක්
මා වෙනුවෙන් ඉඳි නොවන බැවින
ඉතින් ඒ ගමන නික්මෙන්න පෙර
මා පණ ගැහෙන මේ තත්පරය තුළ
සප්ත ස්වරයම එකට කැටිකර
සොඳුරු ගීයක් ගයන්න ඔබ
ඔබේ මිහිරි ගීතය මේ දැන් අසන්නට
නොඉවසිල්ලෙන් පෙරමග බලා හිඳිමි මම
මා මළ පසු ගයන දුක් ගී අසන්නට
කිසිවෙකුත් නැති වේවි මේ දෙරණත
© 2019 Malini Ganewatta All rights reserved.
Saturday, October 5, 2019
ලියුකේමියාව සෑදෙන්නේ වැඩි පිරිසිදු කම නිසා ද ?
මහාචාර්ය මෙල් ග්රිව්ස් (Sir Melvyn Francis Greaves ) හට සිය ජීවිතයේ සරල ඉලක්කයක් විය. ඔහු දරුවන්ට ලියුකීමියා රෝගය වැළැක්වීම සඳහා බීමට යෝගට් වර්ගයක් පිළියෙළ කිරීමට උත්සාහ ගනිමින් සිටියේය. මෙය කුමන අදහසක් දැයි ඔබට සිතේවි. පිළිකා එතරම් පහසුවෙන් පරාජය කළ නොහැකි නමුත් මහාචාර්ය ග්රීව්ස් විශ්වාසයෙන් යුතුව ඔහුගේ අත්දැකීම් ක්ෂේත්‍රයට දෙමින් සිටි අතර අනෙකුත් පර්යේෂකයෝද මෙය බරපතල කොට සිතූහ. ලන්ඩනයේ Institute of Cancer Research) ආයතනයේදී ග්රීව්ස් ළමා වියේ ලියුකීමියා රෝගය පිළිබඳව දශක තුනක කාලයක් අධ්‍යනය කළේය. පසුගිය දිනක ඔහුට ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවයට ගෞරව කිරීම සඳහා නයිට් පදවියක් පිරිනැමීමට තීරණය කර තිබුණි.
'දරුවන්ට ලියුකේමියා හැදෙන්නේ ඇයි කියන එක ගැන මම අවුරුදු 30ක් තිස්සේ උමතුවෙන් සිටියේ.' ඔහු පවසයි. ' දැන් ප්‍රථම වරට අපට එයට පිළිතුරක් ලැබී තිබෙනවා.' ' ඒ කියන්නේ දැන් අපට එය ඇතිවීම වළක්වා ලීමේ මං සොයා යන්න පුළුවන්. මගේ අදහස මේ පානය පිළිබඳවයි.''
1950දී බ්‍රිතාන්‍යයේ දරුවන් 2000ක් පමණ රෝගයට ගොදුරු විය. එකල මෙය මාරාන්තික රෝගයක් ද විය. අද වන විට රෝගීන්ගෙන් 90%ක් පමණ සුවය ලබති. නමුත් ප්‍රතිකාර විෂ සහිත වනවා පමණක් නොව අතුරු ආබාධ රැසක් ද සහිතය. ඇතිවන සංඛ්‍යාවත් දැන් වැඩි වෙමින් තිබේ.. බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ 1% ප්‍රතිශතයකින් වැඩිවේ. මේ තත්වය දකින්නට ලැබෙන්නේ දියුණු රටවල් වලය. දියුණු වෙමින් පවතින ඒවායේ නොවේ. රෝගය සම්පත් වැඩිවීම සමග ගමන් කරයි.
රෝගය අනුයාත ජීවවිද්යත්මක සිද්ධි මාලාවක් සමග ඇතිවේ. එහි මුල්ම ක්ෂණික ආරම්භය දරුවන් 1/20 කට ජාන විකෘතියක් ලෙස ඇතිවේ. 'මේ විකෘතිය හදිසියේ මවගේ ගර්භාෂය තුළදීයි ඇතිවෙන්නේ. එය පරම්පරාගත දෙයක් නෙමෙයි.නමුත් මෙය දරුවා ජීවිතයේ පසු කාලයකදී ලියුකේමිය රෝගය වැළඳීමේ අවදානමකට පත් කරනවා.' ග්රීව්ස් කියයි.
'එවැනි දරුවෙකුට රෝගය ඇතිනොවීමට නම් දරුවාගේ ප්‍රතිශක්ති පද්ධතිය නිසියාකාරව ශක්තිමත් වීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා පළමු වර්ෂයේදී ආසාදනයක් ඇතිවීම අවශ්‍යයි 'ග්රීව්ස් කියයි. එසේ නොමැති වුවහොත් එම පද්ධතියේ ප්‍රථමකරණය මග හැරෙන (left unprimed )අතර හොඳින් ක්‍රියා නොකරයි. මේ අර්බුධය කරදරකාරී ලෙස උග්‍ර වෙමින් පවතී. දෙමාපියෝ තම දරුවන් හදාවඩා ගැනීමේදී විෂබීජ නාශක සහිත පිසදමන තුවා,සබන්,පොළොව පිසදමන ද්‍රව්‍ය, විශාල ලෙස යොදා ගනිති. කුණු දූවිලි බිඳක් නැති පරිසරයක් පිළියෙළ කිරීමට පෙළඹෙති. මව් කිරි දීමත් අඩු කරති. මේ දරුවන්ගේ සමාජ සම්බන්ධතාත් අඩු නිසා වෙනත් දරුවන් හා ගැටීමත් අඩුයි. ඒ නිසා මේ දරුවන් විෂබීජ සමග ගැටීම අඩු වේ. මෙහි වාසිය දරුවන් කුඩා කළ රෝගී නොවීමයි. නමුත් මෙහි අතුරු අබාධ ඇත. අද දරුවන් මැසි මදුරුවන් ගේ දෂ්ට කිරීම් වලටද නිරාවරණය නොවන නිසා, මෙහිදී දරුවන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය නිසිපරිදි ප්‍රථමකරණය වන්නේ නැත.
'එවැනි දරුවෙක් අවසානයේ ආසාදන වලට නිරාවරණය වුවොත් ඔහුගේ/ඇයගේ ප්‍රථමකරණයනොවූ ප්‍රතිශක්ති පද්ධතිය අසාමාන්‍ය ලෙස ප්‍රතික්‍රියා දක්වනවා. . එය අධි ක්‍රියාකාරීව නිදන්ගත ප්‍රදාහය ඇති කරනවා' ග්රීව්ස් පැහැදිළි කරයි. මේ ප්‍රදාහය වර්ධනය වීමෙන් රුධිරයට සයිටෝකයින් නම් රසායනිකයක් නිදහස් කෙරේ. මේ රසායනික පළමු ලියුකීමියා විකෘතිය දරණ දරුවන්ගේ දෙවන විකෘතියක් ද ක්‍රියාරම්භ ( trigger ) කරයි. නවීන සුපිරි පිරිසිදු නිවාස වල ජීවත් වන මුලින් සඳහන් කළ විකෘතිය දරණ එනම් ලියුකීමියාවට නැඹුරුතාව දක්වන දරුවෝ සම්පුර්ණ ලියුකීමියා රෝගී තත්වයට පත්වෙති.
මේ අනුව සැලකු විට පෙර අදහස් කළ ආකාරයට අධි බලැති විදුලි රැහැන් හෝ න්‍යෂ්ටික බලාගාර හෝ මේ රෝගය ඇති වීමට හේතු නොවේ. එය ඇති වන්නේ උපතට පෙර හා උපතට පසු පරිසරවල සිදුවන වෙනසක් නිසා ඇතිවන ද්විත්ව ක්‍රියාකාරිත්වයකින් බව ග්රීව්ස් 2018 වසර මුලදී Nature Reviews Cancer ජර්නලයට ප්‍රකාශ කළේය. මේ නව දැක්ම විද්‍යාඥයන්ට මූලිකව ලියුකීමියාව වළක්වන්නේ කෙසේද යන්න කෙරෙහිද අවධානය යොමු කිරීමට ද හේතු වෙතැයි ග්රීව්ස් කියයි. ' මවගේ ගර්භාෂය තුළදී සිදුවන විකෘතිය වලක්වන්න තවම අපිට බැහැ .නමුත් දෙවන ප්‍රදාහ අවස්ථාව ඇතිවීම වැළැක්වීම ගැන අපට හිතන්න පුළුවන්.' ඔහු කියයි.
මේ සඳහා ග්රීව්ස් හා ඔහුගේ කණ්ඩායම මානව ආහාර මාර්ගයේ වෙසෙන බැක්ටීරියා හා වයිරස් ගැන අධ්‍යනය කිරීම ආරම්භ කර ඇත. මේවා අපේ ආහාර ජීර්නයෙදී උපකාරී වන අතර ජීවිතයේදී අපට හමුවන විෂබීජ ගැනද අදහසක් ලබා දෙයි. සංවර්ධිත රටවල මිනිසුන්ගේ ආහාර මාර්ගයේ ඇති බැක්ටීරියා විශේෂ සංඛ්‍යාව අඩු බව සොයා ගෙන ඇත. එයට හේතුව ඔවුන් ගත කරන අතිපිරිසිදු වාතාවරණය තුළ ඔවුන්ගේ ළදරු අවදියේදී නිරාවරණය වන බැක්ටීරියා විශේෂ සංඛ්‍යාව අඩු වීමයි.
' අපි ඔවුන්ගේ ක්ෂුද්‍රජීවීන් ප්‍රතිව්‍යුහ ගත කරන්න ක්‍රම සොයන්න අවශ්‍ය වෙනවා. දරුවන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය ප්‍රථම කරණය කරන්න වඩා වැදගත් වන්නේ කුමන බැක්ටීරියා වර්ග ද කියා අධ්‍යනය කරනවා. දැනට ග්රීව්ස් මීයන් යොදාගෙන පර්යේෂණ කරන අතර ඉලක්කය වන්නේ ඉදිරි වසර දෙක තුන තුළ මිනිසුන්ට අත්හදා බැලීමයි. ' අපේ ඉලක්කය දරුවන්ගේ එක සෞඛ්‍ය සම්පන්න තත්වයට ගේන්න පුළුවන් විශේෂ 6-10ත් අතර සංඛ්‍යාවක් සොයා ගැනීම .' ඔවුහු පවසති. මේ ක්ෂුද්‍ර ජීවී සලාදය පෙත්තක් වශයෙන් නොව බාල වයස් දරුවන්ට පානය කළ හැකි යෝගට් පානයක් වැනි දෙයක් වීමට ඉඩ ඇත.
මේ පානය ළමා ලියුකීමියාවට දරුවන් ගොදුරු වීම වැළැක්වීමට පමණක් හේතු වන්නේ නැත. අද බටහිර රටවල හා අසාත්මිකතා ද වැඩි වෙමින් පවතී. මෙයටද හේතුව දරුවන් විෂබීජ වලට නිරාවරණය අඩුවීම නිසා ඔවුන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය ප්‍රථමකරණය නොවීමයි. මේ නිසා පානය මෙවැනි තත්වයන් කිහිපයකටම පිළිතුරක් වනු ඇත.
'මං හිතන්නේ අපේක්ෂාව විශ්වාස කරන්න බැරි තරම් චමත්කරජනකයි. අපි ලියුකීමියාව වළක්වනවා පමණක් නොවේ. තවත් සංකුලතා ගණනාවක් ම වළක්වනවා.'ග්රීව්ස් අපේක්ෂාව දල්වයි.
ලියුකීමියාව යනු කුමක් ද?
අපේ රුධිරාණු නිපදවෙන්නේ ඇටමිදුළු තුලයි. රතු රුධිරාණු ශරීරය පුරා ඔක්සිජන් ගෙනයාමේ කාර්ය කිරීමටත්, සුදු රුධිරාණු ආසාදන හා සටන් කිරීමටත්, පට්ටිකා රුධිර ගැලීම වැළැක්වීමටත් වශයෙන් මේවා ශරීරයට අවශ්‍ය අවස්ථාවල නිපදවේ. පුද්ගලයෙකුට ලියුකීමියාව වැළඳුනු විට අසාමාන්‍ය අන්දමින් සුදු රුධිරාණු නිදහස් වෙයි. මේ තත්වය පුද්ගලයාගේ ඇටමිදුළු වර්ධනයට බාධා කරයි.එවිට සියළුම රුධිර සෛල වර්ග අඩු වීමට පටන් ගනියි. පුද්ගලයා රෝගී තත්වයට් පත්වෙයි. ලියුකීමියා ප්‍රභේද ගණනාවක් ඇති අතර දරුවන් අතර ප්‍රමුඛව ඇත්තේ Acute Lymphoblastic Leukaemia සහ Acute Mayeloid Leukaemia යන ප්‍රභේද දෙකයි
The Guardian ඇසුරිනි.
Photo by Aditya Romansa on Unsplash
Monday, September 30, 2019
ළමා දින තිළිණය
ළමා දින තිළිණය
ට්‍රොලියක් සෙමින්සෙමින් ඇදුනා ඉදිරියට
පුරවා තිබුණා ලස්සන සෙල්ලම් බඩු එතුළ
බෙදුවා ඔවුන් ආදරෙන් සෙල්ලම්බඩු සැමට
කිව්වා ලෝක ළමා දිනයලු මේ දවස
එදයි දැන ගත්තේ ළමුන්ටත් දිනක් ඇතිබව
ඇන්දෙත් නෑ ලස්සන ඇඳුම් ළමා දිනවල
තිබුණා වුනත් පහේ 'ලොකු' විභාගෙත් එකලද
දැන් වගේ පාඩම් කළේ නෑ දින වකවානු ගැන
මේ ට්‍රොලිය ඇදුනේ රෝහල් වාට්ටුවක
ලෙඩ දරු පැටවුන්ය වූයේ ඇඳන් මත
ලැබුණා එදා පුංචි බෝනික්කෙක් අතට
තවත් රස ටොපි ද චොක්ලට් සමග
රෝස පාට ඒසොඳුරු බෝනික්කා තාම
මතකයි හිටියා කාලයක් මා එක්කම
ඒ ළමා දිනය හීනයකි අහසේ සිතුවම් වුණ
එය සිතට එබී කම් කරයි හැම ළමා දිනයකම.
ට්‍රොලියක් සෙමින්සෙමින් ඇදුනා ඉදිරියට
පුරවා තිබුණා ලස්සන සෙල්ලම් බඩු එතුළ
බෙදුවා ඔවුන් ආදරෙන් සෙල්ලම්බඩු සැමට
කිව්වා ලෝක ළමා දිනයලු මේ දවස
එදයි දැන ගත්තේ ළමුන්ටත් දිනක් ඇතිබව
ඇන්දෙත් නෑ ලස්සන ඇඳුම් ළමා දිනවල
තිබුණා වුනත් පහේ 'ලොකු' විභාගෙත් එකලද
දැන් වගේ පාඩම් කළේ නෑ දින වකවානු ගැන
මේ ට්‍රොලිය ඇදුනේ රෝහල් වාට්ටුවක
ලෙඩ දරු පැටවුන්ය වූයේ ඇඳන් මත
ලැබුණා එදා පුංචි බෝනික්කෙක් අතට
තවත් රස ටොපි ද චොක්ලට් සමග
රෝස පාට ඒසොඳුරු බෝනික්කා තාම
මතකයි හිටියා කාලයක් මා එක්කම
ඒ ළමා දිනය හීනයකි අහසේ සිතුවම් වුණ
එය සිතට එබී කම් කරයි හැම ළමා දිනයකම.
© 2019 Malini Ganewatta All rights reserved.
Monday, September 23, 2019
Sunday, September 22, 2019
The Sibling Bond
The Sibling Bond
Time is passing so quickly
We, the four siblings still meet;
Sometimes nightmares come and go
Burdening with pain in the heart.
The life we lived was with dark shadows,
Yet, so many sweet stories to say,
One little brother, three sisters around mother
While father's love sadly faded away...
Those valleys and mountains; if they can talk
Behind our old house would say,
How carefree life we were gifted with?
No classes no homework as of today!
Have you heard about 'doll families'?
We played throughout our holidays,
The dolls are still living with us,
Singing songs on old sweet days.
Kinship; what a wonderful thing?
Is the greatest gift parents gave;
Nothing can replace this sibling bond
Which is a shining, sparkling ray......
Sunday, September 15, 2019
අලි පුංචා
අලි පුංචා
වසර 2001 අවුරුද්දේ පුවත් පතක එක්තරා දැන්වීමක් තිබුණා. ළමා පොත් ලිවීම ගැන ව්‍යාපෘතියකට සම්බන්ධ වෙන්නට කැමති අය යොමු වෙන්න කියලා. ඒක පළ කරලා තිබුණේ ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවෙන්. මාත් මගේ මහත්මයත් දෙන්නම මේකට අයදුම් කළා. පළමු රැස්වීම තිබුණේ කොළඹ ඩී ලාසාල් විදුහලේ. මේකේ ඉතිරි වැඩ සඳහා නේවාසික වෙන්න සිදුවෙන නිසා අපි දෙන්නටම ඒකට සහභාගී වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මම විතරක් ඉදිරිපත් වුණා. මුල් දවසේ අපිට පොඩි ළමා කතාවක් සිංහල බසින් ඉදිරිපත් කරන්න කිව්වා.
මම මොකක් ලියනවා ද කියල හිතනකොට අපේ ගෙවල් අසල වත්තක ඇතිකරන ඇතා මතක් වෙලා පොඩි කතාවක් ගොතල ලිව්වා. මම වැඩ මුළුවට තේරුණා. ඒකෙ ඉතිරි කාර්යයන් සඳහා දින කිහිපයක නේවාසික පුහුණුවක් තිබුණා හබරණ විලේජ් හෝටලයේ. මට එදා හමු වුණු යාලුවෝ තාම මතකයි. හේමමාලිනි, ජයන්ති,ප්‍රේමරත්න මහත්මිය වගේ නම් මතකයි. ජාතික අධ්‍යාපන ආයතනයේ විජේරත්න මහත්මයා තමයි වැඩ මුළුවේ සම්බන්ධීකාරක වුනේ. මේ වැඩ සටහන British Council එකත් සමග ජාතික අධ්‍යාපන ආයතනයේ Primary English Language Project (PELP) කළ එකක්. ඒකෙන් බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවන් වැඩ සටහන මෙහෙයවන්න ආවා.
ළමා පොතක් ලිවිය යුත්තේ කෙසේද කියා කෙටි කාලීන පාඨ මාලාවක් කළා. මේ සඳහා අදහස් ලබා ගන්න අපි කණ්ඩායම් වශයෙන් සංචාර සඳහා යොමු කළා ,සීගිරිය, මින්නේරිය, රිටිගල වගේ තැන්වලට. මට යන්න ලැබුණේ මින්නේරියට. හරිම සුන්දර සෆාරි චාරිකාවක්. මම වැඩිම සංඛ්‍යාවක් සහිත අලි රංචුවක් දැක්ක පළමු මෙන්ම අවසාන අවස්ථාවත් ඒක. හබරණ විලේජේහි ගත කළ ඒ දින කිහිපය හරිම සුන්දරයි.
අපි ළමා පොත් පිලිබඳ බොහෝ දේ ඉගෙන ගත්තා. ළමා කතන්දර කීපයක් ම ලිව්වා. පුහුණු වෙන්නයි ලිව්වේ. අපි කණ්ඩායම් වශයෙන් අදහස් හුවමාරු කර ගත්ත. දිනපතා ජර්නලයක් පවත්වා ගන්න හැටි, කතාවකට පසුබිම සකස් කර ගන්නා හැටි, ඒ ඒ ළමා වයස් කාණ්ඩ වලට සුදුසු අන්තර්ගතයන් හඳුනා ගන්නා හැටි, චිත්‍ර අඳින හැටි මේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
අපේ දෙවන වැඩමුළුව තිබුණේ එවකට අමායා හෝටලය නමින් හැඳින්වුණු මහනුවර තිබුණු හෝටලයක. එහිදී අපි ළමා පොත් කිහිපයක අත්පිටපත් නිමා කළා මාත් පොත් දෙකක් නිමා කළා. ඉන්පස්සේ ඒවා බාර දුන්නා. එයින් එක පොතක් ප්‍රකාශ කිරීමට තෝරාගෙන අනික මට පසුව නැවත එව්වා. කණගාටුවට කාරණය නම් ව්‍යාපෘතිය අන්තිමේ දී නතර වීමයි. ඒ බව සඳහන් කළ ලිපියක් එකෙන් මට එවා තිබුණා. අපේ පොත් පළ කළා ද නැද්ද කියා අපි දැනුවත් වුණේ නැහැ.
පස්සේ කාලෙකදී මගේ මිතුරියක් වන අනෝමා මානෙල් මට කිව්වා ඔයාගේ නමින් ළමා පොතක් පුස්තකාලේ තියෙනවා කියලා. මට පුදුම හිතුණා. කර්තෘ පොත ගැන දන්නේ නැතිවම පොතක් පළ වෙලා! ඒ මගේ 'අලි පුංචා' පොත. පස්සේ ඈ මට එහි පිටපතක් ලබා දුන්නා. මං ඒකෙන් ඡායා පිටපතක් ගත්ත. ඔන්න ඔහොමයි මගේ මුල්ම පොත පළ වුණේ.
පොතේ දක්වා ඇති ආකාරයට මේ විදියට අපි අර ව්‍යාපෘතියේදී ලියපු අත් පිටපත් 50ක් පොත් වශයෙන් British Council මගින් පළ කර නොමිලේ පුස්තකාල වලට බෙදා හැරලා තියෙනවා. කණගාටුව අපිට ඒ ගැන නොදැන්වීම. ඒත් ඒ පොත මෙහෙම හරි දැකලා ඇත්තෙන්ම මම හුගාක් සතුටු වුණා. කොහේ හෝ ප්‍රදේශයක දරුවෙක් මගේ පොත කියවන්න ඇති කියන සතුට මුදලට ගන්න පුළුවන් එකක් නෙමෙයි.
හබරණ විලේජ් හි සුන්දර මතකයන් .....
Subscribe to:
Posts (Atom)