පූජ්‍ය පඤ්ඤාකාර හිමියන් විසින් රචිත ඉන්දියාවේ අධ්‍යාත්මික පා ගමන ගැන දිනපොත - 4 හා 5 දින (ඉංග්‍රීසි සටහන් වල සිංහලානුවාදය)
බුදුන් වහන්සේගේ පාද සටහන් ඔස්සේ - දිනපොත
2022 දෙසැම්බර් 14 (4 වන දිනය)
අන් සියල්ලන්ම තවමත් තද නින්දේ පසුවන අතරතුර, පා චාරිකාවේ යෙදෙන සංඝයා වහන්සේලා නව මාර්ගයක් සඳහා සූදානම් වීමට අවදි වූහ. පෙර දින රාත්‍රියේ නවාතැන් ගත් ස්ථානයෙන් පිටත්ව යාමට පෙර, අපි සැවොම එක්ව කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කර සත්වයන්ට පින් අනුමෝදන් කළෙමු. සිරිතක් ලෙස, කණ්ඩායමේ නායක හිමියන් පස් මිටක් ගෙන අත්ලෙහි පිරිමැද, අනතුරුව නැගී සිට දෑත් එක්කොට ගෞරවය පළ කළහ. උදාර ගුණධර්මවලින් හෙබි ඒ නායක හිමියන්ගේ තේජාන්විත රූපය මට වටිනා පාඩම් රාශියක් කියා දුන්නේය.
ඊයේ මට කහ පැහැති ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුවක් ලැබුණි, අද රතු පැහැති එකක් ලැබුණද මා සතු දෙයින් මම සතුටු වුනෙමි. ඇත්ත වශයෙන්ම, කුස පුරවා ගැනීමට කුඩා යමක් තිබීම පවා මා ඉතා සතුටට පත් කිරීමට ප්‍රමාණවත්ය. සරලම දේ තුළ සතුට පවතී, නමුත් සමහර විට අපි හොඳම, සුඛෝපභෝගී සහ රසවත්ම දේ යැයි සිතන දේ පසුපස හඹා යමු - එවිට පමණක් අප සතුටු වනු ඇතැයි අපි සිතමු. අපි එය පසුපස හඹා යන්නෙමු, එය අල්ලා ගැනීමට උත්සාහ කරන්නෙමු, අවසානයේ දිනක අපට සියල්ල අහිමි වී ඇති බව අපට වැටහේ. එම සතුට ද තණ අග පිනි බිඳක් මෙන් වාෂ්ප වී යයි. ජීවිතයේ ලාභ හා අලාභය වැළැක්විය නොහැකිය. එබැවින් අද මට ලැබුණු තෑගි මම සතුටින් පිළිගත්තෙමි. මට නම් එය මහා සතුටකි!
දින හතරක් ගත වී ඇත, තවමත් පවතින්නේ වේදනාකාරී, දැවෙන හැඟීමක් පමණි. නමුත් එය පිරිමැසීමට මෙන්, පොලිස් නිලධාරීන් මඟ අසල වෙළඳසැලක නතර වී සංඝයා වහන්සේලාට පූජා කිරීම සඳහා පැන් සහ පාන් මිලදී ගැනීම සතුටට කරුණක් විය. ඔවුන් කළ ඒ යහපත් ක්‍රියාව පුදුම සහගතය. ඔවුන්ගේ කරුණාවන්ත ක්‍රියාවන්ගෙන් මගේ සිත අතිශයින් ප්‍රමෝදයට පත් වූ අතර, මොහොතකින් සියලු තෙහෙට්ටුව පහව ගොස් ඒ වෙනුවට ප්‍රීතියෙන් පිරුණු සිතක් ඇති විය.
අප කණ්ඩායම ගම්මානයකට පැමිණෙන විට සූර්යයා ක්‍රමයෙන් බැස යමින් තිබුණි. ගැමියන්, කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද කුතුහලයෙන් පිරි දෑසින් අප වටා රැස් වූහ. ආ! එක සතුටකින් පසු තවත් සතුටක්. ස්වාමිපුරුෂයා ඉන්දීය සොල්දාදුවෙකු වූ නේපාල කාන්තාවක්, භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම සඳහා කූඩාරමෙන් කූඩාරමට කිරි තේ රැගෙන ආවාය. ශීතල වාතාවරණයක උණුසුම් කිරි තේ කෝප්පයක් අතැතිව සිටීම සැබවින්ම සතුටකි.
මාතිකමාතාවගේ කතාව (ධම්මපද වර්ණනාව, 35 වන ගාථාව) මට හදිසියේම මතක් විය. ඇය භික්ෂූන් වහන්සේලාගේ සිත් කියවීමට සමත් වූ නිසා උන්වහන්සේලාට සුදුසු දෘඩ හා මෘදු ආහාර පූජා කළාය. ඇයගෙන් සුදුසු දෑ පිළිගැනීමෙන් පසු, භික්ෂූන් වහන්සේලා සම්පූර්ණයෙන්ම අප්‍රමාදීව කටයුතු කර රහත් භාවයට පත් වූහ. එලෙසම මෙහිදී ද, උණුසුම් කිරි තේ පූජා කිරීමෙන් පසු භික්ෂූන් වහන්සේලා සතුටු වූහ, උන්වහන්සේලාගේ හදවත් උණුසුම් විය, ඔවුන් එම උපාසිකාවට පින් අනුමෝදන් කළහ. බුදුන් වහන්සේ පහළ වී අපට නිසැකවම උතුම් ආශිර්වාද ලබා දුන් මේ දේශයට සහ ප්‍රදේශවාසීන්ට අපගේ හදවතින්ම කෘතඥ වෙමු.
බුදුන් වහන්සේගේ පියසටහන් ඔස්සේ - දිනපොත් සටහන
2022 දෙසැම්බර් 15 (5 වන දිනය)
අප පැමිණෙන විට එම ස්ථානය ජනයාගෙන් පිරී තිබුණි. අප පිටත්ව යන විට සියල්ල නිහඬ වී තිබුණි. වීදි හිස්ව පැවති අතර, රාත්‍රී අන්ධකාරය මැදින් රිද්මයානුකූලව ඇවිද යන පාචාරික සංඝයා වහන්සේලා පමණක් දැකගත හැකි විය. මාර්ගය රළු වූ අතර සෑම තැනකම වළවල් සහිත විය. මා ඇතුළු කිහිප දෙනෙක්ම මෙම වළවල් වල පැටලී ඇද වැටුණත්, වාසනාවකට කිසිවෙකුට තුවාල සිදු නොවීය.
උදෑසන ආහාරය සඳහා සුදුසු ස්ථානයක් සොයා ගැනීමට කණ්ඩායමේ නායකයා උත්සාහ කළේය. එදින උදෑසන ආහාර වට්ටෝරුවට ඇතුළත් වන්නේ කුමක්ද යන්න අපට අනුමාන කිරීමට පමණක් හැකි විය.
උදෑසන ආහාරයෙන් පසු, නිරීක්ෂණය කිරීම සඳහා මා කණ්ඩායමේ පිටුපසින් සිටීමට තීරණය කළෙමි. සැබවින්ම, තේරුම් ගැනීමට සහ ආදරය කිරීමට නම් කෙනෙකු ඒ දෙස බැලිය යුතුය. වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා බෙහෙත් බෑගය සහ පාත්‍රය සහිත බෑගය ඉතා අපහසුවෙන් දරාගෙන, මහා මාර්ගයේ තනිවම බර අඩි තබමින් වැඩම කළහ. තරුණ භික්ෂූන් වහන්සේලා විවේක ගැනීමට සහ පැන් පිපාසය සංසිඳුවා ගැනීමට නිතර නිතර නතර වූහ. අපි අවබෝධයෙන් සහ ආදරණීය සිනහවෙන් යුතුව එකිනෙකා පසුකර ගියෙමු. තායි සහ වියට්නාම ලෙස විවිධ භාෂාවන් කතා කළද, අප සැම එකම පියෙකු වන බුදුන් වහන්සේගෙන් පැවත එන්නෙමු. අපගේ ගමන් මග ගම්මාන, නගර සහ මග දෙපස ඇති කුටි මැදින් වැටී තිබුණි. බොහෝ ප්‍රදේශවාසීහු අපට ගෞරවයෙන් ආචාර කළහ, අප ගැන විමසූහ, නැතහොත් අප සමඟ ඡායාරූප ගැනීමට ඉල්ලා සිටියහ. මා රැගෙන යන උරහිස් බෑග් දෙකේ ඇත්තේ කුමක්දැයි එක් මහත්මයෙක් මගෙන් විමසීය. "මගේ පැවැත්ම සඳහා ආහාර ලබා ගැනීමට භාවිතා කරන පාත්‍ර," යැයි මම වහාම පිළිතුරු දුන්නෙමි. එම පුද්ගලයා එය අනුමත කරමින් හිස වැනුවේය. ඔහු එය තේරුම් ගන්නට ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
පාපැදියකින් පැමිණි පිරිමි ළමයෙකු මා සමඟ ගමන් කළේය. මම ඔහුට ඉංග්‍රීසියෙන් කතා කළ අතර ඔහු ඉන්දියාවේ එක් භාෂාවකින් මට පිළිතුරු දුන්නේය. ඔහු පාපැදිය පදිමින්ද, මා පයින්ද දිගු දුරක් ගමන් කළෙමු. මා නිහඬව සිටින විට ඔහු මා වෙනුවෙන් ගීත ගායනා කළේය. අවසානයේදී, මා සිතන්නේ අප දෙදෙනාගෙන් කිසිවෙකු අනෙකා පවසන දේ තේරුම් නොගත් බවයි!
පිණ්ඩපාත චාරිකාව සඳහා මම එම පිරිමි ළමයාගෙන් සමුගෙන, පසුව දිවා ආහාරය ගෙන අවසන් කළෙමි. ඉන්පසු, අපි දහම් සහෝදරයන් සිව්දෙනා පාළු කාමරයක මුළු හතරක් සොයා ගත්තෙමු. භික්ෂු චොන් හූ (Bhikkhu Chon Huu) නිදිබර ගතියෙන් පසුවන විට කුඩා එළු පැටවෙකු එනු දැක මම වහාම "එළුවෙක්" යැයි කෑ ගැසුවෙමි.
භික්ෂු චොන් හූ අවදි වී, "ඔබ කුමකටද කතා කරන්නේ?" යැයි ඇසීය.
"මම එළුවෙකුට කතා කළා..." යැයි මම ඔහුට කීවෙමි.
එවිට භික්ෂු චොන් හූ පැවසුවේ, "මම ඇස් පියාගත්තා විතරයි, පොඩි නින්දක්වත් ගන්න වෙලාවක් ලැබුණේ නැහැ, ඔබ එළුවෙක් ගැන කියමින් මාව ඇහැරෙව්වා!" යනුවෙනි. විඩාව නිවා ගැනීම සඳහා සහෝදරයන් සියලු දෙනාම එක්ව සිනාසුණහ.
අප තවමත් බුද්ධගයාවට කිලෝමීටර් 300ක් දුරින් සිටිමු. අප පුණ්‍ය භූමියට සමීප වන තරමට, මිනිසුන් වඩාත් ආගමික භක්තියෙන් යුක්ත වනු ඇතැයි සිතේ. සංඝයා වහන්සේලා දුටු විට සමහරු දෑත් එක්කර වැඳ නමස්කාර කළහ, තවත් සමහරු බිම වැතිර ප්‍රණාමය දැක්වූහ, තවත් සමහරු ගෞරවය දැක්වීම සඳහා සංඝයා වහන්සේලාගේ පාද ස්පර්ශ කළහ. කිලෝමීටර් 43ක් ඇවිදීමෙන් පසු, එදින රාත්‍රිය ගත කරන ස්ථානයට අපි ළඟා වූයෙමු. අදත් ස්නානය කිරීමට ජලය නොතිබූ අතර, තව දින කීයක් ජලය නොමැතිව සිටීමට සිදුවේදැයි මම නොදනිමි. එසේ වුවද, අපි තවමත් ඉතා සතුටින් සිටිමු. රාත්‍රියේ පවතින දැඩි සීතල සහ පින්න මැද, දුර බැහැර සිට පැමිණි අපගේ හදවත් උණුසුම් කර ගැනීමට අපි ඉඟුරු තේ කෝප්පයක් වටා රොක් වුයෙමු.
මතු සම්බන්ධයි!
No comments:
Post a Comment