Friday, August 26, 2022

කාලයේ පෙරහැර නොනවතියි


 කාලයේ පෙරහැර නොනවතියි


















කාලය නොනවතින පෙරහැරකි.
කස කරුවන් පෙරහැරේ
ඉදිරියෙන්ම එයි.
පණිවිඩය අරගෙන.
මහ විඩාවක් දැනෙයි.
අත පය වේදනා දෙයි
කොන්දෙ කැක්කුම්
හිසේ ඇම්ම තව මෙකී නොකී
අපි එකට වයසට යනබව
ඒ අඞහැරය කියා පායි...
පින්සලය අතට ගමි.
වෙනදා තරම් සියුම් ලෙස
රේඛා නොඇඳෙයි,
සායම් ගලා නොයයි.
ඔබ ඒ දෙස නිහඬව බලා හිඳියි.
මම අඳිමි පෙරදා ඔබේ රුව
මා සිතේ ඇඳී ඇති ලෙස.
සිහින් සුසුමක් වාතලය
කම්පනය කරයි.
"ඔය ඇඟිලි වකුටු වෙලා නේද?"
ඔබ අසයි
"ඔව් ඔස්ටියෝආතරයිටිස්"
මම කියමි.
"කොහොම හිටිය කෙල්ලෙක්ද?"
ඔබ කියයි.
ඒක ප්‍රශ්නාර්ථයක් නොව
දිග දාර්ශනික කතාවක
සාරාංශයක් බව මට හිතෙයි.
"ඔයාගෙ අත පය වාත්තු කරල වගෙ"
පෙරදා ඔබ මගේ සේයාරුවක් බලමින්
කියූ හැටි මතකයට එයි.
"මගෙ ඇඟිලි බලන්න ඒ දවස්වල
පෝලිමේ පන්තිවල ළමයි.
එක්කෙනෙක් ඉගෙන ගැනීමත්
නවත්තල මගෙ ඇඟිලි දිහා
බලන් තපස් රැක්කනෙ
මං ඔයාට කියල ඇති "
මං මහ හඞින් සිනාසෙමි.
ඔබත් ඒ සිනාවට එක්වෙයි.
වයසට යන බව
අපට අමතක වෙයි.
ජීවිතය කියන්නේ මේක තමයි.
කාලයේ පෙරහැර නොනවතියි.

Photo by Sven Mieke on Unsplash

Sunday, August 21, 2022

ලියුම් Letters

     ලියුම් Letters



ඔබේ නමට මුලින්ම ලියුමක් ලැබුණ හැටි මතකද බලන්න. ඒක පුද්ගලික ලියුමක් හෝ රාජකාරී ලියුමක් වෙන්න පුළුවන්. ලියුම් බෙදන්නේ ලියුම් මාමා. එයාට තැපැල් මාමා /පියුම් මාමා කියලත් කියනවා. පියුම් කියන්නේ මගේ අතීසාර මිත්‍රයෙකු නම. එයා මුහුණු පොතේ නෑ. ඒ නිසා මේක අවමානයක් වෙන එකක් නෑ. ලොකු අය කියන විදියට නම් මේ ලියුම් බෙදන කෙනා තැපැල් කාරයා. ඒ මිහිරි සීනු නාදය අහන්න අපි කොච්චර ආස කළාද?

ඒත් අද පරම්පරාව ලියුමක් ලැබීමේ චකිතය, චමත්කාරය එතරම් විඳල නැතුව ඇති. අද වෙද්දී පුද්ගලික ලියුම් ලිවීම අභාවයට ගිහින්. අදහස් හුවමාරු කර ගන්න ප්‍රධාන වශයෙන්ම තියෙන මෙවලම දුරකථනය නෙ. දුරකථනයෙන් පෙම් බස් දොඩන එකට මල් කඩනවා කියලා කතාවකුත් ආවනෙ. ඒ වගෙම රාජකාරි වලට විද්‍යුත් තැපෑල තියෙනවා. ඒත් අතීතයේ අදහස් හුවමාරු කර ගැනීමට ප්‍රධාන වශයෙන් තිබුණෙ ලියුමක් ලියන එක. හුඟක් ඉස්සර ලියුමක් ආවත් ඒව කියව ගන්න ගමේ අකුරු සාස්තරේ දැන උගත් කෙනෙක් ළඟට ලියුම ගෙනියන්න වෙනවා.

ඒ කාලේ ලියුම් මාමා එනකම් අපි බලන් ඉන්නෙ පුදුම බලාපොරොත්තුවකින්. ලියුමක් එවන්න කෙනෙක් විශේෂයෙන් නැතත් ලියුමක් තියේවි කියලා හිතේ කොණක බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් එයා අපට ලියුම් නොදී පිට පාරෙ යන කොට කේන්තියකුත් එනවා.

ලියුම් කිව්වම පෙම්පත් ගැන නොකිය බෑ ඉතින්. ඒව තැපෑලෙන් එද්දී ගෙවල්වලින් හුටපට නෙ. මග රැකල ඉඳන් ගන්නත් බෑ. ඈයි තැපැල් මාම ගෙදර උදවියට කියනවනෙ. මෙන්න මේ නිසා තමයි ඒ ලියුම් හුවමාරුවට දූතයො හිටියේ. දූතයා පොතක් ඇතුලෙ දාපු ලියුම අදාල ග්‍රාහකයට දෙනව. පිළිතුරු ලිපියත් ඒ ක්‍රමේට තමයි යන්නේ. දූතයා ඉතින් හොඳ යාලුවෙක් වෙන්න ඕන. මේ ලියුම් එක්ක ලේන්සු, මල් වගෙ තෑගිත් හුවමාරු වෙනව. මේක කියවන අයට තමන්ගේ අතීතය මතක් වෙන එක නවත්තන්න මට බෑ.

රාජකාරී ලියුම් කියන්නෙත් අපූරු දෙයක්. ඔන්න සමහර ගම්වල ඉන්නවා ගමේ පුංචි පහේ කෙනෙකුට යහපතක් වෙනවට කැමති නැති තැපැල් ස්ථානාධිපති වරු. ඒ වගෙම තැපැල් කාරයො. ඒ වගේම ගමේ සමහර අය හිටියා කාටහරි රාජකාරි ලියුමක් එද්දී අද භාෂාවෙන් කියනවා නම් පුපේ ඉත්තෑවන් දුවන. මොකද විභාගයක්, සම්මුඛ පරීක්ෂණයක්, පත්වීමක් වගෙ දේවල් තමයි මේ ලියුම් වලින් දන්වන්නේ. අද වගේ වේදිකාවල නැගල හොරු අතින් පත්වීම් ගන්න සිරිත ඒ කාලේ තිබුණෙ නෑ. ඒ අතින් අපි වාසනාවන්තයි. ඉතින් මොකද අර ඉත්තෑවන් දුවන අය කරන්නේ? මේ ගොල්ලෝ එකතුවෙලා අදාල ලියුම හරි වෙලාව පහු කරල බෙදනවා. නැත්නම් අතුරුදහන් කරනවා. මේ නිසා මිනිස්සු වැදගත් ලියුම් සඳහා වෙන හිතවත් කෙනෙකුගෙ ලිපිනයක් තමයි දෙන්නේ. හැබැයි අපට හිටපු තැපැල් නෝනා හා තැපැල් මාමා නම් හුඟක් හිතවත්. ඒ වගෙ නපුරු දේවල් කළේ නෑ. හැබැයි මිනිස්සුන්ට තරහ ගියහම නම් ඔය තැපැල් ස්ථානාධිපතිල පතිනියල හඳුන්වන්නේ තැපෑල /තැපෑලි කියලා ගරු නම්බු ඇතුව.

පහු කාලීනව ගෙවල්වල තාප්ප බැන්දට පස්සේ ලියුම් පෙට්ටි ඒවයෙ හයි කර ගත්ත නෙ. ඉතින් තැපැල් මාමට තියෙන්නේ ලියුම් තියෙනවා නම් පෙට්ටියට දාන එක. ලියාපදිංචි ලියුමක් තිබුණොත් විතරයි සීනුව නාද වෙන්නේ. අනික පස්සෙ පස්සෙ අපට ලැබුණෙ පෙන්නන්නම බැරි බිල් විතරයි නෙ. ඒව බලන්න නමි කිසිම ඕන කමක් තිබුණෙ නෑ.

මේ රටවල් වල ලියුම් පෙට්ටි තනි තනිව හෝ සමූහ වශයෙන් පාර අයිනේ තියෙනවා. තට්ටු නිවාසවල ඇතුලෙම එක පැත්තකින් ලියුම්-පෙට්ටි තියෙනවා. ඒවයෙ යතුරු නිවෙස් හිමියො ළඟ තියෙනවා. තැපැල් මාමල එන්නේ වෑන් වල. ඇවිත් පෙට්ටියට ලියුම් දාල යනව. අපි ගිහින් ලියුම් පෙට්ටිය ඇරල ලියුම් හෝ පාර්සල් ගන්නවා. ලියුමේ කතාව නිමි. ඔබට අමතක නොවන ලියුම් කතා මෙහි කොමෙන්ටු ලෙස තියන්න.

Photo by Debby Hudson on Unsplash


Friday, August 5, 2022

ජීවිතය ගලා යයි







 




ජීවිතය ගලා යයි


අසිරිමත් මිනිස් සිරුර
අනවරත මෙහෙවරක යෙදෙයි.
ජීවිතය ජීවත් කරවයි.
නූලක් එහෙමෙහෙ වුණොත්
සමබරතාවය බිඳෙයි.
අට අනූවක් රෝග වැළඳෙයි.
කේසා නඛා දන්තා
මුමුණමින් හෙමිහිට
උපාසකම්මා බෝ මළුවේ
ඉඳගෙන පිළිකුල් භාවනාව
වඩවයි.
ඒ උත්තමයාගෙ දන්තා කේසා
වෙහෙර ගැබ තූළ වෙයි.
උපාසකම්මා බිම වැතිර
බැතිබරව ධාතු වන්දනා කරයි.
ඈත සොහොන් බිමක
මියගිය සිරුරු සෑයේ දැවෙයි.
දුම්රොටු වලාකුළු සිප ගනියි.
අළු පොළවට එකතු වෙයි.
ජීවිතය මිහිමත නොසැලී
ගලා යයි.
Image from Unsplash free images

Tuesday, July 5, 2022

මෙහෙම රටක කුමකට අපි උපන්නේ















 මෙහෙම රටක කුමකට අපි උපන්නේ


මිනිසුන් ඔහේ මහ පාරේ මැරෙන්නේ
තව අය ගං දියට දිවි පුද කරන්නේ
නපුරු සිහිනමයි රෑ යම පෙනෙන්නේ
මෙහෙම රටක කුමකට අපි උපන්නේ

උන්ට තාම රස මසවුළු තියෙන්නේ
සතුටු සිනා උන් මුවගේ නැගෙන්නේ
උන්ට නොමැත ජනතා හඞ ඇසෙන්නේ
බීරි අලින් තව හොඳ යයි සිතෙන්නේ

පොඩි පැටවුන් කුස ගින්නේ නිදන්නේ
රෑ මැදියම ඇහැරී යළි අඞන්නේ
ළිප්ගල් වුව ඒ කඳුලට අඞන්නේ
කාට ඔවුන් මේ මේ අවනඩු කියන්නේ

පිනට උන්ට ලැබුණැයි තව වනන්නේ
පවට දුකම ලැබෙතැයි බණ දෙසන්නේ
මෙහෙම කියන කරුමය තව තියෙන්නේ
එහෙම රටට කවදා හිරු නැගෙන්නේ

මොළය තියෙන ජනයාටයි කියන්නේ
කුමට උන්ම කියනා දෙය කරන්නේ
නැගිට ගන්න හැකි හැම මග බසින්නේ
විනේ කරපු උන් එළවා දමන්නේ

Photo by Wesley Eland:on Pexel

Sunday, June 26, 2022

තනේ ගැන නොදන්නා බණේ





 





තනේ ගැන නොදන්නා බණේ

තන ගැන කතා බහ හැම තැන ඇසෙන සමයේ ඒ ගැන විස්තර ටිකක් ලියන්නයි හිතුනේ.
තන හෙවත් පියයුරු ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ටම හිමි ශරීරාංගයකි. යුගල වශයෙන් ඇති පියයුරු පුරුෂයන්ගේ විශාලව නොවැඩෙන අතර ස්ත්‍රී පියයුරු ළදරුවන් මව්කිරි වලින් පෝෂණය කිරීමේ මූලික කෘත්‍ය සඳහා ග්‍රන්ථීමය අවයවයක් ලෙස විශාලව වර්ධනය වේ. එහි කුඩා අනු කණ්ඩිකා ( lobules) රැසකින් නිර්මිත කණ්ඩිකා (lobes) 15 - 20 දක්වා නිශ්චිත සංඛ්‍යාවක් ඇත. ඒවායේ සිට විහිද එන ක්ෂීර නාලිකා එකතුවී තන පුඩුවට විවෘත වේ. පියයුරුවල ලොකු කුඩා බව හුඟක් හුවා දැක්වෙන නමුත් ඒ ඛණ්ඩිකා සංඛ්‍යාව අඩු වැඩි නැත. ලොකු කුඩා බවට හේතුව තැන්පත් මේද ප්‍රමාණයයි.
ස්වභාවික හැම දේම වෙනස් කර ගැනීම එතරම් අමාරු නොවෙන මේ වකවානුවේ පියයුරු ද ඒ විපර්යාසයට ලක්නොවීමට හේතුවක් නැත.
මේ ලොව පවතින්නේ හිරුගේ රශ්මියෙනු මවගේ කිරි වලිනුත් යයි ගෝර්කි පවසා තිබේ. ඔව්! ලොව ඇති එකම සර්ව සම්පූර්ණ ආහාරය මව් කිරිය. ළදරුවකුට මාස හයක් දක්වා එකම ආහාරය එයම පමණි. ඒ නිසා පියයුරු අද්විතීය අවයවයකි.
දරු උපතින් පසු කිරි එරීම හෝමෝන මගින් පාලනය වන ක්‍රියාවලියකි. ප්‍රෝලැක්ටින් හෝමෝනය කිරි නිෂ්පාදනය සඳහා ක්‍රියා කරන අතර ඔක්සිටොසින් හෝමෝනය කිරි නිකුත් කිරීම සිදු කරයි. දරුවා කිරි උරා බීමේදී තන පුඩුව අවට සෛලවල ඇති වන ස්නායු සංවේදන මොළයට ගමන් කිරීම ද හෝමෝන ක්‍රියාකාරිත්වය ඇති වීම සඳහා අත්‍යවශ්‍ය වේ.
පියයුරු ස්ත්‍රී රූප සොබාව කුළුගන්වන ප්‍රධාන අවයවයක් පමණක් නොව පිරිමින්ගේ අවධානයට ද නිතැතින්ම ලක්වේ. ඒ ගැන වර්ණනා කෙරෙන සාහිත්‍යාංග බොහෝය. 'නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන' යනුවෙන් රාහුල හාමුදුරුවන් ද ලියා ඇත්තේ එබැවිනි.
එමෙන්ම ස්ත්‍රීන් ගේ ලිංගික උත්තේජනය ඇති කිරීමේ ලා පියයුරු ස්පර්ශය වැදගත් කාර්යයක් ඉටු කරයි. එපමණක් නොව ඔක්සිටොසින් රුධිරයට ශ්‍රාවය කර ප්‍රසව වේදනා ආරම්භ කිරීමට ද පියයුරු උත්තේජනය වැදගත් වේ.
කෙසේ වෙතත් ලොව කොතැනක හෝ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම යම් ශරීරාංගයක අඩු පාඩුවක් හෝ යම් ශරීරාංගයක් උළුප්පා දක්වා එය හිමි තැනැත්තා /තැනැත්තිය අවමානයට පත් කිරීම හෙළා දකිමි. පියයුරු වලටත් එය අදාළය.
Photo from Pexel

Thursday, June 23, 2022

අවුලක් නැතුව පවුලක් මුළු රට කෑවා







 





අවුලක් නැතුව පවුලක් මුළු රට කෑවා

පෙර දිග ලෝකයේ බැබලුණ මුතු ඇටය
තිබුණා කලක් එහි අප කදිමට හිටිය
හොඳටම කරන්නට නිරිඳෙකු ආ හැටිය
රට ගොඩ ගන්න බැරි ලෙස වලකට වැටිය
සිවු වසරක් ගෙවී වසරක් ලබන විට
රජ උණ හැදෙන්නට විය එරට දන හට
පරසක්වලින් ගෙන්වා ගත්ත එකෙකුට
පුම්බා හුලං උඩ ඇරිය හැටි කදිමට
පිම්බූ රූප තුරුලට අරන් ඉඹ ගෙන
හමුවූ විටදි තෙරපී අත බදාගෙන
රට බේරා දෙන්න කියමින් අඞා ගෙන
සුකොමළ ළන්දු පෙරමග දිග ඇදී ගෙන
කවදත් රටේ ගො/න් ජනයා ගැන දන්නා
උන් රිසි පරිදි ඇද බාමින් ගජ බින්නා
අවුරුදු හැත්ත ගණනක් කරකවමින්නා
කියපු දේම ආයෙත් රස කර පෙන්නා
'බලය මට දෙන්න රැක දෙන්න පුරවර
මගෙම රජයකුත් මට ඕන මේ වර
තුනෙන් දෙක තමයි දැන් අඩුව ඇති බර
විස්ස තිබුණොතින් මවමි මං සුරපුර'
උගුර කඩාගෙන වියතුන් කෑ ගෑවා
කියපු දේට රට වැසියන් මත් වූවා
මෙහෙම කියා උන් හැම බලයට ආවා
රට වැසියන්ට උන් හිටි තැන් නැති වූවා
වසර දෙකක් ගිය තැන ඒ මහවිරුවා
වෙන කවුරුත් නෙවේ මං හොඳටම කෙරුවා
කියමින් අලුත් යුගයට පියමං කෙරුවා
වැසියන් ටිකෙන් ටික ගෙන මහමග මැරුවා
පඹයෙකු වගේ වෙලකට සකුණ එළවන
වැනි වැනි වැරදි දැන දැන අරන් තීරණ
මට වැරදුනා කියමින් අඞන කාරණ
අසමින් තවම ඇත දන කිළුටු සෝදන
දවුලක් බැඳන් රට තොට අඞහැර පෑවා
හවුලක් හදන් හොඳ හැටියට රඟ පෑවා
නගුලක් නැතුව මුන් හැම කදිමට හෑවා
අවුලක් නැතුව පවුලක් මුළු රට කෑවා
(Thanks to Marvin Meyer for the photo on Unsplash)

Sunday, June 19, 2022

කුසගිනි නිවීම

 












කුසගිනි නිවීම

අපි අඞන විට
අල්ලපු වත්තේ කොස් ගහට නැග
ළපටි කොස් ගෙඩියක් කඩාගෙන
පොල් දමා මලවා කන්නට දී
අපේ කුසගිනි නිවූ අම්මා නුඹය.
දානෙ ගෙදර ඉතුරු බත් එකතු කර
ගෙනත් කුල්ලේ දමා
අව්වේ හොඳට වියලා
මුට්ටියක දමා අටුවේ තබා
ටික ටික ගෙන නැවත උයා
පොල් සම්බෝල සමග
කන්නට දී අපේ කුසගිනි නිවූ
අම්මා නුඔය.
අපේ හිස් බඩවල් දැක දැක
අපට නොපෙනෙන්න රහසේ ඇඞූ
යනෙන මග දෙපස ගස්වල
කනේරු ඇට ඇති තරම් දුටුවත්
නුදුටුවාසේ ඉඳ ඒ දුක් ඉහිලූ
අම්මා නුඔය.
නුඹ කියාදුන් මග ගියෙන් මම
මට දැන් තිබේ බත්
බඩ පුරා කන්නට
ඒත් බැරිය නුඹට දෙන්නට.
නුඹ නිදන පස යහන උඩින් ඇති
නිල් තණකොළ පලස මත
සුදු සමන් මල් පොකුරක් තබා
නෙත නැගුණු කඳුල අතගා පිසදා
හාමතින් සිටි දරු පැටවු එකතු කර
බත් ටිකක් උයා දුනිමි මම
එවිට උන්ගේ නෙතේ ඇඳී ගිය
කාන්තිය අයිති මට නෙමේ නුඹට
එවමි එය පාකර මද පවනක
නුඹ සිටින යහනට
අම්මේ එය අයිති මට නෙවේ නුඹට!!!
Photo from Unsplash

Friday, June 3, 2022

මල් පරවී ගියා

 










මල් පරවී ගියා 

 

සීතල හිම දියවී කාලය

ඔහේ පියා සැලුවා

වසන්තයේ ඇරඹුමේ සිට 

මා දෑස් දල්වා මග බලා සිටියා

 

බලපොරොත්තුවේ  පහන් සිල

බඳුනේ අවසන් තෙල් බිංදුව උරාගෙන

වෙව්ලමින් මද සුළගේ පොර බදමින්

ඔන්න මෙන්න නිවෙන්නට යන මොහොතේ

 

වසන්තයේ අග ඈ ආවා

 

ඈ මා වෙත මල් පොකුරක් පිදුවා

ඇගේ රන් වළලු ලූ සිහින් දෑත්

මගේ ගෙලවට මොහොතකට වෙලුණා

අවසන් චුම්බනය මා ඇගේ නළලත තැබුවා.

 

ඈ සමුගෙන යන්නම යන්න ගියා

ඇගේ නිවහල් ලොව කරා යන්න ගියා 

ඕනෑවට එපාවට මා අතට ගත් ඒ මල්

මේසය මත කඳුළු සලමින් හිටියා

 

මල් එකින් එක අතට ගන්නට මට සිතුණා

අරන් ඒවායේ සොඳුරු බව සෙව්වා

රතු රෝස වල ඩේලියා වල වෙන වෙනම

අමුතු වෙනදා නොදුටු සුන්දරත්වයක් තිබුණා

 

ඒත් ඒ වනවිට කාලය අතීතයට

ඈතට ඈතට ගිහින් ඉවර වී තිබුණා

මල් එකින් එක පරවී ගියා

මං බලන් හිටියා බලන් හිටියා

ඈ මට දුන් මල්වල සොඳුරු බව

ඈ හා සැනසිල්ලේ දොඩන්නට

ඒත් කවදාවත් ඈ ආපසු ආවේ නෑ!!!

 

Tuesday, May 24, 2022

වසන්තයේ අග

 












මේ ගත වෙන්නේ වසන්තයේ අග භාගය. දැනටමත් ගහ කොළ මැලවෙන ඒ උණුසුම් ගිම්හානය එළිපත්තෙන් එබෙනවා. දිවා අහස නිල්ම නිල් පාටයි.  වළාකුලක් දකින්නේ කලාතුරකින්.  ගහ කොළ සේරම කොළ පාටයි.  පහුගියදා ලස්සනට පිපී හිනැහුණු රෝස මල් පර වෙලා.  හිතට ගෙන එන්නේ ශෝකී බවක්.  ඒත් යළිත් එන වසන්තය ගැන බලාපොරොත්තුව අපි ජීවත් කරවනවා.  අද උදේ මම ඇවිදින්න ගියා "වසන්තයේ මල් පොකුරු නෙලා ...." අමරදේවයන් සනාතන දහමක් ගැන ගයන ඒ මියුරු ගීතය ශ්‍රවණය කරමින්.  මේ African Lily නම් හිනාවේගෙන හිටියා උදේ හිරුරැස් නා ගන්න ගමන්. African Lily වලට Lily of the Nyle කියලත් කියනවා. විද්‍යාත්මක නම Agapanthus africanus.  Amaryllis පවුලට තමයි අයිති වෙන්නේ. හිරු එළිය ප්‍රිය කරන පඳුරක පිපෙනවා. මේ දවස්වල දවල් වෙද්දී හරිම උණුසුම්.  හැබැයි ලංකාවේ වගේ දහඩිය දාන්නේ නැහැ.